Thursday, February 17, 2022

ක්වොන්ටම්-බෞද්ධ ලෝක අතර සැරිසරන ඩෝසන්ගේ ප්‍රබන්ධය-අනුසර වීරසිංහ-"අනිද්දා" පුවත්පත (2022/02/13)

 ක්වොන්ටම්-බෞද්ධ ලෝක අතර සැරිසරන ඩෝසන්ගේ ප්රබන්ධය

අනුසර වීරසිංහ

"අනිද්දා" පුවත්පත (2022/02/13)

විද්යා ප්රබන්ධ ශානරයට අයත් ආශ්වාදජනක නවකතාවක් ලාංකිකයෙකු අතින් ලියැවෙන්නේ කලාතුරකිනි. ආතර් සී.ක්ලාක්, නැතිනම් මෑත කාලීනව ජාත්යන්තරයට ගිය යුධංජය විජේරත්න වැනි ලේඛකයෙකු අතින් හැරුනු කොට එවැන්නක් ඉංග්රීසි බසින් ලියැවෙන්නේ ඊටත් කලාතුරකිනි. එසේම, එවැනි විද්යා ප්රබන්ධයක් ඩෝසන් ප්රීතිගේ පළමු නවකතාව තරම් අපූර්ව සහ නිර්මාණාත්මක වන්නේ ඊටත් කලාතුරකිනි. ඉතින්, අද මාගේ ලිපිය හරහා ඩෝසන් ප්රීතිගේ නවතම විද්යා ප්රබන්ධය වන "The Basis" (දි බේසිස්) නවකතාව ගැන අදහසක් පළ කරන්නට සිත් වූයේ එබැවිනි.
මිනිස් ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේම කතන්දර කීමේ කලාව (storytelling) හරහා ය. "හෝමෝ සේපියන් මානවයා කියන්නේ කතන්දර හරහා හිතන්න පුරුදු වුනු ජීවියෙක්. ඔහු හැමවිටම හිතන්නේ ඔවුන් ජීවත් වන මේ විශ්වයත්, වීරයන් සහ දුෂ්ටයන්, ගැටුම් සහ විසඳුම් මෙන්ම උත්කර්ෂයන් සහ සතුටුදායක අවසානයන්ගෙන් පිරුණු කතන්දරයක් කියලයි. අපේ ජීවිතයේ අර්ථය හොයාගෙන යද්දි පවා අපි ඇත්තටම හොයන්නේ තමන් ජීවත් වන මේ යථාර්ථය පැහැදිලි කරන්න පුලුවන් කතන්දරයක් සහ එහි තමන් රඟපාන චරිතය මොකක්ද කියලයි." මෙසේ පවසන්නේ සුප්රසිද්ධ ඉතිහාසඥ යූවල් නෝවා හරාරි විසිනි. සැබැවින්ම, ආරම්භයේ සිටම මිනිස් මනස පුහුණු කොට ඇත්තේ සිය පැවැත්මේ කතාව මුල, මැද, අග සහිතව ගලා යන ආඛ්යානයක් ලෙස පරිකල්පනය කිරීමටය. බයිබලය, කුරානය ඇතුළු බොහෝ ආගමික ලියැවිලි පාහේ රචනා වී ඇත්තේ එලෙස මිනිසා බිහි වීමේ සිට විනාශ වීම දක්වා වූ කතන්දරය පුරෝකතනය කිරීම සඳහාය. එකී ආගමික කතන්දර අනෙකුත් අන්දරයන්ට වඩා සුවිශේෂී වන්නේ ඒවායේ ලියැවී ඇති සිදුවීම් සැබෑ ලෝකයේ සිදු වී ඇති බවටත්, ඉදිරියේදී සිදුවනු ඇති බවටත් කුඩා කාලයේදීම මිනිස් මනසේ ගොඩනගන දෘෂ්ටිවාදය නිසාවෙනි. මන්ද යත්, ඒ සෑම කතාවක්ම ලියන්නේ අප මේ ජීවත් වන යථාර්ථය නිර්මාණය කළ සර්වබලධාරී දිව්යමය රචකයෙකු විසින් බවට එකී ආගමිකයන් තුළ දැඩි විශ්වාසයක් පවතී.
"The Basis" නවකතාවටද පාදක වන්නේ එලෙස සිය පරිකල්පන ලෝකයේ පවතින කතන්දර යථාර්ථයේ ප්රතිනිර්මාණය කරන්නට සර්වබලධාරී දෙවියන්වහන්සේට වූ හැකියාව අනාගතයේදී මිනිසුන් ගොඩනගන ලද විද්යාව විසින් උදුරාගතහොත් ලෝකයට අත්විය හැකි ඉරණමයි. මෙය කියාපෑමට රචකයා සිය නවකතාවටම ආවේණික වූ "ටැරන්ටිනෝලන්තය" (Tarantinoland) නම් පරිකල්පිත රාජ්යයක් නිර්මාණය කරයි. ඒ නම ඇසූ සැණින් අයෙකුට සිහිවන්නේ වෙඩි තැබීම්, හිංසනය, අඳුරු ප්රහසනය ආදියෙන් පිරුණු ඇමෙරිකානු නාස්තිකවාදයේ (American nihilism) හරස්කඩක් සිය චිත්රපට හරහා ප්රේක්ෂකයා වෙත රැගෙන එන ක්වින්ටන් ටැරැන්ටිනෝ නම් අධ්යක්ෂකවරයාවයි. සැබැවින්ම, නවකතාව තුළ අපට හමුවන 'ටැරැන්ටිනෝලන්තයත්', ටැරැන්ටිනෝගේ චිත්රපටයක් සේ නීතිය, සමාජ ආචාරධර්ම පිරිහී ගිය, සිවිල් යුද්ධයක් මධ්යයේ දූෂිත අධිකාරිවාදී රාජ්ය තන්ත්රයක් පවතින, සත්ය කතා කළවුන් අනපේක්ෂිත ලෙස ඝාතනය වන ඩිස්ටෝපියානු(dystopian) සමාජයකි. එය ජෝර්ජ් ඕවෙල්ගේ 1984හි හමුවන ඕෂනියාවද, මාගරට් ඇට්වුඩ්ගේ "The Handmaid's Tale" කෘතියේ හමුවන ගිලියඩ් නගරයද, නැතිනම් අප සැම ජීවත් වන සමකාලීන ශ්රී ලංකික රාජ්යයේම පිළිබිඹුවක්ද යන්න සිතා බැලිය යුතුය.



මෙම නගරයේ වාසය කරන ලංකාතිලක සිරිමාන්න නම් ලේඛකයෙකුට දිනක් කොන්ස්ටන්ටින් නැමැති ආගන්තුකයෙකු අමුතු යෝජනාවක් ගෙන එයි. කොන්ස්ටන්ටින්ට අවැසි වන්නේ මාක්ස්වාදී විප්ලවකරුවන් පිරිසක් විසින් අනපේක්ෂිත මොහොතක ටැරැන්ටිනෝලන්තයේ පාර්ලිමේන්තුව පුපුරනද්රව්ය යොදා පුපුරවා හැරීම ගැන කතාවක් මෙම රචකයා ලවා ලියවා ගැනීමටයි. එහෙත්, එම කතාව ලියා අවසන් කළ පසු එය හුදු ෆැන්ටසියක් නොවනු ඇති බවටත්, ඔහු ලියූ අන්දමින්ම පාර්ලිමේන්තුව පිපිරවීම යථාර්ථයේද සිදු වනු ඇති බවටත් ආගන්තුකයා අනතුරු අඟවයි. එය කෙතරම් සදාචාරයට පටහැනි සහ අදහාගත නොහැකි යෝජනාවක් වුවද, දවස් කිහිපයක් තුළ මෙම මායාකාරී කතාව සම්පූර්ණ කළහොත් තම ජීවිතයේ ගැටළුවලින් මිදිය හැකි තරම් මිලියන හතරක මුදලක් ලබා දීමට ආගන්තුකයා එකඟ වන බැවින් රචකයා මෙම යෝජනාව පිළිගනී. "මට මෝඩයන් 225දෙනෙක් පුපුරවලා දාන්න ඉතිරි වෙලා තියෙන්නේ පැය එකසිය විස්සයි!" ලංකාතිලක සිය කතාව රචනය අතරතුර සිතන්නට වෙයි. එබැවින්, මෙම කතාව එක් ආකාරයකින් යථාර්ථය සහ ප්රබන්ධය අතර සීමාමායිම් බිඳ දමයි. එසේම එය නිසැකවම අනාගතයේ සිදු වීමට නියමිත සිදුවීමක් ගැන අනාවැකියක් පවසන පෙර කී අන්දමේ ආගමික ලියැවිල්ලක් වැනිය. එහෙත්, එම අනාගත සිදුවීම සිදු වන්නේ දැන් ලංකාතිලක හිස් කඩදාසි මත ඒ සිදුවීම රචනා කළහොත් පමණි.
මෙය හුදෙක් ෆැන්ටසිමය සිදුවීමක් ලෙස එක්වරම පාඨකයාට දිස් වුවද, ටයිටැනික් නෞකාවේ මුහුදුබත් වීම සම්බන්ධයෙන්ද මෙවැනි අද්භූත අන්දරයක් ඇත. ටයිටැනික් නැව ගොඩනැගීමට සිතාවත් නොතිබූ, ඊට වසර දහහතරකට පෙර කාලයේ මෝර්ගන් රොබර්ට්සන් නම් ලේඛකයෙකු "The Wreck of the Titan" නම් කතාවක් රචනා කළේය. අනාගතයේ නිමැවීමට නියමිතව තිබූ ටයිටැනික් නැවේ දිගට සහ එය රැගෙන ගිය පිරිසේ සංඛ්යාවටද බොහෝ සෙයින් සමාන වූ මේ ප්රබන්ධයේ එන නෞකාව, කතාව අවසානයේදී ටයිටැනික් නැව සේම අයිස් පරයක හැපී විනාශ වෙයි. එකල මිනිසුන් සැක කලේ මෙය ලියූ ලේඛකයා ටයිටැනික් නැවේ අනාගතය කාලයකට ඉහතදී අනාවැකියකින් කීමට තරම් අසාමාන්ය මානසික ශක්තියක් වූ අනාවැකිකරුවෙකු ලෙසය. එහෙත්, මේ කතා එකිනෙකට සමාන වන්නේ කෙසේද යන්න නොවිසඳුනු ගැටලුවකි. ඒ අනුව, විශ්වයේ පවතින මෙවන් අනාගත හා අතීත සිදුවීම් අතර යම් අන්තර්සම්බන්ධයක් තිබිය යුතුය. කාලය තව දුරටත් මිනිසා තොටිල්ලේ නැළවෙද්දී අසා සිටි කතාවක සේ අතීතයේ සිට අනාගතයට ගලා යන හුදු සරල මානයක් නොවේ."Delayed Choice Quantum Eraser" වැනි පරීක්ෂණයකින් පවා විද්යාඥයන් වරෙක ඔප්පු කිරීමට උත්සාහ දැරුවේ එලෙස මිනිස් ශිෂ්ටාචාරයේ කතාවට හුදු හේතුපලවාදී ගලායාමක් නොමැති බැව් විය හැකිය. කෙසේ නමුත්, එලෙස ටැරන්ටිනෝලන්තයේ අධිකාරිවාදී පාලනයට එරෙහිව දියත්වන විප්ලවයක කතන්දරය එක් අතෙකින් කියවන්නට ලැබේ.
අනෙක් අතින්, මීට සමාන්තරව දිවෙන තවත් කතාවක් අපට මෙම නවකතාවේදී හමුවේ. එහි සිටින්නේද ලංකාතිලක වැනිම තවත් ලේඛකයෙකි. ඔහුගේ නම ගණනාථය. දිනක් හුදෙකලාවේ ගිලිණු ගණනාථගේ නිවසට එක් ස්ත්රියක් කඩාවදී. ඈ පිස්තෝලයක් අමෝරාගෙන සිටින්නීය. තමන් මීට වසර ගණනාවකට පෙර ගණනාථ විසින් රචනා කළ කතාවක චරිතයක් ලෙස ජීවත් වූ බව ඈ පවසයි. එහෙත්, පසුව එම කතාව සැබෑ ලෝකයේ සිදු වන්නට පටන් ගත් බවද, ගණනාථ විසින්ම එකී කතන්දරයට දුන් අවසානය අනුව ඇයට මියයන්නට සිදු වූ බවද ඇය පවසා සිටියි. ඇය මේ පැමිණ සිටින්නේ කතන්දරය තුළ තමාව මරා දැමූ ලේඛකයාගෙන් පළිය ගන්නටය. එහෙත්, මෙහි පවතින ගැටලුව වන්නේ කාලයකට ඉහත මියගිය ප්රබන්ධමය ස්ත්රියක් යලි ඔහු ඉදිරියේ පෙනී සිටින්නේ කෙසේද යන්නයි. මට ඇයව එක්වරම දිස්වූයේ ෂෘඩිංගර්ගේ බළලා (Schrodinger's cat) වාගේය. මන්ද, කලෙකට ඉහතදී අර්වින් ෂෘඩිංගර් නම් විද්යාඥයා අපූරු පරීක්ෂණයක් සිදු කළේය. ඔහු සිය බළලා විකිරණශීලී මූලද්රව්යයක් සහිත බඳුනකින් යුතු පෙට්ටියකට බහාලා වසා තැබුවේය. යම් කාලයකට පසුව පෙට්ටිය නිරීක්ෂණය කරන විට එක්කෝ ඔහුගේ බළලා විකිරණශීලී ද්රව්යයේ බලපෑමෙන් මියගොස් තිබිය යුතුය, නැතිනම් ජීවත් විය යුතුය යන පුරෝකතනය විය. සම්භාවිතාවක් පැවතුණේ එකී සිදුවීම් දෙකෙන් එකක් වීමට පමණි. නමුත්, පසුකාලීනව ක්වොන්ටම් භෞතික විද්යාඥයින් මේ සිදුවීම උපයෝගී කරගෙන පවසා සිටියේ ෂෘඩිංගර්ගේ බළලා එකම මොහොතක එක් විශ්වයක ජීවත් වන බවත්, තවත් සමාන්තර විශ්වයක මියගොස් සිටිය හැකි බවත්ය. මේ ස්ත්රියද එසේ එක් විශ්වයක මියගොස් තවත් එකක පවතිනවා විය හැක. කෙසේවුවත්, එවැනි සරල පර්යේෂණයක් හරහා අපගේම හැඩරුව ඇති සතුන්, මිනිසුන් තවත් සමාන්තර ලෝක අනන්ත ගණනක පැවැතිය හැකි බවට විද්යාඥයන් තර්ක කරන්නට විය. එමෙන්ම, ඒ සෑම ක්වන්ටම් ලෝකයක්ම සෑදී ඇති ක්ෂුද්ර ක්වන්ටම් අංශු තුළ පවත්නා තන්තු (strings) පවා මිනිසාට ළඟා විය නොහැකි විවිධ මානයන්හි පැතිරී ඇති බව සොයා ගැනුණි.



මේ අදහස ඩෝසන්ගේ නවකතාව තුළ බෞද්ධ විශ්වවේදයේ කියැවෙන නිරය, ප්රේතලෝකය, මිනිස්, දේව, සුර, අසුර ලෝක ආදී වූ ප්රතිසන්ධිතල තිස් එකක් පවතින බවට වන මතය සමග සහසම්බන්ධ කරයි. කතාව අතරතුර ගණනාථ මෙම දෛව ස්ත්රිය සමග එකී විවිධ තල හරහා ගමන් ගන්නේ, මිනිසෙකු මියගිය පසු ශරීරය හැර යන ගන්ධබ්බ හෙවත් බාර්ඩෝ(Bardo) ආත්මයක් වාගේය. මන්ද යත්, රිපොන්චේගේ තිබ්බතීය මළපොතට අනුව විඥානයකට ඇසිපිය හෙළන සැණින් තමන් සිතන ස්ථානයකින් මතුවිය හැකිය. එය මව්කුසක් සොයා අහසේ පාවයන සේකරගේ ප්රබුද්ධ කාව්යයේ එන චරිතය සේම, ගැස්පර් නොඒගේ "Into the void" වැනි සිනමාපටයක් සිහිගන්වයි. අපට මෙතෙක් මිනිස් ලෝකයේදී පැවති කාලය පිළිබඳ ගැටලුව නිරාකරණය වන්නේ ඔවුන් මෙම ප්රේත, දේව ආදී ලෝක අතර සැරිසරන විට සිදුවන කතාබහෙනි.

මිනිස් ලෝකයට ඇත්තේ දිග, පළල, උස යන භෞතික මාන තුන සහ කාලය යන එක් මානයකි. එහෙත්, මෙහිදී මෙම ස්ත්රිය තර්ක කරන්නේ වෙනත් ප්රතිසන්ධි ලෝකවලදී කාලයද මිනිසාට හසු නොවන බහු තලයන්හි පැතිරී ඇති බවයි. උදාහරණයක් ලෙස, මහාබ්රහ්මයා වැඩසිටින්නේ 14වන ප්රතිසන්ධි තලය වන බ්රහ්මපුරෝහිත ලෝකයේය. එහි කාලය මාන හතරක පැතිරී පවතී. මහා බ්රහ්මයාට ඔළු හතරක් ඇත්තේ එම මාන හතර පෙන්වීමට බව ඇය කියයි.එසේම, ලෝකයම මවිතයට පත් කරමින් සොයාගත් සමහරක් ගණිත සමීකරණ, තමා භාවනානුයෝගීව සිටින විට දෙවියන් විසින් මනසට ලබාදුන් බව පවසන රාමනුජන් වැනි විද්යාඥයින් සමග සම්බන්ධ වූ එකී ඉහළ තලයන්ගෙන් පැමිණි දේව ජීවීන් පවා අපට නොපෙනෙන කුඩා අංශු ලෙස පැවතිය හැකි බවට ඔවුහු සිතති. එසේම, ඔවුහු සිය නිවසේ වාසය කරන බළලා අයත් වූ තිරිසන් ලෝකයටද ගමන් කරමින් ඌ සමග කතාබහේ යෙදෙති. ඒ සෑම ජීවියෙකුටම වෙන් වූ ජීවිත කතාවක් සහ ඔවුන්ට පැවැත්මට සුදුසු කාලාවකාශ මානයන් මේ විශ්වය විසින් නිර්මාණය කර ඇති ආකාරය ගැන අපට පුදුමයක් දැනේ. එසේම, මිනිසුන් සමග කතා කරන අමුතු පූසන් සැමවිටම හමුවන්නේ හරුකි මුරකමි නම් ජපන් මායා යථාර්ථවාදී ලේඛකයාගේ කෘති තුළින් පමණක්ම නොවන වගද අපට පසක් වේ.
මේ ආකාරයට, ලේඛකයෙකුගේ පරිකල්පන ලෝකය තුළ මැවෙන චරිත සත්ය ලෝකයට රැගෙන එමින් යථාර්ථයත්, ප්රබන්ධයත් අතර මායිම් බොඳ කරන මෙම විද්යා ප්රබන්ධය අවසානයේ එකී විප්ලවකරුවන්ගේ කතන්දරයත්, මෙම දෛව ස්ත්රියගේ කතන්දරයත් අපූරු ලෙස එකට එක් කොට සිහිනමය වියමනක් ගොඩනගයි. ඉතින්, අපගේ මනසේ මැවුනු චරිත, විවිධ තලයන්හි ජීවීන්, කතන්දර සැබෑවට අද්දකින්නට ලැබුනහොත් කුමක් වනු ඇද්ද? "The Basis" නවකතාව මෙයට පිළිතුරු සපයයි.