වැටුණු වීණාව: අනුරාධ මහසිංහගේ විජ්ජු කාව්‍යය පිළිබඳ විචාරාත්මක කියවීමක්

වැටුණු වීණාව

අනුරාධ මහසිංහගේ විජ්ජු කාව්‍යය පිළිබඳ
විචාරාත්මක කියවීමක්
මාරයා, සංගීතය, මිනිස් ආශාව සහ නව තාක්ෂණය
Dawson Preethi
2026 නොවැම්බර්

සාරාංශය

මෙම ලිපිය අනුරාධ මහසිංහගේ විජ්ජු (2023) ආඛ්‍යාන කාව්‍යය සංගීතය නම් අක්ෂයක් වටා කියවයි. ගෝධික රහතුන්ගේ විඤ්ඤාණය සොයා අසමත් වන මාරයාගේ වීණාව ශෝකයෙන් අතින් ගිලිහී වැටේ. කාව්‍යයේ ඉතිරි කොටස එම වීණාව යළි ගොඩනඟා ගැනීමට මාරයා දරන වෑයමක් ලෙස කියවිය හැකි බව ලිපියේ තර්කයයි: ගින්න (ප්‍රොමිතියස්), විදුලිය (තේලිස්, එඩිසන්), විදුලි ගිටාරය (ජෝන් ලෙනන් සහ බීට්ල්ස්) සහ හෙවි මෙටල් හරහා ඔහු මිනිස් ඉන්ද්‍රියයන් ක්‍රමයෙන් වඩවඩාත් තීව්‍ර රසයකින් මත් කරයි. ලිපිය මෙම ක්‍රියාවලිය ශක්තිය සැපයීම, ආශාව විස්තීර්ණ කිරීම සහ උපකරණය පරිභෝජනය කිරීම යන චලන තුනකට බෙදා විග්‍රහ කරයි; ටොප්සි නම් ඇතින්නගේ මරණය ඒ සියල්ලේ අඳුරු මුල් උදාහරණයක් ලෙස විමසයි. අවසානයේ කෘතියේ අවසන් පිටුවල ඇසෙන “ඊළඟ ධාතුව” මිනිස් මනස නොමැතිව ද සංගීතය නිපදවිය හැකි යන්ත්‍රයක් විය හැකි දැයි විවාදාත්මක ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි.

මූල පද: විජ්ජු; අනුරාධ මහසිංහ; මාරයා; සංගීතය; ධාතුව; ආඛ්‍යාන කාව්‍යය; රසය.

ඡායාරූප සටහන: මෙම නිර්මාණය සඳහා භාවිත කළ මුල් ඡායාරූප කතුවරයාගේ Facebook පිටුවෙන් ලබාගෙන ඇති අතර, ChatGPT ආධාරයෙන් ඒවා සංයෝජනය කර දෘශ්‍යමය වශයෙන් වැඩිදියුණු කර ඇත.


හැඳින්වීම

විජ්ජු යනු කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය අනුරාධ මහසිංහ විසින් රචනා කරන ලද, 2023 සැප්තැම්බරයේ සයුර ප්‍රකාශන මඟින් පළ වූ ආඛ්‍යාන කාව්‍යයකි.1 කෘතියේ පෙරවදනෙහි (පි. v) ඔහු සඳහන් කරන්නේ ආඛ්‍යාන කාව්‍යයක් ලිවීමේ ආසාව බොහෝ කලක සිට තම සිතෙහි පැවති බවත්, ඒ සඳහා සුදුසු පසුබිමක් උදාවන තුරු බලා සිටි බවත් ය. එසේ කලක් සිතෙහි දරා සිටි ආසාවක සාහිත්‍යමය ප්‍රතිඵලය ලෙස අප අතට පත්වන්නේ විජ්ජු ය.

“විජ්ජු” යනු අකුණු හෝ විදුලිය හැඳින්වීමට යෙදෙන පාලි වදනකි. එහෙත් මේ කාව්‍යය හුදෙක් විදුලිය පිළිබඳ ඉතිහාසයක් පමණක් නොවේ. එය විදුලියේ කතාව මාරයාගේ දෘෂ්ටියෙන් අප ඉදිරියේ දිගහරින ආඛ්‍යානයකි. එබැවින් මෙහිදී අපට හමුවන්නේ විදුලියේ ඉතිහාසය පමණක් නොව, ඒ ඉතිහාසය දෙස බලන අපූර්ව දෘෂ්ටිකෝණයක් ද වේ.

මේ ලිපියෙන් මා උත්සාහ කරන්නේ විජ්ජු නැවත කියවීමට ය. කාව්‍යය පුරා බෞද්ධ විශ්වවේදයේ නිරය, දිව්‍යලෝක, පරනිම්මිතය ආදී සංකල්ප හා ඒවායේ නාමකරණය පැහැදිලිව හමුවෙයි. එහෙත් මගේ අවධානය යොමුවන්නේ ඒ වෙත නොවේ. කෘතිය කියවාගෙන යන විට මට පෙනී ගියේ, එහි ආඛ්‍යානයට යටින් තවත් සියුම් ගමනක් දිවෙන බවයි. එය එක්තරා ආකාරයකින් ශබ්දයක වර්ධනයක් ලෙස කියවිය හැකිය.

බිඳුණු වීණාවකින් ඇරඹෙන ඒ ශබ්දය, ගින්නත් විදුලියත් සමඟ අලුත් බලයක් ලබමින්, ගිටාරයක තත් අතරින් ගමන් කොට අවසානයේ ක්‍රීඩාංගනයක් දක්වා පැමිණෙයි. එය හුදෙක් සංගීත භාණ්ඩ කිහිපයක් හරහා ගමන් කරන ශබ්දයක කතාවක් නොව, කාව්‍යයේ විවිධ අවස්ථා එකිනෙකට සම්බන්ධ කරමින් එහි අර්ථය විහිදුවන ගමනක් ලෙස මට පෙනේ. මේ කියවීම ඔස්සේ මා සොයා බලන්නට උත්සාහ කරන්නේ ඒ ගමන කෘතියේ සමස්ත ආඛ්‍යානය සමඟ බැඳෙන්නේ කෙසේද යන්නයි.

මෙහි සඳහන් පිටු අංක කෘතියේ මුද්‍රිත පිටු අනුව දක්වා ඇත. පද්‍ය උපුටා දැක්වීම් අවම කරමින්, අවශ්‍ය තැන්වල ඒවායේ අදහස් සාරාංශගත කර තිබේ. කෘතියේ ද උපුටා දැක්වෙන ප්‍රාථමික මූලාශ්‍ර පාද සටහන්වල දක්වා ඇත. එසේම, කතුවරයා පවසන දෙයත්, පාඨකයකු හා විචාරකයකු ලෙස මා එයින් වටහාගන්නා දෙයත් අතර වෙනස පැහැදිලිව තබාගැනීමට උත්සාහ කරමි. “මා කියවීමට අනුව” වැනි යෙදුම් භාවිත කරන්නේ ඒ වෙනස සලකුණු කිරීමට ය.

කෘතියේ ව්‍යුහය

විජ්ජු කොටස් අටක් ඔස්සේ දිගහැරෙන ආඛ්‍යානයකි. ඒ සෑම කොටසකටම නම ලැබී ඇත්තේ කිසියම් ස්ථානයකිනි. එහෙත් මේවා හුදෙක් කතාව සිදුවන පසුබිම් පමණක් නොවේ. එක් ස්ථානයකින් තවත් ස්ථානයකට ගමන් කරන විට කාව්‍යය අප රැගෙන යන්නේ ඉතිහාසයේ වෙනස් යුගයන් වෙතය. එසේ කාලයත් අවකාශයත් අතර ගමන් කරන කතාව, මාරයාගේ දෘෂ්ටිය ඔස්සේ එකම ආඛ්‍යානයකට ගෙතෙයි.

මේ ගමනේදී කවියා සිය කාව්‍යමය පරිකල්පනයට ඉතිහාසයේ ලේඛනගත හඬවල් ද එක් කරගනී. සූත්‍ර පාඨ, පුවත්පත් වාර්තා සහ සිදුවීම් ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ඒ අතර හමුවෙයි. ඒවා කාව්‍යය තුළට පැමිණෙන්නේ හුදෙක් තොරතුරු සපයන්නට නොව, කතාවට පසුබිම් වන සිදුවීම් පිළිබඳ ඉතිහාසයේ “සාක්ෂි” ලෙස ද ය. මෙසේ කාව්‍යමය පරිකල්පනයත් ලේඛනගත ඉතිහාසයත් එකිනෙක හමුවන තැනින් විජ්ජු සිය කතාව ගොඩනඟයි.

කෘතියේ ඒ ගමන් මඟ සහ එක් එක් කොටසෙහි ප්‍රධාන සිදුවීම් පහත පරිදි සාරාංශ කළ හැකිය.

කො.පිටුකොටසේ ශීර්ෂයප්‍රධාන සිද්ධිය
11–14වශවර්ති මාලිගය, පරනිම්මිතයගෝධික සූත්‍රයේ පරාජයෙන් පසු මාරයාගේ ශෝකය; වැටුණු වීණාව
215–35ඇපොලෝනි දනව්ව, පශ්චිමක්ෂේත්‍රයප්‍රොමිතියස්, ගින්න; ``නව වීණාව'' පිළිබඳ සැලැස්ම
336–45මයිලීටස්, ග්‍රීසියතේලිස් සහ ඇම්බර්
446–56කෝනි දූපත, බ්‍රෑක්ලින්ලූනා පාර්ක් සහ ටොප්සි ඇතින්න
557–69බාලාංගය, ග්‍රාමීය පාඨශාලාවඑඩිසන්ගේ ළමා කාලය; ගමට විදුලිය
670–90ඩැකෝටා මහල්, නිව්යෝර්ක්ලෙනන්, බීට්ල්ස්, මහර්ෂි, චැප්මන්
791–100ලාස් වේගාස්, නෙවාඩානිර්මාණය සහ පරනිර්මිතය; වේදිකාවේ ``පුත්‍රයා''
8101–110වලාගිර, ආකාශමණ්ඩලයහෙවි මෙටල්; භීතියේ අවසානය; ඊළඟ කල්පය
වගුව: විජ්ජු කෘතියේ කොටස් අට

බිඳුණු තුලනය: වීණාව සහ ගී හඬ

කාව්‍යයේ ආරම්භයේදී අප පිවිසෙන්නේ පරනිම්මිත වශවර්ති දිව්‍යලෝකයේ පිහිටි මාරයාගේ මාලිගයට ය . එහෙත් එහි අපට හමුවන්නේ ජයග්‍රාහී මාරයෙකු නොවේ. පරාජයකින් ශෝකයට පත් වූ මාරයෙකි.

කතුවරයා කතාවට පිවිසෙන්නේ ගෝධික සූත්‍රය2 ඇසුරෙනි. ගෝධික කුලපුත්‍රයාගේ විඤ්ඤාණය කොතැනක පිහිටියේ දැයි සොයමින් මාරයා දිශා සියල්ල පීරා බලයි. එහෙත් ඔහුගේ සෙවීම නිෂ්ඵල ය. ගෝධිකගේ විඤ්ඤාණය කොතැනකවත් නොපිහිටා, ඔහු පිරිනිවන් පා ඇත. සූත්‍රය අවසන් වන්නේ ඒ පරාජය දරාගත නොහැකිව ශෝකයට පත් මාරයාගේ අතින් වීණාව ගිලිහී වැටීමෙනි.

ශෝකයෙන් බර වූ පියා සොයා ඔහුගේ දියණියෝ තිදෙනා, තණ්හා, රති සහ රඟා,3 පැමිණෙති . ඔවුන් හමුවේ මාරයා හෙළි කරන්නේ සිය පරාජයට හේතු වූ අත්දැකීමයි. කොතෙක් සෙව්වත් තමාට “ආත්මය” සොයාගත නොහැකි වූ බව ඔහු පවසයි . අනත්ත ධර්මය හමුවේ මාරයාගේ මුවට නැඟෙන මේ “ආත්මය” යන වදන මට පෙනෙන්නේ අහඹු යෙදුමක් ලෙස නොවේ. එය ඔහු ලෝකය දකින ආකාරයේ ම සීමාව හෙළි කරන වදනක් ලෙස කියවිය හැකිය.

එහෙත් මේ සංවාදය තුළ මගේ අවධානය වඩාත් ඇදගන්නේ තවත් කරුණකි. මාරයාගේ සුපුරුදු ක්‍රමය වන්නේ රසයෙන් මත් වූ දුබල ආත්ම පහසුවෙන් අරක් ගැනීමයි. එනම් ඒවා තුළට වැදී, එහි පදිංචි වී, තම ග්‍රහණයට නතු කරගැනීමයි . ලෝකය රස ගුලාවකි. එහි උපදින මිනිසා ද ඒ රසය සොයමින් වෙහෙසෙයි . එසේ බලන විට මාරයාට මිනිසා වෙත ළඟා වීමට ඇති මඟ රසයයි. ඔහු මිනිසා අල්ලාගන්නේ රසය ඔස්සේ ය.

මාරයාගේ අතින් ගිලිහී වැටුණු වීණාව ද මෙහිදී විශේෂ වැදගත්කමක් ලබයි. කාව්‍යය එය හඳුන්වන්නේ පංචසිඛ ගන්ධර්වයාගේ බෙලුවපණ්ඩු වීණාව ලෙස ය . බෝධිවංසයෙන් උපුටා දැක්වෙන කොටසක ද එම නාමය හමුවෙයි (පි. 6). එහෙත් මාරයාගේ ඇසින් බලන විට පංචසිඛයා “දුබල දෙව් පුත්‍රයෙකු” පමණි .

මෙහිදී කතුවරයා අප කැඳවාගෙන යන්නේ වීණාවත් ගී හඬත් අතර ඇති සියුම් සම්බන්ධය වෙත ය. දීඝ නිකායේ සක්කපඤ්හ සූත්‍රයෙන්4 ගෙනහැර දක්වන පාඨය අනුව, පංචසිඛයාගේ ගී හඬ වීණා හඬ ඉක්මවා නොයයි. වීණා හඬ ද ගී හඬ ඉක්මවා නොයයි. එකක් අනෙක යටපත් නොකරන ඒ සංගීතයෙහි ඇත්තේ සමතුලිතතාවකි.

කාව්‍යයේ පි. 10–13 පුරා මේ තුලනය නැවත නැවතත් මතු වෙයි. මෙය කියවන විට සෝණ සූත්‍රයේ5 වීණා තත් පිළිබඳ උපමාව ද සිහිපත් වෙයි. වීණා තත් ඕනෑවට වඩා තද කළත්, ඕනෑවට වඩා බුරුල් කළත්, අපේක්ෂිත සංගීතය උපදින්නේ නැත. මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ අදහස එහිදී ප්‍රකාශ වන්නේ සංගීතයේ ම භාෂාවෙනි.

එහෙත් මාරයාට අවශ්‍ය වන්නේ එවැනි තුලනයක් නොවේ. ඔහුගේ අරමුණට එය බාධාවකි. ගී හඬත් වීණා හඬත් එකිනෙක නොඉක්මවන තාක් මිනිසා රසයෙන් මත් කරගැනීම පහසු නොවන බව කාව්‍යයෙන් හැඟවෙයි .

එබැවින් මාරයා යෝජනා කරන්නේ මේ තුලනය බිඳ දැමීමට ය. ගී හඬ වීණා හඬ ඉක්මවා නැඟිය යුතුය. ඉන්පසු ඒ වීණා හඬ ඉක්මවීමට මිනිසා නැවතත් සිය ගී හඬ ඉහළ නැංවිය යුතුය. එසේ එකිනෙක ඉක්මවා යන හඬවල් අතර, දවසින් දවස වඩ වඩාත් රළු වන මිනිස් ඉන්ද්‍රියයන් රසයෙන් මත් කිරීමට හැකි වනු ඇත .

මෙතැනදී කාව්‍යය තුළ මා දකින්නේ හුදෙක් සංගීතය පිළිබඳ අදහසක් නොවේ. එය නිමාවක් නැති ශබ්ද තරගයක (arms race) ආරම්භයයි. එක් හඬක් අනෙක ඉක්මවා යන විට, ඒ ඉක්මවීම ම ඊළඟ ඉක්මවීමේ අවශ්‍යතාව උපදවයි. අද මිනිසා මත් කරන හඬ හෙට ඔහුට ප්‍රමාණවත් නොවනු ඇත. එවිට ඊටත් වඩා ප්‍රබල හඬක් අවශ්‍ය වෙයි. මෙසේ ආශාව සංසිඳුවනවා වෙනුවට, එය තව තවත් අවුළුවන ක්‍රියාවලියක් බිහි වෙයි.

මා කියවීමට අනුව, මාරයා මෙහිදී සොයාගන්නේ ශබ්දය වැඩි කිරීමේ ක්‍රමයක් පමණක් නොවේ. මිනිස් ආශාව නොනවත්වා වර්ධනය කරමින්, ඒ ආශාව ඔස්සේ මිනිසා තම ග්‍රහණයේ තබාගැනීමේ ක්‍රමයකි. සංගීතයේ හඬවල් අතර ඇරඹෙන මේ තරගය, ඒ අර්ථයෙන්, ආශාව මෙහෙයවීමේ තාක්ෂණයක් බවට පත්වෙයි.

එහෙත් මාරයා ඉදිරියේ තවත් බාධාවක් තිබේ. ඔහු සතු වීණාව “දුබල” ය . ඇඟිලි තුඩින් පමණක් වාදනය කරන වීණාවකට, වඩ වඩාත් රළු වන මිනිස් ඉන්ද්‍රියයන් මත් කිරීමට තරම් හඬක් උපදවන්නට නොහැකිය.

එසේ නම් ඒ හඬට අලුත් බලයක් ලබාදිය යුතුය.

ඒ බලය කොතැනින් සොයාගත හැකිද?

ඉතිරි කාව්‍යය දිගහැරෙන්නේ මාරයා ඒ බලය සොයා යන ගමනත් සමඟ ය.

උපකරණ දාමය

මාරයාගේ අරමුණ ඉටු කරගැනීමට ඔහුට තමා සතු බලය පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා මිනිසාගේ ම හැකියාවන් ඔහුට අවශ්‍ය වෙයි. එබැවින් මාරයා ඉතිහාසයට පිවිසෙන්නේ මිනිසුන්ගේ සිත් අරක් ගනිමිනි. තමා විසින් පෙර නොකළ දේ ඔවුන් ලවා කරවා ගැනීමෙනි. කාව්‍යය දිගහැරෙන විට අපට හමුවන්නේ එසේ මිනිසාගේ අතින් නිර්මාණය වන, එකිනෙකට සම්බන්ධ වූ උපකරණ දාමයකි.

ප්‍රොමිතියස්, ගින්න සහ පළමු මන්ත්‍රය

“ඇපොලෝනි දනව්ව” කොටසේදී මාරයා සිය දියණියන් හමුවේ දුර ඈත අතීතයේ සිදු වූ පුවතක් දිගහරියි . ඒ ප්‍රොමිතියස්ගේ කතාවයි. එහෙත් අප දන්නා පුරාණෝක්තියට කවියා මෙහිදී තවත් අර්ථයක් එක් කරයි. මාරයා ප්‍රොමිතියස්ගේ සිත අරක් ගනියි . ඔහු එසේ කරන්නේ බලහත්කාරයෙන් නොවේ. ප්‍රොමිතියස්ගේ සිත තුළට වැදී එහි පදිංචි වීමෙනි.

ඉන්පසු ප්‍රොමිතියස් මිනිසාට “මහඟු ධාතුවක්” පිරිනමයි. ඒ ගින්නයි . කතුවරයා හීසියඩ්ගේ පාඨයක් ද ගෙනහැර දක්වමින් එය අග්නි ධාතුව ලෙස හඳුන්වයි .

එහෙත් මෙහිදී මිනිසාට ගින්න ලැබීම හුදෙක් තවත් පහසුකමක් අත්පත් කරගැනීමක් නොවේ. කාව්‍යය කියන පරිදි, ඊට පෙර පැරණි මනුලොව තුසිතයක් බඳු අලස සුවයක ගිලී සිටියේය . ගින්න ලැබුණු දා පටන් මිනිසා තවදුරටත් ඒ අලස සැපයෙහි ලැග සිටියේ නැත .

මෙතැන මට පෙනෙන්නේ සියුම් පෙරළියකි. මාරයා මිනිසාට ලබා දෙන්නේ සතුටින් නිශ්චලව සිටීමට තවත් හේතුවක් නොවේ. ඔහු මිනිසා නිශ්චලතාවයෙන් මුදා ක්‍රියාවට පොලඹවයි. ගින්නත් සමඟ මිනිසාගේ ජීවිතයට ඇතුළු වන්නේ පහසුව පමණක් නොව, තව තවත් යමක් කිරීමේ අවශ්‍යතාව ද වේ. එබැවින් මාරයාගේ පළමු දීමනාව මිනිසා “සතුට” වෙත නොව “ක්‍රියාව” වෙත තල්ලු කරන දීමනාවක් ලෙස කියවිය හැකිය.

එහෙත් ගින්නෙන් පමණක් මාරයාගේ අරමුණ ඉටු නොවේ. ඔහු සොයන්නේ ඊටත් එහා ගිය බලයකි. අකුණෙහි සැඟවුණු බලය වීණා තතකට ගෙනැවිත් එයට ජීවය දිය හැක්කේ කෙසේද? ඒ සඳහා අවශ්‍ය මන්ත්‍රය ඔවුන් සොයාගන්නේ කොතැනින්ද? මාරයාගේ ප්‍රශ්නය එයයි .

ඊට පිළිතුරක් සේ කොටස අවසන් වන්නේ එක් වචනයක් තෙවරක් නැඟෙන හඬකිනි.

“පිරිමදිනු!”

“පිරිමදිනු!”

“පිරිමදිනු!”

මා කියවීමට අනුව, මේ අණෙහි ඇත්තේ හුදෙක් යමක් අතින් පිරිමැදීමේ භෞතික ක්‍රියාව පිළිබඳ අදහස පමණක් නොවේ. එහි හඬ මට ඇසෙන්නේ ආවේගයෙන් කැකෑරෙන ප්‍රේමවන්තයන් අතර හුවමාරු වන කාමුක බසක් මෙනි. ස්පර්ශයත්, ආශාවත්, ඒ ආශාවෙන් උපදින උණුසුමත් එකම වචනයක ගැබ්ව ඇති සෙයකි.

මෙය කාව්‍යයට පිටතින් එක් කරන අහඹු සම්බන්ධයක් ද නොවේ. නව වීණාව “ආවේග අග්නියෙන්” ඔද වැඩෙන බව කාව්‍යය ම කියයි. මාරයා සිය දියණියන්ට “ආවේග ගර්භය” දෙස බලන්නැයි ද පවසයි . එසේ නම් මෙහි ආවේගය (passion) යනු මිනිස් සිතෙහි ඇතිවන හැඟීමක් පමණක් නොව, මාරයා නිර්මාණය කිරීමට සැරසෙන වීණාවට බලය සපයන මූලාශ්‍රයක් ද වෙයි.

ඒ අනුව “පිරිමැදීම” යන වදන තුළ අරුත් දෙකක් එකිනෙක හමුවෙයි. එකක් ස්පර්ශයේ කාමුක අරුතයි. අනෙක පදාර්ථයක් මත සිදු කරන භෞතික ක්‍රියාවයි. කවියා මේ දෙක එකිනෙකට ළං කරන්නේ, ආශාවේ භාෂාවත් භෞතික ලෝකයේ ක්‍රියාවත් එකම තැනකට කැඳවමිනි.

මේ කොටසේ ම, පි. 29 හි, මාරයා අපේක්ෂා කරන නව වීණාව පිළිබඳ අපූරු චිත්‍රයක් ඇඳෙයි. එය ජීව ධාරා ඇඟිලි තුඩුවලට ගෙන එන, ආකාශ ධාතුව සොලවන, හඳ බිඹුව දෙපළු කරන, මහ පොළොව පවා කම්පනය කළ හැකි වීණාවකි. එහි තත් “සෝර” ය; එනම් ඝෝර, භයංකර තත් ය. වඩ වඩාත් රළු වන මිනිස් ඉන්ද්‍රියයන් රසයෙන් මත් කිරීමට හෙට ලෝකයට අවශ්‍ය වන්නේ එවැනි වීණාවකි.

මෙය මට පෙනෙන්නේ කාව්‍යය තුළ කල්තියා මවා පෙන්වන අනාගත දර්ශනයක් ලෙස ය. ප්‍රොමිතියස්ගේ ගින්නෙන් ඇරඹුණු ගමන තවමත් එහි අවසානයට පැමිණ නැත. එහෙත් මාරයා සිතෙහි මවාගෙන සිටින වීණාවේ හඬ අපට දැනටමත් ඇසෙන්නට පටන් ගෙන තිබේ.

ඒ පුරෝකථනය හෙවි මෙටල් වේදිකාවකදී සැබෑ වන අයුරු 4.7 හි දැක්වේ.

තේලිස් සහ ඇම්බර්

“මයිලීටස්” කොටස ඇරඹෙන්නේ ඉතා සරල දර්ශනයකිනි. ගුරුවරයෙක් ඇම්බර් කැබැල්ලක් ගෙන රෙදි කැබැල්ලකින් පිරිමදියි. බැලූ බැල්මට එහි අමුත්තක් නැත. එහෙත් ඒ සුළු ක්‍රියාවෙන් මෙතෙක් නොදුටු දෙයක් සිදුවෙයි. ඇම්බර් කැබැල්ලට කුඩා අංශු ආකර්ෂණය වන්නට පටන් ගනී. කොටසේ මුල් පිටුවෙහි උපුටා ඇති තේලිස්ගේ පාඨයෙන් ද කියැවෙන්නේ ඇම්බර් රෙදි කැබැල්ලකින් පිරිමැදූ විට එයට ආකර්ෂණ බලයක් ලැබෙන බවයි .

පෙර කොටස අවසානයේ මාරයාගේ මුවින් නැඟුණු පිරිමදිනු! යන අණ මෙහිදී අපේ ඇස් ඉදිරියේ ක්‍රියාවක් බවට පත්වෙයි. එදා ආවේගයත් ස්පර්ශයත් එකට කැඳවූ වචනය, දැන් පදාර්ථ දෙකක් අතර සිදුවන භෞතික ක්‍රියාවකින් අලුත් අරුතක් ලබයි.

එහෙත් මේ ගුරුවරයාගේ අවධානය ඇම්බර් කැබැල්ලෙන් පමණක් නතර නොවේ. ඔහු සිය ශිෂ්‍යයන්ට කියා දෙන්නේ ලෝකය සෑදී ඇත්තේ ධාතූන්ගෙන් බවත්, මූල ධාතු හතරට අමතරව අවකාශය නම් මහා ධාතුවක් ද පවතින බවත් ය .

ඇම්බර් කැබැල්ලට කුඩා අංශු ඇලෙන අයුරු දකින ඔහුට එය සාමාන්‍ය සිදුවීමක් ලෙස නොපෙනෙයි. ඔහු එය “පෙර නොවූ මහා පුදුම ධාතුවක්” ලෙස හඳුන්වයි. ඉන්පසු ඔහු අසන්නේ අපූරු ප්‍රශ්නයකි. මේ අලුත් ධාතුව අරක් ගෙන සිටින්නේ කවුරුන්ද?

මෙහිදී නැවතත් අපට හමුවන්නේ කාව්‍යයේ මුල සිට පැමිණෙන “අරක් ගැනීම” පිළිබඳ අදහසයි. ප්‍රොමිතියස්ගේ සිත අරක් ගත් මාරයා දැන් අපට සිහිපත් වන්නේ ඇම්බර් කැබැල්ලෙහි හටගත් අද්භූත බලය හමුවේ ය.

ඇරිස්ටෝටල්ගේ පාඨයෙන් ගත් උපුටා දැක්වීමට අනුව, දෙවියන් ලෝකයේ ඕනෑම දෙයක සිටිය හැකි යැයි තේලිස් සිතීය . එසේ නම් ඇම්බර් කැබැල්ලෙහි හටගත් මේ අලුත් බලය තුළ ද කිසියම් දෙවියෙකු සිටිය හැකිද? ගුරුවරයාගේ ප්‍රශ්නය කාව්‍යය තුළ තවත් අර්ථයක් ලබන්නේ එතැනිනි.

මා කියවීමට අනුව, මෙහි වැදගත් වන්නේ විදුලිය පිළිබඳ පැරණි නිරීක්ෂණය පමණක් නොවේ. මිනිසා ස්වභාවධර්මයේ අලුත් බලයක් හඳුනාගන්නා මොහොතේම, ඒ බලය තුළ සැඟවී සිටින්නේ කවුරුන්දැයි විමසීමයි.

ඒ ප්‍රශ්නයට මෙතැනදී පිළිතුරක් නොලැබෙයි. එහෙත් එය කාව්‍යයෙන් අතුරුදන් වන්නේ ද නැත. නව ධාතුවක වාසය කරන්නේ කවුරුන්ද යන ප්‍රශ්නය, වෙනත් ස්වරූපයකින්, අවසාන පිටු වෙත ළඟාවන විට නැවතත් අප හමුවට පැමිණෙයි (7 වන කොටස).

කෝනි දූපත: ටොප්සි සහ ප්‍රේක්ෂකයාගේ ඇස

ඇම්බර් කැබැල්ලක් පිරිමැදීමෙන් හටගත් කුඩා ආකර්ෂණ බලය ගැන විස්මයෙන් බලා සිටි අප, ඊළඟට පැමිණෙන්නේ ඊට හාත්පසින් වෙනස් දර්ශනයක් වෙත ය.

කාලය 1903 ජනවාරියයි. ස්ථානය නිව්යෝර්ක්හි කෝනි දූපතේ ලූනා පාර්ක් උද්‍යානයයි. එහි ටොප්සි නම් ඇතින්නක මරා දැමීමට සූදානම් වෙයි. කාව්‍යයේ පි. 52 හි උපුටා ඇති පුවත්පත් වාර්තාවට අනුව, මිනිස් ඝාතන තුනකට වගකිව යුතු ඇතින්නක ලෙස සැලකුණු ඇය විෂ සහ විදුලිය යොදා මරා දැමීමට තීරණය කර තිබිණි. පි. 55 හි දැක්වෙන තවත් වාර්තාවකින් කියැවෙන්නේ ඇගේ සිරුරට වෝල්ට් හයදහස් හයසියයක විදුලියක් ලබා දුන් බවත්, එඩිසන් සමාගමේ කැමරා ක්‍රියාකරුවන් ඒ මොහොත රූගත කළ බවත් ය.

එහෙත් කාව්‍යය මේ සිද්ධිය ඉදිරිපත් කරන්නේ පුවත්පත් වාර්තාවක සීමාව තුළ පමණක් නොවේ.

ටොප්සි මරණයට පත්වන මොහොතේ තණ්හාවගේ දෑසෙහි කඳුළු ඇති බව මාරයා දකියි. එවිට ඔහු ඇය සනසන්නේ “ඇගේ ප්‍රාණය විජ්ජුවට එක් වුණා, එච්චරයි” යනුවෙනි .

මේ වචනවල ඇති සැහැල්ලුව මට දැනෙන්නේ ටොප්සිගේ මරණයේ බරට හාත්පසින් වෙනස් වූවක් ලෙස ය. ඇතින්නකගේ ජීවිතය අවසන් වී ඇත. එහෙත් මාරයාට එය විදුලියට එක් වූ තවත් ප්‍රාණයක් පමණි.

තණ්හාව සැනසීමට තුසිතයෙන් සුදු ඇතින්නක ගෙනැවිත් දිය හැකි බවත්, එසේ නැතහොත් පරනිම්මිතයෙන් ම මාරයාගේ ගිරිමේඛලා ඇතා ලබාගත හැකි බවත් මෙහිදී ඉඟි කෙරෙයි .

මේ රූපක පෙළගැස්ම ද මට සිත්ගන්නාසුලු ය. බෝධිසත්වයා තුසිතයෙන් සුදු ඇතෙකුගේ රූපයෙන් පහළ වීම පිළිබඳ බෞද්ධ සම්ප්‍රදායේ කතාවත්, මාරයාගේ යුද්ධ ඇතා වන ගිරිමේඛලාත්, මරණයට පත් වූ ටොප්සිත් මෙහිදී එකම ආඛ්‍යානයක හමුවෙති. මා කියවීමට අනුව, කතුවරයා මේ රූප එකිනෙකට ළං කරන්නේ ටොප්සිගේ මරණයට තවත් සංකේතාත්මක අර්ථ ස්ථර කිහිපයක් එක් කරමිනි.

එහෙත් මේ කාව්‍යමය දර්ශනයට පිටුපසින් ඇති සැබෑ ඉතිහාසය ද අප අමතක නොකළ යුතුය.

1902 දෙසැම්බරයේදී ලූනා පාර්ක්හි ප්‍රචාරක නියෝජිතයා ටොප්සි මරා දැමීමට නියමිත බව පුවත්පත්වලට දැනුම් දී තිබිණි. ඒ සඳහා තාවකාලිකව ඉදිකළ එල්ලුම් ගසෙහි හතර පැත්තේම උද්‍යානය විවෘත කිරීම ප්‍රචාරය කරන බැනර් එල්ලා තිබූ බව වාර්තා වෙයි.6

මුලින් සැලසුම් කර තිබුණේ ඇය එල්ලා මරා දැමීමට ය. එහෙත් සත්ව හිංසා වැළැක්වීමේ සංගමය (SPCA) ඊට විරුද්ධ වූ බැවින්, අවසානයේ විදුලිය යොදාගැනීමට තීරණය කළ බව වාර්තා වේ.7

ටොප්සිට විෂ සහිත කැරට් ලබා දී, විදුලිය යොදා, ගෙල වටා ලණු ද තද කළ බව වාර්තා වෙයි. ඇගේ මරණයට හේතු වූයේ විදුලියයි. එඩිසන් සමාගමේ කණ්ඩායමක් මේ සිද්ධිය රූගත කළේය. “Electrocuting an Elephant” නමින් හැඳින්වුණු එම චිත්‍රපටය 1903 ජනවාරි 17 වැනිදා නිකුත් විය. මරණයක් චිත්‍රපටයක සටහන් වූ පළමු අවස්ථාව එය බව ද විශ්වාස කෙරේ.8

මෙහිදී ඓතිහාසික වශයෙන් වැදගත් වෙනසක් පැහැදිලි කරගත යුතුය. ටොප්සිගේ මරණයට එඩිසන් පෞද්ගලිකව වගකිව යුතු බවට පැතිර ඇති ජනප්‍රිය කතාව නිවැරදි නොවේ. එඩිසන් ලූනා පාර්ක් වෙත ගොස් නොතිබූ අතර, මේ සිද්ධිය සිදුවන්නේ විදුලි ධාරා යුද්ධය අවසන් වී දශකයකට පමණ පසුව ය.9

එසේ වුවද, කාව්‍යය තුළ එඩිසන්ගේ රූපය ඉටු කරන්නේ තනි පුද්ගලයකුගේ භූමිකාවට වඩා පුළුල් කාර්යයකි. ඔහුගේ නාමය වටා කතුවරයා සමස්ත සමාගමික හා මාධ්‍ය ව්‍යාපාරයක රූපය එක්රැස් කරන බව මට පෙනේ.

මෙහිදී මා වඩාත් අවධානය යොමු කරන්නේ ටොප්සිගේ මරණය සිදු වූ ආකාරයට පමණක් නොව, එය මහජනයා ඉදිරියේ තැබූ ආකාරයට ය.

සත්ව හිංසාවක් ප්‍රචාරණයට යොදාගැනෙයි. ඒ ප්‍රචාරණය ප්‍රේක්ෂකයාගේ ඇස දිනාගැනීමට උත්සාහ කරයි. අනතුරුව ප්‍රේක්ෂකයා ඉදිරියේ සිදුවන මරණය කැමරාවකට හසු වී, නැවත නැවත නැරඹිය හැකි සිනමා රූපයක් බවට පත්වෙයි.

මෙය මට පෙනෙන්නේ කාව්‍යයේ තවත් තීරණාත්මක හැරවුමක් ලෙස ය. ඇම්බර් කැබැල්ලෙහි ආකර්ෂණ බලය දැක මිනිසා විස්මයට පත් වූයේ ස්වභාවධර්මයේ මෙතෙක් නොදැන සිටි හැකියාවක් හමුවේ ය. එහෙත් දැන් විදුලිය යොදාගන්නේ ඒ විස්මය තවත් ආකාරයකට නිර්මාණය කිරීමට ය. මෙවර ප්‍රේක්ෂකයාගේ ඇස ඉදිරියේ ඇත්තේ අලුත් සොයාගැනීමක් නොව, ජීවිතයක් අවසන් වන දර්ශනයකි.

ඒ දර්ශනය ද මහජනයාගේ අවධානය දිනාගත හැකි දෙයක් බවට පත් වී ඇත.

මා කියවීමට අනුව, මෙතැනදී කාව්‍යය අපට පෙන්වන්නේ ප්‍රමෝදය ජනතාවට අලෙවි කළ හැකි ආකාරයයි. මාරයා සොයන රසය දැන් හුදෙක් මිනිසාගේ අභ්‍යන්තර ආශාවක් නොව, ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කළ හැකි වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වෙයි.

ඉන්පසු අපට හමුවන ගිටාරයත්, සංගීත වේදිකාවත්, මේ ක්‍රියාවලියෙන් මුළුමනින්ම වෙන් වූ දේවල් නොවේ. ඒවා ද, වෙනත් ස්වරූපයකින්, ප්‍රේක්ෂකයාගේ ඉන්ද්‍රියයන් වෙත ළඟා වීමේ මේ ගමනෙහි ම දිගුවක් ලෙස කියවිය හැකිය.

එඩිසන්: බාලාංශය සහ ගමට විදුලිය

“බාලාංශය” යනු දරුවන් සිය අධ්‍යාපනයේ මුල් පියවර තබන තැනයි. එහෙත් මෙහිදී අපට හමුවන එඩිසන් බඳු දරුවාගේ පාසල් ජීවිතය එතරම් සතුටුදායක එකක් නොවේ. ගුරුතුමා ඔහු “කිසි කමකට නැති එකෙක්” යැයි හඳුන්වයි. ඉන්පසු ඔහු පාසලට යාම නතර කරයි .

එහෙත් පාසලෙන් නික්ම යන මේ දරුවාගේ කුතුහලය එතැනින් අවසන් වන්නේ නැත. ඔහු දුම්රියක රසකැවිලි හා පුවත්පත් විකුණමින් ජීවිකාව සොයාගනී. ඒ අතරම දුම්රියේ බඩු මැදිරියක කුඩා විද්‍යාගාරයක් ද පවත්වාගෙන යයි. අවසානයේ එහි ඇතිවන ගින්නකින් ඒ පුංචි විද්‍යාගාරයේ කටයුතු නිමාවට පත්වෙයි .

මෙහිදී මගේ අවධානයට ලක්වන කුඩා විස්තරයක් තිබේ. පසු කලෙක විදුලියෙන් ලෝකය වෙනස් කරන මිනිසා, සිය ජීවිතයේ මුල් අවධියේ වෙළෙඳාම් කරන්නේ රසකැවිලි ය. එනම් රසයයි.

මෙය අහඹු විස්තරයක් විය හැකිය. එහෙත් කාව්‍යයේ මුල සිටම මාරයා මිනිසා වෙත ළඟාවන මඟ ලෙස රසය හඳුන්වා දී ඇති බව සිහිපත් වන විට, මේ රසකැවිලි වෙළෙඳාම ද මට තවත් අරුතක් ගෙන දෙයි. ලෝකය වෙනස් කරන්නට යන දරුවාගේ මුල්ම වෙළෙඳ භාණ්ඩයත් රසය වීම, කතුවරයාගේ ආඛ්‍යානය තුළ ඇති සියුම් ඉඟියක් ලෙස කියවීමට මම කැමැත්තෙමි.

කතාව ඉන්පසු මෙන්ලෝ උයන වෙත ගමන් කරයි. එහිදී අපට නැවත හමුවන්නේ ජීවය පිළිබඳ පැරණි ප්‍රශ්නයකි.

තේලිස් ඇම්බර් කැබැල්ල ජීවයක් ඇති දෙයක් ලෙස හඳුන්වා තිබිණි. පුරාණ ජනයා වලාකුළ පිළිබඳව ද එසේ සිතූහ. එසේ නම් ජීවයක් නැති රැහැනකට ජීවය ලබා දෙන්නේ කෙසේද? මියගිය රැහැනක් තුළ ඒ ජීවය යළි මවාගත හැක්කේ කෙසේද?

කාව්‍යය කියන්නේ එඩිසන් ඒ රැහැනට ප්‍රාණය පිම්බූ බවයි. එවිට, එය දරාගත නොහැකි වූ මොහොතක මෙන්, ක්ෂණයකින් විදුලි ධාරාව රැහැන ඔස්සේ ගලා යයි .

මේ රූපකය මට විශේෂයෙන් සිත්ගන්නාසුලු ය. තේලිස්ගේ ඇම්බර් කැබැල්ලෙහි සැඟවී සිටින ජීවය කුමක්දැයි විමසූ අප, දැන් මිනිසාගේ අතින් නිර්මාණය වන රැහැනකට ප්‍රාණය පිඹින අයුරු දකිමු. මෙහිදී විදුලිය හුදෙක් සොයාගන්නා ලද බලයක් ලෙස නොව, මිනිසා විසින් තම අවශ්‍යතා සඳහා මෙහෙයවන බලයක් ලෙස ද අප ඉදිරියට පැමිණෙයි.

ඒ බලය අවසානයේ කුඩා පාසලකටත්, ගම්මානයකටත් ළඟා වෙයි.

එහෙත් විදුලිය පැමිණීමත් සමඟ කාව්‍යය තුළ තාක්ෂණය වෙනුවෙන් නැඟෙන තවත් හඬක් අපට ඇසෙයි. තාක්ෂණයේ අරමුණ මිනිසාට සැපපහසු ලෝකයක් බිහි කිරීමයි. රෝගයෙන්, සාගින්නෙන් හා අකල් මරණයෙන් ඔහු මුදාගැනීමයි. එය මිනිසාගේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන පොරොන්දුවකි.

එහෙත් ඒ සමඟම කියැවෙන තවත් අදහසක් මගේ අවධානය වඩාත් ඇදගනී. දිනෙන් දින දියුණු වන ලෝකයේ මිනිසා ලබන ආස්වාදය ද වෙනස් වෙයි. එහෙත් ඒ වෙනස්වීම තාක්ෂණයේ අතුරු ඵලයක් පමණක් බව කියැවේ. එසේ කියමින් අලුත් ලෝකය මේ කුඩා පාසලටත්, කුඩා ගම්මානයටත් පැමිණීමට සැරසෙයි .

මෙහි ඇති උත්ප්‍රාසය මට පෙනෙන්නේ ඒ “අතුරු ඵලය” යන වචනය තුළ ය.

තාක්ෂණයේ අරමුණ මිනිසාගේ ජීවිතය පහසු කිරීම නම්, ආස්වාදයේ වෙනස්වීම එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස සැලකීම පහසුය. එහෙත් කාව්‍යයේ ආරම්භයේ සිට මාරයාගේ අරමුණ දෙස බලන අපට පෙනෙන්නේ වෙනත් දෙයකි. මිනිසාගේ ආස්වාදය වෙනස් කිරීම, ඔහුගේ ඉන්ද්‍රියයන් තව තවත් රසයට හුරු කිරීම, මාරයාගේ සැලැස්මේ ප්‍රධාන අරමුණයි.

එසේ නම් මිනිසාගේ ප්‍රගතියේ අතුරු ඵලයක් ලෙස පෙනෙන දෙයම, මාරයාගේ සැලැස්මේ ප්‍රධාන ඵලය බවට පත්වෙයි.

මේ අදහස ඔස්සේ කාව්‍යය තවත් පියවරක් ඉදිරියට යයි. විදුලියෙන් ආලෝකවත් වන ලෝකයට ඉන්ද්‍රජාලික රූප ද එක් වෙයි. සිනමාවත්, ඉන්පසු ගිටාරයත්, මිනිසාගේ ඉන්ද්‍රියයන් වෙත ළඟාවන අලුත් මාර්ග බවට පත්වෙයි .

එසේ බලන විට, කුඩා බාලාංශයකින් ඇරඹුණු මේ ගමන අවසන් වන්නේ එහි දරුවන්ට විදුලි ආලෝකය ලබාදීමෙන් පමණක් නොවේ. ඒ සමඟම ඔවුන් ඉදිරියේ විවෘත වන්නේ වෙනස් ආකාරයකින් රස විඳින, වෙනස් ආකාරයකින් ආශා කරන අලුත් ලෝකයකි.

ලෙනන් සහ බීට්ල්ස්

“ඩැකෝටා මහල්” කොටසට පැමිණෙන විට, මාරයා මෙතෙක් සොයමින් සිටි නව වීණාවේ හඬ අපට ඇසෙන්නට පටන් ගනී. පංචසිඛයාගේ බෙලුවපණ්ඩු වීණාව වෙනුවට දැන් ඇත්තේ විදුලියෙන් පණ ලැබූ ගිටාරයකි.

ජෝන් ලෙනන් ඒ ගිටාරයේ තත් මත ඇඟිලි මෙහෙයවයි. රැහැන් දිගේ ගලා එන විදුලිය ගිටාරය තුළ පිරී පුපුරා යන්නාක් මෙනි. එයින් නැඟෙන හඬ ඔහු යාමය, සුයාමය, තාවතිංසය හා නිර්මාණරතිය පසුකර පරනිම්මිතය දක්වා ඔසවාගෙන යයි .

කවියා ලෙනන්ගේ හඬට පණ දෙන්නේ මෙසේ ය.

ලෙනන් මි.
කුරුමිණි වැ ආමි.
බැලු බැලු අත බොහෝ ජනා
“වයත් -වයත්” කියා ලූයෙන්,
වැයීමි.

මේ කෙටි පද්‍යයේ “කුරුමිණි වැ ආමි” යන යෙදුමෙන් බීට්ල්ස් නාමය සිංහල කාව්‍ය භාෂාව තුළ අපූරුවට ප්‍රතිනිර්මාණය වෙයි. එසේම, “වයත් -වයත්” යන ඉල්ලීමෙන් ලෙනන්ගේ සංගීතය ඔහුගේ පෞද්ගලික ආස්වාදය ඉක්මවා, ප්‍රේක්ෂකයන්ගේ නොනවතින ඉල්ලීමකට ප්‍රතිචාරයක් බවට පත්වන අයුරු ද හැඟෙයි.

ජෝන් ලෙනන් ඒ ගිටාරයේ තත් මත ඇඟිලි මෙහෙයවයි. රැහැන් දිගේ ගලා එන විදුලිය ගිටාරය තුළ පිරී පුපුරා යන්නාක් මෙනි. එයින් නැඟෙන හඬ ඔහු යාමය, සුයාමය, තාවතිංසය හා නිර්මාණරතිය පසුකර පරනිම්මිතය දක්වා ඔසවාගෙන යයි .

මට ඔටුනු පැලැන්දූ මිනිසුනි
දනිත් ද තොප
මාත් තොපගෙන් කෙනෙකි!

එසේ වුව
රැහැන් ඔස්සේ
ගලා
විදුලිය
පිරී මා ගිටාරය
පුපුරා හැලෙන්නට ළං වත් දී
තබා ඇඟිලි එහි තත් මත
කම්පනය කරත් හා
නඟින්නෙමි
ආකාශයට
යාමයට - සුයාමයට
තාවතිංසයට
නිර්මාණ - රතියෙන්
පරනිම්මිතයට.

කාව්‍යයේ ආරම්භයේදී මාරයා සිහින මැවූ නව වීණාව දැන් සැබෑවක් වී ඇති සෙයකි. ඇඟිලි තුඩින් පමණක් හඬ නැඟූ පැරණි වීණාවේ සීමාව ඉක්මවා ගිය විදුලි ගිටාරය, මිනිසාගේ ඉන්ද්‍රියයන් පමණක් නොව ඔහුගේ පරිකල්පනය ද දිව්‍යලෝක අතරින් රැගෙන යන්නට සමත් වෙයි.

එහෙත් මේ අහස් ගමන අතරතුර ලෙනන්ට ඇසෙන්නේ අමුතුම ප්‍රශ්නයකි.

“මම කවුද?”

මත් ධූමයෙන් වෙළුණු අර්ධ නින්දක පසුවන ඔහුට ඒ ප්‍රශ්නය නැඟෙයි. හැරිසන්, පෝල් සහ රින්ගෝ ද ඔහු සමඟ සිටිති . සංගීතයෙන් ලෝකය ජයගත් මිනිසා, ඒ ජයග්‍රහණයේ උච්චතම අවස්ථාවකදීත් තමන් කවුදැයි නොදන්නා බවක් මෙයින් හැඟෙයි. බාහිර ලෝකය පුරා පැතිර ගිය ඔහුගේ හඬට, තමා තුළින් නැඟෙන ඒ ප්‍රශ්නය යටපත් කළ නොහැකි වී ඇත.

මේ අතර රූපවාහිනියෙන් තවත් හඬක් ඇසෙයි. “අපි ක්‍රිස්තුස්ට වඩා ජනප්‍රියයි” යන ප්‍රකාශය එයින් ප්‍රචාරය වෙයි .

සංගීතය දැන් විනෝදාස්වාදයේ සීමාව ඉක්මවා ගොස් ඇත. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ආශාවන් හා හැඟීම් එකම තැනකට එක්රැස් කරන බලයක් එයට ලැබී තිබේ. එවැනි ජනප්‍රියත්වයක් ආගමික අධිකාරිය සමඟ සසඳන විට, සංගීතඥයා සහ ආගමික ප්‍රතිරූපය අතර තිබූ පරතරය ද ප්‍රශ්නයට ලක් වෙයි.

එහෙත් මේ සියලු බලයන්ට ඉහළින් කාව්‍යය තවත් සත්‍යයක් සිහිපත් කරයි. සියල්ල අනිත්‍ය ය. විදුලි සංගීතයත්, ධර්මයත් යම් දිනෙක නැසී යා යුතු බව එහි කියැවෙයි .

කිපුණෝය මා බසින් එහෙත් උහු‍.

කීමි මම උන්ට යළි:

“නැසී යයි සියල්ල.
පළමු කොට නැසෙන්නේ
ධර්මය ද විදුලි සංගීතය ද නො දනිමි.

කෙසේ වුව
ධර්මය ද -විදුලි සංගීතය ද
කෙදින හෝ මේ දෙක ම නැසී ය යුතුම ය.”

— පිටුව 78

මෙය කාව්‍යයේ සිත්ගන්නාසුලු දාර්ශනික හැරවුමකි. සංගීතයේ ජනප්‍රිය බලයත් ධර්මයේ අධිකාරියත් එකම අනිත්‍යතාව හමුවේ තබනු ලැබේ. මිනිසා විසින් ගොඩනඟන ලද කිසිදු ප්‍රතිරූපයකට, එය කොතරම් උසස් තැනකට ඔසවා තැබුවත්, කාලයේ ගමනින් ගැලවිය නොහැකි බවක් මෙයින් හැඟෙයි.

ඒ පසුබිම තුළ ඍෂිකේශයේ ආශ්‍රමය වෙත යන ලෙනන්ගේ ගමන තවත් අරුතක් ලබයි.

මහර්ෂි සමඟ ඔහුගේ සංවාදයත්, අවසානයේ ආශ්‍රමයෙන් නික්ම යාමත් කාව්‍යයේ විස්තර වෙයි . එහෙත් ලෙනන් එතැනින් පිටව යාමට හේතු වූයේ සංගීතය සහ ආධ්‍යාත්මිකත්වය අතර ඇති වූ දාර්ශනික මතභේදයක් පමණක් නොවේ. පි. 82 හි උපුටා දක්වා ඇති ඔහුගේම ප්‍රකාශය ඒ සිදුවීමට වෙනත් පැත්තකින් ආලෝකයක් සපයයි.

මහරිෂිගේ ගෑනු පලහිලව් ගැන අහන්ඩ ලැබුණම අපි කෙලින්ම ගියා එයාගෙ කුටියට." අපි යනවා යන්ඩ!" මම කිවුවා. මහරිෂි ඇහුවා ඇයි ඒ කියලා.

— ජෝන් ලෙනන්, පිටුව 82

මෙහිදී මතුවන උත්ප්‍රාසය අපූරු ය. ලෝකය පුරා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ඉන්ද්‍රිය ආස්වාදයෙන් මත් කළ සංගීතඥයා, ඒ ආස්වාදයෙන් ඔබ්බට යමක් සොයා ආශ්‍රමයකට පැමිණෙයි. එහෙත් ඔහු එතැනින් පිටව යන්නේ, ඉන්ද්‍රිය සංවරය උගන්වන ගුරුවරයාගේම ඉන්ද්‍රිය ආශාවන් පිළිබඳ ඇසුණු චෝදනා හේතුවෙනි.

ඒ චෝදනාවල සත්‍යාසත්‍යතාව පිළිබඳ තීන්දුවක් දීමට මෙහිදී මට අවශ්‍ය නැත. වැදගත් වන්නේ ලෙනන්ගේ තීරණය ඔහු විසින්ම පැහැදිලි කරන ආකාරයයි. තමන් සොයා පැමිණි ආධ්‍යාත්මික මඟපෙන්වීමත්, එය ලබාදෙන පුද්ගලයා පිළිබඳ තමන් තුළ ඇති වූ කලකිරීමත් අතර ඔහු සිරවී සිටි බවක් එයින් හැඟෙයි.

එක් අතකින් මිනිස් ඉන්ද්‍රියයන්ට ආස්වාදය පිරිනමන සංගීතයයි. අනෙක් අතකින් ඉන්ද්‍රිය සංවරය වෙත මිනිසා කැඳවන ධර්මයයි. එහෙත් ලෙනන්ගේ ආශ්‍රම අත්දැකීම තුළ මේ දෙක පැහැදිලිව වෙන් වූ ලෝක දෙකක් ලෙස නොපවතී. ආස්වාදය පිළිබඳ ප්‍රශ්නය ආශ්‍රමයේ දොරටුවෙන් පිටත නතර වී නැත. එය ආශ්‍රමය තුළද ඔහු හමුවට පැමිණ තිබේ.

කාව්‍යයේ මුල සිටම මාරයා මිනිසා වෙත ළඟා වන්නේ ආශාව හා ඉන්ද්‍රිය ආස්වාදය ඔස්සේ බව අපි දුටුවෙමු. එසේ නම් මාරයාගේ බලපෑමෙන් මිදීමට සොයා යන තැනකදී පවා ඒ ආශාවම වෙනත් මුහුණුවරකින් හමුවීම, මේ කාව්‍යයේ තවත් සියුම් උත්ප්‍රාසයක් නොවේද?

ලෙනන්ගේ ආශ්‍රමයෙන් නික්ම යාම මා කියවන්නේ ඒ ප්‍රශ්නය ද සමඟ ය.

සංගීතය තුළින් ඔහු සොයන්නේ කුමක්ද? ආශ්‍රමය තුළින් සොයන්නේ කුමක්ද? ඒ දෙතැනම ඇත්තේ එකම සෙවීමක වෙනස් මුහුණුවර දෙකක් විය නොහැකිද?

ආස්වාදය සොයා යන මිනිසාම, ඒ ආස්වාදයෙන් ඔබ්බට යමක් සොයන්නට ද පෙලඹෙයි. ලෙනන්ගේ ජීවිතය තුළ මතුවන මේ පරස්පරය, කාව්‍යයේ මුල සිට පැමිණෙන රසය සහ ආශාව පිළිබඳ අදහසට තවත් ගැඹුරක් එක් කරයි.

එහෙත් මේ ගමන අවසන් වන්නේ සංගීතයෙන් හෝ ආධ්‍යාත්මික අවබෝධයකින් නොවේ. ලෙනන්ගේ මරණයෙනි.

පි. 90 හි උපුටා ඇති මාක් චැප්මන්ගේ ප්‍රකාශයට අනුව, උසස් තලයක වසන යක්ෂයන් ඔහු වෙත පැමිණ ජෝන් ලෙනන්ට වෙඩි තබන්නැයි අණ කර තිබිණි.

මෙහිදී කාව්‍යය මාරයා චැප්මන් හමුවට පැමිණ ලෙනන් මරා දමන්නැයි අණ කළ බව ප්‍රත්‍යක්ෂව පෙන්වන්නේ නැත. එසේ වූයේ යැයි කවියා කියන්නේ ද නැත. ඔහු අප ඉදිරියේ තබන්නේ යක්ෂයන් පිළිබඳ චැප්මන්ගේ ප්‍රකාශයත්, මාරයාගේ ශෝකයෙන් ඇරඹී මිනිස් ආශාවන් හා ඉන්ද්‍රියයන් ඔස්සේ මෙතෙක් දිගහැරුණු සිදුවීම් පෙළත් පමණි.

එහෙත් කාව්‍යමය සත්‍යය ගොඩනැඟෙන්නේ එතැනිනි. කවියා සියල්ල පැහැදිලි කර දෙන්නේ නැත. ලෙනන් ඝාතනය කිරීමට අණ දුන්නේ කවුරුන්දැයි තීන්දුවක් ද දෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු අපට පෙන්වන කරුණු අතර ඇති සම්බන්ධය සොයාගැනීමට අපටම ඉඩ හරියි. ඉතිහාසයේ සිදුවීමක් එහි වාර්තාගත කරුණුවලින් ඔබ්බට ගොස් කාව්‍යමය අරුතක් ලබන්නේ එසේ ය.

මට හැඟෙන්නේ මෙහිදී කවියා නොකියා ඉතිරි කරන දෙය, ඔහු කියන දෙය තරමටම වැදගත් බවයි.

මිනිසා රසයෙන් මත් කිරීම මාරයාගේ අරමුණ නම්, ඒ රසය ඔස්සේම මිනිසා විසින් ඉහළට ඔසවා තැබූ ප්‍රතිමාවක් යළි බිඳ දැමීම ද ඔහුගේ සැලැස්මේ කොටසක් විය නොහැකිද?

ඒ ප්‍රතිමාව බිඳ දැමීමට තවත් මිනිසෙකු පොලඹවා ගැනීම, මාරයාගේ පැරණි “අරක් ගැනීමේ” ක්‍රමයේම තවත් මුහුණුවරක් ලෙස කියවිය නොහැකිද?

මෙය කාව්‍යය සෘජුව ඉදිරිපත් කරන නිගමනයක් නොව, එහි සිදුවීම් අතර සම්බන්ධය සොයා යන විට මා තුළ මතුවන අර්ථකථනයකි.

ලෙනන්ගේ ගිටාරයෙන් නැඟුණු හඬ දිව්‍යලෝක දක්වා පැතිර ගියත්, අවසානයේ ඔහුගේ ජීවිතය නිහඬ වන්නේ තවත් මිනිසෙකුගේ අතින් ය. මාරයාගේ අතින් ගිලිහුණු වීණාවකින් ඇරඹුණු කාව්‍යය මෙතැනට පැමිණෙන විට, ඒ නිහඬතාව ද කිසියම් අරුතක් දරා සිටින බව මට හැඟෙයි.

නිර්මාණය සහ පරනිර්මිතය

“ලාස් වේගාස්” කොටසට පැමිණෙන විට කාව්‍යය අප රැගෙන යන්නේ තවත් අපූරු ලෝකයකට ය. මෙතෙක් මිනිසාගේ අතින් නිර්මාණය වූ උපකරණත්, ඒවායින් උපන් ආස්වාදයත් පසුපස හඹා ආ අපට, දැන් ඒ ආස්වාදය භුක්ති විඳින්නේ කවුරුන්ද යන ප්‍රශ්නය හමුවෙයි.

තුසිත දිව්‍යලෝකයේ දෙවිවරු නිර්මාණය කිරීමකින් තොරවම සතුටු වෙති. එහෙත් නිර්මාණරතියේ දෙවිවරු ඊට වඩා වෙනස් ය. ඔවුන් ලබන්නේ තමන් විසින් නිර්මාණය කරන ලද දෙයක රසයයි .

ඒ දෙලොවටත් ඉහළින් පරනිර්මිත ලෝකය පිහිටයි. එහි වැසියන් තමන් විසින් නිර්මාණය කරන ලද දේවලින් පමණක් සතුටු වන්නෝ නොවෙති. අනුන්ගේ නිර්මාණ හසුරුවමින්, ඒවායේ ඵලය භුක්ති විඳින්නෝ ය .

මෙහිදී කාව්‍යය උපුටා දක්වන මහාවස්තු පාඨය, අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසුණු දෙවියන්ගේ ලෝකයක් අප ඉදිරියේ මවයි. අප්සරාවන්ගෙන් පිරුණු මාරයාගේ මාලිගය ද ඒ අතර වෙයි .

එහෙත් මේ දිව්‍යලෝක වර්ණනාව තුළ සැඟවී ඇත්තේ අලංකාරය පිළිබඳ අදහසක් පමණක් නොවේ. නිර්මාණය සහ එහි ඵලය අතර ඇති සම්බන්ධය පිළිබඳ ප්‍රශ්නයක් ද එහි තිබේ.

කාව්‍යය කියන පරිදි, පරනිර්මිතයෙහි වසන “නිර්මාණ පීතෘවරු” වේදිකාවට බැස නොඑති. වේදිකාවට පිවිස නිර්මාණයේ ඵලය ලබන්නේ “පුත්‍රයා” ය .

මෙය මට පෙනෙන්නේ කාව්‍යයේ තවත් සියුම් රූපකයක් ලෙස ය. නිර්මාණයේ පියා අදෘශ්‍යව සිටියි. පුත්‍රයා ප්‍රේක්ෂකයන් ඉදිරියේ පෙනී සිටියි. ඔහු ගයයි, නටයි, රසය පිරිනමයි. එහෙත් ඒ සියල්ලට පිටුපසින් සිටින පියා වේදිකාවට නොපැමිණෙයි.

එසේ නම් වේදිකාව මත අප දකින්නේ කාගේ නිර්මාණයක් ද? එහි ඵලය සැබවින්ම භුක්ති විඳින්නේ කවුරුන් ද?

මේ ප්‍රශ්න මතු වන්නේ කාව්‍යය මෙතෙක් අපට පෙන්වූ උපකරණ දාමය සිහිපත් වන විට ය. ප්‍රොමිතියස්ගේ ගින්නත්, තේලිස්ගේ ඇම්බර් කැබැල්ලත්, එඩිසන්ගේ විදුලියත්, ලෙනන්ගේ ගිටාරයත් මිනිසාගේ ක්‍රියාකාරීත්වය සමඟ බැඳී තිබිණි. එහෙත් ඒ සියල්ලෙන් උපදින රසය පිටුපස මාරයාගේ අපේක්ෂාව ද පැවතිණි.

දැන් ඒ සම්බන්ධය පියා සහ පුත්‍රයා යන රූප දෙක තුළින් තවත් පැහැදිලි වෙයි. වේදිකාවේ පෙනී සිටින්නේ නිර්මාණයේ දෘශ්‍යමාන හිමිකරුවා වුවත්, එහි නොපෙනෙන බලය වෙනත් තැනක පැවතිය හැකිය.

ඉන්පසු දිගහැරෙන වේදිකා සංගීතයේ කතාව කියවීමට මේ රූපකය වැදගත් පසුබිමක් සපයයි.

නිර්මාණයේ පියා සහ පුත්‍රයා

පරනිර්මිත ලෝකයේ “නිර්මාණ පීතෘවරු” වේදිකාවට නොබසින බවත්, නිර්මාණයේ ඵලය ලබාගැනීමට වේදිකාවට පිවිසෙන්නේ “පුත්‍රයා” බවත් කාව්‍යය අපට කියයි .

පරිනිර්මිතයෙහි වසනා
නිර්මාණ පීතෘ
කරලියට නොබසියි.

පුත්‍රයා කරලියෙහි බබලවා
නිර්මාණයෙහි ඵලය ලැබගනී.

— පිටු 93–94

ඒ අදෘශ්‍ය පියා සහ දෘශ්‍ය පුත්‍රයා පිළිබඳ රූපකයත් සමඟ කාව්‍යය අප රැගෙන යන්නේ ජැක්සන් පවුලේ සංගීත ලෝකයට ය.

මයිකල් ජැක්සන්ගේ සංගීතය, නර්තනය සහ ලෝක ප්‍රසිද්ධිය පිළිබඳ අප දන්නා කතාවට පිටුපසින් තවත් කතාවක් තිබේ. ඒ ජැක්සන් දරුවන්ගේ සංගීත පුහුණුව, ඔවුන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අනාගතය කෙරෙහි පියා විසින් පවත්වාගෙන ගිය දැඩි පාලනය පිළිබඳ කතාවයි.

මෙහිදී පියා යනු දරුවන්ගේ සංගීත කුසලතා හඳුනාගෙන ඒවා වර්ධනය කිරීමට මඟපෙන්වූ පුද්ගලයා පමණක් නොවේ. ඔවුන්ගේ ජීවිත කාලසටහනත්, පුහුණුවත්, වේදිකාවේ පෙනී සිටීමත් තම අධිකාරියට යටත් කරගත් පුද්ගලයා ද වේ.

එහෙත් විජ්ජු කාව්‍යයේ 98 වැනි පිටුවට පැමිණෙන විට, මගේ කියවීම තවත් අනපේක්ෂිත දිශාවකට හැරෙයි.

කවියා මේ සංගීතමය සාර්ථකත්වයේ කතාව අතරට ලටෝයා ජැක්සන්ගේ (La Toya Jackson) ප්‍රකාශයක් ඇතුළත් කරයි.

තාත්තා රෑ ඇඳෙන් බැහැලා අක්කගේ ඇඳට එනවා. “ඔය ළමයට ඉන්න දෙන්න,” අම්ම කියනවා... දාසය පිරුණු හැටියේ අක්ක ගෙදරින් ගියෙත් ඒ හින්ද. අක්ක ගියාට පස්සෙ එයා ආවේ මා ගාවට.

— ලවෝයා ජැක්සන්, පිටුව 98

මෙය කියවන විට, මෙතෙක් අප අසා සිටි සංගීතයේ මිහිරියාව පිටුපසින් වෙනත් හඬක් ඇසෙන්නට පටන් ගනියි.

එය හුදෙක් පවුලක මතක සටහනක් නොවේ. දරුවන්ගේ කුසලතාවන් ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කළ පවුලක, එම දරුවන්ගේම ජීවිත තුළ පැවති බවට චෝදනා කෙරෙන භීතිය හා හිංසනය පිළිබඳ හඬකි.

ලටෝයා ජැක්සන් සිය Growing Up in the Jackson Family කෘතියෙන් පවුලේ ප්‍රසිද්ධිය සහ සාර්ථකත්වය පිටුපස පැවති බව ඇය පවසන භීතිය, හිංසනය සහ පියාගේ අධිකාරිය පිළිබඳ බරපතළ හෙළිදරව් කිරීම් කරයි. ලිංගික අපයෝජනය පිළිබඳ ඇය ඉදිරිපත් කළ චෝදනා ද ඒ අතර වෙයි.

එහෙත් මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණක් තිබේ. ඒවා ඇය විසින් ඉදිරිපත් කරන ලද චෝදනා හා සාක්ෂ්‍යමය ප්‍රකාශයන් ය. ඒ සියල්ල ස්වාධීනව තහවුරු වූ ඓතිහාසික කරුණු ලෙස පිළිගැනීම මගේ අරමුණ නොවේ.

මගේ අවධානය යොමු වන්නේ කවියා මේ ප්‍රකාශය සිය කාව්‍යය තුළ තබන්නේ කුමන අරුතක් ඇතිව ද යන්න වෙත ය.

මෙතෙක් අපට පෙනුණේ නිර්මාණයේ පියා වේදිකාවට නොපැමිණ, පුත්‍රයා වේදිකාවේ පෙනී සිටින ආකාරයයි. එහෙත් දැන් ඒ පියාගේ අදෘශ්‍ය පැවැත්ම, නිර්මාණයට මඟපෙන්වන අධිකාරියක් පමණක් නොව, දරුවාගේ පෞද්ගලික ජීවිතයට ද ඇතුළු විය හැකි බලයක් ලෙස අප හමුවට පැමිණෙයි.

මෙතැනදී මට නැවතත් “නිම්මාණරතිය” යන වචනය සිහිපත් වෙයි.

නිම්මාණ යනු නිර්මාණය කිරීමයි. රතිය යනු වින්දනයයි. බෞද්ධ විශ්වවේදයේ නිම්මාණරතිය යනු තමන් විසින් මවාගත් දෙයින් වින්දනය ලබන දෙව්ලොවකි.

එහෙත් මේ කාව්‍යය කියවන මගේ සිත තුළ “රති” යන වචනයේ ආශාව සහ වින්දනය පිළිබඳ අර්ථය තවත් අඳුරු ප්‍රශ්නයක් අවදි කරයි.

නිර්මාණකරුවා තම නිර්මාණයෙන් වින්දනය ලබන්නේ කවදා ද? එම වින්දනය තමන් නිර්මාණය කළ දෙය කෙරෙහි අසීමිත අයිතියක් ප්‍රකාශ කරන ආශාවක් බවට පත්වන්නේ කවදා ද?

පියෙකු තම දරුවන්ගේ සංගීත කුසලතා වර්ධනය කිරීමට උත්සාහ කිරීම එකකි. එම දරුවන් තමන්ගේ අභිලාෂයන් ඉටුකරන උපකරණ බවට පත්කරගැනීම තවත් එකකි.

එම අධිකාරිය දරුවන්ගේ ශරීරය, නිදහස සහ පෞද්ගලිකත්වය පවා තමන්ට අයිති යැයි සිතන තැනකට පැමිණෙන්නේ නම්, නිර්මාණයේ ප්‍රීතිය බලහත්කාරයේ සහ අපයෝජනයේ අඳුරු අවකාශයකට පිවිසෙයි.

මෙහිදී ලකාන්ගේ jouissance පිළිබඳ සංකල්පය නැවතත් මගේ සිතට පැමිණෙයි.

සාමාන්‍ය සතුටේ සීමාව ඉක්මවා යන, වේදනාව පවා තමන් තුළ අන්තර්ගත කරගත හැකි වින්දනයක් ගැන ලකාන් කතා කරයි. එය හුදෙක් සතුටක් නොව, සතුටේ සීමාව ඉක්මවා යාමේදී වේදනාව සමඟ ද බැඳිය හැකි වින්දනයකි.

එහෙත් ඒ සංකල්පය මඟින් අපයෝජනය පැහැදිලි කර අවසන් කළ හැකි යැයි හෝ එයට කිසියම් සාධාරණීකරණයක් ලබාදිය හැකි යැයි මම නොසිතමි.

මට මෙහිදී පෙනෙන්නේ ඊට වඩා සරල, එහෙත් බියකරු විරුද්ධාභාසයකි.

තම දරුවන්ගේ කටහඬින් ලෝකයට සංගීතයක් නිර්මාණය කළ හැකි පියෙකුට, ඒ දරුවන්ගේම වේදනාවේ හඬ නොඇසී යා හැකිය.

එසේ නම් නිර්මාණය කිරීමේ හැකියාව සහ අනෙකාගේ වේදනාව හඳුනාගැනීමේ හැකියාව එකම දෙයක් නොවේ.

විජ්ජු ආරම්භයේ මාරයාගේ වීණාව මට නැවත සිහිපත් වෙයි.

වීණාවේ තත් අතරින් උපදින සංගීතය අපට ඇසෙයි. එහෙත් ඒ තත් ඇද තබන බලය, ඒවා කෙතරම් තදින් ඇද තිබේ ද යන්න, එම සංගීතය නිපදවීම වෙනුවෙන් කවුරුන් වේදනාව විඳින්නේ ද යන්න අපට නොපෙනෙන්නට පුළුවන.

සංගීතය මිහිරි වූ පමණින්, එය උපදවන අත නිර්දෝෂී වන්නේ නැත.

එසේ බලන විට, කාව්‍යයේ “නිර්මාණ පීතෘවරු” වේදිකාවට නොබසින බව කියන රූපකය තවත් අරුතක් ලබයි. වේදිකාවේ ආලෝකය පුත්‍රයා මත වැටෙන විට, පියාගේ අධිකාරියත්, ඒ අධිකාරියෙන් උපන් වේදනාවත් අඳුරේ සැඟවී තිබිය හැකිය.

කවියා අපට පෙන්වන්නේ වේදිකාවේ දීප්තිය පමණක් නොවේ. ඒ දීප්තියට පිටුපසින් පැවතිය හැකි අඳුර ද ඔහු අප ඉදිරියට ගෙන එයි.

හෙවි මෙටල් සහ බිය නැති වේදිකාව

කාව්‍යයේ අවසාන කොටස ඇරඹෙන්නේ මාරයාගේ දියණියන් අර්ධ නින්දෙන් අවදි වී සිය පියාගෙන් ප්‍රශ්න කරන දර්ශනයකිනි .

මාරයා ඔවුන්ට කියන්නේ අකුණෙන් පණ ලැබූ වීණාව දැන් තවදුරටත් දුබල නොවන බවයි .

කාව්‍යයේ මුලදී බිම වැටුණු වීණාවෙන් නැඟුණු දුබල හඬ අපට සිහිපත් වෙයි. එදා මාරයාට අවශ්‍ය වූයේ ඒ හඬට අලුත් බලයක් ලබාදීමයි. දැන් ඒ අරමුණ ඉටු වී තිබේ. එහෙත් සිදුවී ඇත්තේ වීණාවේ හඬ ප්‍රබල වීම පමණක් නොවේ. මිනිසාගේ බිය පවා වෙනස් වී ඇත.

පි. 103 හි මාරයා කියන්නේ පෙර යුග ගණනාවක් පුරා මිනිසුන් භීතියෙන් කලඹවා දැමූ තමන්ගේ වෙස, දැන් චණ්ඩ වෙණෑදුරන් තම මිනිස් මුහුණු මත ඇඳගන්නා බවයි. ඔවුහු සැකිලිවලින් වේදිකාව සරසති. රතු පැහැයෙන් මාරයාගේ රූප මවති. මරණයේත් පාපයේත් නාදය කිසිදු බියකින් තොරව වයති.

කල්පයක් පුරා උන් සිතෙහි වූ පුහු බිය
අතුරුදන් වී ගොසිනි
බලවු අර කරලිය
යුග ගණන් මිනිසුන්
සන්ත්‍රාසයෙන් කැලඹූ
මා වෙස
චණ්ඩ වූ වෙණැදුරන්
ඇඳ තම මිනිස් මුහුණෙහි
තුන් හුලස් සැකිල්ලෙන්
සරසවා කරලිය
ඇඳ රක්ත වර්ණයෙන් අප රූ
වයත් උහු නොබියව
මරණයේ
පාපයේ
නාදය

— පිටුව 103

මෙහි “රක්ත වර්ණය” යන යෙදුම හමුවේ මගේ සිත මොහොතකට සංගීත වේදිකාවෙන් දේශපාලන වේදිකාව වෙත ද ගමන් කරයි. රතු පැහැය යනු හුදෙක් මාරයාගේ හෝ සාතන්ගේ රූපයට පමණක් අයත් වර්ණයක් නොවේ. ලෝක ඉතිහාසයේ විප්ලව, රතු හමුදා, මාක්ස්වාදී ව්‍යාපාර සහ ඒවා වටා ගොඩනැඟුණු දේශපාලනික ප්‍රතිරූප ද එම වර්ණය සමඟ බැඳී තිබේ.

එසේ නම්, මාරයාගේ රූපය තම මුහුණෙහි ඇඳගෙන රක්ත වර්ණයෙන් සැරසුණු මේ මිනිසුන් දකින විට, මට ඒ දේශපාලනික ලෝකයේ ඇතැම් රූප ද සිහිපත් වීම පුදුමයක් නොවේ. විශේෂයෙන්ම, මිනිසාගේ විමුක්තිය වෙනුවෙන් නැඟී සිටි ව්‍යාපාර පවා ඇතැම් ඓතිහාසික අවස්ථාවලදී භීතිය, ප්‍රචණ්ඩත්වය සහ මරණය සමඟ බැඳී ගිය ආකාරය මෙහිදී මගේ මතකයට නැඟෙයි.

එහෙත් මෙය කවියා රතු හමුදාව හෝ මාක්ස්වාදය පිළිබඳ සෘජු ඉඟියක් ලබාදෙන බවට කරන ප්‍රකාශයක් නොවේ. කාව්‍යයේ මේ රූප සංගීත වේදිකාවට අයත් වන අතර, ඒවාට දේශපාලනික අරුතක් දිය හැක්කේ තවත් එක් විචාරාත්මක හැකියාවක් ලෙස පමණි. රතු පැහැය ද එක් දේශපාලන මතවාදයකට සීමා කළ නොහැකිය.

එහෙත් ඒ අතුරු සිතුවිල්ලෙන් මතු වන ප්‍රශ්නයක් තිබේ. මිනිසා භීතියෙන් මුදාගැනීමට ඉදිරිපත් වන බලවේගයක්ම, අවසානයේ මිනිසා බියට පත් කරන බලයක් බවට පත්විය නොහැකිද?

කාව්‍යයේ මාරයාගේ ක්‍රමවේදය ගැන මෙතෙක් මා ගොඩනඟාගත් කියවීම තුළ, ඒ ප්‍රශ්නයට ද ඉඩක් තිබේ.

නැවත සංගීත වේදිකාව වෙත හැරුණොත්, පෙර කල්පයක් පුරා මිනිසුන්ගේ සිත් තුළ පැවති පුහු බිය දැන් අතුරුදන් වී ඇත.

මෙය කාව්‍යයේ තීරණාත්මක හැරවුමකි. මාරයා මිනිසා වෙත ළඟා වූ පැරණි මාර්ගයක් වූයේ බියයි. එහෙත් දැන් මිනිසා මාරයාගේම රූපය තම මුහුණෙහි ඇඳගෙන, මරණයත් පාපයත් වේදිකාවේ රසවත් අංග බවට පත් කරගෙන සිටියි.

වරක් මිනිසා බියට පත් කළ දෙයම දැන් ඔහුගේ විනෝදාස්වාදය වී ඇත.

මාරයා සිය දියණියන්ට හෙවි මෙටල් සංගීතයේ අසිරිය පෙන්වයි. ඒ ගායකයන්ගේ මුවින් ගිලිහෙන වචනවලට සවන් දෙන්නැයි ඔහු ඔවුන්ට කියයි .

ඒ වචන අතර අපට හමුවන්නේ බිය පිළිබඳ අපූරු ලැයිස්තුවකි.

මල්වලට ඇති බිය, ගස්කොළන්ට ඇති බිය, හඳට ඇති බිය, බියටම ඇති බිය ආදී වශයෙන් විවිධ භීතීන් “ෆෝබියා” යන නම්වලින් හඳුන්වනු ලැබේ.

ඉන්පසු ඒ ලැයිස්තුව කාව්‍යයේ මුල වෙත අප යළි රැගෙන යයි.

ගින්නට ඇති බිය, එනම් පයිරොෆෝබියාව, ප්‍රොමිතියස් පැමිණ දුරු කළ බව කියැවෙයි. එතැනින් ගිගුරුමට ඇති බියත්, අකුණට ඇති බියත් වෙත ගමන් කරන ගීතය, අවසානයේ විදුලියේ බලයට සහ එහි විවිධ අවතාරවලට ඇති බිය, එනම් ටෙක්නොෆෝබියාව, දුරු කරන්නැයි සිය සගයන්ගෙන් ඉල්ලා සිටියි .

එහෙත් ඒ ලැයිස්තුව එතැනින් නතර නොවේ.

පි. 105 වෙත පැමිණෙන විට පාපයට ඇති බිය ද එයට එක් වෙයි. කාව්‍යය එය “සිනෝෆෝබියා” ලෙස නම් කරයි. සාතන්ට ඇති බිය ද ඒ සමඟම ඉදිරිපත් වෙයි.

මෙහිදී මගේ අවධානයට ලක්වන්නේ මේ භීතීන් පෙළගස්වා ඇති ආකාරයයි. ගින්න, ගිගුරුම සහ අකුණ වැනි ස්වභාවික බලයන්ට ඇති බියෙන් ඇරඹෙන ගමන, තාක්ෂණයට ඇති බිය පසුකර, අවසානයේ පාපයට ඇති බිය දක්වා පැමිණෙයි.

එය හුදෙක් විවිධ භීතීන් නම් කරන ලැයිස්තුවක් නොවේ. මිනිසාගේ බිය වෙනස් වන ආකාරය පිළිබඳ කතාවක් ද එහි තිබේ.

බුදුදහමේ හිරි සහ ඔත්තප්ප යනුවෙන් හැඳින්වෙන්නේ ලෝකය රකින ධර්ම දෙකකි.10

හිරි යනු පාපයට ඇති ලැජ්ජාවයි. ඔත්තප්ප යනු පාපයට ඇති බියයි. ඒ අනුව සදාචාරාත්මක ජීවිතයක් පවත්වාගෙන යාම සඳහා ඇතැම් බියවීම් අවශ්‍ය බව බෞද්ධ චින්තනය පිළිගනී.

එහෙත් මේ ගීතය තුළ පාපයට ඇති බිය ද “ෆෝබියාවක්” ලෙස නම් කර, එය දුරු කරන්නැයි කියැවෙයි.

මෙහි ඇති උත්ප්‍රාසය තියුණු ය.

ගින්නට ඇති බිය දුරු කිරීමෙන් මිනිසාට ගින්න භාවිත කළ හැකි විය. අකුණට ඇති බිය ඉක්මවා යාමෙන් විදුලිය මෙහෙයවීමට ඔහුට හැකි විය. තාක්ෂණයට ඇති බිය දුරු කිරීමෙන් නව ලෝකයක් ගොඩනඟා ගැනීමට හැකි විය.

එහෙත් ඒ සමඟම පාපයට ඇති බියත් දුරු කළ යුතු රෝගයක් ලෙස හඳුන්වන්නේ නම්, එහි ප්‍රතිඵලය කුමක් විය හැකිද?

ස්වභාවධර්මයේ බලයන් හමුවේ මිනිසා අත්පත් කරගත් නිර්භීතකම, සදාචාරය හමුවේ ද ඒ ආකාරයෙන්ම යෙදිය හැකිද?

මෙහිදී කාව්‍යය මතු කරන ප්‍රශ්නය එය බව මට හැඟෙයි. බියෙන් නිදහස් වීම සැමවිටම යහපතක් වන්නේ නැත. ඇතැම් බියවීම් මිනිසාගේ පැවැත්මට අවශ්‍ය ය. එහෙත් දැන් වේදිකාවෙන් අලෙවි කෙරෙන්නේ ඒ වෙනස නොසලකන, සියලු බියෙන් නිදහස් වීමේ ප්‍රමෝදයකි.

මාරයාගේ අලුත් වෙළෙඳ භාණ්ඩය වී ඇත්තේ ඒ බිය නැති බවයි.

ඉන්පසු කාව්‍යය අප ඉදිරියේ මවන්නේ දැවැන්ත ප්‍රසංගයකි. එහි හඬින් හඳ දෙපළු වී වැටෙයි. කඳු මුදුන් ඉරිතලා යයි .

මේ දර්ශනය අපට අලුත් දෙයක් නොවේ. කාව්‍යයේ මුල් කොටසේදී, පි. 29 හි, මාරයා අපේක්ෂා කළ නව වීණාවට හඳ බිඹුව දෙපළු කිරීමටත් මහ පොළොව කම්පනය කිරීමටත් හැකි විය යුතු බව කියැවිණි.

එදා අනාගතය පිළිබඳ මවා පෙන්වූ දර්ශනය දැන් වේදිකාව මත සැබෑ වී ඇත.

කවියා එදා මැවූ රූපය පසුව මෙසේ නැවත අප හමුවට ගෙන ඒම, කාව්‍යයේ සමස්ත සැලැස්ම පිළිබඳ වැදගත් ඉඟියකි. සාහිත්‍ය විචාරයේ prolepsis ලෙස හැඳින්වෙන, ඉදිරියේ සිදුවීමට නියමිත දෙයක් කලින් ඉඟි කිරීමේ ක්‍රමය මෙහිදී දැකිය හැකිය.

එහෙත් කාව්‍යයේ අවසාන දර්ශනය හුදෙක් හඬේ ප්‍රබලත්වය පෙන්වීමෙන් නතර නොවේ.

පි. 106 හි වේදිකාව මුහුදක් බවට පත්වෙයි. ගායකයා ප්‍රේක්ෂකයන් අතරට පනියි. “මේ මගේ මාංසය ය, ඔබට පිදෙනා” යනුවෙන් ඔහු කියයි. වෙරළත් මුහුදත් එකක් බවත්, ඒ දෙක අතර වෙනසක් නැති බවත්, බියක් නැති බවත් නිවේදනය කෙරෙයි .

මේ වචනවලින් මට ඇසෙන්නේ එකිනෙකට වෙනස් ආගමික සම්ප්‍රදායන්හි හඬවල් ය.

“මේ මගේ මාංසය ය” යන ප්‍රකාශය කිතුනු සමුපාසනයේ ප්‍රතිරූපය සිහිපත් කරයි. වෙරළත් මුහුදත් අතර වෙනස අහෝසි කිරීමේ රූපකය තුළ සංසාරය සහ නිර්වාණය අතර අභේදය පිළිබඳ ඇතැම් බෞද්ධ දාර්ශනික ප්‍රකාශවල දෝංකාරයක් ද ඇසෙයි.

එහෙත් මෙහිදී ඒ ආගමික සංකල්ප ඒවායේ මුල් අරුතින්ම භාවිත වන බවක් නොපෙනේ. ඒවා වේදිකාවේ ප්‍රමෝදය වඩාත් තීව්‍ර කරන රූපක බවට පත්ව ඇත.

මාරයාගේ ලෝකය දැන් තමන්ගේම භාෂාවෙන් පමණක් කතා කරන්නේ නැත. අන් අයගේ ධර්මයන්හි භාෂාව ද තමන්ගේ ප්‍රමෝදය වෙනුවෙන් භාවිත කරයි.

එසේ බලන විට, මාරයා සොයමින් සිටි නව වීණාව හුදෙක් විදුලියෙන් බලගැන්වුණු සංගීත උපකරණයක් නොවේ. එය මිනිසාගේ බිය, ආශාව, ආගමික රූපක සහ සදාචාරාත්මක සීමා පවා තම හඬට එක් කරගන්නා උපකරණයක් බවට පත්ව තිබේ.

මාරයාගේ ක්‍රමවේදය: චලන තුනක්

මෙතෙක් කාව්‍යය ඔස්සේ පැමිණි ගමන දෙස නැවත හැරී බලන විට, මාරයාගේ ක්‍රමවේදයෙහි එකිනෙකට සම්බන්ධ වූ චලන තුනක් හඳුනාගත හැකිය.

මෙය කතුවරයා විසින් සෘජුව ඉදිරිපත් කරන ලද බෙදීමක් නොව, කාව්‍යයේ සිදුවීම් හා රූපක අතර සම්බන්ධය සොයා යාමේදී මා ගොඩනඟා ගත් කියවීමකි.

(අ) ශක්තිය සැපයීම.

මාරයාගේ පළමු අවශ්‍යතාව වූයේ දුබල වීණාවට අලුත් බලයක් ලබාදීමයි.

ඒ සඳහා ඔහු මිනිසාගේ අතින් ගින්න සොයාගැනීමට සලස්වයි. ඉන්පසු විදුලිය පැමිණෙයි. ඇම්බර් කැබැල්ලක කුඩා අංශු ආකර්ෂණය කරගන්නා බලයේ සිට, අකුණෙහි දැවැන්ත ශක්තිය දක්වා විදුලියේ ගමන කාව්‍යය තුළ දිගහැරෙයි .

අග්නි ධාතුව, ජීව ධාතුව සහ ආකාශ ධාතුව මේ ගමනේ නැවත නැවත හමුවන සංකල්ප ය. “ධාතුව” යන වචනය ද කාව්‍යය තුළ එක් අරුතකට පමණක් සීමා නොවේ. ගින්න හා ආකාශය වැනි ලෝකයේ මූලික ස්වභාවයන් හැඳින්වීමට මෙන්ම, ජීවය පිළිබඳ අදහස ගෙන ඒමට ද එය යොදාගනී.

මේ සියල්ල අවසානයේ එක් වන්නේ නව වීණාවට බලය සැපයීමේ කාර්යයට ය.

(ආ) ආශාව විස්තීර්ණ කිරීම.

ශක්තිය ලබාදීම පමණක් මාරයාගේ අරමුණ නොවේ. ඒ ශක්තියෙන් මිනිසාගේ ආශාව තව තවත් පුළුල් කළ යුතුය.

පංචසිඛයාගේ වීණාව සහ ගී හඬ අතර පැවති තුලනය බිඳ දැමීමට මාරයා උත්සාහ කරන්නේ එබැවිනි. ඔහුට අවශ්‍ය වන්නේ වඩාත් ප්‍රබල හඬකි. ඒ හඬට තව තවත් මිනිසුන් ආකර්ෂණය කරගත හැකි විය යුතුය .

ගින්න, විදුලිය, සිනමාව, ගිටාරය සහ වේදිකාව යන උපකරණ දාමය ඔස්සේ අප දකින්නේ ඒ උත්සාහයේ වර්ධනයයි.

මෙහිදී රසය පමණක් නොව, රසිකයා ද වෙනස් වෙයි. ප්‍රේක්ෂකයාගේ ඇසත්, කනත්, අවසානයේ ඔහුගේ සමස්ත ඉන්ද්‍රිය අත්දැකීමත් මේ ක්‍රියාවලියට එක් වෙයි.

තාක්ෂණයේ අරමුණ මිනිසාගේ දුක අඩු කිරීම බවත්, ආස්වාදයේ වෙනස්වීම එහි අතුරු ඵලයක් පමණක් බවත් කියන හඬ අපට මෙහිදී නැවත සිහිපත් වෙයි .

එහෙත් මාරයාගේ අරමුණ දෙස බලන විට ඒ අතුරු ඵලයම ප්‍රධාන ඵලය බවට පත්ව තිබේ.

(ඉ) උපකරණය පරිභෝජනය කිරීම.

මාරයාගේ ක්‍රමයේ තවත් පැත්තක් වන්නේ තම අරමුණ ඉටු කරගැනීමට යොදාගන්නා මිනිසා හෝ උපකරණය අවසානයේ කුමන ඉරණමකට මුහුණ දෙන්නේද යන්නයි.

ඔහු මිනිසාගේ සිත අරක් ගනියි. එවිට මිනිසා තමන්ගේම කැමැත්තෙන් ක්‍රියා කරන බවක් පෙනුණත්, ඒ ක්‍රියාවෙන් මාරයාගේ අරමුණ ද ඉටු වෙයි.

ටොප්සිගේ මරණය මේ සම්බන්ධයෙන් සිහිපත් කළ හැකි මුල් අවස්ථාවකි. ඇගේ මරණය විදුලියේ බලය පෙන්වන දර්ශනයක් බවටත්, ප්‍රේක්ෂකයාගේ ඇස දිනාගන්නා සිනමා රූපයක් බවටත් පත්වෙයි.

ලෙනන්ගේ ජීවිතය සහ මරණය මේ අදහස තවත් සංකීර්ණ කරයි. ඔහු ලෝකය පුරා මිනිසුන්ගේ ආශාවන් එක්රැස් කළ ප්‍රතිමාවකි (idol). එහෙත් එසේ ඉහළට ඔසවා තැබූ ප්‍රතිමාව අවසානයේ බිඳ වැටෙයි.

පරනිර්මිත ලෝකය පිළිබඳ විස්තරයේදී වේදිකාවට නොබසින “පියා” සහ වේදිකාවේ පෙනී සිටින “පුත්‍රයා” අතර ඇති සම්බන්ධය ද මෙහිදී වැදගත් වෙයි .

කෙසේ වුවද, මේ සිදුවීම්වලදී මාරයා සෘජුව මැදිහත් වන බව කාව්‍යය සෑම විටම පෙන්වන්නේ නැත.

එය මට පෙනෙන්නේ කාව්‍යයේ වැදගත් ලක්ෂණයක් ලෙස ය. කවියා මාරයාගේ අත පෙන්වනවා වෙනුවට, ඔහුගේ අරමුණ ඉටු විය හැකි තත්ත්වයන් අප ඉදිරියේ තබයි. මිනිසාගේ ආශාව, ජනප්‍රියත්වය, ප්‍රේක්ෂකයාගේ ප්‍රමෝදය සහ චැප්මන්ගේ යක්ෂයන් පිළිබඳ ප්‍රකාශය ඒ අතර වෙයි.

එසේ නම් මාරයාගේ කාර්යය හැම විටම තමාම පැමිණ යමක් කිරීම නොව, අනෙකා ලවා එය කරවාගත හැකි දොරටුවක් විවෘත කිරීම විය හැකිය.

එහෙත් මේ කියවීම තවත් පියවරක් ඉදිරියට ගෙන යන විට, මට කාව්‍යය තුළ ඊඩිපස් සංකීර්ණය සිහිපත් කරන සංකේතීය ව්‍යුහයක් ද පෙනෙන්නට පටන් ගනියි.

කාව්‍යයේ ආරම්භයේ සිටම මාරයා සහ ඔහුගේ දියණියන් අතර පවතින සම්බන්ධය මෙහිදී වැදගත් වෙයි. මාරයා සිය දියණියන් ඉදිරියේ තම අපේක්ෂාවන් ප්‍රකාශ කරයි. ඔවුහු ඔහුගේ වචන අසති, ප්‍රශ්න කරති, ඔහු විසින් පෙන්වා දෙන ලෝකය දෙස බලති. එසේ කාව්‍යය තුළ නැවත නැවත ගොඩනැඟෙන්නේ පියාගේ අධිකාරියත්, ඔහුගේ ආශාවත්, ඒ ආශාව වටා සංවිධානය වන අනෙකුත් චරිතත් අතර සම්බන්ධයකි.

මෙය ෆ්‍රොයිඩ්ගේ ඊඩිපස් සංකීර්ණය කාව්‍යයට එලෙසම ආදේශ කිරීමක් නොවේ. එහෙත් පියා, ආශාව සහ අධිකාරිය එකිනෙකට බැඳී ඇති ආකාරය ලකානියානු සංකේතීය පර්යාය පිළිබඳ සිතුවිල්ලක් වෙත මා රැගෙන යයි.

මට මෙහිදී මාරයා පෙනෙන්නේ එක් චරිතයක් ලෙස පමණක් නොවේ. ඔහුගේ වචන, ඔහුගේ දියණියන්, මිනිසාගේ නිර්මාණ, ඒ නිර්මාණවලින් උපදින ආස්වාදය සහ අවසානයේ ඒවායේ ඵලය භුක්ති විඳින බලය යන සියල්ල එකිනෙකට සම්බන්ධ කරන ව්‍යුහයක කේන්ද්‍රය ලෙස ද ඔහු පෙනෙයි.

එම ව්‍යුහයට ඇතුළු වන මිනිසා එහි සම්බන්ධතා තුළින්ම තම ආශාවන් හඳුනාගනියි. තමාගේම කැමැත්තෙන් ක්‍රියා කරන බව ඔහු සිතන නමුත්, ඒ කැමැත්ත හැඩගැසෙන්නේ තමන්ට පෙර සිටම පැවති සංකේත, අපේක්ෂා සහ ආශාවන්ගේ සම්බන්ධතා ජාලයක් තුළ විය හැකිය.

මෙහි ඇති බියකරු හැකියාව වන්නේ, මිනිසාට එම ව්‍යුහයෙන් පහසුවෙන් පිටතට පැමිණිය නොහැකි වීමයි. ඔහු එහි ජීවත් වෙයි. එහිම නිර්මාණය කරයි. එහිම වින්දනය ලබයි. තමන්ගේ ආශාවන් පසුපස හඹා යන අතර, ඒ ආශාවන් තමන් රැගෙන යන්නේ කොතැනට දැයි ඔහු නොදැන සිටිය හැකිය.

මාරයාට එවිට මිනිසා පසුපස නිරන්තරයෙන් හඹා යාමට අවශ්‍ය නොවේ. මිනිසාම තම ආශාව ඔස්සේ ඔහු වෙත ගමන් කරයි.

එය තවත් අයුරකින් කියන්නේ නම්, මාරයා මිනිසා සම්පූර්ණයෙන් අරක් ගන්නා මොහොත, පිටතින් පැමිණෙන හදිසි ආක්‍රමණයක් නොව, මිනිසා තම ආශාවන් ඔස්සේ මෙතෙක් ගමන් කළ මාර්ගයේම අවසාන ප්‍රතිඵලය විය හැකිය.

ඒ ගමන මිනිස් ලෝකයේ සීමාවෙන් නතර නොවේ. කාව්‍යය දිගහැරෙන දිව්‍යලෝක, නිර්මාණරතිය සහ පරනිර්මිතය පිළිබඳ රූපක ඔස්සේ, ආශාව එක් ලෝකයකින් තවත් ලෝකයකට ගමන් කරන බවක් ද පෙනෙයි. එහිදී මාරයාගේ ලෝකය යනු මරණයෙන් පසු මිනිසා ඇදගෙන යන ස්ථානයක් පමණක් නොව, ජීවත්ව සිටියදීම ඔහුගේ ආශාවන් සංවිධානය කරන බලයක අවසාන රූපය ලෙස ද කියවිය හැකිය.

එහෙත් මේ සියල්ල කවියා සෘජුව ප්‍රකාශ කරන දාර්ශනික න්‍යායක් නොවේ. කාව්‍යයේ චරිත, සිදුවීම් සහ රූපක අතර සම්බන්ධය ඔස්සේ මට ගොඩනඟාගත හැකි එක් කියවීමකි.

මෙහිදී කාව්‍යය අපට සෘජුව නොකියන දෙය, කියන දෙය තරමටම වැදගත් වෙයි.

මේ චලන තුනම එකට බැඳ තබන ක්‍රියාපදය වන්නේ “අරක් ගැනීම” යන්නයි.

ප්‍රොමිතියස්ගේ සිත මාරයා අරක් ගනියි . තේලිස්ගේ කතාවේදී සෑම ධාතුවකම දෙවියන් වාසය කළ හැකි බවට අදහසක් මතුවෙයි . කාව්‍යය අවසානයට පැමිණෙන විට ඊළඟ කල්පය ද අරක් ගත හැකිද, වසඟ කළ හැකිද යන ප්‍රශ්නය නැඟෙයි .

එසේ බලන විට, මාරයාගේ ගමන එක් මිනිසෙකුගේ සිතකින් ඇරඹී සමස්ත කල්පයක් දක්වා විහිදෙන්නකි.

ඔහු සොයන්නේ එක් වීණාවක් වාදනය කරවා ගැනීම පමණක් නොවේ. මිනිසාගේ ආශාවන් ඔස්සේ අනාගතයම තමන්ගේ හඬට වාදනය කරවා ගැනීමයි.

විචාරාත්මක ඇගයීම

මෙතෙක් කාව්‍යය ඔස්සේ පැමිණි ගමන අවසානයේ, මට නැවතත් එහි ආරම්භය සිහිපත් වෙයි. මාරයාගේ ශෝකයත්, බිම වැටුණු වීණාවත්, එහි දුබල හඬත් සමඟ ඇරඹුණු කතාව, ප්‍රොමිතියස්ගේ ගින්න, තේලිස්ගේ ඇම්බර් කැබැල්ල, එඩිසන්ගේ විදුලිය, ලෙනන්ගේ ගිටාරය සහ හෙවි මෙටල් වේදිකාව ඔස්සේ අප රැගෙන ආවේ කොතැනකට ද?

එය සංගීතයේ ඉතිහාසය පිළිබඳ කතාවක් පමණක් නොවන බව දැන් මට පෙනෙයි. මිනිසාගේ ආශාවත්, ඒ ආශාවට බලය සපයන තාක්ෂණයත්, ඒවායේ ඵලය භුක්ති විඳින බලවේගත් අතර ඇති සම්බන්ධය පිළිබඳ කතාවක් ද එහි තිබේ.

එහෙත් මේ කියවීමෙන් කාව්‍යයේ සියලු අර්ථයන් අවසන් වන බවක් මම නොසිතමි. කෘතියේ ශක්තීන් මෙන්ම, එය කියවීමේදී මතුවන ගැටලු සහ සීමාවන් ද මෙහිදී සලකා බැලිය යුතුය.

කාව්‍යයේ ශක්තීන්.

මෙම කාව්‍යයේ ප්‍රධාන ශක්තියක් ලෙස මට පෙනෙන්නේ සංගීතය එහි සිදුවීම් එකිනෙකට බැඳ තබන ව්‍යුහාත්මක අක්ෂය බවට පත් කර තිබීමයි.

පි. 29 හි මාරයා අපේක්ෂා කරන නව වීණාවේ බලය, පි. 104–106 වෙත පැමිණෙන විට හෙවි මෙටල් වේදිකාවේ සාක්ෂාත් වන ආකාරය එයට හොඳ උදාහරණයකි. කාව්‍යයේ මුලදී මතු කළ රූපයක් අවසානයේ වෙනත් ස්වරූපයකින් නැවත අප හමුවට පැමිණෙයි. එයින් කෘතියේ සැලැස්ම තුළ ඇති ඒකාග්‍රතාව පැහැදිලි වෙයි.

තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ බෞද්ධ සාහිත්‍යය සහ නූතන සංස්කෘතික ඉතිහාසය එකිනෙකට සම්බන්ධ කරන ආකාරයයි.

ගෝධික තෙරුන්ගේ කතාව, සක්කපඤ්හ සූත්‍රය සහ වීණෝපම සූත්‍රය වැනි බෞද්ධ මූලාශ්‍ර, ගින්න, විදුලිය, සිනමාව සහ නූතන සංගීතය පිළිබඳ කතා සමඟ එක් කිරීම කතුවරයාගේ පුළුල් කියවීමත්, ඒවා කාව්‍යමය වශයෙන් භාවිත කිරීමේ හැකියාවත් පෙන්වයි.

ඓතිහාසික සිදුවීම්, පුද්ගල ප්‍රකාශ සහ සාහිත්‍යමය උපුටා දැක්වීම් එකිනෙකට සම්බන්ධ වීමෙන් කාව්‍යය තුළ කොලාජයක් නිර්මාණය වෙයි. එහෙත් ඒවා එකතු වන්නේ ඉතිහාසය පිළිබඳ සම්පූර්ණ සාක්ෂි ගොනුවක් ලෙස නොවේ. ඒවා කවියාගේ රූපක ලෝකයට ඇතුළු වූ විට, තම මුල් සන්දර්භයට අමතරව තවත් කාව්‍යමය අරුත් ද ලබාගනී.

ලෙනන්ගේ ඝාතනය පිළිබඳ චැප්මන්ගේ ප්‍රකාශයත්, ජැක්සන් පවුල පිළිබඳ ලටෝයා ජැක්සන්ගේ ප්‍රකාශයත් මෙහිදී සිහිපත් කළ හැකිය. ඒවායේ ඓතිහාසික සත්‍යාසත්‍යතාව පිළිබඳ ප්‍රශ්න වෙනම පවතින අතර, කවියා ඒවා සිය ආඛ්‍යානය තුළ තබන ආකාරය තවත් විචාරාත්මක ප්‍රශ්නයකි.

මෙහිදී කාව්‍යමය සත්‍යය ගොඩනැඟෙන්නේ සියල්ල සෘජුව පැහැදිලි කිරීමෙන් නොවේ. සිදුවීම් සහ රූපක අතර සම්බන්ධය පාඨකයාටම සොයාගැනීමට ඉඩ තැබීමෙනි.

මාරයා නිරූපණය කර ඇති ආකාරය ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ඔහු හුදෙක් මිනිසා විනාශ කිරීමට බලා සිටින දුෂ්ට චරිතයක් නොවේ. ඔහු ශෝකයෙන් පෙළෙන පියෙකි. ඔහුට දියණියෝ සිටිති. ඔහු ඔවුන් සමඟ කතා කරයි, තම අපේක්ෂාවන් පැහැදිලි කරයි, තමන් සොයාගත් ලෝකය ඔවුන්ට පෙන්වයි.

එහෙත් මේ පියෙකුගේ රූපය තුළම තවත් අර්ථයක් සැඟවී තිබේ.

මාරයා සහ ඔහුගේ දියණියන් අතර සම්බන්ධය, පියාගේ අධිකාරිය සහ ආශාව වටා සංවිධානය වන සංකේතීය ව්‍යුහයක් ලෙස ද කියවිය හැකිය. එය ෆ්‍රොයිඩ්ගේ ඊඩිපස් සංකීර්ණයට සෘජුව සමාන නොවුණත්, ලකානියානු අර්ථයෙන් පියා, ආශාව සහ සංකේතීය පර්යාය පිළිබඳ ප්‍රශ්න මතු කිරීමට ඉඩ සලසයි.

එවිට මාරයා එක් චරිතයකට වඩා වැඩි දෙයක් බවට පත්වෙයි. ඔහු මිනිසාගේ ආශාවන් ගමන් කරන මාර්ගය තුළ ක්‍රියාත්මක වන බලයක් ලෙස ද පෙනෙන්නට පටන් ගනියි.

මෙය කාව්‍යය පිළිබඳ මගේ කියවීමක් මිස, කතුවරයා විසින් සෘජුව ප්‍රකාශ කරන ලද මනෝවිශ්ලේෂණ න්‍යායක් නොවේ.

සංගීතය ම දුෂ්ටයා ද?

මෙතෙක් කළ කියවීමෙන් එවැනි නිගමනයකට පැමිණීම සුදුසු නොවේ.

කාව්‍යය උපුටා දක්වන පංචසිඛයාගේ සංගීතයත්, මා සිහිපත් කළ සෝණ තෙරුන්ගේ වීණා උපමාවත්, සංගීතය සහ තුලනය අතර ඇති සම්බන්ධය පිළිබඳ වෙනස් ආකාරවලින් සිතීමට අප පොලඹවයි.

සංගීතය ස්වභාවයෙන්ම දුෂ්ට දෙයක් ලෙස මෙහිදී නොපෙනේ. ගැටලුව මතුවන්නේ එය ආශාව අසීමිතව වර්ධනය කිරීමේ උපකරණයක් බවට පත්වන විට ය.

වීණාවේ තත් ඕනෑවට වඩා තද කිරීමත්, ඒවා අධික ලෙස ලිහිල් කිරීමත් අතර ඇති වෙනස මෙන්ම, ආස්වාදය සහ එහි අසීමිත වර්ධනය අතර ද වෙනසක් තිබේ.

එබැවින් විජ්ජු සංගීතයට එරෙහි කාව්‍යයක් ලෙස කියවීමට මම කැමති නොවෙමි. එය සංගීතය මිනිස් ආශාවන්ගේ තරගයටත්, තාක්ෂණයේ බලයටත්, පරිභෝජනයේ ආර්ථිකයටත් ඇතුළු වන විට ඇති විය හැකි ප්‍රතිඵල පිළිබඳ කාව්‍යයක් ලෙස මට පෙනෙයි.

එහෙත් මෙහිදී කවියා ද මේ ප්‍රශ්නයෙන් සම්පූර්ණයෙන් බැහැර නොවේ.

ඔහු ද නිර්මාණකරුවෙකි. ඔහු ද වචනවලින් රිද්මයක් හා හඬක් නිර්මාණය කරයි. අපි ඒ නිර්මාණය කියවමින් වින්දනය ලබමු.

එසේ නම් නිර්මාණය, ආශාව සහ පරිභෝජනය පිළිබඳ කාව්‍යය මතු කරන ප්‍රශ්නය, කාව්‍යය වෙතම ආපසු හැරවිය නොහැකි ද?

කවියාත් පාඨකයාත් මේ සම්බන්ධතා ජාලයෙන් සම්පූර්ණයෙන් පිටත සිටින්නෝ නොවෙති. ඔවුහු ද එහි කොටස්කරුවෝ ය.

මෙය කාව්‍යයේ දුර්වලකමක් නොවේ. ඒ වෙනුවට, කෘතිය තමන් විසින්ම මතු කරන ප්‍රශ්නයට යළි මුහුණ දීමට අපට සලස්වන තැනක් ලෙස මම එය දකිමි.

මාරයාගේ බලය සහ මිනිස් වගකීම.

මාරයාගේ බලය මිනිස් ඉතිහාසය පුරා ක්‍රියාත්මක වන බවට කාව්‍යමය කියවීමක් ගොඩනැඟිය හැකි වුවත්, එහිදී මිනිසාගේ වගකීම අතුරුදන් නොවිය යුතුය.

ප්‍රොමිතියස්ගේ තේරීම, ලූනා පාර්ක්හි ව්‍යාපාරික තීරණ, එඩිසන්ගේ සමාගම හා සම්බන්ධ රූගත කිරීම සහ චැප්මන්ගේ ක්‍රියාව යන සියල්ල මිනිසුන්ගේ ක්‍රියා හා තීරණ සමඟ බැඳී තිබේ.

චැප්මන් යක්ෂයන් පිළිබඳ කළ ප්‍රකාශයක් කාව්‍යය තුළ උපුටා දැක්වීමෙන්, ඔහුගේ ක්‍රියාවට වගකියන්නේ යක්ෂයන් බව හෝ ඔහුගේ වගකීම අඩු වන බව හෝ අදහස් නොවේ.

එසේම ජැක්සන් පවුල පිළිබඳ ඉදිරිපත් වූ චෝදනා, නිර්මාණය සහ අධිකාරිය අතර සම්බන්ධය විමසීමට අවස්ථාවක් සැපයුවත්, ඒවායේ සත්‍යාසත්‍යතාව පිළිබඳ විමර්ශනය වෙනුවට කාව්‍යමය රූපකයක් ආදේශ කළ නොහැකිය.

මෙහිදී මට වැදගත් වන්නේ මාරයාගේ සංකේතීය බලය සහ මිනිසාගේ සදාචාරාත්මක වගකීම එකිනෙකින් වෙන්කර හඳුනාගැනීමයි.

මිනිසා තම ආශාවන් සංවිධානය වන සංකේතීය ව්‍යුහයක ජීවත් වන බව පිළිගැනීමෙන්, ඔහු තම ක්‍රියාවන්ට වගකිව යුතු නොවන බවක් අදහස් නොවේ.

එම ව්‍යුහයෙන් සම්පූර්ණයෙන් පිටතට පැමිණීම අපහසු විය හැකිය. එහෙත් එය තුළ තමන්ගේ ආශාව සමඟ ඇති සම්බන්ධය වෙනස් කරගැනීමේ හැකියාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ නොහැකිය.

මාරයා මිනිසාගේ ආශාවන් ඔස්සේ ක්‍රියාත්මක වන්නේ යැයි කියවීමත්, මිනිසාට තෝරාගැනීමේ වගකීමක් ඇතැයි පිළිගැනීමත් එකිනෙකට විරුද්ධ විය යුතු නැත.

ස්ත්‍රී රූපය සහ ආශාව.

මාරයාගේ දියණියන් වන තණ්හා, අරති සහ රාගා පිළිබඳ සාම්ප්‍රදායික බෞද්ධ රූපකය ද මෙහිදී අවධානයට ලක්විය යුතුය.

ආශාවේ විවිධ ස්වරූප ස්ත්‍රී චරිත මඟින් නිරූපණය කිරීම බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබෙන සම්ප්‍රදායකි. කාව්‍යය ද එම සම්ප්‍රදාය තම ආඛ්‍යානය තුළ භාවිත කරයි.

එහෙත් එයින් ස්ත්‍රිය ආශාවේ මූලාශ්‍රය බවට හෝ මිනිසා විනාශ කරන උගුලක් බවට හෝ පත් කිරීම සුදුසු නොවේ.

මගේ කියවීමේදී මාරයාගේ දියණියන් වැදගත් වන්නේ ඔවුන් ස්ත්‍රීන් වීම නිසා නොව, මාරයාගේ ආශාව සහ අධිකාරිය වටා ගොඩනැඟෙන සංකේතීය සම්බන්ධතාවල කොටස්කරුවන් වීම නිසා ය.

එම වෙනස නොසලකා හැරියහොත්, කාව්‍යයේ සංකීර්ණ රූපකයක් සරල ස්ත්‍රී විරෝධී ප්‍රකාශයක් බවට පත්වීමේ අවදානමක් තිබේ.

දේශපාලනික රූපක සහ කියවීමේ සීමා.

හෙවි මෙටල් වේදිකාවේ රක්ත වර්ණයෙන් සැරසුණු මිනිසුන් පිළිබඳ රූපය මා දේශපාලනික ඉතිහාසය වෙත ද රැගෙන ගිය බව කලින් සඳහන් කළෙමි.

රතු හමුදා, විප්ලවවාදී ව්‍යාපාර සහ මාක්ස්වාදී දේශපාලනය පිළිබඳ රූප එහිදී මගේ මතකයට නැඟිණි.

එහෙත් රතු පැහැය යනු මාක්ස්වාදයට පමණක් අයත් සංකේතයක් නොවේ. එසේම කවියා එම රූපයෙන් නිශ්චිත දේශපාලන ව්‍යාපාරයක් අදහස් කළ බවට සාක්ෂියක් ද එයින් නොලැබේ.

එබැවින් ඒ සම්බන්ධය මම රඳවාගන්නේ කාව්‍යයෙන් අවදි වූ අතුරු සිතුවිල්ලක් ලෙස පමණි.

එහිදී වැදගත් වන්නේ මිනිසාගේ විමුක්තිය පොරොන්දු වන බලවේගයක් පවා ඇතැම් අවස්ථාවලදී භීතිය හා ප්‍රචණ්ඩත්වය නිපදවන බලයක් බවට පත්විය හැකිද යන ප්‍රශ්නයයි.

එය කාව්‍යය අපට සෘජුව ලබාදෙන පිළිතුරක් නොව, කාව්‍යය ඔස්සේ මතු කළ හැකි තවත් ප්‍රශ්නයකි.

කාව්‍යයේ සීමාවන්.

මා කියවූ තාක්, කාව්‍යයේ නූතන සංගීතමය හා සංස්කෘතික උදාහරණ ප්‍රධාන වශයෙන් බටහිර ලෝකයෙන් තෝරාගෙන තිබේ. ලෙනන්, බීට්ල්ස්, මයිකල් ජැක්සන් සහ හෙවි මෙටල් ඒ අතර ප්‍රමුඛ ය.

සිංහල හෝ වෙනත් ආසියානු ජනප්‍රිය සංගීත සම්ප්‍රදායන් මෙවැනි විමසුමකට එක් වූයේ නම්, මාරයාගේ වීණාව පිළිබඳ කතාව තවත් සංස්කෘතික මානයන් වෙත ගෙන යා හැකිව තිබිණි.

එහෙත් කවියා තෝරාගත් උදාහරණවලට තමන්ගේම අරමුණක් තිබිය හැකි බැවින්, එය කෘතියේ අනිවාර්ය දුර්වලතාවක් ලෙස නොසලකමි.

තවත් සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ ඓතිහාසික සිදුවීම් කාව්‍යමය අරමුණකට භාවිත කිරීමේදී ඇති වන සීමාවයි.

එඩිසන්ගේ ෆොනෝග්‍රාෆය සහ ඔහුගේ සමාගම හා සම්බන්ධ චිත්‍රපට කටයුතු විනෝදාස්වාද තාක්ෂණයේ වර්ධනයට දායක වූ බව සැබෑ ය. එහෙත් නූතන විනෝදාස්වාද කර්මාන්තයේ සමස්ත වර්ධනය ඔහුට පමණක් ආරෝපණය කළ නොහැකිය.

ටොප්සිගේ මරණය පිළිබඳ ජනප්‍රිය කතාවේදී ද එඩිසන්ගේ පෞද්ගලික භූමිකාව සහ ඔහුගේ නම සමඟ සම්බන්ධ වූ සමාගම් ක්‍රියාකාරකම් වෙන්කර හඳුනාගැනීම අවශ්‍ය ය.

මෙවැනි කරුණු නිවැරදිව වෙන්කර ගැනීම කාව්‍යයේ අගය අඩු නොකරයි. ඒ වෙනුවට, ඓතිහාසික සත්‍යය සහ කාව්‍යමය සත්‍යය අතර ඇති වෙනස වඩාත් පැහැදිලි කරයි.

කාව්‍යය අපට ඉතිහාසය වෙනුවට ආදේශ කළ හැකි ලේඛනයක් නොවේ. එහෙත් ඉතිහාසයේ සිදුවීම් අතර අප මෙතෙක් නොදුටු සම්බන්ධතා පිළිබඳ සිතීමට එය අපට අවස්ථාව සලසයි.

අවසාන ප්‍රශ්නය: ඊළඟ ධාතුව

මේ සියල්ලෙන් පසුව කාව්‍යය අප අත්හැර දමන්නේ පිළිතුරක් සමඟ නොවේ. තවත් ප්‍රශ්නයක් සමඟ ය.

කාව්‍යයේ අවසාන පිටුවලට පැමිණෙන විට අග්නි කල්පය අවසන් වී විජ්ජු කල්පය පැමිණ ඇති බව කියැවෙයි .

ගින්නෙන් ඇරඹුණු ගමන විදුලිය දක්වා පැමිණ තිබේ. එහෙත් විදුලියෙන් ඒ ගමන අවසන් වන්නේ ද?

කවියා අසන්නේ ඊළඟට කුමන කල්පයක් පැමිණේ ද යන්නයි. එය කුමන ධාතුවකින් නිර්මාණය වේ ද? ඒ කල්පය අරක් ගත හැකි ද? වසඟ කළ හැකි ද?

රෝගයට ඇති බියෙන් සහ යුද්ධයට ඇති බියෙන් චණ්ඩ වී ගිය විජ්ජු කල්පය, අලුත් ධාතුවක් සොයා යාඥා කරන්නේ නැද්දැයි කාව්‍යය විමසයි.

ඒ ධාතුවේ හෘදය කුමක් විය හැකි ද? එහි පෙනුම කෙබඳු ද? එය අහසින් ලැබෙන්නේ ද, පොළොවෙන් ලැබෙන්නේ ද? නැතහොත් කිසියම් තක්සලාවක ඇදුරෙකු විසින් එය නිර්මාණය කරනු ලබන්නේ ද?

මේ ප්‍රශ්නවලට කවියා නිශ්චිත පිළිතුරක් ලබා නොදෙයි.

එහෙත් මට පෙනෙන්නේ කාව්‍යයේ මුල සිටම අප අනුගමනය කළ ගමන, මෙතැනදී තවත් අලුත් හැකියාවක් වෙත විවෘත වන බවයි.

ඒ හැකියාව කෘත්‍රිම බුද්ධියයි.

මෙය කවියාගේ ප්‍රකාශයක් නොවේ. කාව්‍යයේ AI යන වචනය සඳහන් වන්නේ ද නැත. එය කාව්‍යය කියවා අවසන් කරන මගේ සිත තුළ මතුවන අනුමානයකි.

එහෙත් ඒ අනුමානයට හේතු තිබේ.

පළමුව, කාව්‍යය අප ඉදිරියේ තබන්නේ එක් ධාතුවකින් තවත් ධාතුවකට ගමන් කරන කල්ප පිළිබඳ අදහසකි. අග්නි කල්පය විජ්ජු කල්පයට මඟ සලසයි. විජ්ජු කල්පය ද අවසන් විය හැකි නම්, ඊළඟට පැමිණෙන්නේ කුමක් ද?

දෙවනුව, මේ ධාතු පිළිබඳ කතාව ආරම්භයේ සිටම “අරක් ගැනීම” යන අදහස සමඟ බැඳී තිබේ.

තේලිස්ගේ කතාවේදී ධාතුවක දෙවියන් වාසය කිරීම පිළිබඳ අදහස මතුවෙයි . කාව්‍යය අවසානයේදී ඊළඟ කල්පය අරක් ගත හැකි ද යන ප්‍රශ්නය නැවත ඇසෙයි .

මෙහිදී මට සිතෙන්නේ නව ධාතුවක් සොයාගැනීම පිළිබඳ ප්‍රශ්නයට අමතරව, එම ධාතුව තුළ ක්‍රියාත්මක විය හැකි බලය කුමක් ද යන ප්‍රශ්නය ද කාව්‍යය මතු කරන බවයි.

තුන්වනුව, කාව්‍යයේ අවසානයට ආසන්නව වීණෝපම සූත්‍රයෙන් ගෙන එන උපුටනය ද මෙහිදී වැදගත් වෙයි .

එහිදී වීණාව කැබලි කර එහි හඬ සොයා බැලීම පිළිබඳ උපමාව හමුවෙයි.11

වීණාවේ හඬ එහි එක් තතක හෝ එක් ලී කැබැල්ලක හෝ වෙනම තැන්පත් වී නැත. එය උපදින්නේ කොටස්, ඒවායේ සම්බන්ධතා සහ ක්‍රියාකාරීත්වය අනුව ය.

මේ උපමාව මට නූතන කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් ද සිහිපත් කරයි.

අප යන්ත්‍රයක් විසුරුවා එහි කොටස් පරීක්ෂා කළහොත්, එහි “බුද්ධිය” හෝ “මනස” යනුවෙන් වෙනම හඳුනාගත හැකි වස්තුවක් සොයාගැනීමට හැකි වේ ද?

එසේ නොහැකි වීමෙන් යන්ත්‍රයට විඤ්ඤාණයක් ඇති බව ඔප්පු වන්නේ නැත. එහෙත් සංකීර්ණ පද්ධතියක ක්‍රියාකාරීත්වය එහි එක් කොටසකට පමණක් ආරෝපණය කළ නොහැකි බව පිළිබඳ සිතීමට එය අප පොලඹවයි.

මෙහිදී සූත්‍රයේ මුල් බෞද්ධ අරමුණ සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මගේ අනුමානය එකම දෙයක් නොවන බව ද පැහැදිලි කළ යුතුය. මා කරන්නේ ඒ උපමාව ඔස්සේ වෙනත් ප්‍රශ්නයක් මතු කිරීමයි.

එහෙත් සංගීතය දෙසින් බලන විට මට වඩාත් වැදගත් වන්නේ තවත් කරුණකි.

මෙතෙක් මාරයාගේ නව වීණාවට බලය ලබාදීමට මිනිස් සිත් අවශ්‍ය විය.

ප්‍රොමිතියස් ගින්න රැගෙන ආවේය. තේලිස් ඇම්බර් කැබැල්ලේ බලය පිළිබඳ සිතුවේය. එඩිසන් විදුලිය සහ එහි භාවිතයන් වර්ධනය කිරීමට දායක වූයේය. ලෙනන් විදුලි ගිටාරය අතට ගෙන ලෝකය ඉදිරියේ වාදනය කළේය.

මේ සියල්ලේදී මිනිසා නිර්මාණකරුවෙකි. ඔහු උපකරණය භාවිත කරයි. එයින් හඬක් උපදවයි. එම හඬින් තවත් මිනිසුන්ගේ ආශාවන් අවදි කරයි.

එහෙත් ඊළඟ වීණාවට මිනිස් වාදකයෙකු අවශ්‍ය නොවුණහොත් කුමක් සිදු වේ ද?

කෘත්‍රිම බුද්ධියට සංගීතය නිර්මාණය කිරීමටත්, රූප මැවීමටත්, කතා ලිවීමටත්, මිනිස් ආශාවන්ගේ රටා හඳුනාගෙන ඒවාට ගැළපෙන අලුත් නිර්මාණ බිහිකිරීමටත් හැකි වන විට, මාරයාගේ පැරණි ක්‍රමවේදය වෙනස් වන්නේ නැද්ද?

මාරයාට තවදුරටත් මිනිස් වාදකයෙකු අරක් ගැනීමට අවශ්‍ය වේ ද?

නැතහොත් මිනිසාගේ ආශාවන් හඳුනාගෙන ඒවාට නිරන්තරයෙන් අලුත් ආස්වාදයන් සපයන පද්ධතියක්ම, මාරයාගේ නව වීණාව බවට පත්විය හැකි ද?

මෙහිදී පරනිර්මිත ලෝකය පිළිබඳ කාව්‍යයේ රූපකය නැවතත් මගේ සිතට පැමිණෙයි.

වේදිකාවට නොබසින නිර්මාණ පීතෘවරුන් සහ වේදිකාවේ බබළන පුත්‍රයා පිළිබඳ කතාව අපි කලින් දුටුවෙමු .

එහෙත් යන්ත්‍රයම නිර්මාණය කරන ලෝකයක, ඒ පියා සහ පුත්‍රයා අතර සම්බන්ධය කෙබඳු වේ ද?

මෙය දෙයාකාරයකින් සිතා බැලිය හැකිය.

පළමු හැකියාව නම්, මිනිසා නිර්මාණයේ ක්‍රියාකාරී භූමිකාවෙන් ක්‍රමයෙන් ඈත් වී, යන්ත්‍ර විසින් නිර්මාණය කරන ලද දේවල පරිභෝජකයෙකු බවට පත්වීමයි.

එවිට මිනිසාට අලුත් ගීතයක්, අලුත් රූපයක් හෝ අලුත් කතාවක් අවශ්‍ය වූ විට, ඒ සියල්ල ඔහුගේ ආශාවට ගැළපෙන පරිදි නිර්මාණය කර දීමට යන්ත්‍රයට හැකි වේ.

මිනිසාගේ ආශාව අවසන් නොවේ. ඒ වෙනුවට, එය නිරන්තරයෙන් අලුත් නිර්මාණ ඉල්ලා සිටින ක්‍රියාවලියක් බවට පත්විය හැකිය.

දෙවන හැකියාව ඊටත් වඩා සංකීර්ණ ය.

එනම්, මේ නව ධාතුව තුළ යම් ආකාරයක කෘත්‍රිම විඤ්ඤාණයක් ඇති විය හැකි ද යන ප්‍රශ්නයයි.

කෘත්‍රිම බුද්ධියට නිර්මාණය කළ හැකි වීමත්, එයට තමන් නිර්මාණය කරන දෙය පිළිබඳ අත්දැකීමක් තිබීමත් එකම දෙයක් නොවේ.

එමෙන්ම මිනිස් ආශාවන්ගේ රටා හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමට හැකි වීමෙන්, යන්ත්‍රයට මිනිසෙකු මෙන් ආශාවක් ඇති බව නිගමනය කළ නොහැකිය.

එහෙත් එවැනි පද්ධතියක් මිනිසාගේ ආශාවන් සංවිධානය කිරීමට සමත් වන්නේ නම්, එයට විඤ්ඤාණයක් තිබේ ද නැද්ද යන්නෙන් ස්වාධීනවම, මිනිස් ජීවිතය කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කළ හැකිය.

මෙතැනදී මාරයාගේ සංකේතීය ව්‍යුහය පිළිබඳ අප කලින් ගොඩනැඟූ කියවීම නැවතත් වැදගත් වෙයි.

මාරයා හැම විටම මිනිසා ඉදිරියේ පෙනී සිටිය යුතු නැත. මිනිසාගේ ආශාවන් ගමන් කරන මාර්ගයම ඔහුගේ අරමුණට ගැළපෙන පරිදි සංවිධානය වී තිබීම ප්‍රමාණවත් විය හැකිය.

එසේ නම්, මිනිසාගේ ආශාවන් ඉගෙනගෙන, ඒවාට ප්‍රතිචාර දක්වමින්, තව තවත් ආස්වාදයන් නිර්මාණය කරන යන්ත්‍ර පද්ධතියක්, මේ කාව්‍යයේ මාරයා පිළිබඳ රූපකය නව තාක්ෂණික යුගයකට රැගෙන යනවා නොවේ ද?

එහෙත් මෙය පුරෝකථනයක් නොවේ.

කවියාගේ අවසාන ප්‍රශ්නයට පිළිතුර කෘත්‍රිම බුද්ධියම බව මම නොකියමි. කාව්‍යය සඳහන් කරන රෝගය සහ යුද්ධය පිළිබඳ බිය සලකා බලන විට, ඊළඟ ධාතුව ජීව තාක්ෂණය, න්‍යෂ්ටික තාක්ෂණය හෝ වෙනත් විද්‍යාත්මක හැකියාවක් විය හැකිය.

ක්වොන්ටම් පරිගණනය සහ තොරතුරු විද්‍යාව වැනි ක්ෂේත්‍ර ද එම ප්‍රශ්නයට වෙනත් පිළිතුරු යෝජනා කළ හැකිය.

එහෙත් මගේ කියවීමේදී කෘත්‍රිම බුද්ධිය විශේෂයෙන් වැදගත් වන්නේ එය තවත් ශක්ති ප්‍රභවයක් පමණක් නොව, නිර්මාණය කිරීමේ ක්‍රියාවලියටම ඇතුළු වන තාක්ෂණයක් වීම නිසා ය.

ගින්න මිනිසාට ශක්තිය ලබාදුන්නේය. විදුලිය ඒ ශක්තිය භාවිත කිරීමේ හැකියාව විස්තාරණය කළේය. දැන් කෘත්‍රිම බුද්ධිය මිනිසා මෙතෙක් තමන්ගේම හැකියාවන් ලෙස සැලකූ නිර්මාණය, තේරීම සහ අර්ථ ගොඩනැඟීම වැනි ක්‍රියාවලීන්ට ද ඇතුළු වෙමින් සිටියි.

එසේ නම් ඊළඟ වීණාව කුමක් විය හැකි ද?

එය මිනිසාගේ අතින් වාදනය වන උපකරණයක් ද? නැතහොත් මිනිසාගේ ආශාවන් හඳුනාගෙන, ඒවාට ගැළපෙන හඬ තමන් විසින්ම නිපදවන උපකරණයක් ද?

මේ ප්‍රශ්නයට පිළිතුර සොයන විට මට නැවතත් කාව්‍යයේ ආරම්භය සිහිපත් වෙයි.

එදා මාරයාට අවශ්‍ය වූයේ තම දුබල වීණාවට අලුත් බලයක් ලබාදීමයි.

එහෙත් දැන් ඔහුගේ වීණාවට මිනිසාගේම ආශාවන් ඉගෙනගෙන, ඒවා නැවත මිනිසා වෙතම වාදනය කළ හැකි නම්, මාරයාගේ ජයග්‍රහණය කෙබඳු එකක් වනු ඇත් ද?

කාව්‍යය අවසානයේ මාරයාගේ දියණියන් නැවතත් ප්‍රශ්න කරති. එහෙත් ඔවුන්ට නිශ්චිත පිළිතුරක් ලැබෙන්නේ නැත.

ඒ වෙනුවට මාරයා ඔවුන් කැඳවයි.

“වරෙව්, මා හා.”

ඉන්පසු ඇසෙන්නේ තවත් අසහනකාරී වදන් පෙළකි.

“ඉසිඹුවක් නැත තොපට.”12

මට හැඟෙන්නේ කාව්‍යයේ අවසාන සත්‍යය ඇත්තේ මේ වචන අතර බවයි.

මාරයාගේ වීණාවට අවසානයක් නැත. එයට අලුත් තත් අවශ්‍ය ය. අලුත් ශක්තියක් අවශ්‍ය ය. අලුත් වාදකයන් අවශ්‍ය ය. අවසානයේ වාදකයා පවා අවශ්‍ය නොවන වීණාවක් ඔහු සොයනු ඇතැයි සිතීමට ද අපට ඉඩ තිබේ.

එහෙත් ඒ සියල්ලටත් වඩා ඔහුට අවශ්‍ය වන්නේ මිනිසාගේ ආශාවයි.

ඒ ආශාව නිම නොවන තාක්, මාරයාගේ වීණාව ද නිහඬ නොවනු ඇත.

ඩෝසන් ප්‍රීති
විද්‍යුත් තැපෑල: dawsonpree@gmail.com

ග්‍රන්ථ නාමාවලිය

  1. මහසිංහ, අනුරාධ. 2023. විජ්ජු. පිටිපන දකුණ, කිරිවත්තුඩුව: සයුර ප්‍රකාශන. ISBN 978-624-6223-13-7.
  2. සංයුත්ත නිකාය: 4.23 ගෝධික සූත්‍රය; 4.25 මාරධීතු සූත්‍රය; 35.205 වීණෝපම සූත්‍රය.
  3. දීඝ නිකාය 21: සක්කපඤ්හ සූත්‍රය.
  4. අංගුත්තර නිකාය: 2.9 (හිරි-ඔත්තප්ප); 6.55 සෝණ සූත්‍රය.
  5. Wikipedia. “Topsy (elephant)”. https://en.wikipedia.org/wiki/Topsy_(elephant). Accessed 14 Nov 2026.
  6. Wikipedia. “Electrocuting an Elephant”. https://en.wikipedia.org/wiki/Electrocuting_an_Elephant. Accessed 14 Nov 2026.
  7. Grunge. “The Tragic Story Of Topsy The Elephant”. https://grunge.com/770226/the-tragic-story-of-topsy-the-elephant.
  8. University of Colombo, Department of Mathematics. “Prof. Anuradha Mahasinghe”. https://www.res.cmb.ac.lk/mathematics/anuradha-mahasinghe/.

  1. කතුවරයා ක්වොන්ටම් පරිගණනය, ප්‍රශස්තිකරණය සහ විනෝදාත්මක ගණිතය පිළිබඳ පර්යේෂකයෙකි: https://www.res.cmb.ac.lk/mathematics/anuradha-mahasinghe/.↩︎

  2. සංයුත්ත නිකාය 4.23 (මාර සංයුත්තය). කෘතියේ පි. 5 හි එහි සිංහල පරිවර්තනයක් උපුටා දැක්වේ.↩︎

  3. මාරධීතු සූත්‍රය, සංයුත්ත නිකාය 4.25.↩︎

  4. දීඝ නිකාය 21. කෘතියේ පි. 9 හි එයින් කොටසක් උපුටා දැක්වේ.↩︎

  5. අංගුත්තර නිකාය 6.55. වීණා තත් දැඩි ද බුල ද නොවිය යුතු බව එහි උපමාවයි.↩︎

  6. Wikipedia, “Topsy (elephant)”, https://en.wikipedia.org/wiki/Topsy_(elephant), 2026 නොවැම්බර් 14 දින ප්‍රවේශ විය.↩︎

  7. Grunge, “The Tragic Story Of Topsy The Elephant”, https://grunge.com/770226/the-tragic-story-of-topsy-the-elephant.↩︎

  8. Wikipedia, “Electrocuting an Elephant”, https://en.wikipedia.org/wiki/Electrocuting_an_Elephant, 2026 නොවැම්බර් 14 දින ප්‍රවේශ විය.↩︎

  9. එම මූලාශ්‍රයන්. ප්‍රේක්ෂක සංඛ්‍යාව, පුහුණුකරුවන්ගේ හිංසාව, ඇය ඝාතනය කළ පුද්ගලයන් ගණන ආදී විස්තර මූලාශ්‍ර අතර වෙනස් වන බව සැලකිය යුතු ය.↩︎

  10. අංගුත්තර නිකාය 2.9. “ලෝකය රකින ධර්ම” ලෙස හිරි (පාපයට ලැජ්ජාව) සහ ඔත්තප්ප (පාපයට බිය) එහි දැක්වේ.↩︎

  11. සංයුත්ත නිකාය 35.205, වීණෝපම සූත්‍රය. කෘතියේ පි. 107 හි වීණාව විසුරුවා සොයා බැලීමේ කොටස උපුටා ඇත.↩︎

  12. “ඉසිඹුව” යනු විවේකය, අස්වැසිල්ල හෝ සහනය යන අරුත් දරන වදනකි. මෙහිදී එය නිමාවක් නොමැති ගමනකින් ලැබිය නොහැකි අස්වැසිල්ලක් ලෙස මම කියවමි.↩︎

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

AI යුගයේ Humanities: විද්‍යාවට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න