Friday, September 10, 2010

හොලෝග්‍රමික හිස්කම


අපි නිතරම කතා කරන දේවල් කීපයක් තියෙනවා. ජීවත් වීම තුළ පවතින හිස්කම හෝ හොලෝග්‍රමික ස්වභාවය සහ නිසරුබව හෝ සාරයක් නැති බව ගැන අපි නිතරම කතා කරනවා. මේ හිස්කම නිසාවෙන් හෝ සාරයක් නැති කම නිසාවෙන් මිනිසුන් එය බාධාවක් ලෙස සලකා එය පුරවා ගන්නට නොයෙකුත් දේවල් තමන්ට යෝජනා කරගනිමින් ඉන්නවා. නමුත් හොලොග්‍රමයකට ඇත්තේ මතුපිටක් පමණි. එයට ඇතුලක් නැත. මෙහිදී හොලෝග්‍රමය යැයි සඳහන් කළේ තමන්ගේම අනන්‍යතාවයේ බාහිර සම වස්තුවයි. එය දැකීම යනු තමනුත් පවතිද්දී තමන්ගේම තවත් ක්ලෝනයක් දැකීමේ විරල අවස්ථාවේදී උපදවන විශ්මය තරම්ම සිහිවිකල් කරන තත්වයක් වේ. අධ්‍යාපනය තුළින් හෝ කලා සාහිත්‍ය රසාස්වාදනය තුළින් එබඳු හිස්තැනක් පුරවා ගත හැකි යැයි පිරිසක් සිතයි. තවත් සමහරු මුදල් හම්බකර දැවැන්ත ගෙවල් වාහන යනාදී භෞතික දේවල් උපයාගෙන පසුව ඒ දේවල් මගින් ද හිස් බව නොපිරී යාම හේතුවෙන් නොයෙකුත් සමාජ ක්‍රියාකාරිත්වයන්ට ඇතුළු වී දේශපාලනික හෝ සාමාජීය දේවල් තුළට කාවැදී ඒවා තුළින් තම හිස් තැන වසා ගැනීමේ අනවරත උත්සාහයේ යෙදී සිටිනවා. පසුව ඔවුන් සියල්ල ඉක්මනින් වටහා ගන්නා දේ තමයි බලය ගොඩ නගා ගත් විට අර කී හිස්තැන පහවී තමා පවතිනවා ය යන්නා වූ තත්වයක් අත්කර ගත හැකිය කියන මිථ්‍යාව.

එක්තරා පිරිසක් හොඳ වැඩ යයි සම්මත මාර්ගයක් තෝරා ගෙන මේ කන්ද නගින්නට හෝ මේ හිස්තැන නම් වූ තරණය දුෂ්කර දුර්ග මාර්ගය ජය ගැනීමේ උත්සාහයේ යෙදෙද්දී තවත් සමහරු කෙටි මාර්ග හෝ ක්ෂණික මං තරණ ක්‍රම ලෙස දේශපාලනය හෝ සමාජ සිවිල් බලය උපයා ගෙන අර කලින් කී හිදැස පුරවා ගන්නට උත්සාහයේ යෙදෙනවා. මේ දෙගොල්ලම එක්තරා තැනක දී තමන් කොයි මාර්ගය තෝරා ගත්තද අවසන් ඵලය ලෙස ජය ගත නොහැකි තම හොලෝග්‍රමය හමු වීමක් වැනි මායාකාරී අවස්ථාවක් තුළ දී එකිනෙකා විසින් අනුගත මාර්ග හුවමාරු කරගන්නට නිර්ලජ්ජිත ලෙස සැදී පැහැදී එකිනෙකාගේ ආත්ම පාවා ගන්නවා. මේ ආකාරයෙන් කවියෙන් කලාවෙන් සෞන්දර්ය රසාස්වාදනයෙන් උතුම් මගක ගමන් ගත් අය ක්ෂණිකව දේශපාලනික ආර්ථික ව්‍යුහයන් තුළට කාවැදී තම එතුවක් ගොඩනඟා ගත් අනන්‍යතාවය එක රැයෙන් මකා දමා මහ ධනපති හොලෝග්‍රමයන් බවට පත්වෙති. ක්‍රමයේ දැවැන්ත රෝදයක් බවට පත් වෙති. එමෙන්ම ඉතිහාසය පුරාම නිශ්පාදන බලවේගයන් තුළ පීඩිතයන් පවත්වා ගෙන ඔවුන් සූරාකමින් හුන් පිරිසක් ද ක්ෂණිකව සෞන්දර්යවාදීන් කලාකාමීන් කවියන් නළුවන් බවට පත්ව මහා කලා සම්පත්ති ආර්ථික වටිනාකම් පාවා දී සිය කීර්ති නාමයන් හොලෝග්‍රමිකව වෙනස් කරගනිති. මේ දෙකොටසම පවත්වා ගන්නා ජිවිතයේ හිස්කම එක් අවස්ථාවක දී පුරවා ගනු පිණිස තමන්ට සමාජ බලය නමැති මැජික් පොල්ල ලැබුනේ යැයි සිතා ක්ෂණිකව තම ආත්මය තුළ පැසවමින් හුන් තුවාලය තුළට හොලෝග්‍රමික මතුපිටින් ලිස්සා වැටෙයි. ඉන්පසු පෙර කල පරමාදර්ශී ලෙස ජීවත් වූවන් අන්ත පරිහාණියක් පිළිබඳ ප්‍රවෘත්ති සමාජයට මුදා හැර එය සාධාරණීකරණය කර තම අනුගාමිකයන් පිරිසක් සමගින් මාධ්‍ය ලෝකයක වැජඹෙති. මාධ්‍ය මගින් සිමියුලේක්‍රයක් තනා එහි ජීවිතය පටන් ගනී. තමන්ගේ තුවාලය තුළට වැටීමේ වේදනාව අනියම් ක්‍රමයෙන් සමාජයම තුවාල කිරීම දක්වා වර්ධනය වේ. මේ තත්වය ලාංකීය මිනිස් සමාජය තුළ අද ඔඩු දුවා ඇති ආකාරයෙන් කිසිවෙකුටත් ගැලවීමක් නැති තරමින් සමස්ත සමාජයේ දෛශිකමය මහ අනේකත්වය දියවී වාෂ්ප වී ඇති තතු යටතේ තමාගේ අනන්‍යතාවය තම සිතැඟි ලෙස නොයෙකුත් සංකල්ප රූප උදෙසා හුවමාරු කරගනිමින් ද තමන් කැමති අයුරින් නැවත නැවත උපදවමින් ද තම අනුගාමිකත්වයන් තුළ ඔජ වඩමින් යහතින් කාලය ගත කරමින් සිටීමේ මේ යථාව තුළ අප කිසිවෙකුත් ස්වාධීනව හෝ දීනව හෝ නොපවතින බැවින් අප මේ කරමින් ඉන්නා වූ සියළු දේ මහා ප්‍රහසනයන් හෝ විකාරයන් බව අපට නැවතත් උගන්වමින් සිටින බැව් සාක්ෂාත් වේ. අප සමාජයේ ප්‍රහසනාත්මක අවසානයක් නොමැති කිසිදු සංසිද්ධියක් නොමැත්තේ මේ හේතුවෙන් යැයි මට සිතේ. මේ තතු යටතේ ව්‍යුහගත වන නිර්මාණකරුවන් හෝ පුරෝගාමීන් විසින් නිර්මිත කවියක් හෝ කලා නිර්මාණයක් තුළින් අනේකත්වය විශද කර මතුවන සමස්තයක් ගොඩනැගීමේ අරමුණක් හෝ ඔපරේටරමය හැකියාවක් නැත්තේය. ඒ වෙනුවට හුදු හොලෝග්‍රමික ක්‍රීඩාවක් බවට මේ සියල්ල පත් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය හෝ නිදහස වැනි සංකල්ප ද හොලෝග්‍රමයන් බවට පත් වී ඇති තරමට ඒවායේ ක්ලෝනීය සම්බන්ධතා විසින් අපව හොල්මන් කරවයි. අතරමං කරවයි.

නැති දෙයක් තුළ එය සෙවීම යන තකතීරු කමේ අපි සියල්ල ගිලී සිටිමු. එසේ ගිලී සිටීමට අපට මහ අනෙකා විස්ථාපනය කර නැගී ඇති හොලෝග්‍රමික බලජාලයක් විසින් සියුමැලි ලෙස අණකර ඇත. මට ඔබට අඩ ගැසිය හැකි තැනක් නැත. මන්ද යත් ඔබ ඔබටම අනන්‍ය හොලොග්‍රමය හමු වන තෙක් කල් බැලීමට තීරණය කර ඇති බැවිනි.

රාවය
මගේ සිහිනය 18 පිටුව-2010 සැප්තැම්බර් 12 ඉරිදා

0 කුළිය: