Tuesday, June 25, 2013

පුද්ගලිකත්වය


මම ඉතා බය වෙමි
මගේ පුද්ගලිකත්වය එළිදරව් වේ යැයි!
මගේ රහස් එළිවේයැයි!!

මගේ කුපාඩි-ජාගර-ම්ලේච්ඡ සිතිවිලි
අන් අය දැන ගනී යැයි
මම ඉතා බය වෙමි

මගේ ඊමේල් වෙන කවුරු හෝ කියවාදැයි
මගේ දුරකතන ඇමතුම් වෙන කෙනෙකු අසා දැයි
මගේ කෙටි පණිවිඩ වෙන අයෙකු දකිතැයි
මම අසීමිත ලෙස බිය වෙමි

මන්ද යත්

ඒවායේ ඇත්තේ සැබැවින්ම
ගොලු කළ මගේ ම්ලේච්ඡත්වය බැවිනි

මා විටෙක කිසියම් ගැහැණියකට
පෙම සිඟා ලියූ කියූ දෑ
ඒවායේ සැඟව ඇත
මා විටෙක කිසියම් ගැහැණියකට
සරාගී උසුළු විසුළු ලියමින්
සැඟව කළ ප්‍රහාර ඒවායේ සැඟව ඇත

මගේ බැංකු පොත ට වඩා
ධනය මා සතුයැයි
මා මටම පවසමින් සිටින බැවින්
ඒ බොරුව අන් අයෙකුට අනාවරණය වීම
මට බියකරු සිහිනයකි

මගේ ණයවර පත
මා කොතරම් දුගී දැයි මුනිවතින් රකිනා බැවින්
එය අන් අයෙකුට අනාවරණය වීම
මා හිස මත ඛේදවාචකයක් කඩා පාත් වීමකි
මගේ ගර්වය සිඳ ගැනීමකි

මගේ උප්පැන්න සහතිකය
මගේ සැබෑ වයස-උපන් ස්ථානය
මවුපියන්-කුලය මලය-ආගම නිහඩවතින් රකිනා බැවින්
එය අන් කෙනෙකු හට අනාවරණය වීම
මගේ සමාජ ජීවිතය විනාශ කර ගැනීමකි

වෛද්‍ය වාර්තා අතිශය රහසිගත විය නො යුතු ද?
මගේ සෞඛ්‍ය දුබල ව ඇත්තේ
මගේම දුරාචාරී දිවි පෙවෙත නිසා බැව්
අනෙකා දැන ගත් විට මා කොතැනක සැඟ වෙම් ද?

අන්තර්ජාලයට වන් විගස
වැල බලමින් ගෙවූ අනේක වරු ගණන් කාලය
මා සෙවූ විපරිත කාම ලෝකය -කාම ආශ්වාදය
අන් අය දනී නම්
ගෙදරකට මා වැද්ද ගනී දැයි බිය වෙමි
මේ සියල්ල එක රැයකින් මකා ලා
අලුත් මිනිසෙකු ලෙස හෙට මට
නින්දෙන් මිදී නැගිට ගත හැකි ද?
එසේ බැරි බව ඒත්තු යන හැම මොහොතක
මගේ රහස් රැක ගන්නට සියලු වෙර වීරිය යෙදිය යුතුව ඇත

මුහුණු පොතේ දකින දකින දේ වෙත
"ලයික්" දැමීමෙන් මා මගේ ආශාවන් හෙලිදරව් කර ඇත!
අන් අයට මගෙ ලයික් දැමිලි නොපෙනෙන ලෙස ඒවා "ඉනැක්ටිව්" කරන ලෙස
මම යදිමි ඉතා ගෞරවයෙන්
මම මගේ ආශාවන් අන් අය දැන ගන්නවාට බිය වෙමි
එනමුත්
මගේ ආශාවන් මම ලයික් දමමින් ප්‍රදර්ශනය කරමි
ඒ ලයික් දැකිය යුත්තේ මා ලයික් අය පමණි
අන් අය එය දැකුම මට භීතියකි...

මගේ පුද්ගලිකත්වය රැක ගැනීමට
කරුණාකාර ඔබ සැවොම එක පෙලට එනු මැනවි...

ඔබගේ පුද්ගලිකත්වය රැක ගැනීමට ඇවැසි නම්
මගේ පුද්ගලිකත්වය රැක ගැනීමේ අරගලයට
ඔබ ද එකතු විය යුතුය
මේ මොහොතේම

එසේ නොමැති නම්
අපි කෙසේ අපගේ ම්ලේච්ඡ ආශාවන්
තවදුරටත් රහස් ලෙස රැක ගනිමු ද?

25/06/2013