ස්පිනෝසාගේ කාචයේ සිට දින 28ක AI ව්‍යවසායකයා දක්වා
ස්පිනෝසාගේ කාචයේ සිට දින 28ක AI ව්‍යවසායකයා දක්වා
අපි නිර්මාණශීලීත්වයේ නව යුගයකට පිවිසෙමින් සිටිනවාද, නැත්නම් නිර්මාණශීලීත්වයේ පෙනුම මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරමින් සිටිනවාද?
දාහත්වැනි සියවසේ ජීවත් වූ බාරුක් ස්පිනෝසා (Baruch Spinoza) තම ජීවිකාව සපයාගැනීමට කළ එක් කාර්යයක් වූයේ දුරේක්ෂ සහ අන්වීක්ෂ සඳහා වීදුරු කාච ඔප දැමීමයි. ඒ කාලයේ ඒවා විද්‍යාත්මක ලෝකයේ අලුත්ම තාක්ෂණික මෙවලම් අතර තිබුණා. මිනිස් ඇසට නොපෙනුණු ලෝකයක් දැකගැනීමට ඒ කාච මිනිසාට උපකාර කළා.
එහෙත් ස්පිනෝසා දින විසිඅටකින් දාර්ශනිකයකු හෝ කාච ඔප දමන්නකු වන්නේ කෙසේදැයි කියා පාඨමාලා පැවැත්වූයේ නැහැ. කාච ඔප දැමීමෙන් ඔහු තම ජීවිකාව සපයාගත් අතර, ජීවිතයේ විශාල කොටසක් කැප කළේ ස්වභාවධර්මය, මිනිසා, නිදහස සහ පැවැත්ම පිළිබඳ ගැඹුරු ප්‍රශ්න විමසීමටයි.
සියවස් හතරකට ආසන්න කාලයකට පසුව අපි තවත් තාක්ෂණික විප්ලවයක් මැද සිටිනවා. ඒ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයයි.
අද සමාජ මාධ්‍ය විවෘත කළ සැණින් අපට හමුවන්නේ අමුතු ආකාරයේ පොරොන්දු සමූහයක්.
දින 28කින් AI Developer කෙනෙක් වෙන්න. කේත ලිවීමට නොදැනම App එකක් හදන්න. මාසයකින් ඔබේම AI Business එක පටන්ගන්න. නිවසේ සිටම විශාල ආදායමක් උපයන්න.
මේවායින් සමහරක් ඇත්තෙන්ම ප්‍රයෝජනවත් අධ්‍යාපනික අවස්ථා විය හැකියි. AI නිසා මෘදුකාංග නිර්මාණයට තිබුණු තාක්ෂණික බාධක සැලකිය යුතු ලෙස අඩු වී තිබෙන බවත් ඇත්තක්. කලින් මාස ගණනක් ගතවිය හැකි මූලික මෘදුකාංග ආකෘතියක් අද කෙටි කාලයකින් ගොඩනඟාගත හැකියි.
එහෙත් මගේ කුතුහලය ඇතිවන්නේ මෙතැනදීයි.
අලුත් දැනුමක් නිර්මාණය කිරීමට වඩා, දැනටමත් වෙනත් අය විසින් සකස් කළ ක්‍රමවේද නැවත නැවතත් අලුත් ඇසුරුම්වල බහා විකිණීම වඩාත් පහසු ව්‍යාපාරයක් බවට පත්වෙමින් තිබෙනවාද?
මට මතකයි, කලකට පෙර ධනවතකු වන්නේ කෙසේදැයි කියා ලියූ පොත් උණු කැවුම් මෙන් අලෙවි වූ කාලයක් තිබුණා. ඒවායින් ඇතැම් පොත්වලින් කියැවුණේ ධනවතකු වීමට ඇති එක් මඟක් වන්නේ, ධනවතකු වන්නේ කෙසේදැයි කියා තවත් පොතක් ලියා විකිණීම බවයි!
මෙය එක්තරා ආකාරයක සංවෘත ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක්. එක් අයෙකුගේ සාර්ථකත්වය පිළිබඳ කතාව තවත් අයෙකුගේ ව්‍යාපාරික ආකෘතිය බවට පත්වෙනවා. ඒ ආකෘතියම නැවත තවත් පිරිසකට අලෙවි වෙනවා. අවසානයේදී අලෙවි වන්නේ ධනවත් වීමට අවශ්‍ය දැනුමටත් වඩා, ධනවත් විය හැකි බවට ඇති පොරොන්දුවයි.
මෙහි පිරමීඩාකාර ස්වභාවයක් දකින්නත් පුළුවන්. මුලින්ම එම අදහස වෙළෙඳපොළට ගෙන ආ තැනැත්තා හෝ එහි මුල් අදියර කිහිපයට සම්බන්ධ වූ පිරිසක් ආර්ථික ප්රතිලාභ අත්කරගන්නා අතර, පසුව එයට එකතු වන බොහෝ දෙනාට ඉතිරි වන්නේ ඒ සාර්ථකත්වය නැවත අත්කරගැනීමේ බලාපොරොත්තුව පමණක් විය හැකියි.
එවිට අපට අසන්නට සිදුවන්නේ තරමක් අමුතු ප්‍රශ්නයක්.
ධනවත් වීමට උගන්වන මේ ව්‍යාපාරයේ සැබෑ නිෂ්පාදනය ධනයද, නැත්නම් ධනවත් වීමේ සිහිනයද?
එක් අයෙක් AI මෙවලමක් භාවිත කරන ආකාරය ඉගෙනගන්නවා. ඉන්පසු ඔහු එය තවත් පිරිසකට උගන්වනවා. ඒ පිරිසෙන් කිහිපදෙනෙක් නැවතත් ඒ දැනුම පාඨමාලාවක් බවට පත් කරනවා. මේ අතර කුඩා කුඩා අවශ්‍යතා වෙනුවෙන් එකිනෙකට බොහෝ සමාන යෙදුම් දහස් ගණනක් නිර්මාණය විය හැකියි.
මෙතැනදී මට මතක් වෙන්නේ ප්‍රංශ දාර්ශනික ජීන් බෝද්රියා (Jean Baudrillard) ඉදිරිපත් කළ Simulacra and Simulation පිළිබඳ අදහසයි.
බෝද්රියාගේ විග්‍රහය තුළ අපට හමුවන්නේ සැබෑ දෙයක් නිරූපණය කරන රූපයක් පමණක් නොවෙයි. ඇතැම් අවස්ථාවලදී ඒ රූපය තවත් රූපයකට යොමු වෙනවා. එය නැවත තවත් රූපයක් නිර්මාණය කරනවා. අවසානයේ මුල් යථාර්ථය සමඟ තිබුණු සම්බන්ධතාව පවා අපැහැදිලි වෙනවා.
මෙය AI ව්‍යවසායකත්වයට අදාළ කර බැලුවොත් සිත්ගන්නාසුලු තත්ත්වයක් පෙනෙනවා.
සාර්ථක ව්‍යවසායකයකු වීමේ රූපය, සැබෑ ව්‍යවසායකත්වයටත් වඩා පහසුවෙන් අලෙවි කළ හැකි දෙයක් බවට පත්විය හැකියි.
එවිට අපට හමුවන්නේ නිෂ්පාදනයක් විකුණා සාර්ථක වූ ව්‍යවසායකයකු පමණක් නොවෙයි. ව්‍යවසායකයකු වන්නේ කෙසේදැයි කියා විකුණන ව්‍යවසායකයෙක්. ඔහුගෙන් ඉගෙනගත් තවත් අයෙක් ඒ සාර්ථකත්වයේ ආකෘතියම නැවත විකුණනවා.
මෙහිදී විකුණනු ලබන්නේ සැබෑ නිෂ්පාදනයක්ද, නැත්නම් සාර්ථකත්වය පිළිබඳ නිර්මාණය කළ ප්රතිරූපයක්ද?
බෝද්රියාගේ භාෂාවෙන් කිවහොත්, අපට මෙය Hyperreality හෙවත් අධියථාර්ථයක් ලෙස කියවාගත හැකියි. සැබෑ ව්‍යාපාරයක් ගොඩනැඟීම සහ ව්‍යාපාරික සාර්ථකත්වයේ පෙනුමක් නිර්මාණය කිරීම අතර වෙනස ක්‍රමයෙන් බොඳ විය හැකියි.
මෙතැනදී හේගල්ගේ දයලෙක්තික චින්තනයත් අපට ප්‍රයෝජනවත් වෙනවා.
AI තාක්ෂණය මෘදුකාංග නිර්මාණය පහසු කරනවා. එම පහසුව නිසා මෘදුකාංග නිර්මාණය කරන පිරිස වැඩි වෙනවා. නමුත් ඒ සමඟම තවත් එක් මෘදුකාංගයක් නිර්මාණය කිරීමේ සුවිශේෂී වටිනාකම අඩුවීමටත් ඉඩ තිබෙනවා.
එය අපූරු පරස්පරතාවක්.
තාක්ෂණය නිර්මාණශීලීත්වයට තිබුණු බාධක ඉවත් කරන අතරම, නිර්මාණශීලීත්වයේ සාමාන්‍යකරණය හරහා එහි වෙළෙඳපොළ වටිනාකමටම අභියෝග කරනවා.
අවසානයේදී මිනිසුන්ට අවශ්‍ය වන්නේ තවත් App එකක්ද? නැත්නම් තමන් දැනටමත් භාවිත කරන යෙදුම් දහය වෙනුවට, තමන්ගේ සැබෑ අවශ්‍යතාව නිවැරදිව තේරුම්ගන්නා එක් විසඳුමක්ද?
මෙම ප්‍රවණතාව දිගටම පැවතුණොත්, AI යෙදුම් වෙළෙඳපොළේ ඇතැම් කොටස් ඉක්මනින් සංතෘප්ත වීමට ඉඩ තිබෙනවා. එසේම අද අප දකින AI පාඨමාලා සහ ක්ෂණික ව්‍යවසායකත්ව පොරොන්දු අතරින් කොපමණ ප්‍රමාණයක් තිරසාර වටිනාකමක් නිර්මාණය කරයිද යන්නත් විවෘත ප්‍රශ්නයක්.
ඇතැමුන් මෙය AI Bubble එකක් ලෙස හඳුන්වන්නට පුළුවන්. නමුත් මට වැදගත් වන්නේ එය බුබුලක්ද නැද්ද යන්නට වඩා, එම බුබුල තුළ අපේ නිර්මාණශීලීත්වයට සිදුවන්නේ කුමක්ද යන්නයි.
AI තාක්ෂණය අපගේ හැකියාවන් පුළුල් කරන බවට සැකයක් නැහැ. එහෙත් මෙවලමක් භාවිත කිරීමට ඉගෙනගැනීම සහ එම මෙවලමෙන් අලුත් දෙයක් සොයාගැනීම එකම දෙයක් නොවෙයි කියලයි මම හිතන්නේ. වෙනත් අයට වෙනස් දැකීම් තියෙන්නත් පුළුවන්.
ස්පිනෝසාගේ කාලයේ කාචයක් ඔප දැමීමෙන් කෙනෙකුට දුරේක්ෂයක් නිර්මාණය කළ හැකි වුණා. එහෙත් ඒ දුරේක්ෂයෙන් විශ්වය දෙස බලා අලුත් ප්‍රශ්නයක් ඇසීමට තවත් ආකාරයක බුද්ධිමය පරිකල්පනයක් අවශ්‍ය වුණා.
අද AI අප වෙනුවෙන් කාච ඔප දමනවා පමණක් නොවෙයි. අවශ්‍ය නම් සම්පූර්ණ දුරේක්ෂයම නිර්මාණය කර දීමටත් පටන්ගෙන තිබෙනවා.
නමුත් ඒ දුරේක්ෂය හරහා අප බැලිය යුත්තේ කොතැනද?
සමහරවිට AI විප්ලවයේ ඊළඟ අදියර තීරණය වන්නේ මේ ප්‍රශ්නයට අප ලබාදෙන පිළිතුරෙන් විය හැකියි.
මන්ද, ලෝකය දෙස බැලීමට අලුත් කාචයක් තිබීම සහ ඒ ලෝකය තුළ අලුත් යමක් දැකීමට හැකිවීම යනු එකම දෙයක් නොවන නිසාය.
