Posts

Showing posts with the label ඇම්බියුලන්ස්

ඉපැරණි ෆොසිල සහ ඒක සෛලිකයන්ගේ කුසුම

වැඩුනු විට සිරුර අතු ඉති පැතිර ගලා යද්දී රුහිරු ප්ලෝයම පටක තුළ අගිස්සක පිපෙයි මලක් රජස් ඉතිරුන සැලි සැලී තුඩ තුඩ පැතිර යන ලෙස මහා කල්ප කාලාන්තර ඉම් ගෙවා ගෙන දරා සිටි ඒ සුනේ සුං ගති ගුණ පොළොව හිල් විද මුදා ගෙන ආ සඳ දැල්වෙයි පහනක් ඒ ටැම් කුළුන මුදුනත මහ පොළව ගැඹර පතුල සිර වුන ෆොසිලමය ජීවිත කාබනික අඟ පසඟ මිරිකී තැවී වෙලී අති මහත් පීඩනයට උණුසුමට මුදා හැර ඇත සිය වෛරය සිළු දල්වා ඉන්ධන ලෙස අමතක වූවන් ක්ෂුද්‍රයන්-ඇමීබාවන් සහ ඒක සෛලිකයන් දියව ඇත නොදැනුනු ෆොසිල මත තෙතමන වැලි කඳු ඝණ අඳුරු පොලෝ කුහර සිට දිය මතින් දියව ගලා එයි රස පොළොව ඉහළ ස්තර වෙත උරා ඉන් බිඳක් වැතිරුනු තුඟු වෘක්ෂ මූලයක ඉහළට නැගෙයි තත්පරෙන් තත්පරය තත්පරව මේ අමතක ව ගිය කාබනික ජරපත් බව විකසිත කරයි කුසුමක් මහ වනස්පතියක කුදු අතු අගිස්සක 13/12/2013

ආවර්ජනය

බීජයක් තබා දෝතින් සයනය මත විවර කරමි උළු වහලය අහසට වළාකුළු තැම්බූ වතුර කැට ඇද වැටෙන්නට සලස්වමි තෙත බරිත හීනය මත දළු ලා නොවැඩෙන අඟුරු කැටයක ධවල පැහැය ඇති කරවන ආදරය හදවතින් වෑස්සෙන්නට ඉඩ හැර ජීවය අත් හරිමි ගෙන ආ මෙතෙක් දුර දිරාපත් වන සයනය මිස හදවතක් දං දුන් මිනිසෙකු පිළිබඳ පුරා වතක් නැති බව දනී දළු ලෑ එ රුක මිහි මත 20/10/2013

දින නියමයක් නොමැති ලෝක විනාශය

බලන් සකි අහස දෙස නැද්ද තවමත් අර කීව හෙණ බෝලය? ලෝකය විනාශ කර දමන්නට එන බලන් සකි අර මහ සයුර නැද්ද තවමත් රළ නැගී ගුවනට? සෝදා දමන්නට ගොඩ බිම සමතලා කර ලෝකයේ උස් මිටි තැන බලන් සකි ඉර හඳ දෙස නැද්ද තවමත් ඒවා කඩන් බිඳන් වැටෙන ගති ගුණ? ලෝකය සූන්නද්ධූලි කරනට ඇයි මේ සියල්ල මෙතරම් පරක්කු නැද්ද වේලාවට වැඩ උන්ගෙ? අපි නම් ආණ්ඩුවෙ වෙලාවට වැඩ මැරෙන වෙලාව එනතුරු අතිකාල ගන්නවද උනුත් අපි වාගේ වැඩ වව වව පරක්කු කර කර? 25/09/2012

කාලයේ තීරු තීරු

අතීතෙ කාලය ගල් ගැසුනු තැංවල ගල් වුනු මිත්‍රයිනි සිතුවිලි නොසෙල්වුනු කාලය දෙපලු කොට හෝ තෙපලු කොට ආයෙම පණ ගන්වමි නොසෙල්වුනු සිතුවිලි කීරි කීරි... එනව ද මාත් එක්කල කාලයේ තීරු තීරු ඉරා දමනට කුරුඳු කෝට්ටක් වගේ පට්ටෙන් පට්ටා ගසා ලන්නට 15/07/2012

හිරුගෙන් කැඩී ...

හිරුගෙන් කැඩී වෙන් වුන කැබැල්ලක් පා වී ඇවිත් ගගනත විනිවිද අහස ඕසෝන් ස්ථර අවුලුවයි පෘථිවි කබොල නෑ සැක! කල්ප කාලාන්තරයක සිට කැරකී කැරකී වෙහෙසව අතින් ගිලිහෙන දොයිතුව පෙලා පලා දාවි ද ලෝ ධාතුව හැල්මෙන් වසර අගණිත සැලි සැලී හුන් බමනෙක හිරි වැටී අත් බාහු දඟ යුග ඉහිරෙයි ද හිරු ලෝහිත හිරු තරු ඇතුළ ඉපදුන දේවලින් සැදුන මිහි ජීවිත හිරු තරු කැඩී විහිදෙන කැබැල්ලෙන් නැවත ගනු ඇත 20/04/2012

සරුංගලයක සැබෑ ලස්සන...

වා තලය නිසල විට බැරෑරුම් කුණාටුව ළඟ බැව් කියයි අහස ගුගුරා වැසි වැටේ යැයි සිතූ විටක දී නිහඩ වෙයි බලාපොරොත්තුවකට ජීවය පිඹින්නට මෙවැනි බාධක සියුම් වෙයි රළු වෙසින් පැමිණියත් මේඝය මහා පොළොවට ළදරු වෙයි සරුංගලයක රැහැණ සුන් කොට ඉබාගාතේ යවයි-කුණාටු අහස වෙත කොතැන වැටුණත් එහිම හිමිකරු ඒ ඒ සියළු තැන් හිඳියි එනමුත් අහසේ නීතිය රීතිය නොදත් සරුංගල කිසි දා උඩ නොයයි වැටුනු තැනකින් ආයෙ අල්ලා උඩ යවන්නට සිත දිරියි සරුංගලයක සැබෑ ලස්සන අහස මැද මිස වෙන නොවෙයි! 09/04/2012

ඔබ ඇඳි සිතුවම්

ඔබ ඇඳි සිතුවම් දුටුවෙමි කඳු මුදුන් සහ අහස් තල අතර ගොරහැඩි පාෂාන සිඛර බඳ වට එතී ගලා හැලෙන දිය කඳුරුවල ඉවුරු බදා පැද්දෙන සුලලිත ගහවැල-කටු පඳුරක උල්ම උල් කටු කිනිස්සක අගිසක දිලෙන රෝස පෙත්තක ඔබ ඇඳි සිතුවම් දුටුවෙමි මම ද සිතුවම් අඳිමි දුර්ගන්ධය ගලා යන පීටාර ගලන කක්කුස්සි වලක් ගැන නගාරාලංකාරය ශෝභනය රකිනු වස් හරවා දැමුම පිණිස නොමිනිස් වාසයකට... 06/04/2012

සිමියුලේක්‍රය

මස්තිෂ්කය ඇතුළත අඳුරුය කළුවරය කෑලි කැපෙන තරමට! හිස් කබොලෙන් වටකුරු වූ ආලෝක පුංජයක් ඇතුළු නොවන ඝණාන්ධකාර කුටියකි මස්තිෂ්ක කුහරය දෘශ්ටිවිතානය මතට වැටෙන උඩුකුරුව ඇතුළුව-යටිකුරු වූ ප්‍රතිබිම්බය රසායන අංශු පේලියක් බවට පත්ව නික්ම ඇස පිලිකන්නෙන් ඇතුළු වෙයි අඳුරු මොළ මස වෙත අඳුරු අහස පලා ඇද වැටෙන ගිලන් උල්කාෂ්ම වරුසාවක් සේ අඳුරු මොළ මස තුළ වර්ණාවලිය හැඳිනෙයි... අඳුරු මොළ මස මත වර්ණාලෝක වෙන් වෙයි... ඇය දුටිමියි සිත තුටුවෙයි! 17/02/2012

හදවත් ශල්‍යකර්මය

සීතලට අපමණ පෙම් කළ මගේ වියපත් චර්ම වහන්තරාව ඇගේ උණුසුම් ඡවි කල්‍යානයෙන් හිරි වැටී ඇත-නිර්වින්දනය වී ඇත හැව හැරී නාගයෙකු සේ මා ඉඳී සයනයේ උඩුකුරුව ජීවිතය දිස්න දේ දහදිය දිගේ පපුතුර නිර්වින්දිත සිරුරු මස තුළ ඈ අත පොවන්නී ගැඹුරු තැන් වෙත ධමනි-ශිරා-කපාට හරහා ඉසියුම්ය ඈ සියුමැලි නිය හදවත හරහා ඇනී තිබූ දඩු කටුව ඇද දමා ඈ හති අරින්නී මා අසල නිදිවර්ජිතව... 10/02/2012

සිර ගෙවල්

කලකට පෙර අපි එකිනෙකාට සිර දඩුවම් පමුණුවා ගත්තෙමු ජීවිතාන්තය තෙක් සිර ගෙවල් දෙකක විසුමට වෙන වෙනම සිපිරි ගෙවල තුළ සිහින දුටිමු ඇතුන් වළසුන් යහන් වටා කැරකෙන හොඩින් මුවින් නෙළුම් නොව කඩු තෝමර රැඳුන ශිශිර නිද්‍රාවෙන් මිදුනෙමු ඒ බියකරු සිහින සමගින නැවතත් සිර දඩුවම් පමුණුවා ගත්තෙමු බරපතල වැඩ සහිතව නමුත් පුරුදු සිර ගෙදරම වසන්නට දිවි ඇති තෙක්ම... 6/2/2012

ඔයා වයසට යන්නෑ නේද?

ඒරාෂ්ඨක එක පිට දෙකයි ශනි මහ දසාවේ කුජ අන්තරයයි සේරම ග්‍රහයො කනපිටයි ජීවිතේම අබග්ගයක් යැයි ඔයා කියවාගෙන ගිය දා මා දුටුවේ ඔබේ ඩිජිටල් දසුනයි මයික් මුවේ තවරං ඔබේ මුව මා කන මත අතුරං "කිසි අයුරක සම්බන්ධයක් අප අතර සුභ නැත දෙවියන්ටවත් අප නම් එකතු කළ නොහැක ඔබට ඔබව ද මා හට මාවද නොමැති වනු ඇත අප එකතු වුනොතිං ආදරයට වඩා බොහෝ දේ ඇත ඉන් පරිබාහිරව අප අතර විෂමතා ඇති කරන සමතා නැති කරන" සිහිනයක් සේ ඔබ කී දේ මායාවක් සේ ඔබ කොඳුරපු දේ සැටලයිට් අවකාශ අයනගෝල හරහා තඹ කම්බි ආලෝක තන්තු රැහැන් අතරින් එක මිටිං ඉවත ලා යගුලියක් සේ පරසක්වල ගසා සිහිනයෙන් ඇවිදින්නෙකු සේ ඔබ සොයා මා පැමිණි මොහොතේ ඔබ දැල්වූ දෑසින් මල් වැස්සක චමත්කාරය මවමින් පවනක් මෙන් පාවී ඇවිදින් ඇසුවා මතකයි යම්තමින්... "ඔයා වයසට යන්නෑ නේද? " 2/2/2012

... තුරු

කොන් කැඩුනු තරුවකි මීදුමකින් වැසී ගිය වැනි තියුණු යෞව්වන හීසර විදි දුන් රිදුම් කමකට නැති ඉඳහිට අහස මුදුනෙනි බැස යයි ඉඩ හසර දී තියුණු තුඩු සිඳි බිඳී මලින කනවැන්දුමක් වැනි සැනෙලි කෙඳිති රැල් බිඳී අඳ නෙත් දහසක දැවටුනි එකැස් යෝධයකු සේ නිදි සඳ අලසව වැතිර හිඳී තරු තරු පායන තුරු 13/01/2012

සොඳුර

සොඳුර අපට මීටත් වඩා හුදකලා විය හැකිය හිස නො උස්සා ඇස පහර නො ඉවසා පියවර තැලෙන තැන ඇස ඔබා පිය මැන යා හැකිය බෝ දුර පාළු කාමරයක සුපිරිසිදු ශීතල ගෙබිම මත පත බා උඩුබැලියෙන් වැතිර හිස් සිවිලිම වෙත සිතිවිලි පා කර යවත හැක ඉනුත් බෝ දුර සොඳුර අපට මීටත් වඩා හුදකලා විය හැකිය... 26-11-2011

දල්ලක් නැගෙයි

Image
දැල්ලක් ලෙසින් දල්ලක් නැගෙයි ලැව් ගින්නක වුව ද මල් කැකුළක් ඉතිරි විය හැකියි නිසි කල ට පීදී රිසි ඵල පුදනු ඇත එක මලක් වුව එය කඩදාසි මලක් නොවේ නම්...

ආලෝකයට වඩා වේගවත් අඳුර...

Image
නිමිත්ත: ආලෝකයේ වේගය ඉක්ම වූ නියුට්‍රිනෝ අංශු අඳුර කොතරම් වේගෙකින් ඒ ද අප වෙත? කවුරුවත් ගණන් හැදුව ද ඝණ අන්ධකාර උමං නල තුළ? රාත්‍රියටත් පෙර හිරු නිවෙන්නටත් පෙර අහස කෙළවර අඳුර එන හැටි ජීවිතය ඇතුළට කිසිවෙකුත් ගණන් බැලුව ද? වළාකුළකට වැසෙන්නට පෙර හිරු කෙඳිති සීරා වැටෙන්නට පෙර අඳුරු සේයා පතිත වන යුර කවුරුන් හෝ දෑසින් දුටුවෙද? නියුට්‍රිනෝ අංශුවකටත් වඩා වේගෙන් අඳුර පතිත වෙයි කොළඹ අහසින් 04/10/2011

අකුරේ ගෙල සිඳේ...

නුවර උස් තුංග තුරු හිස අතු පතර රැඳුන බකුසු තෙම හුම් කියාවත් නොනගයි සිය හඩ පොත පත උලා කා සද් විසද් දෙසුම් පා තීරු වැකි හෑලි පසිඳා වානෙ පන්නර ලැබුව බකුසා! සතුරු උවදුර හිතට ගිනි බිඳ රැය පහන් වේදෝ නොදැන ලෙස තිර දෑස් දල්වන් බොල් අහස වෙත හුම් කියාවත් නොනගයි සිය හඩ දුරක දැල්වෙන මියෙන පහනක දැල්ල කැරකෙයි සුළඟ බඳ වට පන්හිඳක වෙත මෑනෙයි පතුරම හුම් කියාවත් නොනගයි සිය හඩ අකුරේ ගෙල සිඳේ අකුරු එල්ලා මැරේ අකුරු ගිනි දැල්වෙතේ අකුරු පා දඩු කදේ නෑ සියන් කැති උදලු ගෑවෙත ලේ පෙරන් දන වැටී තැන තැන දෙපා මුල පණ රුහිරු ගලත ද හුම් කියාවත් නොනගයි සිය හඩ මේ ඒ ලේ ද ඒ මේ ලේ ද කාගේ ලේ ද මගේ ලේ නොම වේ ද එනමුදු හුම් කියාවත් නොනගයි සිය හඩ!

"මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"*

Image
"මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"* උගුරෙන් පහල ඇදී යද්දි ආමාෂය වෙත මට දැනුනා මගේ බර තුන්කාලකින් අඩු වුණු බව! දෙපා තැබූ සේ සඳ මත කවුළුවෙන් එපිට අහසෙ යම්තමින් බැබළුනු... පෙණ කැටි දහසක් කාබන්ඩයොක්සයිඩ් ගොර ගොර ගා උගුරට එද්දි සඳ වත මා කුස තුළ දියව ගියා... ඔන්ලයින් ආ කිසිවෙක් සේලයින් දිගේ ආවෙ නැති දිගු අන්ධකාර රාත්‍රියේ සෙත් කවි මුමුණන්නට ආ මැලේරියා මදුරුවාට අත දිග හැර චප්ප වෙන්න පහරක් දී ගත නොහැකිව ඇඳ මත දපා සිටියෙමි සඳ ගිලගත් රාහු සේ... නිමිත්ත * මංජුල වෙඩිවර්ධන ලියූ "යළි නිදන්නෙමි" (ඉස්පිරිතාල සිතිවිලි) කවිය සහ අගෝස්තු මාසයේ මුල මැලේරියා සැදී එක දිගට සති දෙකක් පමණ මා විඳි අපහසුතාවය, ඒ කවිය කියවද්දී නැවතත් ආගන්තුක කෝණයකින් මතක් වීම, මේ වදන් පෙළ ලියැවෙන්නට හේතු විය. ප.ලි. 1996 දී පමණ මා ද පෙණහළු ආශ්‍රිත අසනීපයකින් රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී කුඩා කොපි පොතක ප්‍රමාණයේ කවි වැනි දෑ ලියා තැබූ බව මට මතකය. ඒ සිතිවිලි ද මා නම් කර තිබු‍ණේ "ඉස්පිරිතාල සිතිවිලි" යැයි මට යම්තමින් මතකය. ඒ සටහන් පොත මගේ විශ්...

ආලෝකය මියෙන සහ උපදින තැන

Image
ඇස සෙමෙන් සෙමෙන් විවර වුණා... ඇසි පිල්ලම් චාප ලෙසින් එක පෙලකට ඉනි සිටවූ කටු කම්බි වැටක සිරියෙන් සෙමෙන් සෙමෙන් විවර වුණා.... ඇස මතුපිට සුදු ගෝලයේ නිල් පාටින් ඇඳි වීදුරු අවානෙන් දිලිසි විසිරුණු ආලෝක කැබැලි කැබැලි දියමන්තියක හැඩපළු මතුකර තාලෙට කැරකී තෙතට තෙතේ නිල් දිය පිරි නොගැඹුරු විල සියුම් කුනීතය දිස්නෙන් ආලෝකය හැරී ගොසින් ආත්මයට එබෙනු පිණිස කවුළු පියන් පත් ඇරුණා වීදුරු රේඛා මත්තෙන් තැනුණු මකුළු දැලක හැඩෙන් ඇසේ කුනීතය ට යටින් දියර කාචයේ වක් බව හෘද ස්පන්දන කම්පනයේ රා අනුරා දෙනු දුටුවා... සිහින් කෙඳිති ආලෝකය දුර ඈතක අනන්තයෙන් සමාන්තරව කිරණ දරණ් උඩුයටිකුරු වෙමින් නිතින් ඇසේ අඳුරු අගාධයේ පතුල සොයා ඇදී ගියා... ඇස සෙමෙන් සෙමෙන් වැසී ගියා... අවසන් ආලෝක දහර යන එන මං අවහිර වී මනසේ ඝණ සාරය වූ සෛල පටල පටක මැද්දේ ඝණීභූත වුණා ග්‍රැෆික උපුටා ගැනුම ට්‍රාන්ස්පෝටර් 3 සිනමා පටයෙනි.

කුළ මත රැඳි අත

Image
කුළ මත රැඳි අත ලිස්සයි ආත්මයේ පතුල වෙත ඝණ අඳුරු වන පෙත සිසාරා දෙදරවමින මරු වැල් විදුලි රේඛා තලා ලුහු බැඳ ආ මා පසු පස ශ්‍රී නද දුන් මාර තෙම කන් අඩි කොකියවා ගුගුරුවයි නුබ ගැබ කාම ගින්නෙන් ඇවිලුනු මා දිය සෙවෙළ තනපට ඉරා පාෂාණ පියයුරු විවරයෙන් මුව තබා තන පුඩුව මත වැටී දෙදණින් කුළ බඳ උරමි අවසන් හිස්කම ගිජු ලෙස මරු නගන ඝෝර සිනහව ඇසෙන සඳ දෝනාවකින් සර්පිලාකාර ලෝකාන්තේ ඇරඹුම් ලක්ෂ්‍ය යෙන් වෙනස නොදැනෙයි ශිලා පියයුර බෝර ලූ දැයි මා සියුම් තොල් පෙති මතින් එසැණෙන අශ්ලීල ලෙස නිවි නිවි දිලෙන හෘද එළිය කනමැදිරි පරිභ්‍රමණ මැද්දෙන් පෙනි පෙනි රාගයේ කෙන්ද ආත්ම රැහැණින් කිටි කිටියේ ගැට පුපුරුලන හඩ මරු හඩ යටකර නැගෙන සඳ කුළ මත රැඳි අත ලිස්සයි ආත්මයේ පතුල වෙත    පින්තූරය ගත්තෙ මෙතැනින් .

පමාදෝ මච්චුනෝ පදං!

Image
ඩුබායිවල මුහුද ගොඩ කර ලස්සන දූපත් මතුකර ඇත දිලිසෙන මේ අරුම කෘත්‍රිම දූපත් මිළ දී ගන්නට යුරෝපීයෝ ද පොර කත්! සමහර දූපතක් ලෝක සිතියමක රටක හැඩය ගත් අත්කර ගැනුමට රටක් නමටවත් සමහරු සිය ධනය යොදවත් "තෙල් රටවල තෙල් ඇති-මොළ නැති" කලකට පෙර කවුරුත් කීවේ... දැන් දැන් ප්‍රඥාවෙන් අණූන ලෝක වැසියෝ ද ඩුබායි වෙත ඇදී එති සල්ලි මළු හිස්කර-නැවත ගෙදර යති පොටෝ ඇල්බම කිහිලි ගන්නති  අනෙකාගේ ධනය තමන්ගේ සාක්කුවට දමා ගන්නට කැස කවන ක්‍රම සහ විධි පිරි රටක; අත්කර ගත නොහැකි එනමුත් අතපත ගා විඳිය හැකි සියළු ඉඳුරන් පිනවන උපකරණ-සූක්ෂමතා-මේලා රජකරවන රටක; පරමාදර්ශය සුසමාදර්ශය ඩුබායි! විනෝද වන්නට "සෆාරි" යන්නෙත් වැලි කතරට-අඳෝමැයි! නැත නෙත සනසන දසුනක් මනස්කාන්ත දිය ඇල්ලක් පඳුරක්-කූටයක් බදා ගත හැකි රුක් බඳක් අතට අහු වන අතීතයක් කටුගෙට ලෑ සෞභාග්‍යයක්..! ලෝක උරුමයක් ඇතුළට ජුරාසික් උද්‍යානයට යන්නා සේ සංචාරක "සෆාරි" යත හැකි වෙතොත් කදිම ධන උල්පතකි සැබෑව! එබන්දක් තිබුණි නම් එරට නොවේ මෙතරම් මහන්සියක් මහ මුහුදු ගොඩ කරන්නට... අහස උස කුළුණු තනන්නට... විකුණන්නට හැකි දෙයක් හිතට ගතට හුවමාරු වන කලට අරුම පුදු...