Showing posts with label විචාර. Show all posts
Showing posts with label විචාර. Show all posts

Sunday, January 29, 2012

සර්බියානු චිත්‍රපටියක්|A Serbian Film

සර්බියානු චිත්‍රපටියක්

හිංසනය සමාජගත කිරීමේ වශීකරන මෙහෙයුම

"සර්බියානු චිත්‍රපටියක්" (A Serbian Film) යනු 2010 වසරේ සැප්තැම්බර් 24 වන දින තිරගත වූ එනමින් වූ සර්බියාවේ නිශ්පාදනය වූ චිත්‍රපටයකි. එහි අධ්‍යක්ෂක සර්බියානු ජාතික Srđan Spasojević වේ. [ඔහුගේ සහ සම පිටපත් රචක Aleksandar Radivojevic සමග කළ සාකච්ඡාවක් මෙතැනින් කියවා ගත හැකිය.]



චිත්‍රපටයේ නමින්ම හැඟවෙන අයුරින් එම චිත්‍රපටයේ අන්තර්ගත වන්නේ ද චිත්‍රපටයක් නිර්මානය කිරීමේ ක්‍රියාදාමයකි. එය සර්බියානු අසභ්‍ය "කලා" (pornography: Creative activity (writing or pictures or films etc.) of no literary or artistic value other than to stimulate sexual desire) ක්ෂේත්‍රයේ පරමෝත්කෘෂ්ට මොහොත යථාර්ථයක් කරගනු පිණිස සර්බියානු ධනපති කාම වෙළඳ පොලෙන් ජාත්‍යන්තරයට පිදෙන සර්බියානු දේශීයත්වයේ සළකුණක් ලෙස ඉදිරිපත් වන්නට නියමිත වූ චිත්‍රපටයක් ලෙස සර්බියානු චිත්‍රපටියේ රංගනයේ යෙදෙන එහි අභ්‍යන්තර සිනමා පටයේ අධ්‍යක්ෂවරයා වන වුක්මීර් ප්‍රකාශ කරයි. චිත්‍රපටයේ කතාව මෙසේය.

මිලෝස් යනු සර්බියානු අසැබි කාම සිනමාවේ උත්කර්ෂවත් පුරුෂ කාම සංකේතයකි. සිනමා පටයේ අන්තර්ගතයට අනුව හෙතෙම අතිශය ජනප්‍රියත්වයට පත් ව ඇත්තේ වඩා දිගු කාලයක් සිය ලිංගේන්ද්‍රිය ප්‍රාණවත්ව තබා ගනිමින් ස්ත්‍රීන් සන්තර්පනයට ඇති හැකියාව නිසාවෙනි. මිලෝස් ජනප්‍රිය තලයේ කාම තරුවක්ව සිට අඩු වයසින් විශ්‍රාම ගොස් සිටින අතර සිය සුරූපි බිරිඳ වන මරිජා (මරියා) සහ ඔවුනගේ කුඩා පුතු පීටර් සමග ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුව ද නිස්කලංක ජීවිතයක් ගත කරමින් සිටියි. මිලෝස්ගේ අසැබි කාම සිනමා රංගන සහකාරිය වන ලෙජ්ලා ඔහු හමු වූ අවස්ථාවක ඔහුගේ නිර්මාන ජීවිතයේ තාවකාලික නිහඩ බව බිඳිමින් නැවුම් සහ උත්කර්ෂවත් සර්බියානු අසැබි කාම සිනමාවක් වෙනුවෙන් සර්බියාවට නව අධ්‍යක්ෂවරයෙකු (වුක්මීර්) පහළ වී ඇති බවත් ඔහු හා එම අලුත් ජාත්‍යන්තර තලයේ අසැබි කාම නිර්මානයට එකතු වුව හොත් මිලෝස්ගෙ සියළු ආර්ථික දුෂ්කරතා පීටර්ගේ ජීවිත කාලය තෙක්ම විසඳෙන බව යෝජනා කරන්නීය.

මෙම නව ප්‍රවණතාවයේ කාම සිනමා කෘතියේ අන්තර්ගතය හෝ ආකෘතිය ගැන කිසිම අදහසක් මිලෝස් වෙත එළිදරවු නොකරන වුක්මිර් නම් වූ මෙම ධනවත් අධ්‍යක්ෂවරයා මිලෝස් වෙත දැවැන්ත මුදලක් ප්‍රදානය කරමින් සිනමා පටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරයි.

වුක්මීර් හමු වී යන අවස්ථාවේ දී බලවත් පෙනුමැති වයස්ගත තට්ට හිසකින් යුතු අයෙකු ආරක්ෂකයන් පිරිවරා යන අයුරු මිලෝස් දකියි. ඔහු වුක්මීර්ගේ සිනමා කෘතියේ නිශ්පාදකයා වේ. මිලෝස් තමන්ට ගෙවන අධික මුදල හේතුවෙන් තමා සුවිශේෂී ලෙස රංගදායකත්වය දෙනු ලබන සිනමා කෘතිය ගැන දිගින් දිගටම වුක්මීර්ගෙන් විමසන නමුත් වුක්මීර් පවසන්නේ එය මිලෝස් දැනගත යුතු දෙයක් නොවන බවත් තමන් සුවිශේෂි ප්‍රේක්ෂක සමූහයක් වෙනුවෙන් තම කෞශල්‍ය භාවිතා කර අසැබි දේ කලාත්මකව නිර්මානය කරන බවත් ය.

සිනමා පටයේ රංගනය උදෙසා සූදානම් වන මිලෝස් තම සොයුරා වන මාර්කෝ තම බිරිඳ කෙරෙහි ආශක්තව සිටින බැව් නොදන්නේය. මාර්කෝ විශ්‍රාමලත් පොලිස් නිලධාරියෙකු වන අතර ඔහු මිලෝස්ගෙ කාම හැකියාවන් කෙරෙහි කුහුලින් ද ඊර්ශ්‍යාවෙන් ද කල් ගත කරන්නෙකි.

රංගන දායකත්වය ඇරඹුමත් සමගම මිලෝස් වටහා ගන්නේ මෙය අසාමාන්‍ය අසැබි කාම රංගනයන් සත්‍ය වශයෙන්ම කැමරා ඉදිරියේ ඉදිරිපත් කළ යුතු සහ එකඟ විය නොහැකි එබඳු තේමාවන් රැගත් පිළිකුල් සහගත ක්‍රියාදාමයක් තුළ නිර්මානය වන සිනමා පටයක් බවයි.

ආරම්භක දර්ශනයේ දීම මිලෝස් වෙත කනේ පළඳින්නට කුඩා උපකරණයක් ලැබෙන අතර ඒ හරහා ඔහුට රංග විධාන දෙනු ලබන්නේ වුක්මීර් විසිනි. ඒ අනුව ඔහුට අනාථ මඩමක සිටින කුඩා දැරියක් මුණ ගස්වන අතර ඇගේ මව යුධ විරුවෙකුගේ භාර්යාව වන අතර ඇය ගණිකා වෘත්තියේ යෙදී පවුලේ නම්බුව කෙලෙසා ගත්තියක් ලෙස හඳුන්වා දේ. ඉන් පසුව මිලෝස්ව අඳුරු කාමරයකට රැගෙන යන අතර එහිදී ඔහුව මුඛ ලිංගික
උත්තේජනයකට ලක් කරන හෙදිය පෙර සඳහන් දැරිවිය ලොලි පොප් එකක් උරන විඩියෝ දසුනකුත් ඇය රූපලාවන්‍යෙය් යෙදෙන අයුරු දැක්වෙන විඩියෝ දසුනකුත් එකවර දකින්නට සලස්වා සුරතාන්තයට පත් කරයි. මේ සියලු අවස්ථාවන්ට මිලෝස්ව නිරාවරණය වද්දී කැමරාකරුවන් දෙදෙනෙක් මේ සිදුවීම් සහ මිලෝස්ගේ මුහුණේ සමීප සටහන් විඩියෝගත කිරීම අඛණ්ඩව සිදු කරති.

මෙම අමුතුම සිනමා නිර්මාන අත්දැකීම සමගින් කුතුහලයෙන් මුසපත්වන මිලෝස් සිය විශ්‍රාමික පොලිස් නිලධාරී සොයුරාට පවසන්නේ තමන්ගේ අධ්‍යක්ෂවරයා ගේ පසුබිම් තොරතුරු සොයා බලා තමා වෙත දන්වන ලෙසිනි. මින් පසුව මිලෝස් වෙත කලින් සඳහන් කළ යුධ විරුවාගේ අසැබි බිරිඳ ඉදිරිපත් කර ඈ ලවා මුඛ ලිංගික චර්යාවක් රූපගත කරන්නට පසුබිම සකස් වන්නේ ඇගේ දියණිය බලා සිටිද්දීම ය. මේ අවස්ථාවේ මිලෝස් එම ජවනිකාව රංගනය ප්‍රතික්ෂේප කරද්දී ඔහුව බලහත්කාරයෙන් සුරතාන්තයට පත් කරන්නට වුක්මීර්ගේ සහචරයන් සමත් වේ. මින් මිලෝස් දැඩි ලෙස උරණ වන අතර වුක්මීර්ගේ සහායක ආරක්ෂකයාට පහර දී වුක්මීර් සමග බහින් බස්ව ඔහුගේ චිත්‍රාගාරය වෙතට පැමිණේ.

මාර්කෝ සොයා දැනගත් කාරණාවලට අනුව වුක්මිර් මනෝ විශේෂඥයකු වන අතර රූපවාහිනී වැඩසටහන් නිශ්පාදකයෙකු ද වේ. ඔහු රාජ්‍ය ආරක්ෂක අංශයට සම්බන්ධව ද කටයුතු කර ඇති බැව් හෙළිදරව් වේ. වුක්මීර් විසින් පෙර නිර්මානය කළ එකුදු අසැබි සිනමා කෘතියක් කිසිවෙකුත් නරඹා නොමැති බැව් ද ඔහු මිලෝස් වෙත තහවුරු කරයි.

මිලෝස් කුඩා දරුවන් අපහරණය - ස්ත්‍රී දූෂණය සහ ලිංගිකත්වය හා බැඳුනු මාරාන්තික ජවනිකා රංගනය කෙරෙහි විරෝධය දක්වන්නෙකි. සිනමා පටයේ තේමාවන් මෙම අසම්මත ලිංගික ක්‍රියාදාමයන් හා බැඳී ඇති බැව් වටහා ගන්නා මිලෝස් තමා ගිවිසුමෙන් නිදහස් කරනා මෙන් අධ්‍යක්ෂ වුක්මිර්ගෙන් ඉල්ලා සිටියි. ඊට පිළිතුරු වශයෙන් වුක්මිර් මිලෝස් වෙත ප්‍රදර්ශනය කරන්නේ උපන් හැටියේ බිළිඳියක දූෂණය කරන දර්ශනයක් රැගත් "නිව්බෝර්න් පෝන්" (Newborn Porn) යනුවෙන් වුක්මීර් විසින් හඳුන්වන අශ්ලීල කාම කලා ෂානරයේ විඩියෝ දර්ශනයකි.

එම දර්ශනය මිලෝස් වෙත පෑමෙන් ඔහු අදහස් කරන්නේ ඔහුගේ කලාත්මක ශෛලිය ප්‍රදර්ශනය කිරීම වුව ද මිලෝස් එය කලාත්මක දෙයක් විදියට නොපිළිගන්නා අතර පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරයි. මේ අත්දැකීමෙන් ඉමහත් සේ කැළඹෙන මිලෝස් අවසිහියෙන් මෙන් සිය රිය පදවා ගෙන යද්දී වුක්මීර් ගේ සරාගී පෞද්ගලික වෛද්‍යවරිය විසින් මාර්ග විදුලි සංඥා පොළක් අසල දී මිලෝස්ව කාමාශක්ත පෙළඹුමකින් මත් ද්‍රව්‍ය ශරීරගත කර අර්ධ වශයෙන් සිහිසුන් කෙරෙයි. ඉන් දින හතරකට පසු මිලෝස් එම දින හතර තුළ තමන් කළ කී දෑ පිළිබඳ කිසිදු මතකයකින් තොරව කායික සහ මානසික අසහනයෙන් පිබිදේ.


මිලෝස් ඔහුගේ මතකයන් අවදි කර ගනිමින් එම දින හතර තුළ සිදු වූ සියල්ල දැන ගන්නේ වුක්මීර්ගේ චිත්‍රාගාරය පරීක්ෂා කරද්දී ඔහුට හමු වන ඔහු ඇතුළත් විඩියෝ පට පිරික්සා බලද්දී ය. රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් මිලෝස්ව දැඩිලෙස මත්කර ඔහුව යොදා ගැහැණියක දූෂණය කරවා මිලෝස් අතින් එම ගැහැණිය මරා දමා ඇති දර්ශන පෙළක් විඩියෝවෙ සටහන්ව පවතින බව දැක ගන්නා මිලෝස් අතිශය කම්පනයට පත්වේ. ඉන් නොනැවතී සිහිසුන්ව සිටින මිලෝස්ව දූෂණය කරන වුක්මීර්ගේ ශරීරාරක්ෂකයාගේ දර්ශන පෙළක් ද ඔහු එම විඩියෝ ගොන්නෙන් දකී.

අනාථ නිවාසයක වැඩෙන ගැහැණු දරුවකු ඇගේ භාරකාරිය විසින් මිලෝස් වෙත ලිංගික අපහරණයට යොමු කරන අයුරුත් එම අවස්ථාවේ දී මිලෝස් එය ප්‍රතික්ෂේප කර එම ස්ථානයෙන් පැන ගන්නා අයුරුත් විඩියෝ දර්ශන අතර වේ. මිලෝස්ගෙ කැමැත්තෙන් තොරව මත් ද්‍රව්‍ය ශරීර ගත කර සිදු වන මේ අතිශය ම්ලේච්ඡ සිනමා (කලා?) නිර්මාන ක්‍රියාවලිය දැඩිලෙස හෙලා දකිමින් වුක්මීර් සමග ගැටීමක් ඇති කරගන්නා ලෙජ්ලාගේ විඩියෝවක් ද ඉන් පසු ඇගේ දත් සියල්ල උදුරා දමා රැහැනින් ගැට ගැසුනු ඇගේ නිරුවත් සිරුරේ මුඛ ලිංගික ආශ්වාදය ලබන හඳුනා නොගත් මිනිසෙකුගේ දර්ශනයක් ද මිලෝස් දකින අතර මේ සියල්ලෙන් ඔහු දැවැන්ත ලෙස මානසිකව කම්පනයට ලක්වේ.

මෙතැන් සිට මිලෝස් තම අභිලාශයෙන් තොරව සිදු වී ඇති මෙම නිහීන අශ්ලීල අතරමැදි වීම් කෙරෙහි හට ගත් කලකිරීමෙන් සිය ස්වාමිදායකයා වූ වුක්මීර් හඹා ගොස් සියල්ල නිවැරදි කරගැනීමේ චේතනාවකින් ඔහු සොයා යද්දී නැවතත් ඔහුගේ ග්‍රහණයට හසු වන හෙතෙම අවසන් ජවනිකාව වෙනුවෙන් යොදා ගන්නට වුක්මිර් විසින් තැත් දැරේ.

මේ අනුව ඔහුව මත්ද්‍රව්‍ය ශරීරගත කර අවසන් ජවනිකාවට සූදානම් කරන්නට වුක්මීර්ගේ සරාගී වෛද්‍යවරිය සූදානම් වද්දී මිලෝස් ඇයව අඩපන කර එම දර්ශන පථයට යයි. එහිදී ආවරණය කරන ලද සිරුරු දෙකක් දූෂණය කරන්නට මිලෝස්ට සිදුවන අතර මුහුණ වසාගත් අයෙකු ද එම ක්‍රියාවලියට එකතු වේ. මිලෝස් මෙන්ම අනෙකා ද වුක්මීර් සහ ඔහුගේ කැමරා ඉදිරියේ මෙම අසැබි දර්ශනයට සහභාගි වද්දී වුක්මීර් මුහුණ වසා ගත් අනෙකා නිරාවරණය කරද්දී ඒ තම සොයුරා බවත් ඔහු දූෂණය කරමින් සිටින්නේ තම සුරූපි බිරිඳ බවත් දැක ගනී. ඒ අතර තමා දූෂණය කරමින් සිටින්නේ තම පුතු වන පීටර් බව ද වටහා ගන්නා විට ඔහු මරාවේෂයෙන් වුක්මීර් වෙත කඩා පැන ඔහු ගේ හිස පොළවේ ඇන අර්ධ මරණයකට ලක් කරයි. ඉන් පසුව වුක්මීර්ගේ ආරක්ෂකයන්ගේ පිස්තෝලයක් උදුරා ගන්නා මිලෝස් එතැන ඔහුට පහර දෙන සියල්ලම ඝාතනය කර තම බිරිඳ සහ පුතුද රැගෙන පළා යයි.

අවසානයේ මිලෝස් සිය දිවි නසා ගන්නට තැත් කරද්දී සිය බිරිඳ පැමිණ ඔහුව අස්වසා තිදෙනාම සාමුහිකව දිවි නසා ගැනුමට යෝජනා කරයි. ඒ අනුව මිලෝස් සිය පුතු මැදිකර බිරිඳ හරහා තබන වෙඩිල්ලකින් සිය යහනේදී තිදෙනාම මරණයට පත් වෙති.

මේ සාමුහික සිය දිවිනසා ගැනුමෙන් අනතුරුව ඔවුනගේ සිරුරු වැතිරි යහන් ගබඩාවට පැමිණෙන-මිලෝස් මුල් වරට වුක්මීර් හමු වද්දී දුටු තට්ට මිනිසා සිය ආරක්ෂකයන් සහ රංගන ශිල්පීන්ට විධානය කරන්නේ එම මළ සිරුරු සමග ලිංගිකව එකතුවන ලෙසටය. මිය ගොස් සිටින මිලෝස්ගේ පුතාගෙන් එම දූෂණය අරඹන ලෙස කරන විධානයත් සමගින් සිනමා පටය අවසන් වේ.

ලාංකීය ක්ෂතිමය අත්දැකීම සමීපව

මෙම සිනමා පටය නැරඹීමේ දී ඇතිවන ක්ෂතිමය අත්දැකීම් ප්‍රබලය. එම ආතතිමය තත්වය නිර්මානය වන්නේ හුදෙක් එහි ඇතිරී ඇති ලිංගික ක්‍රෑරත්වයේ විශිෂ්ට අශිෂ්ටත්වය නිසාම නොවේ. අපගේ සංස්කෘතික මානයන් ඔස්සේ ඇති වන ආකල්පමය දුරස්ථභාවයන් නිසාවෙන් ද එම ආතතිය උපදී.එය නොසළකා හැරිය හැකි නොතකා දැමිය හැකි අත්‍යංශුක කාරණයක් නොවේ. සර්බියාවේ නිපදවා ඇති මෙම සිනමා පටය ලාංකික දූපත්වාසී ඇසකින් නරඹද්දී මුල්වරට ඇති වන තිගැස්ම නම් බ්ලූ ෆිල්ම්වල රඟපාන අයෙකුට ඇති නිසග සමාජ පිළිගැනීම කුමක් වැනිද යන්නය. නොඑසේ නම් එබන්දෙකුට සමාජයේ කුමනාකාර පැවැත්මක් ඇත් ද යන්නය. ලිංගික ශ්‍රමිකයන් කෙරෙහි ව්‍යාජ සෘණාත්මක අගතිගාමී ප්‍රතිචාර හෝ ප්‍රතික්‍රියා ඇති අපගේ පොදු අවිඥානය ඇති තරම් අසැබි විඩියෝ පට මෙන්ම අසැබි නිර්මාන පරිහරණය උදෙසා අදෘශ්‍යමාන සංස්කෘතික සීමා මායිම්වල උපරි ව්‍යූහයන් තුළට යටින් ඇති තරමින් සංවිධානාත්මකව සංසරණය වන බැව් නොරහසකි. මෙම අසැබි ලෙස හංවඩු ගසා එනමුත් පෞද්ගලික සීමා තුළ වින්දනය හෝ තම පෞද්ගලික විපරිතභාවයන් රහසිගතව උත්කර්ෂයට නංවා ගන්නා සමාජ දේහයක් තුළ ලිංගිකත්වය කේන්ද්‍රකරගත් අසභ්‍ය සංස්කෘතික කලා නිර්මානකරුවන් යථාර්ථය තුළ පැවැත්මක් නැති හුදු යුරෝ කේන්ද්‍රීය ස්ත්‍රී පුරුෂ ශරීර පමණක් වෙතැයි කල්පනය කරන්නට අප අවිඥානිකව පුහුණු කර ඇත. මේ හේතුව නිසාම කතිකාව තුළ අසංස්කෘතික බටහිරයන් (සුද්දෝ සුද්දියෝ) රඟන හෙළුවැලි සංදර්ශන නැරඹීමේ ආශාව යටපත් කළ හෝ පීඩනයට ලක් කළ ෆැන්ටසික තිරය විඛණ්ඩනය වන්නේ ඒ තුළ ඊනියා සංස්කෘතික ප්‍රාදේශීයත්ව උත්කර්ෂයට නැංවීමෙනි. (නොඑසේ නම් අහවල් ටෙලි නිළිය රඟන හෝ ඇයගේ පෙම්වතා රහසිගතව පටිගත කළ ඇයගේ බ්ලූ එකක් තමා ළඟ ඇතැයි මිතුරන් අතර බෙදා හදා බලන්නට නොපෙළඹෙන සාදු නාගරික ජනතාවක් අපට ඇත.) මෙම අශ්ලීල කලා කෘති කෙරෙහි ලාංකිකයා මතුපිටින් දක්වන ජුගුප්සාජනක ප්‍රතිචාරයත් ඊට මිලිමීටර කීපයක් යටින් රහසිගතව දක්වන ලොමු ඩැහැගන්වන ආකර්ෂණය නිරන්තරයෙන්ම සදාචාරාත්මක පොදු රූපයක් ගන්නා සන්දර්භය තුළ ප්‍රතික්ෂේප වන අතර පෞද්ගලික ස්වරූපය ඊට හාත්පසින් වෙනස් වේ. එනම් රහසිගතව අනෙකාගේ ඇස පහස නොලබන විටක එය තම විපරිතභාවයේ උත්කර්ෂය ලෙස රස විඳීමට උපයෝගී කර ගැනීමට නොඉවසිලිමත් වීමයි. සිනමා කලාව තුළ සරාගී රංගනය පිළිබඳ දූපත් කතිකාව තවමත් සිය නිර්ණායක මනාව නිදහස් කර නැති තතු යටතේ අපට මේ දෙබෙදුම ගැන කිසිදු ආස්ථානයක් නොමැති තරම්ය.

අනෙකාගේ ලිංගික සම්බන්ධතාවය යතුරු හිලකින් බැලීමේ මිනිස් පෙළඹුම සංස්කෘතික ආගමික වාර්ගික වපසරියන් ඉක්මවා විශ්වීයත්වයට පත් යථාර්ථයක් වුව ද බ්ලූ ෆිල්ම් වානිජ කර්මාන්තයක් ලෙස මහා පරිමාණයෙන් නිර්මානය කරන බටහිරටත් වඩා ඒවා පරිශීලනයෙන් තම අපවර්තිත ආශාවන් ලුහු බඳින්නෝ මේ පෙරදිග සංස්කෘතික පරිධියේ භූගෝලීය පෙදෙසෙහි වසනා පිරිමින් ලෙස සැලකුවොත් එහි ඇති වරදක් නොමැත. සර්බියානු චිත්‍රපටයක් මේ විපරිත සිනමා ෂානරය උඩු යටිකුරු කරවන නිර්මානයක් බැව් අවිවාදයෙන් යුතුව පැවැසිය හැකිය. එනම් වානිජ කාම කලා සිනමාවේ සෘණාත්මක තාර්කික අවසානය එමගින් සනිටුහන් වීම නිසාවෙනි. අසභ්‍යත්වය පිළිබඳ සිනමා නිර්ණායක දෙපළු කරන්නට සර්බියානු චිත්‍රපටයක් සමත් වන නිසාවෙනි. කැමරා ඉදිරියේ මුදල් වෙනුවෙන් ගැහැණුන් සමග ලිංගිකව හැසිරීම පිළිබඳ ක්‍රමවත් සහ ප්‍රමාණවත් ප්‍රතිපත්තිමය රාමුවක වෙසෙන මිලෝස් අවසානයේ සිය න්‍යශ්ටික පවුල සිය යහන් ගබඩාවේ එකම වෙඩි උණ්ඩයකින් සිරුරු තුනම පසා කර යවමින් සාමුහික ලෙස ස්වර්ගස්ථ වන්නේ එම රාමුවේ වපසරිය යථාර්ථයට වඩා අතිශය කුඩා බැව් ඒත්තු යද්දීය. එනම් අසභ්‍යත්වය පවා සුනු විසුනු කරවා එහි අසභ්‍යත්වය ඉක්මවා යන යමක් ශේෂ වන තරමට තම භූමිකාව ප්‍රබල ක්ෂතිමය ම්ලේච්ඡ අත්දැකීමක් කරා යොමු කරවන්නට තරම් එම ක්‍රියාන්විතය සමත්වන බැවිනි. මිලෝස්ගේ සාමුහික න්‍යශ්ටික පවුලේ මරණයත් සමග එම ම්ලේච්ඡත්වය නොනවතින අයුරුත් එම මිය ගිය සිරුරු පවා දූෂණය කරන්නට පෙළඹෙන සුවිශේෂී කාම සිනමා ප්‍රේක්ෂක බල රාමුව විසින් ඇඟවුම් කරන්නේ අසභ්‍යත්වය ඉක්මවා ගිය අතිශය අමානුෂික අන්තයකි. එක්තරා බටහිර සිනමා සංස්කෘතික විචාරක සමූහයක් දක්වා ඇති පරිදි මෙම සිනමා පටය කාන්තාවන් විසින් නැරඹිය යුතු නොවන්නේ මන්දැයි යනු ද අතිශය විවාදාත්මක කාරණයක් වෙයි. කෙසේ වුවද ස්ත්‍රීවාදී සිනමා විචාරක කෝදු විසින් අනුලංඝනීය ලෙස අවතැන් කරන ලද මිලෝස්ගෙ පුරාවෘතය අතිශය මානුෂික සීමා තුළ ග්‍රහණය කරගන්නට යම් දුරකට හෝ ආධාර සපයන සර්බියානු චිත්‍රපටය අයත් ෂානරය තුළ එක පෙළට යම් ආකාරයකට තැබිය හැකි නිර්මාන කීපයක් ලෙස ඉරිවර්සිබල් [Irreversible]-ද හියුමන් සෙන්ටිපීඩ් [The Human Centipede] - ඉරේසර්හෙඩ් [Eraserhead] - ටැක්සිඩර්මියා [Taxidermia] වැනි අතිශය ලොමු ඩැහැගන්වන සුළු සිනමා ග්‍රැෆිකයන්ගෙන් යුතු සිනමා පට තැබිය හැකිය. මේ සියල්ලට වඩා සර්බියානු චිත්‍රපටයක් වෙනස් තැනක පිහිටුම ලකුණු කරන්නේ එහි අන්තර්ගත මෙතුවක් සිනමා කැමරාවකින් තිරය මත නොලියැවුනු සුවිශේෂි ම්ලේච්ඡ ග්‍රැෆිකයන් නිසාවෙනි. 

අසැබි සංස්කෘතික කෘති කෙරෙහි ආර්ථික සහ ලූබ්ධිමය වටිනාකම් ආරෝපණය කර එහි ව්‍යාපාරික වුවමනාවන් නිසි ලෙස සංස්ථාපනය කොට නඩත්තු කරන බටහිර රටවල් පවා මෙම සිනමා කෘතිය සිය භූගෝලීය බල ක්ෂේත්‍ර තුළ තහනමට ලක් කිරීම මෙම ම්ලේච්ඡ ග්‍රැෆික තතු යටතේ අත්කර ගන්නා වඩාත් තර්කාණූකූල අවසානය යි. එනමුදු මෙම සිනමා කෘතියේ සිනමාත්මක අත්දැකීමට පිටතින් වන මානයක සිදුවන සමාන්තර සිදුවීම් ද එහි කතිකාවට අනුපමේය මෙහෙයක් ඉටු කරයි. එනම් සර්බියාවේ දේශපාලනික සන්දර්භය තුළ මෙම සිනමා කෘතියේ නිෂ්පාදනය සිදුවන පටිසෝතගාමී පිළිවෙලයි. මෙම සිනමා පටය සර්බියාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව නිපැයුනු එකම චිත්‍රපටය වීමෙනි ඒ අපූර්වත්වය එකතු වන්නේ. ඊට හේතුව සර්බියානු සිනමා කලාව සම්පූර්ණයෙන්ම රාජ්‍ය පරිපාලන ව්‍යූහයක් හා සමානවම ස්ථානගත වීම නිසාවෙනි.රාජ්‍ය අතරමැදි වීමකින් තොර කිසිදු සිනමා නිර්මානයක් සර්බියාවේ පහළ නොවන තතු යටතේ මෙම සිනමා ප්‍රකාශනය එම සංස්කෘතික සහ දේශපාලනික විපරිතත්වය පුපුරුවා හරින්නට ම්ලේච්ඡ ග්‍රැෆිකයන් භාවිතා වන මානය වටහා ගත හැකිය. එනම් එහි සිනමා කලාව උදෙසා වන්නා වූ හෝ සමස්ත නිර්මාන ක්ෂේත්‍රයටම අදාල වන්නා වූ හෝ චින්තනමය නිදහසක් නොවීමේ පීඩාව සමනය කරගන්නට දැරූ විප්ලවකාරී එළඹුමක් ලෙසිනි.

එහි අධ්‍යක්ෂක [Srđan Spasojević] ස්පැසොයෙවික් පවසන්නේ එම දෘශ්‍ය ආතතියේ හේතුව මේ ආකාරයෙනි. උපුටා ගැනුම විකිපීඩියාවෙනි.

The film was released to great controversy in terms of its graphic and often sexually explicit violence. Spasojević has responded to the controversy with "This is a diary of our own molestation by the Serbian government... It's about the monolithic power of leaders who hypnotize you to do things you don't want to do. You have to feel the violence to know what it's about."

මේ සිනමා පටය සර්බියානු රජය විසින් අපව හිරිහැරයට ලක් කරන ආකාරය පිළිබඳ දින සටහන් සමූහයකි. ඉන් කියැවෙන්නේ පාලකයන්ගේ ඒකාශ්මික බල රාමුව විසින් උපක්‍රමිකව වශීකරණය කොට ජනතාව අකමැති දේ ඔවුන් ලවා කරවනු ලබන නින්දිත ක්‍රියාවලියයි. ප්‍රචණ්ඩත්වය යනු කිමැයි වටහා ගන්නට එය අත්දකින්නට ම සිදු වෙයි.

මිලෝස් සහ මිල න්‍යාය

මිලෝස් නම් වූ සර්බියාවේ චිත්‍රපටයක් හි ප්‍රධාන චරිතය සිය තරුණ කාලය මුදල් ඉපයීම වෙනුවෙන් කැමරා ඉදිරියේ ස්ත්‍රීන් සමග ලිංගිකව හැසිරී හෙම්බත් වූ චරිතයකි. ඔහු වෘතීය බ්ලූ ෆිල්ම් නළුවෙකි. ඔහුගේ එම වෘතීයේ සාර්ථකත්වය ට තම පෞරුෂය මෙන්ම ලිංගික ශක්‍යතාවයන් ද බලපා ඇති බැව් ඔහුගේ චරිතය ගොඩ නැගෙන අවශේෂ සිදුවීම් හරහා අපට දැනෙයි. ඔහුගේ පවුලේ අනාගත සුරක්ෂිතභාවය කෙරෙහි සංවේදී වන මිලෝස් තම ලිංගික රංගන වෘතීය හැර අනෙකක් කෙරෙහි ප්‍රාගුණ්‍යක් නොමැත්තේ වෙයි. එමෙන්ම තම ජනප්‍රියත්වයේ උච්චතම අවදියේ පවා තමා ඉපයූ මුදලින් ප්‍රමාණවත් ඉතිරියක් අනාගතය වෙනුවෙන් රඳවා ගන්නට ද අසමත් වූවෙකු බැව් ඔහුගේ කුටුම්භ ජීවිතයේ හැඩතල කියා පායි. මෙනයින්
ඔහුට ඉතිරි වී ඇති ජීවිත කාලය තුළ තම දරුවාගේ අනාගතය සුරක්ෂා කිරීම වෙනුවෙන් කළ හැකි ඕනෑම දෙයක් කරන්නට පෙළඹෙන මානසිකත්වය මඟ හැරිය නොහැකි යථාර්ථයකි. මේ තත්වයන් තුළ ඔහු වුක්මීර් ගේ සබඳතාවය නිර්මානය කර දෙන ලෙජ්ලාට ණය ගැති වීම වැළකිය හැකි නොවේ. මේ සමස්ත අවශ්‍යතාවයේ සංකේතීය ව්‍යූහය සමාජය තුළම පවතින අස්ථිර බවේ ප්‍රකාශනයක් වන අතරම එහි සීමාවන් ප්‍රශ්න කිරීම මෙම සිනමා කෘතිය තුළ අඛන්ඩව සිදු වෙයි.

දැඩි මිනිස් දරු සබඳතා ජාලයක් තුළ තම න්‍යශ්ටික පවුල නඩත්තු කරන්නට මිලෝස් පෙළඹීම තුළ ඔහු අපහරණයට ලක් කරගැනීමේ සියලු උගුල් අටවාලන්නට වුක්මීර්ට හැකියාව ලැබීම හුදෙක් මිලෝස් ගේ අපරිණත ජීවිතය පමණක් හේතු නොවේ. මිලෝස් අධික ලෙස නාසිස්මික චරිතයකි. හෙතෙම තම ලිංගික රංගන විඩියෝ පට නිරන්තරයෙන් නරඹමින් ආකස්මික සුවයක් ලබන්නෙකි. එනමුත් ඔහු ඒවායේ කේන්ද්‍රීය ලෙස නරඹන්නේ තමන්ගේ ප්‍රතිරූපය මිස ඒවායේ තම ලිංගික ක්‍රියාදාමයේ හවුල්කරුවන් දෙස නොවේ. ඔහුට එම රූපාවලි නැවත නැරඹීම තුළ ඇත්තේ තම ස්වරූපරාගය උත්කර්ෂයට නංවා ගැනීම වුව ද මිලෝස් වරෙක සිය රූමත් බිරිඳට පවසන්නේ තමා ඇයට ආදරය කරන බවත් අනෙකුත් ස්ත්‍රීන් හුදෙක් රමණය පිණිස භාවිත වූ ශරීර පමණක් බවත් ය. මිලෝස්ට ලිංගික හැසිරීම වනාහි මිලකට පරිවර්තනය කළ හැකි හුවමාරු වටිනාකමකින් යුත් භාණ්ඩයකි. රංගන ශිල්පියෙකුට සිය රංගනය කෙරෙහි ඇති වටිනාකම මෙන්ම මිලෝස් වෙත ද ඇත්තේ ලිංගික රංගනයේ හුවමාරු වටිනාකම පමණි. මේ හේතුවෙනි ඔහුට සිය බිරිඳ සමග ලිංගික සබඳතාවයක් නිර්මානය කර ගැනීම උදෙසා ඇගේ පෙරැත්ත කිරීමත් ඉන් පසුව එළඹෙන පරපීඩා කාමුකත්වය තුළ හට ගන්නා සබඳතාවය දෙදෙනාටම සුරතාන්තය ගෙනෙන්නේත්. එක්තරා මනෝවිශ්ලේෂනීය දෘශ්ටිකෝණයකින් මෙම සිනමා කෘතියේ සාකච්ඡාවට බඳුන් වන්නේ ලිංගික හැසිරීම හුදෙක් වෙළඳ භාණ්ඩයක් බවට පත් වූවෙකුගේ අවිඥානය ඉල්ලා සිටින විපරිත ෆැන්ටසියේ යථාර්ථය යි. එම පරපීඩා කාමුකත්වය ඔහුගේ අවිඥානය තුළ ෆැන්ටසිගතව නොතිබූයේ නම් මත්ද්‍රව්‍ය හෝ වෙනත් කිසියම් ක්‍රමයකින් ඔහුව සවිඥානයෙන් මුදවා ඒ ආකාරයෙන් හැසිරවිය හැකි නොවන්නේ යැයි උපකල්පනය කළ හැකිය. සමස්ත සමාජයක හැසිරීම මෙලෙස හකුළුවා ලන්නට හැකි වීම මෙම සිනමා කෘතියේ ඇති සුවිශේෂි බවයි. පශ්චාත් යුධවාදී සමාජයක සමූහ අවිඥානය යනුම කාල් යුංග් සූත්‍රගත කළ ආකාරයේ මිථ්‍යා ස්වරූප ජාතිවාදය යනු පුද්ගල සිහිනයේ සමාජීය ප්‍රක්ෂේපනය ද යන්න මින් ප්‍රශ්න නොකෙරේයැයි කවරෙකුට වර නොනැගිය හැකිදෝයි ගැටළු මතු වේ. කාල් යුංග් ට අනුව සමාජයක මිථ්‍යා කතන්දර යනුම සමාජයක් සමස්තයක් වශයෙන් දකින සිහිනාවලියකි. පුද්ගලයාට සිහිනය යම් සේ ද සමාජයකට මිථ්‍යාව ද එසේම බැව් කාල් යුංග් පවසයි.

මනෝගතිකයන් උඩුයටිකුරු කරවන ප්‍රාග්ධනයේ හැසිරීම

මිනිස් සමාජයේ සංකේතීය සහ අවිඥානික සබඳතාවල මූලික ප්‍රමේය හෝ ප්‍රාථමික ව්‍යූහය වන්නේ ඊඩිපස් සංකීර්ණය යි.
In our society the primary structure that defines our symbolic and unconscious relations is the Oedipus complex.
Jacques Lacan- Routledge Critical Thinkers by Sean Homer-page 53

මෙම ඊඩිපස් සංකීර්ණය තුළ හකුළුවා ඇති ව්‍යූහයේ මිනිස් මනසේ සංකේතීය සහ පරිකල්පනීය පිළිවෙල තුළ ක්‍රියාත්මක වීම් කවරාකාර ස්වරූප ගනී ද? හුදෙක් පිරිමි දරුවකු තුළ පියා කෙරෙහි උපදින ඊර්ශ්‍යාව මත මව කෙරෙහි ඇති වන ආකර්ශනය ද? නොඑසේ නම් ගැහැණු දරුවකු මව කෙරෙහි ඇති වන විකර්ශණය හේතුවෙන් පියා කෙරෙහි ඇති වන ආකර්ශණය ද? නොඑසේ නම් පියා මව සහ දරුවා ත්‍රිකෝණීය සබඳතාවයේ සියලු අන්තර්ක්‍රියාවන් ද?

මිලෝස් ලිංගික ජවනිකා කැමරා ඉදිරියේ මවා පාමින් ගොඩනගා ගන්නා තම ජීවිකාව තම කුඩා පිරිමි දරුවා තමා අතින් නොදැනුවත්වම දූෂණයට ලක් වීම දක්වාම වර්ධනය කරගන්නට සමත් වන වුක්මීර් නම් වූ ආර්ථික බල ව්‍යූහය සමාජයේ කුමන තීරුවකින් සමාජය පෙලන්නේ ද යන්න වටහා ගැනුම මෙම සිනමා කෘතිය සර්බියානු සන්දර්භයෙන් විශ්වීයත්වයට පිය නගන දොරටුව ලෙස ද දැකිය හැකිය. කොල්ලකාරී ධනේෂ්වර ආර්ථික බල ව්‍යූහයන් විසින් මිනිස් සබඳතා එහි මනෝමූල ගතිකයන් උඩුයටිකුරු කරවන්නට සමත් වන අයුරු මේ ම්ලේච්ඡ ග්‍රැෆික විසින් අපට අතැඹුලක් සේ පෙන්වා දෙනු නොලබයි ද?

මෙම සිනමා පටය බොහෝ ප්‍රෙක්ෂාගාර පරිපාලකයන් අතින් ප්‍රතික්ෂේප වී ඇත්තේ එහි දැක්වෙන දරුවන් අපහරනාත්මක දර්ශන යැයි වටහා ගත හැකි දෘශ්‍ය මායාවන් මෙන්ම ක්‍රෑර ලිංගික ජවනිකාවල ඇති ආතතිය වැඩිහිටියන්ටත් දැරිය නොහැකි වන තරමට තීර්‍වතාවයෙන් ඉහළ බැවින් යැයි වාර්තා වේ. සැබැවින්ම යථාර්ථය ඊටත් වඩා ම්ලේච්ඡ බැව් ඔවුන් නොකියා කියන්නේ දැයි විමසීම ප්‍රේක්ෂාගාරයක් සතු අද දවසේ වගකීමයි.

ආශ්‍රිත ග්‍රන්ථ/වෙබ් අඩවි/විද්‍යුත් මාධ්‍ය

1.The Plague of Fantasies by Slavoj Zizek
2. Theories of Race and Racism - A Reader- Chapter 40/ENJOY YOUR NATION AS YOURSELF! by Slavoj Zizek
3. Jacques Lacan- Routledge Critical Thinkers by Sean Homer
4. http://www.mahala.co.za/movies/a-serbian-film/
5. http://en.wikipedia.org/wiki/A_Serbian_Film#cite_note-2
6. http://www.bloody-disgusting.com/interview/638
7. A Serbian Film
8. Irreversible
9. The Human Centipede [ part I and II]
10. Eraserhead
11. Taxidermia

Friday, August 5, 2011

තානාපතිවරු සහ අන්ධ බිංදුව

තානාපතිවරු සහ අන්ධ බිංදුව
[සරසවි බැල්ම සහ ක්වොන්ටම් බැල්ම]


මාතෘකාව ගැන ඉස්සෙල්ලම යමක් කියන්න ඕන. නැත්නම් ලිපියේ අන්තර්ගතය මේ මාතෘකාවට කිසිම සේවයක් කර නොමැති බැව් කාට හෝ හිතෙන්නට පුළුවන් බැවිනි. තානාපතිවරු සහ අන්ධ බිංදුව යැයි එකට හමු වන්නට සළස්වා ඇති කිසිදු සම්බන්ධයක් මතුපිටින් නොමැති සංකල්ප දෙක එකට සම්බන්ධ කිරීමට මගේ උත්සාහය පිළිබඳ ඇඟවුමක් ලෙස මෙලෙස මාතෘකාව තෝරා ඇත.

"තානාපතිවරු" නම් හෑන්ස් හෝල්බින්ගේ The Ambassadors (1533) නමින් වූ ලෝ ප්‍රකට සිතුවමයි. අන්ධ බිංදුව නම් ඇසේ දෘශ්ටිවිතානය මත පිහිටි රූප සංඥා මොළයට සම්බන්ධ කරන ස්නායු රැහැන් ඇරඹුම් ලක්ෂ්‍යය යි. එතැන ඇති සුවිශේෂත්වය නම් එම කුඩා පෙදෙසෙන් ඇසට පෙනීම නමැති සංවේදනය ඇති නොකිරීමයි. එනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එම කුඩා පෙදෙස ඇස තුළ ඇති අන්ධ පෙදෙසක් වීමයි.

හෑන්ස් හෝල්බින්ගේ ලෝ ප්‍රකට තානාපතිවරු සිතුවමේ ඇති හිස් කබලේ විරූපිතය [ANAMORPHOSIS] සිතුවම දෙස සාමාන්‍ය ලෙස බැලූ විට නොපෙනී යන දෘශ්‍ය වස්තුවකි. අප සාමාන්‍ය යෙන් සිතුවමක් දෙස බලන්නේ එයට අභිලම්බකව ඇති දෘශ්‍ය රේඛාවක ඇස තබා බැව් අප ඉතා හොඳින් දන්නා කාරණයකි. එබඳු දෘශ්‍ය රේඛාවක් හරහා අපට මෙම සිතුවමේ ඇති විරූපිත හිස් කබල අප ප්‍රත්‍යක්ෂ කරගන්නා දැක්ම නමැති ක්‍රියාවලියේ අත්දැකීමක් ලෙස දැක ගැනීමට නොහැකිය. එම විරූපිත හිස් කබල දැක ගැනීමට අපගේ දෘශ්‍ය රේඛාව වෙනත් කෝණයකට විස්ථාපනය කරන්නට සිදු වන්නේ ය. මෙම අවස්ථාව සාමාන්‍ය දෘශ්‍ය රේඛාව අතික්‍රමණය කිරීමට කරනු ලබන නියෝගයකි. පෙළඹවීමකි. මින් අදහස් වන්නේ අපට ලෝකය දැකීමට ඇත්තේ එකම දෘශ්‍ය පථයක් නොවන බවයි. සමහර විට අප එදිනෙදා දකින බොහෝ දේ තුළ පවා විරූපිතයන් සැඟව තිබෙන්නට ඉඩ ඇත. අපගේ දෘශ්‍ය රේඛාවේ සාමාන්‍ය භාවිතය හේතුවෙන් එම සැඟවුනු දෘශ්‍ය වස්තූන් අපගේ දැක්මෙන් ගිලිහී යන්නට ද ඉඩ ඇතැයි යමෙකුට සිතෙන්නට ගත්තොත් එහි ඇති වරදක් ද නොමැත්තේ යැයි පැවසිය හැකිය.

අනෙක් අතට අපගේ ඇස තුළ පිහිටා ඇති අන්ධ බිංදුව අපට සාමාන්‍ය අවස්ථාවල දී ප්‍රත්‍යක්ෂ නොවේ. එය ද අපගේ ඇස විශේෂ අවස්ථාවකට දෘශ්‍ය රේඛාව පිහිටුවා බැලූ විට පමණක් එම අන්ධ බිංදුවේ ප්‍රායෝගික ඵලය අත්දකින්නට ලැබෙන්නේය. මේ ආකාරයෙන් බාහිරින් පවතින විරූපිතයක් යළි දැක්ම තුළට ගැනීමේ ක්‍රියාවලිය මෙන්ම අප ඇස තුළ ඇති විරූපිතයක් ලෙස දැක්විය හැකි අන්ධ බිංදුව දැක්ම තුළට ගැනීමේ ක්‍රියාවලිය ද එකිනෙකට ප්‍රතිසම එමෙන්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි දෙකක සම්බන්ධයක් ඇති බැව් දැන් පෙනී යා යුතුය.

විරූපිතයක් දෙස අප බලන්නට සුවිශේෂි ලෙස දෘශ්‍ය රේඛාව හසුරුවා ගන්නට සිදුවනවා සේම අපගේ ඇස තුළ ඇති අන්ධ බිංදුව දැක ගැනීමට ද අපට අපගේ දෘශ්‍ය රේඛාව කිසියම් සුවිශේෂි ඉලක්කයක් කරා ගෙන යාමට සිදු වේ. මේ අවස්ථා දෙකේ දී ම අප අත්දකින්නේ අපගේ දෘශ්‍ය පථයේ පවතිද්දී ද අපට ගෝචර නොවී පවතින යමක් නැවත ගෝචර වන ආකාරයකට පත් කර ගැනීමේ ක්‍රියාවලියයි.

දැන් අපට මෙම ද්විත්ව දෘශ්‍ය ක්‍රියාකාරකමේ ඇති පරස්පර සබඳතාවය පැහැදිලි වුව ද පැණයක් ඉතිරි වේ. එනම් අපගේ ඇසේ නෛසර්ගිකව පිහිටා ඇති මෙම අන්ධ බිංදුව අපට සාමාන්‍ය දෘශ්‍ය ක්‍රියාකාරිත්වය තුළ දී බාධාවක් නොවන්නේ මන්ද යන්නයි. ඊට ප්‍රධාන හේතුව අපගේ දෘශ්‍ය පද්ධතිය ද්විප්‍රකාර වූ දෘශ්‍ය සංඥා මොළයට ගෙන යන ආකාරයටත් ත්‍රිමාන ව්‍යූහයන් මනසේ ප්‍රතිනිර්මානය කර ගැන්මට උපකාරී වන ලෙසත් සකස් වී තිබීම නිසා එක ඇසකින් බාධාවන අන්ධ බිංදු කොටසේ දෘශ්‍ය ඡායා ඌණතාවය අනෙක් ඇසෙන් පිරිමසා එය සූචනය කර ගන්නට ඇවැසි දත්ත මොළය කරා නිරන්තරයෙන්ම යැවෙන බැවිනි. මේ හේතුවෙන් අපට එක ඇසක අන්ධ බිංදුවේ හිස් තැන අනෙක් ඇස විසින් අනුපූරක ලෙස පුරවා දමන බැවින් සාමාන්‍ය දෘශ්‍ය ක්‍රියාවලියේ දී ඉන් බලපෑමක් ඇති වීම වැළකී ඇත. එනමුත් එක ඇසකින් පමණක් ලෝකය දකින අයෙකුට නිරන්තරයෙන් මෙම අන්ධ බිංදුවේ හිස් තැන අත්විඳින්නට වනු නොඅනුමානය. එනම් ඔහුට නිරතුරුවම තම දෘශ්ටි පරාසයේ කිසියම් තැනක් මග හැරෙනු ඇත. එනමුත් අපගේ ඇස් නිරන්තර චලිතයේ යෙදෙන බැවින් මෙම ස්ථානය ගතික විය හැකිය. එබඳු ගතික පරාසයක අංශුමාත්‍ර ගිලිහී යාමක් තනි ඇසක් විසින් මොළයට සංඥා කරවන්නට තරම් සූක්ෂම වීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් මෙම හිස් තැන ඌණනය වන්නේ මනසේ අවිඥානික කොටසට විය යුතුය. අප නොදකින දේ දකින්නට සමත් වන්නේ අපේ අවිඥානය පමණි.

අනෙක් අතට කැමරාවකට ඇස තබා ඡායාරූපයක් ගන්නා සෑම අවස්ථාවකම එම කැමරාව ක්‍රියාත්මක කරවන්නා නොදකින යමක් කැමරා පටලය තුළ සටහන් වේ. එය නිරීක්ෂකයාගේ දෘශ්ටි පරාසයේ අන්ධ බිංදුව වුව ද කැමරාවකට අන්ධ බිංදුවක් නොමැති හෙයින් එය සවිඥානිකව ගිලිහී ගිය ලපය ඡායාරූපයේ අවිඥානිකව සටහන් වීම කැමරාකරුගේ හෝ නිරීක්ෂකයාගේ සවිඥානයට ඔබ්බෙන් තම පැවැත්ම සටහන් කරගන්නා දෙයක් බවට පත්වේ. ඡායාරූප මිනිස් සවිඥානික දෘශ්‍ය ක්‍රියාකාරිත්වයෙන් ඔබ්බේ වූ යමක් නිරතුරුව සටහන් කරන බැව් මින් ගම්‍ය වේ. එනමුත් මේ කුඩා ලපය බිංදුවක් ලෙස අප නාමකරණය කර ඇත්තේ ද එය නොසළකා හැරිය හැකි තරම් කුඩා පෙදෙසක් වීම වුව ද සත්‍ය වශයෙන්ම එය පරිමිත වර්ගඵලයක පවතින දේකි.

අපට දැන් නිරීක්ෂණය නම් වූ ක්‍රියාත්මක වීම ගැන වඩාත් ආදර්ශීය මොඩලයක් ඇත. අන්ධ බිංදුවක පැවැත්මෙන් පීඩාවට පත් වූ දෘශ්‍ය රේඛාව හැසිරවීමේ සමස්ත ක්‍රියාවලියට නිරීක්ෂණය යැයි නැවත නම් කළ හැකි නම් එම නිරීක්ෂණය විසින් අපගේ සංජානන අවකාශය විරූපනය කරත හැකිය යන්න මින් ගම්‍ය වේ. භාග්‍යයකට මෙන් මෙම විරූපණය විසින් අපගේ සවිඥානික අන්තර්ඥානයට සිදුවන බලපෑම මගහරවා ගන්නට අවිඥානික අනුපූරක ක්‍රියාදාමයක් අතරමැදි වේ. එනම් එක ඇසකින් මග හැරෙන දෙය අනෙක් ඇසෙන් වසා දැමීමයි. අපට ඇස් දෙකක් තිබීමේ අරුමය නිසාවෙන් නොවන්නට අන්ධ බිංදුව අපගේ දෘශ්‍ය විද්‍යාවේ ප්‍රමූලික රංගනයක් අත් කර ගන්නවා නිසැකය. කෙසේ වුවත් මෙම අනුපූරක ක්‍රියාදාමය දෘශ්‍ය සංජානනය පිළිබඳ ස්වාභාවික මවා පෑමක යාන්ත්‍රණයක් පමණි. අපට යමක් නිරතුරුවම දෘශ්‍ය පථයෙන් ගිලිහෙයි.

පැහැදිලි ලෙසම දෘශ්‍ය පරාසය තුළ අපගේ සංජානනය අත්කර ගත නොහැකි පරිපූර්ණත්වයක් ලෙස මෙලෙස පැහැදිලි කර ගත හැකිය. අපට කිසි විටෙකත් ඇස දකින පරිපූර්ණ චිත්‍රය මනසට ගොඩනගා ගත නොහැකිය. එහි හිදැසක් නෛසර්ගිකව පවතී. එම හිදැස පුරවා ගන්නට එදෙස බලන විට වෙනත් පෙදෙසකට එම හිදැස විතැන් වෙයි.

අපගේ සංජානන අවකාශය විරූපණය කළ හැකි ක්‍රියාවලියක එනම් නිරීක්ෂණයේ ඊටම අයත් ප්‍රතිලෝමය කුමක් විය හැකි ද? අප දේවල් දෙස බලද්දී ඒවා අප දෙස බලත් ද? නොඑසේ නම් ඒවා අපට ප්‍රතිචාර දක්වයි ද? එම ප්‍රතිචාරය අපගෙන් සඟව ගන්නා අන්ධ බිංදුව කුමක් විය හැකි ද? අප ආත්මීය ලෙස භාහිර ලෝකය නිර්වේෂණය කරන විට අපගෙන් ගිලිහෙන ආත්මීය පැල්ලම අපව වස්තුවක් ලෙස අප දෙස බලන වස්තුවක් විසින් ගිලිහෙනු ලබන එම දේම අපගේ ආත්මීයත්වයෙන් ගිලිහෙන දේ හා ප්‍රතිසම ද? කෙටියෙන් අපට ගිලිහෙන දේම අප දකින වස්තවේ දෘශ්ටි පථයෙන් අප දෙස බලද්දී ද ගිලිහෙන්නේ ද?

මේ ප්‍රශ්නාවලිය අපව කැඳවා යන පෙදෙස් නම් එක් අතකින් මනෝවිශ්ලේෂණ න්‍යාය තුළ ගොඩ නැගෙන බැල්ම [GAZE] නම් වූ සංකල්ප ක්ෂේත්‍රය සහ අනෙක් අතට මනෝ විශ්ලේෂණයට පරිබාහිරින් පවතින පදාර්ථයේ ප්‍රමූලික න්‍යාය වන ක්වොන්ටම් යාන්ත්‍රිකයේ නිරීක්ෂණය යන සංකල්පනයන් වෙතය.

එක්තරා විග්‍රහයක දී ඇසේ අන්ධ බිංදුව වනාහි දැක්ම සංවිධානය කරනු ලබන මධ්‍ය කේන්ද්‍රයයි. අන්ධ බිංදුව ජීව විද්‍යාත්මකව ඇසේ සියළු සංඥා මොළය කරා ගෙන යන ස්නායු රැහැනේ ආරම්භක ලක්ෂ්‍යය යි. එම සන්ධිය දෘශ්ටිවිතානය මත නොවන්නට කිසිදු දෘශ්‍ය සංඥාවක් මොළය කරා යාමනය නොවන්නේය. ඒ ආකාරයෙන් ගත් විට අන්ධ බිංදුව අපගේ දෘශ්ටි සංඥා සංවිධානය කොට සංවේදනය පරිපූර්ණ කිරීමේ අත්‍යාවශ්‍ය සේවාවේ පැවැත්ම තහවුරු කරන ස්ථානයයි. එනම් එම අන්ධභාවය තුළ සියලු දෘශ්‍ය සංඥා සංවිධානය වේ.

දැක්ම සංවිධානය වන ආකාරය ගැන මෙහි වැදගත් ලක්ෂණයක් ගම්‍ය වේ. එනම් එය කිසියම් හිස්තැනක් වටා ඒකරාශී වන බවයි. මෙය ජීව විද්‍යාත්මක ආරම්භක ලක්ෂ්‍ය යේ ස්වභාවය වුව ද මෙය පරිභාහිර ලෝකය අන්තර්ඥානය කරවන විට අදාල වන්නේ දැයි යන්න පැටලිලිසහගත ය.

මෙම පැටලිල්ල ලිහා ගැන්මට දෘශ්‍ය අවකාශයේ පවතින මෙම නොපෙනෙන පෙදෙස හෝ සැමවිටම දැක්මෙන් ගිලිහෙන මේ පැල්ලම තුළට තවත් ගැඹුරට කිමිදෙමු.  මෙම ඇසට අවිශය වන හෝ සවිඥානිකව මග හැරෙන ලපය හෝ දෘශ්‍ය අන්ධ වස්තුව කුමක් ද? එය දැක්ම සංවිධානය කරන්නේ කෙසේ ද?

ලැකාන්ට අනුව බැල්ම හෝ දැක්ම යනුම විශය කෙරෙන් අත්කරගත නොහැකි එනමුත් වස්තුව හෝ අනෙකා විසින් අත් කර ගන්නා වූ විශය කෙරෙහි බැල්මයි.

"the gaze becomes the object of the act of looking, or, to be more precise, the object of the scopic drive. The gaze is therefore, in Lacan’s account, no longer on the side of the subject; it is the gaze of the Other."
[page 73-An Introductory Dictionary of Lacanian Psychoanalysis]

එනම් වඩාත් නිවැරදිව තානාපතිවරු සිතුවම දෙස ඔබ බලා සිටිනා විට ඔබගෙන් ගිලිහෙන දේ විසින් ඔබව නිරීක්ෂණය කිරීමයි. එනිසාවෙන් ඔබට එම ගිලිහෙන දෙය බැලීමට වෙනත් ස්ථානයක් වෙනත් ඉරියව්වක් හෝ දෘශ්‍ය රේඛාවේ විතැන් කිරීමකට හුවමාරු වන්නට සිදුවීමෙන් වස්තුවේ අණට කීකරු වන්නට සිදු වේ. එනම් වස්තුව සමග දෘශ්‍ය රීතිමය සමපාත වීමකට තල්ලු වේ. මේ යනු ඔබ විසින් දැක්ම සංවිධානය කරගනු නොව වස්තුව විසින් හෝ නොපෙනෙන අන්ධ බිංදුවක් විසින් ඔබව සංවිධානය කරනු ලැබීමයි. බැල්ම යනු හුදෙක් බැලීමට ඔබ්බෙන් ඔබව වස්තුවේ නීති පද්ධතිය තුළට බලහත්කාරයෙන් හසුරුවා ගැනීමයි. අනෙකා යනුම මෙහි ඔබව මෙහෙයවන පද්ධතිය යි.

හුදෙක් දෙයක් දෙස බැලීම විසින් එම වස්තුව ඔබගේ පිහිටුම හෝ හැසිරුම බලහත්කාරයකට ලක්කර ගනු ලබයි. මෙහි ප්‍රතිලෝමය හමු වන්නේ ක්වොන්ටම් නිරීක්ෂණය තුළ ය. ඔබගේ දැක්ම විසින් ක්වොන්ටම් අංශුවේ පිහිටුම හෝ තත්වය තීරණය කරනු ලබන්නේ වඩාත් සංකීර්ණ සමීකරණමය අවශ්‍යතා රාශියක ප්‍රතිඵලයක් ලෙස වුව ද දැක්ම තුළ වන අනේකත්වය කෙරෙහි ඔබගේ බලපෑම ඉන් සාක්ෂාත් වේ.

මේ ආකාරයෙන් තානාපතිවරු මෙන්ම අන්ධ බිංදුවේ දැක්ම සංවිධානය ලැකානියානු භාෂාවෙන් ආශාවේ ක්ෂුද්‍ර වස්තුව හා සමපාත වීම වටහා ගත හැකිය.  ක්ෂුද්‍ර වස්තුව [OBJECT PETIT a ] සංකේතනය හසු නොවීම හේතුවෙන් නිරන්තරයෙන් අපගේ දැක්ම සංවිධානය කරනු ලබන අන්ධ බිංදුව භාෂාව තුළ අනේකත්වය තුළ සිරව ඇත.

"When the subject looks at an object, the object is always already gazing back at the subject, but from a point at which the subject cannot see it.
This split between the eye and the gaze is nothing other than the subjective division itself, expressed in the field of vision."
[page 73-An Introductory Dictionary of Lacanian Psychoanalysis]

සරසවි බැල්ම ලද්දෝ කිවියෝ වම්හයි කව්සිළුමිණේ සඳහන් වේ. මේ බැල්ම අනෙකාගේ බැල්ම නොවන්නේ නම් එය මිනිසෙකු කිවියෙකු කරන්නේ කෙසේ දැයි පැණයක් දැන් නොනැගේ.

සරසවිය බැලුමසෙක්නි වෙත්වා කිවි දෙනෝ
පෙදෙහි රසහව් විදුනා දෙනෙතා ඉතා දුලබෝ


අර්ථය: සරස්වතියගේ මඳ බැලුමෙකිනිදු ජනයා කිවිහු වෙත්වා. කාව්‍ය යෙහි රස හා භාව විඳියහැක්කාවූ අය නම් ඉතා දුර්ලභයහ.
[කව්සිළුමිණ දෙවන පැදිය]


සටහන්

Gaze:
1. Look at with fixed eyes
2. A long fixed look

ANAMORPHOSIS :
A distorted projection or perspective; especially an image distorted in such a way that it becomes visible only when viewed in a special manner. By playing with the conventions of seeing, both trompe l'oeil and anamorphosis should remind us that what you see has a great deal to do with where you are looking from.
ආශ්‍රිත ග්‍රන්ථ සහ වෙබ් අඩවි
1 An Introductory Dictionary of Lacanian Psychoanalysis
2 The Real Gaze- Film Theory after Lacan BY Todd McGowan
3 Blind Spot Test
4 Anamorphosis
5 කව්සිළුමිණ දෙවන පැදිය උපුටා ගත්තේ සුබස වෙබ් අඩවියේ පොත් ගුලෙනි.
6 Hans Holbein’s The Ambassadors (1533)

විශේෂ ස්තුතිය
පෞද්ගලික පොත් ගුලෙන් දුර බැහැරක වෙසෙමින්, සිංහල පැරණි කාව්‍ය ග්‍රන්ථ සොයා ගැනීමේ අපහසුවෙන් පීඩා විඳි මා හට එම ඇවැසි කෘති කීපයක් සොයා ගැනුමට මග පෑදුනු මුහුණු පොතේ "සුබස වෙබ් අඩවිය" පිළිබඳ ඔත්තුව තබා ලූ සමර විජේසිංහ වෙත.

Monday, May 30, 2011

පහන් සංවේගය-සුභද්‍රා ජයසුන්දර

පහන් සංවේගය


පේමතෝ විප්පමුත්තස්ස
කඩා ගමි මම කෙස්ස
දත් මිටි සපාගෙන
මනස මිරිකාගෙන
වීරිය පුරමි
පේමතෝ විප්පමුත්තස්ස


රුදුරු හිම කුණාටුව
ජනපදය හඹා එයි
මත් සුළං කෙසේ නම් නවතම් ද
කවදාක හෝ දිනෙක අපේ ඇස්
හිම මතින් මිරිඟුවක් දකින බව
මට කියූ බව නුඹට අමතකය


සැබෑවට ගලන මෘදු වතුරකට
මිරිඟුවක් යැයි කියා සිතූවෙක්
ඉන්නවා නම් ඇවිත් වැලපෙන්න
ඉතිං ඒ අන්ධ බව
මිදීමකි සිතාගෙන
ඒ උනත් පෙම්බරව වැලපෙන්න


ප්‍රෙමයෙන් සිත පිරී තිබුනොතින්
නුඹ දෙපා තබන තැන
නොනවතින මහා දිය සුළියක්ය
දිය මතින් අසෙනියා මල් පිපී
සුළි අගින් වක්ව ඉඳු සැව් නැගී........


ඒ උනත් නුඹෙ දෙපා සුළියකය


එක් වරම සිඳී ගිය දියවරක
පෙනැහැල්ල නමින් කරමල දරන
ජීවයක් තිබෙන්නට බෑ නේද
හිඳුණ බිම මීන වරලක නමට
සෙහේතුක මතක බණ කියන්නට
මෝසමක් වී මිතුරු සිත් එන්න


මිදීම ම නිවීමක් වන කලට
ඒ නියත මොහොත තුළ
මිදීම ම රිදීමක් විය හැකි ය
එස ඳ මම
කඩා ගන්නෙමි කෙස්ස
පේමතෝ විප්පමුත්තස්ස


සුභද්‍රා ජයසුන්දර
2010 මැයි


"පේමතෝ විප්පමුත්තස්ස" යනු ධම්ම පදයේ එන සුප්‍රකට ගා‍‍ථාවක අවසන් පදයට පූර්වයෙන් එන පදයකි. සම්පූර්ණ ගාථාව මෙසේය.


පේමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ථි සෝකේ කුතෝ භයං


"ප්‍රේමය නිසාවෙන් ශෝකය උපදී. ප්‍රේමය නිසා බිය උපදී. ප්‍රේමයෙන් වෙන් වූවෝ ශෝක නොවිඳිත්. බිය නම් කෙසේ උපදිත් ද?" යනාදී වශයෙන් එහි සිංහල තේරුම ලියා ගත හැකිය.


මේ කවියේ කේන්ද්‍රය මෙම ප්‍රේමයෙන් වෙන් වූවන් නොවිඳින ශෝකය යි. මෙය වටහා ගැනීම මදක් දුෂ්කර ලෙස පෙනුනද එහි ඇත්තේ බුදු සමයේ දැක්වෙන අලෙය චිත්තය පිළිබඳ විවරණය යැයි මට සිතේ. මා බුදු සමයේ එන මිනිස් සිතේ සරලම විග්‍රහය කියවා ඇත්තේ ලංකාවතාර සූත්‍ර යෙනි. ලංකාවතාර සූත්‍රය මා දන්නා පරිදි බුදු සමයේ සාරය ලෙස ගත හැකි මිනිස් චිත්තයේ විග්‍රහය පූර්ණ ලෙස අන්තර්ගත ලේඛණය යි. එය බුදු සමයේ විග්‍රහ වන නූතන නාමකරණයන් ඔස්සේ හඳුන්වන මනෝ විශ්ලේෂණ සිද්ධාන්ත මිනිස් විෂය ක්ෂේත්‍රය තුළ විවරණය කළ හැකි සරලම ආකාරයෙන් ලියා ඇතැයි මම සිතමි. එම පාලියෙන් හෝ සංස්කෘතයෙන් ලියැවුනු මුල් කෘතිය ලාංකික පඩිවරයකු වන මහාචාර්ය ගුණපාල ධර්මසිරි විසින් සරල සිංහල ට පරිවර්තනය කොට ලංකාවේ කඩ සාප්පුවල මිලදී ගන්නට තබා ඇති හෙයින් එය කියවා මා ලද යම් දැනුමක් වෙත්නම් ඒ මෙම ආලය පිළිබඳ සිත විවරණය යැයි මට සිතේ.


ආලය යන වචනයේ උත්පත්තියම ඇලීම යන්නට සබැඳී ඇතැයි මම සිතමි. ඇලීම යනුම ආශාව හෝ තණ්හාව හෝ රාගය හෝ යනාදී වශයෙන් විවිධාකාර වචන ඔස්සේ අවස්ථාවට උචිත ලෙස අරුත් ගන්නා සිංහල වදන් රාශියකින් විවරණය වන්නා වූ එක්තරා කේන්ද්‍රීය අදහසක් මූල කොට ගත් වදනකි.


දෙයක් වෙත ආශා කිරීම- එය සතු කර ගැනීම- භුක්ති විඳීම යනාදී වූ විවිධ ක්‍රියාකාරිත්වයන් පිළිබඳ මනසේ ඇති පෙළඹවීම මෙම ඇල්ම යන්නෙන් ප්‍රකාෂ වේ. මනසේ ඇති මෙවැනි පෙළඹුම් ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණ සිද්ධාන්ත තුළ වර නැගෙන්නේ [drive] ඩ්‍රයිව් වශයෙනි. මෙම "ඩ්‍රයිව්" යනු යමක් පදවන්නා හෝ පැදවීම හෝ කිසියම් බාහිර බලයකින් තොරව ඉබේම හටගන්නා තල්ලුවක් වැනි අදහසක් ඉංගිරිසි භාෂා සන්දර්භයෙහි ඇත. මෙහි ඇති සද් ලක්ෂණය ද එයම විය හැකිය. මිනිස් සිත තුළ උපදින තණ්හාව හෝ ආලය හෝ ආශාව යනු සද් භාවයකින් එනම් හේතුඵල විෂයෙහි මූලාරම්භක පුරුකක් ලෙස හෝ ඉබේ හටගත් නැතහොත් ස්වයංජාත වන ලක්ෂණ ඇති බැව් බටහිර මනෝ විශ්ලේෂණයේ ෆ්‍රොයිඩියානු ප්‍රවාදයේ දැක්වේ. එනම් මෙම ඩ්‍රයිව්ස් මනසේ පහලම ස්ථර තුල ජීවයේ මූලිකම අවස්ථාවේ ජාතක වී මිනිස් දිවිය පුරාම සන්තතිකව ගලා යන ශක්ති විශේෂයක් ලෙසිනි. එහෙයින් සරලව එය පාලනයකට ලක් කළ නොහැකි සිතේ ගැඹුරුම ස්ථරය වන ඉද් කොටසේ ක්‍රියාත්මක වන්නකි. මේ පිළිබඳ බටහිර මතය එසේ වී නම් එය අපරදිග බුදු සමයේ දී සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ්‍යයක් පෙරුම් පුරා සංසාරය නමැති ගෙය හදන වඩුවා සොයා ගැනීම වෙනුවෙන් කැප කරන කාලය හා ශක්තිය හා සංසන්දනය කළ විට එහි ඇති දෘඨ බව විදහා දක්වන්නේ යැයි මට සිතේ. එසේ නම් ඉද් කොටසේ කටයුතු සිහිය හෝ ඊගෝව විසින් ග්‍රහණයට ගෙන හසුරුවා ගැනීම අප සිතන තරම් පහසු කටයුත්තක් නොවන බැව් වටහා ගැනීම දුෂ්කර නොවේ. ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණ සිද්ධාන්ත අනුව එය කළ නොහැකි දෙයක් බැව් ඉගැන්වේ. ඉද් කොටස අපගේ මනසේ සබුද්ධික ක්‍රියාකාරිත්වයන් තුළින් පරිපාලනයට ලක් නොවන මනසේ පෙදෙසකි.


මිනිස් සිත පතුලේම ඇති ස්වයංධාවක ගති ලක්ෂණයෙන් යුතු තණ්හාව නොහොත් ආශාව නොහොත් ආලය පිළිබඳ සිතෙන් මිදීම වාච්‍යාර්ථය ඉක්මවා වෙර වීරිය යෙදිය යුත්තකැයි දැන් පසක් වේ.


මේ කව තු‍ළ අප්‍රකාෂිත යැයි පෙනෙන දේ ප්‍රකාෂිත දේ සමග සංසන්දනය කිරීමෙන් මෙය වටහා ගන්නට මෙතැන් සිට තැත් කරමු.


පේමතෝ විප්පමුත්තස්ස
කඩා ගමි මම කෙස්ස
දත් මිටි සපාගෙන
මනස මිරිකාගෙන
වීරිය පුරමි
පේමතෝ විප්පමුත්තස්ස


ප්‍රේමයෙන් වෙන්වූයේ ද මා හට එය දරා ගත නොහැකිය. මනස මිරිකාගෙන වීරිය පුරමි යනු මේ ප්‍රකාශ වන්නේ අප්‍රකාශිත නොහැකියාව පිළිබඳ කාව්‍යමය ආයෝජනය යි.


රුදුරු හිම කුණාටුව
ජනපදය හඹා එයි
මත් සුළං කෙසේ නම් නවතම් ද
කවදාක හෝ දිනෙක අපේ ඇස්
හිම මතින් මිරිඟුවක් දකින බව
මට කියූ බව නුඹට අමතකය


ජනපදය හමා එන රුදුරු හිම කුණාටුව කෙසේ නම් නවත්වන්න ද? මේ ආලයේ සිතුවිලි දමනය කිරීම ද ඒ සා දු‍ෂ්කර බැව් කවිබසට නැගෙන අයුරයි. කවදාක හෝ දිනෙක අපේ ඇස් හිම මතින් මිරිඟුවක් දකින බව මට කියූ බව නුඹට අමතකය යනුම මෙම ආලයේ සිතුවිල්ල බිඳී ගිය තත්වයන් කියා පානා පියවරයෝය. මේ ගෙතුම් කාව්‍යමය කැටයම් ය. ඒවායේ මතුපිට වචනාලංකරණය අවිඥානික තලයෙන් පිටතට එන සවිඥානික සංඥා මාත්‍රයන් බැවින් ඒවා කපා කොටා සැත්කම් කොට අන්වේෂණයෙන් ලැබිය හැකි ආනන්දයක් නොවේ. නමුත් කවියක් හෝ වෙනත් භාෂාමය කලාකෘතියක් අපගේ මනසේ සියුම් තැන් ආලෝකමත් කරවන්නට සමත් වන්නේ යම් සේද ඒවා විසින් අපව නොයෙකුත් සාන්ද්‍රණවල අදහස් මාලා තුළට තල්ලු කරවයි. ආලයේ අන්ධ බැව් යනුම මෙම සිතුවිලි ඒකරාශී කරන කේන්ද්‍ර යේ අතාත්වික බවයි. ආලය අන්ධ යැයි කීමෙන් වචනාර්‍ථය ඉක්මවා යන්නේ එහි සංවිධානාත්මක ගාමක බල ඇත්තේ මිනිස් සිතේ විෂයට පරිබාහිරින් බැවිනි. ආලය පිළිබඳ චිත්තය සංවිධානය වන්නේ තර්කාණුකූලව නොවන බැව් මින් ගම්‍ය වේ. එය සත්‍යාපනය කරමින් අවිඥානිකව ලියැවෙන මේ කවිය තුළින් ප්‍රකට වන්නේ ද එම අන්ධ ලක්ෂ්‍යයේ ක්‍රියාකාරිත්වයේ ප්‍රබලත්වයයි.


සැබෑවට ගලන මෘදු වතුරකට
මිරිඟුවක් යැයි කියා සිතූවෙක්
ඉන්නවා නම් ඇවිත් වැලපෙන්න
ඉතිං ඒ අන්ධ බව
මිදීමකි සිතාගෙන
ඒ උනත් පෙම්බරව වැලපෙන්න


සැබෑවට ගලන දිය දහරක් දෙස බලා එය මිරිඟුවකැයි සිතන්නේ කවුරුන් විසින් ද? මිරිඟුවක සහ සැබෑ දියදහරක දුරස්ථ ප්‍රත්‍යක්ෂ්‍යමය දැනුම එකිනෙක සමපාත විය හැක්කේ කවර ඇසකට ද? සැබෑ දිය සහ මිරිඟු දිය වෙන්කර හඳුනා ගත හැකි මිනිස් ඇසක් වෙද? මේ පැණ සියල්ල ගොඩනැගෙන්නේ මේ කවියේ ඇති මෙම අසංවිධානාත්මක ආලය පිළිබඳ ප්‍රවාදයේ ප්‍රතිඵල නිසාවෙනි. ආලය සිත පිළිබඳ මෙලෙස විවරණය වන කාව්‍ය චින්තාව විසින් නැවතත් ඒ ප්‍රත්‍යක්ෂ දැනුම වනාහී අන්ධ බව මිදුමකැයි සිතීමකට නිශ්චිතව පරිවර්තනය කොට ඇත. සත්‍ය කුමක් වුවද කවියේ සත්‍යය මෙලෙස වටහා නොගැනුම ම වටහා ගැනුම දක්වා වර්ධනය කොට ඇත. අපට අත පෙවිය නොහැකි දුරක ඇති දැනුමක පීඩනය මෙලෙස නැවත අප වෙත ගෙන එන මේ කවියේ මනෝ විශ්ලේෂණාත්මක බර විසින් අපගේ සිතුවිලි කම්පනය කරවන්නට සමත් වන බැව් මට සිතේ.


ප්‍රෙමයෙන් සිත පිරී තිබුනොතින්
නුඹ දෙපා තබන තැන
නොනවතින මහා දිය සුළියක්ය
දිය මතින් අසෙනියා මල් පිපී
සුළි අගින් වක්ව ඉඳු සැව් නැගී........


ඒ උනත් නුඹෙ දෙපා සුළියකය


ප්‍රේමයේ පරිධියේ ඇති අවිනිශ්චිත විශ්කම්භය පිළිබඳ කවිය සිය බස හසුරුවන අයුරු දැන් අපට විද්‍යමාන වේ.


ප්‍රේමයෙන් සිත පිරී තිබුනොතින් නුඹ දෙපා තබන තැන නොනවතින මහා දිය සුළියක්ය යනුම නුඹ සිත ප්‍රේමයෙන් පිරී නැතියැයි කීමෙහි ව්‍යංගාර්ථය යි. මන්ද යත් දෙපා සුළියක් මත පිහිටුවා ගැනුම නොහැකි දෙයක් බැව් සපථ වන බැවිනි. මේ නම් සුළි අගින් දේදුනු නැගෙන්නා සේම නොවන්නකි.


එක් වරම සිඳී ගිය දියවරක
පෙනැහැල්ල නමින් කරමල දරන
ජීවයක් තිබෙන්නට බෑ නේද
හිඳුණ බිම මීන වරලක නමට
සෙහේතුක මතක බණ කියන්නට
මෝසමක් වී මිතුරු සිත් එන්න


සිඳී ගිය දිය දහරක පෙණහළු සේ ක්‍රියාකාරී වන කරමල සහිත ජීවයක් පවතින්නට නොහැකි බව ද දිය සිඳී ගිය පොළව මත මත්ස්‍ය වරළක ශේෂයකට මතක බණ කියන්නට මෝසමක් වී මිතුරු සිතකට එන්නට ආරාධනාවක් ද මේ පද කීපයේ ගැබ් වේ.


මෙහි කාව්‍යාත්මක ප්‍රබන්ධය හුදු පුද්ගල අත්දැකීම විශ්වීයකරණයක් හෝ සාමාන්‍යකරණයක් කරා යොමු වී ඇත්දැයි සෘජුව නිශ්චය කිරීම අපහසුය. මෙහිදී මා අත්දකින්නේ නැවත වරක් අවිඥානික සිතුවිලි වචන හමු වී ලේඛණගත වූ විට පෙලෙන සනාතනික ගැටළුවකි. එය මේ කවියේ සන්දර්භයෙන් පිටතට කියවන්නා තෙරපා දමන මොහොතකි. එනමුත් ප්‍රේමයෙන් විනිර්මුක්ත සිතකට කළ හැකි ප්‍රෙමය පිළිබඳ කරනු ලබන සාධනීය නැවුම් නිර්වචනයක් තුළින් මේ කවියේ සිරුර තම සන්තතික බව පවත්වා ගන්නට දරණ උත්සාහයක් ලෙසද මේ ඇරයුම කියවා ගත හැකිය. එනමුත් මේ පද කීපය අවිනිශ්චිතතාවයෙන් පෙලෙයි. ආලයෙන් මිදුණේ නම් ශෝකයක් නැත්තේ යැයි කීම එහි ප්‍රතිවර්ත්‍ය පිහිටුමක් මේ වැකි තුළින් නිර්මාණය කරයි. එනම් ආලයෙන් සිත මිදී නොමැති බවයි. ශේෂ වූ යමක් වේද ජීවයක් රහිත යමක් වේද ඒ තුළ නැවත ආලය උපදී ද? එය හුදෙක් දාර්ශනික මතිභ්‍රමයකට කියවන්නා ඇද දමයි.


මිනිස් සිතට ආලයෙන් මිදිය නොහැකි බැව් අභ්‍යුපගමනය වන මේ කව විවිධ ආකාර වූ ප්‍රේමයේ ඛණ්ඩාංක ලකුණු කරමින් පැමිණ අවසන් වන්නේ කෙසේදැයි කියවා බලමු.


මිදීම ම නිවීමක් වන කලට
ඒ නියත මොහොත තුළ
මිදීම ම රිදීමක් විය හැකි ය
එස ඳ මම
කඩා ගන්නෙමි කෙස්ස
පේමතෝ විප්පමුත්තස්ස


මේ අවසන් වීම යනුම නැවත ආරම්භයකි. එනම් චක්‍රීය ලෙස ප්‍රේමයෙන් මිදුමක් නොමැති යැයි සාක්ෂාත් කරවන අවසානයකි. මිදීම ම නිවීමක් වන කලට ඒ නියත මොහොත තුළ මිදීම ම රිදීමක් විය හැකි නම් ප්‍රේමයෙන් මිදුණු සිත ශෝකයෙන් මිදුණා නොවේ. පරස්පරයකි. එ සඳ මම කඩා ගන්නෙමි කෙස්ස යනුම වේදනාවේ ප්‍රකාශනය යි.


ප්‍රේමය යනුම හිංසාකාරී මූලයකින් යුත් මනෝ ප්‍රපංචයක් බැව් මේ කව අපට කියා නොදෙන පාඩමයි.

Thursday, December 9, 2010

කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" ෆ්‍රොයිඩියානු ත්‍රිකයේ සංකේතීය ප්‍රකාශණයක් ලෙස කියවීම

කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" ෆ්‍රොයිඩියානු ත්‍රිකයේ සංකේතීය ප්‍රකාශණයක් ලෙස කියවීම


සිංහල නවකතාව හුදු මධ්‍යම පාන්තික ස්ත්‍රී මනෝ ලිංගික අඳෝනාවල් සාහිත්‍ය බවට පරිවර්තනය කරන්නට දරන උත්සහයෙන් අවර්ණ වී ඇති යුගයකි මේ. අනෙක් අතට නව කතාවක් නැති නවකතා කළු අදහස් (සල්ලි) සුදු අදහස් (සල්ලි) කරන සූදු බිමක ආකාරයක් ගෙන ඇත. එවැනි සන්දර්භීය ලෙස වෙනස් ව්‍යාපාරික වස්තුමය දෙයක් බවට නවකතාව පත්වෙමින් පවතින මේ යුගයේ ඊට ප්‍රතිපක්ෂව හෝ පටිසෝතගාමී වෘතයෙන් නවකතා රචනයේ යෙදෙන්නන් ද ඉඳහිට හමුවේ. ඒ අතිශය අල්ප වශයෙනි. අලුත් ශෛලීන් සහ පුපුරුවා හැරීම් කරමින් නිර්මාණකරනයේ නැවුම් ආශ්වාදයෙන් ඔව්හු ඔත්පල වී ඇත. මංජුල වෙඩිවර්ධන "බත්තලංගුණ්ඩුව" හරහා ද ලියනගේ අමරකීර්ති "අටවක පුත්තු" හරහා ද කීර්ති වැලිසරගේ "මායා තීර්ථ" (මේ ගැන එතරම් කතා බහක් ඇති වී ඇත්දැයි මම නොදනිමි) හරහා ද ඒ කියූ පටිසෝතගාමී නිර්මාණාත්මක කැරලි ගැසීම් සිදු වී ඇත. මේ පුරුෂ නවකතාකරුවන් දෙතුන්‍ දෙනාගේ පහසින් සිංහල නවකතාව කිසියම් වර්ණයක් ලබමින් සිටිද්දී ය ජයතිලක කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" අප වෙත එන්නේ.

පසුගිය කාලවකවානුව පිරික්සා බලද්දී සිංහල නවකතාවට වැඩිම දායකත්වයක් දී ඇත්තේ ස්ත්‍රී පාර්ශවය යැයි කීමෙ පුනරුත් දෝශයක් නැත. නොඑසේ නම් වැඩිම සම්මානිත හෝ ජනප්‍රිය හෝ වැඩියෙන් විකිණෙන නවකතා හෝ කෙටිකතා සංග්‍රහ ලියා ඇත්තේ ස්ත්‍රීන් යැයි කීමේ වරදක් ද නැත. සුමිත්‍රා රාහුබද්ධ-සුනේත්‍රා රාජකරුණානායක-කැත්ලින් ජයවර්ධන-ශාන්ති දිසානායක මේ සමහර අය වෙති. ලිංග භේදයකින් තොරව වුවද සිංහල සාහිත්‍ය දෙස නෙත් යොමන්නෙකුට මධ්‍යම පාංතික කුටුම්භ දිවියේ පුරුෂ අතරමැදි වීම දෙස ඊඩිපල බැඳුම් හරහා කරන ලද ගවේෂණ විසින් කුළු ගැන්වූ විපරිත සාහිත්‍යය යැයි සැලකිය හැකි ලියවිලි රාශියක් මේ අය අතින් බිහි වී ඇත. මේවායේ සැලකිය යුතු සාහිත්‍ය රසයක් නොවූවද ඔවුහු මනෝ ලිංගික කේන්ද්‍රයන් නවකතා වස්තුවිෂය ලෙස ගැනීමට නොපැකිලව ඉදිරිපත් වීම එක්තරා ආකාරයක සමස්ත ලාංකීය සමාජය අද පත්ව ඇති න්‍යෂ්ටික පවුල නම් වූ ඒකකයේ දෙදරා- පුපුරා යාම පෙන්වා දෙන කැඩපතක් ලෙසද දැක්විය හැකිය. මේ මනෝ ලිංග කේන්ද්‍රීය විපරිත කතා උත්කර්ෂයෙන් කියවන ප්‍රජාව කුමක්දැයි නිවැරදිව සොයා ගත හොත් ඉල්ලුමට හරියන විපරිත සාහිත්‍ය සැපයුමේ රහස් අනාවරණය කර ගත හැකි වනු ඇත. මෑතක උපුල් ශාන්ත සන්නස්ගල ලියූ "ආදරේ තරම් ම යසෝදරා" ද මේ මනෝ ලිංගික විපරිත කතා කුලකයට වැටේ. එය එක්තරා අන්දමකින් කැත්ලින් ජයවර්ධනගේ "තඹර විල" සහ "අග්නි චක්‍ර" ආකාර වූ යිං යෑං විපරිත ලෝකය උඩුයටිකුරු කර දමන්නට සන්නස්ගල විසින් සිතාමතා කරන ලද ප්‍රතිනවකතාවක් යැයි ද කියා කිසිවෙකුට සිතෙන්නටත් පුළුවන. ඒවා කාලානුවර්තව මුද්‍රණද්වාරයෙන් ඒමට පෙර සිටම කතිකාවන් ලෙස එකට ගැට ගැසී ඇත්තේදැයි සිතීම හිතළුවකි. හිතළුවක් වුවද ඒවා අතර සම්බන්ධයක් ඇතැයි මට නම් සිතේ. සන්නස්ගලට අනුව කැත්ලින්ගේ හිස්ටෙරික මනස් දුව ඩිමෙන්ෂියා (මනෝභංග) රෝගිනියක වී පොදු පුරුෂයාගේ අවජාතක දරුවා නොස්ටැල්ජික දාරක ප්‍රේමයේ අවතාරමය වස්තුව ලෙස භාර ගනී.

නවකතාව හෝ අනෙකුත් සාහිත්‍ය කලාවන් නිර්මාණකරුවන්ගේ චිත්තාභ්‍යන්තරයන් සකම්පනය කරවන යුගයේ සැබෑ තතු මතුපිටින් ලුහුටා එන උපවිඥානමය ගොඩනැංවීම් බැව් අත්නොහළ හැකි සාපේක්ෂ සත්‍යයකි. ලේඛකයාගේ අවිඥානය හෝ විඥානය යනු ම එම නිර්මාණය යි. ඔහු අකුරු- වචන- වාක්‍ය බවට පෙරලා ඇත්තේ ඔහුගේම හෝ ඇයගේම විඥානය බැවින් මේ බොහෝ ලියැවිලි වලින් ගත හැකි නිගමනය අතිශය කම්පනය දනවන සුළුය. පරිකල්පනය යනු ද විඥානයේම අත්තකි. සිහින ගොඩනැගෙන්නේ යම් අනුභූතික මනස් වස්තු විසින්ද ඒ හා සේම පරිකල්පිත සියල්ලද විඥානය තුළින්ම අමුද්‍රව්‍ය වෙති.

අයින් රෑන්ඩ් [Ayn Rand] නම් වූ සුප්‍රසිද්ධ ලේඛිකාව- දාර්ශනිකාව (දාර්ශනික ස්ත්‍රිය) පැවසූ ආකාරයටම නිර්මාණය යනු හුදෙක් තම උපවිඥානයේ රිදවුම්- පිපිරීම් තුළින් සන්තතිකව ගලා එන්නා වූ භාෂාත්මක හැඟවුම් පිළිවෙලට ලියා භාෂා ආර්ථික සඵලතාවයකින් ඒවා නැවතත් පිළිසකර කර පාඨකයා වෙත පිළි ගැන්වීමකි.මෙය නවකතාව අරභයා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූ ආකාරය ඇය සිය ඇන්තම් [Anthem]නම් වූ නවකතාවේ පෙරවදන තුළ කීප විටක් වුවමනාවෙන්ම සටහන් කර තබන්නීය. ඇන්තම් නවකතාවේ 1995 මුද්‍රණයට හඳුන්වා දීමේ සටහනක් ලියන ඇයගේ සමීපතම ලේඛක සහකරුවකු වන ලෙනාඩ් පීකොෆ් [Leonard Peikoff]එම මුද්‍රණයට අයින් රෑන්ඩ් විසින් ෆැක්ස් මගින් ඔහුට එවා තිබූ මුළු නවකතාවේම ඇගේම අත් අකුරින් සටහන් කළ වෙනස්කම් ද සම්පූර්ණයෙන්ම අමුණා ඇත. එමගින් ලෙනාඩ් මතු කර දක්වන්නේ නවකතාවක වදන් ආර්ථික විද්‍යාව කුමක් ද යන්න ආධුනිකයන් ට මෙන්ම ප්‍රවීණයන් ට ද වටහා ගැනුමට සහ අධ්‍යයනය කිරීමට කරන සිහි කැඳවුමක් ලෙසය. අනිත් අතට අයින් රෑන්ඩ් ලේඛන කලාව පිළිබඳ සිය දෙසුම් තුළින් පවා එළිදරවු කරන්නට වන්නේ මේ සංවිධිත බව ගොඩනගා ගැනුමේ මානසික ව්‍යායාමය පිළිබඳවයි.

ජයතිලක කම්මැල්ලවීර සිය වදන් ආර්ථික විද්‍යාව මනා ලෙස පරිහරණය කරමින් කෙටිකතාකරණය තුළින් විශාල සාහිත්‍යමය වැඩ කොටසක් කළ ලේඛකයෙකි. ඔහුගේ කෙටි කතා ශෛලීන් තුළ විමර්ෂණය කෙරෙන රසාලිප්ත සිදුවීම් ගොඩනැංවීම් හෝ භාෂාත්මක ආකෘති පෙළහර පෑමක් චුම්බන කන්දේ දකින්නට ඇත්තේ මඳ වශයෙන් බව මගේ වැටහීමයි. එය කෙටිකතා  සහ නවකතා අතර නිර්මාණකරුවකු අත පත් වන අභියෝගය ද විය හැකිය.

චුම්බන කන්ද එක්දාස් නවසිය හැත්තෑ එකේ කැරැල‍්ලේ සිට වර්තමානය දක්වා දිවෙන රේඛීය කතාවකි. එහි තරුණ කැරැල්ලට ගොස් එහි එක්තරා ලක්ෂ්‍යීය අවස්ථාවක දී එකිනෙකාගෙන් වෙන්ව යන තිදෙනෙකු ගේ රේඛීය කාල අවකාශය විදහා දැක්වීමකට එහා දෙයක් අන්තර්ගත නොවේ. නමුත් මෙම ‍පුද්ගල ත්‍රිත්වය සංකේතීය ලෙස විදහා දක්වන්නේ ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණයට අනුව මිනිස් සිතෙහි අධිකාරිත්වය දරන්නාවූ ආකෘතිමය සාධක ත්‍රිත්වය බැව් සියුම් ලෙස බැලූ විට පෙනී යයි. මනසේ ප්‍රධාන කොටස් තුන ලෙස සැලකෙන සුපිරි අහම (සුපර් ඊගෝ Super Ego) - අහම (ඊගෝ Ego) සහ ඉඩ්/ඒක (ඉඩ් Id) යන කොටස් තුනට මෙහි ප්‍රධාන චරිත තුන බෙදී යන බව පෙනී යයි. සමස්ත නවකතාව කතුවරයාගේ සමස්ත විඥානය නොහොත් දැනුමේ අවිඥානිකයෙන් හකුලුවා ගත් කාලාවකාශීය කැබැලිති එකතුවක් භාෂාත්මකව ප්‍රක්ෂේපිත ප්‍රකාෂණය ලෙස ගත් විට එහි සුපර් ඊගෝව -ඊගෝව සහ ඉඩ් ක්‍රියාත්මක වන අයුරු එහි චරිතවල හැසිරීම් ඔස්සේ මනා ලෙස වටහා ගන්නට ද හැකිය. මෙය නවකතාවක ආකෘතිමය වශයෙන් අසම්ප්‍රදායික කියැවීමක් වුවද මෙම න්‍යාගත කිරීම හරහා කියවන්නාට මනෝවිශ්ලේෂණ සිද්ධාන්තවල කිසියම් ප්‍රායෝගික අභ්‍යාසයක යෙදීමට අවකාශයක් උදා වන්නේ යැයි මට සිතේ.

සුප්‍රකට මනෝ විශ්ලේෂක/සංස්කෘතික විචාරක ස්ලාවෝ ජිජැක්, සයිකෝ [Psycho] නම් වූ ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ සිනමා කෘතිය විග්‍රහ කරන්නේ එහි ප්‍රධාන චරිතයේ මවගේ වාසස්ථානය වූ තෙමහල් මන්දිරය යනුම මිනිස් මනසේ ත්‍රිත්වාකාර වූ ෆ්‍රොයිඩියානු සැකසුමේ රූපකාර්ථවත් සංඥාව බවයි. මෙම අදහස ජිජැක් ගේ පර්වර්ට්ස් ගයිඩ් ටු සිනමා [Pervert's Guide to Cinema] නම් වූ සිනමා පටයේ දැක්වේ. සයිකෝ සිනමා පටයේ දැක්වෙන එම සංකේතීය නිවස මහල් තුනකින් සමන්විතය. බිම් මහලට උඩින් වූ ඉහල මහලක් ද බිම් මහලට යටින් යටි බිම් මහලක් ද වේ. එයට බේස්මන්ට් යනුවෙන් ඉංගිරිසියෙන් කියන්නේ එය පිහිටා ඇත්තේ බිම් මහලට යටින් එහි පාදමට වන සේ බැවිනි. මෙනයින් සිතෙහි ගැඹුරු පෙදෙස වන ඉඩ් යනු මෙම යටි මහල බවත් එදිනෙදා ජීවන දත්ත හසුරුවන තැන බිම් මහල හෙවත් අහම බවත් මනසේ ඉහළම ස්ථරය හෙවත් අහංකාර අධිකාරිත්වය හෙවත් අණ දෙන්නා ලෙස පවතින සුපිරි අහම මතු මහල බවත් සංකේතීය තල වෙන් කොට ජිජැක් පෙන්වා දෙයි. සිනමා පටයේ අපූර්වත්වය නම් නෝමන් බේට් (ප්‍රධාන චරිතය) ගේ මිය ගිය මව ජීවත් වන්නේ යටි බිම් මහලේය. ඇත්ත වශයෙන්ම ඇය මිය ගොස් වසර දහයක් වුවද නෝමන් විසින් ඇගේ මළ සිරුර සංරක්ෂණය කර යටිබිම් මහලේ රහසිගතව මමියක් අකාරයට ජීවත් කරවයි. ඔහු රාත්‍රියේ දී තවත් ගැහැණියක් තම මොටලයට කාමරයක් ගෙන පැමිණි විට මවගේ සිරුර මතු මහලට රැගෙන ගොස් ඇය හා රණ්ඩු වන ආකාරයක් මවා පාමින් තම මව තමන්ට දක්වන අවධානය සහ ඇගේ අණට නතු වී ජීවත් වීම සංදර්ශනය කරන්නේ මවගේ හඩින් කතා කරමිනි. ඔහු සැබැවින්ම කතා කරන්නේ තමන්ටමය. එනමුත් කාමර කුලියට ගෙන එන තරුණියක් සිතන්නේ නෝමන් බේට් සිය මුරණ්ඩු මව සමග ඒ තෙමහල් ගොඩනැගිල්ලේ ජීවත් වන බවයි. සැබැවින්ම ජිජැක්ට අනුව අපගේ මිය ගිය මතක සහ හොල්මන් භූතයන් වාසය කරන්නේ සිතෙහි පතුලෙහි වූ මෙම ඉඩ් නම් වූ යටි බිම් මහලේය. මිය ගිය මව ජීවත් වන්නේ ද එතැනයි.

චුම්බන කන්දේ ප්‍රධාන චරිතය වන්නේ සිංහයා ය. ඔහු සැන්ඩ්විච් කර තවත් චරිත දෙකක් ඇත. පහලින් පියල් ද ඉහළින් පොඩි විජේද යනාකාරයෙනි.

දැන් අපට චුම්බන කන්දේ එන මනස් පුත්‍රයන් කිසියම් ආකාරයක චරිත සැසඳීමක් හෝ සංකේතීය කොටු කිරීමකට ලක් කළ හැකිය. චුම්බන කන්දේ ප්‍රධාන චරිත ත්‍රිත්වය දෙසට අවධානය යොමු කළ විට හමු වන්නේ එහි ප්‍රධාන චරිතය වන අහම හෙවත් ඊගෝව හෙවත් සිංහයා මැදි කොට පහලින් ඉ‍ඩ් හෙවත් යටිබිම් මහල හෙවත් පියල් ගේ චරිතයත් සිංහයාට ඉහලින් සුපිරි අහම හෙවත් සුපර් ඊගෝව හෙවත් අණ දෙන්නා හෙවත් පොඩි විජේ වාසය කරන බවත්ය.

මෙම තිදෙනාගේ ක්‍රියාකාරකම් කම්මැල්ලවීර ඉදිරිපත් කරන්නේ කොතරම් සූක්ෂමභාවයකින් ද යත් එය ෆ්‍රොයිඩියානු ප්‍රොටෝටයිපයක් ලෙස මැනවින් සමපාත කරන්නට හා එහි ගතිගුණ හදාරන්නට පසුතලයක් සපයයි.

චුම්බන කන්දේ 19 වන පිටුවට අපි මෙතැනින් රිංගා යමු.

උපුටනය ඇරඹුම.

සගයන් පිළිබඳ ඔහුගේ විශ්වාසය තහවුරු කරමින් හිරු රැස්වලට උණුසුම එක්වන්නට පෙර ඔවුන් එන බව ඇසිණ.

"අර ඉන්නේ" ඒ පියල්ගේ කටහඩයි.

"හරි තුවාල වෙලා තමයි" ලොකු විජේ කියයි.‍

"කොහෙද හිටියේ" ඒ වන විට උඩු කය ඔසවා වාඩිවීගෙන සිටි පොඩි සිංහයා ඇසුවේය.

"මේ ළඟම තමයි අපිත් ඉඳල තියෙන්නේ. සහෝදරයට නැගිටින්ඩ බැරිද?" ලොකු විජේ තුවක්කුව ගල්තලාව මත අතහැර පොඩි සිංහයා ළඟ දණ ගැසුවේ ය.

"උස්සගෙන ටිකක් එහාට ගෙනියමු. මෙතන ඉන්න එක හොඳ නෑ."

ලොකු විජේ පොඩි සිංහයා ඔසවා කරට ගත්තේය. ඒ එසවූ එසවිල්ලට තුවාල කකුලෙන් මහත් වේදනාවක් දැනුණ ද පොඩි සිංහයා දත්මිටි කාගෙන වේදනාව දරා ගත්තේය.

"මෙතන වතුර තියෙනව." ඔහු හෙමින් කියනු සගයන්ට ඇසිණ.

"හරි පස්සේ පුළුවන්. පියල් තුවක්කුව." සගයා කර තබා ගෙන මුල් පියවර තබන ලොකුවිජේ ඒ මොහොතේ තිදෙනාගේ කණ්ඩායමේ නායකයා නොහොත් අණ දෙන්නා බවට පත් විය.

පියල් ඒ අණ පිලිපදිමින් තුවක්කුව අතට ගත්තේය.

උපුටනය අවසන් 19

මෙහි අප වටහා ගත යුතු පැහැදිලි කාරණා දෙකක් ඇත. එකක් නම් සුපිරි අහම ක්‍රියාත්මක වන ආකාරයයි. එය අණ දෙන්නා ලෙස නොහොත් මේ ත්‍රිත්වයේ නායකයා බව හැඟවෙන්නේ එම අවස්ථාවේ නෛසර්ගික පිහිටුම නිවැරදිව සළකා බැලීමෙනි. එනයින් සුපිරි අහම ඇවැසි අවස්ථාවේ මනසේ ක්‍රියාකාරිත්වය අත්අඩංගුවට ගන්නා අතර ඉන් ඔබ්බට එහි අණ දෙන්නා බවට අවිඥානිකව ක්‍රියාත්මක වේ. මේ එම අවස්ථාවයි. අහම අසමත් වෙද්දි දෙපැත්තකින් ඔහුව ආණ්ඩුමාන්ඩු කරන්නට ආධාරක පැමිණෙයි. එනම් මෙම ත්‍රිත්වයේ සමතුලිතතාවය යනු නිරවුල් මනසේ පදනම බැවින් එය ස්වභාවික උත්සාහයේ වගකීමක් පවරා ගැනීමක් ලෙසද හදුනා ගත හැකිය. එනම් එම සමතුලිතතාවය රැක ගැනීමේ ආරක්ෂණ යාන්ත්‍රණයට පිවිසිම යනු එහි ස්වභාවයයි. නොඑසේ නම් එය මානසික අසමතුලිතතාව ඔස්සේ එලියට පනින කතිකාවෙන් පිට පැනිමක් වේ. සැබෑ ජීවිතයෙන් පීලි පැනීමක් වේ. සරලව කීවොත් උන්මත්තක ස්වභාවය ප්‍රදර්ශනය කිරීමක් බවට පත් වේ. දෙවැන්න නම් ඉඩ් ස්ථරයේ ක්‍රියාකාරිත්වයයි. ඉඩ් යනුම ෆ්‍රොයිඩියානු විග්‍රහයේ දී ආශාවේ සම්මුතීන් හෝ සතුටු මූලධර්මය (pleasure principle) අනුව "සතුටු වීමේ අණ දෙන්නා" ලෙස දැක්විය හැකියි. එම සතුටු වීමේ අණට ක්‍රියාත්මක වන්නේ පිපාසය, බඩගින්න, ආරක්ෂාව සහ ලිංගික තෘප්තිය යනාදී මූලික දේ ය. එමෙන්ම ඔහුට අයත් ප්‍රධානම කාර්යය වන්නේ ද සමස්ත මනස් ක්‍රියාකාරීත්වයේම ජවය හෝ ශක්තිය (psychic energy)සැපයීමයි. ඉඩ් යන ස්ථරය මිනිසාගේ උපතේ සිටම පැවත වර්ධනය වෙමින් පවතින කේන්ද්‍රීය ප්‍රවාහය ද වේ. ඉඩ් තුළ අන්තර්ගත වන්නේ ද ප්‍රමූලික සහ නිසග (instinctive and primitive behaviors) ජීව පැවැත්මේ නිශ්ඨාවන් පිළිබඳ නීති සමූහය යි. මේ පෞරුෂයන් විනිවිදින උපකල්පිත හැසිරීම තුළින් පියල්ගේ භූමිකාව වටහා ගැනීම යනු ම අභ්‍යාසයකි. පියල් නියෝජනය කරන ඉඩ් ස්ථරය‍ සාක්ෂාත් කර ගැනීමේ තවත් උදාහරණ දෙකක් සළකා බලමු.

උපුටන ඇරඹීම

ලොකු විජේ තවදුරටත් විශ්වවිද්‍යාලයේ දෙවන වසරේදී අධ්‍යාපනය අතහැර ව්‍යාපාරයට එක් වූ තරුණයා නොව වියපත් වැඩිහි‍ටියෙකු වී සිටින්නේ යැයි පොඩි සිංහයාට සිතිණි.

ඔහු යලි පැමිණියේ කිසිවක් අතැතිව නොවේ. එහෙත් ඔහු වෙත සගයන් මවිතයට පත් කරවන ආරංචියක් විය. ඒ මේ කන්දේ වනාන්තරය තුළ චීවරධාරියකු ගැවසෙන බවය.

"දුඹුරු පාට සිවුරක් පොරව ගත්තු කෙනෙක් උඩහට ඇවිදිනව මම හොඳටම දැක්ක. අපි ආපු පාරට වඩා කෙටි පාරක් කන්දට තියෙන බවයි පේන්නේ."

"එහෙම නං අපි මෙතන ඉන්න එක නරකයි." පියල් වහා ම කීවේය.

උපුටනය අවසන් 31

මේ දැක්වෙන්නේ ඉඩ් විසින් තීරකය බවට පත්වන ආරක්ෂාකාරී යාන්ත්‍රණයයි. පියල්ගේ භූමිකාවේ මෙම ක්‍රියාත්මක වීම නවකතාවේ බොහෝ අවස්ථාවල නිරූපණය වේ. ඒ සෑම අවස්ථාවකම සුපිරි අහමේ නියෝගය විශ‍්ලේෂණය වන්නේ පියල් ගේ භූමිකාව විසිනි. මෙම අන්තර් සම්බන්ධය වඩාත් හොඳින් ෆ්‍රොයිඩියානු ත්‍රිත්වයේ ක්‍රියාකාරිත්වයට සමපාත වේ.

උපුටනය ඇරඹුම.

"පියල් දැන් ඉතිං කරන්ඩ දෙයක් නෑ. මේ සහෝදරයට හොඳටම අමාරුයි. අපි අහුවෙලා හිරේ ගියත් වෙඩි කන්ඩ උනත් කරන්ඩ දෙයක් නෑ මෙයාව ඉස්පිරිතාලෙකට ගෙනියන්ඩ ඕන."

"ඒක තමයි මමත් කියන්නේ අපි මිනිස්සු ඉන්න පැත්තකට යමු." පියල් දෙවරක් නොසිතාම කීවේය.

උපුටනය අවසන් 32

චුම්බන කන්ද පඨිතයට ප්‍රථමයෙන්ම ශෘංගාර සංකේතය හෝ ලූබ්ධිය (Libido) රැගෙන එන්නේ ද පියල් විසිනි. ඒ අවුරුදු හයකට පසුව සිරගෙදරින් නිදහස් වන මේ තිදෙනගෙන් පියල් පමණක් සිංහයාට සිය ලිපිනය දී තිබීමෙන් ඔහු හමු වී අතීතාවර්ජනයකට කරන ඇරඹුමින් චුම්බන කන්ද වෙත ගිය ඔවුන් දෙදෙනාගේ ගමනේ අවසානයේ දීය. නැවතත් උපුටමු.

උපුටනය ඇරඹුම.

"අද අපි මෙතන ඉඳල හෙට උදේ ගෙදර ආපහු යමු."

"පිස්සුද මම අදම ආපහු යන්ඩ ඕන." පියල් කීවේ සගයා දෙස රවා බලමිනි.

"ඇයි ඔය තරම් හදිස්සි? බයද?" සගයා සිනාසෙයි.

පියල් පොඩිසිංහයාගේ මුහුණ දෙස ටික වේලාවක් බලා හිටියේ රැවිල්ලේ සැර බාල කරමිනි. එහෙත් පොඩි සිංහයා පෑ ළෙන්ගතු සිනාවෙන් ඔහු නිවුණේය.

"මම බය නෑ සහෝදරය. මම දැන් සංවිධානයක නෑනෙ. ඒක නිසා මම ඇත්ත කියන්නං. මම ළඟදිම කසාද බඳින්ඩ ලෑස්ති වෙලා ඉන්නේ. හෙට උදේම මම විජිතව හම්බ වෙන්ඩ ඕන."

"ආ එහෙම ද? හෙට අනිද්දා මනමාලයෙක් වෙන්ඩ ඉන්න මිනිහෙක් කොහොමද කැලෑ වදින්නේ නේද? එහෙම නං යමු."

උපුටනය අවසන් 42

ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණ සිද්ධාන්ත අනුව අහමේ සහ ඉඩ් අතර ගොඩනැගෙන ඉටු නොවු ආශාවන් සහ අවශ්‍යතාවයන් නිසා හට ගන්නා ආතතීන් සමනය කිරීමේ ක්‍රියාවලිය ද්වීතීයික ක්‍රියාදාමය (Secondary Process) ලෙස හැඳින්වේ. ඉඩ්ගේ ප්‍රාථමික ක්‍රියාදාමය (Primary Process) ඔස්සේ මනසේ ගොඩ නැගෙන කිසියම් වස්තු ප්‍රතිබිම්බයක් අහම වෙත ප්‍රක්ෂේප කර එම වස්තුව යථාව තුළ හඹා යාම මෙම ද්වීතියික ක්‍රියාදාමය විසින් පාලනය කෙරේ.

මෙය චුම්බන කන්දට දේව සංකල්පය ප්‍රාදූර්භූත වන තැනින් මනාලෙස වටහා ගත හැකිය.

සිංහයාට කැළයේ දී ආගන්තුකයෙකු මුණ ගැසෙයි. හෙතෙම දඩයමක් අතැතිව වණ රොද සරද්දී මුහුණට මුහුණ හමුවේ. මෙම හමුවීම සිංහයාගේ වණරොද තුළ ආධිපත්‍යය අභියෝගයට පත් කරන අතරම එයට පිළියම ලෙස ඔහුගේ දෑතින් තැනූ මැටි දේව රූපයක් කන්ද පාමුල නිර්මාණය කොට එය හරහා කන්දට ඇතුළු වන්නන් ට සිය ආධිපත්‍යය පතුරන්නට තීරණය කරයි. මේ අවස්ථාව පියල් විසින් බැහැර කරන ලද පියල් ගේ හුදෙකලා පැවැත්ම එනම් ඔහු යුගදිවියට ඇතුළුවීම සිංහයාගේ අහම වෙත කළ ආතතිමය යෝජනාවක් සේ වටහා ගත හැකිය. එම ආතතිය ද්වීතියික ක්‍රියාදාමයක් ලෙස ක්‍රියාත්මක වී සන්සිඳුවනු වස් එහි සංකේතීය ප්‍රතිබිම්බය ලෙස විකෘති දෙවියකු කන්ද පාමුලට ලැබේ.

අනෙක් අතට සිංහයා විසින් නියෝජනය කරන අහම එහි ශක්තිය  [Ego Power] විසින් සුපිරි අහම, ඉඩ් සහ යථ විසින් කරනු ලබන යෝජනා යථාර්ථවත් කර ගැනීම වෙනුවෙන් වැය කරයි. මෙයම ව්‍යවහාරයේදී අහංකාරකම හෝ උද්ධච්චභාවය ලෙස හෝ හමු වන ශක්තිය යි. එය කිසියම් මට්ටමක් ඉක්මවූ විට සිතැඟි දේ යථාර්ථවත් කර ගැනීමේ උග්‍ර අරගලයකට යමෙකු තල්ලුවන අතර එම ශක්තිය ඌණ වූ විට කිසි‍වක් කෙරෙහි තරගයක් නොදී දියාරු ලෙස ක්‍රියාත්මක වීම ද අපේක්ෂිතය. මේ අන්ත දෙකෙහි සමතුලිත අවස්ථාව පවත්වා ගැනීම සායනික මෙහෙයුමක එක් අභිමතාර්ථයකි.

නැවත සිංහයාගේ හුදෙකලා ජීවිතය පුපුරුවා හරින ලූබ්ධික සංඥාව යථාර්ථයක් ලෙස වෙස්වලාගෙන පැමිණෙන්නේ අහිකුණ්ටික ගැහැණිය විලසිනි. එම අවස්ථාව විස්තර කරන සිංහයාගේ චිත්තාවේගය ඔහු විසින් නිර්මිත ව්‍යාජ දෙවියන් ගේ යථාර්ථයක් ලෙස හමු වන සැටි මෙන්න.

උපුටනය ඇරඹුම

ඇය ඉවත්ව ගිය පසුව ද සිංහයා වාඩි වී සිටි තැනම සිටියේ ය. සිදුවූයේ කුමක් දැයි ඔහුට වටහා ගත නොහැකි විය. අදහා ගත නොහැකි විය. විමතිය පමණක් ම ඉතිරිව තිබිණ. පියවි සිහිය එළඹෙන්නට වූ කල කිසිවකු තමා දුටුවේදැයි බලවත් ලජ්ජාවක් ඔහු තුළ හටගත්තේය. හිඳ සිටි තැනින් නැඟිට වටපිට බැලූ හෙතෙම පේනතෙක් මානයේ ඇති සෑම ගහක්ම සෑම ගලක්ම සෑම පඳුරක්ම තියුණුව නිරීක්ෂණය කළේය. කිසිවකු නැති බව සැක හැර දැනගත් ඔහු හෙමිහිට දේවාලය වෙත ගොස් පරීක්ෂා කර බැලුවේය. පාට හතක අලුත් මල් ගොඩවල් හතක් දෙව්රුව ඉදිරියේ විය. දෙවියන්ගේ මුහුණ බලා සිටින විට එය සිනාසෙන්නා සේ ඔහුට පෙනිණ. තමා සමඟ මෙසේ සිනා සෙන්නේ කලකට පෙර තමා විසින්ම හුඹස් මැටියෙන් නිර්මාණය කළ දෙවියා නොවේදැයි සිතන විට ඔහුගේ මුහුණේ ද සිනාවක් මතු විය.

උපුටනය අවසන් 61

චුම්බන කන්දේ ප්‍රධාන චරිත තුන වටා ගැට ගැහෙන ද්විමය ප්‍රතිවිරෝධ ලෙස ගැනිය හැකි චරිත තුනක් ඇති බැව් පළමුව පියල්ගේ විජිතා ලෙස ද දෙවනුව සිංහයාගේ අහිකුණ්ටක ගැහැණිය ලෙස ද තෙවනුව පොඩිවිජේ ගේ අනියම් බිරිය ලෙස එන මල්ලිකා ද යන ගැහැණුන් ත්‍රිත්වය යි. මේ අය විසින් එකිනෙකා අතිශය තීරණාත්මක අන්තයන් කරා තල්ලු කරන අතරම ඒ චරිත 6ම එකිනෙකාට දුරස්ථව හෝ සමීපව හෝ විවිධ බලපෑම් කරයි. ඒවා සියල්ල එකිනෙක බැඳී පවතියි. කොටින්ම එකිනෙකා ගේ ආශාවේ වස්තූන් විසින් එකිනෙකාගේ ජීවිත තර්ජනය ට ලක් වෙයි. පියල් කලකට පසු නැවත චුම්බන කන්ද වෙත පැමිණෙන්නේ එය භාවනා අසපුවකට පරිවර්තන කිරීමේ අවශ්‍යතාවය කාලය විසින් තමන් වෙත පවරාගත් වගකීමක් ලෙස නිර්මාණය කරගෙනය. සිංහයා චුම්බන කන්ද පාවිච්චි කරන්නේ සිය අධ්‍යාත්මය සංසිඳුවා ගෙන හුදෙකලා ජීවිතයේ සොහොන් බිමක් ලෙස එය පාවිච්චි කරන්නට ව්‍යාජ තපස් ජීවිතයක් රඟ පාමිනි. පොඩිවිජේ චුම්බන කන්ද වෙත එන්නේ ඇමතිවරයෙකු සේ භුක්ති විඳින සුපිරි අහමේ නිත්‍ය අණ කරන්නා සේ යථාර්ථයක් සිංහයා වෙත උත්තරාරෝපණය කරමිනි. පොඩිවිජේ ගේ සුරතාන්තය සේ සිය අනියම් බිරිඳගේ අහඹු මරණය නිසාවෙන් එම මෘත දේහය එම චුම්බන කන්දේ ම වළලන්නට සිදුවන්නේත් එම මරණයේ ඇටකටු පසු කාලෙක සිංහයාට දාව අහිකුණ්ටක ගැහැණියට උපන් දරුවා අතින් නැවත ගොඩ ගැනෙන්නේ ද ඒවා අතර ඇති අතිශය සංකීර්ණ මනෝගතිකයන් මතු කරමිනි. අප සැම තුළ සැඟව සිටින අප නොදන්නා යක්ෂයා යථක් ලෙස නිරන්තරයෙන් අප සමග සයිනාකාර චලනයක යෙදෙන බැව් තහවුරු කරමින් නැවත වරක් චුම්බන කන්දේ පස් යටින් මතුව එන්නේ යැයි මට සිතේ.

චුම්බන කන්ද ෆ්‍රොයිඩියානු ‍මනෝවිශ්ලේෂණාත්මක න්‍යාය අප හමුවට ගෙන එන ප්‍රබන්ධයක් යැයි මා පවසන්නේ මෙබඳු සමපාතයන් බොහොමයක් විසින් එහි චරිත සහ සිදුවීම් නැවත කියවා ගැනීමට මා දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි‍‍‍‍‍. මෙය එසේ ම විය යුතුයැයි මාගේ නිගමනයක් නොමැත.  


notes:

pleasure principle
Definition:

In Freud';s psychoanalytic theory of personality, the pleasure principle is the driving force of the id that seeks immediate gratification of all needs, wants, and urges. In other words, the pleasure principle strives to fulfill our most basic and primitive urges, including hunger, thirst, anger, and sex. When these needs are not met, the result is a state of anxiety or tension.

the primary process

Definition: In Freud's psychoanalytic theory of personality, the primary process works to resolve tension created by the pleasure principle. Rather than act on dangerous or unacceptable urges, the id forms a mental image of a desired object to substitute for an urge in order to diffuse tension and anxiety.

conscience

Definition:
In Freud's psychoanalytic theory of personality, the conscience is the part of the superego that includes information about things that are viewed as bad by parents and society. These behaviors are often forbidden and lead to bad consequences, punishments, or feelings of guilt and remorse.

preconscious

Definition: In Sigmund Freud's psychoanalytic theory of personality, the preconscious mind is part of the conscious mind and includes our memory. These memories are not conscious, but we can retrieve them to conscious awareness at any time.

unconscious

Definition:
In Freud's psychoanalytic theory of personality, the unconscious mind is a reservoir of feelings, thoughts, urges, and memories that outside of our conscious awareness. Most of the contents of the unconscious are unacceptable or unpleasant, such as feelings of pain, anxiety, or conflict. According to Freud, the unconscious continues to influence our behavior and experience, even though we are unaware of these underlying influences.

reality principle

Definition: In Freud's psychoanalytic theory of personality, the reality principle strives to satisfy the id's desires in realistic and socially appropriate ways. The reality principle weighs the costs and benefits of an action before deciding to act upon or abandon an impulse.

ego ideal

Definition: In Freud's psychoanalytic theory of personality, the ego ideal is the part of the superego that includes the rules and standards for good behaviors. These behaviors include those that are approved of by parental and other authority figures. Obeying these rules leads to feelings of pride, value, and accomplishment.

ego strength

Definition: In Freud's psychoanalytic theory of personality, ego strength is the ability of the ego to effectively deal with the demands of the id, the superego, and reality. Those with little ego strength may feel torn between these competing demands, while those with too much ego strength can become too unyielding and rigid. Ego strength helps us maintain emotional stability and cope with internal and external stress.

ආශ්‍රිත ග්‍රන්ථ,සිනමා පට සහ වෙබ් අඩවි:

1. චුම්බන කන්ද-ජයතිලක කම්මැල්ලවීර 2010 අගෝස්තු
2. ඇන්තම් [Anthem by Ayn Rand]අයින් රෑන්ඩ්
3. Pervert's Guide to Cinema-සිනමා පටය-ස්ලා‍වෝ ජිජැක්
4. Psycho-Movie by Alfred Hitchcock: සයිකෝ නම් වූ ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ සිනමා කෘතිය
5. හිස්ටීරියාව-දීප්ති කුමාර ගුණරත්න සංස්කරණය
6. psychology.about.com
7. බත්තලංගුණ්ඩුව [2007] මංජුල වෙඩිවර්ධන
8. අටවක පුත්තු [2007] ලියනගේ අමරකීර්ති
9. මායා තීර්ථ [2008] කීර්ති වැලිසරගේ
10. තඹර විල [2006] කැත්ලින් ජයවර්ධන
11. අග්නි චක්‍ර [2007] කැත්ලින් ජයවර්ධන
12. සත්‍යකාම [2009] කැත්ලින් ජයවර්ධන
13. කන්දක් සේමා [2009] සුමිත්‍රා රාහුබද්ධ
14. පොදු පුරුෂයා [2008] සුනේත්‍රා රාජකරුණානායක
15. රිදීතිරංගනාව[2000] සුනේත්‍රා රාජකරුණානායක
16. ආදරේ තරම් ම යසෝදරා [2009] උපුල් ශාන්ත සන්නස්ගල

Friday, October 29, 2010

නො ඇසූ කන් වලට

අරුන්දතී....
අපි තාමත්
හුඟාක් ඈතයි
හුඟක් හුඟක් හුඟාක් ඈතයි

මට කුමාරිගේ කවි පොත රුපියල් හයසිය පණහක් වීම ගැන ඒ ගැන ඇසූ මොහොතේ පටන් ම ඉහේ රුදාවක් ඇති කළේය. එමෙන් ම ඈ කවි කර ඇති පරිදිම, අපි තාමත් අරුන්දතීලාට හුඟක් හුඟක් හුඟාක් ඈතයි යන වදන මගේ දෙසවන කරා මිමිණී ගොස් ඔලුවේ කැරලි ගසන්නට විය. සුණු විසුණු වී ගිය ජීවිත සුඛෝපභෝගි වර්ණ පිටු අතර කවි වන්නේ කෙසේදැයි මට සිතාගත නොහැකි විය. නැවතත් සිහි වූයේ මේ කවි පොත ඒ කවි වලින් පිදිය යුතු එකුදු හදවතකට ලං විය නොහැකි දුරකින් හුඟක් හුඟාක් ඈතින් ස්ථානගත වී ඇති බවයි. ඒ කවිය නම් වූ සාහිත්‍යාංගයක් ඒ හා සමාන පරිමාණයෙන් නැතිනම් මෙගා පරිමාණයෙන් විකුණ ගත හැකි අතිශය සුඛෝපභෝගි භාණ්ඩයක් හෝ සේවාවක් නොවන වග දැන දැනත්, අනෙක් අතට උතුරේ මෑත අතීත විත්ති කවි කර දකුණට විකුණන්නට ඇයට එතරම් ප්‍රාග්ධනයක් යට කරන්නට හේතු වූ පාරිභෝගික-පාරිභෝජන සමාජයේ යටිපෙළින් ක්‍රියාත්මක වන ආසන්න වශයෙන් හෝ සැබෑ තතු මොනවාදැයි යනාදී වශයෙන් හට ගත් කළකිරීම් මුසු විචිකිච්චාමය සිතිවිලි නිසාවෙනි. එනයින් කවිපොත හෂිත සොයුරාගෙන් ලද දිනයේ සිටම ඒ කවිපොතේ ඇතුළත් පිටත් සුපරීක්ෂාකාරීව නිවැරදිව කියැවීමේ අතිශය උනන්දුව තුළ මා ගිළී ගියේ මා හටද නොදැනීය. කීප වරක්ම මතුපිටින් එහි කොලිටිය පිළිබඳ විශ්මයාවහ ‍සැරිසැරූ මා හට විටෙන් විට හමු වූ සුමිතුරන් පැවසූ දෙයින් හද ප්‍රලය වීමෙන් මෙහි ඇතුළාන්තය කිඳා බැස බැලිය යුතුයැයි හැඟුනෙනි මේ කෙටි සටහන.

මේ උරෙයිප්පු සාප්පාඩ කවි‍ පොත කවි පොතක් ඉක්මවා යන්නේ එහි ආකෘතිය නිසාවෙන් නම් නොවේ. එහි මිල නිසාවෙන් ද නොවේ. සිවු වර්ණයෙන් සුසැදි සෑම පිටුවකම වූ අග්‍රගන්‍ය සිතුවම් ශිල්පීන්ගේ තෙලිතුඩින් හැඩ ගැන්වූ සිතුවම් නිසා‍වෙනුදු නොවේ. කවි පොතේ ආකෘතිය ද අපව කැඳවන්නේ වෙඩි උණ්ඩවලින් සිදුරුව ගිය ශරීර මෙන්ම ආත්ම කෙරෙහි අපගේ නිද්‍රාශීලි බත් ගූ කරන ශරීරවලට කරන ඉදිකටු ඇණීමකින් නිඳි බිඳුම අත්දකින පෙදෙසකට කරනු ලබන කැඳවුමකිනි.

ආලින්දයේ රූපවාහිනිය ඉදිරිපිට දිනපතා රන්දෙපැය නරඹන අයුරින්ම යුද පුවත් නැරඹූ අපි ඒ ගැහැණුන් මිනිසුන් අත්දකිමින් සිටි භීතිය ත්‍රාසය වියෝව වියවුල ඉතා පහසුවෙන් අමතක කර දැමුවෙමු. ෂෙල් ප්‍රහාරවලින් මල්ටිබැරල් වලින් ගැලවීමට සීසීකඩ දුවනා දරු පැටව් අප දුටුවේ නැත. බංකර් තුළ ගුලි වී කෑම වතුර නොමැතිව හුස්ම ගැනීමට අපහසුවෙන් මිය යන දරුවන් අප දුටුවේ නැත. තම දෑස් ඉදිරිපිට කුඩු වී ගිය මවගේ මස් වැදලි අතින් එකතු කරනා තරුණියන් අප දුටුවේ නැත. අතේ සිටි තම සිඟිති පුතුගේ හිස සොයමින් කෑ මොර දෙන මව්වරුන් අප දු‍ටුවේ නැත.

මේ මා උපුටා දැක්වූයේ කුමාරිගේ පෙරවදනින් පරිච්ඡේදයකි.


මෙය සැබෑවකි. සිදු වූ යුද්දය කුරිරුය. අමානුෂිකය. සේවිං ප්‍රයිවට් රයන් [Saving Private Ryan] සිනමා පටයේ ආරම්භක ජවනිකා පෙළ නරඹද්දී මෙන්ම, මුහුදු කළපු මත කැඩී බිඳී ගිය මිනිස් කොටස් ලේ රතින් වර්ණ ගැන්වුනු ලවණ ජලයේ චණ්ඩ රැලි වලින් පෙරී ඛාදනය වෙමින්, සොලොවා ලනු බලා සිටිනා අයුරින් සිනමාත්මක දෙයක් නොවේ. බිහිසුනු යථාව ලෙස, එක් තැනකට කොටු වුනු සහ කොටු කරන ලද නිරවි මිනිසුන්ට මුවා වූ චණ්ඩ ත්‍රස්තයන් අතින් සිඳලනු ලැබූ නිදහස තුළට ෂෙල් වෙඩි කඩා පතිත වීම හරහා අලුතෙන් ගොඩ නගනු ඇතැයි සිහිනමය ලෙස දැකිය හැකි උත්තර සමාජයක් හෝ නිදහසක් මානවයන් ට අත්කර දීමක් ද නොවේ. අතුරුඵල තවමත් ශේෂ වී ඇති කුරිරු යුද පිටියකින් නිදහස් ව කඳවුරු තුළ කොටුවූ සිවිල් මිනිස් කැළකගේ තත්වය තවමත් අන්ත දුක්ඛිත-ජරාජීර්ණ තතු පැහැර හැරිය නොහැකි බව සැබෑවකි. මේ සැබෑ තතු ලොවට කවි කරන්නට කුමාරි ගත් තැත ශ්‍රේෂ්ඨත්වයත් ඉක්මවා යන්නක් වුවද, එය කෙතරම් වෙඩි උණ්ඩවලින් සැදුනු සිදුරු වසා ලන්නට සමත් වේදැයි යන්න අපි අතිශය සමීපව කියවා ගත යුතුය.



exodus


සා පිපාසයෙන් මැල වී
දූලි වලාවෙන් නැහැ වී
ගිනි ගත් හිරුගෙන් සරණක් පතනා
පුංචි පැටව් දුටුවා

රුදුරු ගිනි වරුසා මැදින්
වියෝවෙන් සයින් දැවෙමින්
කටු කම්බි හත් පොටක
සෙනෙහෙ සුවඳ සෙවු
මහා සෙනඟ දුටුවා

2009 ජුනි 18

මේ උරෙයිප්පු සාප්පාඩ කෘතියේ පණස් එක්වැනි පිටුවේ කවිය යි. එය නම් කර තිබුණේ එක්සෝඩස් [exodus] යනුවෙනි. මෙහි එක්සෝඩස් යනු වේදනාත්මක විඳවීමකින් නික්ම යාම හෝ වහල්භාවයෙන් මිදී පළා යාම හෝ පැරණි තෙස්තමේන්තුවේ දෙවැනි පොතේ සඳහන් ආකාර හෝ ක්‍රිස්තියානි බයිබලයේ එන එම නමින් වූ කතා ප්‍රවෘතියේ ආකාර මෝසස් ගේ අණින් ඊජිප්තුවෙන් වහල්භාවයෙන් පළා යන ඊශ්‍රායල්වරුන්ගේ හැඟවුමයි. සීනායි කන්දේ දී දෙවියන්ගේ දස පණත පැනවෙන්නේ එම පළා යාම තුළින් බැව් ද එම පුරාණ කතාවේ සඳහන් වේ. මේ ඉහත කවියේ සමස්තය මෙම යෙදුම තුළින් ධ්වනිත වීමත්, කොරළේගෙදර පුෂ්පකුමාර සිත්තරාගේ සඳකඩපහණක හැඩය ගත් කටුකම්බි පොටවල් සහිත දම් සහ ලේ පැහැති තීරු සහිත සිතුවමත්, එකිනෙකට වෙනස් එනමුදු එකම තැනකට ගොනුවන අරුත් සමූහයකට අපව කැඳවා යයි. මේ ආකාර වූ බහුවිධ මතුපිට අරුත් නිමවන කවියකට පොතේ පිටු අතර පැති තුනක් වෙන් කිරීමේ දී හට ගන්නා තීව්‍ර බව එහි සුසුමින් සුසුම ගලා යන හැඟුම් වලින් අපව තෝන්තු කරවන්නට සමත් වෙයි.එම කවියේ සමස්ත අන්තර්ගතය තුළ දිස්වන විකෘති තල්ගස් ග්‍රැෆික ද එම කවියේ නොස්ටැල්ජික කුරිරු අත්දැකීම තව තවත් දුරට අපව කැඳවා යයි. මේ නම් කවියේ භාවිතාවේ සමාජ විඥානය පසා කර යාමේ උපක්‍රමික තේරීමක් යැයි මට සිතෙයි. මෙබඳු වියමනකට ගත හැකි උපරිම මනස් අවකාශය ලබා ගැනුමට කවි‍පොතේ පිටු මෙන්ම රක්ත වර්ණ පසුබිමක ලියැවුනු exodus වචනය ද, ඉන් පසුව ගොඩ නැගෙන හිස් සුදු පිටුවක් අරා සිටින කටුකම්බි සඳකඩපහණ ද, ඒ එක්කම අපේ නෙත මුණ ගස්සන කවියේ වචන පෙළ ද ඒ පසුබිමේ වන තල් ගස් සහ ප්‍රමාණයෙන් විශාල සහ කුඩා කටුකම්බි සඳකඩපහණ් ද අපට ඇණවුම් කරන නිහඩ හැඟවුම්කරණ කොපමණ දැයි අසම්පූර්ණව හෝ මෙහි ලියා දැක්විය හැකිදැයි සැක සිතේ.


දෙකක් බැගින් කරු ලැබුවෙමු ඇවිදින්ට

මල්ලියි මමයි අකුරට යන වෙලාවේ
හෙණ වැස්සක් වැටුනයි ගිනි වළාවේ
හඩා වැටෙන මුත් නැත සරණක් ලැබුවේ
තිස්තුන් කෝටියක් දෙවිවරු කිම නාවේ

දෙකක් බැගින් තිබුනේ පය දෙන්නාට
එකක් බැගින් බිලි දුන්නෙමු ගිනියකුට
දෙකක් බැගින් තරු ලැබුවෙමු ඇවිදින්ට
මොකක් කියන්න ද උඹෙ සිත සැනහෙන්ට

කඳවුරු වැටෙන් පිට නිදහස විඳින්නට
අපටත් දිනෙක හැකිවෙයි එහි ඇවිදින්ට
තරගෙට වැටී ඒ හැම හා දුවන්නට
තනි කකුළෙන් හැකිද මල්ලියෙ ජයගන්ට

මට නම් අටයි උඹෙ තාමත් වයස හයයි
ලෝකය හරි ලොකුයි උඹ මල්ලියෙ පුංචියි
උඹේ කකුළ යලි ලැබෙනව නම් සත්තයි
ම‍ගෙ තනි කකුළ පිදුවත් මගෙ සිතට සැපයි

මේ කවි පංතියේ තවත් කවි හතරක් සමග සියල්ල ලියැවී ඇත්තේ 2009 ජුලි 06 වැනිදාය. මට මේ කවි කියවද්දී මතක් වූයේ කන්දහාර් සිනමා පටයේ ඛේදනීය රූපාවලීන්ය. එය කවියකට ගෙන ඒමට කුමාරිගේ සාමර්ථය ලංකීය ජන දිවියේ හුරුපුරුදු රිද්මයක පා කර එවන්නට ලද දුක්ඛිත ප්‍රහර්ෂයම මා විශ්මයට පත් කරවයි. දෙකක් බැගින් කරු ලැබුවෙමු ඇවිදින්ට යන යෙදුම නිසාවෙන් මගේ ඇස් ඉදිරියේ ද‍ණිසෙන් පහල සුනු විසුනු ව ගිය කුඩා දරුවන්ගේ පා කැබලි මේ ලියන මේසය මතට හදිසියේ කඩා වැටුනාක් මෙන් දැනෙන්නට විය. කන්දහාර් සිනමා පටයේ ද බිම්බෝම්බ හේතුවෙන් කකුළ් අහිමි වන සිවිල් වැසියන් වෙත ආධාරක කණ්ඩායම් විසින් ගුවනින් හෙලන කෘත්‍රිම පාද ලබා ගැනීමේ දී, ඔවුන්ගේ ඇතිවන එකිනෙකා පරයා යන අසරණකම විසින්  මසිතේ ඇති කළ කම්පනයම වෙනස් මානයකින් මේ කවියේ චිත්‍රණය වී ඇත.

මේ කවි පොතේ කවි නැතැයි කී මා සොයුරන්ට මම දොස් නොකියමි. මේවා කවි කර-රිද්ම කර ලිවීම උගහටය. අධික ගැහැට විඳ වචන හමු වූ මේ කවි ඊට උචිත වර්ණ-හැඩතල සහ හැඟවුම් ඔස්සේ තීව්‍ර කරවන්නට සමත් ග්‍රැෆික සමග බෙදා ගන්නා ශෝකී සෞන්දර්යය-වේදනාවේ සෞන්දර්යය-ඛේදයේ සුන්දරත්වය අපතේ යා නොදී සුරැක ගෙන සියලු මිනිස් සත වෙත පිදිය යුතු බව මගේ අදහසයි. සරලව කීවොත් මේ කවි කියවා ලැබිය හැකි ආශ්වාදයක් වෙතොත් ඒ නම් හුදු නරුමත්වයකි. සෞන්දර්යාත්මක ලෙස ඉදිරිපත් කරන්නට කෙතරම් උත්සාහ කළ ද ඒ කවි මතු කරන්නේ මිනිස් වග හෙළූ නරුමත්වය වසා දමන්නට වර්ණ හැඩතල හෝ හැඟුමන් විසින් මූලෝත්පාටනය කරන ලද වචන වියමන් අසමත් වන බවයි.

පිටු දොළහක් පුරා පැතිරුණු 17 නම් වූ කවිය ඔස්සේ ස්කිසො‍ෆ්‍රිනික මායාවන් ඔස්සේ නිර්මාණය කළ හැකි සිනමාත්මක වින්‍යාසයක් ගොඩ නැගේ. එය කදිමට රූපාවලියක් බවටත්, සිනමා කෘතියක් බවටත් වර්ධනය කර ගත හැකි උසස් නිර්මාණයක් යැයි මට සිතේ. කවියකට ලඝු කරගත් මහා සිනමා ආඛ්‍යානයක් ඒ නිර්මාණය තුළ ගැබ් වී ඇත. මේ ඒ ඛේදවාචක තවත් මිළකර විකුණා ගැනුමට කරන ඇණවුමක් නොවේ. මේ කවියේ ඇති සාදෘශ්‍ය ලක්ෂණ වචන බවට හරවන්නට මා දැරූ ප්‍රයත්නයක් පමණි.

ශ්‍රී කාන්තන් ගොත ගැහුව
ඉල්ලුව මගෙන්
ඉලක්කම් තියෙන කොලේ....
මට තේරුනේ නෑ
කැලැන්ඩරයක් ද....?
....
රැජිනි කාන්ත්ලගෙ
විජෙයිලගෙ
ශ්‍රී දේවිලගෙ
....
ලක්ෂ්මිගෙ
විෂ්ණුගෙ
පින්තූරත් එක්ක
තොග ගණනෙ
බිත්ති වැහෙන්න
එල්ලල තිබුණු
කැලැන්ඩර් ඔක්කොම
බිත්තියත් එක්කම
කුඩුපට්ටම් වුණු ලෝකෙක
මගෙ ළඟ කොයින් ද?
කැලැන්ඩරයක්...?
අරගෙන දුවන බෑග් එකේ
අමතක නො කරන
ඩයරිය
...
පෙරලල ඇහුවා මං
මේක ද?
....
ශ්‍රී කාන්ත්
බලං හිටිය
වෙලාවක්
...
ඇඟිල්ලක් තිබ්බ
දිනයක් උඩින්
එදා තමයි
බැලුව මං
ළංවෙලා හොඳට
...
17
ඒ දිනේ දාහත
ඉතිං....
එදා මොකද...?
....
....
වැටුනු කඳුළු ගෙඩි වලින්
සට පට ගාලා
මගෙ ඩයරිය උඩට
බය වුනා මං
ගිලේවිද
අපි හැමෝමත්
කඳුළු ගංගාවක...
....

මේ උපුටා දැක්වූයේ 17 කවියේ කොටසක් පමණි. එහි අන්තර්ගත මානවීයත්වය ස්පර්ශ කරගැනුමට එම කවියේ සමස්තය හරහා අප ඇවිද යා යුතුය. එම කවියේම සංකේත ලෝකයේ අවයව සිතුවමට කැන්දා ඇති කෝරළෙගෙදර පුෂ්පකුමාරගේ සිතුවම් පෙළ ද අපගේ මනස් සිතුවම පරිපූර්ණ කර ශ්‍රී කාන්ත්ගේ තැවුම- ජීවිතයේ ලද අසරණම අත්දැකීම කවියේ හඩට ඔබ්බෙන් වර්ණ ගන්වයි. අතුණුබහන්- මස් වැදලි එකතු කරන දෑතකින් සමන්විත එක සිතුවමක් පහත කවි උපුටනයේ අදහස් තීව්‍ර කරයි.

අක්කගෙ පොරවං හිටපු රෙද්දටයි
ශ්‍රී කාන්ත් පොරවං හිටපු
තාත්ත‍ගෙ සරමටයි
අම්මගෙ යි අප්පගෙ යි කියල
සැක කරපු
මස් වැදලි ටික
එකතු කරල
ඔතල
ගැට ගහල
තැන්පත් කරන අයට බාර දීල
තවත් අය
තම තමන්ට අදාළ
මස් වැදලි එකතු කරද්දිම
අක්කගෙ අතින් අල්ලගෙන
ඔළුව හැරුණ අත
ඇවිදපු හැටි
....

මේ ප්‍රයත්නය සියළු කවි ගැන එකින් එක ඒවායේ කම්පනයේ සෞන්දර්යාත්මක ඉසව් සොයා යාමක් නොවේ. මේ සැබැවින්ම කම්පනයේ තීව්‍රතාව, පොතක වියමන් තුළින් කුළු ගන්වා මනුෂ්‍ය දයාවේ දොරටුව වෙතට අප කැඳවා යන සංඥා පද්ධතියයි.

අවසාන වශයෙන් මේ කවි සමුච්චයේ එන උරෙයිප්පු සාප්පාඩ නම් වූ කවියේ වියෙන ඒ හැඟුම් මාත්‍රාවන් විසින් එම දසුන කෙටි චිත්‍රපටයක් මෙන් අප පරිකල්පන ලෝකය ආලෝකමත් කර විශද කරයි.

මේ සියළු කවි ඒවායේ අන්තර්ගත ගොරහැඩි-කර්කෂක-නිරුවත් බව වසා දමා කිසියම් මිනිස් සිත්හි සනාතනික තැවුලක් ඇති කරවන්නට එහි පසුබිම්වන සිතුවම් විසින් මගහසර තනයි. බොහෝ කවි කියවා රස විඳිය නොහැකිය. ඒවා නොයෙක් භ්‍රාන්තීන් මනසට කැඳවයි. සංයුක්ත කවි සේම සංඥා ලෝක අලුතින් නිමවා වචනයේ දුර අතික්‍රමණය කරයි. කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ කවියේ ආකෘතිය අජිත් තිලකසේනගේ සංයුක්ත කවි ආරක පසුබිම් ග්‍රැෆික ස්වරූපයක් අප මනසේ ජනනය කරවයි. සෘජුකෝණාස්‍ර හැඩතල සහ කළු වර්ණය පමණක් භාවිතයෙන් ගොඩනගා ඇති එම ග්‍රැෆික, කවියේ වචන තුළින් කුළු ගන්වන හැඟුම් වඩාත් ඉහල තලයකට ඔසොවයි. මේ නව කවියේ කුමාරි ලකුණ යැයි මට සිතේ.

ගැඹුරින් වූ තුවාල සුව වන්නට නම් අපගේ දයාව ඔවුනට අවශ්‍ය නො වන්නේ ද? ඒ තුවාල වර්ධනය වී ඔඩු දුවන්නට අත් හැර දමා සිටිමු ද? එවිට අනාගතයේ දිනක තවත් කකුලක් කපා දමන්නට සිදු නො වේවි ද?


මේ කුමාරි අපගෙන් අසන පැණයයි. ඇය මේ මතුකරන දයාව මිනිස්වගටම අදාළ වේ. එක් මොහොතක මිනිස් වගෙන් කොටසක අත්දැකීම විශ්වීය දයාවක් බවට පෙරළන්නට කුමාරි දරා ඇති වෑයම ගැන අපි ඇයට කෘතඥ විය යුත්තේ එබැවිනි.

පොත මිළ අධිකය. ඊට කම් නැත. ඒ මිළට ලද හැකි වෙනත් මේ හා සමාන කම්පනයක් වෙතැයි මම නොසිතමි.

මිනිස් වගට පහනක් දැල්වූ කුමාරි; ඔබට තුති පුදමි.

Tuesday, October 19, 2010

චිරන්තගේ පැංචා ඊඩිපල් කියවීමක්

චිරන්තගේ මෙම කවිය නිසා හටගත් සිතිවිලි කීපයක සටහනකි මේ.



මේ කවියේ ඉහළ සිට පහළට කියවාගෙන යද්දී කියැවීම් දෙකක ගැටුමක් [කතෘ දෘෂ්ටි දෛශික] හට ගන්නා බවට සාධක ඇත. එකක දී මට හමුවන්නේ දරුවකු පිළිසිඳි මොහොතේ සිට ඒ ගැන චින්තාවලියේ දැවටෙන පියා එම දරුවා ගැන දකින අයුරු කවි කරන තුන්වැන්නෙකු වන කවියාය. එවි‍ට කතෘ පිතෘත්වයෙන් පිටතින් පවතී. එය පීතෘ පරිකල්පනීය විශ්වයේ මතුපිට සදයි. එනම් පියාට පිටින් එම තත්වය වටහා ගැනීම හෝ සංකේතනය කිරීම. එනම් මුල් පද පේලි හතරම එම කවියාගේ සවිඥානික ගොඩනැංවීමකි.

දෙවන කියැවීමේ දී මට හමුවන්නේ පිළිසිඳි දරුවා පිය සෙනේ ‍ස්වභාවයන් දකිනාකාරය ලියා තබන එම පියාමය. එම සංකේතනය ගොඩනගන්නේ සැබෑ පියා විසින්මය.

"යකඩ දෑත් මට ලැබෙන්න" යන පදයෙන් ජනිත වන අදහස එක් අයුරකින් කවියේ කතෘ ද අනෙක් අතට එම පැතුම පතන පියා ද ලෙස ගත හැකිය. එවිට කතෘ පිතෘත්වයෙන් ඇතුළත පවතී. එනම් පරිකල්පනීය විශ්වයේ ඇතුළත තතු සදයි. එය සවිඥානිකත්වය පරයා කතෘගේ අවිඥානික පෙදෙස් තුළ නිර්මිත පියාගේ භූමිකාව අනාවරණය කරයි.

මේ දෙයාකාරයෙන් දැක්වෙන අරුත් එකිනෙකට වෙනස් බැවින් කවියේ අවිනිශ්චිත අර්ථ පෙළ ගැසෙන්නට ගනී.

අනන්තයේ ඇස් ඇවිදියි
සිහින් සිඟිති නිය ලියවෙයි
අප්පච්චිගේ රූප ඇඳන්
විරෝධතාවකි දොරකඩ

නැවතත් මෙම පද අතරේ අප්පච්චි යනු කවියේ කතෘත්වයට පිටින් ඇති විෂයක් ලෙස හමුවේ. අනෙක් අතට අනන්තයේ ඇස් ඇවිදින්නේ යැයි යෙදුම විටෙක නූපන් දරුවකුගේ ගන්ධබ්බ අවස්ථාවක් ලෙසද වරනගා ගත හැකිය. සිහින් සිඟිති නිය ලියවෙයි යන්න ගැබ තුළ මෝරන දරු කලලයේ අවස්ථා ශ්‍රේණියෙන් එක් අවස්ථාවක් ලෙසද කියවා ගත හැකිය. ඒ අතර තුර දරුවන්ගේ මුහුණුවර පිළිබඳ පෙරයීම් මත මේ නම් තාත්තාගේ හැ‍ඩරුව ඇති පුතෙකැයි දක්වා ඊට ප්‍රතිවිරෝධි ලෙස මව්ගේ මුහුණුවර ඇති දුවක ගැන ඉංගිතයක් ඇඟවෙන්නේ ද නැත්තේ නොවේ. මෙනයින් අප්පච්චි දිහා සහ නූපන් දරුවා දිහාද එකවිට නිරීක්ෂණයේ යෙදෙන තුන්වැන්නෙකු ලෙස කවියා පවතී. මේ අයුරින් පරිකල්පනීය අවකාශය සවිඥානික සංඥා ඔස්සේ ගමන් කරයි.

මල්පෙති තෙත උරා ගන්න
ඉර මදුවැල් උගුල්ලන්න
සතර වරම් දෙවි වරමින්
යකඩ දෑත් මට ලැබෙන්න

දෙවැනි කියවීමක් හටගන්නා හේතූන් මෙම කොටසින් පැහැදිලිව එළිදරව් වේ. යකඩ දෑත් මට ලැබෙන්න යන පැතුම ඔස්සේ මේ කවියේ කතෘ එම දරුවාගේ පියා බව හැඟවුම් වෙයි. මෙයාකාරයෙන් කවියේ කියැවීම් දෙක එකිනෙකින් වෙන් නොවී මතුපිටින් ස්පර්ශ කරගෙන යද්දී මතුපිට ඇතුළ බවට පත්වන ස්වභාවයෙන් ඇතුළත් පිටත් සමපාත වේ. වඩාත් නිවැරදිව කීවොත් නිරන්තරව හමු වන මෝබියස් [Mobius][5] ස්වභාවයේ ජ්‍යාමිතියක් උපදී.

කවියක ඇති මේ ස්වභාවය සම්ප්‍රදායික කවි පරිශීලන මානයෙන් ඔබ්බේ බැව් ද පැවසිය හැකිය. සමහර විට එය කවියේ විෂය දෝලනය වීමක් ලෙසද දැක්විය හැකිය. මෙහි ඇති සවිඥානික හැඟවුම් සහ අවිඥානික හැඟවුම් අතර ගැටුම හේතුවෙන් කවියේ අවසානය අවිනිශ්චිත විෂයක් බවට පත්වේ. සතර වරම් දෙවි වරම මතු වද්දී කවියේ අවිඥානික පෙදෙස සිතියම් වේ.

පරිකල්පනීය තල විභේදන ඔස්සේ මනෝවිශ‍්ලේෂණාත්මක පිවිසුම වඩාත් දිග් කළ හොත් අපට හමු වන්නේ ඊඩිපස් සංකීර්ණය ඔස්සේ මතු වන කියැවීමක් කරා යාමට කෙටි මගකි. ඊඩිපස් සංකීර්ණයේ එළඹුම වඩාත් ප්‍රකට වන කවියේ ලක්ෂ්‍ය වන්නේ අප්පච්චිගේ රූප ඇඳන් විරෝධතාවකි දොරකඩ යන තැනිනි. එම වියමන ඔස්සේ හැඟවුම් වන විරුද්ධ ලිංගික මව-පුතා සහ දුව-පියා යන සහසම්බන්ධයේ සංඥාර්ථ හේතුවෙන් එකවරම මෙම කවියේ යටිපෙළ සකස් වන්නේ පුතෙකුගේ පීතෘ විරෝධයේ ප්‍රතිපක්ෂයේ ගොඩනැංවීමක් ලෙසිනි. එනම් පුතුගේ ආකර්ෂණයේ පියා රැඳෙන්නට දරන සවිඥානික ශ්‍රමයක් ලෙසිනි. මේ කවියේ පද අතර පුරුෂත්වය ම මතුවන හෙයින් එම ගැටුම පිළිබඳ අදහස සාධාරණය. අප්පච්චි-පුංචි සිත්තරෙකි-සතර වරම් දෙවි-යකඩ දෑත් යනාදී වූ පැහැදිලි පුරුෂාර්ථයෙන් හටගත් සංකේත විසින් එය ඊඩිපල් ගැටුමට මග පාදන බව මගේ අදහසයි. සතර වරම් දෙවිවරු ගැනද කෙටියෙන් සඳහන් කළ යුත්තක් ඇත. ලංකා ඉතිහාසයේ සතර වරම් දෙවිවරු ගැන ප්‍රථමයෙන් සඳහන් වූයේ යැයි පැවසෙන්නේ පණ්ඩුකාභය රජ දවසේය. මහා වංශයේ සඳහන් පරිදි අනුරාධපුර නග‍රයේ සතර දිශා ආරක්ෂා කරලනු පිණිස යක්ෂයින් සිව් දෙනෙකු යෙදවූ බවත් ඔවුන් සතරවරම් දෙවිවරු හෝ යක්ෂයන් ලෙස හෝ හඳුන්වා ඇතත් ඔවුහු යක්ෂ‍ හෝ දේව යන්න විමසීම අවිනිශ්චිත බවත් "ඉපැරණි සිංහලේ ලංකේය දෙවිදේවතාවෝ" [3] ග්‍රන්ථයේ සඳහන් වේ. එම සතරවරම් දෙවිවරු නම් ව්‍යාධ දේව, වෛශ්‍රවණ, කාලවේල සහ චිත්තරාජ යන සිව්දෙනාය. එම කෘතියේම සඳහන් වන පරිදි වේද සම්ප්‍රදායේ සතරවරම් දෙවියෝ නම් සූර්ය, පෘථිවි, අග්නි සහ විෂ්ණු යන සතරදෙනා ලෙස සැලකේ. ඉන්දු ආර්ය ආභාෂයට අනුව සතරවරම් දෙවිවරු වන්නේ ශිව, පාර්වතී, ගණේෂ, කාර්තිකේය යන දෙවිවරුන්ය. එනයින් මේ කවියේ කියැවෙන සතරවරම් දෙවිවරු අවිනිශ්චිතය. එය එහි පුරුෂාර්ථ ලිහා ගැනුමට බාධා නොකරයි යන්න මගේ අදහසයි.

මතුපිට අර්ථය ඔස්සේ යද්දී මේ නම් පියා විසින් පළමු දරුවාගේ සහෝදරත්වයට පත්වීමට සූදානම් වන ගර්භණී මවගේ ගැබේ තතු පළමු දරුවා විසින් භාරගන්නා අයුරක් වර්ණනා කරනා ලෙසද ගත හැකිය. නොඑසේ නම් තම කුඩා පුතුගේ දඟකාරකම් දකින පියා ඔහුගේ මතු අනාගතය ගැන පෙර දකින සිහිනය ලෙස ද දැක්විය හැකිය. කුමන කියැවිමක් තුළ ද අතාත්වික ප්‍රති ඊඩිපල් බැම්ම නොසිඳී පවතින්නේ යැයි මට සිතේ.

සමස්තයක් ලෙස ගත් විට කවියේ ද්විප්‍රකාර ගැටුමක් ද එනිසාවෙන් හට ගන්නා අවිනිශ්චිත අරුත් සමූහයක් ද ප්‍රධාන කියැවීම් ත්‍රිත්වයක් ද හට ගනී. කවියක බහු අරුත් නිමැවීම තුළම එහි රස විඳුම් සීමා පුළුල් වේ.


ප.ලි.

මාක්ස්වාදී විචාර මූලධර්ම ඔස්සේ නම් මේ කවිය ප්‍රතිගාමී අදහසක් ගෙන එන බැව් මට වැටහේ. එනම් කුටුම්භ රක්ෂණයට මේ කාර්තුවේ දුෂ්කරත්වය දේව වරමකින් ලිහිල් කර දෙන්නැයි යැදීමේ හැඟවුම් නිසාවෙනි.

මදුවැල් නම් කිරි සහිත ශාක විශේෂයකි. කිරි මදුවැල් ද නම් ලෙස දැක්වේ. නමුත් ඉර මදුවැල් ගැන මට දැනුමක් නැත. කෙසේ වුවත් එය ද ශාකයක් යැයි මට හැඟේ. බොහෝ විට එය ප්‍රයෝජනයක් නැති ශාකයක් ද විය හැකිය.


ආශ්‍රිත ග්‍රන්ථ:


1 හිස්ටීරියාව- දීප්ති කුමාර ගුණරත්න
2 *Sigmund Freud and Psychoanalysis
3 ඉපැරණි සිංහලේ ලංකේය දෙවිදේවතාවෝ-ඩී.කේ. ධර්මදාස බණ්ඩාර
4. මුහුණු පොතේ පළ වු චිරන්තගේ කවිය
5. ලොස්ට් හයිවේ වෙත-ලින්ච් සහ ලැකාන්: සිනමාව සහ සංස්කෘතික ව්‍යාධිවේදය හරහා 


සටහන


* Resolution of the Oedipus complex is essential for healthy sexual development. The way forward is different for boys and for girls. A boy, murderously jealous of his father’s possession of his mother, is none the less aware of the power of his father. He fantasises that his father knows of his desires and will punish him by castrating him. Only by abandoning his desire for his mother as a sexual object can he avoid this terrible fate and move on. For a girl, the way forward is even more difficult. She also desires her mother and fears the response of her father. But she discovers that she is already castrated – she lacks a penis.