"සඳ දුටු සඳ" නිර්මාන සංග්‍රහය ගැන සටහනක්
නැවුම් ආකෘති ඔස්සේ නිර්මාන සංග්‍රහ එළිදැක්වීම වර්තමානයේ සුලබය. මෙසේ ආකෘතිය යැයි මා අදහස් කළේ නිර්මාන පමණක් නොව ඒවා පෙළ ගස්වා ඇති අයුරු හෝ ඒවා කෘතිය තුළ සංවිධානය වී ඇති ආකාරය ද ඇතුළත් අදහසකි. ඉරංගා සචින්තිකා යද්දෙහිගේ නම් වූ කිවිඳිය විසින් රචිත නිර්මාන සංග්‍රහයේ ආකෘතිය වී ඇත්තේ චන්ද්‍ර චාරය හෙවත් සඳ ගමන යි. සඳ දුටු සඳ ලෙස නම් කර ඇති මෙම නිර්මාන සංග්‍රහය සමස්තයක් වශයෙන් පෙළ ගැසී ඇත්තේ චන්ද්‍රයා කේන්ද්‍ර කරගත් ආකෘතියක වුව ද එහි අන්තර්ගතය විසින් එබඳු කේන්ද්‍රීය තේමාවක් එහි රූපිකයන්ගේ අගයන් උඩුයටිකුරු කර විතැන් කරවන්නට සමත් වන අයුරු සළකා බැලීම ද සිත් ගන්නා සුළුය. එක්තරා අයුරකින් සඳ දෙස හෙලූ විවිධාකාර දෘශ්ටිකෝණයන් සමස්තයක එකතුවක් ලෙසත් මෙම නිර්මාන සංග්‍රහය දැක්විය හැකිය. අනෙක් අතට සඳ මිනිස් සිතෙහි උත්පාද වන්නා වූ විවිධ චෛතසිකයන් කෙරෙහි බලපෑ අයුරු චිත්‍රනය කිරීමක් ලෙසද දැකිය හැකිය. නොඑසේ නම් කිසියම් නිරීක්ෂණයක පසුබිමේ වූ සඳ එම සිදුවීමත් සමග පාත්‍රවර්ගයා කෙරෙහි උපදවන හැඟුම් නිර්මාන බවට පත් කරවීමක් ලෙසද දැකිය හැකිය. මෙකී සියළු ආකාර වූ නිර්මාන මේ නිර්මාන සමුච්...