Saturday, September 11, 2010

මුළු ලොවම ජනේලෙන්, මගේ පසුපසට යයි!




බසයේ නැගී
අසුනකට බරවුනාම
මුළු ලොවම ජනේලෙන්
මගේ පසුපසට යයි!


ලයිට් කණු බෝක්කු කොඩි වැල්
බැනර් කටවුට් පෝස්ටර්
ඈනුම් අරින කටවල්
කේඩෑරි හකුපාඩ ඉලන්දාරී කටුවැල්


එකම බඩු මුට්ටු පිරුණු නෙක නමින් වූ ග්‍රොසරි
එකම රස එකම දෙස කෑම බීම ටින් පැකට් ඇසිරි
වෙළඳ පොළ මග දෙපස කිසිම වෙනසක් නැති
මග දෙපස මා පසු කර ඇදෙයි නැති කිසි හිරි


සංවර්ධනය කළ ඉඩ කඩම් ගොඩ කරපු
ඉඩම් වෙන්දේසි පයිප්ප කරාම විදුලි සන් කරපු
ඇල වේලි ඉරි තලා සයිබර් කඩ වැහි වැහැපු
මග දෙපස මා පසු කර ඇදෙයි අතීතෙට වල කැපුණු


කොන්ක්‍රීට් වනන්තර ෆයිනස් නගරාන්තර
අසිරිමත් ජාත්‍යන්තර හරිත පැහැ ක්‍රීඩාංගන
දකිනමුත් නිරන්තර නගර තාර පාර දෙපස
බසයේ තවමත් ගමන ලොවම පසුපස ට යන

ක්‍රිෂාන්ගේ මුල් කවි‍ය මුහුණු පොතෙන්

Friday, September 10, 2010

හොලෝග්‍රමික හිස්කම


අපි නිතරම කතා කරන දේවල් කීපයක් තියෙනවා. ජීවත් වීම තුළ පවතින හිස්කම හෝ හොලෝග්‍රමික ස්වභාවය සහ නිසරුබව හෝ සාරයක් නැති බව ගැන අපි නිතරම කතා කරනවා. මේ හිස්කම නිසාවෙන් හෝ සාරයක් නැති කම නිසාවෙන් මිනිසුන් එය බාධාවක් ලෙස සලකා එය පුරවා ගන්නට නොයෙකුත් දේවල් තමන්ට යෝජනා කරගනිමින් ඉන්නවා. නමුත් හොලොග්‍රමයකට ඇත්තේ මතුපිටක් පමණි. එයට ඇතුලක් නැත. මෙහිදී හොලෝග්‍රමය යැයි සඳහන් කළේ තමන්ගේම අනන්‍යතාවයේ බාහිර සම වස්තුවයි. එය දැකීම යනු තමනුත් පවතිද්දී තමන්ගේම තවත් ක්ලෝනයක් දැකීමේ විරල අවස්ථාවේදී උපදවන විශ්මය තරම්ම සිහිවිකල් කරන තත්වයක් වේ. අධ්‍යාපනය තුළින් හෝ කලා සාහිත්‍ය රසාස්වාදනය තුළින් එබඳු හිස්තැනක් පුරවා ගත හැකි යැයි පිරිසක් සිතයි. තවත් සමහරු මුදල් හම්බකර දැවැන්ත ගෙවල් වාහන යනාදී භෞතික දේවල් උපයාගෙන පසුව ඒ දේවල් මගින් ද හිස් බව නොපිරී යාම හේතුවෙන් නොයෙකුත් සමාජ ක්‍රියාකාරිත්වයන්ට ඇතුළු වී දේශපාලනික හෝ සාමාජීය දේවල් තුළට කාවැදී ඒවා තුළින් තම හිස් තැන වසා ගැනීමේ අනවරත උත්සාහයේ යෙදී සිටිනවා. පසුව ඔවුන් සියල්ල ඉක්මනින් වටහා ගන්නා දේ තමයි බලය ගොඩ නගා ගත් විට අර කී හිස්තැන පහවී තමා පවතිනවා ය යන්නා වූ තත්වයක් අත්කර ගත හැකිය කියන මිථ්‍යාව.

එක්තරා පිරිසක් හොඳ වැඩ යයි සම්මත මාර්ගයක් තෝරා ගෙන මේ කන්ද නගින්නට හෝ මේ හිස්තැන නම් වූ තරණය දුෂ්කර දුර්ග මාර්ගය ජය ගැනීමේ උත්සාහයේ යෙදෙද්දී තවත් සමහරු කෙටි මාර්ග හෝ ක්ෂණික මං තරණ ක්‍රම ලෙස දේශපාලනය හෝ සමාජ සිවිල් බලය උපයා ගෙන අර කලින් කී හිදැස පුරවා ගන්නට උත්සාහයේ යෙදෙනවා. මේ දෙගොල්ලම එක්තරා තැනක දී තමන් කොයි මාර්ගය තෝරා ගත්තද අවසන් ඵලය ලෙස ජය ගත නොහැකි තම හොලෝග්‍රමය හමු වීමක් වැනි මායාකාරී අවස්ථාවක් තුළ දී එකිනෙකා විසින් අනුගත මාර්ග හුවමාරු කරගන්නට නිර්ලජ්ජිත ලෙස සැදී පැහැදී එකිනෙකාගේ ආත්ම පාවා ගන්නවා. මේ ආකාරයෙන් කවියෙන් කලාවෙන් සෞන්දර්ය රසාස්වාදනයෙන් උතුම් මගක ගමන් ගත් අය ක්ෂණිකව දේශපාලනික ආර්ථික ව්‍යුහයන් තුළට කාවැදී තම එතුවක් ගොඩනඟා ගත් අනන්‍යතාවය එක රැයෙන් මකා දමා මහ ධනපති හොලෝග්‍රමයන් බවට පත්වෙති. ක්‍රමයේ දැවැන්ත රෝදයක් බවට පත් වෙති. එමෙන්ම ඉතිහාසය පුරාම නිශ්පාදන බලවේගයන් තුළ පීඩිතයන් පවත්වා ගෙන ඔවුන් සූරාකමින් හුන් පිරිසක් ද ක්ෂණිකව සෞන්දර්යවාදීන් කලාකාමීන් කවියන් නළුවන් බවට පත්ව මහා කලා සම්පත්ති ආර්ථික වටිනාකම් පාවා දී සිය කීර්ති නාමයන් හොලෝග්‍රමිකව වෙනස් කරගනිති. මේ දෙකොටසම පවත්වා ගන්නා ජිවිතයේ හිස්කම එක් අවස්ථාවක දී පුරවා ගනු පිණිස තමන්ට සමාජ බලය නමැති මැජික් පොල්ල ලැබුනේ යැයි සිතා ක්ෂණිකව තම ආත්මය තුළ පැසවමින් හුන් තුවාලය තුළට හොලෝග්‍රමික මතුපිටින් ලිස්සා වැටෙයි. ඉන්පසු පෙර කල පරමාදර්ශී ලෙස ජීවත් වූවන් අන්ත පරිහාණියක් පිළිබඳ ප්‍රවෘත්ති සමාජයට මුදා හැර එය සාධාරණීකරණය කර තම අනුගාමිකයන් පිරිසක් සමගින් මාධ්‍ය ලෝකයක වැජඹෙති. මාධ්‍ය මගින් සිමියුලේක්‍රයක් තනා එහි ජීවිතය පටන් ගනී. තමන්ගේ තුවාලය තුළට වැටීමේ වේදනාව අනියම් ක්‍රමයෙන් සමාජයම තුවාල කිරීම දක්වා වර්ධනය වේ. මේ තත්වය ලාංකීය මිනිස් සමාජය තුළ අද ඔඩු දුවා ඇති ආකාරයෙන් කිසිවෙකුටත් ගැලවීමක් නැති තරමින් සමස්ත සමාජයේ දෛශිකමය මහ අනේකත්වය දියවී වාෂ්ප වී ඇති තතු යටතේ තමාගේ අනන්‍යතාවය තම සිතැඟි ලෙස නොයෙකුත් සංකල්ප රූප උදෙසා හුවමාරු කරගනිමින් ද තමන් කැමති අයුරින් නැවත නැවත උපදවමින් ද තම අනුගාමිකත්වයන් තුළ ඔජ වඩමින් යහතින් කාලය ගත කරමින් සිටීමේ මේ යථාව තුළ අප කිසිවෙකුත් ස්වාධීනව හෝ දීනව හෝ නොපවතින බැවින් අප මේ කරමින් ඉන්නා වූ සියළු දේ මහා ප්‍රහසනයන් හෝ විකාරයන් බව අපට නැවතත් උගන්වමින් සිටින බැව් සාක්ෂාත් වේ. අප සමාජයේ ප්‍රහසනාත්මක අවසානයක් නොමැති කිසිදු සංසිද්ධියක් නොමැත්තේ මේ හේතුවෙන් යැයි මට සිතේ. මේ තතු යටතේ ව්‍යුහගත වන නිර්මාණකරුවන් හෝ පුරෝගාමීන් විසින් නිර්මිත කවියක් හෝ කලා නිර්මාණයක් තුළින් අනේකත්වය විශද කර මතුවන සමස්තයක් ගොඩනැගීමේ අරමුණක් හෝ ඔපරේටරමය හැකියාවක් නැත්තේය. ඒ වෙනුවට හුදු හොලෝග්‍රමික ක්‍රීඩාවක් බවට මේ සියල්ල පත් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය හෝ නිදහස වැනි සංකල්ප ද හොලෝග්‍රමයන් බවට පත් වී ඇති තරමට ඒවායේ ක්ලෝනීය සම්බන්ධතා විසින් අපව හොල්මන් කරවයි. අතරමං කරවයි.

නැති දෙයක් තුළ එය සෙවීම යන තකතීරු කමේ අපි සියල්ල ගිලී සිටිමු. එසේ ගිලී සිටීමට අපට මහ අනෙකා විස්ථාපනය කර නැගී ඇති හොලෝග්‍රමික බලජාලයක් විසින් සියුමැලි ලෙස අණකර ඇත. මට ඔබට අඩ ගැසිය හැකි තැනක් නැත. මන්ද යත් ඔබ ඔබටම අනන්‍ය හොලොග්‍රමය හමු වන තෙක් කල් බැලීමට තීරණය කර ඇති බැවිනි.

රාවය
මගේ සිහිනය 18 පිටුව-2010 සැප්තැම්බර් 12 ඉරිදා

Thursday, September 9, 2010

මර්දනයට එරෙහි මාධ්‍යවේදියෝ-මුද්‍රණාල සේවකයන් අත්අඩංගුවට ගැනීම


මුද්‍රණාල සේවකයන් අත්අඩංගුවට ගැනීම විරුද්ධ මතධාරීන් බියපත් කිරීමේ උත්සාහයකි

වත්මන් ආණ්ඩුව විසින් අත්තනෝමතික පාලනයක ලක්ෂණ නැවතත් විදහාපාමින් මුද්‍රණාලයක් සීල් තබා එහි සේවකයන් හදිසි නීතිය යොදාගනිමින් රැඳවුම් නියෝග යටතේ සිරගතකර තිබේ. නුගේගොඩ, ගංගොඩවිල, සරලා ග්‍රැෆික් ආයතනයේ කාන්තාවක් ඇතුළු සේවකයන් 8 දෙනකුට මෙම අසාධාරණය සිදුකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය විසින් සකස් කළ පෝස්ටරයක් මුද්‍රණය කිරීමේ වරදටයි. එම පෝස්ටරය සම්බන්ධ වගකීම තමන් විසින් භාරගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ප්‍රකාශ කර තිබියදී මුද්‍රණාල සේවකයන් අත්අඩංගුවට ගෙන තිබේ. මුද්‍රණය කළ බව කියන පෝස්ටරයේ මුද්‍රණ වගකීම සඳහන්ව තිබියදී එය නීති විරෝධී පෝස්ටරයක් බව දක්වමින් මුද්‍රණාලය සීල් තැබීමත් සේවකයන් අත්අඩංගුවට ගැනීමත් කැකිල්ලේ රජුගේ නීති සිහිගන්වයි.


මුද්‍රණාලයක සේවකයන් සිදුකරන්නේ සිය ජීවනෝපාය සඳහාවන රැකියාවකි. එය ඇතැම් දේශපාලකයන් ධනය ඉපයීමට සහ බලයේ රැඳී සිටීමට කරන පහත් කටයුතුවලට වඩා ගෞරවනීය වේ. මුද්‍රණාලයක යමක් මුද්‍රණය කරනු විනා ආප්ප පුච්චන්නේ නැත. යම් දෙයක් මුද්‍රණය කිරීමේදී එය නීති විරෝධී නම් අධිකරණයකදී ඒ බව සනාථ කර දඩුවම් පැමිණිවීම සාමාන්‍ය ක්‍රමයයි. එසේ නොමැතිව හදිසි නීතිය යොදාගෙන පළිගැනීම පාලකයන්ගේත් පාලකයන්ගේ නියෝගවලට අනුව නීතිය ක්‍රියාවට නංවන නිලධාරීන්ගේත් තරාතිරම කියාපායි. ප්‍රජාතන්ත්‍රවාදී රටක අයිතිවාසිකමක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට වැට බඳිමින් මුද්‍රණාලයක් සීල් තැබීම හා එහි සේවකයන් ප්‍රමාණවත් හේතු විරහිතව අත්අඩංගුවේ තබාගැනීම බලවත් අසාධාරණයකි. පාලකයන් මෙයින් උත්සාහ කරන්නේ තමන් විවේචනය කරන වෙනත් මත දරන්නන් බියපත් කිරීම සහ තමන්ට පක්ෂපාතී නොවන සියල්ලටම යහතින් සිටීමට ඉඩක් ලබා නොදෙන බවට තර්ජනය කිරීම බව හොඳින්ම පැහැදිලිය. මෙම තත්වය පිළිකුලින් හෙළාදකින අපි එම මුද්‍රණාලයට තිඛෙන චෝදනා පිළිබඳ සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරන ලෙසත් එහි සේවකයන් වහා නිදහස් කරන ලෙසත් ආණ්ඩුවට අවධාරණය කරමු.


චන්දන සිරිමල්වත්ත
කැඳවුම්කරු- මර්දනයට එරෙහි මාධ්‍යවේදියෝ
2010.09.09


CONVENER,
JOURNALISTS AGAINST SUPPRESSION (JAS)
178/1/2, Old Kesbewa Rd, Gangodawila,
Nugegoda, SRI LANKA


Mobile Phone: +94-071-481-9791

Tuesday, September 7, 2010

ගං කොමලිය


සුරාවිතින් නුරා සැලී
දෙතොලග සරැලී සැනහී
ඉසියුම් ස්වර සුසුම් ඇසී
සළෙල සිතුම් වළා වැසී


සඳ
අඳුරේ
පොද
ඇසිරේ
සඳකත් දිය විල් පොකුණේ


කල් දිය දහරා රැළි රැළි
අතීතයෙන් අනාවකට
දඟ දියවැල් යහන් ගැබේ
සැතපෙයි ගං දිය දෑලේ


දිය ඉහිරී පෙණ පිපිරී
සුදු මීදුම් මැවු විසිරී
ගල් දිය හා වෙළී වෙළී
මුතු කැට මිණි පෑ දිලිසී


තාලය ගං තලා ලෙසේ
ඇමිණී හස කැන් සහසේ
දෙවුර තලා දෑල බලා
ගඟ දිය ගං පතුලේ ලිහේ


නුරා සෙමර පිල් විදහා
නර්තනයෙන් මන් පුබුදා
ගං කොමලිය දෑත් විදා
ගලා බසී ඉඟ රිදවා

09/2010