Wednesday, December 15, 2010

ඉන්දික ගුණවර්ධනගේ හිතේ කෙටූ ටැටූ



මුහුණු පොතේ කවි බෙදා හදාගත් ඉන්දික ගුණවර්ධනගේ "හිතේ කෙටූ ටැටූ" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ දිනය මේ එන විසිහතර වැනි සිකුරාදාවය.

සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම කවියෙකු ද වන ඉන්දික ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයට උණුසුම් සුභ පැතුම් ගෙන එමි.


හිතේ කෙටූ ටැටූ

පොත අහුලගන්න
ඔයා පහත්උනු තප්පරේට
ටයිට් ඩෙනිම අස්සෙ හිරවෙලා හිටි
ඔයාගේ නිල්පාට සමනලයා
ඉගිල්ලිලා ඇවිත්
මගේ හිතේ වැහුවා

ඌ දැන්
එළවගන්න බෑ මට
රෑට


ඉන්දික ගුණවර්ධන

Monday, December 13, 2010

නිදහස යනුම...

මේ හිස්කම
පුපුරු ගහයි හැම මතුපිට
හරිතප්‍රද ඇතිරුණු
තුරුණු ශාක පතක වුව

ගසකින් හැල්මේ ගිලිහෙන
ක්ෂුද්‍ර පත්‍ර තැති ගැන්වෙයි
පොළව බදන එහැම වෘද්ධ
නිවී සැනසුමට පත් වෙයි

අළුත් දල්ල බියව සැලෙයි
සමහර දළු හැකිලී යයි
බහුතරයක් දළු වරලා
එසැම හිසින් සැඟවීලා

ලදළු ලපලු නැවුම් පතක්
පැරණි මතකයක් පමණි
පත්‍ර වංශ පුරාණයක්
පමණි ශේෂ එක මොහොතක

හරිත පැහැය පෙනෙයි අවට
එනමුත් ඒ ගනඳුරකි ය
ආලෝකය කැටි කර කර
තැනූ අහර නවතීවි ද?

හැම ආහාර දාමයකම
මුලට සිටින හරිත පත්‍ර
තම යුතුකම අමතක කර
අඳුරේ හිස සඟවාගෙන

සොයයි නිදහසේ අරුත
ආලෝකය මහ වැස්සේ
තෙමි තෙමී මිරිකෙන්න
හිරිකඩින් සැනසෙන්න

නිසග අහර සැකසුම
ශාක පත්‍රයටම හිමිය
නිදහස යනුම ලොව වෙත
තම ඒ යුතුකම පිළිගැනීමය

පොළව බදන වෘද්ධ පත්‍ර
ගයයි නිදහසේ ගීතය
නිවී සැනසුමට පත් වෙයි
තම යුතුකම ඉටුකර ලොව


ඩෝසන් ප්‍රීති
12/2010