සීනුව නාද කළ මිනිසා එහි හඬටම නතු වූ විට: කවියක්, ලකාන්ගේ කතිකා හතර සහ සංකීර්ණ සංඛ්‍යා

 

සීනුව නාද කළ මිනිසා එහි හඬටම නතු වූ විට: කවියක්, ලකාන්ගේ කතිකා හතර සහ සංකීර්ණ සංඛ්‍යා

සාහිත්‍ය විචාරයට ගණිතමය හා කෘත්‍රිම බුද්ධිමය ප්‍රවේශයක් සොයා යන අත්හදා බැලීමක්

2017 වසරේදී මම නිරාෂ ගුණසේකරගේ හෙනා ලියවැලක හිනාවෙන මල් පෙති කාව්‍ය සංග්‍රහය කියවමින් තරමක් වෙනස් අත්හදා බැලීමක් කළෙමි. ඒ, එහි කවි සාම්ප්‍රදායික සාහිත්‍ය විචාරයකට පමණක් සීමා නොකර, ප්‍රංශ මනෝවිශ්ලේෂක ජාක් ලකාන් (Jacques Lacan) හඳුන්වා දුන් කතිකා හතර (Four Discourses) ඇසුරෙන් විමසා බැලීමයි.

එහිදී මා උත්සාහ කළේ එක් කවියක් එක් කතිකාවකට පමණක් අයත් යැයි තීරණය කිරීමට නොවේ. ඒ වෙනුවට කවියක් තුළ කතිකා කිහිපයක ලක්ෂණ විවිධ ප්‍රමාණවලින් හඳුනාගත හැකිදැයි සොයා බැලීමටය.

ඒ අනුව, කවි හතළිහක් සඳහා මා විසින්ම නිර්ණය කළ ප්‍රතිශතමය අගයන් යොදාගෙන වර්ගීකරණයක් සකස් කළෙමි. එම අගයන් විද්‍යාත්මකව මනින ලද සම්භාවිතාවන් නොවීය. ඒවා මගේ කියවීම මත පදනම් වූ සාපේක්ෂ අර්ථකථන බර තැබීම්ය.

එකල එම ක්‍රමයට ප්‍රමාණවත් න්‍යායික හෝ සංඛ්‍යානමය පදනමක් මා සතුව නොතිබිණි. එහෙත් සාහිත්‍ය කෘතියක් තුළ කථකයාගේ ස්ථානය, අධිකාරිය, දැනුම සහ ආශාව අතර ඇති සම්බන්ධතා වෙනස් ආකාරයකින් විමසා බැලිය හැකිද යන ප්‍රශ්නය මා තුළ තිබිණි.

වසර නවයකට පසු, දැන් මම නැවත එම අත්හදා බැලීම වෙත පැමිණ සිටිමි. මෙවර එය සංකීර්ණ සංඛ්‍යා (Complex Numbers), චක්‍රීය ගණිතමය පරිවර්තන සහ කෘත්‍රිම බුද්ධිය ආධාරයෙන් පරීක්ෂා කළ හැකි ක්‍රමවේදයක් දක්වා වර්ධනය කිරීමේ හැකියාව සොයා බැලීම සඳහාය.

කුරිරු සතුටකට පසු
   
ඉපැරණි කුළුන මුදුණෙහි
යමළ බැඳි නිසල සණ්ටාව
හාත්පස මුළු නිහඬතාවම
උරා උසුලා සිටින කල...   

කැලෑ පාගා කඩා බිඳගෙන
මංමුලා වැල් මැදින් දුව විත්
බිඳී විසිරුණු ඒ සිනාවන්
ඇතුළු කුටියක රාව දෙනකොට
දරා ඉවසා ඉන්න බැරි තැන
දිරාගිය ලණු පොටෙන් ඇදලා
පළාතම දෙදරුම් කවන්නෙමි...   

සදා ලැග හුන් කුරුලු පැටවුන්
මිදී කූඩුවෙන් ඉගිල යනකොට
රුදුරු සතුටක් හිතෙන් විඳිමින්
මතක මැද නොවැටී හිඳින්නෙමි
ඈත කඳුවල වැදී හැරෙනා
දෝංකාරය බදා ගන්නෙමි...   

යෝධ සණ්ටා සලිතයේ ඇති
රාව අනුරාවකට නතුවෙමි
නිහඬතාවය සෙමෙන් ගන වී
යළිදු සැකසෙන ලොව බලන්නෙමි...!   

සීනුවේ හඬට නතු වන කථකයා

එම කාව්‍ය සංග්‍රහයේ කුරිරු සතුටකට පසු නමැති කවිය මේ අත්හදා බැලීම පැහැදිලි කිරීමට සුදුසු උදාහරණයකි.

කවිය ආරම්භ වන්නේ පැරණි කුලුනක නිසලව පවතින සීනුවක රූපකයෙනි. එය අවට නිහඬතාව දරා සිටියි. එහෙත් කථකයාට ඇසෙන සිනාවන් සමඟ එම නිහඬතාව තවදුරටත් ඉවසිය නොහැකි තත්ත්වයකට පත්වෙයි.

ඔහු සීනුව නාද කිරීමට තීරණය කරයි.

දරා ඉවසා ඉන්න බැරි තැන
දිරාගිය ලණු පොටෙන් ඇදලා
පළාතම දෙදරුම් කවන්නෙමි...

මෙහිදී කථකයා ක්‍රියාව මෙහෙයවන්නෙකු ලෙස පෙනී සිටියි. ඔහු නිහඬතාව බිඳ දමයි. එයින් උපදින ප්‍රතිඵලය පිළිබඳවද කිසියම් සතුටක් ලබයි.

එහෙත් කවියේ ඉතා වැදගත් වෙනස සිදුවන්නේ ඉන් අනතුරුවය.

යෝධ සණ්ටා සලිතයේ ඇති
රාව අනුරාවකට නතුවෙමි

සීනුව නාද කළ තැනැත්තා අවසානයේ එහි හඬටම නතු වෙයි.

මුලදී තම ක්‍රියාව පාලනය කළ බවක් පෙනුණු කථකයා, තමන් විසින්ම ඇති කළ ප්‍රතිඵලයකට යටත් වෙයි. ක්‍රියාව සිදු කළ subject සහ එහි ප්‍රතිඵලයට මුහුණ දෙන subject අතර පරතරයක් මතුවෙයි.

2017 දී මෙම කවියට මා ලබාදුන් වර්ගීකරණයේ Hysteric's Discourse සඳහා 80%ක බරක් යෙදී තිබිණි. අනෙක් කතිකා සඳහා එම අගයන් වූයේ Master 5%, University 5% සහ Analyst 10% යන්නයි.

අද එම පැරණි තීරණය නැවත සලකා බලන විට, එහි ප්‍රධාන හේතුව වූයේ කථකයා නිහඬතාවට එරෙහිව ක්‍රියා කිරීම පමණක් නොව, තම ක්‍රියාවේ ප්‍රතිඵලයට ඔහුම නතු වීම බව මට පෙනේ.

මෙය ලකාන්ගේ බෙදුණු subject (divided subject) පිළිබඳ සංකල්පය ඔස්සේ කියවිය හැකි අවස්ථාවකි.

එහෙත් මෙහිදී වැදගත් සීමාවක් තිබේ. කථකයාගේ පාලනය බිඳ වැටීම පමණින් එම කවිය Hysteric's Discourse එකට අයත් බව ඔප්පු නොවේ. ඒ සඳහා කථකයා ආමන්ත්‍රණය කරන අධිකාරිය, ඔහුගේ ආශාව සහ එම සම්බන්ධයෙන් නිපදවෙන දැනුම ද විමසා බැලිය යුතුය.

එබැවින් 80% යන අගය අවසාන නිගමනයක් නොව, වැඩිදුර පරීක්ෂාවට ලක් කළ යුතු පැරණි අර්ථකථන තීරණයකි.

ලකාන්ගේ කතිකා හතරට සංකීර්ණ සංඛ්‍යා සම්බන්ධ වන්නේ කෙසේද?

ලකාන්ගේ කතිකා හතර නම් Master, University, Analyst සහ Hysteric යන ව්‍යුහයන්ය. ඒවා සාමාන්‍යයෙන් පුද්ගලයන්ගේ චරිත වර්ග හතරක් නොව, සමාජ සම්බන්ධතාවලදී අධිකාරිය, දැනුම, subject සහ ආශාවට සම්බන්ධ වස්තුව ස්ථානගත වන ආකාර හතරකි.



මෙම ව්‍යුහයන්හි විශේෂත්වයක් වන්නේ ඒවායේ මූලික පද හතර චක්‍රීයව ස්ථාන මාරු කිරීමෙන් එක් කතිකාවක සිට තවත් කතිකාවකට ගමන් කළ හැකි වීමයි.

එම චක්‍රීය සැකැස්ම සංකීර්ණ සංඛ්‍යා තලයක නිරූපණය කිරීමට අපට හැකිය.

උදාහරණයක් ලෙස,

  • Master = 1

  • University = i

  • Analyst = −1

  • Hysteric = −i

ලෙස සංකේතවත් කළ හැකිය.

මෙහි i යනු i² = −1 වන අතාත්වික ඒකකයයි (imaginary unit).

මෙම අගයන් අනුපිළිවෙළින් සලකන විට, සංකීර්ණ තලයේ අංශක 90 බැගින් සිදුවන චක්‍රීය ගමනක් නිරූපණය වේ. එහෙත් මෙයින් ලකාන්ගේ කතිකා හතර සංකීර්ණ සංඛ්‍යා බව හෝ මිනිස් ආශාව ගණිතමය අගයකින් මැනිය හැකි බව හෝ අදහස් නොවේ. අප මෙහිදී කරන්නේ කතිකා අතර ඇති ව්‍යුහාත්මක සම්බන්ධතා නිරූපණය කිරීමට ගණිතමය භාෂාවක් යොදා ගැනීමයි. එවැනි නිරූපණයක් මගින් එක් කවියකට ලබාදුන් කතිකා බර තැබීම් එකිනෙක සමඟ සංසන්දනය කිරීමටත්, කවි කිහිපයක අර්ථකථන රටා හඳුනාගැනීමටත්, වෙනස් කියවීම් අතර ඇති දුර සහ සම්බන්ධතා පරීක්ෂා කිරීමටත් හැකියාවක් ලැබේ.

නමුත් ගණිතමය පරිවර්තනයෙන් නව සාහිත්‍යමය අර්ථයක් ස්වයංක්‍රීයව උපදින්නේ නැත. එහි ප්‍රයෝජනය පවතින්නේ අර්ථකථන ක්‍රියාවලිය වඩාත් පැහැදිලි, සංසන්දනාත්මක සහ විවේචනයට විවෘත කිරීම තුළය.

කෘත්‍රිම බුද්ධියට මෙහි කළ හැකි කාර්යයක් තිබේද?

මෙහිදී මතුවන මගේ ඊළඟ ප්‍රශ්නය වන්නේ මෙවැනි ක්‍රමවේදයක් AI-සහායක සාහිත්‍ය විචාරයකට පදනමක් කරගත හැකිද යන්නයි. කවියක් කියවා එය Master හෝ Hysteric යැයි AI පද්ධතියක් නම් කිරීම පමණක් එතරම් වැදගත් කාර්යයක් නොවේ. වඩාත් වැදගත් වන්නේ එම තීරණයට එළඹීමට හේතු වූ පාඨමය සාක්ෂි හඳුනාගැනීම, එකිනෙකට තරග කරන අර්ථකථන ඉදිරිපත් කිරීම සහ එම තීරණ වෙනත් කියවන්නන්ගේ තීරණ සමඟ සංසන්දනය කළ හැකි වීමයි.

උදාහරණයක් ලෙස, එකම කවියක් ස්වාධීන කියවන්නන් කිහිපදෙනෙකු විසින් ලකාන්ගේ කතිකා හතර ඇසුරෙන් විග්‍රහ කළහොත්, ඔවුන්ගේ තීරණ අතර එකඟතාව සහ වෙනස්කම් ගණිතමය වශයෙන් පරීක්ෂා කළ හැකිය. ඉන් අනතුරුව AI පද්ධතියකින්ද එම කාර්යය සිදු කරවා, එහි අර්ථකථන මිනිස් කියවීම් සමඟ සංසන්දනය කිරීමට හැකිය.

මෙහිදී පරීක්ෂා කළ යුතු ප්‍රශ්නය වන්නේ AI කවියක සැබෑ අර්ථය සොයාගත්තේද යන්න නොවේ.

කෘත්‍රිම බුද්ධිය මගින් සාහිත්‍ය අර්ථකථනයක් ගොඩනැඟීමේදී, එම අර්ථකථනයට පාදක වූ සාක්ෂි සහ තීරණ වඩාත් විනිවිද පෙනෙන, පරීක්ෂා කළ හැකි ආකාරයකින් සංවිධානය කළ හැකිද යන්නයි.

මෙය තවමත් පර්යේෂණ යෝජනාවකි. එහි ප්‍රායෝගික වලංගුභාවය ස්ථාපිත වී නැත. විශේෂයෙන් ලකාන්ගේ කතිකා සරල වාක්‍ය වර්ගීකරණයක් නොවන බැවින්, එවැනි AI ක්‍රමයක් ගොඩනැඟීමේදී සැලකිය යුතු න්‍යායික හා ක්‍රමවේදීය ගැටලු මතුවනු ඇත.

සාහිත්‍ය විචාරයේ නව හැකියාවක් ද, නැතහොත් තවත් ගණිතමය නිරූපණයක් පමණක් ද?

මේ පර්යේෂණයේදී මා විවෘතව තබාගන්නා ප්‍රශ්නය එයයි.

ගණිතය යොදාගැනීමෙන් සාහිත්‍ය විචාරයක් අනිවාර්යයෙන්ම වඩාත් නිවැරදි වන්නේ නැත. එසේම ගණිතමය නිරූපණයකට සාහිත්‍යමය අත්දැකීමේ සියලු සංකීර්ණතා ග්‍රහණය කරගත හැකි වන්නේ ද නැත. 2007 වසර පමණ සිට කවියටත් සාහිත්‍යයටත් ගණිතය ඈඳාගැනීමට මා දැරූ උත්සාහයන් බොහෝ දෙනෙකුගේ විවේචනයට මෙන්ම ඇතැම් විට ගර්හාවට ද පාත්‍ර වූ බව මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. එවැනි ප්‍රතිචාර ඇතිවීමට බලපෑ හේතු අධ්‍යයනය කිරීම ද වෙනම කටයුත්තකි. බොහෝ දෙනෙකුට ගණිතය කෙරෙහි පවතින අකමැත්ත, ඇතැම් විට බිය හෝ ආගන්තුකභාවය, මෙවැනි විරෝධයන්ට එක් හේතුවක් වන්නට ඇතැයි මම සිතමි. එහෙත් එය එකම හේතුව යැයි නිගමනය කිරීමට මට හදිසියක් නැත. සාහිත්‍යය සහ ගණිතය අතර සම්බන්ධතාව පිළිබඳ න්‍යායික එකඟ නොවීම් මෙන්ම, මා අනුගමනය කළ ක්‍රමවේදවල පැවතිය හැකි සීමාවන් ද එම විවේචනවලට හේතු වන්නට ඇත.

නමුත් සාහිත්‍ය විචාරය තුළ අප සාමාන්‍යයෙන් අර්ථකථනය කරමින් සිටින ඇතැම් සම්බන්ධතා වඩාත් නිශ්චිතව විස්තර කිරීමටත්, වෙනත් කියවීම් සමඟ සංසන්දනය කිරීමටත්, අපගේම උපකල්පන පරීක්ෂා කිරීමටත් එය උපකාරී විය හැකිය. එම හැකියාව සැබෑවක්දැයි තීරණය වන්නේ ගණිතයේ අලංකාරය මත නොව, එය සාහිත්‍ය කෘති කියවීමේදී ලබාදෙන අතිරේක ප්‍රයෝජනය මතය.

2017 දී මගේ අත්හදා බැලීම ආරම්භ වූයේ කවියක් තුළ කථකයාගේ ස්ථානය වෙනස් ආකාරයකින් කියවිය හැකිද යන කුතුහලයෙනි. අද එම කුතුහලය, ලකාන්ගේ කතිකා හතර, සංකීර්ණ සංඛ්‍යා සහ කෘත්‍රිම බුද්ධිය එකිනෙක හමුවන තැනක නව පර්යේෂණ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

සීනුව නාද කළ මිනිසා එහි හඬටම නතු වීමෙන් අපට හමුවන්නේ කවියේ එක් අර්ථයක් පමණක් නොවිය හැකිය.

එය කථකයාගේ ස්ථානය වෙනස් වන ආකාරය අප හඳුනාගන්නේ කෙසේද, එම වෙනස සාධාරණීකරණය කරන්නේ කෙසේද, සහ එවැනි කියවීමක් වෙනත් අයෙකුට පරීක්ෂා කළ හැකි ආකාරයකින් ඉදිරිපත් කරන්නේ කෙසේද යන ප්‍රශ්න ද මතු කරයි.

ඉදිරියේදී පළ කිරීමට බලාපොරොත්තු වන මගේ සවිස්තරාත්මක පර්යේෂණ ලිපියෙන්, මෙම ගණිතමය නිරූපණයේ පදනම, එහි සීමාවන් සහ 2017 කාව්‍ය අත්හදා බැලීම ඇසුරෙන් කළ හැකි පරීක්ෂණ තවදුරටත් විමසා බලමි.

මෙය සාහිත්‍ය විචාරය වෙනුවට ගණිතය ආදේශ කිරීමේ උත්සාහයක් නොවේ.

සාහිත්‍ය විචාරය තුළ අප කරන අර්ථකථනවල ව්‍යුහය තවත් පැහැදිලිව දැකගැනීමට ගණිතයට සහ කෘත්‍රිම බුද්ධියට යම් දායකත්වයක් ලබාදිය හැකිදැයි සොයා බැලීමේ උත්සාහයකි.

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

🎬 කුවේණිගේ ශාපය තවමත් අප අතරද? — ‘කුවණ්ණා’ නරඹන්නට පෙර සිතුණු දේ

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්