Posts

Showing posts from August, 2012

ඔබ සමග මා සොවෙනි.

තෙවසරකට පෙර දෑසේ නිධන් සදහට දෑස් විවර තුළ සිර කරගෙන මෑණියන් නිසොල්මනේ සැතපෙද්දී මසිත් අර්ධයක් ගරා වැටී ඇද වැටී ඇවිදින මළ කඳක් මෙන් සිටිද්දී රත්න ශ්‍රී, ඔබ ආවා සීනයක් පරිද්දෙන් ඒ මළ ගෙදරට නොසිතු මොහොතක මගේ සිත මොහොතකට සැහැල්ලුව දිරි වැඩෙන්නට ඒ රුව දැකුම ඇසුම මා ඔසොවා තැබුවා... මා හටත් එලෙසම අද එන්නට හැකි නම් ඔබ වෙත මගේ දෑත් ඔබේ දෑත් මත තබා හිස්ව ගිය ජීවිතේ අර්ධයට අංශු මාත්‍රයක ප්‍රාණයක් පිඹින්නට? මේ කුඩා මිනිසාට ඒ සා දිගු දෑතක් නැත... අඳුරට තිබූ එකම ආලෝකය ද වියැකුන කලෙක... ඔබ සමග මා සොවෙනි. 28/08/2012

අමුතු රස රසවතිය

නිර්මානයක රස විඳීමත් ඒ තුළින් ලද රස විඳුම් අත්දැකීම සහෘදයන් හරහා බෙදා හදා ගැනීමත් එක්තරා සතුටකි. එමෙන්ම දුලබ රූපකයන් හරහා එම අත්දැකීම් සමපාත කිරීමත් ඒ අනුසාරයෙන් නව සිතුවිලි ගොඩනැගීමත් ඊටත් වඩා චමත්කාරජනක දෙයකි. එබඳු විරල විඳුම් සටහනක් රසවතියේ ලියැවී ඇත. ලෝකය අප දන්නේ භෞතික වශයෙනි. පසිඳුරන්ට සංඥා වන දේ තුළින් ලෝකය වටහා ගැනුම බොහෝ විට අප අවිඥානිකව කරනා දෙයයි. අපගේ මනසින් පරිබාහිරව මේ අප විඳිනා දෙය ඇත්තට ම තිබේ දැයි අපි නොදනිමු. එය ශතවර්ෂ ගනනාවක් තිස්සේ විවාදාත්මක දාර්ශනික ගැටළුවක් හෙයින් අපි එතනින් නවතිමු. එදිනෙදා ජීවිතයට වැදගත් වන ප්‍රමානයට සිතීම ප්‍රායෝගික සීමාව බැවින් ඉන් එහාට පියවර තැබීමෙන් සියල්ල පිළිබඳ අවුලක් ඇති කර ගන්නවා විනා අමුතුවෙන් ලැබෙන දෙයක් නැති බැව් අප බොහෝ විට වටහා ගෙන ඇත්තෙමු. වචන සරඹ දක්වා ලැබෙන කෙංගෙඩියක් නැති බැව් අප අනන්ත වාරයක් අත්දැක ඇත්තෙමු. හුදෙක් ඒවා අපගේ විනෝදයට හේතු විය හැකි ප්‍රසාංගික ක්‍රීඩා ය. කෙසේ වුව ද අපගේ අත්දැකීම් පමණක් ම අපගේ දැනුමට හේතු නොවන බැව් හෝ අපගේ අදහස් සංවර්ධනයට හේතු නොවන බැව් නොයෙක් උදාහරණ මගින් පෙන්වා දී ඇත්තේ අතීත දාර්ශනිකයන් විසිනි...

සුරඟනගේ ගබ්සාව

කවි නොලියන මා වෙත කවි ම නිරතුරු ප්‍රසූත කරන සුරංගනාවියක් පැමිණ ඇත ගබ්සාවක් කර ගන්නට විශ්වය ඉපදුනි ද කිසි මොහොතක කිසිවක් නොතිබු තැනකින් මතු වුනි ද අච්චර සිතා ගත නොහී පුංචි සුරඟන මා වෙත පෑය ඇගේ හිස් සඳ වත දෙකකුල් මෑත් කොට මතු කර රහස විශ්වයම නිරුත්තර දෑඟුලක් පමණ විනිවිද පෑවෙමි කාලය තෙවසරක් බව කළලෙට මේ සා කලක් දැරුව ද කළලය නොමැත වී වර්ධන දරා තවදුරටත් මේ බර කුමන ප්‍රතිඵලයක් ද කවි නොලියන මිතුර? ඈ මගෙන් අසන්නී මා කුමක් කියන්නේ දෑස විපිලිසරව කටු බටු ආම්පන්න ගතිමි දෑතට කිසිම දෙයක් නොමැති තැනකින් ඕනම දෙයක් ඉපද විය හැකි බව සුරඟන මුමුණද්දී ඒ සියුම් කළල බීජය මරා දැම්මෙමි සුණු විසුනු කොට විශ්වය නැවත ඉපදී ඇති බව දුටිමි සුරඟන පියඹා ගිය කල... 16/08/2012