ක්වොන්ටම් පැටලීම පුනර්භවය නොවේ!

 

ක්වොන්ටම් පැටලීම පුනර්භවය නොවේ!

ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් බුදුදහම ඔප්පු කළ හැකිද?

ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කතා කරන විට අපට නිතර අසන්නට ලැබෙන අදහසක් තිබෙනවා.

“බුදුන් වහන්සේ මීට වසර දෙදහස් පන්සියයකට පෙර දේශනා කළ දේවල් අද ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් ඔප්පු වෙනවා!”

Alan Sokal
මේ ප්‍රකාශය ආකර්ෂණීයයි. විශේෂයෙන්ම ක්වොන්ටම් පැටලීම (Quantum Entanglement), අනාත්මය, පටිච්චසමුප්පාදය, ශූන්‍යතාව සහ පුනර්භවය වැනි සංකල්ප එකට ගැටගසා පැහැදිලි කරන විට එය තවත් ආකර්ෂණීය වෙනවා. එම භාවිතයන්ගේ දේශපාලනික, සමාජයීය සහ ආර්ථික සහසම්බන්ධතා අතරට සමාජ මාධ්‍ය තුළ පවත්නා අවධානය දිනාගැනීම උදෙසා වන නෛසර්ගික තරගය ද බලපානවා. කන්ට්‍රාවර්සල් අයිඩියාස්වලට තියෙන ඩිමාන්ඩ් එක නිසා හරි හදිසියේ මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම, පුද්ගල භේදයකින් තොරව, ගිහි පැවිදි සහ ඒ අතරමැදි සියල්ලෝම එකසේ කරති.

එහෙත් මට මෙතැනදී මතුවන්නේ තරමක් වෙනස් ප්‍රශ්නයක්.

සංකල්ප දෙකක් එකිනෙකට සමාන බව පෙනීමෙන්, ඒ දෙකෙන් එකක් අනෙක සනාථ කරන බව නිගමනය කළ හැකිද?

මෙය බුදුදහමට පක්ෂව හෝ විපක්ෂව ලියන ලිපියක් නොවෙයි. ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් ආගමක් හෝ දර්ශනයක් තහවුරු කිරීමට උත්සාහ කිරීමේදී අප නොදැනුවත්වම කරන බුද්ධිමය වැරැද්දක් ගැන විමසා බැලීමක්.

මෙතැනදී තවත් සාමාන්‍ය බුද්ධියට හසුවන උගුලක් ගැනත් සඳහන් කළ යුතුයි. බුදුදහම ආගමක් නොව ජීවන දර්ශනයක් යැයි පැවසීම අප අතර බෙහෙවින් ජනප්‍රියයි. විශේෂයෙන්ම ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් ආගම්වල දක්නට ලැබෙන ආකාරයේ දේව නියෝග මත පදනම් වූ අනිවාර්ය පිළිපැදීම් පද්ධතියක් බුදුදහමේ මූලික පදනම නොවීම මෙයට එක් හේතුවක් විය හැකියි. එහෙත් එයින් බුදුදහමේ ආගමික ස්වභාවය අහෝසි වෙන්නේ නැහැ. එහි ආගමික, චාරිත්‍රානුකූල, සදාචාරාත්මක සහ දාර්ශනික පැතිකඩ එකිනෙකින් වෙන්කර හඳුනාගත යුතුයි. අනෙක් අතට ක්‍රිස්තියානි සහ ඉස්ලාම් සම්ප්‍රදායන් තුළත් ගැඹුරු දාර්ශනික විමර්ශන තිබෙනවා.

ඒ නිසා බුදුදහම ආගමක්ද, දර්ශනයක්ද යන වර්ගීකරණයෙන් පමණක් අපේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මට මෙහිදී වැදගත් වන්නේ අප විමසන අදහස ආගමික ඉගැන්වීමක්ද, දාර්ශනික තර්කයක්ද, නැත්නම් පරීක්ෂණාත්මකව තහවුරු කළ හැකි විද්‍යාත්මක ප්‍රකාශයක්ද යන්න නිවැරදිව හඳුනාගැනීමයි. ඒ වෙනස නොසලකා හැරීමෙන්, දාර්ශනික අදහසක් විද්‍යාත්මක නිගමනයක් ලෙසත්, විද්‍යාත්මක සොයාගැනීමක් ආගමික හෝ දාර්ශනික සත්‍යයක සාක්ෂියක් ලෙසත් ඉදිරිපත් කිරීමේ පහසු උගුලට අප හසුවෙනවා.

අනෙක් අතට, බුදුදහමේ ඓතිහාසික විකාශනය, එහි විවිධ දාර්ශනික සම්ප්‍රදායන් සහ ඒවායේ සංකල්පීය වෙනස්කම් පිළිබඳ පරිපූර්ණ විග්‍රහයක් ඉදිරිපත් කිරීම මේ ලිපියේ අරමුණ නොවෙයි. එවැනි විග්‍රහයකට අවශ්‍ය පුළුල් ශාස්ත්‍රීය පසුබිමක් මා සතුව ඇතැයි කියා සිටීමටත් මට අවශ්‍ය නැහැ. එහෙත් ඒ බව පිළිගැනීමෙන් මෙහි මතුකරන ප්‍රශ්නවල වැදගත්කම අඩුවන්නේත් නැහැ. මගේ දැනුමේ සීමාවන් පිළිබඳ අවබෝධයෙන් යුතුව, විද්‍යාත්මක සංකල්ප සහ දාර්ශනික අදහස් අතර සැසඳීම් හැකිතාක් නිරවද්‍යව හා විචාරශීලීව ඉදිරිපත් කිරීමට මා උත්සාහ කරනවා.

බුදුදහමේ ඉතිහාසය, එහි දාර්ශනික වර්ධනය සහ විවිධ සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයන්හි නිරත වන විද්වතුන් මෙරට මෙන්ම විදේශයන්හිත් සිටින බව මා දන්නවා. ඔවුන්ගේ පර්යේෂණ, විමර්ශන සහ සංවාද මගේ අවබෝධය පුළුල් කිරීමට ද උපකාරී වී තිබෙනවා. ඒ දැනුම් සම්ප්‍රදායට සහ එහි නිරත පර්යේෂකයන්ට හිමි ගෞරවය එලෙසම තබාගනිමින්, මා මෙහිදී උත්සාහ කරන්නේ වෙනත් ප්‍රවේශයකින් මේ සාකච්ඡාවට දායක වීමටයි.

විශේෂයෙන්ම, බොහෝ විට දාර්ශනික හෝ ආගමික අර්ථකථන ඔස්සේ පමණක් ජනප්‍රිය වන ක්වොන්ටම් භෞතික විද්‍යාවේ සංකල්ප, ඒවාට පදනම් වූ ගණිතය ඇසුරෙන් සාමාන්‍ය පාඨකයාට සමීප කරවීම මගේ ප්‍රධාන අරමුණයි. ගණිතය මෙහිදී මා භාවිත කරන්නේ දාර්ශනික අදහස් නිෂ්ප්‍රභ කිරීමට හෝ ආගමික විශ්වාස විනිශ්චය කිරීමට නොව, අප කරන සැසඳීම්වල නිරවද්‍යතාව සහ සීමාවන් හඳුනාගැනීමට උපකාර වන මෙවලමක් ලෙසයි.

මගේ උත්සාහය සියල්ල දන්නා අයෙකුගේ ස්ථානයේ සිට පිළිතුරු සැපයීම නොව, මා යම් දුරකට දන්නා ගණිතය ඔස්සේ තවත් ප්‍රශ්න කිහිපයක් නිවැරදිව ඇසීමට පාඨකයාට ආරාධනා කිරීමයි.

මගේ කලින් ලිපියෙන් අපි ක්වොන්ටම් පැටලීමේ ගණිතමය පදනම සොයා බැලුවා. එහිදී අපට හුරුපුරුදු 3 සහ 7 යන සංඛ්‍යා දෙකක් භාවිත කරමින් ඉතා කුඩා ක්වොන්ටම් පද්ධතියක් ගොඩනැඟුවා.

අද ඒ ගණිතයම අපේ දාර්ශනික විමසීමට මිනුම් දණ්ඩක් කරගනිමු.



මුලින්ම ක්වොන්ටම් පැටලීම කියන්නේ මොකක්ද?

අපට ක්වොන්ටම් අංශු දෙකක් තිබෙනවා යැයි සිතමු. ඒවා A සහ B ලෙස හඳුන්වමු.

සාමාන්‍ය ලෝකයේ වස්තු දෙකක් ගැන අප සිතන්නේ, එක එක වස්තුවට තමන්ගේම ස්වාධීන තත්ත්වයක් තිබෙනවා කියලයි.

නමුත් ක්වොන්ටම් ලෝකයේදී ඇතැම් අවස්ථාවල A සහ B වෙන් වෙන්ව සම්පූර්ණයෙන් විස්තර කරන්න බැහැ. ඒ දෙක එක්ව පවතින ක්වොන්ටම් තත්ත්වය ගණිතමය වශයෙන් විස්තර කළ යුතු වෙනවා.

අපේ කලින් ලිපියේ තිබුණේ මෙවැනි තත්ත්වයක්.

|Ψ⟩ = (3|00⟩ + 7|11⟩) / √58

මෙහි 3 සහ 7 යනු අපේ උදාහරණය සඳහා තෝරාගත් සංඛ්‍යා දෙකක් පමණයි. ඒවාට කිසිදු ගුප්ත හෝ ආගමික අර්ථයක් නැහැ.

මෙහි |00⟩ සහ |11⟩ යනු අංශු දෙකේ ඒකාබද්ධ ක්වොන්ටම් තත්ත්වයන් නිරූපණය කරන සංකේතයි.

මෙම තත්ත්වයේ විශේෂත්වය වන්නේ A සඳහාත් B සඳහාත් වෙන වෙනම පිරිසිදු ක්වොන්ටම් තත්ත්ව දෙකක් ලියා, ඒවා ගුණ කිරීමෙන් මුළු තත්ත්වය නැවත ගොඩනැඟිය නොහැකි වීමයි.

එයයි මෙහි පැටලීම හෙවත් Entanglement.

මෙහි පැටලීමේ ප්‍රමාණය Concurrence නම් ගණිතමය මිනුමකින් දැක්විය හැකියි.

C = 2 × 3 × 7 / 58 = 21/29 ≈ 0.724

මෙම මිනුමේදී 0 යනු පැටලීමක් නැති තත්ත්වයක්. 1 යනු පිරිසිදු කියුබිට් දෙකක් අතර උපරිම පැටලීමක් ඇති තත්ත්වයක්.

අපේ අගය 0.724 යි.

ඒ කියන්නේ මෙහි පැටලීමක් තිබෙනවා. නමුත් එය උපරිම පැටලීමක් නොවෙයි.

දැන් අපට මේ පැටලීම තවත් ආකාරයකින් මැන බලන්න පුළුවන්. ඒ සඳහා භාවිත කරන්නේ Entanglement Entropy නම් ගණිතමය මිනුමයි.

මෙහිදී අප මුලින්ම කරන්නේ අපේ ක්වොන්ටම් තත්ත්වයේ ඇති 3 සහ 7 යන සංගුණක දෙකෙන් සම්භාවිතාවන් දෙකක් ගණනය කිරීමයි.

p = 3²/58 = 9/58 ≈ 0.1552

q = 7²/58 = 49/58 ≈ 0.8448

මෙහි p + q = 1 බව ඔබට පෙනෙනවා ඇති.

දැන් මේ සම්භාවිතාවන් දෙක භාවිත කරමින් Entanglement Entropy ගණනය කළ හැකියි.

E = −p log₂(p) − q log₂(q)

මෙහි log₂ යනු 2 පාදය සහිත ලඝුගණකයයි. මෙය සම්භාවිතාවන් ඇසුරෙන් තොරතුරුමය අවිනිශ්චිතතාව ගණනය කිරීමට භාවිත කරන Shannon entropy සූත්‍රයේම ආකාරයයි. අපේ පිරිසිදු ක්වොන්ටම් තත්ත්වයේදී එය එක් කියුබිට් එකක reduced density matrix එකේ entropy අගයට සමාන වෙනවා.

අපේ සංඛ්‍යා ආදේශ කළ විට,

E = −(9/58) log₂(9/58) − (49/58) log₂(49/58)

E ≈ 0.622 ebit

මෙහි ebit යනු entanglement bit යන්නෙහි කෙටි නාමයයි. එය ක්වොන්ටම් පැටලීමේ ප්‍රමාණය දැක්වීමට භාවිත කරන ඒකකයක්.

උපරිම ලෙස පැටලුණු පිරිසිදු කියුබිට් දෙකක තත්ත්වයක Entanglement Entropy අගය 1 ebit වෙනවා. පැටලීමක් නොමැති පිරිසිදු තත්ත්වයක එය 0 යි.

අපේ උදාහරණයේ අගය ආසන්න වශයෙන් 0.62 ebit නිසා, මෙහි පැටලීමක් තිබෙන නමුත් එය උපරිම පැටලීමක් නොවන බව තවත් ගණිතමය ආකාරයකින් තහවුරු වෙනවා.

මෙහිදී කුඩා වෙනසක් මතක තබාගත යුතුයි. Concurrence සහ Entanglement Entropy දෙකම පැටලීම මැනීමට භාවිත කළත් ඒවා එකම රාශියක් නොවෙයි. එබැවින් 0.724 සහ 0.622 යන අගයන් එකිනෙකට සෘජුව සමාන කළ නොහැකියි. එහෙත් අපේ මේ පිරිසිදු කියුබිට් දෙකේ පද්ධතිය සඳහා ඒ දෙකම එකම පැටලීමේ ස්වභාවය වෙනස් ගණිතමය ආකාරවලින් නිරූපණය කරනවා.

මේ සංඛ්‍යා වැදගත් වන්නේ එක් හේතුවක් නිසයි.

ක්වොන්ටම් පැටලීම කියන්නේ හුදෙක් ලස්සන දාර්ශනික අදහසක් නොවෙයි. එය ගණිතමය වශයෙන් නිර්වචනය කළ හැකි, ප්‍රමාණනය කළ හැකි, පරීක්ෂණ මඟින් විමසා බැලිය හැකි භෞතික සංසිද්ධියක්.

එහෙත් මේ ගණිතය තුළ කොතැනකවත් ආත්මයක්, කර්මයක් හෝ පුනර්භවයක් සඳහන් වෙන්නේ නැහැ. එවැනි සංකල්ප ක්වොන්ටම් භෞතික විද්‍යාව සමඟ සම්බන්ධ කරමින් ඉදිරිපත් කරන අදහස් මට අසන්නට හෝ දකින්නට ලැබෙන බොහෝ අවස්ථාවල සිතෙන්නේ, ඒ සාකච්ඡාවලට අදාළ ගණිතමය පසුබිමත් එක් වූවා නම් ඇතැම් නිගමන මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණා නොවේද යන්නයි. එසේ සිතුණු අවස්ථා නම් අගණිතයි.

එහෙනම් මේ දෙක එකට සම්බන්ධ කරන්නේ ඇයි?

ඒ සඳහා හොඳ හේතුවක් තිබෙනවා බැලු බැල්මට.

බෞද්ධ දර්ශනයේ අනාත්මය ගැන කතා කරන විට ස්ථිර, නොවෙනස්වන, ස්වාධීන ආත්මයක් පිළිබඳ අදහස ප්‍රශ්න කරනවා.

පටිච්චසමුප්පාදය ගැන කතා කරන විට, යම් යම් හේතු සහ ප්‍රත්‍යයන් මත ධර්මයන් හටගන්නා ආකාරය පැහැදිලි කරනවා.

මහායාන බෞද්ධ දර්ශනයේ නාගාර්ජුනගේ ශූන්‍යතා සංකල්පය තුළ, දේවල් තමන්ටම අයත් ස්වාධීන ස්වභාවයකින් පවතිනවා යන අදහස විවේචනයට ලක්වෙනවා.

දැන් ක්වොන්ටම් පැටලීම දෙස බලන්න.

එහිදීත් ඇතැම් ඒකාබද්ධ පද්ධතිවල කොටස්, වෙන් වෙන්ව සම්පූර්ණ පිරිසිදු ක්වොන්ටම් තත්ත්වයන් ලෙස විස්තර කරන්න බැහැ.

ඉතින් මෙතැන සමානකමක් පෙනෙනවා.

නමුත් ඒ සමානකම පවතින්නේ අප අදහස් ප්‍රකාශ කරන මට්ටමේදී බව මතක තබාගත යුතුයි.

බෞද්ධ දර්ශනයේ අනාත්මය යනු ක්වොන්ටම් අංශු දෙකක් අතර පවතින ගණිතමය පැටලීමක් නොවෙයි. එසේම ක්වොන්ටම් පැටලීම යනු පටිච්චසමුප්පාදයේ භෞතික විද්‍යාත්මක ප්‍රකාශනයක් හෝ එහි නූතන පරිවර්තනයක් ද නොවෙයි.

එහෙත් මෙතැනදී කෙනෙකුට තවත් තර්කයක් ගොඩනැඟිය හැකියි. අනාත්මය යනු ස්ථිර, ස්වාධීන පැවැත්මක් නොමැති බව නම්, ක්වොන්ටම් අංශුවක තත්ත්වය මිනුමකට පෙර නිශ්චිතව තීරණය වී නොතිබීමත් එයට සමාන නොවේද? එසේත් නැත්නම් ක්වොන්ටම් වස්තුවක තරංගමය හා අංශුමය ලක්ෂණ පරීක්ෂණයේ සැකැස්ම අනුව ප්‍රකාශ වීම, හේතු ප්‍රත්‍යයන් මත ධර්මයන් හටගැනීම පිළිබඳ බෞද්ධ ඉගැන්වීම සමඟ සැසඳිය නොහැකිද? මේ සියල්ල අවසානයේ එකම යථාර්ථයක් විවිධ භාෂාවලින් ප්‍රකාශ කිරීමක් නොවේද?

මෙවැනි ප්‍රශ්න මතු කිරීමේ වරදක් නැහැ. ඒවා දාර්ශනික කුතුහලය අවදි කරන, තවදුරටත් විමසා බැලිය හැකි ප්‍රශ්නයි. නමුත් මෙහිදී අප ප්‍රවේශම් විය යුත්තේ සංකල්ප දෙකක් අතර පෙනෙන සමානකම, ඒවායේ ගණිතමය හෝ දාර්ශනික අර්ථයන් ද එකිනෙකට සමාන බවට සාක්ෂියක් ලෙස භාරගැනීමේදීයි. ක්වොන්ටම් අංශුවක තත්ත්වය පිළිබඳ අවිනිශ්චිතතාව, තරංග–අංශු ද්විත්ව ලක්ෂණ සහ ක්වොන්ටම් පැටලීම යනු භෞතික විද්‍යාව තුළ පවා එකිනෙකට වෙනස් සංකල්පයි. ඒවා සියල්ල එක් පොදු දාර්ශනික අදහසකට ගොනු කිරීමෙන් ඒවායේ නිශ්චිත අර්ථයන් මඟහැරී යා හැකියි.

මා මෙහිදී ගණිතමය පසුබිම හැකිතාක් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ හරියටම මේ හේතුව නිසයි. එවැනි සැසඳීම් ප්‍රතික්ෂේප කිරීමට නොව, ඒවා සැබැවින්ම කොතෙක් දුරට වලංගුද, කුමන තැනකදී සමානකම අවසන් වී අර්ථකථනය ආරම්භ වන්නේද යන්න වඩාත් නිරවුල්ව හඳුනාගැනීමටයි.

උදාහරණයක් ගනිමු.

ගඟක ගලායන ජලයත්, විදුලි පරිපථයක ගලායන ධාරාවත් ගැන අපි ගලායෑම කියන වචනය භාවිත කරනවා.

එයින් ජලය සහ විදුලිය එකම දෙයක් බව ඔප්පු වෙන්නේ නැහැ.

එකම වචනයක් භාවිත කිරීමෙන්, එයින් විස්තර කරන සංසිද්ධි දෙක එකම සංසිද්ධියක් බවට පත්වෙන්නේ නැහැ.

ක්වොන්ටම් පැටලීම සහ පටිච්චසමුප්පාදය සම්බන්ධ කිරීමේදීත් අපි ප්‍රවේශම් විය යුත්තේ මෙතැනදීයි.

පැටලීමෙන් තොරතුරු යවන්න පුළුවන්ද?

මේ ගැන බොහෝ ජනප්‍රිය පැහැදිලි කිරීම්වල අපට අසන්නට ලැබෙන්නේ මෙවැනි කතාවක්.

“අංශු දෙකක් කොතරම් දුරින් තිබුණත්, එකකට සිදුවන දේ අනෙකට ක්ෂණිකව දැනෙනවා.”

මේ ප්‍රකාශය තරමක් නොමඟ යවනසුලුයි.

ක්වොන්ටම් පැටලීමේ වේගය විද්‍යාඥයන් විසින් මැන බැලූ බවට 2025 ජූනි මාසයේ IFLScience වෙබ් අඩවියේ පළ වූ පුවතක් ද මෙහිදී මතක් වෙනවා. බුදුදහම සහ ක්වොන්ටම් භෞතික විද්‍යාව අතර සමානකම් ඉදිරිපත් කරන ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ දේශනවලත් මේ පුවත උපුටා දක්වනු මා දැක තිබෙනවා. එහෙත් එහි සැබෑ විද්‍යාත්මක අර්ථය තරමක් වෙනස්. ඔස්ට්‍රියාවේ වියානා තාක්ෂණික විශ්වවිද්‍යාලය (TU Wien) සහ චීන පර්යේෂකයන් එක්ව 2024දී ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයෙන් විමසා බැලුවේ, ලේසර් කිරණයක් මඟින් පරමාණුවක ඉලෙක්ට්‍රෝනයක් පිටතට මුදාහරින අතරතුර එය ඉතිරි ඉලෙක්ට්‍රෝනයක් සමඟ ක්වොන්ටම් පැටලීමකට පත්වන අතිශය කෙටි කාලීන ක්‍රියාවලියයි. මෙහිදී සාකච්ඡා වන ඇටෝතත්පර 232 (232 attoseconds = 232 × 10⁻¹⁸ තත්පර) යනු නිශ්චිත තත්ත්වයක් යටතේ ඉලෙක්ට්‍රෝනය පිටවීමේ කාලය හා සම්බන්ධ සාමාන්‍ය කාල වෙනසක් මිස, පැටලුණු අංශු දෙකක් අතර යම් බලපෑමක් හෝ තොරතුරක් ගමන් කිරීමට ගතවන කාලය නොවෙයි. තවද මෙය ප්‍රධාන වශයෙන් ගණිතමය ආකෘති සහ පරිගණක අනුකරණ මත පදනම් වූ පර්යේෂණයක් වන අතර, එම නිශ්චිත ප්‍රතිඵලය සෘජුව පරීක්ෂණයකින් මැන අවසන් කළ බවක් මුල් පර්යේෂකයන් ප්‍රකාශ කරන්නේ නැහැ. එබැවින් මෙය ක්වොන්ටම් පැටලීම හරහා ආලෝකයේ වේගයට වඩා වේගයෙන් තොරතුරු හුවමාරු කළ හැකි බවට හෝ කිසියම් ආගමික හෝ දාර්ශනික සංකල්පයක් සනාථ වන බවට සාක්ෂියක් නොවෙයි. 

විද්‍යාත්මක පුවතක ආකර්ෂණීය සිරස්තලයත්, එහි සැබෑ පර්යේෂණ ප්‍රතිඵලයත් අතර වෙනස හඳුනාගැනීම කොතරම් වැදගත්ද යන්නට මෙය හොඳ උදාහරණයක්.

ක්වොන්ටම් පැටලීමේදී දුරස්ථ මිනුම් ප්‍රතිඵල අතර සම්භාව්‍ය භෞතික විද්‍යාවෙන් සරලව පැහැදිලි කළ නොහැකි සහසම්බන්ධතා දකින්න පුළුවන්.

නමුත් ඒ සම්බන්ධතාව භාවිත කරමින් අප කැමති පණිවුඩයක් ආලෝකයේ වේගයට වඩා වේගයෙන් යවන්න බැහැ.

මෙය No-signalling principle ලෙස හඳුන්වනවා.

අපේ 3 සහ 7 උදාහරණයම ගනිමු.

A අංශුව මනින පුද්ගලයාට තමන්ගේ මිනුම් ප්‍රතිඵල පාලනය කරමින් B වෙත පණිවුඩයක් යවන්න බැහැ.

B අංශුව මනින පුද්ගලයාටත්, තමන්ගේ ප්‍රතිඵල පමණක් බලා A හි සිදුවූ මිනුමක් හඳුනාගන්න බැහැ.

සහසම්බන්ධතාව හඳුනාගැනීමට ඔවුන්ගේ මිනුම් වාර්තා සාමාන්‍ය සන්නිවේදන ක්‍රමයකින් සංසන්දනය කළ යුතුයි.

ඒ නිසා පැටලීම යනු දුරස්ථ අංශු අතර අපට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කළ හැකි අදෘශ්‍ය පණිවුඩ සේවාවක් නොවෙයි.

මෙය මතක තබාගැනීම ඉදිරි සාකච්ඡාවට ඉතා වැදගත්.

බෙල්ගේ අසමානතාව අපට කියන්නේ කුමක්ද?

ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ඉතාමත් වැදගත් පරීක්ෂණාත්මක සොයාගැනීම් කිහිපයකටම පදනම් වන්නේ භෞතික විද්‍යාඥ ජෝන් බෙල් (John Bell) 1964දී ඉදිරිපත් කළ න්‍යායයි.

බෙල්ගේ ප්‍රශ්නය තේරුම් ගැනීමට අපි මුලින්ම අයින්ස්ටයින්ට තිබුණු සැකයක් ගැන සිතමු.

අපි පෙට්ටි දෙකක අත්වැසුම් දෙකක් දමා තිබෙනවා යැයි සිතමු. එකක වම් අතට දමන අත්වැසුමත්, අනෙකේ දකුණු අතට දමන අත්වැසුමත් තිබෙනවා. දැන් මේ පෙට්ටි දෙක ලෝකයේ දෙකෙළවරට යැව්වත්, එක පෙට්ටියක් විවෘත කර එහි වම් අතේ අත්වැසුම තිබෙන බව දැනගත් සැණින් අනෙක් පෙට්ටියේ තිබෙන්නේ දකුණු අතේ අත්වැසුම බව අපට නිගමනය කළ හැකියි.

නමුත් මෙහි අද්භූත දෙයක් සිදුවෙන්නේ නැහැ. අත්වැසුම් දෙක පෙට්ටිවලට දැමූ මොහොතේම ඒවායේ වම් හා දකුණු බව තීරණය වී තිබුණා. අප කළේ කලින් නොදැන සිටි දෙයක් අනාවරණය කරගැනීම පමණයි.

ක්වොන්ටම් පැටලීමත් මෙවැනි දෙයක් විය නොහැකිද?

අයින්ස්ටයින් ඇතුළු විද්‍යාඥයන් කිහිපදෙනෙකුට තිබුණු ප්‍රධාන සැකයක් වූයේ මෙයයි. ක්වොන්ටම් අංශු දෙකක මිනුම් ප්‍රතිඵල අතර දක්නට ලැබෙන සහසම්බන්ධතාව, අප තවමත් නොදන්නා යම් භෞතික තොරතුරු නිසා ඇතිවන්නක් විය නොහැකිද? එනම්, අංශු දෙක වෙන්වීමට පෙරම ඒවායේ හැසිරීම තීරණය කරන කිසියම් සැඟවුණු විචල්‍යයන් (Hidden Variables) තිබිය නොහැකිද?

මෙහි තවත් වැදගත් අදහසක් තිබෙනවා. එක අංශුවක් මත සිදුකරන මිනුමක්, ආලෝකයේ වේගය ඉක්මවන ආකාරයෙන් දුරස්ථ අනෙක් අංශුවේ ප්‍රතිඵලයට බලපෑම් නොකළ යුතුයි යන්නයි. මෙය දේශීයත්වය (Locality) පිළිබඳ අදහසට සම්බන්ධයි.

ජෝන් බෙල් කළේ මේ අදහස් දාර්ශනික විවාදයකට පමණක් සීමා නොකර, ගණිතමය වශයෙන් පරීක්ෂා කළ හැකි ප්‍රශ්නයක් බවට පත් කිරීමයි.

ඒ සඳහා ඔහු මතුකළ මූලික ප්‍රශ්නය මෙසේ සරල කළ හැකියි.

අංශු දෙකක මිනුම් ප්‍රතිඵල කලින් පවතින දේශීය (Local) තොරතුරු මඟින් පැහැදිලි කළ හැකි නම්, ඒවා අතර සහසම්බන්ධතාවට තිබිය හැකි උපරිම සීමාව කුමක්ද?

මෙහිදී අත්වැසුම් උදාහරණයට වඩා ක්වොන්ටම් පරීක්ෂණය වෙනස් වෙනවා. අපි අංශු දෙක එක් ආකාරයකින් පමණක් මනින්නේ නැහැ. එක් එක් අංශුව සඳහා වෙනස් මිනුම් සැකසුම් තෝරාගෙන, ඒවායේ ප්‍රතිඵල අතර සහසම්බන්ධතා සංසන්දනය කරනවා.

සරලව කිවහොත්, පෙට්ටියක් විවෘත කර එහි ඇති දේ බැලීම වෙනුවට, එක් එක් පෙට්ටියෙන් වෙනස් ප්‍රශ්න ඇසිය හැකි තත්ත්වයක් ගැනයි අපි දැන් කතා කරන්නේ.

එවැනි ප්‍රශ්න කිහිපයකට ලැබෙන පිළිතුරු අතර සම්බන්ධතාව එකවර සැලකිල්ලට ගත් විට, කලින් තීරණය වී ඇති දේශීය ප්‍රතිඵල මත පදනම් වූ පැහැදිලි කිරීමකට ඉක්මවිය නොහැකි ගණිතමය සීමාවක් ලැබෙනවා.

බෙල්ගේ න්‍යායේ වැදගත්කම තිබෙන්නේ මෙතැනයි.

පසුව John Clauser, Michael Horne, Abner Shimony සහ Richard Holt යන විද්‍යාඥයන්ගේ නම්වල මුල් අකුරු ඇසුරෙන් CHSH ලෙස හඳුන්වන අසමානතාවක් 1969දී ඉදිරිපත් කෙරුණා.

එහිදී මිනුම් සැකසුම් හතරක් යටතේ ලැබෙන සහසම්බන්ධතා එකතු කර S නම් රාශියක් ගොඩනඟනවා. මෙහි S යනු වේගයක් හෝ දුරක් නොවෙයි. එය මිනුම් ප්‍රතිඵල අතර සහසම්බන්ධතා කිහිපයකින් ගණනය කරන සංඛ්‍යාත්මක අගයක්.

නිශ්චිත උපකල්පන යටතේ ගොඩනඟන දේශීය සැඟවුණු විචල්‍ය ආකෘතිවලට පහත සීමාව ඉක්මවිය නොහැකියි.

|S| ≤ 2

නමුත් ක්වොන්ටම් භෞතික විද්‍යාව ඇතැම් පැටලුණු පද්ධති සඳහා මෙම සීමාව ඉක්මවන ප්‍රතිඵල පුරෝකථනය කරනවා.

ක්වොන්ටම් න්‍යායට අනුව CHSH රාශිය සඳහා ලැබිය හැකි උපරිම අගය:

|S| ≤ 2√2 ≈ 2.828

මෙය Tsirelson සීමාව ලෙස හඳුන්වනවා.

දැන් අපි නැවතත් අපේ 3 සහ 7 උදාහරණයට පැමිණෙමු.

එහිදී කලින් ගණනය කළ Concurrence අගය:

C = 21/29 ≈ 0.724

මෙවැනි පිරිසිදු කියුබිට් දෙකක ක්වොන්ටම් තත්ත්වයක් සඳහා CHSH රාශියේ උපරිම අගය පහත සූත්‍රයෙන් ගණනය කළ හැකියි.

S(max) = 2√(1 + C²)

අපේ අගය ආදේශ කළ විට,

S(max) = 2√(1 + (21/29)²) ≈ 2.47

එනම්, අපේ උදාහරණයේ ක්වොන්ටම් තත්ත්වය සඳහා සුදුසු මිනුම් සැකසුම් තෝරාගත් විට, දේශීය සැඟවුණු විචල්‍ය ආකෘතිවලට අදාළ 2 යන සීමාව ඉක්මවන අගයක් ගණිතමය වශයෙන් පුරෝකථනය වෙනවා.

මෙය අපේ උදාහරණය සඳහා ගණනය කළ අගයක් මිස සැබෑ පරීක්ෂණයකින් ලබාගත් මිනුමක් නොවන බවත් මතක තබාගත යුතුයි.

එහෙත් බෙල්ගේ අසමානතාව උල්ලංඝනය වන බව සැබෑ ක්වොන්ටම් පරීක්ෂණවලින් ද තහවුරු වී තිබෙනවා. 2022 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය පිරිනැමුණේත් මෙවැනි පැටලුණු ෆෝටෝන පිළිබඳ පරීක්ෂණ සඳහා වැදගත් දායකත්වයක් ලබාදුන් Alain Aspect, John Clauser සහ Anton Zeilinger යන විද්‍යාඥයන් තිදෙනාටයි.

අපි තවත් ටිකක් දුර සිතා බලමු: දාර්ශනික අදහසක් පරීක්ෂණාගාරයට ගෙන ගියොත්?

මෙහිදී අප අවබෝධ කරගත යුතු වැදගත්ම කරුණ වන්නේ බෙල්ගේ අසමානතාව උල්ලංඝනය වීමෙන්, ලෝකය පිළිබඳ අපේ ඇතැම් සම්භාව්‍ය උපකල්පන එකවර සත්‍ය විය නොහැකි බව පෙන්වන නමුත්, එයින් ආලෝකයේ වේගයට වඩා වේගවත් පණිවුඩ හුවමාරුවක් සිදුවන බව ඔප්පු නොවන බවයි.

එසේම එයින් පුනර්භවය, අනාත්මය හෝ ශූන්‍යතාව වැනි බෞද්ධ සංකල්ප කිසිවක් සෘජුව සනාථ වෙන්නේත් නැහැ.

නමුත් මෙතැනදී මට තවත් කුතුහලයක් ඇති වෙනවා. අපි මොහොතකට අපේ පරිකල්පනයට ඉඩ දී මේ අදහස් පරීක්ෂණාගාරයකට රැගෙන ගියොත් කුමක් සිදුවේවිද?

මේවා තරමක් අමුතු, ඇතැම්විට සිනහවක් උපදවන සිතුවිලි අත්හදා බැලීම් විය හැකියි. එහෙත් ඒවායේ අරමුණ කිසිවකුගේ ආගමික විශ්වාසයක් හාස්‍යයට ලක් කිරීම නොවෙයි. විද්‍යාත්මක ප්‍රකාශයක් සහ දාර්ශනික අර්ථකථනයක් අතර වෙනස හඳුනාගැනීමයි.

පළමුව පුනර්භවය ගැන සිතමු.

කෙනෙකු මියයන මොහොතේ ඔහුගේ විඥානයට අදාළ කිසියම් තොරතුරක් ශරීරයෙන් පිටවී, ඊතර් (ether) වැනි මාධ්‍යයක් හරහා හෝ අවකාශයේ ක්වොන්ටම් උච්චාවචනයන් ඔස්සේ හෝ වෙනත් තැනකට ගමන් කරනවා යැයි කෙනෙකු උපකල්පනය කළොත්?

ඊතර් යනු නූතන භෞතික විද්‍යාවෙන් තහවුරු වූ එවැනි මාධ්‍යයක් නොවන බවත්, ක්වොන්ටම් උච්චාවචනයන් විඥානය ප්‍රවාහනය කරන බවට සාක්ෂි නොමැති බවත් අපි මුලින්ම පිළිගනිමු.

එහෙත් සිතුවිලි අත්හදා බැලීම සඳහා එවැනි උපකල්පනයක් මොහොතකට භාරගනිමු.

එසේ ගමන් කරන්නේ විද්‍යුත්චුම්බක සංඥාවක් නම්, එයට අදාළ භෞතික ලක්ෂණ මැන බැලීමට අපට හැකි විය යුතුයි. එය වෙනත් ආකාරයක සංඥාවක් නම්, එය ද්‍රව්‍යය සමඟ අන්තර්ක්‍රියා කරන ආකාරය සහ එය හඳුනාගත හැකි උපකරණයක් පිළිබඳව අපට පැහැදිලි උපකල්පනයක් අවශ්‍ය වෙනවා.

දැන් අපි සිතමු, මරණයට ආසන්න මොහොතක මොළයෙන් පිටවන අසාමාන්‍ය සංඥාවක් අපට හමු වුණා කියා.

එය පමණක් පුනර්භවයට සාක්ෂියක් වේවිද?

නැහැ. මරණය සමඟ සම්බන්ධ සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්, ස්නායු ක්‍රියාකාරිත්වයක් හෝ උපකරණයේ දෝෂයක් නොවන බව මුලින්ම තහවුරු කළ යුතුයි.

නමුත් අපට එම සංඥාවේ නිශ්චිත තොරතුරු රටාවක් හඳුනාගත හැකි වුණොත්? එම රටාව පසුව වෙනත් ස්ථානයක වර්ධනය වන කලලයක ස්නායු පද්ධතිය තුළ හඳුනාගත හැකි වුණොත්? එපමණක් නොව, ඒ තොරතුරු හුවමාරුව නිසා පසුව ඇතිවන මතකයකට හෝ හැසිරීමකට නිශ්චිත බලපෑමක් සිදුවන බව නැවත නැවත පරීක්ෂණ මඟින් පෙන්විය හැකි වුණොත්?

එවිට අපට සැබෑ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රශ්නයක් ලැබෙනවා.

එහෙත් එයින් පවා බෞද්ධ පුනර්භව සංකල්පය සම්පූර්ණයෙන් ඔප්පු වන්නේ නැහැ. අප තහවුරු කරන්නේ එක් ජීවියෙකුගෙන් තවත් ජීවියෙකුට තොරතුරු හුවමාරු වීමේ යම් භෞතික ක්‍රියාවලියක් පමණක් විය හැකියි. එය පුනර්භවය සමඟ සම්බන්ධ කරන්නේ කෙසේද යන්න තවත් න්‍යායික ප්‍රශ්නයක්.

තවද බෞද්ධ පුනර්භවය යනු ස්ථිර ආත්මයක් ශරීරයෙන් පිටවී තවත් ශරීරයකට ඇතුළු වීමක් ලෙස සියලු බෞද්ධ සම්ප්‍රදායන් තුළ විස්තර කෙරෙන්නේ නැහැ. එබැවින් අපේ මේ සංඥා උපකල්පනය පරීක්ෂා කරන්නේ පුනර්භවය පිළිබඳ එක් විශේෂ භෞතික ආකෘතියක් මිස සමස්ත බෞද්ධ ඉගැන්වීම නොවෙයි.

දැන් අනාත්මය ගැන සිතමු.

අපේ මොළය තුළ ඉතා කුඩා 'මම' කෙනෙකු සිටිනවා යැයි මොහොතකට සිතමු. අපේ මතකයන්, සිතුවිලි, හැඟීම් සහ තීරණ සියල්ල පාලනය කරන්නේ මේ කුඩා පාලකයා බව උපකල්පනය කරමු.

එසේ නම් මේ පාලකයා සිටින්නේ කොතැනද?

අපට මොළයේ සියලුම ස්නායු සම්බන්ධතා නිරීක්ෂණය කළ හැකි තරම් දියුණු උපකරණයක් තිබුණොත්, මේ පාලකයා සොයාගත හැකි වේවිද?

යම් නිශ්චිත මොළයේ කොටසක් අක්‍රිය කළ විට 'මම' යන අත්දැකීම වෙනස් වන්නේ නම්, නැවත එම ක්‍රියාකාරිත්වය ඇති කළ විට එය වෙනස් ආකාරයකින් මතුවන්නේ නම්, අපට පුද්ගල අනන්‍යතාව පිළිබඳ වැදගත් ස්නායු විද්‍යාත්මක තොරතුරු ලබාගත හැකියි.

අපේ 'මම' යන අත්දැකීම මොළයේ විවිධ ක්‍රියාවලීන්ගේ එකතුවකින් ගොඩනැඟෙනවාද යන්නත් පරීක්ෂා කළ හැකියි.

එහෙත් මොළයේ කිසිදු තැනක කුඩා පාලකයෙකු හමු නොවීමෙන් පමණක් බෞද්ධ අනාත්මය ඔප්පු වෙනවාද?

නැහැ. මොළයේ පාලකයෙකු නැති බවත්, බෞද්ධ දර්ශනයේ ස්ථිර, ස්වාධීන ආත්මයක් නොමැති බවත් එකම ප්‍රකාශයක් නොවෙයි.

අපට පරීක්ෂා කළ හැක්කේ 'මම' යන අත්දැකීමට සම්බන්ධ ස්නායු ක්‍රියාවලීන් සහ ඒවායේ හේතුකාරක සම්බන්ධතායි. එම ප්‍රතිඵල අනාත්මය පිළිබඳ දාර්ශනික සාකච්ඡාවට ආලෝකයක් ලබාදිය හැකි වුවත්, එය තනි පරීක්ෂණයකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවෙයි.

අවසානයේ ශූන්‍යතාව ගැන සිතමු.

අපි රන් මුද්දක් ගනිමු.

එහි බර, පරිමාව, රසායනික සංයුතිය සහ පරමාණුක ව්‍යුහය මැන බැලිය හැකියි. දැන් එම මුද්ද උණුකර රන් කැබැල්ලක් බවට පත් කළොත්?

රන් තවමත් තිබෙනවා. එහෙත් මුද්ද කොහේ ගියාද?

අපට 'මුද්ද' නමින් හඳුන්වා දිය හැකි ස්වාධීන අංශුවක් හෝ අලුතින් අතුරුදන් වූ විශේෂ භෞතික ද්‍රව්‍යයක් හෝ සොයාගත නොහැකියි.

මුද්ද යන අනන්‍යතාව එහි හැඩය, භාවිතය, අපේ නම් කිරීම සහ සමාජ සම්මුති ඇතුළු සම්බන්ධතා ගණනාවක් මත රඳා පවතිනවා.

මෙය ශූන්‍යතාව පිළිබඳ අදහසට ළඟා වීමට උපකාරී වන සරල උපමාවක් පමණයි.

කෙසේ වෙතත්, බෞද්ධ දාර්ශනික සම්ප්‍රදායන් තුළ, විශේෂයෙන් අභිධර්මයේ විවිධ ප්‍රවේශයන් සහ මධ්‍යමක දර්ශනයේ විග්‍රහයන් ඔස්සේ, මෙවැනි සංකල්ප පිළිබඳව වඩාත් සංකීර්ණ අර්ථකථන සහ මතභේද මතු කළ හැකි බව මා පිළිගන්නවා. ඒවාට අදාළ ග්‍රන්ථ, විවරණ සහ ශාස්ත්‍රීය සම්ප්‍රදායන් පිළිබඳ අධ්‍යයනය වැදගත් බවත් අවිවාදිතයි.

එහෙත් මෙවැනි සාකච්ඡාවලදී ඇතැම්විට අපට මුහුණදීමට සිදුවන්නේ අදහස් අතර විවාදයකට වඩා, කවුරුන් කුමන ග්‍රන්ථ කියවා තිබේද, කවුරුන් කුමන සම්ප්‍රදාය හදාරා තිබේද යන්න මත ගොඩනැඟෙන බුද්ධිමය අධිකාරිය පිළිබඳ තරගයකටයි. කිසියම් ග්‍රන්ථයක් කියවා නොතිබීම හෝ යම් දාර්ශනික සම්ප්‍රදායක විශේෂඥයෙකු නොවීම, විද්‍යාත්මක ප්‍රකාශයක් පිළිබඳ ප්‍රශ්න කිරීමට ඇති අයිතිය අහිමි කරන හේතුවක් ලෙස ඉදිරිපත් වන අවස්ථා ද අපට හමුවෙනවා.

නමුත් මෙතැනදී මා අසන්නට කැමති ප්‍රශ්නය තරමක් වෙනස්.

කිසියම් දාර්ශනික සංකල්පයක් පිළිබඳව තවත් ග්‍රන්ථ සියයක් කියවා, තවත් අර්ථකථන සියයක් ඉදිරිපත් කළත්, ඒ හේතුවෙන්ම භෞතික විද්‍යාවේ පරීක්ෂණයකින් ලැබුණු ප්‍රතිඵලයක අර්ථය වෙනස් විය යුතුද?

ඒවා අපේ දාර්ශනික අවබෝධය පුළුල් කිරීමට උපකාරී විය හැකියි. ඇතැම්විට අප මුලින් ඉදිරිපත් කළ උපමාවක දුර්වලතා හෝ අඩුපාඩු පෙන්වා දීමටත් හැකියි. එහෙත් එම අර්ථකථන මඟින් පමණක් භෞතික විද්‍යාත්මක සාක්ෂියක් අලුතින් නිර්මාණය වන්නේ නැහැ.

අනෙක් අතට, විද්‍යාත්මක න්‍යායක් ද නව සාක්ෂි හමුවේ සංශෝධනය විය හැකියි. එහි බලය තිබෙන්නේ වෙනස් නොවී පැවතීමේ නොව, නව සාක්ෂි හමුවේ තමන්වම නිවැරදි කරගැනීමට ඇති හැකියාව තුළයි.

ඒ නිසාම මෙතැනදීත් අප ප්‍රවේශම් විය යුතුයි. රන් මුද්දේ අනන්‍යතාව වෙනස් වීමෙන් නාගාර්ජුනගේ ශූන්‍යතාව පිළිබඳ දර්ශනය පරීක්ෂණාත්මකව ඔප්පු වන්නේ නැහැ. එසේම එම දර්ශනයේ ගැඹුර හෝ එයට ඇති ශාස්ත්‍රීය අධිකාරිය නිසා ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ප්‍රතිඵලයක් එයට සාක්ෂියක් බවට පත්වන්නේත් නැහැ.

ශූන්‍යතාව යනු වස්තූන් නොපවතින බව හෝ අවකාශය හිස් බව හෝ නොවෙයි. විශේෂයෙන් මධ්‍යමක දර්ශනයේදී එයින් විමසන්නේ දේවල් තමන්ටම අයත්, අනෙක් සියල්ලෙන් ස්වාධීන වූ ස්වභාවයකින් පවතින්නේද යන්නයි.

එය භෞතික විද්‍යාවේ රික්තය (Quantum Vacuum) සමඟ සමාන කිරීමත් ඒ නිසාම ප්‍රවේශමෙන් කළ යුතුයි. ක්වොන්ටම් රික්තය යනු නිශ්චිත ගණිතමය න්‍යායකින් විස්තර කරන භෞතික තත්ත්වයක්. ශූන්‍යතාව යනු එවැනි තවත් භෞතික ක්ෂේත්‍රයක් හෝ ශක්ති ප්‍රභවයක් නොවෙයි.

මේ සිතුවිලි අත්හදා බැලීම් තුනෙන් මා පෙන්වීමට උත්සාහ කරන්නේ සරල වෙනසක්.

විද්‍යාත්මක උපකල්පනයක් ඉදිරිපත් කරන විට, අප නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද, එය මනින්නේ කෙසේද, වෙනත් පැහැදිලි කිරීම්වලින් එය වෙන්කර හඳුනාගන්නේ කෙසේද, අපේ උපකල්පනය වැරදි බව පෙන්විය හැක්කේ කුමන ප්‍රතිඵලයකින්ද යන්න පැහැදිලි කළ යුතුයි.

දාර්ශනික සංකල්පයක වටිනාකම තීරණය වන්නේ එය පරීක්ෂණාගාරයකින් ඔප්පු කළ හැකිද යන්නෙන් පමණක් නොවෙයි. නමුත් අප එය විද්‍යාත්මකව ඔප්පු වී ඇතැයි කියන මොහොතේ, ඒ ප්‍රකාශය සඳහා විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කිරීමේ වගකීමත් අප භාරගන්නවා.

පරිකල්පනයට සීමා පැනවිය යුතු නැහැ. එහෙත් පරිකල්පනයෙන් උපදින ප්‍රකාශයක් විද්‍යාත්මක සොයාගැනීමක් ලෙස ඉදිරිපත් කරන විට, ඒ දෙක අතර ඇති දුර අපට අමතක කළ නොහැකියි.

පරීක්ෂණයකින් පෙන්වන දෙයට වඩා වැඩි දෙයක්, අපේ දාර්ශනික කැමැත්ත නිසා එයට ආරෝපණය නොකළ යුතුයි.

පුනර්භවය පිළිබඳ ප්‍රශ්නය

දැන් අපි ලිපියේ වඩාත් සංවේදී කොටසට පැමිණෙනවා.

බෞද්ධ සම්ප්‍රදායන්හි පුනර්භවය කියන්නේ මරණයෙන් පසු යම් නොවෙනස්වන ආත්මයක් එක් ශරීරයකින් තවත් ශරීරයකට ගමන් කිරීමක් ලෙස සරලව විස්තර කළ නොහැකියි.

විශේෂයෙන්ම මුල් බෞද්ධ සූත්‍රවල විඤ්ඤාණය හේතු ප්‍රත්‍යයන් මත හටගන්නා දෙයක් ලෙස සාකච්ඡා වෙනවා.

මජ්ඣිම නිකායේ මහාතණ්හාසංඛය සූත්‍රය (MN 38) මෙහිදී වැදගත්.

එහි සති (හෝ සාති) නම් භික්ෂුව, එකම විඤ්ඤාණයක් භවයෙන් භවයට ගමන් කරනවා යන අදහසක් ඉදිරිපත් කරනවා. බුදුන් වහන්සේ එම අදහස ප්‍රතික්ෂේප කරමින් විඤ්ඤාණය හේතු ප්‍රත්‍යයන් මත හටගන්නා බව පැහැදිලි කරනවා.

මෙහිදී බෞද්ධ දර්ශනය මතුකරන්නේ ඉතා සියුම් ප්‍රශ්නයක්.

ස්ථිර ආත්මයක් නොමැති නම්, ජීවිත අතර අඛණ්ඩතාව ගැන කතා කරන්නේ කෙසේද?

ථෙරවාද අටුවා සම්ප්‍රදායේ සහ මිලින්දපඤ්හය වැනි ග්‍රන්ථවල මේ සම්බන්ධයෙන් පහනකින් තවත් පහනක් දැල්වීම වැනි උපමා භාවිත වෙනවා.

පළමු පහනේ ගිනිදැල්ල දෙවන පහනට වස්තුවක් මෙන් ගමන් කරන්නේ නැහැ. එහෙත් දෙවන ගිනිදැල්ල හටගැනීමට පළමුවැන්න හේතුවක් වෙනවා.

මෙය බෞද්ධ සම්ප්‍රදාය තුළ හේතුඵල අඛණ්ඩතාව පැහැදිලි කිරීමට යොදාගන්නා උපමාවක්.

නමුත් ක්වොන්ටම් පැටලීමත් එවැනිම අඛණ්ඩතාවක් ඇති කරනවා යැයි අපට නිගමනය කරන්න බැහැ.

ඒ සඳහා අඩුම තරමින් පිළිතුරු දිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

මොහොතකට අපේ මොළය ගැනම සිතමු. මිනිස් මොළයක නියුරෝන බිලියන 86ක් පමණ තිබෙනවා. ඒවා එකිනෙක සමඟ සම්බන්ධ වන උපාගම (Synapses) ට්‍රිලියන ගණනක් තිබෙන අතර, මේ සියලු සෛල ගොඩනැඟී තිබෙන්නේ ඊටත් වඩා අතිවිශාල පරමාණු සංඛ්‍යාවකින්. මේ නියුරෝන අතර විද්‍යුත් හා රසායනික සංඥා හුවමාරු වෙනවා. අපේ මතකය, සංවේදනය, සිතීම සහ තීරණ ගැනීම වැනි ක්‍රියාවලීන් සමඟ සම්බන්ධ වී තිබෙන්නේ මේ අතිශය සංකීර්ණ, නිරන්තරයෙන් වෙනස් වන ජීව විද්‍යාත්මක පද්ධතියයි.

දැන් කෙනෙකු මේ සමස්ත පද්ධතිය ක්වොන්ටම් පැටලීමක් මඟින් එකට බැඳී තිබෙනවා යැයි ප්‍රකාශ කළොත්? අපි කතා කරන්නේ පරමාණු දෙකක් හෝ ඉලෙක්ට්‍රෝන දෙකක් ගැන නොවෙයි. පරමාණු අතිවිශාල සංඛ්‍යාවකින් ගොඩනැඟුණු, පරිසරය සමඟ නිරන්තරයෙන් ශක්තිය හා ද්‍රව්‍ය හුවමාරු කරන, ශරීර උෂ්ණත්වයේ ක්‍රියාත්මක වන මොළයක් ගැනයි. එවැනි පද්ධතියක සියලුම අංශු ඇතුළත් ක්වොන්ටම් තත්ත්වය ගණිතමය වශයෙන් නිරූපණය කිරීම න්‍යායිකව සලකා බැලිය හැකි වුවත්, එය සම්පූර්ණයෙන් නිර්ණය කිරීම හෝ පරීක්ෂණාත්මකව ප්‍රතිනිර්මාණය කිරීම අපගේ වර්තමාන හැකියාවන්ට බොහෝ දුරින් තිබෙනවා. එපමණක් නොව, පරිසරය සමඟ සිදුවන අන්තර්ක්‍රියා නිසා ඇතිවන ක්වොන්ටම් විසංසක්තීකරණය (Decoherence) ද මෙවැනි විශාල පද්ධතියක ක්වොන්ටම් සහසම්බන්ධතා අධ්‍යයනය කිරීමේදී නොසලකා හැරිය නොහැකි සාධකයක්.

එහෙත් මෙයින් මොළය තුළ කිසිදු ක්වොන්ටම් ක්‍රියාවලියක් සිදු නොවන බවක් අදහස් වෙන්නේ නැහැ. මොළය ද අනෙකුත් සියලු භෞතික පද්ධති මෙන්ම ක්වොන්ටම් නියමයන්ට යටත් ද්‍රව්‍යයෙන් සෑදී තිබෙනවා. අප තවමත් ප්‍රමාණවත් ලෙස නොදන්නා ක්වොන්ටම් ක්‍රියාවලීන් එහි ක්‍රියාත්මක විය හැකි බවත් ප්‍රතික්ෂේප කළ නොහැකියි. නමුත් එවැනි ක්‍රියාවලියක් පැවතීම, සිතුවිලි හෝ විඥානය ක්වොන්ටම් පැටලීමක් ලෙස ගබඩා වී ඇති බවට සාක්ෂියක් නොවෙයි.

මෙතැනදී මගේ කුතුහලය තවත් පියවරක් ඉදිරියට යනවා. මොළයේ කිසියම් පරමාණුක හෝ උපපරමාණුක පද්ධතියක, පුද්ගලයෙකුගේ මතකය හෝ විඥානය සමඟ අර්ථවත් සම්බන්ධයක් ඇති තොරතුරු රටාවක් ගබඩා වී තිබිය නොහැකිද? එවැනි රටාවක් මරණයෙන් පසුවත් යම් ආකාරයකින් නොනැසී පවතිමින් වෙනත් ස්ථානයකට සම්ප්‍රේෂණය විය නොහැකිද?

මේවා ඇසීමට හැකි ප්‍රශ්නයි. නමුත් ඒවාට පිළිතුරු දීමට නම් පරිකල්පනය පමණක් ප්‍රමාණවත් නැහැ. තොරතුරු ගබඩා වන්නේ කුමන භෞතික පද්ධතියකද, එය කේතනය වී තිබෙන්නේ කෙසේද, එම පද්ධතිය විනාශ වූ පසු තොරතුරු නොනැසී පවතින්නේ කෙසේද, වෙනත් පද්ධතියකට එය සම්ප්‍රේෂණය වන්නේ කුමන අන්තර්ක්‍රියාවක් මඟින්ද යන්න පැහැදිලි කළ යුතුයි. තවද එම තොරතුරු නව ජීවියෙකුගේ මතකයට හෝ විඥානයට හේතුකාරක ලෙස සම්බන්ධ වන බව පෙන්විය යුතුයි.

ඒ අනුව අපට නැවතත් මුල් ප්‍රශ්න කිහිපය ඇසීමට සිදුවෙනවා.

මරණයට පෙර පැවති ක්වොන්ටම් තත්ත්වය කුමක්ද? එය රඳවාගෙන සිටින්නේ කුමන භෞතික පද්ධතියකද? මරණයෙන් පසු එම තත්ත්වය පවතින්නේ කෙසේද? එය වෙනත් ජීවියෙකු සමඟ සම්බන්ධ වන යාන්ත්‍රණය කුමක්ද? ඒ සම්බන්ධතාව පරීක්ෂා කළ හැක්කේ කෙසේද?

මේ ප්‍රශ්නවලට පරීක්ෂා කළ හැකි පිළිතුරු ලැබෙන තුරු, මොළයේ ක්වොන්ටම් ස්වභාවය සහ පුනර්භවය අතර සම්බන්ධයක් ඇතැයි කීම විද්‍යාත්මක නිගමනයකට වඩා තවමත් පරිකල්පනාත්මක උපකල්පනයක් ලෙස සැලකිය යුතුයි.

මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන පිළිගත් ක්වොන්ටම් ආකෘතියක් අප සතුව නැහැ.

ඒ නිසා ක්වොන්ටම් පැටලීම පුනර්භවයට සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීම සාධාරණ නැහැ.

එහෙත් මෙහි අනෙක් පැත්තත් වැදගත්.

ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් පුනර්භවය සනාථ නොවීම, පුනර්භවය අසත්‍ය බව විද්‍යාත්මකව ඔප්පු කිරීමක් නොවෙයි.

මේ දෙක අතර වෙනස අපි රැකගත යුතුයි.

අනාත්මය, අභිධර්මය සහ ශූන්‍යතාව එකම දෙයක්ද?

බුදුදහම ගැන කතා කරන විටත් අපට තවත් ගැටලුවක් මතුවෙනවා.

අපි බොහෝ විට බෞද්ධ දර්ශනය කියන්නේ එකම, නොවෙනස්වන මතවාදයකට වගේ.

නමුත් එහි විවිධ සම්ප්‍රදායන් තිබෙනවා. ඒවා අතර වැදගත් දාර්ශනික වෙනස්කම් ද තිබෙනවා.

මුල් බෞද්ධ ඉගැන්වීම්වල අනාත්මය විමසන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඤ්ඤාණ යන පංචස්කන්ධ ඇසුරෙන්.

මෙහි අරමුණ භෞතික අංශු පිළිබඳ නව න්‍යායක් ගොඩනැඟීම නොවෙයි. අපි 'මම' සහ 'මගේ' ලෙස අල්ලාගන්නා අත්දැකීම්වල ස්වභාවය අවබෝධ කරගැනීමයි.

අභිධර්ම සම්ප්‍රදායන් තුළ ධර්මයන්ගේ ස්වභාවය, ඒවායේ ක්ෂණිකත්වය සහ පුද්ගලයාගේ සම්මුතිමය පැවැත්ම ගැන විවිධ විශ්ලේෂණ තිබෙනවා.

මේවා ක්වොන්ටම් අංශු පිළිබඳ න්‍යායන්ට සමාන කළ යුතු නැහැ.

අභිධර්මයේ 'ක්ෂණය' සහ භෞතික විද්‍යාවේ කාලය මැනීම එකම දෙයක් නොවෙයි.

මහායාන බෞද්ධ දර්ශනයේ යෝගාචාර සම්ප්‍රදාය තවත් වෙනස් ප්‍රශ්න මතුකරනවා.

එහි ආලයවිඥානය (ālaya-vijñāna) සහ කර්ම බීජ පිළිබඳ සංකල්ප අත්දැකීම්වල සහ කර්මයේ අඛණ්ඩතාව පැහැදිලි කිරීමට යොදාගන්නවා.

නමුත් ආලයවිඥානය යනු ක්වොන්ටම් තොරතුරු ගබඩාවක් යැයි පැවසීමට කිසිදු ගණිතමය හෝ පරීක්ෂණාත්මක පදනමක් නැහැ.

නාගාර්ජුනගේ මධ්‍යමක දර්ශනයේදී ප්‍රශ්නය තවත් ගැඹුරු වෙනවා.

එහි ශූන්‍යතාව කියන්නේ කිසිවක් නොපවතින බව නොවෙයි. දේවල් ස්වාධීන, ස්වභාවසිද්ධ පැවැත්මකින් යුක්ත බවට කරන ප්‍රකාශය විවේචනය කිරීමයි.

මෙහිදී ක්වොන්ටම් භෞතික විද්‍යාව සමඟ දාර්ශනික සංවාදයකට යම් ඉඩක් තිබෙනවා.

නමුත් අපි එයින් 'ක්වොන්ටම් පැටලීම තමයි ශූන්‍යතාව' යැයි නිගමනය කළොත්, ශූන්‍යතාව තවත් භෞතික වස්තුවක් හෝ ස්ථිර සත්‍යයක් බවට පත් කිරීමේ අවදානමක් ඇති වෙනවා.

එය නාගාර්ජුනගේ විවේචනයේ අරමුණටම විරුද්ධ විය හැකියි.

නිරීක්ෂකයා කියන්නේ මිනිස් සිතද?

මේ සම්බන්ධයෙන් මට නිතර දකින්නට ලැබෙන තවත් ප්‍රකාශයක් තිබෙනවා.

“ක්වොන්ටම් භෞතික විද්‍යාව අනුව නිරීක්ෂකයා නොමැතිව යථාර්ථයක් නැහැ.”

මෙහි 'නිරීක්ෂකයා' කියන වචනය ඉතා ප්‍රවේශමෙන් භාවිත කළ යුතුයි.

ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මිනුමක් සඳහා සවිඥානික මිනිසෙකුගේ මනස අනිවාර්ය බව සම්මත න්‍යාය කියන්නේ නැහැ. මිනුම් උපකරණයක් සහ ක්වොන්ටම් පද්ධතියක් අතර සිදුවන භෞතික අන්තර්ක්‍රියාවක් මෙහිදී ප්‍රමාණවත් විය හැකියි. ඇත්ත වශයෙන්ම ක්වොන්ටම් මිනුම පිළිබඳ දාර්ශනික ගැටලු තවමත් සම්පූර්ණයෙන් විසඳී නැහැ.

කෝපන්හේගන් අර්ථකථනය, එවරට්ගේ Many-Worlds, බෝම්ගේ න්‍යායය, කාර්ලෝ රොවෙල්ලිගේ Relational Quantum Mechanics සහ QBism වැනි විවිධ ක්වොන්ටම් අර්ථකථන තිබෙනවා.

මේවා සියල්ලම එකම දාර්ශනික නිගමනයකට පැමිණෙන්නේ නැහැ. 

ඇතැම් අර්ථකථන ක්වොන්ටම් තත්ත්වයක භෞතික යථාර්ථය පිළිබඳව අවධානය යොමු කරන අතර, තවත් සමහරක් මිනුම, නිරීක්ෂකයා, සම්බන්ධතා හෝ විද්‍යාත්මක දැනුමේ ස්වභාවය පිළිබඳව වෙනස් ප්‍රවේශයන් ඉදිරිපත් කරනවා. එහෙත් ඒවායින් බොහොමයක් සාමාන්‍ය ක්වොන්ටම් පරීක්ෂණ සඳහා එකම සංඛ්‍යාත්මක ප්‍රතිඵල ලබාදෙන නිසා, අර්ථකථන අතර වෙනස සරල පරීක්ෂණයකින්ම විසඳාගත හැකි දෙයක් නොවෙයි.

රොවෙල්ලිගේ සම්බන්ධතාමය ක්වොන්ටම් අර්ථකථනය නාගාර්ජුනගේ දර්ශනය සමඟ සංවාදයකට ගෙන ආ හැකියි. ඒ දෙක අතර සම්බන්ධතාමය ස්වභාවය පිළිබඳව සිත්ගන්නාසුලු සමානකම් හඳුනාගැනීමටත් හැකියි. නමුත් එයින් නාගාර්ජුන ක්වොන්ටම් භෞතික විද්‍යාව කලින්ම දැන සිටියා යැයි හෝ රොවෙල්ලිගේ න්‍යාය මඟින් නාගාර්ජුනගේ දර්ශනය සනාථ වෙනවා යැයි හෝ නිගමනය කළ නොහැකියි.

එසේම අපේ දාර්ශනික මතයට වඩාත් ගැළපෙන ක්වොන්ටම් අර්ථකථනයක් තෝරාගෙන, එය අපේ මතය සනාථ කරන විද්‍යාත්මක සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමත් සාධාරණ නැහැ.

මෙහිදී තවත් කරුණක් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ක්වොන්ටම් භෞතික විද්‍යාවේ සියලුම අර්ථකථන, ඒවායේ ගණිතමය පදනම්, පරීක්ෂණාත්මක ප්‍රතිඵල සහ දාර්ශනික ප්‍රතිවිපාක සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන මෙවැනි සංසන්දනාත්මක සාකච්ඡාවකට පිවිසීම අප සැමටම පහසුවෙන් කළ හැකි කාර්යයක් නොවෙයි. එවැනි පූර්ණ අවබෝධයක් මෙවැනි ලිපියකින් ලබාදීමට උත්සාහ කිරීමත් යථාර්ථවාදී නැහැ. ඒ සඳහා විශේෂිත අධ්‍යයනයක්, ගැඹුරු ගණිතමය දැනුමක් සහ දීර්ඝ දාර්ශනික විමර්ශනයක් අවශ්‍ය වෙනවා.

එහෙත් ඒ සංකීර්ණත්වය අපේ සංවාදයට බාධාවක් කරගත යුතු නැහැ. එය අපට වඩාත් ප්‍රවේශම් සහගතව ප්‍රශ්න ඇසීමට හේතුවක් කරගත හැකියි.

මෙවැනි සංවාදයකට පිවිසෙන සෑම කෙනෙකුම සියලුම ක්වොන්ටම් අර්ථකථන පිළිබඳ විශේෂඥයෙකු විය යුතු නැහැ. එසේම සියලුම බෞද්ධ දාර්ශනික සම්ප්‍රදායන් පිළිබඳ පූර්ණ අවබෝධයක් තිබිය යුතුත් නැහැ. නමුත් තමන් ඉදිරිපත් කරන ප්‍රකාශය කුමන දැනුම් ක්ෂේත්‍රයට අයත්ද, එයට පදනම් වන සාක්ෂි මොනවාද, එය උපමාවක්ද, අර්ථකථනයක්ද, නැතහොත් පරීක්ෂණාත්මකව තහවුරු කළ නිගමනයක්ද යන්න පැහැදිලි කිරීමට අප සැමටම වගකීමක් තිබෙනවා.

මා මෙහිදී උත්සාහ කරන්නේ සංවාදයට අවසාන තීන්දුවක් ලබාදීමට නොව, එය පවත්වාගෙන යාමට අවශ්‍ය පැහැදිලි සීමා කිහිපයක් හඳුනාගැනීමටයි.

ඒවා සංවාදය අත්හිටුවන හෝ තිරිංග ලෙස වැටෙන බාධක නොවෙයි. මාර්ගයක දෙපස ඇති ආරක්ෂක වැටවල් මෙන්, අපේ පරිකල්පනයට ඉදිරියට ගමන් කිරීමට ඉඩ සලසන අතරම, විද්‍යාත්මක සාක්ෂි සහ දාර්ශනික අර්ථකථන එකිනෙක සමඟ පටලවා ගැනීමෙන් අපව ආරක්ෂා කරන සීමායි. ඒ සීමා සංවාදයට සහභාගි වන සියලු දෙනාටම එකසේ පැහැදිලි වීමයි වැදගත්. 

ඒ නිසා අප ඉක්මනින්ම කවුරුන් හරිද, කවුරුන් වැරදිද යන්න තීරණය කිරීමට උත්සාහ කළ යුතු නැහැ. එසේම කිසියම් දාර්ශනික සම්ප්‍රදායක්, ආගමික චින්තන පාසලක් හෝ බුද්ධිමය කණ්ඩායමක් හෙළාදැකීමත් මෙහි අරමුණ නොවෙයි.

අපට අවශ්‍ය වන්නේ එකිනෙකාගේ අදහස් විවේචනාත්මකව විමසා බැලිය හැකි, නව සාක්ෂි හමුවේ තමන්ගේම නිගමන සංශෝධනය කිරීමට සූදානම්, විවෘත සංවාදයක් පවත්වාගෙන යාමයි.

එහෙත් මෙවැනි විවෘත සංවාදයක් ප්‍රායෝගික තලයේ කොතරම් දුරට පවතිනවාද යන්න පිළිබඳව මට ඇත්තේ යම් සැකයක්. මා නිරීක්ෂණය කර ඇති ඇතැම් සාකච්ඡාවලදී, ඉදිරිපත් කරන අදහසෙහි අන්තර්ගතය විමසා බැලීමට වඩා එය ඉදිරිපත් කරන පුද්ගලයාගේ පසුබිම, අනන්‍යතාව හෝ පෞද්ගලික මතවාද ඉස්මතු කිරීම ප්‍රමුඛ වන බවක් පෙනෙනවා. එවැනි අවස්ථාවල සංවාදය ක්‍රමයෙන් අදහස් අතර විමර්ශනයකින් බැහැරව, පුද්ගලයන් අතර මතභේදයක් බවට පත්වීම කනගාටුදායකයි.

විශේෂයෙන්ම දේශපාලනික හා මතවාදී අනන්‍යතා මෙවැනි සාකච්ඡාවලට බලපාන ආකාරය ද නොසලකා හැරිය නොහැකියි. ඇතැම්විට විද්‍යාත්මක හෝ දාර්ශනික ප්‍රශ්නයකට ලැබෙන ප්‍රතිචාරය තීරණය වන්නේ එහි තර්කය හෝ සාක්ෂි මත නොව, එම අදහස ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න මත බවක් පෙනෙනවා. මෙය කිසියම් පාර්ශ්වයකට පමණක් ආරෝපණය කළ හැකි තත්ත්වයක් නොවෙයි. අප සැමටම තමන්ගේ පූර්ව විශ්වාස සහ අනන්‍යතා හේතුවෙන් මෙවැනි නැඹුරුවීම් ඇති විය හැකියි.

මා මෙය සඳහන් කරන්නේ කිසිවකුට චෝදනා කිරීමට නොව, අප බලාපොරොත්තු වන විවෘත බුද්ධිමය සංවාදය සහ ප්‍රායෝගිකව ඇතැම්විට දක්නට ලැබෙන සංවාද රටාව අතර පරතරයක් තිබෙන බව පෙන්වා දීමටයි. ඒ පරතරය පිළිගැනීමත්, හැකි තරම් එය අඩුකර ගැනීමට උත්සාහ කිරීමත් අපේම වගකීමක් බව මට සිතෙනවා.

සංවාදයක වටිනාකම තිබෙන්නේ එයින් ජයග්‍රාහකයෙකු තෝරාගැනීමේ නොව, සංවාදයට පිවිසීමට පෙර අප නොදුටු දෙයක් එයින් පසුව දැකගැනීමට හැකිවීම තුළයි.

පොපර් මෙතැනට කැඳවමු

මෙතැනදී මට කාල් පොපර්ගේ විද්‍යා දර්ශනය මතක් වෙනවා.

පොපර් ඉදිරිපත් කළ වැදගත් අදහසක් වූයේ විද්‍යාත්මක න්‍යායකට එය වැරදි බව පෙන්විය හැකි පරීක්ෂණාත්මක අවස්ථාවක් තිබිය යුතු බවයි.

මෙය Falsifiability ලෙස හඳුන්වනවා.

උදාහරණයක් ලෙස බෙල්ගේ අසමානතාව ගනිමු.

එහි නිශ්චිත උපකල්පන යටතේ සීමාවක් තිබෙනවා. ඒ සීමාව ඉක්මවන පරීක්ෂණ ප්‍රතිඵල ලැබුණොත් අදාළ උපකල්පන සියල්ල එකවර රඳවාගත නොහැකියි.

එහිදී න්‍යාය පරීක්ෂණයක අවදානමකට මුහුණ දෙනවා.

දැන් 'ක්වොන්ටම් පැටලීම පුනර්භවය පැහැදිලි කරනවා' යන ප්‍රකාශය ගනිමු.

මෙහිදී අප පරීක්ෂා කළ යුතු ක්වොන්ටම් පද්ධතිය කුමක්ද? මැනිය යුතු රාශිය කුමක්ද? කුමන ප්‍රතිඵලයක් ලැබුණොත් මෙම ප්‍රකාශය වැරදි බව පිළිගන්නවාද?

මේ කිසිවක් නිශ්චිතව ඉදිරිපත් නොකළොත් එය විද්‍යාත්මක පැහැදිලි කිරීමකට වඩා දාර්ශනික අනුමානයක් ලෙස පවතිනවා.

නමුත් මෙහිදීත් අපි පොපර්ව අධිකරණයක අවසාන විනිසුරුවරයා කරගත යුතු නැහැ.

ඔහුගේ නිර්ණායකය පිළිබඳව පසුකාලීන විද්‍යා දර්ශනයේ විවේචන තිබෙනවා.

එමෙන්ම පරීක්ෂණයකින් අසත්‍ය කළ නොහැකි සියලු ප්‍රකාශ අර්ථශූන්‍ය බව පොපර් පැවසුවේත් නැහැ.

කලාව, සාහිත්‍යය, සදාචාරය සහ දාර්ශනික විමසීම් අපේ ජීවිතයට වැදගත් වීමට ඒ සියල්ල භෞතික විද්‍යාගාරයකදී පරීක්ෂා කළ හැකි වීම අවශ්‍ය නැහැ.

නමුත් ඒවා භෞතික විද්‍යාත්මක සොයාගැනීම් ලෙස ඉදිරිපත් කරන විට, විද්‍යාවේ පරීක්ෂණ ක්‍රමවලට මුහුණ දිය යුතුයි.

බෞද්ධ දර්ශනය සහ නූතන විද්‍යාව අතර සංවාදය නවත්වන්න ඕනෑද?

කොහෙත්ම නැහැ.

මට නම් මේ දෙක අතර සංවාදය ඉතාමත් රසවත්.

කාර්ලෝ රොවෙල්ලි වැනි භෞතික විද්‍යාඥයන් නාගාර්ජුනගේ අදහස් තමන්ගේ දාර්ශනික විමසීම් සඳහා ප්‍රයෝජනවත් බව පෙන්වා දී තිබෙනවා.

දලයි ලාමා තුමා ද බෞද්ධ දර්ශනය සහ නූතන විද්‍යාව අතර සංවාදයට වැදගත් දායකත්වයක් ලබා දී තිබෙනවා.

Mind & Life වැනි වැඩසටහන් තුළ විද්‍යාඥයන්, බෞද්ධ චින්තකයන් සහ දාර්ශනිකයන් එකට සාකච්ඡා කර තිබෙනවා.

එවැනි සංවාදවල වටිනාකම තිබෙන්නේ දෙපාර්ශ්වය එකම දෙයක් කියන බව ඔප්පු කිරීමේ නොවෙයි.

එකිනෙකාගේ ප්‍රශ්න ඇසීමෙන් අපේම උපකල්පන පරීක්ෂා කිරීමට හැකිවීමේයි.

උදාහරණයක් ලෙස, ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මිනුම සහ නිරීක්ෂකයා පිළිබඳ ගැටලුව අපට දැනුම ලබාගන්නා ආකාරය ගැන අලුත් ප්‍රශ්න මතුකරනවා.

බෞද්ධ දර්ශනයේ අනාත්මය අපට 'මම' යනුවෙන් හඳුන්වන අත්දැකීම ගැන නැවත සිතීමට ආරාධනා කරනවා.

මේ දෙකෙන් එකක් අනෙක ඔප්පු කළ යුතු නැහැ.

ඒවා එකිනෙකට වෙනස් මාර්ගවලින් අපේ සිතීම පුළුල් කරන්න පුළුවන්.

තවත් වැදගත් ප්‍රශ්නයක්: සියල්ල සියල්ල සමඟ පැටලී තිබෙනවාද?

ක්වොන්ටම් පැටලීම ජනප්‍රිය දාර්ශනික භාෂාවට ඇතුළු වූ විට එය බොහෝ විට 'විශ්වයේ සියල්ල එකිනෙකට සම්බන්ධයි' යන අදහසට පරිවර්තනය වෙනවා.

නමුත් ක්වොන්ටම් පැටලීමේ ගණිතය එතරම් සරල නැහැ.

පැටලීමේ ප්‍රමාණය, එය බෙදාගත හැකි ආකාරය සහ පරිසරය සමඟ සිදුවන අන්තර්ක්‍රියා පිළිබඳ සීමා තිබෙනවා.

උදාහරණයක් ලෙස, කියුබිට් දෙකක් උපරිම ලෙස එකිනෙකා සමඟ පැටලී තිබේ නම්, ඒ දෙකෙන් එකක් තවත් ස්වාධීන කියුබිට් එකක් සමඟත් එම ආකාරයෙන්ම උපරිම ලෙස පැටලී තිබිය නොහැකියි.

මෙය Entanglement Monogamy නම් සංකල්පයට සම්බන්ධයි.

තවත් වැදගත් කරුණක් වන්නේ Decoherence යි.

ක්වොන්ටම් පද්ධතියක් පරිසරය සමඟ අන්තර්ක්‍රියා කරන විට, අපට අධ්‍යයනය කිරීමට අවශ්‍ය ක්වොන්ටම් සහසම්බන්ධතා සහ සුසංගතතාව රඳවාගැනීම අපහසු විය හැකියි.

ඒ නිසා 'විශ්වයේ හැම දෙයක්ම හැම දෙයක් සමඟම එකම ආකාරයෙන් පැටලී තිබෙනවා' යන ප්‍රකාශය භෞතික විද්‍යාවේ නිශ්චිත නිගමනයක් නොවෙයි.

එය ඇතැම් විට කාව්‍යමය ප්‍රකාශයක් විය හැකියි.

නමුත් කවිය සහ භෞතික විද්‍යාව අතර වෙනසක් තිබෙනවා.

කවියකට රූපකයක් ප්‍රමාණවත් විය හැකියි. භෞතික විද්‍යාවට එය ප්‍රමාණවත් නැහැ.

මෙය බුදුදහමට පමණක් අදාළ විවේචනයක් නොවෙයි

මෙතැනදී තවත් දෙයක් අවධාරණය කරන්න කැමතියි.

අපි ක්වොන්ටම් භෞතික විද්‍යාව බෞද්ධ දර්ශනයට සම්බන්ධ කරන ආකාරය විවේචනය කරනවා නම්, ඒ විවේචනයම අනෙකුත් දාර්ශනික හා මනෝවිශ්ලේෂණාත්මක න්‍යායන්ටත් අදාළ විය යුතුයි.

ෆ්‍රොයිඩ්ගේ අවිඥානය ක්වොන්ටම් ක්ෂේත්‍රයක් යැයි කී පමණින් එය විද්‍යාත්මක ප්‍රකාශයක් වෙන්නේ නැහැ.

යුංගේ Synchronicity සංකල්පය සහ ක්වොන්ටම් පැටලීම අතර සමානකම් පෙන්වූ පමණින් එකක් අනෙක සනාථ කරන්නේ නැහැ.

ලකාන්ගේ Real, Symbolic සහ Imaginary යන සංකල්ප තුන භෞතික විද්‍යාවේ යම් ගණිතමය ව්‍යුහයකට සමාන කර දැක්වීමෙන් ලකාන්ගේ න්‍යාය විද්‍යාත්මකව ඔප්පු වෙන්නේත් නැහැ.

මෙතැනදී මට මතක් වෙන්නේ භෞතික විද්‍යාඥ ඇලන් සෝකල් (Alan Sokal) 1996දී ඇති කළ ආන්දෝලනයයි.

Alan Sokal


ඔහු Social Text නම් ශාස්ත්‍රීය සඟරාවට හිතාමතාම විද්‍යාත්මක යෙදුම්, දාර්ශනික ප්‍රකාශ සහ සංකීර්ණ ගණිතමය භාෂාව එකිනෙකට ගළපමින්, බැලූ බැල්මට ගැඹුරු ශාස්ත්‍රීය ලිපියක් සේ පෙනෙන නමුත් තර්කානුකූලව නොගැළපෙන අදහස් ඇතුළත් රචනයක් ඉදිරිපත් කළා. එය පළ වූ පසුව, එම ලිපිය තමන් හිතාමතාම කළ ප්‍රයෝගයක් බව ඔහු හෙළි කළා.

මෙය පසුව Sokal Affair ලෙස ප්‍රසිද්ධ වුණා.

සෝකල්ගේ මෙම ප්‍රයෝගයෙන් සියලු දාර්ශනික න්‍යායන් අසත්‍ය බවක් හෝ විද්‍යාවෙන් බැහැර බුද්ධිමය අධ්‍යයනවල වටිනාකමක් නැති බවක් ඔප්පු වුණේ නැහැ. එහෙත් සංකීර්ණ විද්‍යාත්මක භාෂාවක් යොදාගත් පමණින් යම් ප්‍රකාශයකට විද්‍යාත්මක වලංගුභාවයක් ලැබෙන්නේ නැති බව පිළිබඳ වැදගත් ප්‍රශ්නයක් එයින් මතු වුණා.

අපට ඉතා අලංකාර ලෙස වචන ගළපන්න පුළුවන්. ක්වොන්ටම් පැටලීම, ශූන්‍යතාව, අවිඥානය, පටිච්චසමුප්පාදය, සම්බන්ධතාමය යථාර්ථය වැනි සංකල්ප එකම ඡේදයකට ගෙනැවිත්, ඒවා අතර අපූරු සමානකම් නිර්මාණය කරන්නත් පුළුවන්.

මෙතැනදී මට තවත් සම්බන්ධිත අදහසක් මතක් වෙනවා. ඒ කාව්‍යය සහ සත්‍යය අතර සම්බන්ධතාව පිළිබඳවයි.

අපේ සිංහල භාෂාවෙන් සිදුවන ඇතැම් සාහිත්‍යමය හා දාර්ශනික සංවාදවලදීත්, කවිය යනු හුදෙක් සෞන්දර්යාත්මක ප්‍රකාශනයක් නොව, සත්‍යය සොයා යා හැකි විශේෂ මාර්ගයක් බවට අදහස් ඉදිරිපත් වෙනවා. එය කිසිසේත්ම පදනමක් නැති අදහසක් නොවෙයි. එවැනි චින්තනයකට දිගු දාර්ශනික ඉතිහාසයක් තිබෙනවා.

රොමෑන්තික කවීන් වූ වර්ඩ්ස්වර්ත්, කෝල්රිජ් සහ ෂෙලී පරිකල්පනය මිනිසාගේ ලෝකාවබෝධය පුළුල් කළ හැකි ශක්තියක් ලෙස සැලකුවා. පසුකාලීනව මාටින් හයිඩෙගර්, විශේෂයෙන් හෝල්ඩර්ලින්ගේ කාව්‍යය ඇසුරෙන්, කලාව සහ කාව්‍යය තුළින් සත්‍යය අනාවරණය විය හැකි ආකාරය පිළිබඳව ගැඹුරු දාර්ශනික විමර්ශනයක් කළා.

හයිඩෙගර්ගේ Aletheia සංකල්පය මෙහිදී වැදගත්. එහිදී සත්‍යය යනු ප්‍රකාශයක් නිවැරදිද වැරදිද යන්න පරීක්ෂා කිරීම පමණක් නොව, මෙතෙක් සැඟවී තිබූ යමක් අපට අනාවරණය වන ආකාරයක් ද වෙනවා.

මේ අදහස් ඉතා වැදගත් දාර්ශනික සංවාදයකට මඟ විවර කරනවා. නමුත් එයින් තවත් ප්‍රශ්නයක් මතු වෙනවා.

කවියක් තුළින් අපට යම් සත්‍යයක් අනාවරණය විය හැකි නම්, එම සත්‍යය සහ භෞතික විද්‍යා පරීක්ෂණයකින් තහවුරු කරන සත්‍යය එකම වර්ගයේ දේවල්ද?

කවියකින් මිනිස් අත්දැකීමක්, වේදනාවක්, සම්බන්ධතාවක් හෝ අප මෙතෙක් නොදුටු ලෝකයේ පැතිකඩක් අනාවරණය විය හැකියි. එයින් අපේ අවබෝධය සැබැවින්ම වෙනස් විය හැකියි. එවැනි අත්දැකීමක වටිනාකම මැනීමට භෞතික විද්‍යාවේ උපකරණයක් අවශ්‍ය නැහැ.

එහෙත් කවියකින් ක්වොන්ටම් අංශු දෙකක් අතර පැටලීමක් සිදුවන බව හෝ මරණයෙන් පසු විඥානය වෙනත් ශරීරයකට සම්ප්‍රේෂණය වන බව හෝ ප්‍රකාශ කළ පමණින්, එය පරීක්ෂණාත්මක සාක්ෂියක් බවට පත්වන්නේ නැහැ.

මෙතැනදී මා විවේචනය කරන්නේ කාව්‍යය නොවෙයි. කාව්‍යමය අනාවරණය සහ විද්‍යාත්මක තහවුරු කිරීම අතර ඇති වෙනස නොසලකා හැරීමයි.

එසේම කාව්‍යමය භාෂාවකින් දාර්ශනික සංකල්ප දෙකක් අතර අලංකාර සම්බන්ධතාවක් නිර්මාණය කළ හැකි වුවත්, එයින් පමණක් නව න්‍යායික සංශ්ලේෂණයක් බිහි වන්නේ නැහැ. ඒ සඳහා සංකල්ප දෙකේ අර්ථයන්, ඒවා අතර සම්බන්ධතාව සහ එම සම්බන්ධතාවෙන් උපදින නව අවබෝධය තර්කානුකූලව පැහැදිලි කළ යුතුයි.

සෝකල්ගේ විවේචනයත්, කාව්‍යය සහ සත්‍යය පිළිබඳ හයිඩෙගර්ගේ විමර්ශනයත් එකම දෙයක් නොවෙයි. නමුත් ඒ දෙක එකට කියවන විට මට වැදගත් ප්‍රශ්නයක් මතු වෙනවා.

අපට ලෝකය පිළිබඳ අලුත් ආකාරයකින් සිතීමට උපකාරී වන භාෂාවක්, ලෝකය පිළිබඳ අලුත් භෞතික සොයාගැනීමක් සමඟ පටලවා නොගෙන අගය කළ නොහැකිද?

මා සිතන්නේ අපට එය කළ හැකි බවයි. එසේ කළ යුතු බවත් මට සිතෙනවා.

කවියට කවියක් ලෙසත්, දර්ශනයට දර්ශනයක් ලෙසත්, විද්‍යාවට විද්‍යාවක් ලෙසත් තමන්ටම ආවේණික ශක්තීන් තිබෙනවා. ඒවා අතර සංවාදය වැදගත් වන්නේ ඒ වෙනස්කම් මකා දැමීමෙන් නොව, ඒ වෙනස්කම් පිළිගනිමින් එකිනෙකින් ඉගෙනගැනීමට හැකිවීම තුළයි.

ඒ අනුව අපට ඉතා අලංකාර ලෙස වචන සහ අදහස් එකිනෙක ගළපන්න පුළුවන්. ක්වොන්ටම් පැටලීම, ශූන්‍යතාව, අවිඥානය, පටිච්චසමුප්පාදය, සම්බන්ධතාමය යථාර්ථය වැනි සංකල්ප එකම ඡේදයකට ගෙනැවිත්, ඒවා අතර අපූරු සමානකම් නිර්මාණය කරන්නත් පුළුවන්. ඒවා මහ හඬින්, ආකර්ෂණීය ලෙස සභාවක් ඉදිරියේ ප්‍රකාශ කරන්නත් පුළුවන්.

මෙවැනි සංවාද සහ කතිකා මණ්ඩපවලදී ඇතැම්විට කවීන්, සාහිත්‍යකරුවන් සහ කාව්‍යමය භාෂාවට හුරු දේශකයන් ප්‍රමුඛත්වය ගන්නා බවත් අපට දකින්න ලැබෙනවා. ඔවුන්ට නූතන විද්‍යාවේ සංකීර්ණ සංකල්ප පවා සාහිත්‍යමය රූපක, උපමා සහ අලංකාර භාෂාව ඔස්සේ සෞන්දර්යාත්මක අත්දැකීමක් බවට පත් කිරීමේ අපූරු හැකියාවක් තිබිය හැකියි. එවැනි ඉදිරිපත් කිරීමක් අසන්නන්ගේ අවධානය දිනාගන්නා, ඔවුන්ගේ පරිකල්පනය අවදි කරන, ඇතැම්විට ඔවුන් මනබැඳ තබාගන්නා කාන්දමක් වැනියි.

එහෙත් මෙතැනදී සියුම් වෙනසක් තිබෙනවා. යම් අදහසක් ඉතා ආකර්ෂණීය ලෙස ප්‍රකාශ කළ හැකි වීමත්, එම අදහස තර්කානුකූලව හෝ පරීක්ෂණාත්මකව තහවුරු වී තිබීමත් එකම දෙයක් නොවෙයි. ඇතැම්විට භාෂාවේ සෞන්දර්යය නිසාම, එහි අන්තර්ගතය පිළිබඳ අප ඇසිය යුතු ප්‍රශ්න පවා මොහොතකට අමතක වී යා හැකියි.

එවැනි රචනයක් හෝ දේශනයක් සාහිත්‍යමය වශයෙන් ආකර්ෂණීය විය හැකියි. ඇතැම්විට එය අලුත් දාර්ශනික ප්‍රශ්නයක් මතු කිරීමටත් සමත් වේවි. එහි ඇති නිර්මාණාත්මක වටිනාකම අප කිසිසේත්ම අවතක්සේරු කළ යුතු නැහැ.

නමුත් වචන අතර ගොඩනඟන අලංකාර සම්බන්ධතාවක්, සංකල්ප අතර තහවුරු කළ න්‍යායික සම්බන්ධතාවකට සමාන වෙන්නේ නැහැ. එසේම වචන සහ අදහස් මනරම් ලෙස ගළපා ඉදිරිපත් කළ පමණින් නව විද්‍යාත්මක හෝ දාර්ශනික සංශ්ලේෂණයක් බිහි වෙන්නේත් නැහැ.

සැබෑ සංශ්ලේෂණයක් සඳහා සම්බන්ධ කරන සංකල්පවල මුල් අර්ථයන් පැහැදිලි විය යුතුයි. ඒවා අතර ඇති සම්බන්ධතාව තර්කානුකූලව ගොඩනැඟිය යුතුයි. එයින් අපට කලින් නොතිබුණු අවබෝධයක්, නව පැහැදිලි කිරීමක් හෝ විමසා බැලිය හැකි ප්‍රශ්නයක් ලැබෙන්නේ කෙසේද යන්නත් පෙන්වා දිය යුතුයි. විද්‍යාත්මක ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ නම්, එයට අදාළ පරීක්ෂණාත්මක සාක්ෂි ද අවශ්‍ය වෙනවා.

එවැනි සමානකම් ගැන සිතීම වරදක් නොවෙයි. ඇත්තෙන්ම විවිධ දැනුම් ක්ෂේත්‍ර අතර නව අදහස් මතු වීමට උපමා සහ සංකල්පමය සම්බන්ධතා බොහෝවිට උපකාරී වෙනවා.

නමුත් සමානකමක්, උපමාවක්, න්‍යායික සංශ්ලේෂණයක් සහ පරීක්ෂණාත්මක සාක්ෂියක් යනු එකිනෙකට වෙනස් දේවල් බව අපි හඳුනාගත යුතුයි.

මේ විවේචනයේදී මම බෞද්ධ දර්ශනයට පමණක් විශේෂ නිර්ණායකයක් පනවන්නේ නැහැ. මගේම දාර්ශනික රුචිකත්වයන්ටත් එම නිර්ණායකයම අදාළ කරගන්නවා.

අවසානයේ අපට ඉතිරිවන්නේ කුමක්ද?

මට නම් මේ සාකච්ඡාවෙන් ඉතිරිවන්නේ ඉතා සරල, නමුත් වැදගත් අදහසක්.

විද්‍යාවෙන් අපට යම් සංසිද්ධියක් ගැන අලුත් දෙයක් ඉගෙනගන්න ලැබුණු විට, එය අප කලින් විශ්වාස කළ දේවල් සනාථ කිරීමට ඉක්මන් නොවිය යුතුයි.

සමහර විට එය අපේ විශ්වාසයන්ට අභියෝග කරනවා ඇති. තවත් විටෙක ඒවා සමඟ දාර්ශනික සමානකම් පෙන්වනවා ඇති.

නමුත් ඒ සමානකම් සාක්ෂි බවට පත්කිරීම සඳහා වෙනම තර්කයක්, වෙනම පරීක්ෂණයක් අවශ්‍යයි.

බෞද්ධ දර්ශනයේ වටිනාකම ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් එය සනාථ වීම මත රඳා පවතින්නට අවශ්‍ය නැහැ.

එසේම ක්වොන්ටම් භෞතික විද්‍යාවේ වටිනාකමත් එය වසර දෙදහස් පන්සියයකට පෙර කිසිවෙකු විසින් දැන සිටියාද නැද්ද යන්න මත රඳා පවතින්නේ නැහැ.

අපට බෞද්ධ දර්ශනයෙන් මනුෂ්‍ය අත්දැකීම, දුක, ආශාව සහ පැවැත්ම ගැන ප්‍රශ්න අසන්න පුළුවන්.

ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් පදාර්ථය, මිනුම, සම්භාවිතාව සහ භෞතික යථාර්ථය ගැන ප්‍රශ්න අසන්න පුළුවන්.

මේ දෙක අතර සංවාදයක් තිබිය හැකියි. ඇතැම් විට ඉතා ඵලදායී සංවාදයක්.

නමුත් ඒ සංවාදයේ සුන්දරත්වය පවතින්නේ ඒ දෙක බලහත්කාරයෙන් එකම දෙයක් බවට පත් කිරීමේ නොවෙයි.

අප නොදන්නා දෙයක් හමුවූ විට, එය අප දැනටමත් දන්නා දෙයකට සමාන කර සැනසීමට වඩා, එහි වෙනස පිළිගෙන තවදුරටත් විමසා බැලීම වඩාත් අවංක බුද්ධිමය ක්‍රියාවක් විය හැකියි.

සමහර විට විද්‍යාවටත් දර්ශනයටත් අපෙන් අවශ්‍ය වන්නේ එපමණයි.


වැඩිදුර කියවීමට

  1. John S. Bell — On the Einstein Podolsky Rosen Paradox (1964).

  2. Stanford Encyclopedia of Philosophy — Quantum Entanglement and Information.

  3. මජ්ඣිම නිකාය, MN 38 — මහාතණ්හාසංඛය සූත්‍රය.

  4. සංයුත්ත නිකාය, SN 22.59 — අනත්තලක්ඛණ සූත්‍රය.

  5. Carlo Rovelli — Helgoland (2021).

  6. Nāgārjuna — Mūlamadhyamakakārikā.

  7. Karl Popper — The Logic of Scientific Discovery.

  8. The Dalai Lama — The Universe in a Single Atom (2005).

  9. Evan Thompson — Why I Am Not a Buddhist (2020).

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

AI යුගයේ Humanities: විද්‍යාවට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න