ගණිතය සිතන්නේ කවුද? රාමනුජන්ගේ දෙවඟන, පොපර්ගේ සීමාව සහ ලැකාන්ගේ අවිඥානය
ගණිතය සිතන්නේ කවුද? රාමනුජන්ගේ දෙවඟන, පොපර්ගේ සීමාව සහ ලැකාන්ගේ අවිඥානය අප සිතනවාද, නැතහොත් අප තුළ යමක් සිතනවාද? මීට පෙර ලියූ ලිපියකදී මා මතු කළ ප්‍රශ්නයක් නැවතත් වෙනත් මානයකින් බැලීමට මගේ සිත බල කරනව. ගණිතඥයෙකු අලුත් ගණිතමය සම්බන්ධතාවක් සොයාගන්නා විට ඇත්තටම සිදුවන්නේ කුමක්ද? ඔහු එය නිර්මාණය කරනවාද? නැතහොත් ඔහුටත් පෙර සිට පැවති, එහෙත් මෙතෙක් කිසිවෙකු නොදුටු සම්බන්ධතාවක් හදිසියේ ඔහු ඉදිරියේ විවෘත වෙනවාද? මේ ප්රශ්නය මට වැදගත් වන්නේ ගණිතය නිසාම නොවෙයි. අපගේ සිතීම, නිර්මාණශීලීත්වය, අවිඥානය සහ දැන් කෘත්‍රිම බුද්ධිය පවා මේ ප්රශ්නය තුළ එකිනෙක හමුවන නිසයි. මේ ගැන සිතන්න අපට විවිධ පැති තයෙනවා. ඉන්දියානු ගණිතඥ ශ්‍රීනිවාස රාමනුජන් තමන්ට ඇතැම් ගණිතමය අදහස් ලැබුණු ආකාරය නමගිරි දෙවඟන සමඟ සම්බන්ධ කර විස්තර කළ බව අප දන්නවා. ඔහුගේ ඒ අත්දැකීම අප අද්භූත සිදුවීමක් ලෙසම පිළිගත යුතු නැහැ. එසේම එය හුදු මිථ්‍යා විශ්වාසයක් යැයි කියා බැහැර කිරීමත් මට නම් එතරම් සෑහීමකට පත්විය හැකි පිළිතුරක් නොවෙයි. මගේ කුතුහලය වෙනත් තැනකයි. සවිඥානිකව පියවරෙන් පියවර සිතා නොබැලූ ගණිතමය සම්බන්ධතාවක් මිනිස් මනස තුළ හද...