Posts

Showing posts from January, 2009

දෙවියන් මැරීම-ජී බී සේනානායක

දෙවියන් මැරීම බුද්ධිය මිත‍්‍රයෙකැයි, සිතු මම දිනක් මග රැක සිට මගේ දෙවියන් මරා හෙලීමි, දැවැන්තයකු වන බුද්ධිය අඳුරෙහි මහ අඩි තබමින් මා පිටි පසින් එනු මට ඇසෙයි. එහෙත් දෙවියන් සිටි කල මෙන් දැන් මට සැක හැර ගමන් කළ නොහැක මා වැටුණු කල දැන් දෙවියන් නැති හෙයින් මම නැඟී සිටිය යුතු ය. යළිත් දෙවියන් සොයා ගිය මට උන්වහන්සේගේ රන්වන් මළ සිරුර මඟ අසල, නුග ගස යට තිබී සම්බ විය ස්වාමීනි, යළිත් නැඟී සිට මා හා පෙර මෙන් එනු මැනවයි මම කීමි උන්වහන්සේ නැඟී නොසිටින්නේ බුද්ධියතම දත් දෙපළ පෙන්නා විලිස්සමින් මා පිටිපස සිටින හෙයින් බව මම දනිමි එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැකිය ඔහු මා අතහැර නොයයි. ජී බී සේනානායක පලිගැනීම පද්‍ය සංග‍්‍රහයෙන් 1946

චන්ද්‍ර පාෂාණය

චන්ද්‍ර පාෂාණය නොඉපදුන අයිකරස් මම තවම ඬේඩලස් නැත අලුත් අදහසක් සිපිරි ගේ බිඳිනු වස් හිරු දවන ඉටි බැඳුන අපෙ පරණ පියාපත් ඉගැන් වූ පාඩමත් සිත දරන් විඩාපත් රාත‍්‍රියේ පියාඹා ගොස් චන්ද්‍ර මණ්ඩලේ චන්ද්‍ර පාෂාණයක් රැගෙන එල්ලමුකො අප පැලේ ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2007

Metamorphosis නොහොත් රූපාන්තරණය

Metamorphosis නොහොත් රූපාන්තරණය මම උදෑසන පිබිදුනේ විද්‍යුත් චුම්බක තරංගයක් ලෙසිනි. මගේ සිරුර හරියටම අංශක අනූවකට ඉගටිය ලගින් දෙකට බෙදී තිබුනා. සිරුරෙ උඩ කොටස අධික වේගයකින් කම්පනය වෙමින් පහල කොටස සමග සාපේක්ෂ මාරාන්තික චලිතයක යෙදී තිබුනා. ඒත් මට හරි සතුටක් දැනුනා. විද්‍යුත් මාධ්‍යය තුලට රිංගා ගත හැකි වෙන කිසිම වැඩ පිලිවෙලක් මට තිබුනේ නැති නිසා මේ දුක කුමන සැපක්දැයි මටම හිතෙන්න පටන් ගත්තා. අල්ලපු ගෙදරින්ම පටන් ගත යුතු යැයි සිතුනෙන් ඉක්මනට කලිසමක් දාගෙන අතට අහු උන සැඳෑ ගමනකට උචිත මගේ එකම වස්ත‍්‍රය ඇග ලා පාවී ගොස් කොස් ගහ මුදුනේ සුලගට පැද්දෙන කබල් ඇන්ටනාවෙන් ඔවුන්ගේ රූපවාහිනියට රිංගා ගත්තා. "මෙන්න යකඩො අල්ලපු ගෙදර මනතුංගයා අද ටීවීයෙකේ " "මොනවා මොනවා මනතුංග! මේ යකා කොහෙන් මේකට රිංග ගත්තද ? හප්පා මුගෙ ආඩම්බර කම උජාරුවට ඉන්න ලක !? කනක්කැහිලා ඉන්න ලැබෙන එකක් නැහැ ඔන්න අර වඩිගපටුනෙන් ! මහ කෝලම වැඬේම මහත්තයගේ පම්පෝරිය දිග ඇර ඇර ඉන්න එක... දැං ඉතින් මාසයක්වත් යනකං වැට අද්දර මල් පැල ටිකට වතුර දමයි උදේ හවස ..." චැනලය මාරු කලෙන් මට කිසිවක් කර කියා ගත හැකි නොහී ආ පාරෙන්ම ...

සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක

1986 ජුලි 14 බස් එකේ අද මහ කලබලයක්. ඡන්දයක් ඔනැ දැන්ම ඡන්ද තියන්න බැහැ. බසයේ සිටි අය සියල්ලම වාගේ දෙකට බෙදිලා. මුන්ට පිස්සු ද මන්ද. උන් හදන්නේ ඡන්දෙන් විප්ලව කරන්න. චිලියේ අයියන්ඩෙ දිනුවට පසු ඩෙබ්රෙ ලියූ පොත මට මතක් වෙනව. ඡන්දයෙන් විප්ලව කරන්න පුළුවන් බව අයියන්ඩෙ ඔප්පු කළ බව එදා ඩෙබ්රෙ කීව. ඒත් අයියන්ඩෙත් රටෙ වාමාංශිකයින් දහස් ගණනකුත් ජුන්ටාකාරයින් අතින් මැරුම් කෑ පසු ඩෙබ්රෙ තමන් ලියූ පොතම පුච්චලා දැම්මා. කවදාවත් පරම සත්‍යයක් අසත්‍ය කරන්න බැහැ. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

කඩු පත් බඳු අත්-නන්දන වීරසිංහ

කඩු පත් බඳු අත් සෝදා පාළු බිම පෙත පුරවා ලොකු මහත් කළ ගල් ඇඳි නෙරා ආ බෑවුම් වෙර වඩා දමනය කළ පියවරුන් ගේ උද්දාම සිනාහඩ අරගෙන පහන් දොරින් එන සුළග අලුත් හුස්මෙන් පුරාලයි ඇගපත පණු කැලක් සේ ඉල්පුණු පෑදුනු නහර ගැවසුණු කොළපු බඳු අත පයෙන් බෑවුම් හීලෑ කරන වෙදනා මුහුණ සගවා සැහැල්ලු ව හිනැහෙන නෑ සියන් ගේ පැතුම් සහගත කටහඩ පිරී ගනවෙයි හේන් යායේ උදැහැන හෙට දොරට වඩම්මන බිලිඳු පා පොඩිවලට ගල් කුළු වැඩෙන මුඩු බිම මෙළෙක් යහනක් කරමින දරු මුණුබුරන් වාගේ දුක් කරදර වඩා ගෙන නළවන නැති බැරි කම් ඇකයේ ඔබාගෙන ඇති දැඩි කරන අත් ම ය බලගතු දුක් මිදුණු මෙ දෙගංබඩ මල බැඳුණු අවි විලස මොට වුණු සියල් සිත් ඇතුළත පැහැසර ය කැටපත් විලස ඔප වැටී දිලිහෙන දවස නුදුරුය කපා පෙරළා සරු කරන පොළෝ පස් මත පඳුරු ලා වැඩී ඔජස උරා බොන පිළිල උදුර උදුරා ගිනිලන්ට ඔප වැටුණු හිත් වලින් යුගත් කඩු පත්වලට පණ පෙවෙන නව දිවියක බිජුවට ඒ අත්වලින් වැපිරෙන හෙට උදෑසන සිහි කර සතුටු කඳුළක් පුදන්නෙමි මෙ හේන් බිම මතුපිට නන්දන වීරසිංහ කිරි සුවඳැති රාත‍්‍රිය 1990 උපුටා ගන්නා ලදී.මෙම පද්‍ය සංග‍්‍රහය 1990 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද්දේය. இ ஏ டொசன் ப்ரேதி

යාල්පානම්-අමල් තුෂාර ප‍්‍රනාන්දු

යාල්පානම් யால்ப்பானம் නල්ලූර් දෙවියන් බලන්න යන්න ඔනැ යාල්පානම් තුන් සරණේ අස අසා... ඔබත් එක්ක මියෙන්නට කලියෙන් තුටින් නැගෙන්නට කඳුලක්... කොලොම්පුරෙ පේලි ගේක නළලේ තිලකේ තියාන පේවී පිරුණු කලේ නොසැලෙන දිය සේ ආදරෙ මගෙ හිත පුරවා ගිය දේවි ඔබ දෙමළ ගම යාල්පානම් මම දන්නේ අද ඊයේ නොවෙයි... අරවි ආරු දියවර පාවෙන පරෙවි පියාපත අහුලාගෙන ... සිහිනය සිහිනයක් නොවෙ මැයි දෝතින් මගෙ දෑස් වසා කී දේවී... ඔබ දෙමළ ගම යාල්පානම් මම දන්නේ අද ඊයේ නොවෙයි... අමල් තුෂාර ප‍්‍රනාන්දු යාල්පානම්2001 පද්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලදී. එම කවියේම දෙමළ පරිවර්තනය මාධ්‍යවෙදී රවි රත්නවෙල් විසින් එම කාව්‍ය සංග‍්‍රහයට එකතු කර ඇත. டொந்சன் ப்ரேதி இ ஏ

අවදියෙන් සිටිමු-උ චෙරන්

අවදියෙන් සිටිමු අවදියෙන් සිටිමු අපි මිතුරනි ශෝකයෙන් වටවු ලංකා සිතියම රතු රුහිරු හෙළුවෙ මෙතෙක් කල් බොහෝ දෑ පිදුවෙ මෙ තරම් වෙනත් කෙනෙකුට වහල් වන්නද කුලී හමුදාවක් සමග විප්ලවයක් කුමකටද අපේ මිහිබිමෙ අපේ සවිබලෙන් අපේ දෙපයින් ඉතින් නැගිටිමු දිනුවත් දිවි ගෙවමු පැරදුනත් දිවි ගෙවමු අපේ පරපුර අරගලය කළාදෙන් උ චෙරන් චෙරන් යාපනයේ උපන් කවියෙකි. දැනට කැනඩාවෙ වෙසෙන ඔහු යුධයේ ගැඹුරු පීඩාවන් කේනද‍්‍ර කරගත් කාව්‍ය රචනා සමුච්චයක් වන "මරණතුල් වාල්වෝම්" (මරණය තුල ජීවත් වෙමු) හි සම සංස්කාරකවරයකු ලෙසද නූතන දෙමල කාව්‍ය කතිකාවට නැණසරව සබැඳේ. මෙම උපුටනය නිලාර්එ න් කාසිම් ගේ සහෝදර පියාපත් කාව්‍ය සංග‍්‍රහයෙනි.

සිනාවත-සල්මා

සිනාවත ගෙයි මුල්ලෙහි නැති බැරිකම් අතර සැගව පවතී මගේ සිනහව එදා මා නැගූ හස කැලුම් විකසිතය රුවැතිය ඒවා හැබෑ වූ හිනාමය දූවිලි ගසා දා මතු කර ගනිමි මම මගේ ඒ සිනහ කැන් ඒවා විකසිතය මලින් සුසැදිය අභිමානනීයය ඉතිං මතු දින එබඳු වූ සිනාවන් මතුකරවිය නොහැක කිසිවකුට මින් මතුව නැගෙන හැම හිනාවම දිළිඳු වී අඩු ලුහුඩුතා ඇතිව පවතීවි ඉතිං ඒ සිනාවත කාටවත් පලක් නැත මට පවා එදා මා නැගූ ඒ සිනාවන් හඩන දරු දැරියන්ට වැන්දඹු ළඳුන්ට පීඩිත සැමියන්ට දන්දෙමි සිනාවෙහි නිසි පල යොදා ගන්නේ කෙලෙසදැයි දිවිමගට මමකියා දෙමි ඔවුන්හට සල්මා ඉන්දියානු මුස්ලිම් කිවිඳියකි. ඇගේ එකම කාව්‍ය සංග‍්‍රහය වන "ඔරු මාලෙයුම් ඉන්නොරු මාලෙයුම්" ( සැඳෑවක් සහ තවත් සැඳෑවක්) හි එන මෙම කවිය දෙමලෙන් සිංහලට පරිවර්තනය කරන්නේ නිලාර්එ න් කාසිම්ය. නිලාර්ගේ සහෝදර පියාපත් කාව්‍ය සමුච්චයෙන් උපුටා ගන්නා ලදී. මීට ස්වල්ප කාලයකට පෙර සල්මා ගේ කවියක් බූන්දිය තුල මා විසින් පළ කරන ලද්දෙන් සල්මා අපට ආගන්තුක නොවේ යැයිද සිතමි.

වර්ණ-කසුන් ගේ අලුත්ම ස්වර සංධවනිය-The Romantic Opera

වර්ණ -The Romantic Opera කසුන් ගේ අලුත්ම ස්වර සංධවනිය තුල අගක් මුලක් නොවන හිස් තැන් සහ කාල අවකාෂ සමාප්තියෙන් ගොඩනැගීම් තුල සිරව සිත මුදා ගත් ක්ෂණයක තබන සටහනකි මෙය. කේමදාසයන්ගේ පුනරාගමනයක් ලෙස එක එල්ලේ නිර්වචනය කළ හැකි සිංහල සංධවනියක් නැවත සොයා ගැනීමක් සේ එක වර මට හැගෙන්නේ ඔපෙරා කුලයෙන්ම ස්වයංජාත වන එහි තේමාව විසිනුයි. කසුන් ගේ ප‍්‍රථම නිර්මාණ සංග‍්‍රහය වන රැඩිකල් පේ‍්‍රමය තුල ඇකෝස්ටික් ගිටාරයේ ස්වර රාව මානවීයකරණය වී ප‍්‍රතිරාව දුන් නිමෙෂයේ සිට මෙ දෙවන රොමෑන්තික ඔපෙරාව දක්වා වූ පරිණාමය හුදෙක් අහඹුතාවයක් නොවන සමාජ බද්ධ කි‍්‍රයාවලියක් ලෙෂ හඳුනා ගැනීමෙ අවශ්‍යතාව විසින් නොවන්නට මෙම ලියවිල්ල කිසි දින මා අතින් නොලිය වෙනු ඇත. සංගීතයේ නව්‍යකරණයේ කොන්ත‍්‍රාත්තුව ස්වයංපැවරුමක් බවට පත් කරගත් හෝ සිය ඒකාධිකාරයක් බවට පත් කරගනිමින් ලාංකීය සංගීත ක්ෂේත‍්‍රය උඩුයටිකුරු කිරීමෙ ව්‍යපෘතියේ පෙරගමන්කරුවන් සංගීත ශිල්පීන් එක රැයෙන් සුපිරි තරු බවට සුපර්නෝවාකරණයේ බහුවිධ මාධ්‍ය ප‍්‍රවණතා මාධ්‍යයේ කසුන් වැනි නිර්මාණශීලි විසංයෝජක සංගීතඥයන්ගේ පැවැත්ම හෝ ප‍්‍රාදුර්භූතය සංගීතයේ හෙට දිනය ගැන බලාපොරොත්තු දල්වන්නකි. සංගී...

භාවනා කරන කළු ගලක් අසල

භාවනා කරන කළු ගලක් අසල පෙරදින සංවාස කැක්කුම් තුනටි අත ගාමින් ද වැට එහා මෙහා දිවීමෙ ආපදා මරාගැනිලි දෙස් දෙමින්ද ඉඩම් නඩුවට යන්න නැකැත් කොල ගුටි කරගත් දෑත් ද කබල් වෑන් එක හෙට අනෙකෙක්ගේ කරෙ ගසන මන්ත‍්‍රය ජප කරමින ද ශුක‍්‍ර ධාතු තවමත් නොවෙලුනු දෙකලවින් යුත් සාරංගී ද පණ ඇති මිනිසුන් පෙති ගසන ලයිසන් අතැති විරුවන් ද අපේ කැමැත්තෙන් අප අකමැති දෑ කරන්නට දේව වරම ලද්දෝ ද සර්ධාවෙන් වැඳ වැටී සිටියහ ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 20090124

මහා යුද්ධයක්

පළමුවන ශක වර්ෂයේදී මහා යුද්ධයක් විය. ශක රාජයෝ ද, ආරණ්‍ය සේනාපතීහු ද, බිහිසුණු සේ යුද වැදුණහ. ඔවුන්ගේ අශ්ව කුරයෙන් සියලු කෙත් වතු පාලු විය. ඉන්පසු ගොවීහු මෙසේ ඇසූහ "කවුරුන් සඳහා වන්නේ ද මෙම මහා යුද්ධය?" "ඔබ සඳහා" යැයි දෙගොල්ලෝම හඩ නගා පිළිතුරු දුන්හ. "අනාගතයේ ද අප වැනි වීර පුරුෂයෝ , ඔබ සඳහා නියතයෙන්ම බිහි වන්නෝය" -ශක රාජාවලිය සයිමන් නවගත්තේගමගේ "සාපේක්ෂනී" මෙම උපුටනය කුමාරි ගේ කෙටි කරපු දිග කතා පුස්තකයෙනි.

සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක

1986 ජුලි 13 රුසියාවෙ දෙ‍්‍රාහියකු ලෙස පිලිගනු ලැබූ බෝරිස් පැස්ටර්නාක් වාසය කළ නිවස කෙෘතුකාගාරයක් ලෙස ආරක්ෂා කළයුතු යැයි එරට සාහිත්‍ය සම්මන්ත‍්‍රණයක දී යෝජනාවක් ඉදිරිපත් වූ බව පුවත්පතක පළවී තිබිණ. කිසි දිනක රුසියාවෙ ප‍්‍රකාෂයට පත් නොකළ ඔහුගේ ඩොක්ටර් ෂිවාගෝ නවකතාව රුසියන් බසින් පළ කළ යුතු බව ද එහි දී කියැවී තිබිණි. මෙම යෝජනා ඉදිරිපත් කොට තිබුණේ කොමියුනිස්ට් සාහිත්‍යකරුවන්ගේ සංකේතය ලෙස රුසියාවෙ පිළගනු ලබන යෙව්ටුෂෙන්කෝ විසින් බව දුටු මම පුදුමයට පත් වීමි. කොතරම් ශ්‍රේෂ්ඨ මිනිසුන් ද ? නන්දා මාලනී ගැන කතා කරන්නට අද කිසිවෙකුත් නැහැ. මොනම අසාධාරණයකට වත් විරුදධව කතා කරන මිනිසුන් අද නැහැ. හැම මිනිසෙකුම නිහඩ වෙලා. එසේ නැතිනම් නිහඩ වෙයව් කියන අණට කීකරු වෙලා. මහ කාලකන්නි යුගයක්. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක

තාප්පයට මුත‍්‍ර කරන නැටුම

තාප්පයට මුත‍්‍ර කරන නැටුම නගර බිහි දොර වටදාගෙය පවුර පාමුල ඩෙනිමක් එකම රිද්මයකට දෙපැත්තට පැද්දෙමින් මුත‍්‍රා කරයි රිද්මය තාලය වෘන්දය විරිත ශ‍්‍රැතිය සියල්ල ඇත මුත‍්‍රා බහුවලය දෙපැත්තට සයිනාකාර හැඩයෙන් සරල අනුවර්තී චලිතයේ කන් පෙත්ත මත දිලෙන බ්ලූටූත් කර්ණසංඛය ජිවිතයට ඇවැසි රමණිය රිද්මය සපයන යුධ මද කිපි ගිනිලන වට පිටක සිය බර හෑල්ලු කරවන මුත‍්‍රා නර්තන... ඊ ඒ ඩොසන් ප‍්‍රීති 20090122

කළු කුහර දූපත

Image
කළු කුහර දූපත ආලෝකය පිට නොකරන කළු කුහරය විද්‍යුත් චුම්භක තරංග උරා බඩතුර සගව ගත් කළු කුහරය විශ්වයේ වටතිරය ආලෝක පඳුරක් ගිලගත් පරිධිය පුවත් නිදහසේ අඳුරු සෙවණැලි විදුලියෙන් හඹා යන උරා ගෙන ගිලා බසින කළු කුහරය විශ්වයේ කෙළවර නොව මෙතනමයි මෙන්න මෙතන ! දේශාංශක අක්ෂාංශක අතර හිරවුන කළු කුහරය කුංඡ නාද පමණක් කන් සිදුරු තුල දුවන කළු කුහරය විශ්වයේ කෙළවර නොව මෙතනමයි මෙන්න මෙතන !! ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2009-01-21 [නිමිත්ත කූඹියාගේ "ගාසා?" කවිය]

පෝෂණ උණ්ඩ

ඔෘෂධීය උණ්ඩ ඔන්න මින් මතු නොවව් කම්පා බෙහෙත් ගැල්වූ උණ්ඩ දල්වා පපු සිදුරු හරහා සැනෙන් ගොස් එසැන ගත මන දොල වඩන්නා හයිය හත්තිය දියව ගොස් කල් ඇගිලි කරගැට හැලී කටු වැල් ලෙසින් ජරපත් දිවිය දිගුකල් එන්නතකි මෙ උණ්ඩ මනකල් කඹුරලා සිය දිවිය උපතින් ලද දෙයක් නැති සොවින් තැතියෙන් වෙන් වෙලා දරු මල් සියල්ලෙන් අවි ද අතැතිත ව මගට බස සෙන් පිලිගන්නට ලතෙත් බැතියෙන් ප‍්‍රජාතාන්ත‍්‍රික රජය සැරසෙන් චීනයෙන් ගෙන්වූ බෙහෙත් ගැල්වූ උණ්ඩ ඇත භාණ්ඩාගාරයේ නිදි කිරමින් කලකදී මිනිසුන්ට ආහාර පාන හිගයකින් වැරදීමකින් හෝ දුකක් පීඩාවක් දැනෙන කල දුර සිටම පෝෂණ ආහාර සිරුරට විද ඔවුන් ගලවා සුඛිත මුදිත කිරීම එකල ආණ්ඩුවල වගකීම බැවින් එය ද එසේම සිදුවනු ඇත. මේ එයට පෙරහුරුවකි. ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 20090122 නිමිත්ත මහේෂ් මුණසිංහගේ අවම හානිය කවිය අවම හානිය උණ්ඩය සරල රේඛීයව ගමන් කිරීම අත් හැර ඇත අහිංසකයින් බිලින්දන් මගහැර ත‍්‍රස්තවාදීන් සොයා යායුතු බැවිනි ගුවන් බෝම්බ නොවැටී පාවෙති පාසල් රෝහල් මගහැර බංකර් පමණක් ඉව කරති මහේෂ් මුණසිංහ 2009-01

සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක

1986 ජුලි 12 තාත්තා මිය ගොස් අදට වසර 21 කි. හාමුදුරුවන්ට දානයක් දීමට අම්මා තුළ ආශාවක් තිබුණත් හැම දෙයකටම හරස්වන ආර්ථිකය එයට ද හරස් විය. හිගන මිනිසුනට කෑම පාර්සල් කීපයක් බෙදා දීමට තීරණය කළේ ඒ නිසාය. ඒවා බෙදා දීමට වෙලාවක් ලැබුනේ නැත. නගරය මැද කෑම පාර්සල් අතුරුදහන් වූවා සේය. රටෙ වැඩිදෙනා හිගන්නන් වී ඇත. තාත්තා ගැන මට දුකක් නැත. ඔහු සුන්දරත්වය විඳ මිය ගිය මිනිසෙකි. එහෙත් අද සෑම දෙයක්ම අසුන්දර වී ඇත. ඔහු ලියූ දේ අද ලිවිය යුතු නැත. සත්‍යවාදියකුගේ දිනපොත සුනිල් මාධව පේ‍්‍රමතිලක