Thursday, January 29, 2009

දෙවියන් මැරීම-ජී බී සේනානායක

දෙවියන් මැරීම

බුද්ධිය මිත‍්‍රයෙකැයි, සිතු මම
දිනක් මග රැක සිට
මගේ දෙවියන් මරා හෙලීමි,
දැවැන්තයකු වන බුද්ධිය
අඳුරෙහි මහ අඩි තබමින්
මා පිටි පසින් එනු
මට ඇසෙයි.

එහෙත් දෙවියන් සිටි කල මෙන්
දැන් මට
සැක හැර ගමන් කළ නොහැක
මා වැටුණු කල
දැන් දෙවියන් නැති හෙයින්
මම
නැඟී සිටිය යුතු ය.

යළිත් දෙවියන් සොයා ගිය මට
උන්වහන්සේගේ රන්වන් මළ සිරුර
මඟ අසල,
නුග ගස යට තිබී සම්බ විය
ස්වාමීනි, යළිත් නැඟී සිට
මා හා පෙර මෙන්
එනු මැනවයි මම කීමි
උන්වහන්සේ නැඟී නොසිටින්නේ
බුද්ධියතම
දත් දෙපළ පෙන්නා
විලිස්සමින්
මා පිටිපස සිටින හෙයින් බව
මම දනිමි

එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැකිය
ඔහු මා අතහැර නොයයි.

ජී බී සේනානායක
පලිගැනීම පද්‍ය සංග‍්‍රහයෙන් 1946

Wednesday, January 28, 2009

චන්ද්‍ර පාෂාණය

චන්ද්‍ර පාෂාණය

නොඉපදුන අයිකරස්
මම තවම ඬේඩලස්
නැත අලුත් අදහසක්
සිපිරි ගේ බිඳිනු වස්

හිරු දවන ඉටි බැඳුන අපෙ පරණ පියාපත්
ඉගැන් වූ පාඩමත් සිත දරන් විඩාපත්
රාත‍්‍රියේ පියාඹා ගොස් චන්ද්‍ර මණ්ඩලේ
චන්ද්‍ර පාෂාණයක් රැගෙන එල්ලමුකො අප පැලේ


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2007

Metamorphosis නොහොත් රූපාන්තරණය

Metamorphosis
නොහොත්
රූපාන්තරණය

මම උදෑසන පිබිදුනේ විද්‍යුත් චුම්බක තරංගයක් ලෙසිනි. මගේ සිරුර හරියටම අංශක අනූවකට ඉගටිය ලගින් දෙකට බෙදී තිබුනා. සිරුරෙ උඩ කොටස අධික වේගයකින් කම්පනය වෙමින් පහල කොටස සමග සාපේක්ෂ මාරාන්තික චලිතයක යෙදී තිබුනා. ඒත් මට හරි සතුටක් දැනුනා. විද්‍යුත් මාධ්‍යය තුලට රිංගා ගත හැකි වෙන කිසිම වැඩ පිලිවෙලක් මට තිබුනේ නැති නිසා මේ දුක කුමන සැපක්දැයි මටම හිතෙන්න පටන් ගත්තා.

අල්ලපු ගෙදරින්ම පටන් ගත යුතු යැයි සිතුනෙන් ඉක්මනට කලිසමක් දාගෙන අතට අහු උන සැඳෑ ගමනකට උචිත මගේ එකම වස්ත‍්‍රය ඇග ලා පාවී ගොස් කොස් ගහ මුදුනේ සුලගට පැද්දෙන කබල් ඇන්ටනාවෙන් ඔවුන්ගේ රූපවාහිනියට රිංගා ගත්තා.

"මෙන්න යකඩො අල්ලපු ගෙදර මනතුංගයා අද ටීවීයෙකේ "
"මොනවා මොනවා මනතුංග! මේ යකා කොහෙන් මේකට රිංග ගත්තද ? හප්පා මුගෙ ආඩම්බර කම උජාරුවට ඉන්න ලක !? කනක්කැහිලා ඉන්න ලැබෙන එකක් නැහැ ඔන්න අර වඩිගපටුනෙන් ! මහ කෝලම වැඬේම මහත්තයගේ පම්පෝරිය දිග ඇර ඇර ඉන්න එක... දැං ඉතින් මාසයක්වත් යනකං වැට අද්දර මල් පැල ටිකට වතුර දමයි උදේ හවස ..."

චැනලය මාරු කලෙන් මට කිසිවක් කර කියා ගත හැකි නොහී ආ පාරෙන්ම උඩුගුවනට සම්ප‍්‍රාප්ත වුනා... සැම්සන්ගේ ගෑනී නම් මහ සක්කරවට්ටමක් යැයි නිතර රංජනී කියන කතාව ඇත්තක් යැයි මට හිතුනා. ගිය අවුරුද්දේ සැම්සන් පවුල පොත් මාසේ බී එම්මයි සීයෙච්චෙකේ කරක් ගහපු තරමටයි පොත් පත් ගැන අපිත් එක්ක කියවන තරමටයි මම හිතාන උන්නේ අඩුගානේ ටීවීයෙකේ යන එකම සාහිත්‍ය වැඩ සටහන ඇස් දෙක ඉස්සරහ පේනකොටවත් බලනවා ඇති කියලයි. බලං ගියාම සැම්සන්ගෙ සාහිත්‍ය ඇල්ම මහ ප්‍රෝඩාවක්. හාමිනේ නිකං සර්පිනාවක්! මගෙ සිරුරෙ කම්පනය දෙගුණ වුනා සේ දැනුනා.

උඩු ගුවනට පේන තරම් විශාල ඇන්ටනාවක් තිබුනෙන් මම වහා පහත් වුනා අකුණක් වගේ එතනට. ඒක පෞද්ගලික නාලිකාවක්. වැඩසටහන් අධ්‍යක්ෂතුමා ඉදිරියේ කේඩෑරි කොලු ගැටයෙකුත් ඔවුන් දෙදෙනාම ඉදිරියෙ පත රූපවාහිනියකුත් තිබුනෙන් මම අත පය දිග හැර එම සිව්කොනසිව්දිග පැතිරුන තිරය මතට පතිත වුනා.
"මොකක්ද මේ?"
"ලෝ බජට් එකක් සර් නිකං දාමු හීතල බෙල්ට් එකක"
"අඃ අපි ඔය වැඩසටහන් කීපයක්ම කරලා ඇන ගෙන ඉන්නේ. සමීක්ෂණ වාර්තාවලටනේ අයිසෙ අපි වැඩසටහන් කරන්නේ...ඩිමාන්ඞ් තියෙන එවට තමා ඇඞ් එන්නේ. අනික සාහිත්‍ය...අනේ මන්දා...මොනවද තමුසේ ජන මාධ්‍ය කෝස් එකේ ඉගනගත්තේ? කරනවනං වැඩසටහනක් කොහොමත් මෙ ෆෝමැට් එකෙන් කරල වැඩකුත් නැහැ. අර බි‍්‍රජට් වගේ කෙල්ලක් දාලා පොඞ්ඩක් හීට් එකක් තියෙන විදියට කරන්න ඕන. "

මට දරන්නත් බැරිතරමට මගේ කම්පනය ඉහල නගින බව දැනුනා. ඔවුන් රූපවාහිනිය කි‍්‍රයා විරහිත කරන්නට මත්තෙන් මම ක්ලාන්තව ගුවන් ගතවුනා. මගෙ ඇග පුරා සියුම් යකඩ කුඩු ඇලෙන්නට ගත්තේ හරියටම ඔය වෙලාවේ. චුම්බක ගතියත් වැඩිවෙලා කම්පනයත් එක්කම. මම හෙමිහිට බර නිසාම පාත් වෙලා දිසාපාමොක් නිවස්නේ යහන් ගබඩා රූපවාහිනී තිරයේ පතිත වුනා.
"ඒයි අන්න බලන්න අර අර..."
"හහා අරූ නේද? "
"ඔව්නේ... දැන් බලන්න මේ යක්කු කව්ද අනේ මේවට වැද්ද ගන්නේ? හරිම බෝරිං"
"වැඩක් නැ කතා කරල අපේ ගවමන්ට් එකක්ම එන්න ඕන... මුං පන්නල දාන්න. ඔය අලූගුත්තේරුවා තමා මගෙ ස්කොල් එකටත් කෙලියේ. මතකද ඕකා නේද අර පත්තරෙ පිටු පුරා තුන් ලෝකෙට වැඩක් නැති අලූත් කතිකාවද මොකක්ද ලියන්න පටන් ගත්තේ ?"
"මලමගුල්තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නෙ නැතුව ...අපි වගේ නේද?"

තිරයේ රැඳී ඉන්නටත් බැරි තරමට හාත්පස උණුසුම් වූයෙන් යකඩ කුඩු වමනේකරමින් එතනින් මගේ විද්‍යුත් චුම්බක තරංගය බේරා ගෙන ආලෝක වේගයෙන් ගුවනට මුක්ත වුනා.

"මෙන්න මචං අර මැන්ටලේ."
"අම්මට සිරි ඕකා මරු ටෝක් දෙන්නේ පොඞ්ඩක් බලපං"
"මාරු කරපං බාංංංං... බොලාට පිස්සුද ?"
"අර ටෙලිය පටන් ගන්නවා තව විනාඩිපහෙන්"
"...ඇත්තටම යසෝදා වැටෙන්නෙ කාටද අර බයික් කාරයටද නැත්නම් රන්ජන්ටද?"
"සොහාන් බඩුකාරයා බං"
"පලයන් ඩෝ යන්න... උඔ අද බබාට අහුවෙලා පඩ මල් වගයක් දීලා තියෙන්නේ වදින්නෑ බං මේවා "
"මට එක සතියයි මිස් වුනේ"
"ඇපෝරියාවක් මචං"
මගේ සරුවාංගය විද්‍යුත් බලයෙන් දැඩි ලෙස ආරෝපණය වන්නට ගත්තා. ඉන් ගිලිහී ගිය පුංජයක් අකුණක් බවට පත් වූයෙන් රූපවාහිනී යන්ත‍්‍රය අකර්මන්‍යවුනා. බලාපොරොත්තු විරහිත ලෙස සම්ප‍්‍රාප්ත වු වාසිටි නේවාසිකාගාරයෙන් බලාපොරොත්තු විරහිතවම අන්තර්ධාන වන්නටත් සිදු වුනා. එතනට කිට්ටු කොතනකවත් කිසිම ආකාරයක හෝ ලෝහ ඇන්ටනා නොවුයෙන් පයිබ ඔප්ටික් කේබලයකට අමාරුවෙන් රිංගා ගත්තා. ඒක ඇතුලේ වස්තරයක් ඇදන් හිටියේ මම විතරද කොහෙද. මම දැනගත්තා වැටිල තියෙන්නෙ හොඳ පොටකට නොවන වග...අන්තර්ජාලයට...එතන මගේ චුම්බකය තියා ලක්ෂපානෙම චුම්බක ගෙනාවත් සාහිත්‍ය පැත්තටඑකෙකුවත් හරවනු බොරු බව දැනුනෙන් විලියෙන් හිරිකිතව අධෝරක්තකිරණයක් සේ පරකාස තන්තුවෙන් තෝන්තු නොවී එලියට පැන ගත්තා. මම ඒ අසලම වු තවත් රැහැන් පද්ධතියකට ඇදී ගියේ හුස්මක් පිඔ ගන්නටත් මත්තෙන්. ඒ පාර මම දුරකථන රැහැන් පද්ධතියට ඇතුල් වී ඇති වග මට තේරුම් ගියා. ඩොලර් වලින් පටන් අනවශ්‍ය ගැබ් ගැනීම් හරහා බෝම්බ දක්වා වු සාරගර්භසාකච්ඡා වලට අදාල විවිධ තාරතාවලින් වු ශබ්ධ තරංගවල විද්‍යුත් චුම්බක තරංග අතර මම හෙම්බත් වුනා.
"අද නැගලා මස්සිනා මාරුකරනවනං බ්ලැක් මාකට් තව ගානක් වැඩිවෙයි. මොකද කියන්නේ?"
"යුරො අරන් දාමුද?"
"තාම උනේ නෑනෙ අනේ හරිනං පෙරෙදට තිබුනේ මට බයයි අනේ"
"හෙටත් බලමු නැත්තං ආයුර්වේද පොරක් ඉන්නවා රාජගිරියෙ අනිද්ද උදෙන්ම යමු බයික් එකෙන්ම. ගනංගන්ඩ එපා..."
"බ‍්‍රාවො බ‍්‍රාවො රොජර් ටේක් කෙයා"

දුරකථන තරංග එකිනෙක මත අධිස්ථාපනය වීමෙන් මහා කරච්චලයක් නිර්මාණය වූයෙන් නිස්කලංක සුවයක් සොයා මා පාවුනේ නොහිම් වෙහෙසකිනි.
"නාලිනී එන්න මල් පිපීදැයි බලන්න කඳුලක් නැගී නෙතග රිදුනත් ඉතිං එන්න" මට සුනිල් අයියා මුන ගැහුණා එෆ් එම් තරංග මාලාවක් අස්සේ දාඩිය පෙරාගෙන ගීතය එක දිගට ගයා ගන්න බැරුව අසරණ වෙලා.
මොකද අර පොඩිත්තං ඇම්බැට්ටි කෙල්ලෙක් එක දිගටම දුරකතන තරංග අස්සේපොරකන කොලු ගැටයන් එක්ක ගීතයට අදහස් අතෝරක් නැතුව එක්කාසු කරනනිසා.

"ඉතිං අයියෙ දැන් ඔයාගෙ අවස්ථාව"
"නංගි මට කියන්න තියෙන්නෙ මම ඒකෙ ආසම රිදුනත් ඉතිං එන්න... අන්න ඒකටතමයි - මම හැමදාම එයාට කියන්නෙත් ඒකම නිසා- මම කැමතියි මේ ගීතයටඇත්තමයි ඒ නිසා"
"එහෙම ඉතිං රිද්දන්න හොඳ නෑනෙ ඔයා එයාට ආදරෙනං..."
"නැ නැ මම කිව්වෙ ඒක නෙවෙයි..."

සුනිල් මා දිහා බැලුවා. මම මගේ කනගාටුව ප‍්‍රකාෂ කරන්න හැදුව විතරයි මහා ඝෝෂාවක් සමග වෙළඳදැන්වීම් තරංග රොත්තක් ඇවිත් මගේ තරංගයේ හැපීමත් සමගම සුනිලුත් මාත් ආගිය අතක් සොයා ගැනීමට බැරි තරම් ඈතට විසිව ගියා.

මම මගේ විද්‍යුත් චුම්බක තරංගය නැවත එකලස් කරගත්තේ බොහෝ කාලයක් ගත කරල... ඒත් අඩුපාඩු සහිතව. මගේ තරංග ස්වරූපය බොහෝ සේ විපරිතව තිබුනා කම්පන සීඝ‍්‍රතාවය බෙහෙවින් අඩුව තිබුනා...මා නැවත මගෙ නිවසට බොහෝ සෙමින් පාව එද්දී මග දෙපස දිරා ගිය සුදුකොඩිවලින් සැරසී තිබුනා

ඊ ඒ ඩෝසන් පී‍්‍රති 2007

සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක

1986 ජුලි 14

බස් එකේ අද මහ කලබලයක්. ඡන්දයක් ඔනැ දැන්ම ඡන්ද තියන්න බැහැ. බසයේ සිටි අය සියල්ලම වාගේ දෙකට බෙදිලා. මුන්ට පිස්සු ද මන්ද. උන් හදන්නේ ඡන්දෙන් විප්ලව කරන්න. චිලියේ අයියන්ඩෙ දිනුවට පසු ඩෙබ්රෙ ලියූ පොත මට මතක් වෙනව. ඡන්දයෙන් විප්ලව කරන්න පුළුවන් බව අයියන්ඩෙ ඔප්පු කළ බව එදා ඩෙබ්රෙ කීව. ඒත් අයියන්ඩෙත් රටෙ වාමාංශිකයින් දහස් ගණනකුත් ජුන්ටාකාරයින් අතින් මැරුම් කෑ පසු ඩෙබ්රෙ තමන් ලියූ පොතම පුච්චලා දැම්මා. කවදාවත් පරම සත්‍යයක් අසත්‍ය කරන්න බැහැ.


සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක

Tuesday, January 27, 2009

කඩු පත් බඳු අත්-නන්දන වීරසිංහ

කඩු පත් බඳු අත්

සෝදා පාළු බිම පෙත
පුරවා ලොකු මහත් කළ
ගල් ඇඳි නෙරා ආ බෑවුම්
වෙර වඩා දමනය කළ
පියවරුන් ගේ උද්දාම සිනාහඩ අරගෙන
පහන් දොරින් එන සුළග
අලුත් හුස්මෙන් පුරාලයි ඇගපත

පණු කැලක් සේ ඉල්පුණු
පෑදුනු නහර ගැවසුණු
කොළපු බඳු අත පයෙන්
බෑවුම් හීලෑ කරන
වෙදනා මුහුණ සගවා
සැහැල්ලු ව හිනැහෙන
නෑ සියන් ගේ පැතුම් සහගත කටහඩ
පිරී ගනවෙයි
හේන් යායේ උදැහැන

හෙට දොරට වඩම්මන
බිලිඳු පා පොඩිවලට
ගල් කුළු වැඩෙන මුඩු බිම
මෙළෙක් යහනක් කරමින

දරු මුණුබුරන් වාගේ
දුක් කරදර වඩා ගෙන නළවන
නැති බැරි කම් ඇකයේ ඔබාගෙන
ඇති දැඩි කරන අත් ම ය බලගතු

දුක් මිදුණු මෙ දෙගංබඩ
මල බැඳුණු අවි විලස මොට වුණු
සියල් සිත් ඇතුළත පැහැසර ය
කැටපත් විලස ඔප වැටී
දිලිහෙන දවස නුදුරුය

කපා පෙරළා සරු කරන
පොළෝ පස් මත පඳුරු ලා වැඩී
ඔජස උරා බොන පිළිල
උදුර උදුරා ගිනිලන්ට
ඔප වැටුණු හිත් වලින්
යුගත් කඩු පත්වලට පණ පෙවෙන

නව දිවියක බිජුවට
ඒ අත්වලින් වැපිරෙන
හෙට උදෑසන සිහි කර
සතුටු කඳුළක් පුදන්නෙමි
මෙ හේන් බිම මතුපිට

නන්දන වීරසිංහ
කිරි සුවඳැති රාත‍්‍රිය 1990 උපුටා ගන්නා ලදී.මෙම පද්‍ය සංග‍්‍රහය 1990 රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද්දේය.

இ ஏ டொசன் ப்ரேதி

යාල්පානම්-අමල් තුෂාර ප‍්‍රනාන්දු

යාල්පානම්
யால்ப்பானம்


නල්ලූර් දෙවියන් බලන්න
යන්න ඔනැ යාල්පානම්
තුන් සරණේ අස අසා...
ඔබත් එක්ක
මියෙන්නට කලියෙන්
තුටින් නැගෙන්නට කඳුලක්...

කොලොම්පුරෙ පේලි ගේක
නළලේ තිලකේ තියාන පේවී
පිරුණු කලේ නොසැලෙන දිය සේ
ආදරෙ මගෙ හිත පුරවා ගිය දේවි

ඔබ දෙමළ ගම යාල්පානම්
මම දන්නේ අද ඊයේ නොවෙයි...

අරවි ආරු දියවර පාවෙන
පරෙවි පියාපත අහුලාගෙන ...
සිහිනය සිහිනයක් නොවෙ මැයි
දෝතින් මගෙ දෑස් වසා කී දේවී...

ඔබ දෙමළ ගම යාල්පානම්
මම දන්නේ අද ඊයේ නොවෙයි...

අමල් තුෂාර ප‍්‍රනාන්දු
යාල්පානම්2001 පද්‍ය සංග‍්‍රහයෙන් උපුටා ගන්නා ලදී.

එම කවියේම දෙමළ පරිවර්තනය මාධ්‍යවෙදී රවි රත්නවෙල් විසින් එම කාව්‍ය සංග‍්‍රහයට එකතු කර ඇත.

டொந்சன் ப்ரேதி இ ஏ




Sunday, January 25, 2009

අවදියෙන් සිටිමු-උ චෙරන්

අවදියෙන් සිටිමු

අවදියෙන් සිටිමු අපි
මිතුරනි

ශෝකයෙන් වටවු
ලංකා සිතියම
රතු රුහිරු හෙළුවෙ
මෙතෙක් කල්
බොහෝ දෑ පිදුවෙ
මෙ තරම්

වෙනත් කෙනෙකුට වහල් වන්නද

කුලී හමුදාවක් සමග
විප්ලවයක් කුමකටද

අපේ මිහිබිමෙ
අපේ සවිබලෙන්
අපේ දෙපයින්
ඉතින් නැගිටිමු

දිනුවත් දිවි ගෙවමු
පැරදුනත් දිවි ගෙවමු
අපේ පරපුර
අරගලය කළාදෙන්

උ චෙරන්


චෙරන් යාපනයේ උපන් කවියෙකි.

දැනට කැනඩාවෙ වෙසෙන ඔහු යුධයේ ගැඹුරු පීඩාවන් කේනද‍්‍ර කරගත් කාව්‍ය රචනා සමුච්චයක් වන "මරණතුල් වාල්වෝම්" (මරණය තුල ජීවත් වෙමු) හි සම සංස්කාරකවරයකු ලෙසද නූතන දෙමල කාව්‍ය කතිකාවට නැණසරව සබැඳේ.

මෙම උපුටනය නිලාර්එ න් කාසිම් ගේ සහෝදර පියාපත් කාව්‍ය සංග‍්‍රහයෙනි.

සිනාවත-සල්මා

සිනාවත

ගෙයි මුල්ලෙහි
නැති බැරිකම් අතර
සැගව පවතී
මගේ සිනහව

එදා මා නැගූ
හස කැලුම්
විකසිතය
රුවැතිය
ඒවා
හැබෑ වූ හිනාමය
දූවිලි ගසා දා
මතු කර ගනිමි මම
මගේ ඒ සිනහ කැන්

ඒවා විකසිතය
මලින් සුසැදිය
අභිමානනීයය
ඉතිං මතු දින
එබඳු වූ සිනාවන්
මතුකරවිය නොහැක කිසිවකුට

මින් මතුව නැගෙන හැම හිනාවම
දිළිඳු වී
අඩු ලුහුඩුතා ඇතිව පවතීවි
ඉතිං ඒ සිනාවත
කාටවත් පලක් නැත
මට පවා

එදා මා නැගූ ඒ සිනාවන්
හඩන දරු දැරියන්ට
වැන්දඹු ළඳුන්ට
පීඩිත සැමියන්ට
දන්දෙමි

සිනාවෙහි නිසි පල
යොදා ගන්නේ
කෙලෙසදැයි දිවිමගට
මමකියා දෙමි ඔවුන්හට

සල්මා

ඉන්දියානු මුස්ලිම් කිවිඳියකි.

ඇගේ එකම කාව්‍ය සංග‍්‍රහය වන "ඔරු මාලෙයුම් ඉන්නොරු මාලෙයුම්" ( සැඳෑවක් සහ තවත් සැඳෑවක්) හි එන මෙම කවිය දෙමලෙන් සිංහලට පරිවර්තනය කරන්නේ නිලාර්එ න් කාසිම්ය.

නිලාර්ගේ සහෝදර පියාපත් කාව්‍ය සමුච්චයෙන් උපුටා ගන්නා ලදී.

මීට ස්වල්ප කාලයකට පෙර සල්මා ගේ කවියක් බූන්දිය තුල මා විසින් පළ කරන ලද්දෙන් සල්මා අපට ආගන්තුක නොවේ යැයිද සිතමි.

වර්ණ-කසුන් ගේ අලුත්ම ස්වර සංධවනිය-The Romantic Opera

වර්ණ -The Romantic Opera

කසුන් ගේ අලුත්ම ස්වර සංධවනිය තුල අගක් මුලක් නොවන හිස් තැන් සහ කාල අවකාෂ සමාප්තියෙන් ගොඩනැගීම් තුල සිරව සිත මුදා ගත් ක්ෂණයක තබන සටහනකි මෙය.

කේමදාසයන්ගේ පුනරාගමනයක් ලෙස එක එල්ලේ නිර්වචනය කළ හැකි සිංහල සංධවනියක් නැවත සොයා ගැනීමක් සේ එක වර මට හැගෙන්නේ ඔපෙරා කුලයෙන්ම ස්වයංජාත වන එහි තේමාව විසිනුයි.

කසුන් ගේ ප‍්‍රථම නිර්මාණ සංග‍්‍රහය වන රැඩිකල් පේ‍්‍රමය තුල ඇකෝස්ටික් ගිටාරයේ ස්වර රාව මානවීයකරණය වී ප‍්‍රතිරාව දුන් නිමෙෂයේ සිට මෙ දෙවන රොමෑන්තික ඔපෙරාව දක්වා වූ පරිණාමය හුදෙක් අහඹුතාවයක් නොවන සමාජ බද්ධ කි‍්‍රයාවලියක් ලෙෂ හඳුනා ගැනීමෙ අවශ්‍යතාව විසින් නොවන්නට මෙම ලියවිල්ල කිසි දින මා අතින් නොලිය වෙනු ඇත.

සංගීතයේ නව්‍යකරණයේ කොන්ත‍්‍රාත්තුව ස්වයංපැවරුමක් බවට පත් කරගත් හෝ සිය ඒකාධිකාරයක් බවට පත් කරගනිමින් ලාංකීය සංගීත ක්ෂේත‍්‍රය උඩුයටිකුරු කිරීමෙ ව්‍යපෘතියේ පෙරගමන්කරුවන් සංගීත ශිල්පීන් එක රැයෙන් සුපිරි තරු බවට සුපර්නෝවාකරණයේ බහුවිධ මාධ්‍ය ප‍්‍රවණතා මාධ්‍යයේ කසුන් වැනි නිර්මාණශීලි විසංයෝජක සංගීතඥයන්ගේ පැවැත්ම හෝ ප‍්‍රාදුර්භූතය සංගීතයේ හෙට දිනය ගැන බලාපොරොත්තු දල්වන්නකි.

සංගීතාත්මය උපදින්නේ හෘදය සංවාදී වීම තුලින් බව තරයේ අදහන්නකු වන කසුන් සිය ස්වාත්මක අව්‍යාජ හඩ මුසු කරන අති මානවීය වූ ප‍්‍රතිබදධිතයා නදීක ගුරුගේය.

නදීක සහ කසුන් අපූර්ව සුසංයෝගයකි.

ඔවුන් මිනිස් කටහඩ එහි නිම්වළලල්ලෙන් ඔබ්බට කැඳවා යන්නෝ වෙති.

වර්ණ එහි කූටප‍්‍රාප්තියයි.

වර්ණ ගීතය වාදන භාණ්ඩවලින් වියුක්ත මානව හඩ පමණක් යොදා නිර්මාණිත ගීතයකි.

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
20090125