කවරය හැර ගිය ලියමනක් ලෙස...
මහ රැයේ ආදරයේ උණුසුම් වදන් ලියා සිව්කොන් නවා-කවරෙක බහා යටිතොල අතුරා-තිර ලෙස අලවා පොත් තුනක බරින් තෙරපා උදෑසන හිරු එළිය වැටෙන තුරු දෑසින් දෝවමි ඒ ආදර වදන් කීපය උණුසුමින් රැකෙනු ලෙස සීතලෙන් නොමියෙන ලෙස ගර්භාෂයේ සිටියාටත් වඩා උණුසුමින් තෙරපී හුන් පැටිවියේ ඔබෙ වස්ත්‍ර ජාලයේ මල් සුවඳ පරයා-බූමිතෙල් සුවඳින් පෙඟුනු රතු නිල් කහ මල් වැටුනු-චීත්ත රෙදි ආදර සන්නාහයේ නැහැය ඔබා ගෙන මා සිහින දුටු අතීතේ යලි සිහිකරවන-මග හැරුනු බව-අතැර යන්නට ඒ දුක්ගැහැට අතීතෙන් යලි යලිත් මා පුබුදන යලි යලිත් මා අවදි කරන ඒ නැලවිලි මිමිණිලි ඔස්සේ මම යලි යලිත් ඔබට ලියමි ආදර අම්මේ ඔබේ දෑස් මත පතිත වනු තුරු ඔබේ ආදරය ගැන මේ කුරුටු යාදින්න අකලට ලියැවුනු කවරය හැර ගිය ලියමනක් ලෙස... 13/05/2013