කින්ඩලීකරනය
මා බොහෝ ඉංගිරිසි පොත් කියවන්නේ පරිගනකයෙනි. ඊට හේතුව ඒවා වියදමකින් තොරව අන්තර්ජාලයෙන් එකතු කර ගත් ඒවා වීමත් එම මුල් කෘතිවලම මුද්‍රිත කෘති ලංකාවේ දී මිළට ගැනීමට නැති වීමත්ය. කියවීමට වේලාව වෙන්කර ගැනීමේ අතිශය දුෂ්කරතාවන්ට මුහුණ දෙන මට ලැප්ටොප් යන්ත්‍රයේ පවා කියවීම දුෂ්කර වන අවස්ථාවන්ට නිතරම මුහුණ දෙන්නට සිදු වීමෙන් කාලය නිකරුනේ ගෙවන්නට වන අවස්ථා ද බොහෝ විය. මුහුද ආශ්‍රිත මගේ අලුත්ම රැකියාව මේ සියළු කියවීමේ බාධක නිර්මානය කර ඇත. අයිපෑඩ් එකක් හෝ එබඳු කියවීමේ උපකරණයක ඇවැසි බව මට හදිසියේ මතක් වී දැන් මාස හතරක් පහක් ගෙවී ඇත. අයිපෑඩ් එකක ඇත්තේ මට අවශ්‍ය මූලික දේ ඉක්මවා යන්නා වූ අංගෝපාංගයන්ගේ එකතුවක් බැවින් එය මගේ තේරීමක් නොවුනි. වෙනත් බොහෝ අය මෙන් යන යන තැන ඊමේල් බලා එවෙලේම පිළිතුරු සැපයීමේ හදිසියක් මට නැති බැවින් සහ යන එන තැන සිතියම් වලින් දැක බලා දේශාංෂ හෝ අක්ෂාංශ බලා ගැනීමේ ව්‍යාජ අවශ්‍යතාවන් ද මට නැති බැවින් එබඳු සාටෝප අංගෝපාංගයන්ගෙන් පිරුණු අයිපෑඩ් එකක් ළඟ තබා ගැනීම ද මට ඉමහත් අපහසුතාවයක් බැව් දැනී තිබුණි. වැදගත්ම කාරණය නම් මට කරගැනීමට අවශ්‍ය මූලික කටයුත්ත වන පීඩිඑෆ් (PDF) ...