Posts

Showing posts from April, 2009

මෙන්න මගේ දරුවත්!

Image
මිනිසුන්ට බඩට අහරක් තොලගට දිය බිඳක් ගතට කඩමාල්ලක් හිසට හවුහරණක් ගතට නැවුම් සුළගක් සිතට ප‍්‍රමුදිත සිතුවිල්ලක් නිස්කලංකයක් සමාධියක් ලැබෙ නම් මහතුනි වෙඩි තියලා දාන්න මෙන්න මගේ දරුවත්! ඩෝසන් ප‍්‍රීති 200904

තිස්ස අබේසේකර

අප අතරින් වෙන්ව ගිය තිස්ස අබේසේකරයන් ගේ 'අයාලේ ගිය සිතක සටහන්' කෘතියෙන් උපුටා ගත් පහත රචනය ඔහුගේ විචක්ෂණ නුවණ පිලිබඳ කරනු ලබන සම්භාවනාවක් ලෙස මෙහි සියල්ලන්ගේ කියැවීමට පළ කරමි. අකුරින් රූපයට අප ගේ මෙ යුගය කෙළවර වීමට කලින් මළපොතේ අකුරක් නොදන්නා පණ්ඩිතයින් අපට හමු වනු ඇතැයි කලා හා ජනමාධ්‍ය පිළිබඳ සමකාලීන බුද්ධිමතුන් අතර විශිෂ්ටතමයකු වන ජෝර්ජ් ස්ටයිනර් පැවසූයේ මීට වසර පහළොවකට පමණ පෙර දීය. පසුගිය ශතවර්ෂය පුරා ඇගපතට නොදැනී සිදු වුණ හා තවමත් සිදු වෙමින් පවතින මහා විපර්යාසයක මූලික හරය ස්ටයිනර් ගේ කියමන කදිමට හකුළා දක්වයි. එනම් දැනුම ලබා ගැනීමෙ දැනුම බෙදා හදා ගැනීමෙ හා දැනුම ගබඩා කර තැබීමෙ ප‍්‍රධාන උපකරණය වශයෙන් භාෂාව දැරූ ඒකාධිකාරය කෙමෙන් බිඳ වැටෙන්නට වූ වගයි. ඒ කටයුත්ත ඉටු කර ගැනීමෙ දී අද භාෂා ඥානය තරමට ම රූපඥානය ද වැදගත් වී ඇත. තව නොබෝ කලකින් දැනුමෙ දොරගුළු විවෘත කර ගැනීමෙ ප‍්‍රධාන යතුර සාක්ෂරතාව නොවනු ඇත. මිනිසා බහතෝරන්නට වූ දා පටන් කල්පකාලාන්තරයක් මුළුල්ලේ දැනුමට, බිණුමට විනෝදයට හා වින්දනයට ප‍්‍රධාන වාහකය වූ අක්ෂරය අභිභවා අද රූපය මතු වෙමින් පවතියි. මෙය එසේ මෙසේ පෙරළියක් නොවෙ. මිනිස...

සියළු ඇනෝනිමස්ලාට ආදරෙන්

සියළු ඇනෝනිමස්ලාට ආදරෙන් To Anonymous with love පික්සල් පලාගෙන එන අදිසි නමක් නන්නාඳුනන තුවක්කුකරුවෙක් ඇනෝනිමස් anonymous මිනිසත් භවයේ නවතම ආත්ම බහු ආත්මික මිනිසුන්ගෙන් ඔව් උනට ආත්ම ගොඩයි ඇනෝනිමස් කෙලෙස හඳුනා ගන්න ද මෙ භූමිකාව සබඳ; ඇනෝනිමස් බසයක නන්නාඳුන ගැහැණියකට හේත්තු වූවා වැනි දිගට හරහට තවයිසිත ගත උරයි මනසින් ඇගේ රොනවුල් නන්නාඳුනන ගැහැණියක් ඇය කෙලෙස හිරි බිය නැති කළ ද කම් නැත නන්නාඳුනන ගැහැණියකි ඇය ඈ මගේ මව නොවෙයි; ඈ මගේ සොයුරිය නොවෙයි; ඈ මගේ මිතුරියක නොවෙයි; ඈ මගේ ඥාතියකු නොවෙයි; ඈ මගේ කිසිවකු නොවෙයි; ඉතින් කම් නැත ඒ ඇගට හේත්තු වූවාට එය යුද පිටියක බටයකු අතට පත් තවත් එක් සතුරු සන්තකයක් පමණි රිසි සේ එය හසුරුවන්නට අයිතිය ඇත- ඇය ඇයට හිමි නැත ඇය හඩ නොනගයි මුනිවත ඉවසයි ඈ සිතින් ශාප කරයි එය නුඹට නෑසෙයි බසය නොව සයිබරය ගැහැණු නොව බ්ලොග්වලට ඉව කරන සලෙළන් ද මෙ අලුත් ඇනෝනිමස්? ආත්මයක් නැති නිර්නාමික; ශරීර නැති ඒ බඹ ලොව නොව මෙ සයිබරය මෙ අපි සැරිසරන සයිබරය! බඹලොව පරදන නම මිස කය නැති සිත නැති කුස ඇති රහසග නැති අංගය සිඳ ගත් අනංගලා ඇනෝනිමස් ලෙස ජැක් එක නැතිව ගැහැණුන්ට ජැක් ගහන! තම සිතැගි පුපුරුවා ල...

උපකල්පිත සුබ නව වසරක් !

නව වසරක් ලැබූ බව ද උපකල්පනය කර එම නව වසර සුබ යැයි ද උපකල්පනය කර එම 'සුබ' යයි උපකල්පිත දෙය 'සුබ අලුත් අවුරුද්දක්' යැයි කියා ප‍්‍රාර්ථනා කිරීමෙන් එය කියන්නාගෙන් අසන්නා වෙත ද අභිපේ‍්‍රරණය වන්නේ යැයි උපකල්පනය කර එනම් මට සුබ යැයි උපකල්පිත නව අවුරුද්ද එලෙසම ඔබට ද සුබ වීමට මගේ ප‍්‍රාර්ථනය දායක වන බව උපකල්පිතව ඔබට මම 'සුබ නව වසරක් වෙවායි ප‍්‍රාර්ථනා කරමි ' ඩෝසන් ප‍්‍රීති 200904

රතු බිලක් වත්?

අදත් වෙනදා වගේම ජනෙල් මිට්ටම උඩ ඉර! හීතල ජීවිතයකට උණුසුම අරන් පාර වැරදිලා ද කොහෙද හැමදාමත් වගෙ නුහුරුයි මෙ ළගක ඉඳලා සැකයි උඹෙ ගමන! බිලක් අරන් එන්නේ නැද්ද ගෙදර අයිති ගෑණි වගේ? තැපෑලෙන්වත් එවන්නේ නැද්ද විදුලි බල මණ්ඩලේ වගේ? හැමදාමත් පාර වැරදිලා මටත් ඉර එලිය ටිකක් දීලා යනව ද? කිරි කාරයා පත්තර කාරයා වගේ නැද්ද මාසේ අග බිලක් එවන්නේ ? අඩුම ගානේ හිත සැනසෙන්න රතු බිලක් වත්? ඔහොම නොකිය නොහඩ ඉඳලා එක පාරට බිල් එවයි ද? අන්න හඳටත් දඩ ගහලා මෙච්චර කල් ණයට ගත් උඹෙ එලිය වෙනුවට බයයි මට කියන්නත් රනින් හැදුවත් යතුර ඇරියෙ වැරදි දොරක්නිසා අන්න යතුරු වඩුවත් දැන් හිරෙ! නැද්ද මාසේ අග බිලක් හෙම එවන්නේ ? නැද්ද බදු හෙම ගනන් ගන්නේ ? අඩුම ගානේ හිත සැනසෙන්න රතු බිලක් වත්? ඔහොම නොකිය නොහඩ ඉඳලා එක පාරට බිල් එවයි ද? හිර ගෙදර මූසලයි බදු ගෙවුම සැපක් ... ! ඩෝසන් ප‍්‍රීති 200904

ස්තුතියි පො‍්‍රමිතියස්

හැන්දෑවෙ කාමරෙන් එලියට ආවෙ දුම්වැටිය දල්වන්න ඈත ආකහේ රන්පාට ඉරෙන් ගින්දර ගන්න පියාඹලා යන මොක්කුන්ද කුරුල්ලෝ වගයක් ගිනි කුරුල්ලෝ...වෙන්නැති හදිසියේ පො‍්‍රමිතියස් මෙන්න ගින්දර අරං ඇවිත් මා ඉස්සරහම දල්වගෙන අලියා ගිනි කූරක් දෙවියො වෙන්නැති අර ඈත ඔරවන් ඉන්නේ ඈතින් කඳු මුදුනේ... ඔවු දෙවියො තමයි තරහයි මට ගින්දර දුන්නට අන්න පො‍්‍රමිතියස් ගිජිකුළු පව්වෙ දම්වැල් ලා ගැට ගහලා දෙයියො දඩුවම් දීලා ප්‍රොමිතියස් ට; අහිංසක මම දුම් වළලු මැදින් දැක්කා අර ගින්දර සොයා ගිය ගිනි කුරුල්ලෙක් පො‍්‍රමිතියස්ගෙ අක්මාවට කොටනවා මහ මෙරත් නො ඉවසන දඩුවමක්! ගින්දර දුන්නට ස්තුතියි පො‍්‍රමිතියස් මම මගේ පෙණහල්ල තවනවා උඹ අක්මාව දන් දුන්නට මගේ ගින්දර අවුලන්න උඹ ගලක් උඩ වැතිරිලා ගිනි කුරුල්ලන්ට අක්මාව කන්න ඇරලා වෙදනාවෙන් මගේ නිදහස ගැන උදම් අනනවා... මම විතරක් නිදහසේ ඇවිදිනවා තාමත් දුම් බොනවා... ස්තුතියි පො‍්‍රමිතියස් ! අපි දෙන්නම එක වගෙයි... ඩෝසන් ප‍්‍රීති 200904

සෙමට පිතට ආදරය සහ පේ‍්‍රමය

සෙමට පිතට ආදරය සහ පේ‍්‍රමය නුඹ දෝතින් ගෙනා හිස් හෙප්පුව මට පෙනුනා බුලත් කොල අතුරුදන් වෙලා හෙප්පුව පතුලේ මම දැක්කෙ එක්තැන් වෙච්ච තාත්තා නුඹෙ ඔසරියේ රැලි වලා පොටෙ හීන් රටා ගල් බිංදු වැල සුළගට පැද්දුනේ නැහැ තාත්තාගෙ සුසුමටයි ඔපනැලි රැගුවෙ මම විතරයි ඒ රැලි දැක්කේ පණ ගහන ලූල්ලු වගේ නුඹෙ ඇස්වල කළුම කළු ඉංගිරියාවෙ ඇඳිලා තිබ්බෙ එහා ලෝකයක සිතියමක් ටෙක්ටෝනික් ප්ලේට්; වතුරෙන් මතු උන අඳුරු සොහොන් ගැබක් තරම් නිශ්චල ඩයිනෝසරයන් වැළලුන මම බුලත් හෙප්පුව අතට ගත්තා. ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 200904

කවියා දුටු ගණිකා ස්ත‍්‍රී නිමිත්ත

කවියා දුටු ගණිකා ස්ත‍්‍රී නිමිත්ත රොස පෙති යුගලකි තැලී ගිය දස දහස් වර රාගී සරා සඳ වැදි වැදී පොලා පැන නිමක් නැති තැවුම් ඉවසන රොස පෙති යුගලකි මැද ඇගේ දග යුග එදෙස මම බලා හිඳිමි නොවෙ ප‍්‍රාණය පුරුෂ නිමිත්තට තලන්නට ඔය රොස පෙති යුග අනන්ත වරෙක ඔය සලෙල මිටි පහර කෑ රොස පෙති යුග කියයි ඒ දුක "මහත්තයා ඇයි කල්පනා කරන්නේ ආව කාරිය කරන් යනු මැන අමතක ද කට්ටිය තව එළියේ බලං බව?" ඩෝසන් ප‍්‍රීති 200904

යකඩ දිසාපාමොක්

යකඩ දිසාපාමොක් පුංචි කාලේ මම ඉඳහිට ඇණ මුරිච්චි එක්කහු කළ පුංචි පෙට්ටියක් සුරුට්ටු තිබුනා මා සන්තකේට කිසි කෙනෙකුට පෙන්නුවෙ නැති, අල්ලන්නට දුන්නේ නැති ඇණ -මුරිච්චි -නූල් රෝද -දැති රෝද ද රබර් පටි ද එහි තිබුණා මතකයි මට හොර අරක්කු විකුණ යෙහෙක මැන්ඩිස් මාමා කල් ඇරි මුඩුක්කුවක් වූ ඔහුගේ අබලි පිරුණු කඩකාමරෙ මට පෙනුනේ දෙව් ලොව ලෙස මහ විසාල යකඩ පිරුණු මකුළු දැල් ද තඩි මීයන් ගැරඩියන් ද වාස කොට ගත් ළිඳක් තිබුනා මහා ගැඹුරු; සීතල වතුරත් සපිරුණු කසිප්පු වඩියක් ගහලා හවසට වැඩ අහවර කර මුට්ට කරගහන මාමලා එතන තමයි නෑවෙ ලෑවෙ හොඳ පදමට සූර් වෙලා තම්බපු මංඤොක්කා කාලා හරිමි රජ සැපා කියමින් කෑ කොස්සන් ගහලා නටලා මැන්ඩිස් මාමාගෙ වාඩිය සතුට ඉතිරිලා පැතිරුන සාජ්ජයක් වෙයි හවසට පැදුරු එලන් ගංජ ඔතං වටෙ ඉඳං රගන රැගුම් රණ්ඩු සරුවලක් ඉඳහිට වුවත් නොවුවා සේ සියල්ල ඊළග දවසේ එක් වෙයි; පරණ තරහ මරහ විහිළු විකාර බවට පත් වෙයි ඉඳහිට බර කළු ගැහිච්ච ජියර් රෝදයක් ගෙනවිත් ඒ අතට මෙ අතට පෙරල මගේ පුංචි ඇගිලි තැළුණ ඒ වෙදනාවටත් වඩා ජියර් රොදයේ වගතුග කතන්දරය අහන් ඉන්න මම ආසයි අර කසිප්පු ගඳින් මුවින් යකඩ කෑලි ඔන අතක ඔන විටෙක හසුරන හැටි; අමුණ...

"කුහක ගැහැණුන්ගේ... උන්මාද නෙතු අතරෙ..."

"කුහක ගැහැණුන්ගේ... උන්මාද නෙතු අතරෙ..." නැතිය මෙහි මහ දොළක් මහ එකා ඇඳ උඩ කලක් දරුවන් ද දෙදෙනෙකි උන්ට ද සාගිනි දැනේ රගමි සුරතාන්ත කෝලමක් ඇගත් විකුණන තව දෙයක් එන එකා සිතන්නේ මෙ කෙලිය මට ද උන්ටම සේය බඩ උඩ රගන උන් හට ඉක්මනින් හමාරය ලකුණු කරනට රගමි සුරතාන්ත කෝලමක් කරන්නට වෙන දෙයක් නැත මහතුන් රැයක අවසන දේ මහ දුකක් තුනටිය ද කැලතුණු විලක් බෙහෙත් බොමි නිබඳ මසිරුරම ගිනි ගොඩක් එන එවුන් එය නොදනිතත් සියළු ශිල්ප පෙන්වති මටත් මෝදක ද ගිල දමා'වුත් වරු ගණන් කෙලිනට ලොලේ ඈ පවසනු මට නොඇසේ... "කුහක ගැහැණුන්ගේ උන්මාද නෙතු අතරෙ අයාලේ ගිය ජීවිතේ ඔබෙනි පල ගැනුනේ 'නීනා' ඔබෙනි පල ගැනුනේ 'හනිලින්' ඔබෙනි පල ගැනුනේ 'නතාෂා' ඔබෙනි පල ගැනුනේ 'මරීනා' ඔබෙනි පල ගැනුනේ..." ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 200904

කැත කතුන්ගේ පතිවත පිළිබඳ අධීක්ෂණ වාර්තාව -ජගත් මාරසිංහ

Image
මධුලෝලත්වයේ ව්‍යාකරණ අර්බූදය [අකාලයේ විශ‍්‍රාම ගැනීමට සිදුවූ සුරා සොඩෙකුගේ පසුවදන = පෙරවදන] පස්වාන් දහසකට වැඩි කාලක් බලු වූ මිනිසුන් අතරට එක් වී සිටි මගේ කාබනික සිරුර මා නොදැනුවත් ම මහමග වැතිරෙන සඳ අනෙකුන් මෙන් අහක බලාගෙන නොගොස් මගේ තොල කට ලෙවකා සුද්ධ පවිත‍්‍ර කර ගිය සුනඛයන් සිහි කර යාතිකා කරන වග නම්... බිව්වම පිස්සු හැදෙනවා කියන්නෙ බොරු. බීමෙ ව්‍යාකරණය පැටලුණා ම කායිකව මානසිකව ලෙඩ වෙනවා කියන්නෙ ඇත්ත. බීම කියන්නේ සුන්දර මිනිස් අවශ්‍යතාවක්. ඒකටත් ව්‍යාකරණ තියෙනවා. බීම නවත්තන්න බැහැ කියන්නේ රියල් බොරුවක්. බීම නවත්තන්න බෙහෙත් තියෙනවා කියන්නේ බහුජාතික සමාගම් බොරුවක්. ඒකට ඔන උවමනාව... දෙවන යාතිකාවෙන් කැත කතුන්ගේ පතිවත පිළිබඳ අධීක්ෂණ වාර්තාව ජගත් මාරසිංහ ජගත් මාරසිංහයන්ගේ කැත කතුන්ගේ පතිවත පිළිබඳ අධීක්ෂණ වාර්තාව අමුතුම පොතක් බව නොකියාම බැරිය. එහි අන්තර්ගත වන්නේ යාතිකාවන් හතරකි. එම යාතිකාවන් පුරුෂ කේන්ද‍්‍රීය සමාජය දික් අතට පළා එහි පැති කඩක් පෙන්වන්නට සමත් වන්නේ යැයි මට සිතේ. කිසියම් දේශපාලනික පසුබිමකින් ව්‍යුත්පන්න වන දැනුම් කෝෂ්ඨයකින් පෝෂිත දඩබ්බර සමාජ විපරිතයකුගේ වාගාවලියක් ලෙස නිර්මිත මෙ...