Posts

Showing posts from December, 2013

පරිමන්දිත අනුවර්තී චලිතය

සිහිනයට බිය අයට යථාර්ථය ද යථාර්ථයට බිය අයට සිහිනය ද විනෝදය ලැබිය හැකි මාවත් ය... සිහින දැකුම තහනම් කළ අයට ඔවුනගේ සිහිනයේ කොටස් වන්නට තහනම් සිහින දකින්නන්ට සිදුවනු ඇත සිහින තහනම් නොවන දෙසකට පැන යා යුතුය සිහින ප්‍රිය අය යථාර්ථයට ප්‍රිය අයට තහංචිකරුගේ සිහිනයේ කොටස් විය හැක අනෙකා ගේ සිහින සැමෙකක්ම අපගේ සිහින නොවීම මෙන්ම අපගේ සිහින ද ඔවුනගේ සිහින නොවනු ඇත... සිහිනයෙන් මිදීම එක්කෝ තවත් සුන්දර සිහිනයක ට නැත්නම් කටුක යථාර්ථය වෙත... නැවත චක්‍රය ඇරඹේ යන්න පළමු පේලිය වෙත...  26/12/2013

අමතකව ගිය සිහින

මට සිහිනයක් තිබුණි දැන් අමතකව ගිය මට අමුතුම සිහිනයක් තිබුණි වා රොදක තුනී ව ගිය පැහැදිලි සිහිනයක් ධරණි තලය මත ගැඹුරුම ගැඹුරු සිදුරක්ව මම සිටියෙමි ; සියලු දේට වැටෙන්නට ඉඩ හැර දූෂිත වායුගෝලය උරා පුරවා ගත් පෙණහලුවලින් ගිනි කඳු අක් වක් මුල් ජාලා නහර දිගේ මුදා ලූයෙමි ජීවයට හිතකර සුසුම් පොද මිනිස් හදවත් පුබුදු කර මේ රුදුරු අඳුරු යුගයක ශේෂය කිසිවෙකුත් නොතකන නමුත් මා නිරතුරු සිතවන මට සිහිනයක් තිබුණි දැන් අමතකව ගිය මට අමුතුම සිහිනයක් තිබුණි වා රොදක තුනී ව ගිය පැහැදිලි සිහිනයක්! 25/12/2013 මුලින් ලියන ලද ඉංග්‍රීසි පෙළ මෙතනින්

බොකයියා

බොකයියා මහ මුහුදෙන් ගොඩ දාපු පිත්තල සෙම්බුවක් වැනි දිස්නෙ දෙන අඳුරු මුහුනෙන් යුතු බොකයියා ලවණ උරා ගත් කෙහෙරොද කිසිදා වියලි නොවුනු තෙතමන හිස මත තියාගෙන-වෙරළේ වැනෙන බොකයියා රැලි කඩාගෙන සිතිජෙට ඔරු දියත් කරන අත් කීපෙට සිගරැට් දෙක තුනක් දික්කරන බොකයියා මාළු ඇතත් නැතත් නිදි කිරන කුණාටුවට පසු මුහුද මෙන් නිශ්චල කරදිය වළල්ලෙන් මෙපිට නොඑන බොකයියා 20/12/2013

ඉපැරණි ෆොසිල සහ ඒක සෛලිකයන්ගේ කුසුම

වැඩුනු විට සිරුර අතු ඉති පැතිර ගලා යද්දී රුහිරු ප්ලෝයම පටක තුළ අගිස්සක පිපෙයි මලක් රජස් ඉතිරුන සැලි සැලී තුඩ තුඩ පැතිර යන ලෙස මහා කල්ප කාලාන්තර ඉම් ගෙවා ගෙන දරා සිටි ඒ සුනේ සුං ගති ගුණ පොළොව හිල් විද මුදා ගෙන ආ සඳ දැල්වෙයි පහනක් ඒ ටැම් කුළුන මුදුනත මහ පොළව ගැඹර පතුල සිර වුන ෆොසිලමය ජීවිත කාබනික අඟ පසඟ මිරිකී තැවී වෙලී අති මහත් පීඩනයට උණුසුමට මුදා හැර ඇත සිය වෛරය සිළු දල්වා ඉන්ධන ලෙස අමතක වූවන් ක්ෂුද්‍රයන්-ඇමීබාවන් සහ ඒක සෛලිකයන් දියව ඇත නොදැනුනු ෆොසිල මත තෙතමන වැලි කඳු ඝණ අඳුරු පොලෝ කුහර සිට දිය මතින් දියව ගලා එයි රස පොළොව ඉහළ ස්තර වෙත උරා ඉන් බිඳක් වැතිරුනු තුඟු වෘක්ෂ මූලයක ඉහළට නැගෙයි තත්පරෙන් තත්පරය තත්පරව මේ අමතක ව ගිය කාබනික ජරපත් බව විකසිත කරයි කුසුමක් මහ වනස්පතියක කුදු අතු අගිස්සක 13/12/2013