ජීවිතය සුන්දරය! -පියන්කාරගේ බන්දුල ජයවීර
ජීවිතය සුන්දරය! ඔබ වාගෙමයි මමත් යන්නේ බෝ බැති සිතින් ඔබ රජමහා වෙහෙරට මම සැඳෑ අවන්හලට! දවසක් පුරා දාහයෙන් තැවුණු ගත දොවා සිහිලැල් දියෙන් සන්සුන් වූ සිතින් ඔබ වගේමයි මමත් සිත පිරුණු ප්‍රීතියෙන් ඇවිද යන්නේ හෙමින් ඔබ රජමහා වෙහෙරට මම සැඳෑ අවන්හලට! තබන්නී ඔබ පුදසුනේ මල් පහන් හඳුන්කූරු සීරුවෙන් බැති සිතින් තබයි වේටර පැමිණ මධුවිත කටගැස්ම සීරුමාරුවට මගේ මේසය මත සෑ රදුන් - බෝ රදුන් බුදු රදුන් - දෙව් රදුන්! පුදන්නී ඔබ මල් පහන් සුවඳ දුමින් සිහින් ස්වරයෙන් ගාථා මුමුණමින් සිහින් සත්සර රාව අවන්හල පුරා යයි මධු විතින් සිත මුදුව දුක ඈත පාව යයි ජීවිතය මධුවිතකි එක හුස්මට බී අහවර නොකළ යුතු හෙටත් මෙහි ආ යුතු! වැඳ පුදා අවසන භාවනාවෙහි ගිලී ඔබ ලොව සියල් සත්වයින් නිදුක් වෙනු පතන්නී කළ සියලු පින් මටත්! අනුමෝදන් කරන්නී රෑ බෝවෙනු පෙර තබා අදට "මතට තිත!" පියවි සිහියෙන් කෙළින් කටින් ගෙදර එමි බොහෝ පින් රැස් කර සිත නිවා සනහාන මගේ පින්බර සොඳුර මට කලින් ගෙට පැමිණ බලා ඉන්නී මා එන පෙරමග! මා සොඳුර පින්බරය! ජීවිතය සුන්දරය! පියන්කාරගේ බන්දුල ජයවීර...