Posts

Showing posts from 2013

පරිමන්දිත අනුවර්තී චලිතය

සිහිනයට බිය අයට යථාර්ථය ද යථාර්ථයට බිය අයට සිහිනය ද විනෝදය ලැබිය හැකි මාවත් ය... සිහින දැකුම තහනම් කළ අයට ඔවුනගේ සිහිනයේ කොටස් වන්නට තහනම් සිහින දකින්නන්ට සිදුවනු ඇත සිහින තහනම් නොවන දෙසකට පැන යා යුතුය සිහින ප්‍රිය අය යථාර්ථයට ප්‍රිය අයට තහංචිකරුගේ සිහිනයේ කොටස් විය හැක අනෙකා ගේ සිහින සැමෙකක්ම අපගේ සිහින නොවීම මෙන්ම අපගේ සිහින ද ඔවුනගේ සිහින නොවනු ඇත... සිහිනයෙන් මිදීම එක්කෝ තවත් සුන්දර සිහිනයක ට නැත්නම් කටුක යථාර්ථය වෙත... නැවත චක්‍රය ඇරඹේ යන්න පළමු පේලිය වෙත...  26/12/2013

අමතකව ගිය සිහින

මට සිහිනයක් තිබුණි දැන් අමතකව ගිය මට අමුතුම සිහිනයක් තිබුණි වා රොදක තුනී ව ගිය පැහැදිලි සිහිනයක් ධරණි තලය මත ගැඹුරුම ගැඹුරු සිදුරක්ව මම සිටියෙමි ; සියලු දේට වැටෙන්නට ඉඩ හැර දූෂිත වායුගෝලය උරා පුරවා ගත් පෙණහලුවලින් ගිනි කඳු අක් වක් මුල් ජාලා නහර දිගේ මුදා ලූයෙමි ජීවයට හිතකර සුසුම් පොද මිනිස් හදවත් පුබුදු කර මේ රුදුරු අඳුරු යුගයක ශේෂය කිසිවෙකුත් නොතකන නමුත් මා නිරතුරු සිතවන මට සිහිනයක් තිබුණි දැන් අමතකව ගිය මට අමුතුම සිහිනයක් තිබුණි වා රොදක තුනී ව ගිය පැහැදිලි සිහිනයක්! 25/12/2013 මුලින් ලියන ලද ඉංග්‍රීසි පෙළ මෙතනින්

බොකයියා

බොකයියා මහ මුහුදෙන් ගොඩ දාපු පිත්තල සෙම්බුවක් වැනි දිස්නෙ දෙන අඳුරු මුහුනෙන් යුතු බොකයියා ලවණ උරා ගත් කෙහෙරොද කිසිදා වියලි නොවුනු තෙතමන හිස මත තියාගෙන-වෙරළේ වැනෙන බොකයියා රැලි කඩාගෙන සිතිජෙට ඔරු දියත් කරන අත් කීපෙට සිගරැට් දෙක තුනක් දික්කරන බොකයියා මාළු ඇතත් නැතත් නිදි කිරන කුණාටුවට පසු මුහුද මෙන් නිශ්චල කරදිය වළල්ලෙන් මෙපිට නොඑන බොකයියා 20/12/2013

ඉපැරණි ෆොසිල සහ ඒක සෛලිකයන්ගේ කුසුම

වැඩුනු විට සිරුර අතු ඉති පැතිර ගලා යද්දී රුහිරු ප්ලෝයම පටක තුළ අගිස්සක පිපෙයි මලක් රජස් ඉතිරුන සැලි සැලී තුඩ තුඩ පැතිර යන ලෙස මහා කල්ප කාලාන්තර ඉම් ගෙවා ගෙන දරා සිටි ඒ සුනේ සුං ගති ගුණ පොළොව හිල් විද මුදා ගෙන ආ සඳ දැල්වෙයි පහනක් ඒ ටැම් කුළුන මුදුනත මහ පොළව ගැඹර පතුල සිර වුන ෆොසිලමය ජීවිත කාබනික අඟ පසඟ මිරිකී තැවී වෙලී අති මහත් පීඩනයට උණුසුමට මුදා හැර ඇත සිය වෛරය සිළු දල්වා ඉන්ධන ලෙස අමතක වූවන් ක්ෂුද්‍රයන්-ඇමීබාවන් සහ ඒක සෛලිකයන් දියව ඇත නොදැනුනු ෆොසිල මත තෙතමන වැලි කඳු ඝණ අඳුරු පොලෝ කුහර සිට දිය මතින් දියව ගලා එයි රස පොළොව ඉහළ ස්තර වෙත උරා ඉන් බිඳක් වැතිරුනු තුඟු වෘක්ෂ මූලයක ඉහළට නැගෙයි තත්පරෙන් තත්පරය තත්පරව මේ අමතක ව ගිය කාබනික ජරපත් බව විකසිත කරයි කුසුමක් මහ වනස්පතියක කුදු අතු අගිස්සක 13/12/2013

ආවර්ජනය

බීජයක් තබා දෝතින් සයනය මත විවර කරමි උළු වහලය අහසට වළාකුළු තැම්බූ වතුර කැට ඇද වැටෙන්නට සලස්වමි තෙත බරිත හීනය මත දළු ලා නොවැඩෙන අඟුරු කැටයක ධවල පැහැය ඇති කරවන ආදරය හදවතින් වෑස්සෙන්නට ඉඩ හැර ජීවය අත් හරිමි ගෙන ආ මෙතෙක් දුර දිරාපත් වන සයනය මිස හදවතක් දං දුන් මිනිසෙකු පිළිබඳ පුරා වතක් නැති බව දනී දළු ලෑ එ රුක මිහි මත 20/10/2013

දස දහසක් කවි

Image
Ten Thousand Poems If I create 10,000 poems, my room and the halls would be filled with paper, And the roof would break and shatter the windows, fill the city and break someone’s clan, fill up the country and takeover the lakes, cover the rivers, cut down all the trees, stack so high and touch the sky Filled with poems, it would reach in space, reach mars, take all the planets and connect them, break all the spaceships, and fall down covering the entire North America, making a bridge to Asia, takeover half of Russia And after a few minutes the world would be covered in papers, If that happened… The globe would be gray, from all the papers, I used… Sindusara Munasinghe (Age 9 Yrs) October 15 , 2013   මේ නිර්මානය වයස අවුරුදු නවයක් වූ සිඳුසර මුණසිංහගේය; කුඩා දරුවෙකුගේ ය.   මුළු ලොවම කඩදාසි ගුලියක් වන තරමට ම කවි ලියන්නට වැර දරන දරු පැටියෙකු වැළඳ ගන්නට මාගේ දෑත් දිග මදිය. එනම...

පිරිමි ගොඩයි මං විතරයි

Image
උපුල් ශාන්ත සන්නස්ගල සිය ලේඛන දිවියේ සුවිශේෂී සැතපුමක් සනිටුහන් කරන්නට ඔහුගේ අලුත්ම නවකතාව තුළින් සමත් වී ඇතැයි යන්න මගේ අදහසයි. සන්නස්ගලගේ කෘති අතර නොදුටු දැවැන්ත ස්ත්‍රී කේන්ද්‍රීය සමාජ කියවීමක් "පිරිමි ගොඩයි මං විතරයි" කෘතිය තුළ හමුවීම පමණක් ඊට හේතුව නොවේ. තමා අනුදත් කතාන්දරය හෝ පණිවිඩය හෝ මේ කිසිවක් නොවන දෙය හෝ පාඨකයා වෙත පිරිනමන්නට නවකතාවක භාෂා ශෛලීන් කුමනාකාරයකින් නිර්මානශීලි ලෙස උපයෝගී කරගන්නේ ද යන්නට සජීවි උදාහරණයක් ලෙසින් ද ස්ත්‍රිය කේන්ද්‍ර කර ගත් ලිංගික කතාන්දර මුද්‍රිත පිටු අතරට ගෙන ඒමේ සංඥාවේදයේ නිර්මානශීලි අවස්ථා ද මෙම කෘතියේ අන්තර්ගත බැවින් එම භාෂා අත්දැකීම්  සිංහලෙන් කියවන පාඨකයන් වෙත ගෙන එන්නට සමත් වී ඇතැයි යන්න මම විශ්වාස කරමි. කොතෙකුත් ලිංගිකත්වය කේන්ද්‍ර කරගත් සාහසිකත්වයන් සුඛාන්ත/දුඛාන්ත සිංහල සාහිත්‍ය ලිපි ලේඛන නිර්මාන අභ්‍යාස අප පසුකර ගොස් ඇතත් ඒ සියල්ලට වඩා වෙනස් අයුරකින්-නවතාවයකින් බොහෝ අශ්ලීල පිරිමි ලිංගික පරිකල්පනයන් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළට වැද්දාගත යුතු ස්වරූපය ප්‍රායෝගිකව ප්‍රදර්ශනය කරන්නට මෙම කෘතිය සමත් වී ඇත්තේ පසුගිය වසර හතර පහක පමණ...

සෙංකොට්ටං

Image
සෙංකොට්ටං කියවා අවසන් කළෙමි. බත්තලංගුණ්ඩුවෙන් පසු මා කියැවූ රසවත්ම නවකතාව සෙංකොට්ටං යැයි මම සිතමි. සෙංකොට්ටං කතාවේ පසුබිමෙන් දැලක් මෙන් වැටී ඇති බෝ පැලයේ රූපකය එහි අවසානය දක්වා ගෙන එන නිහඩ අරුතට මම ප්‍රිය වෙමි. එම අරුත ම බත්තලංගුණ්ඩුවේ දී ගෙන එන්නේ ශුද්ධ බයිබලයෙන් උපුටා ගත් දේව දූතයන් නවකතා පිටු අතර තැනින් තැනින් මතු වෙමින් අප අතරින් පියඹා යමිනි. සෙංකොට්ටං අතිශය ගැඹුරු වේදනාත්මක පහුරු ගෑම් සිත මතුපිට ලන්නට සමත් රචනාවකි. කාලයත් අවකාශයත් අනවරතව ගලා යන්නට සැලැස්වූ ඒකමාන කතාවක් බැවින් එහි අවසානය සිනමාපටයක් නරඹා අවසන් කළාක් මෙන් තීර්‍වර හැඟුමකට විවර කරවයි. කතාව ඒකමාන වුව ද එහි එන සිදුවීම් ඒ ඒ තැන්වල මහා ගැටුම් ඇති කර පුපුරුවා ලන්නට සමත් වෙයි. කුල බේදය කේන්ද්‍රීය වුව ද එය ලිංගිකත්වය හා බැඳුනු දෘශ්ඨාන්තයක් ලෙස ද කියවා ගන්නට මම ප්‍රිය කරමි. ගැහැනිය ආශා කරන්නේ කුමකටදැයි සොයා ගන්නට කෙසේ වෙතත් පොඩිනා ආශා කරන්නේ කුමකටදැයි සොයා ගන්නට මස්ඉඹුලගෙ නවකතාව සමත් වී ඇත. එමෙන්ම පොඩිනා ගේ ආශාවේ කෙළවර හමු වන වල් නයිදේ හෙවත් කැලෑ සතා මෙන්ම සියළු ආශාවන්ගේ අවසන එළඹෙන කුරිරු යථ මනා සේ හසුරුවා නවකතාව ...

ප්‍රොජෙක්‍ටර ක්‍රියාකරවන්නා දුටු සිහින‍ය

මා කාලයක් මාතර නිව් සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටර ක්‍රියාකරවන්නකු ලෙස පුහුණුවක් ලැබුවා.  ඒ මා උසස් පෙළ අවසන් කර නිකරුණේ ගත කළ කාලයෙන් බිඳක් වැය කරන්නට සිතූ අයුරකි. ඒ දවස්වල සිනමා ශාලාවේ පැවැති බොහෝ සිනමාත්මක කටයුතු දැක බලා ගන්නට ද ප්‍රසිද්ධ නළු නිලියන් කීප දෙනෙකු ද නොයෙක් සිනමා නිර්මානකරුවන් ද උත්සවාකාරී අවස්ථා සඳහා ඉඳහිට පැමිණියෙන් ඔවුන් සැබැවින් දැක බලා ගැනීමට ද මට හැකි වුනි. ඒ දවස්වල අදූර් ගෝපාලක්‍රිෂ්නන්ගේ සිනමා උළෙලක් ද මාතර පැවැත් වුනි. ඒ සිනමාපට සියල්ලම අඳුරු කුටියේ ජරමර සද්ද මැද සිනමා තිරය මතට යොමු වුන කවුළුවකින් අනෙක් ඔපරේටර්වරයාට නොදැනෙන සේ බැලීමට මම යොමු වූයෙමි. සිනමාපටයක් ප්‍රොජෙක්ටරයකට ඇතුළු කර එය ධාවනය කරවීමේ පරිචය ලබන්නට වැඩි කාලයක් ගත නොවුනෙන් එම ඒකාකාරී පුහුණුවෙන් මම පළා ගියෙමි. දැනුදු මාතර නිව් සිනමා ශාලාව ඇසුරේ අසූ ගනන් අග මතකය ඉඳහිට ඇවිලෙන්නේ අතීතය වසාගත් අමුතු අඳුරක් ද සමගිනි. මේ සිනමා ප්‍රොජෙක්ටර සිදුවීම මගේ මතකයට යළි නැගුනේ අහම්බෙන් ගොඩවන්නට ලැබුණු කවි බ්ලොගයක දුටු නිර්මානයක් නිසාවෙනි. ප්‍රොජෙක්ටර ක්‍රියාකරවන්නා දුටු සිහිනය නම් වූ එම නිර්මානය කවි ස...

රඟපෑම් ඉවරයි

Image
"රඟපෑම් ඉවරයි" නාට්‍ය මා හඳුනා ගන්නේ එකිනෙකට වෙනස් විඳීම් අන්තර්ගත නාට්‍ය ත්‍රිත්වයක් ලෙසිනි. මුල් කොටස ඉදිරිපත් කරන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් විසිනි. ඔහු මිය ගිය අයෙකු ලෙස පැමිණ නොමැරුනු මිනිසුන් සහ මැරුනු මිනිසුන් පිළිබඳ දීර්ඝ දාර්ශනික සාකච්ඡාවක් හා සමාන ඉදිරිපත් කිරීමක් කරමින් ඔහුගේ කොටස අවසන් කරන්නේ දේශපාලකයෙකු බවට රූපාන්තරනය වීමෙනි. කතා කරන මළ මිනියක් දේශපාලකයෙකුට පරිවර්තනය වීම පිළිබඳව ඕනෑතරම් විශ්ලේෂණ කළ හැකි අතර එම විශ්ලේෂණ ඉදිරිපත් කිරීමේ සුදුස්සෝද ඇති තරම් ලංකාවේ විචාරකයන්-න්‍යාචාර්යවරුන්-මහාචාර්යවරුන් අතර සිටිනා බැවින් ඊට එහා යමක් ඒ කොටස ගැන ලියන්නට මට නොසිතේ. දෙවැනි කොටස ඉදිරිපත් කරන්නේ නිළියක විසිනි. සුබුද්ධි ලක්මාලි නමැති රංගන ශිල්පිනිය ඉදිරිපත් කරන එම කොටස පළමු කොටස නැරඹීමෙන් අත් වූ ක්ෂතිමය අද්දැකීමෙන් මිදීමට සැළසුම් සහගතවම එහි අදියුරුවන් විසින් සිහින සහ යථාර්ථය අතර ගීතමය ජවනිකා ද රැගත් වඩාත් සෞන්දර්යාත්මක එබ්බවීමක් ඇතුලත් කර ඇති ලෙස මට හැඟුනි. මුල් කොටස සංකේතීය නම් දෙවැනි කොටස පරිකල්පනීය යැයි ද කීමෙන් මට පහසුවක් දැනේ යයි මම සිතමි. එවිට අපට තෙවැනි කොටසේ දී...

අනේ ද කියන්නේ...

යථාර්ථය චිත්‍රපටයකටත් වඩා මායාකාරී නම්, අපට අමුතුවෙන් චිත්‍රපටි මක්කටෙයි?? "i am a good hegalian. if you have a good theory, forget about the reality"- Slavoj Zizek

පුද්ගලිකත්වය

මම ඉතා බය වෙමි මගේ පුද්ගලිකත්වය එළිදරව් වේ යැයි! මගේ රහස් එළිවේයැයි!! මගේ කුපාඩි-ජාගර-ම්ලේච්ඡ සිතිවිලි අන් අය දැන ගනී යැයි මම ඉතා බය වෙමි මගේ ඊමේල් වෙන කවුරු හෝ කියවාදැයි මගේ දුරකතන ඇමතුම් වෙන කෙනෙකු අසා දැයි මගේ කෙටි පණිවිඩ වෙන අයෙකු දකිතැයි මම අසීමිත ලෙස බිය වෙමි මන්ද යත් ඒවායේ ඇත්තේ සැබැවින්ම ගොලු කළ මගේ ම්ලේච්ඡත්වය බැවිනි මා විටෙක කිසියම් ගැහැණියකට පෙම සිඟා ලියූ කියූ දෑ ඒවායේ සැඟව ඇත මා විටෙක කිසියම් ගැහැණියකට සරාගී උසුළු විසුළු ලියමින් සැඟව කළ ප්‍රහාර ඒවායේ සැඟව ඇත මගේ බැංකු පොත ට වඩා ධනය මා සතුයැයි මා මටම පවසමින් සිටින බැවින් ඒ බොරුව අන් අයෙකුට අනාවරණය වීම මට බියකරු සිහිනයකි මගේ ණයවර පත මා කොතරම් දුගී දැයි මුනිවතින් රකිනා බැවින් එය අන් අයෙකුට අනාවරණය වීම මා හිස මත ඛේදවාචකයක් කඩා පාත් වීමකි මගේ ගර්වය සිඳ ගැනීමකි මගේ උප්පැන්න සහතිකය මගේ සැබෑ වයස-උපන් ස්ථානය මවුපියන්-කුලය මලය-ආගම නිහඩවතින් රකිනා බැවින් එය අන් කෙනෙකු හට අනාවරණය වීම මගේ සමාජ ජීවිතය විනාශ කර ගැනීමකි වෛද්‍ය වාර්තා අතිශය රහසිගත විය නො යුතු ද? මගේ සෞඛ්‍ය දුබල ව ඇත්තේ මගේම දුරාචාරී දිවි පෙවෙත නිසා බැව් අ...

අතුරුදන් වී

අනාගතයෙන් ඇවිත් මා ඉපදෙන්නට නියමිතව තිබූ කාලයට පෙර අතීතය ට ගොස් ඩිම්බයේ ඇනෙන්නට පසාවන්නට තිබූ ශුක්‍රාණුව උගුලා දමා ගියා නම් මා සැනින් අතුරුදන් වේ! අප මේ ජීවත් වන වකවානුව ඒ තරම්ම පුදුම සහගතයැ මේ අප අතර හිටි මිනිසුන් හිටිගමන් අතුරුදන් වී යයි ඔවුන් කෑ-බී-ගමන් ගිය-හැසිරුනු සියලු තැං හිස්ව යයි කිසියම් දිනයකට පසු කිසිවෙකුත් ඔහු දුටු බව නොකියයි කිසිවෙකුත් ඔහු දැක නැති බව කියයි අනාගතයෙන් ඇවිත් අප ඉපදෙන්නට නියමිතව තිබූ කාලයට පෙර අතීතය ට ගොස් ඩිම්බයේ ඇනෙන්නට පසාවන්නට තිබූ ශුක්‍රාණුව උගුලා දමා ගියා නම් අපි දැං මෙතන නැත! ඉතිං තාම කාල තරණ යන්ත්‍ර හදා නැතැයි කියන්නේ කවුද?

සංසාර චක්‍රය ඔබව තව තවත් කරකවනු ඇත!

මට මතක් වෙයි එක්තරා සිලින්ඩරාකාර කැටයම් රෝදයක් 1 කරකැවිය හැකි බඳක් උඩැක්කියක් වාගේම අතේ තබා උස්ව පද්දා යාඥා මන්ත්‍රයක් එහි මතුපිට අලවා-කරකැවිය හැකි ඔබ වෙනුවෙන් යාඥාව දිගටම මතුරන අජීවී යන්ත්‍රයකි ඔබ වෙනුවෙන් යාඥා කරන අජීවී යන්ත්‍රයක්! මට මතක් වෙයි එක්තරා පිළිමයක් කැටයමින් වැසී ගිය අනුරුවක් නිසොල්මනේ සමාධිගත දෑතේ නෙක සංඥා මවාගත් බුදුවරයෙක් වාගේම ඔබ වෙනුවෙන් ධ්‍යානගතව ඔබ වෙනුවෙන් භාවනානුයෝගීව පාෂාණීභූතව දුක වළඳන අව්වට වැස්සට නිරාවරිත ශෛලමය පිළිමයක් ඔබ වෙනුවෙන් භාවනා කරන අජීවී යන්ත්‍රයක්! ඉතිං ඔබ නිදහස් කළ හැකිය ඕන වරදක්! විනාශයක්!! සමූල ඝාතනයක්!!! අර පිළිම ඔබ වෙනුවෙන් හැමදාමත් ධ්‍යාන වඩමින් සිටිනු ඇති... ඒ පිළිම වටා රොද බැඳි කෝකාලික 2 වංශ බඹරුන් නොයෙක සජ්ජායනා කරනු ඇති තටු සලමින් අජීවි යන්ත්‍ර සේ... ජීවය ඉවත් කළ පසු ජීවියා රසවත් ආහාරයක්-තවත් ජීවියෙකුට විශ්වාසය ඉවත් වූ පසු ඉතිරි වන විශ්වාසය මරණීය ආයුධයක්-තවත් බැතිමතෙකුට 3 01/06/2013 1. Tibetan prayer wheels; Zizek, Sublime Object of Ideology, p.31 2.  සීහ කොත්ථුක ජාතකයේ (545 වැනි ජාත...

හේයි බුද්ධගයා-අජිත් කුමාරසිරිට සිංදුවක්

(අජිත් කුමාරසිරිට සිංදුවක්) මම The බෞද්ධයා? මම අලුත් කාර් එක අරං කතරගම ගියේ කාරෙකේ නොම්මරේ ගහක කොටල එන්නත් එක්කයි කිරි වෙහෙරේ වටේ ගිහිං පඩුරු දැම්මෙ ආරක්ෂාවටයි රුපියල් දාහෙ පූජා වට්ටිය තිබ්බෙ ඉන්ෂුවරන්ස්වලටත් වඩා දෙයියො ෂුවර් නිසයි මම බුදුන් කිච කළේ-මගේ ආරක්ෂාවටමයි ඕලෙවල් ලියන වුන් විභාගෙට කලිං දවසේ පංසලේ පෝලිමේ යැව්වෙ පාඩම් කරපුවටත් වඩා දෙයියො බුදුං ෂුවර් නිසයි නමයි විභාග අංකෙයි ලියල බෝගහේ එල්ලුවේ දෙයියන්ට වැරදුනත් කොම්පියුටර්වලට නොවරදින නිසයි මම බුදුන් කිච කළේ-මගේ ආත්මලාභයටමයි බඩ තඩි කිසිම සිල් ගතියක් නැති අසපුවෙ සෙක්සි හාංදුරුවං ගෙදරට වඩම්මල බත් ගිල්ලෙව්වේ මගේම මැරිච්ච අම්ම අප්පා පෙරේතයො වෙල මට අණවින කරයි කියල බයටමයි කට්ටඩි පූසාරියොංටත් වඩා බඩ තඩි හාංදුරුවෝ මළවුංට කිට්ටුයි-පිං දෙංඩ දස්සයි දෙසූ බණ හරිම කාලෝචිතයි-කොට සාය ගැන කී ටික මනෝරම්‍යයි මම බුදුන් කිච කළේ-මගේ පරාණ බයටමයි ........ ........ ........ මං මැරිච්ච වෙලේ අහල ගං හතේ හාංදුරු ටික වළ වටේ තියං පාංසුකූලේ දුන්නේ සංසාර චක්කරේ මං අතරමං වේවි කියලා මගේ ගෑණි හිතු නිසයි දවස් හතේ බණ දවසේ වැලි...

මරණය අමතකව

Image
කාටවත් මතක ද මා මිය ගිය හැටි? අනේ කවුරුවත් දුටුව ද මා පණ නල වා තලයට මුසුව ගිය හැටි? නොදුටු අයගෙන් නොවිමසමි දුටු අය නොදුටු අයටත් වඩා නොදුටු බැවින් ඒ අය ද නොවිමසමි මට අමතකය මා මිය ගිය බව මට අතපසු වී ඇත වැළලෙන්නට නියමිත තැන කිසිවෙකුත් මට මතක් කර නොදෙන ඒ අමතකව ගිය රමණීය මරණය කවුරුන් විසින් සඟවාලන්න ද කුමට සඟවාලන්නද මගේ නිහඩ මරණය? හඩක් නොමැතිවම මිය ගිය මගේ නිහඩ මරණය කන් බිහිරි කරවූ හඩ මැද මා මගේ අමතකය නිසාවෙන් ඔබ අතර තවමත් ගැවසෙමි කරුණාකර මට මතක් කර දෙන්න මා මිය ගිය බව... මා මෙන් නොව ඔබ සදාකල් ජීවත් වනු ඇත එනමුදු මා මළ මතකය සදාකල් ජීවත් වන ඔබගේ මරණය අමතක වන සෑම මොහොතක යලි යලිත් මතක් කරමින් සැරිසරනු ඇත ඔබමොබ ඔබට ද සදාකාලික අමතකයකි මගේ මරණය!

සිහින සාප්පුවේ මෙනුව

Image
මම සිහින සාප්පුවට වැද එකත්පස්ව හිඳ ගනිමි කේඩෑරි බැරෑරුම් පෙනුමැති සිහින විශේෂඥයාගෙන් (සර්පයාගෙන් නොවේ) සිහිනයක් ඇණවුම් කරමි උණුසුම් සරාගී හැපි එන්ඩ් එකකින් යුතු සිහිනයක්! කාල් මාර්ක්ස්ගේ අතිරික්ත වටිනාකම ලැකාන්ගේ අතිරික්ත ප්‍රමෝදය එකට කැටි කළ සිහින සාප්පුවේ මෙනුව මම දෑසින් ස්පර්ශ කරමි තේරෙන්නට ඉඩ හරිමි

ඒ සැඳෑ...

Image
අප දෙදෙනකුට පමණක්ම හුදෙකලාවේ නිවැසිය හැකි කුඩා රෙස්ටොරන්ටුවක් තිබින ඒ සැඳෑවල අත් වැසුම් පැළැඳි අත් නෙක භෝජනාදිය පිරිනැමෙන දියර ගැල්වූ මිහිරි ඩෝනට්ටු දීසි මතු වෙන අරුම පුදුම වේවැල් මේසය දෙපස අප; මැද මල් පොකුරු අහසේ සැඳෑව ලකුණු කර හිරු බලා සිටියේ අප නැගිට යන තුරු අප නැගිට ගිය පසු හිරු ද බැස ගිය අයුරු පුදුමය...

සිංහලෙන් කියැවීම සහ ඉංගිරිසියෙන් සිතීම

Image
ඔන්ටික් (Ontic) සහ එපිස්ටමික් (Epistemic) යන (ක්වොන්ටම්) යථාර්ථයේ ස්වරූප (State of Reality) දෙක වටහා ගන්නට ක්වොන්ටම් භෞතිකයෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වන අයෙකුට වැදගත් ලිපියක් අද පළ වෙලා තියෙනවා Physics World (පිසික්ස් වර්ල්ඩ්) වෙබ්සයිට් එකේ. ඒ ලිපියේ හෙඩිම යොදා ඇත්තේ ජනප්‍රිය නවකතාවක් වන ලයිෆ් ඔෆ් පයි ( Life of Pi ) අනුව යමින් ලයිෆ් ඔෆ් ප්සයි (Life of Psi) යනුවෙනි. මේ ප්සයි යනු ෂ්රෝඩිංගර් සමීකරණයේ විසඳුම් ලෙස එන තරංග සමීකරණය හඳුනා ගන්නා ග්‍රීක සංකේතය යි. එම ලිපියෙන් සාකච්ඡා වෙන්නේ එම තරංග ශ්‍රිතය කොතරම් දුරට භෞතික යථාර්ථයට සමීපදැයි යන්න විමසීමය. රසවත් ලිපියකි. මා හට එම ලිපිය කියවද්දී හිතුනේ එය සිංහලට පරිවර්තනය කළා නම් හොඳයි නේද කියා ය. නමුත් මගේ අතීත අත්දැකිම් මට සිහිපත් කළේ අනෙකකි. Ontology: 1 (computing) a rigorous and exhaustive organization of some knowledge domain that is usually hierarchical and contains all the relevant entities and their relations. 2.The metaphysical study of the nature of being and existence Epistemology: 1.The philosophical theory of k...

බලන විදිය සහ පේන විදිය

Image
ඉන්දික* මට දුන් විඩියෝ වාර්තා වැඩසටහන් අතර "නිල් ග්‍රහයා" (Blue Planet) නමින් වූ අපගේ පෘථිවිය පිළිබඳ වාර්තා වැඩසටහනේ නිතරම අපගේ ග්‍රහලෝකය අභ්‍යවකාශයේ සිට ගන්නා ලද දුරස්ථ චලන රූපවලින් පෙන්වූ බැවින් එය බලා සිටීමට අතිශය ප්‍රිය උපදවන වාර්තා වැඩසටහනක් විය.   අප ජීවත් වන මේ ග්‍රහ ලෝකය ගෝලාකාර යැයි කිසිවෙකුත් පවසද්දී එය එසේමදැයි තත්ත්වාකාරයෙන් දැන ගැනීමේ හැකියාවක් සාමාන්‍ය මිනිසුන් වන අපට නැත. එක්කෝ අප අන් අය කියන දේ විශ්වාස කළ යුතුය. නැත්නම් අප විසින්ම අභ්‍යවකාශයට ගොස් මේ ග්‍රහ ලොවේ ගෝලාකාර බව දෑසින් දැක තෘප්ත විය යුතුය. පෘථිවිය ගෝලාකාර බවට පොළව මත සිට කළ හැකි නිරීක්ෂණ කීපයක් අපට ද්විතීයික අධ්‍යාපනය ලබන අවධියේ දී හෝ තෘතීයික අධ්‍යාපනය ලබන අවධියේ හෝ ගුරුවරුන් විසින් කියා දී ඇති හෙයින් ඒ ගැන යළි යළිත් ලිවීමට වෙහෙසීම නිරර්ථක ය. නමුත් ඒ කිසිවක් අප වසන පෘථිවියේ ගෝලාකාර බව අපට දෑසින් දකින්නට සළස්වන උපක්‍රමයෝ නොවෙති. එවා හුදෙක් තර්කයෙන් ව්‍යංගයෙන් හෝ වක්‍රාකාරව සාක්ෂිමය ලෙස පොළවේ ගෝලාකාර බව ස්ඵුට කරවන සාධකයෝම වෙති. (මා කලක් සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී ලාංකිකයෙකු මුණ ගැසුනේ හෙතෙ...

Gaze! (ගේස් එක භෞතිකය ඇතුලටත් ඇවිත්!)

අන්තිමට විතර "ගේස්" එක භෞතිකය ඇතුලටත් ඇවිත්! අප අංශු දිහා බලද්දී අංශු තම හැසිරීම වෙනස් කරගන්න එක කුරිරු යථාර්ථයකි ඒ කාලේ! ක්වොන්ටම් භෞතිකය තිත්තයි කර්ණ කටුකයි-පසිඳුරන්ට ගෝචර නොවේ යථාර්ථයෙන් පරිබාහිරයි යථා ලෝකයට කිසිදු අදාලත්වයක් නොමැති ජංජාලයකි! පටලැවිල්ලකි!! හුටපටයකි!!! ෆෝන් එකෙන් ඇස් ඉවත් වෙද්දි විඩියෝ නවතින්න ගත්තම ගේස් එක භෞතිකයටත් ඇවිත් ගේ දොරකඩටත් ඇවිත් අත උඩටත් ඇවිත්! පුංචි ක්වොන්ටම් පද්ධතියක් විශ්වයේ රහස් අත්ලටම ගෙනැවිත් සුළු මිලකට විශ්වයම-ගැලැක්සියම සාක්කුවට බහාලන්න! ඇස් වහ-හෝ වහ-කට වහ ප්‍රේත-භූත-යක්ෂ දිශ්ටි කලුකුමාර මහසෝන් ද -අනංග හීසර ඒ වගේ ගේස් එක එක එක වහ විදියට එක එක දිශ්ටි වෙලා කුරිරු බව වසං කර වෙස්වලා ගෙන තිබ්බේ ඒ කාලේ! දැං ඔන්න ගේස් එක භෞතිකය ඇතුලටම ඇවිත්! අපි බලද්දි එයා දිහා එයා බලයි අපේ දිහා ගේස් එක අත්ල මතටම ඇවිත්! බුදුන් දෑස් බුදු අනුරුව මිනිස් දෑතින් තැනුන ද සිමෙන්ති ඇස් දෙක මත කලු ඉංගිරියාවක් තැබුම සෘජු ඇසෙන් බලා නොකරන් සකි වස් වැදී-දෑස් අන්ධ වන්නේ හිස සී සී කඩව යන්නේ... කෙලින් බලං බුදු ඇස් මත නේත්‍රා තැබුම නොකළ යුතුමය අනන්ත ගුණ කඳ නිසා...

අනේ ඇල්බට් නොදුටි මොක් පුර!

Image
අද ඇල්බට් අයින්ස්ටයින්ගේ උපන් දිනය යි. අයින්ස්ටයින් ගැන ඔහුගේ සාපේක්ෂතාවාදය ගැන අද වන විට ලංකාවේ භෞතික විද්‍යාව දන්නා අය අතර ඇති ඔවුන්ගේ දන්නා ප්‍රමාණය පිළිබඳ සමීක්ෂණයක් කළොත් එහි ප්‍රතිඵලය කුමක් විය හැකි ද? ලංකාවේ සාපේක්ෂතාවාදය අඩුම තරමින් කතා කරන්න අවශ්‍ය මට්ටමටවත් දන්නා අය වෙත් ද? ඒ අය කොහෙද ඉන්නේ? මට නම් මේ ගැන කිසිදු අදහසක් නැත. මා දන්නා තරමින් ආලෝකයේ ප්‍රවේගයෙන් දර්පණ අරගෙන යන අය හෝ අතේ තියෙන විදුලි පන්දම්වලින් නිකුත්වන ආලෝකය හැසිරෙන විදිය හෝ ඒවා රැගෙන යන අයගේ වයස් වෙනස් වන හැටි හෝ කාල උමං තුළින් ගියාම සිදුවන දේවල් ගැන හෝ තේරවිලි කියමින් තෙපර බාමින් "අපි සාපේක්ෂතාවාදයේ කෙල පැමිණියවුන්" ලෙස සංවාද- සාකච්ඡා පවත්වන කිසිම අයෙක් අඩුම තරමින් අයින්ස්ටයින් නිර්මානය කළ සමීකරණය ඇස් දෙකෙන් දැකවත් නැති තක්කඩියන් බැව් නිර්භයව කිව හැකිය. අනෙක් අතට අතිශය සංකීර්ණ විශයයන් ලෙස තම තමන් හඳුන්වා ගන්නා යම් යම් ක්ෂේත්‍රවල උගතුන් තම දැනුම ලෙලවමින් ලිඛිත අලිඛිත වාග් සංග්‍රාම මෙහෙයවන උදවිය, සාපේක්ෂතාවාදය වැනි සරල ගණිතමය සිද්ධාන්ත මත ගොඩනැගුනු සංකීර්ණ සංකල්පයක් දුටු විට  පවසන්නේ ඒවා තමන...

"වසර 50යි. නිහාල් ඇවිත්."

Image
නිහාල් නෙල්සන්ගේ තරුණ ජවයෙන් පිරුණු හඩින් යුත් ගීත මා ප්‍රථම වතාවට ශ්‍රවණය කරන ලද්දේ වර්ෂ 1977 දී පමණ බැව් මට මතකය. එකල මාගේ පියා කැසට් වාදන යන්ත්‍රයක් ගෙනාවේ මුල් වරට මිල දී ගත් කැසට් පට තුනකුත් සමග බැව් මට මතකය. එම කැසට් පට තුන තවමත් මගේ සිතේ ඇඳේ. එකක් ප්‍රියා සූරියසේන ගේය. අනෙකක් රුක්මණී දේවී ගේය. ඉතිරි එක නිහාල් නෙල්සන් ගේය. මා හට  ප්‍රියා සූරියසේනගේ කැසට් පටය හොඳින් මතක ඇත්තේ එය ඔහුගේ ඡායාරූපයකින් ද සමන්විත ඔහුගේම ගීත පමණක් අඩංගු, මතක හැටියට, තරංගා ලේබලයෙන් යුත් කැසට් පටයක් ලෙසය. අනෙකුත් කැසට් පට දෙක මාගේ පියා විසින් නම් කරන ලද ගීත පමණක් තෝරා පටිගත කරවන ලද්දක් බැවින් ඒවායේ විශේෂ පිට කවර පිළිබඳ මට මතකයක් නොමැත. කෙසේ වුව ද මා වඩාත් ප්‍රිය වූයේ නිහාල් නෙල්සන් ගේ ගීත ඇසීමටය. ඉන්පසු සති කීපයක් ගෙවී යන්නට මත්තෙන් තාත්තා විසින් මොහිදීන් බෙග්-අමරදේව-ජිප්සීස් යනාදී වූ එකල බොහෝ ජනප්‍රියත්වයට පත් ගායකයන්ගේ කැසට් පට මිල ට ගෙන තිබූ බැවින් ඒවායේ පැමිණීම හෝ රස විඳීමේ පිළිවෙල මට මතක නැත. අමරදේවයන් ගායනා කරන "රෑ දුරු රට මේ..." යන ගීතය එකල මා වඩාත් සිත්ගත් ගීතය ව...

අම්පාර වරාපිටිය ඉස්කෝලෙ පුස්තකාලයට පොත්

මා ලද SMS පණිවිඩයක්! පිණක් කරගන්න... අම්පාර වරාපිටිය ඉස්කෝලෙ පුංචි දුප්පත් පාසැලක්. අපි ඒ පාසැලේ පුස්තකාලයට පොත් ටිකක් දෙන්නයි යන්නයි හදන්නේ. ඉතිං අපට ඔබේ උදව් ගොඩක් වටිනවා. දරුවන්ගේ දෙනෙත් පාදන්න පොතකින් හෝ ඊට වැඩි ඕනම විදියකින් මේ පිංකමට දායක වෙන්න. කතා කරන්න ගාමිණි බස්නායක 0716015434 ලහිරු කිතලගම 0715468431 අපි ඔබ කතා කරනකම් බලං ඉන්නවා. කෙටි පණිවිඩය එව්වේ 0715303534

කලාවේ සත්‍යය

Image