සංකේතවල සීමාව: ගර්ඩල්ගේ අසම්පූර්ණතාවයේ සිට ලැකාන්ගේ සංකේතීය ලෝකය දක්වා
සංකේතවල සීමාව
ගර්ඩල්ගේ අසම්පූර්ණතාවයේ සිට ලැකාන්ගේ සංකේතීය ලෝකය දක්වා
ගණිතය, අවිඥානය, කෘත්‍රිම බුද්ධිය සහ අවබෝධයේ සීමා පිළිබඳ විචාරාත්මක කියවීමක්
ඩෝසන් ප්‍රීති
අපට සිතිය හැක්කේ කුමක් ගැනද?
අප යමක් ගැන සිතන විට සැබැවින්ම සිදුවන්නේ කුමක්ද?
බොහෝ අවස්ථාවල අප සිතන්නේ වචන, රූප, සංකල්ප, ගණිතමය සංකේත සහ ඒවා අතර සම්බන්ධතා උපයෝගී කරගෙනය. අපට යම් දෙයක් හඳුනාගැනීමටත්, තවත් දෙයකින් එය වෙන්කර දැක්වීමටත්, ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමටත් කිසියම් නිරූපණ ක්‍රමයක් අවශ්‍ය වේ.
නමුත් මෙහිදී මට වැදගත් යැයි හැඟෙන ප්‍රශ්නයක් තිබේ.
අප සිතන දේවල් සියල්ලම අප භාවිත කරන සංකේතීය පද්ධතිය තුළ නිරූපණය කළ හැකි දේවල් පමණක් නම්, එම පද්ධතිය තුළ තවමත් නිරූපණය නොවූ දෙයක් ගැන අපට සිතිය හැක්කේ කෙසේද?
මෙය තරමක් පැහැදිලි කරගැනීමට සිතියමක් ගැන සිතමු.
අප අත කොළඹ නගරයේ සිතියමක් ඇතැයි සිතන්න. එහි ලේක්හවුස් ගොඩනැගිල්ල සලකුණු කර තිබේ නම්, එය සොයා යාමට මාර්ගයක් සැලසුම් කළ හැකිය. එහි පිහිටීමත්, අවට මාර්ගත්, අනෙකුත් ස්ථාන සමඟ ඇති සම්බන්ධතාත් අපට හඳුනාගත හැකිය.
එහෙත් සිතියමේ නොමැති ස්ථානයක් ගැන සිතන්න.
එම ස්ථානය සැබෑ ලෝකයේ නොපවතින බවක් එයින් අදහස් නොවේ. එය සිතියමේ නිරූපණය වී නැති බව පමණක් එයින් කියැවේ.
ඒ වගේම, අපගේ සිතීම සඳහා යොදාගන්නා සංකල්පීය සිතියමේ යම් දෙයක් නොමැති නම්, එය පිළිබඳ අපට සිතිය හැකි ආකාරය සීමා විය හැකිය.
මෙහිදී තවත් වැදගත් වෙනසක් තිබේ. සිතියමේ නොමැති ස්ථානයක් වෙනත් තොරතුරු ඇසුරෙන් සොයාගත හැකිය. එහෙත් අපගේ සංකල්පීය පද්ධතිය තුළ තවමත් ගොඩනැගී නොමැති වෙනසක් හෝ සම්බන්ධතාවක් ගැන සිතීම ඊට වඩා සංකීර්ණ ගැටලුවකි.
අපට එවැනි දෙයක් හඳුනාගැනීමට පවා අලුත් සංකල්පයක් නිර්මාණය කිරීමට සිදුවිය හැකිය.
මෙහිදී මා අසන්නේ භාෂාවෙන් ප්‍රකාශ කළ නොහැකි සියල්ල ලැකාන්ගේ Real බව නොවේ. එසේම, මෙය ගර්ඩල්ගේ අසම්පූර්ණතා ප්‍රමේයය (Godel's Incompleteness Theorem) පිළිබඳ ප්‍රකාශයක් ද නොවේ.
මා මුලින්ම අසන්නේ ඊට වඩා සාමාන්‍ය ප්රශ්නයකි.
අපගේ සිතීමේ හැකියාව, අප සිතීමට භාවිත කරන සංකේතීය ක්‍රමයෙන් කොපමණ දුරට හැඩගැසෙන්නේද?
මෙම ප්‍රශ්නයෙන් ආරම්භ කරමින්, ගණිතයේත් මනෝවිශ්ලේෂණයේත් වෙනස් මාර්ග දෙකක ගමන් කළ කුර්ට් ගර්ඩල් සහ ජැක් ලැකාන් අතර ඇතිවිය හැකි බුද්ධිමය සංවාදයක් ගොඩනැගීමට මම උත්සාහ කරමි.
එය ඔවුන් දෙදෙනා එකම දෙයක් පැවසූ බව ඔප්පු කිරීමේ උත්සාහයක් නොවේ.
ඔවුන් දෙදෙනාම, එකිනෙකට වෙනස් අර්ථවලින්, සංකේතීය පද්ධතිවල හැකියාවන් සහ සීමාවන් පිළිබඳ අපගේ අවධානය යොමු කරන බව පෙන්වීම මෙහි අරමුණයි.
සොසුර්ගේ භාෂාමය ලකුණේ සිට ලැකාන්ගේ සොරාගත් ලිපිය දක්වා
1844 දී එඩ්ගා ඇලන් පෝ ලියූ The Purloined Letter කෙටිකතාව ජැක් ලැකාන්ගේ මනෝවිශ්ලේෂණීය චින්තනය තුළ විශේෂ ස්ථානයක් ගනී. එහෙත් මෙම කතාව පිළිබඳ ලැකාන්ගේ අර්ථකථනය තේරුම් ගැනීමට පෙර, ඔහුගේ චින්තනයට බෙහෙවින් බලපෑ භාෂා විද්‍යාඥයෙකු වූ ෆර්ඩිනන්ඩ් ද සොසුර් (Ferdinand de Saussure, 1857–1913) පිළිබඳව කෙටියෙන් විමසා බැලීම ප්රයෝජනවත්ය.
සොසුර්ගේ භාෂා විද්‍යාවේ මූලික අදහසක් වන්නේ වචනයක් යනු හුදෙක් යම් වස්තුවකට අලවන නමක් නොවන බවයි.
ඔහු භාෂාමය ලකුණක් (linguistic sign) කොටස් දෙකක සම්බන්ධතාවක් ලෙස විස්තර කළේය.
එනම්,
Signifier (සංකේතකය): වචනයක ශබ්ද රූපය (sound-image).
Signified (සංකේතිකය): එම ශබ්ද රූපය සමඟ සම්බන්ධ වන සංකල්පය (concept).
උදාහරණයක් ලෙස, අප “ගස” යන වචනය භාවිත කරන විට එහි ශබ්ද රූපය සංකේතකය වන අතර, එම වචනයෙන් අපගේ සිතේ ඇතිවන ගස පිළිබඳ සංකල්පය සංකේතිකය වේ. මේ සිංහල යෙදුම් නුහුරු නම්, මුලදී ඒවාට අදාළ ඉංග්‍රීසි යෙදුම් භාවිත කිරීම පහසු විය හැකිය.
මෙහිදී සංකේතිකය යනු අප ඉදිරියේ තිබෙන සැබෑ ගස නොවන බව අවධාරණය කළ යුතුය. එය ගස පිළිබඳ සංකල්පයයි.
සොසුර්ට අනුව සංකේතකය සහ සංකේතිකය අතර සම්බන්ධතාව ස්වභාවධර්මය විසින් අනිවාර්යයෙන් තීරණය කරන ලද්දක් නොවේ. සිංහලෙන් “ගස” යනුවෙන් හඳුන්වන දෙය ඉංග්‍රීසියෙන් tree යනුවෙන් හඳුන්වන්නේ එබැවිනි. එසේම, භාෂාමය ලකුණක වටිනාකම (value) තීරණය වන්නේ භාෂා පද්ධතිය තුළ අනෙකුත් ලකුණු සමඟ එයට ඇති වෙනස්කම් සහ සම්බන්ධතා අනුවය.
ලැකාන් මෙම අදහස් තම මනෝවිශ්ලේෂණීය චින්තනයට ඇතුළත් කළ නමුත්, ඒවා එලෙසම භාවිත කළේ නැත.
මෙහිදී ඔහු සිදුකළ වැදගත් න්‍යායික වෙනසක් හඳුනාගත යුතුය.
සොසුර්ගේ භාෂාමය ලකුණ පිළිබඳ ප්‍රකට නිරූපණයේදී සංකේතිකය (signified) ඉහළින් ද සංකේතකය (signifier) පහළින් ද පිහිටුවා තිබුණි. එහෙත් ලැකාන් මෙම පිළිවෙළ ප්රතිවර්තනය කරමින් සංකේතකයට ප්රමුඛ ස්ථානයක් ලබාදෙයි.
ඔහුගේ Écrits කෘතියේ ඇතුළත් The Instance of the Letter in the Unconscious, or Reason Since Freud ලිපියේදී මෙම සම්බන්ධතාව පහත ආකාරයට නිරූපණය කරයි.
S / s
මෙහි,
S යනු සංකේතකය (signifier) වන අතර,
s යනු සංකේතිකය (signified) වේ.
සොසුර්ගේ නිරූපණය සමඟ සැසඳීමේදී මෙහි සංකේතකය ඉහළින් පිහිටුවා තිබීම අහඹු වෙනසක් නොවේ. එය ලැකාන්ගේ න්‍යායේ සංකේතකයට හිමි ප්‍රමුඛත්වය අවධාරණය කරයි. එසේම, මේ දෙක අතර ඇති තිරස් රේඛාව හුදෙක් සංකේතකය සහ සංකේතිකය වෙන්කරන සලකුණක් පමණක් නොවේ. ලැකාන් එය අර්ථකරණයට ඇති බාධාවක් (barrier resisting signification) ලෙස ද සලකයි.
එයින් අදහස් වන්නේ සංකේතකයක සිට එයට අදාළ අර්ථය වෙත සෑම විටම සෘජුව, බාධාවකින් තොරව ගමන් කළ නොහැකි බවයි. සංකේතකය සහ සංකේතිකය අතර සම්බන්ධතාව සරලව හා සදාකාලිකව ස්ථිර වූ එකක් ලෙස නොගත යුතු බව මෙයින් අවධාරණය කෙරේ.
ලැකාන් මෙහිදී සංකේතකයන් එකිනෙක සමඟ ඇතිකරගන්නා සම්බන්ධතා ඔස්සේ අර්ථය නිර්මාණය වන ආකාරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි.
උදාහරණයක් ලෙස, “ගෙදර” යන වචනය සලකා බලමු.
එය එක් අවස්ථාවක භෞතික ගොඩනැගිල්ලක් අදහස් කළ හැකිය. තවත් අවස්ථාවක පවුල, ආරක්ෂාව, ළමා කාලය හෝ අහිමි වූ ස්ථානයක් පිළිබඳ හැඟීමක් සමඟ සම්බන්ධ විය හැකිය.
එහෙත් මෙයින් “ගෙදර” යන වචනයට කිසිදු නිශ්චිත අර්ථයක් නැති බව අදහස් නොවේ. එම වචනයේ අර්ථය සහ එයින් මතුවන සම්බන්ධතා, එය භාවිත වන කථන සන්දර්භය සහ අනෙකුත් සංකේතකයන් සමඟ ඇති සම්බන්ධතා අනුව වෙනස් විය හැකි බවයි.
ලැකාන්ගේ signifying chain හෙවත් සංකේතක දාමය පිළිබඳ අදහස මෙහිදී වැදගත් වේ.
එක් සංකේතකයක් තවත් සංකේතකයකට සම්බන්ධ වෙමින් අර්ථය ගොඩනැගෙයි. එහෙත් එම අර්ථය සෑම විටම එක් අවසාන ස්ථානයක ස්ථිරව පවතින්නේ නැත. සංකේතක දාමයට පසුව එකතු වන සංකේතකයක් මගින් කලින් ප්‍රකාශ කළ දෙයක අර්ථය පවා නැවත අර්ථකථනය විය හැකිය.
මේ අනුව ලැකාන්ගේ න්‍යායේදී වැදගත් වන්නේ වචනයකට අර්ථයක් තිබීම පමණක් නොව, සංකේතකයන් අතර සම්බන්ධතා තුළින් අර්ථය නිර්මාණය වන, වෙනස් වන සහ ඇතැම් අවස්ථාවල තාවකාලිකව ස්ථාවර වන ආකාරයයි. මෙය භාෂාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අදහසක් පමණක් නොව, ලැකාන්ගේ මනෝවිශ්ලේෂණීය න්‍යායේ මූලික පදනමක් ද වේ. මන්ද, ඔහුට අනුව අවිඥානයේ ක්‍රියාකාරිත්වය අවබෝධ කරගැනීමේදී ද සංකේතකයන් අතර ඇති සම්බන්ධතා තීරණාත්මක වැදගත්කමක් ගන්නා බැවිනි.
ලැකාන්ට අනුව මිනිස් විෂයයා (subject) යනු භාෂාව තම කැමැත්තට අනුව භාවිත කරන, එයින් පරිබාහිරව ස්වාධීනව පවතින පුද්ගලයෙකු පමණක් නොවේ. විෂයයාගේ අනන්‍යතාව, ආශාව සහ අවිඥානික ක්‍රියාවලීන් ද ඔහු ඇතුළත් වන සංකේතීය පිළිවෙළ සමඟ ඇති සම්බන්ධතා තුළින් හැඩගැසෙයි.
මෙහිදී subject යන්න සඳහා සිංහලෙන් ඇතැම් විට භාවිත වන “ආත්මය” යන පදය වෙනුවට “විෂයයා” යන්න භාවිත කිරීමට මම කැමැත්තෙමි. ඊට හේතුව “ආත්මය” යන වචනයට අපගේ භාෂාමය හා සංස්කෘතික පසුබිම තුළ ආගමික සහ පාරභෞතික අර්ථ ද සම්බන්ධ වී තිබීමයි. එමගින් ශරීරයෙන් හෝ භාෂාවෙන් ස්වාධීනව පවතින, ස්ථිර අභ්‍යන්තර සාරයක් පිළිබඳ අදහසක් පාඨකයා තුළ ඇතිවිය හැකිය.
එහෙත් ලැකාන්ගේ subject සංකල්පය එවැනි ස්ථිර ආත්මයක් පිළිබඳ අදහසක් නොවේ. ඔහුගේ විග්රහයේදී විෂයයා සංකේතීය සම්බන්ධතා තුළින් ගොඩනැගෙන අතර, තමන් පිළිබඳ සම්පූර්ණ දැනුමක් හෝ පාලනයක් ඇති ඒකීය සවිඥානික මධ්‍යස්ථානයක් ලෙස ද සැලකිය නොහැකිය. එබැවින් ලැකාන්ගේ චින්තනයේදී භාෂාව යනු මිනිසා තම සිතුවිලි ප්‍රකාශ කිරීමට භාවිත කරන මෙවලමක් පමණක් නොවේ. මිනිස් විෂයයාගේම ගොඩනැගීමට දායක වන ව්‍යුහයක් ලෙස ද භාෂාව ක්‍රියා කරයි.
මෙහිදී අප තවත් වෙනසක් පැහැදිලි කරගත යුතුය.
ලැකාන්ගේ සංකේතීය පිළිවෙළ (Symbolic Order) යනු තනි වචන හෝ ලකුණු එකතුවක් පමණක් නොවේ. භාෂාව, නෑකම්, සමාජීය නීති, තහනම් සහ මිනිසුන් අතර සම්බන්ධතා සංවිධානය වන ව්‍යුහය ද එයට අයත් වේ.
මෙම පසුබිම තුළ දැන් අපට පෝගේ The Purloined Letter කෙටිකතාව වෙත නැවත පැමිණිය හැකිය.
මෙම කතාවේ එක්තරා ලිපියක් තිබේ. එහි අන්තර්ගතය පාඨකයාට හෙළි නොවේ. එහෙත් එම ලිපිය කා අත තිබේද, කවුරුන් එය දකින්නේද, කවුරුන් නොදකින්නේද යන්න අනුව කතාවේ චරිත අතර බල සම්බන්ධතා වෙනස් වෙයි. ලැකාන්ගේ අවධානය යොමුවන්නේ ලිපියේ අන්තර්ගතයට වඩා එය ගමන් කරන ආකාරය වෙතය.
එකම ලිපිය විවිධ පුද්ගලයන් අතට පත්වන විට ඔවුන්ගේ ස්ථාන සහ හැසිරීම් වෙනස් වෙයි. ලිපියේ අර්ථය අප නොදන්නා නමුත් එහි සංසරණය කතාවේ ව්‍යුහය තීරණය කරයි.
මෙහිදී ලිපිය සංකේතකයක ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන විශේෂ නිදර්ශනයක් බවට පත්වෙයි.
ලිපියේ අන්තර්ගතය නොදැන සිටියත්, එය සංකේතීය සම්බන්ධතා ජාලයක් තුළ ගමන් කරන ආකාරය අනුව පුද්ගලයන්ගේ ස්ථාන වෙනස් වන බව ලැකාන් පෙන්වයි.
මේ අනුව ඔහු ඉදිරිපත් කරන මූලික අදහසක් වන්නේ, පුද්ගලයා සංකේත භාවිත කරන ස්වාධීන ස්වාමියෙකු පමණක් නොව, සංකේතකයන් අතර සම්බන්ධතා තුළින් ඔහුගේම ස්ථානය තීරණය වන අයෙකු ද වන බවයි.
එහෙත් මෙහි තවත් වැදගත් කොටසක් තිබේ.
Écrits කෘතියේ ඇතුළත් Seminar on “The Purloined Letter” ලිපිය තුළ ලැකාන් මෙම සංකේතීය සම්බන්ධතා පිළිබඳ අදහස පැහැදිලි කිරීමට ගණිතමය ආකෘතියක් ද ඉදිරිපත් කරයි.
එහිදී ඔහු සංකේතකයන්ගේ අර්ථයට වඩා, ඒවා එකිනෙක සම්බන්ධ වන ආකාරය සහ එම සම්බන්ධතා තුළින් ඇතිවන නීති කෙරෙහි අවධානය යොමු කරයි.
එය ආරම්භ වන්නේ ඉතා සරල අහඹු ක්රියාවකිනි.
කාසියක් උඩ දැමීමෙනි.
අහඹු සිදුවීම්වලින් නීති බිහිවන්නේ කෙසේද?
කාසියක් කිහිප වතාවක් උඩ දැමූ විට ලැබෙන ප්‍රතිඵල අපි සංකේත දෙකකින් සටහන් කරමු.
හිස පැත්ත ලැබුණොත් (+) ලෙසත්, අනෙක් පැත්ත ලැබුණොත් (−) ලෙසත් සලකමු.
උදාහරණයක් ලෙස,
+ + − + − − + +
යන අනුක්‍රමය ලැබුණා යැයි සිතමු.
සාධාරණ කාසියක් භාවිත කළේ නම්, එක් එක් උඩ දැමීමේ ප්‍රතිඵලය පෙර ප්‍රතිඵලයෙන් ස්වාධීන වේ. එබැවින් මෙහි මූලික අනුක්‍රමය අහඹුය.
දැන් ලැකාන් යෝජනා කරන පරිදි, එක ළඟ ඇති සංකේත තුන බැගින් ගෙන ඒවා වර්ග කරමු.
ඔහු මේ සඳහා වර්ග තුනක් හඳුන්වා දෙයි.
මෙහි 1 යනු එකම සංකේතය තුන්වරක් පැමිණීමයි.
3 යනු සංකේත දෙක මාරුවෙන් මාරුවට පැමිණීමයි.
2 යනු අනෙකුත් මිශ්‍ර රටා හතරයි.
දැන් අපගේ මුල් අනුක්‍රමයේ පළමු සංකේත තුන ගනිමු.
++− → 2
ඊළඟ සංකේත තුන ගන්නේ දෙවැනි ස්ථානයෙන් ආරම්භ කරමිනි.
+−+ → 3
ඊළඟට,
−+− → 3
මේ ආකාරයට ඉදිරියට ගිය විට අපට මුල් (+) සහ (−) අනුක්‍රමය වෙනුවට 1, 2 සහ 3 යන සංකේතවලින් සෑදුණු අලුත් අනුක්රමයක් ලැබේ.
මෙහිදී පුදුම සහගත දෙයක් සිදුවෙයි.
මුල් කාසි උඩ දැමීම් අහඹු වුවත්, ඒවායින් නිර්මාණය කළ අලුත් සංකේත අනුක්‍රමයේ සියලුම සංයෝජන සිදුවිය නොහැකිය.
උදාහරණයක් ලෙස, 1 වර්ගයේ රටාවකට වහාම පසුව 3 වර්ගයේ රටාවක් පැමිණිය නොහැකිය.
එය පරීක්ෂා කරමු.
පළමු සංකේත තුන +++ නම්, ඊළඟ සංකේත තුන ආරම්භ වන්නේ අවසාන ++ යුගලයෙනි.
එබැවින් ඊළඟ රටාව +++ හෝ ++− විය හැකිය.
ඒවා පිළිවෙළින් 1 සහ 2 වර්ගවලට අයත් වේ.
නමුත් +−+ හෝ −+− වැනි 3 වර්ගයේ රටාවක් එතැනින් ආරම්භ විය නොහැකිය.
එම නිසා,
1 → 3
යන සෘජු සංක්‍රමණය කළ නොහැකිය.
එසේම,
3 → 1
යන සංක්‍රමණයත් කළ නොහැකිය.
මෙහිදී අහඹු බව අතුරුදන් වී නැත. කාසිය තවමත් අහඹු ලෙස වැටේ.
![]() |
රූපය 1 — ලැකාන්ගේ 1–3 සංකේතීය ජාලය (1–3 Network). අහඹු (+) සහ (−) අනුක්‍රමයක එකිනෙක අතිච්ඡාදනය වන සංකේත තුන බැගින් වර්ගීකරණය කිරීමෙන් ලැබෙන 1, 2 සහ 3 අතර අවසර ලත් සංක්‍රමණ මෙහි දැක්වේ. විශේෂයෙන් 1 සහ 3 අතර සෘජු සංක්‍රමණයක් නොමැති වීම සංකේතීය ව්‍යුහය මගින් ඇතිවන සීමාවක් පෙන්වයි.
මූලාශ්‍රය: Jacques Lacan, “Seminar on ‘The Purloined Letter’,” Écrits, trans. Bruce Fink (W. W. Norton, 2006), p. 35. |
නමුත් එම ප්‍රතිඵල නව සංකේතීය ක්‍රමයකින් නිරූපණය කළ විට, එම නිරූපණය තුළ අනුගමනය කළ යුතු නීති ඇතිවී තිබේ.
මෙය අපට තරමක් වෙනස් ආකාරයකින්, කාව්‍ය නිර්මාණයක් ඇසුරෙන් ද තේරුම්ගත හැකිය.
කවියෙකු කාව්‍යයක් රචනා කිරීමට සූදානම් වන අවස්ථාවක් සිතමු. ඔහුට භාෂාවේ ඇති වචන දහස් ගණනකින් තමන් කැමති වචන තෝරාගැනීමට හැකියාව තිබේ. එහෙත් යම් විරිතක්, රිද්මයක් හෝ එළිසමයක් අනුව කාව්‍යය රචනා කිරීමට තීරණය කළ මොහොතේ සිට එම තේරීම් සම්පූර්ණයෙන්ම නිදහස් නොවේ.
පළමු පදයේ ශබ්ද රටාව දෙවැනි පදයේ වචන තෝරාගැනීමට බලපායි. දෙවැනි පදය තෙවැනි පදයට බලපායි. යම් වචනයක් අර්ථයට ගැළපුණත්, එය කාව්‍යයේ රිද්මයට හෝ එළිසමයට නොගැළපේ නම් එම ස්ථානයට යෙදීම අපහසු විය හැකිය. මේ අනුව කාව්‍යයේ ව්‍යුහය, එහි ඉදිරියට පැමිණිය හැකි වචන සහ ශබ්ද සම්බන්ධතා සීමා කරයි. එහෙත් මෙහිදී සිදුවන්නේ වචන තෝරාගැනීමේ හැකියාව සම්පූර්ණයෙන් නැතිවීමක් නොවේ. එම සීමා තුළම කවියාට නව රූපක, නව අර්ථ සහ අනපේක්ෂිත ශබ්ද සම්බන්ධතා නිර්මාණය කළ හැකිය.
ඒ නිසා කාව්‍යයේ ව්‍යුහය නිර්මාණයට බාධාවක් පමණක් නොව, නිර්මාණය හැඩගස්වන කොන්දේසියක් ද වෙයි.
මෙහිදී ලැකාන්ගේ කාසි නිදර්ශනය සහ කාව්‍ය නිර්මාණය අතර වෙනසක් තිබේ. කවියා තම වචන තෝරාගන්නේ කාව්‍යයේ ව්‍යුහයට අනුකූලවය. නමුත් කාසිය එහි ප්‍රතිඵල තෝරාගන්නේ අප පසුව නිර්මාණය කරන සංකේතීය නීතිවලට අනුකූලව නොවේ.
එසේ වුවත්, නිදර්ශන දෙකම අපට එක් වැදගත් කරුණක් පෙන්වයි.
සංකේතීය ව්‍යුහයක් තුළ යම් ස්ථානයකට පැමිණිය හැකි දේ, එම ස්ථානයට පෙර සහ පසු ඇති සම්බන්ධතා මගින් සීමා විය හැකිය.
ලැකාන්ගේ ගණිතමය නිදර්ශනයේදී එය අහඹු ප්‍රතිඵල සංකේතීකරණය කිරීමෙන් මතුවන ව්‍යුහාත්මක සීමාවකි. කාව්‍යයේදී එය නිර්මාණ ක්‍රියාවලියට බලපාන ශබ්දමය සහ භාෂාමය සීමාවකි.
මේ දෙකම අපට සිහිපත් කරන්නේ සංකේතීය පද්ධතියක් යනු හුදෙක් සංකේත එකතු කර තබන ස්ථානයක් නොවන බවයි.
එය සංකේත අතර සම්බන්ධතා නිර්මාණය කරන, ඇතැම් හැකියාවන් බැහැර කරන සහ තවත් හැකියාවන් විවෘත කරන ව්‍යුහයකි.
මෙම වෙනස අපගේ ඉදිරි සාකච්ඡාවට ඉතා වැදගත් වේ.
සංකේතීය පද්ධතියට මතකයක් තිබේද?
ලැකාන් මෙතැනින් නතර නොවේ.
ඔහු පළමු සංකේතීකරණයෙන් ලැබුණු 1, 2, 3 අනුක්‍රමය නැවත සංකේතීකරණය කරයි.
මෙවර ඔහු සලකා බලන්නේ එක ළඟ ඇති සංකේත දෙක නොව, අතරමැදි සංකේතයක් මඟහැර තෝරාගත් සංකේත දෙකකි.
එම යුගල හතර ආකාරයකට වර්ග කරයි.
මෙහිදී වැදගත් කරුණක් අවධාරණය කළ යුතුය.
අප කලින් 1 සිට 3 දක්වා සෘජු සංක්‍රමණයක් සිදුවිය නොහැකි බව දුටුවෙමු. එහෙත් දැන් α වර්ගයට 1–3 ඇතුළත් කර තිබේ.
මෙය පරස්පරතාවක් නොවේ.
මෙවර ලැකාන් සලකා බලන්නේ අතරමැදි සංකේතය මඟහැර ඇති සම්බන්ධතාවකි. එබැවින් සෘජු සංක්‍රමණයට අදාළ තහනම මෙතැනට එලෙසම යෙදිය නොහැකිය.
මෙම දෙවැනි සංකේතීකරණයෙන් පසුව වඩාත් සංකීර්ණ සීමා මතුවෙයි.
ලැකාන්ගේ Écrits කෘතියේ 36–37 පිටුවල දැක්වෙන පරිදි, α, β, γ සහ δ අතර ඕනෑම සංකේතයක් තවත් සංකේතයකට වහාම පසුව පැමිණිය හැකි වුවත්, පළමු සහ තුන්වැනි ස්ථාන අතර ඇති සම්බන්ධතාව සීමා සහිතය.
උදාහරණයක් ලෙස, පළමු ස්ථානයේ α හෝ δ තිබේ නම්, තුන්වැනි ස්ථානයේ පැමිණිය හැක්කේ α හෝ β පමණි.
පළමු ස්ථානයේ β හෝ γ තිබේ නම්, තුන්වැනි ස්ථානයේ පැමිණිය හැක්කේ γ හෝ δ පමණි.
මේ අනුව අතරමැදි ස්ථානයේ කුමක් සිදුවුවත්, පළමු ස්ථානයේ සංකේතය තුන්වැනි ස්ථානයේ හැකියාවන් සීමා කරයි.
මෙහිදී ලැකාන්ගේ සංකේතීකරණ ක්‍රමය, එහි ගණිතමය පියවර සහ ඒවායින් මතුවන සංක්‍රමණ සීමා සියල්ල නැවත විස්තර කිරීමට මම උත්සාහ නොකරමි. එම ක්‍රියාවලිය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් මගේ පෙර ලිපියක ඉදිරිපත් කර තිබේ.
ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පාඨකයන්ට ලැකාන්ගේ සංකේතීය ව්‍යුහය පිළිබඳ මගේ පෙර ලිපිය කියවිය හැකිය.
මෙහිදී මගේ අවධානය යොමුවන්නේ එම ගණිතමය ව්‍යුහය නිවැරදිව ගොඩනැගිය හැකි බවට වඩා, එවැනි ව්‍යුහයකින් මිනිස් විෂයයාගේ අවිඥානික ක්‍රියාවලීන් පිළිබඳව අපට කෙතරම් දුරට නිගමනවලට පැමිණිය හැකිද යන ප්රශ්නය වෙතය.
ලැකාන් මෙය සංකේතීය අනුක්‍රමය තුළ මතකය සහ නීතිය අතර සම්බන්ධතාවක් ලෙස විස්තර කරයි.
නමුත් මෙහිදී අප තරමක් ප්‍රවේශම් විය යුතුය.
මෙම සංකේතවලට මිනිසෙකුට මෙන් අතීතය මතක තබාගැනීමේ හැකියාවක් ඇතැයි එයින් කියැවෙන්නේ නැත.
එයින් කියැවෙන්නේ, අනුක්‍රමයක වර්තමාන හැකියාවන් එහි පෙර පැවති ව්‍යුහය මත රඳා පවතින බවයි.
මෙය ගණිතමය වශයෙන් පරීක්ෂා කළ හැකි සම්බන්ධතාවකි.
එහෙත් ලැකාන් මෙයින් තවත් පියවරක් ඉදිරියට යයි.
ඔහුට අනුව මිනිස් විෂයයාගේ (subject) ස්ථානය ද සංකේතීය සම්බන්ධතා මගින් හැඩගැසෙයි.
අප භාෂාව තුළට ඇතුළත් වන්නේ අප විසින්ම නිර්මාණය කළ පෞද්ගලික භාෂාවක් සමඟ නොවේ. අප ඉපදීමට පෙර සිටම පැවති නම්, නෑකම්, නීති, තහනම්, අපේක්ෂා සහ සමාජ සම්බන්ධතා ජාලයක් තුළටය.
අපගේ නම පවා බොහෝ විට අප විසින් තෝරාගත් එකක් නොවේ.
අප ඒ සංකේතීය ලෝකය තුළ ස්ථානයක් ලබාගන්නා අතර, එම ලෝකය අපගේ ආශාවන් සහ අනන්‍යතාව පිළිබඳ හැඟීම් හැඩගැස්වීමට ද දායක වෙයි.
ලැකාන්ගේ ගණිතමය ආකෘතිය මේ අදහස සඳහා නිදර්ශනයක් සපයයි.
නමුත් මෙතැනදී මා මතු කිරීමට කැමති විචාරාත්මක ප්රශ්නය මෙයයි.
කාසි උඩ දැමීමකින් නිර්මාණය කළ සංකේත අනුක්‍රමයක ඇති නීති, මිනිස් අවිඥානයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කිරීමට ප්‍රමාණවත් සාක්ෂියක් විය හැකිද?
මගේ අදහස නම් එසේ සෘජුව නිගමනය කළ නොහැකි බවයි.
ගණිතමය ආකෘතිය සංකේතීය සම්බන්ධතාවල ස්වභාවය පෙන්වයි. එහෙත් මිනිස් අවිඥානය එම ආකෘතියට අනුව ක්‍රියා කරන බව තහවුරු කිරීමට තවත් තර්ක සහ සාක්ෂි අවශ්‍ය වේ.
මෙම වෙනස පිළිගැනීම ලැකාන්ගේ අදහස්වල වටිනාකම අඩු කිරීමක් නොවේ. ඒවායේ ගණිතමය අන්තර්ගතය සහ මනෝවිශ්ලේෂණීය අර්ථකථනය නිවැරදිව වෙන්කර හඳුනාගැනීමකි.
කථනය අතරමඟ නතර වන මොහොතක සංකේතීය ක්‍රියාවලිය
සංකේතීය මතකය සහ අපගේ කථනය
ලැකාන් මෙහිදී ඉදිරිපත් කරන memory and law යන සම්බන්ධතාව ගැන සිතන විට, අපගේ එදිනෙදා කථනයේදී සිදුවන සාමාන්‍ය අත්දැකීමක් මට සිහිපත් වෙයි. අප යමෙකු සමඟ කතා කරමින් සිටින විට ඇතැම් අවස්ථාවල වාක්‍යයක් අතරමඟ නතර කර, “ම්ම්ම්... ම්ම්ම්...” යනුවෙන් පැකිලෙමින් ඊළඟ වචනය සොයනවා නොවේද? එවැනි මොහොතක අපගේ කථනය බාහිරව නතර වී තිබුණත්, ඊළඟ වචනය සොයාගැනීමේ ක්‍රියාවලිය අභ්‍යන්තරව සිදුවෙමින් තිබිය හැකිය. එම වචනය තෝරාගැනීමේදී අප දැනටමත් පවසා ඇති වචන, ඒවා අතර ගොඩනැගුණු සම්බන්ධතා, වාක්‍යයේ ව්‍යාකරණය සහ ප්‍රකාශ කිරීමට උත්සාහ කරන අදහස බලපායි.
ලැකාන්ගේ සංකේතීය අනුක්‍රමයේදී ද අප දුටුවේ මීට සමාන ව්‍යුහාත්මක ලක්ෂණයකි. අනුක්‍රමයේ යම් ස්ථානයකින් ඉදිරියට යා හැකි ආකාරය තීරණය වන්නේ එහි වර්තමාන සංකේතයෙන් පමණක් නොව, පෙර පැවති සංකේත අතර සම්බන්ධතා මගිනි. මෙහිදී ලැකාන් memory යනුවෙන් හඳුන්වන්නේ මිනිස් මතකය නොව, සංකේත අනුක්‍රමයක අතීත ව්‍යුහය එහි ඉදිරි හැකියාවන් තුළ දිගටම ක්‍රියාත්මක වීමයි. මෙම අදහස අපගේ කථනයට අදාළ කර බැලුවහොත්, අප ඊළඟ වචනය සොයන මොහොතේ දැනටමත් ගොඩනැගී ඇති සංකේත දාමය එම තේරීම සඳහා යම් සීමා පනවන බව සිතිය හැකිය.
එහෙත් එම සීමා අතරින් නිශ්චිත වචනයක් මතුවන්නේ කෙසේද?
එය අප සවිඥානිකව සිදුකරන තේරීමක් පමණක්ද? නැතිනම් අපගේ සෘජු අවධානයට හසු නොවන භාෂාමය සහ අවිඥානික සම්බන්ධතා ද එම තේරීමට දායක වෙනවාද?
මෙහිදී මට වැදගත් වන්නේ කථනයේ සෑම පැකිලීමක්ම අවිඥානයේ ප්රකාශනයක් බව නිගමනය කිරීම නොවේ. වචනයක් මතක් නොවීම හෝ කථනය සැලසුම් කිරීමේ සාමාන්‍ය අපහසුතාවක් ද එයට හේතු විය හැකිය.
එහෙත් ලැකාන්ගේ සංකේතීය අනුක්‍රමය පිළිබඳ අදහස අපට මෙවැනි ප්‍රශ්නයක් මතු කිරීමට අවස්ථාව ලබාදෙයි.
අප ඊළඟ වචනය සොයන විට, අපගේ සවිඥානික සිතීම එම වචනය නිර්මාණය කරනවාද, නැතිනම් දැනටමත් ක්‍රියාත්මක වන සංකේතීය සම්බන්ධතා අතරින් යම් වචනයක් අපගේ කථනයට මතුවෙනවාද?
මෙය තවදුරටත් විමසිය යුතු ප්රශ්නයකි. එහෙත් ලැකාන්ගේ memory and law සම්බන්ධතාව මිනිස් කථනයේ අත්දැකීම සමඟ සංවාදයට ගෙන ඒමට එය හොඳ ආරම්භයක් සපයයි.
සංකේත දාමය තුළ අර්ථය ගමන් කිරීම: Metonymy සහ Metaphor
මෙහිදී ලැකාන්ගේ භාෂාව පිළිබඳ චින්තනයේ තවත් වැදගත් සංකල්ප දෙකක් කෙටියෙන් හඳුනාගැනීම ප්‍රයෝජනවත් යැයි මට සිතේ. ඒ Metonymy සහ Metaphor යන සංකල්ප දෙකයි.
සාමාන්‍ය සාහිත්‍ය අධ්‍යයනයේදී මේවා භාෂාමය අලංකාර ක්‍රම දෙකක් ලෙස අපට හමුවෙයි. එහෙත් ලැකාන් මේවා භාවිත කරන්නේ හුදෙක් සාහිත්‍යමය අලංකාරයන් විස්තර කිරීමට නොවේ. අවිඥානය තුළ සංකේතකයන් (signifiers) එකිනෙක සම්බන්ධ වන ආකාරය සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ඔස්සේ අර්ථය නිර්මාණය වන ආකාරය පැහැදිලි කිරීමටය.
මෙහිදී සාමාන්‍ය භාෂාමය නිදර්ශනයක් සහ ලැකාන්ගේ නිශ්චිත න්‍යායික විග්‍රහය අතර වෙනසක් පවත්වාගැනීම වැදගත්ය.
Metonymy — සංකේතක දාමය ඔස්සේ අර්ථය ගමන් කිරීම
සාමාන්‍ය භාෂාමය අර්ථයෙන් Metonymy යනු යම් දෙයක් එයට සමීපව සම්බන්ධ තවත් දෙයක් මගින් හැඳින්වීමයි.
උදාහරණයක් ලෙස,
“මුළු ගමම අවමංගල්‍යයට පැමිණියේය.”
යනුවෙන් පවසන විට එයින් අදහස් වන්නේ ගමේ ගොඩනැගිලි, මාර්ග සහ ගස් සියල්ල පැමිණි බව නොවේ. ගමේ මිනිසුන් පැමිණි බවයි. මෙහිදී “ගම” යන වචනය එයට සම්බන්ධ මිනිසුන් වෙනුවෙන් භාවිත වේ. මෙය සාමාන්‍ය භාෂාමය අර්ථයෙන් Metonymy සඳහා නිදර්ශනයකි. එහෙත් ලැකාන්ගේ Metonymy සංකල්පය මෙම භාෂාමය ආදේශනයට පමණක් සීමා නොවේ. ඔහුගේ විග්රහයේදී වැදගත් වන්නේ සංකේතක දාමයක් තුළ එක් සංකේතකයකින් තවත් සංකේතකයකට සම්බන්ධතාව ගමන් කිරීමත්, එම ගමන තුළ අර්ථය එක් අවසාන ස්ථානයක සම්පූර්ණයෙන් ස්ථාවර නොවීමත්ය.
මෙය තේරුම් ගැනීමට අපගේ එදිනෙදා ජීවිතයෙන් තවත් නිදර්ශනයක් ගනිමු.
“මට මගේ පැරණි පාසල නැවත දැකගන්න ආසයි” යනුවෙන් යමෙකු පවසනවා යැයි සිතමු.
මෙහිදී ඔහුගේ කැමැත්ත යොමුවී ඇත්තේ පාසල් ගොඩනැගිල්ල වෙත බව මුලින් පෙනෙන්නට පුළුවන. එහෙත් ඔහු ඒ ගැන තවදුරටත් කතා කරන විට පාසල සමඟ සම්බන්ධ වූ වෙනත් දේවල් මතුවිය හැකිය. පාසල ගැන කතා කිරීමෙන් පැරණි පන්ති කාමරය මතක් වෙයි. පන්ති කාමරය ගැන කතා කරන විට එහි සිටි මිතුරන් සිහිපත් වෙයි. මිතුරන් ගැන සිතන විට ඔවුන් සමඟ ගත කළ කාලයත්, එම කාලය තුළ තමන් අත්විඳි සතුටත්, දැන් නැවත ලබාගත නොහැකි ළමා කාලයත් සිහිපත් විය හැකිය.
මෙහිදී අපට පහත ආකාරයේ ආශ්රිත සම්බන්ධතා දාමයක් හඳුනාගත හැකිය.
පාසල → පන්ති කාමරය → මිතුරන් → ළමා කාලය → අහිමි වූ කාලය
මෙම දාමය සංකේතකයන් අතර සම්බන්ධතා ඔස්සේ කථනයක් ඉදිරියට ගමන් කළ හැකි ආකාරය පැහැදිලි කරයි. එහෙත් මෙහිදී වැදගත් වෙනසක් අවධාරණය කළ යුතුය. මෙය තනිවම ලැකාන්ගේ Metonymy යාන්ත්‍රණය නිරූපණය කරන නිදර්ශනයක් නොවේ. එය සාමාන්‍ය මතක ආශ්‍රයන් (associations) සහ කථනයේ සම්බන්ධතා මගින් ගොඩනැගෙන දාමයකි. ලැකාන්ගේ විග්රහයේදී Metonymy යනු හුදෙක් එක මතකයකින් තවත් මතකයකට ගමන් කිරීම නොව, සංකේතකයන් අතර ඇති සම්බන්ධතා ඔස්සේ අර්ථය ගමන් කරන ආකාරය පිළිබඳ ව්‍යුහාත්මක සංකල්පයකි. මෙම වෙනස මතකයේ තබාගෙන දැන් අපගේ නිදර්ශනය තවත් පියවරක් ඉදිරියට ගෙන යමු.
එම පුද්ගලයාට සැබැවින්ම අවශ්‍ය වූයේ පාසල් ගොඩනැගිල්ල නැවත දැකගැනීම පමණක්ද?
නැතිනම් පාසල පිළිබඳ ඔහුගේ කථනය තුළින් නැවත ලබාගත නොහැකි අතීත අත්දැකීමක් පිළිබඳ ආශාවක් ද මතුවිය හැකිද?
මෙහිදී ලැකාන්ගේ Metonymy සංකල්පය සහ ආශාව (desire) පිළිබඳ ඔහුගේ විග්‍රහය අතර සම්බන්ධතාව විමසා බැලිය හැකිය. ලැකාන්ගේ චින්තනය තුළ ආශාව එක් වස්තුවකට සීමා නොවී, එක් වස්තුවකින් තවත් වස්තුවකට ගමන් කළ හැකිය. එහෙත් එම වස්තූන්ගෙන් එකක් අත්පත් කරගැනීමෙන් පමණක් ආශාව අවසාන වශයෙන් සම්පූර්ණ වන බවක් අදහස් නොවේ. අපගේ නිදර්ශනයේදී එම පුද්ගලයා නැවත පාසලට ගොස් පැරණි පන්ති කාමරය දැකගත්තත්, ඔහුගේ ළමා කාලය එයින් නැවත ලබාගත නොහැකිය. එහෙත් මෙයින් ඔහුගේ සැබෑ අවිඥානික ආශාව කුමක්දැයි අප නිශ්චිතව හඳුනාගෙන ඇති බවක් අදහස් නොවේ. එවැනි නිගමනයකට පැමිණීමට මෙම නිදර්ශනය ප්‍රමාණවත් නොවේ.
අපට මෙයින් පෙන්වා දිය හැක්කේ කථනයක් තුළ එක් සංකේතකයකින් තවත් සංකේතකයකට සම්බන්ධතා ගමන් කරන විට, මුලින් ප්‍රකාශ කළ කැමැත්තට වඩා වෙනස් අර්ථයන් සහ ආශාව පිළිබඳ ප්‍රශ්න මතුවිය හැකි බවයි. මේ නිසා පාසල පිළිබඳ මෙම නිදර්ශනය ලැකාන්ගේ න්‍යාය සාධනය කරන මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක් ලෙස නොව, සංකේතක දාමය සහ ආශාව අතර ඔහු යෝජනා කරන සම්බන්ධතාව වෙත පිවිසීමට උපකාරී වන සරල සංසන්දනයක් ලෙස පමණක් ගත යුතුය.
Metaphor — එක් සංකේතකයක් තවත් සංකේතකයක ස්ථානයට පැමිණීම
සාමාන්‍ය සාහිත්‍ය අධ්‍යයනයේදී Metaphor යනු එක් දෙයක් තවත් දෙයක් ඔස්සේ රූපකමය ආකාරයෙන් නිරූපණය කිරීමයි.
උදාහරණයක් ලෙස, කවියෙකු මෙසේ ලියනවා යැයි සිතමු.
“ඇගේ මුහුණ සඳ මෙන් බැබළුණි.”
මෙහිදී කවියා ඇගේ මුහුණ සඳට උපමා කරයි. සඳෙහි දීප්තිය, සෞම්‍ය බව සහ සුන්දරත්වය වැනි ගුණාංග ඇගේ මුහුණ සමඟ සම්බන්ධ කරයි. මෙය සාහිත්‍යමය වශයෙන් උපමාවකි (simile).
නමුත් එම අදහසම කවියා තවත් ආකාරයකින් ප්‍රකාශ කළහොත්,
“ඇගේ මුහුණ සඳකි.”
එවිට අපට රූපකයක් (metaphor) හමුවෙයි.
මෙහිදී කවියා ඇගේ මුහුණ සැබැවින්ම අහසේ ඇති චන්ද්‍රයා බව ප්‍රකාශ කරන්නේ නැත. “සඳ” යන සංකේතකය මගින් ඇගේ මුහුණ පිළිබඳ නව කාව්‍යාත්මක අර්ථයක් නිර්මාණය කරයි. එහෙත් මෙහිදී අප නැවතත් වැදගත් වෙනසක් හඳුනාගත යුතුය. මෙය සාමාන්‍ය සාහිත්‍යමය රූපකයක් පිළිබඳ නිදර්ශනයකි. එය ලැකාන්ගේ Metaphor යාන්ත්‍රණය සම්පූර්ණයෙන් නිරූපණය කරන්නේ නැත. ලැකාන්ගේ විග්රහයේදී Metaphor යනු සංකේතකයන් දෙකක් අතර සමානතාවක් ප්‍රකාශ කිරීම පමණක් නොවේ. ඔහුට අනුව එක් සංකේතකයක් තවත් සංකේතකයක ස්ථානයට පැමිණීමෙන් ආදේශනයක් (signifier substitution) සිදුවෙයි. ආදේශනයට ලක්වන සංකේතකය ප්‍රකාශිත සංකේතක දාමයෙන් ඉවත් වන අතර, එය සම්පූර්ණයෙන් අතුරුදහන් වූවාක් මෙන් නොව, නව අර්ථය නිර්මාණය වීමේ ක්‍රියාවලිය තුළ එහි සම්බන්ධතාව රඳවාගනී. මෙම ආදේශනය මගින් කලින් නොතිබූ අලුත් අර්ථකරණයක් ඇතිවිය හැකිය.
වික්ටර් හියුගෝගේ කාව්‍යයක එන “ඔහුගේ ධාන්‍ය කරල් මිටිය මසුරුකමින් හෝ ද්වේෂයෙන් හෝ යුක්ත නොවීය” (“his sheaf was neither miserly nor spiteful.” ) යන ප්රකාශනය ලැකාන් මෙහිදී විමසා බලයි. ධාන්‍ය මිටියකට මිනිස් ගුණාංග ආරෝපණය කිරීමෙන් ඔබ්බට ගොස්, එම සංකේතකය කාව්‍යයේ අර්ථය නිර්මාණය කිරීමේදී ඉටු කරන කාර්යය ඔහුගේ අවධානයට ලක්වෙයි.
සාමාන්‍යයෙන් මසුරුකම හෝ ද්වේෂය වැනි ගුණාංග අප සම්බන්ධ කරන්නේ මිනිසුන් සමඟය. එහෙත් මෙහිදී එවැනි ගුණාංග ධාන්‍ය මිටියක් සමඟ සම්බන්ධ කෙරේ. ලැකාන්ගේ කියවීමේදී වැදගත් වන්නේ ධාන්‍ය මිටිය සහ ගොවියා අතර සරල සමානතාවක් තිබීම නොවේ. ගොවියාට අදාළ විය හැකි ස්ථානයක ධාන්‍ය මිටිය යන සංකේතකය ක්‍රියාත්මක වීමෙන්, එම ප්රකාශනය තුළ නව අර්ථයක් නිර්මාණය වීමයි.
මෙහිදී අපට සංකේතක ආදේශනයේ වැදගත්කම වඩාත් පැහැදිලිව හඳුනාගත හැකිය.
ඒ අනුව “ඇගේ මුහුණ සඳකි” යන අපගේ මුල් කාව්‍යමය නිදර්ශනය රූපකයක් හඳුනාගැනීමට උපකාරී වන අතර, හියුගෝගේ නිදර්ශනය ලැකාන් විමසන සංකේතක ආදේශනය පිළිබඳ වඩාත් නිශ්චිත ප්‍රවේශයක් ලබාදෙයි.
මෙහිදී Metonymy සහ Metaphor අතර වෙනස නැවත සලකා බැලිය හැකිය.
Metonymy තුළ සංකේතක දාමයේ සම්බන්ධතා ඔස්සේ අර්ථය ගමන් කරන ආකාරය වැදගත් වන අතර, Metaphor තුළ එක් සංකේතකයක් තවත් සංකේතකයක ස්ථානයට පැමිණීමෙන් නව අර්ථකරණයක් ඇතිවීම වැදගත් වේ.
එහෙත් මෙය සංකේතකයන් අතර ඇති සියලුම සම්බන්ධතා Metonymy ලෙසත්, සියලුම වචන ආදේශන Metaphor ලෙසත් හැඳින්විය හැකි බව අදහස් නොවේ.
මෙම සංකල්ප දෙක අපගේ කථන පැකිලීම පිළිබඳ නිදර්ශනයට සම්බන්ධ වන්නේ කෙසේද?
අප වාක්‍යයක් අතරමඟ නතර කර “ම්ම්ම්...” යනුවෙන් ඊළඟ වචනය සොයන මොහොත ගැන නැවත සිතමු.
අප දැනටමත් පවසා ඇති වචන කථනයේ සන්දර්භයක් නිර්මාණය කර තිබේ. එම කථනය ඉදිරියට ගෙන යාමට අපට අවශ්‍යය. එහෙත් එම ස්ථානයට යෙදිය හැකි වචන කිහිපයක් තිබිය හැකිය. අප ඒවා අතරින් එකක් තෝරාගැනීමට උත්සාහ කරමු.
මෙහිදී කථනයේ අඛණ්ඩතාව සහ විකල්ප වචන අතරින් තේරීම යන ක්‍රියාවලීන් දෙකම සලකා බැලිය හැකිය.
එහෙත් මෙම සාමාන්‍ය කථන ක්‍රියාවලීන් දෙක ලැකාන්ගේ Metonymy සහ Metaphor යාන්ත්රණයන්ට සෘජුව සමාන කළ නොහැකිය.
කථනය ඉදිරියට ගෙන යන සෑම අවස්ථාවක්ම Metonymy නොවේ. එසේම, ඊළඟ වචනය තෝරාගන්නා සෑම අවස්ථාවක්ම Metaphor නොවේ.
අපගේ නිදර්ශනයෙන් පෙන්වන්නේ කථනයක් තුළ සංකේතකයන්ගේ අනුක්‍රමය සහ ඒවා අතර ඇති විකල්ප සම්බන්ධතා පිළිබඳ මූලික අවබෝධයක් ලබාගත හැකි බව පමණි.
ලැකාන් මෙම සම්බන්ධතා පිළිබඳ තම න්‍යාය ගොඩනගන්නේ රෝමාන් යාකොබ්සන්ගේ (Roman Jakobson) භාෂාමය අධ්‍යයනයන් සහ ෆ්‍රොයිඩ්ගේ අවිඥානය පිළිබඳ සොයාගැනීම් සමඟ සංවාදයක යෙදෙමිනි.
විශේෂයෙන්ම ෆ්‍රොයිඩ් සිහින පිළිබඳ විස්තර කළ displacement සහ condensation යන ක්‍රියාවලීන් සමඟ ලැකාන් පිළිවෙළින් Metonymy සහ Metaphor සම්බන්ධ කරයි.
මේ අනුව අවිඥානය හුදෙක් සැඟවුණු අදහස් ගබඩා කර ඇති ස්ථානයක් ලෙස නොව, සංකේතකයන් අතර සම්බන්ධතා සහ ආදේශන ක්‍රියාත්මක වන ක්ෂේත්රයක් ලෙස විමසීමට ඔහු අපට ආරාධනා කරයි.
මෙම අදහස ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශය වන “අවිඥානය භාෂාවක් මෙන් ව්‍යුහගත වී ඇත” යන්න තේරුම්ගැනීමට ද උපකාරී වේ.
එහෙත් මෙයින් අවිඥානය සාමාන්‍ය භාෂාවක ව්‍යාකරණ නීතිවලට සම්පූර්ණයෙන් සමාන බවක් හෝ එහි ක්‍රියාකාරිත්වය ගණිතමය සංකේත අනුක්‍රමයකින් මුළුමනින්ම පැහැදිලි කළ හැකි බවක් අදහස් නොවේ.
ලැකාන්ගේ සංකේතීය අනුක්‍රමය, කථනයේ අඛණ්ඩතාව, සංකේතක ආදේශනය සහ අවිඥානය පිළිබඳ මෙම අදහස් අපට එක් පොදු ප්‍රශ්නයක් වෙත යොමු කරයි.
සංකේතීය පද්ධතියක් තුළ අර්ථය නිර්මාණය වන විට, එම පද්ධතියේම ව්‍යුහය අපට ප්‍රකාශ කළ හැකි දේ සහ ප්‍රකාශ කළ නොහැකි දේ අතර සීමාවක් ද නිර්මාණය කරනවාද?
මෙම ප්රශ්නය සමඟ දැන් අපට ගණිතයේ වෙනත් ක්ෂේත්රයකට පිවිසිය හැකිය.
ඒ කුර්ට් ගර්ඩල්ගේ අසම්පූර්ණතා ප්‍රමේයයන් පිළිබඳ සාකච්ඡාවයි.
එහෙත් මෙහිදී අප විමසීමට යන්නේ ලැකාන්ගේ සංකේතීය ව්‍යුහය සහ ගර්ඩල්ගේ විධිමත් ගණිතමය පද්ධති එකම ආකාරයෙන් ක්‍රියාත්මක වන බව නොවේ. ඒවායේ සීමා පිළිබඳ ප්‍රශ්න මතුවන ආකාරය අතර ඇති වෙනස්කම් සහ දාර්ශනිකව විමසා බැලිය හැකි සම්බන්ධතා පිළිබඳවය.
ගර්ඩල්ගේ අසම්පූර්ණතාවය
දැන් අපි වෙනත් ගණිතමය ලෝකයකට පිවිසෙමු.
1931 දී ඔස්ට්‍රියානු ගණිතඥ කුර්ට් ගර්ඩල් (Kurt Gödel) ගණිතයේ පදනම් පිළිබඳ එතෙක් පැවති බලාපොරොත්තු කිහිපයක් මූලික වශයෙන් වෙනස් කළ ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කළේය.
ඒ ඔහුගේ අසම්පූර්ණතා ප්රමේයයන්ය.
මෙහි වැදගත්කම තේරුම් ගැනීමට මුලින්ම විධිමත් පද්ධතියක් (formal system) යනු කුමක්දැයි සලකා බැලිය යුතුය.
එවැනි පද්ධතියක මූලික සංකේත, ඒවා භාවිත කළ හැකි නීති, මුලින් පිළිගන්නා ප්රස්තුත සහ නව ප්රස්තුත සාධනය කිරීමට අවසර දෙන තාර්කික ක්‍රම තිබේ. උදාහරණයක් ලෙස, ගණිතමය සාධනයක් යනු නිගමනයක් නිවැරදි යැයි අපට හැඟෙන නිසා එය පිළිගැනීම නොවේ.
එය පිළිගත් නීති අනුව පියවරෙන් පියවර ගොඩනැගිය යුතුය.
විසිවැනි සියවසේ මුල් භාගයේ ඩේවිඩ් හිල්බර්ට් ඇතුළු ගණිතඥයන්ගේ එක් ප්‍රධාන අරමුණක් වූයේ ගණිතයට මෙවැනි ශක්තිමත් විධිමත් පදනමක් සකස් කිරීමයි.
ගර්ඩල්ගේ සොයාගැනීම මෙහිදී තීරණාත්මක විය.
පළමු අසම්පූර්ණතා ප්‍රමේයය
මෙය ඉතා සරලව පැවසුවහොත්, එවැනි පද්ධතියක් සෑම අංකගණිතමය ප්‍රශ්නයකටම තමන්ගේම නීති ඇසුරෙන් පිළිතුරු සැපයිය හැකි පද්ධතියක් නොවේ.
ගර්ඩල් මෙය පෙන්වූ ආකාරය විශේෂයෙන් සිත්ගන්නාසුලුය.
ඔහු ගණිතමය ප්‍රකාශන සහ සාධන සංඛ්‍යා මගින් නිරූපණය කළ හැකි ක්‍රමයක් ගොඩනැගීය.
එනම්, ගණිතමය පද්ධතියකට තමන්ගේම ප්‍රකාශන සහ සාධන පිළිබඳ අංකගණිතමය ආකාරයකින් කතා කළ හැකි තත්ත්වයක් ඇති කළේය.
මෙම ක්‍රමය Gödel numbering ලෙස හැඳින්වේ.
ඉන්පසු ඔහු නිර්මාණය කළ විශේෂ ප්‍රස්තුතයක්, අර්ථයෙන් ගත් විට, තමන් එම පද්ධතිය තුළ සාධනය කළ නොහැකි බව ප්‍රකාශ කරයි. මෙය සාමාන්‍ය භාෂාවේ පරස්පර ප්‍රකාශයක් පමණක් නොවේ. නිශ්චිත ගණිතමය ගොඩනැගීමක ප්රතිඵලයකි. මෙහිදී වැදගත් වන්නේ සත්‍යය සහ සාධනය කළ හැකි බව අතර වෙනසයි.
අප ගණිතමය ප්‍රස්තුතයක් සත්‍ය යැයි කියන විට, එය යම් අර්ථකථනයක් යටතේ සත්‍ය වීම ගැන කතා කරමු.
නමුත් එය සාධනය කළ හැකි යැයි කියන විට, නිශ්චිත පද්ධතියක පිළිගත් නීති අනුව එයට සාධනයක් ගොඩනැගිය හැකි බව ගැන කතා කරමු.
මෙම තත්ත්ව දෙක එකම දෙයක් නොවේ.
ගර්ඩල්ගේ ප්‍රතිඵලය අපට එම වෙනස නොසලකා හැරිය නොහැකි බව පෙන්වයි.
(මෙහි දැක්වෙන්නේ පළමු අසම්පූර්ණතා ප්‍රමේයයේ නූතන ස්වරූපයයි. ගර්ඩල්ගේ 1931 මුල් සාධනයේ භාවිත වූ කොන්දේසි පසුව ජේ. බාර්ක්ලි රොසර් විසින් තවදුරටත් දුර්වල කරන ලදී.)
දෙවැනි අසම්පූර්ණතා ප්‍රමේයය
ගර්ඩල්ගේ දෙවැනි ප්‍රමේයය තවත් වැදගත් ප්‍රතිඵලයක් ඉදිරිපත් කරයි.
අවශ්‍ය ගණිතමය කොන්දේසි සපුරාලන, පරස්පරතාවලින් තොර, ප්‍රමාණවත් තරම් ප්‍රබල විධිමත් පද්ධතියකට තමන්ගේම පරස්පරතාවලින් තොර බව, එහි සාමාන්‍ය විධිමත් ප්රකාශනය යටතේ, තමන් තුළින්ම සාධනය කළ නොහැකිය.
මෙය ගණිතය අසාර්ථක බවට සාක්ෂියක් නොවේ.
එසේම, කිසිදු ගණිතමය ප්‍රස්තුතයක් සත්‍ය බව අපට දැනගත නොහැකි යැයි ද එයින් කියැවෙන්නේ නැත.
එයින් පෙන්වන්නේ නිශ්චිත වර්ගයක විධිමත් පද්ධතිවලට තමන්ගේම නීති ඇසුරෙන් සපුරාලිය නොහැකි සාධන අවශ්‍යතා පවතින බවයි.
මෙහිදී මා සිතන්නේ අපගේ සාකච්ඡාවට ඉතා වැදගත් දොරටුවක් විවෘත වන බවයි.
ගණිතය තුළ සංකේතීය නීති භාවිත කරමින් ගොඩනැගූ පද්ධතියකට, එම නීති මගින්ම තමන්ගේ ඇතැම් සීමා හෙළි කළ හැකිය. එහෙත් එම සීමා හඳුනාගැනීම සඳහා පද්ධතියේ ප්රකාශනවල අර්ථය සහ ඒවා සාධනය කළ හැකි ආකාරය අතර වෙනසක් හඳුනාගැනීමට සිදුවෙයි.
ලැකාන් සහ ගර්ඩල් එකම දෙයක් කියනවාද?
මෙතෙක් සාකච්ඡා කළ කරුණු දෙස බැලූ විට, ලැකාන් සහ ගර්ඩල් අතර කිසියම් සම්බන්ධතාවක් ඇති බව පෙනෙන්නට පුළුවන. ලැකාන් අහඹු අනුක්රමයක් සංකේතීකරණය කළ විට එහි නව සීමා ඇතිවන ආකාරය පෙන්වයි. ගර්ඩල් විධිමත් අංකගණිත පද්ධතියක සාධනය කිරීමේ හැකියාවට ඇති සීමා පෙන්වයි.
නමුත් මේ දෙක එකම ගණිතමය ප්‍රතිඵලයක් නොවේ.
ලැකාන්ගේ කාසි අනුක්‍රමය සම්බන්ධ ආකෘතිය සීමිත සංකේත සංඛ්‍යාවක් සහ නිශ්චිත සංක්‍රමණ නීති භාවිත කරන සංයෝජනමය පද්ධතියකි.
එවැනි පද්ධතියක කුමන අනුක්‍රම සිදුවිය හැකිද, කුමන අනුක්‍රම සිදුවිය නොහැකිද යන්න ගණනය කළ හැකිය.
එය ගර්ඩල්ගේ අසම්පූර්ණතා ප්‍රමේයයට යටත් වන තරම් ප්‍රබල අංකගණිතමය පද්ධතියක් බවට එයින් පත්වන්නේ නැත. ඒ නිසා ලැකාන්ගේ ආකෘතිය තුළ තහනම් සංක්‍රමණයක් තිබීම සහ ගර්ඩල්ගේ පද්ධතියක සාධනය කළ නොහැකි ප්‍රස්තුතයක් තිබීම එකම තත්ත්වය ලෙස සැලකීම වැරදිය.
එහෙත් මෙම වෙනස පිළිගත් පසුවත්, දාර්ශනික සාකච්ඡාවකට ඉඩ තිබේ.
අප සංකේතීය පද්ධතියක් ගොඩනගන විට එය අපට යම් යම් දේ ප්‍රකාශ කිරීමට, වෙන්කර හඳුනාගැනීමට සහ ඒවා අතර සම්බන්ධතා නිර්මාණය කිරීමට හැකියාව ලබාදෙයි. එහෙත් එම හැකියාව සමඟම යම් සීමා ද පැමිණේ.
ලැකාන්ගේ නිදර්ශනයේදී ඒවා අනුක්‍රමයක ව්‍යුහාත්මක සීමාය.
ගර්ඩල්ගේ ප්රමේයයන්හිදී ඒවා නිශ්චිත විධිමත් පද්ධතිවල සාධන හැකියාවට අදාළ සීමාය.
මේ දෙකෙන්ම අපට සාකච්ඡා කළ හැකි පුළුල් ප්රශ්නය වන්නේ, සංකේතීය පද්ධතියක හැකියාවන් එම පද්ධතියේම නීති මගින් සීමා වන්නේ කෙසේද යන්නයි.
නමුත් එය දාර්ශනික සංසන්දනයක් මිස ගණිතමය සමානතාවක් නොවේ.
මෙම සීමාව පැහැදිලිව තබාගැනීම අත්‍යවශ්‍යය.
ලැකාන්ගේ මහා අනෙකාට සහතිකයක් තිබේද?
ලැකාන්ගේ පසුකාලීන චින්තනය තුළ අපට තවත් සංකීර්ණ ප්‍රශ්නයක් හමුවෙයි.
ඒ ඔහුගේ මහා අනෙකා (the big Other) පිළිබඳ සංකල්පයයි. මෙහි මහා අනෙකා යනු අපෙන් වෙන්ව සිටින තවත් පුද්ගලයෙකු පමණක් නොවේ. එය භාෂාව, නීතිය, සමාජ සම්මුතීන් සහ සංකේතීය සම්බන්ධතා පිහිටන ස්ථානයක් ලෙස තේරුම්ගත හැකිය. අප කතා කරන විට අපගේ වචනවල අර්ථය අපගේ පෞද්ගලික කැමැත්තෙන් පමණක් තීරණය නොවේ. අපට පෙර සිටම පැවති භාෂාමය හා සමාජීය සම්බන්ධතා එයට දායක වෙයි.
නමුත් මෙහිදී ලැකාන් තවත් ප්‍රශ්නයක් මතු කරයි.
මෙම සංකේතීය පද්ධතියේ අර්ථය සහ වලංගුභාවය අවසාන වශයෙන් සහතික කරන්නේ කවුද?
මහා අනෙකාටත් වඩා ඉහළින් සිටින, එහි සියලු ප්රකාශනවලට අවසාන සහතිකයක් ලබාදෙන තවත් අනෙකෙකු සිටිනවාද?
ලැකාන්ගේ පිළිතුර වන්නේ එවැනි අවසාන සහතිකකරුවෙකු නොමැති බවයි.
ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශය වන There is no Other of the Other යන්න මෙහිදී වැදගත් වේ.
Encore කෘතියේදී ද ඔහු මෙම අදහස නැවත ඉදිරිපත් කරමින්, මහා අනෙකා තුළ ඇති අඩුව හඳුන්වන සංකේතය වන S(Ⱥ) ගැන සාකච්ඡා කරයි. මෙහිදී ගර්ඩල්ගේ දෙවැනි අසම්පූර්ණතා ප්‍රමේයය මතක් වීම ස්වාභාවිකය.
ගර්ඩල්ගේ ප්‍රමේයය තුළ ඇතැම් විධිමත් පද්ධතිවලට තමන්ගේම පරස්පරතාවලින් තොර බව තමන් තුළින්ම සාධනය කළ නොහැකිය. ලැකාන්ගේ චින්තනය තුළ සංකේතීය පිළිවෙළට එහි සියලු අර්ථයන් සහතික කරන අවසාන මහා අනෙකෙකු නොමැත.
මේ දෙක අතර ව්‍යුහාත්මක සමානකමක් අපට දකින්නට පුළුවන.
එහෙත් එය ඉතා ප්‍රවේශමෙන් සලකා බැලිය යුතුය. ගර්ඩල් කතා කරන්නේ නිශ්චිත ගණිතමය පද්ධතියක පරස්පරතාවලින් තොර බව සාධනය කිරීම පිළිබඳය.
ලැකාන් කතා කරන්නේ සංකේතීය පිළිවෙළ, අර්ථය, ආශාව සහ විෂයයාගේ ස්ථානය පිළිබඳය.
ගර්ඩල්ගේ ප්‍රමේයයෙන් ලැකාන්ගේ මහා අනෙකා පිළිබඳ සංකල්පය සාධනය කළ නොහැකිය.
එසේම, ලැකාන්ගේ මහා අනෙකා තුළ ඇති අඩුව ගර්ඩල්ගේ අසම්පූර්ණතාවයට සමාන යැයි නිගමනය කළ නොහැකිය. නමුත් මෙහිදී අපට සිතීමට වටිනා ප්‍රශ්නයක් ඉතිරි වෙයි.
අප සියලු දේ තේරුම්ගැනීමට භාවිත කරන පද්ධතියේම වලංගුභාවය, එම පද්ධතිය තුළින් අවසාන වශයෙන් සහතික කිරීමට අප උත්සාහ කරන්නේ ඇයි?
මෙය ගණිතමය ප්‍රශ්නයක් පමණක් නොව, දාර්ශනික සහ මනෝවිශ්ලේෂණීය ප්‍රශ්නයක් ද විය හැකිය.
සියල්ල නොවන බව සහ ලැකාන්ගේ Real
ලැකාන්ගේ Encore සම්මන්ත්‍රණය තුළ not-all හෙවත් pas-tout යන සංකල්පය ද වැදගත් ස්ථානයක් ගනී.
ඔහු මෙය විශේෂයෙන්ම ලිංගික වෙනස, ආශාව සහ jouissance පිළිබඳ තම න්‍යාය තුළ භාවිත කරයි. මෙහිදී ඔහු ගණිතමය තර්ක ශාස්ත්රයේ සර්ව ප්‍රමාණක සහ අස්තිත්ව ප්රමාණකවලට සමාන සංකේත යොදාගනී. නමුත් එම සංකේත භාවිත කිරීමෙන් පමණක් ඔහුගේ සම්පූර්ණ න්‍යාය සාම්ප්‍රදායික ගණිතමය තර්ක ශාස්ත්‍රයක් බවට පත්වන්නේ නැත. විශේෂයෙන්ම not-all සංකල්පය සාමාන්‍ය තර්ක ශාස්ත්රයේ ප්‍රමාණක භාවිතයෙන්ම කියවූ විට මතුවන ගැටලු තිබේ. ඒවා නොසලකා හැර ලැකාන්ගේ අදහස් ගණිතමය වශයෙන් සාධනය වී ඇතැයි පැවසීම සාධාරණ නොවේ.
මෙහිදී තවත් වැදගත් වෙන්කිරීමක් අවශ්‍යය.
ලැකාන්ගේ Real යනු අප තවමත් නොදන්නා සියලු දේ එකතු කර තබන ස්ථානයක් නොවේ. එසේම, ගර්ඩල්ගේ සාධනය කළ නොහැකි ප්‍රස්තුතයක් Real සඳහා සෘජු ගණිතමය උදාහරණයක් ද නොවේ. ලැකාන්ගේ Real සංකල්පය සංකේතීකරණය තුළ මුළුමනින්ම අවශෝෂණය කරගත නොහැකි දේ පිළිබඳ ඔහුගේ න්‍යාය සමඟ බැඳී ඇත. එහෙත් එය හුදෙක් භාෂාවෙන් ප්‍රකාශ කළ නොහැකි දේවල් සියල්ලටම දෙන නමක් ලෙස භාවිත කළහොත් එහි න්‍යායික විශේෂත්වය නැතිවෙයි.
මෙහිදී මගේ මුල් සිතියම් නිදර්ශනය නැවත සිහිපත් කළ හැකිය.
සිතියමේ නොමැති ස්ථානයක් තිබීම, එම ස්ථානය ලැකාන්ගේ Real බවට සාක්ෂියක් නොවේ.
අපට තවමත් නොදන්නා දෙයක් තිබීමත්, එය සංකේතීකරණයට ව්‍යුහාත්මකව ප්‍රතිරෝධය දක්වන දෙයක් වීමත් එකම තත්ත්වය නොවේ.
මෙම වෙනස මගේ අදහසට අනුව ඉතා වැදගත්ය.
මන්ද අපට සිතිය නොහැකි දේවල් පිළිබඳ ප්රශ්නය, ලැකාන්ගේ Real පිළිබඳ ප්‍රශ්නයට වඩා පුළුල් ආකාරයකින් විමසිය හැකි බැවිනි.
කෘත්‍රිම බුද්ධියට ගර්ඩල් වැනි ප්‍රමේයයක් නිර්මාණය කළ හැකිද?
මෙම ලිපිය ලිවීමට මට තවත් හේතුවක් වූයේ කෘත්‍රිම බුද්ධිය සහ ගණිතමය නිර්මාණශීලීත්වය පිළිබඳ මතුවූ සංවාදයකි.
එහිදී මතු වූ ප්‍රශ්නයක් වූයේ කෘත්‍රිම බුද්ධියකට ගර්ඩල්ගේ අසම්පූර්ණතා ප්‍රමේයය වැනි නව ගණිතමය සොයාගැනීමක් කළ හැකිද යන්නයි.
මෙය සිත්ගන්නාසුලු ප්රශ්නයකි.
නමුත් මට ඊටත් වඩා වැදගත් තවත් ප්‍රශ්නයක් තිබේ.
යම් කෘත්‍රිම බුද්ධි පද්ධතියක් එවැනි ප්‍රමේයයක් නිර්මාණය කළහොත්, තමන් නිර්මාණය කළේ කුමක්දැයි එයට අවබෝධ කරගත හැකිද?
මෙහිදී මුලින්ම පිළිගත යුතු කරුණක් තිබේ.
කෘත්‍රිම බුද්ධියකට ගණිතමය සාධන නිර්මාණය කිරීම, ඒවා පරීක්ෂා කිරීම සහ නව ගණිතමය සම්බන්ධතා සොයාගැනීම වැනි කාර්යයන්හි දායක විය හැකිය. එබැවින් කෘත්‍රිම බුද්ධියකට නව ප්‍රමේයයක් සොයාගත නොහැකි බව ගර්ඩල්ගේ ප්‍රමේයයන් ඇසුරෙන් නිගමනය කළ නොහැකිය. එසේම, මිනිස් මනස විධිමත් පද්ධතියකට වඩා අනිවාර්යයෙන්ම බලවත් බව ගර්ඩල්ගේ ප්‍රමේයයන් මගින් තහවුරු වී ඇතැයි පැවසීම ද නිවැරදි නොවේ. මෙම ප්රශ්නය සම්බන්ධයෙන් ජේ. ආර්. ලූකස් සහ රොජර් පෙන්රෝස් වැනි චින්තකයන් ඉදිරිපත් කළ තර්ක තිබේ.
එහෙත් එම තර්ක පිළිබඳ සැලකිය යුතු විවාදයක් ද පවතී. මා මෙහිදී අවධානය යොමු කරන්නේ වෙනත් ප්රශ්නයකටය.
ගණිතමය සාධනය, අවබෝධය සහ දැනුම ප්‍රදර්ශනය කිරීම
ගණිතමය ප්‍රස්තුතයක් සාධනය කිරීම සහ එම ප්රස්තුතය පිළිබඳ අවබෝධයක් තිබීම එකම දෙයක්ද?
අපට පරිගණකයකින් ගණිතමය සාධනයක් ලබාගත හැකිය. එහි සෑම පියවරක්ම පිළිගත් තාර්කික නීතිවලට අනුකූල බව පරීක්ෂා කළ හැකිය. එහෙත් එම පද්ධතියට තමන් කළ කාර්යය පිළිබඳ අවබෝධයක් තිබේදැයි විමසන විට අප වෙනත් දාර්ශනික ගැටලුවකට පිවිසෙමු.
මෙහිදී අවබෝධය යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි මුලින්ම පැහැදිලි කරගත යුතුය.
අවබෝධය යනු යම් ප්‍රස්තුතයක අර්ථය නිවැරදිව විස්තර කිරීමට ඇති හැකියාවද?
එය වෙනත් සංකල්ප සමඟ සම්බන්ධ කිරීමට ඇති හැකියාවද?
එම දැනුම නව තත්ත්වයකට යෙදවීමට ඇති හැකියාවද?
නැතිනම් එම අවබෝධය සමඟ යම් ආත්මීය අත්දැකීමක් ද තිබිය යුතුද?
මෙම ප්‍රශ්නවලට එකම පිළිතුරක් දීම පහසු නොවේ.
අප අවබෝධය යන්නෙන් අදහස් කරන්නේ අර්ථය පැහැදිලි කිරීම, සම්බන්ධතා හඳුනාගැනීම සහ නව ගැටලු විසඳීම වැනි හැකියාවන් නම්, කෘත්‍රිම බුද්ධිය එවැනි හැකියාවන් ප්‍රදර්ශනය කරන අවස්ථා තිබේ.
එහෙත් මෙම ගැටලුව කෘත්‍රිම බුද්ධියේ හැකියාවන් පිළිබඳ විමසීමකට පමණක් සීමා නොවේ. එය අද අපගේ සමාජයේ දැනුම නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම සහ බුද්ධිමය අධිකාරියක් ගොඩනගා ගැනීම පිළිබඳව ද අලුත් සංවාදයක් නිර්මාණය කර තිබේ.
අද වන විට කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් ලිපි, විචාර, ශාස්ත්‍රීය රචනා සහ පර්යේෂණ පත්‍රිකා පවා සකස් කළ හැකිය. මෙවැනි තත්ත්වයක් තුළ යම් ලේඛනයක ඉදිරිපත් වන දැනුම එහි නම සඳහන් කතුවරයාට සැබැවින්ම කොපමණ දුරට අවබෝධ වී තිබේද යන ප්රශ්නය මතු වීම අසාධාරණ නොවේ.
එහෙත් මෙහිදී එකිනෙකට වෙනස් තත්ත්වයන් දෙකක් හඳුනාගත යුතුය.
එක් අයෙකු කෘත්‍රිම බුද්ධිය තම අදහස් පිරිපහදු කිරීමට, තර්ක පරීක්ෂා කිරීමට, නොදන්නා කරුණු ඉගෙන ගැනීමට සහ තම ලේඛනයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට භාවිත කළ හැකිය. එවැනි අවස්ථාවක AI යනු බුද්ධිමය කාර්යයට සහාය වන මෙවලමකි.
තවත් අයෙකු තමන් කිසිසේත් අවබෝධ කර නොගත් අදහස් AI මගින් නිර්මාණය කරවාගෙන, ඒවා තමන්ගේම ගැඹුරු අධ්‍යයනයක හෝ ස්වාධීන බුද්ධිමය සොයාගැනීමක ප්‍රතිඵල ලෙස ඉදිරිපත් කළ හැකිය.
මෙම දෙවැනි අවස්ථාවේදී ගැටලුව AI භාවිත කිරීම නොව, තමන් සතු නොවන අවබෝධයක් තමන් සතු බවට අන් අය තුළ විශ්වාසයක් ඇති කිරීමයි.
මෙය බුද්ධිමය වංචනිකත්වය (intellectual imposture) පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්විය හැකිය. එහෙත් එවැනි චෝදනාවක් ඉදිරිපත් කිරීමට, ලේඛනය AI ආධාරයෙන් සකස් කළ බව පමණක් ප්‍රමාණවත් සාක්ෂියක් නොවේ.
අනෙක් අතට, ඇතැම් විට AI ආධාරයෙන් ලියන ලදැයි සැක කරන ලිපි හෝ නිර්මාණාත්මක අදහස්, ඒවායේ අන්තර්ගතය විමසා බැලීමටත් පෙර ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවක් ද දැකිය හැකිය. එවැනි ප්‍රතික්ෂේප කිරීම් සාධාරණීකරණය කිරීමට ඇතැමුන් ඉදිරිපත් කරන තර්කයක් වන්නේ, එම අදහස් ඉදිරිපත් කළ පුද්ගලයාට ඒවා පිළිබඳ ස්වාධීනව සංවාදයක යෙදීමට හෝ විවේචනයකට පිළිතුරු දීමට නොහැකි බවයි.
එම විවේචනයට යම් සාධාරණ පදනමක් තිබිය හැකිය. මන්ද යත්, තමන් ඉදිරිපත් කරන අදහසක් පැහැදිලි කිරීමට, එහි තර්කය ආරක්ෂා කිරීමට හෝ එහි දෝෂයක් පෙන්වා දුන් විට එය සංශෝධනය කිරීමට ඇති හැකියාව, දැනුම පිළිබඳ අවබෝධයක් ඇගයීමේ වැදගත් නිර්ණායකයක් වන බැවිනි.
එහෙත් පුද්ගලයෙකුට වාචික සංවාදයකදී ක්ෂණිකව පිළිතුරු දීමට නොහැකි වීමෙන් පමණක් ඔහුට එම විෂය පිළිබඳ අවබෝධයක් නැතැයි නිගමනය කළ නොහැකිය. ලිඛිතව වඩා හොඳින් සිතන, කාලය ගෙන තර්ක ගොඩනගන හෝ සංකීර්ණ අදහස් ප්‍රකාශ කිරීමට අපහසුතා ඇති පුද්ගලයන් ද සිටිය හැකිය.
එබැවින් මෙහිදී අප විමසිය යුත්තේ ලේඛනයක් නිර්මාණය කිරීමට භාවිත කළ මෙවලම කුමක්ද යන්න පමණක් නොවේ.
එම ලේඛනයේ ඇති දැනුම කතුවරයා විසින් කෙතරම් දුරට අවබෝධ කරගෙන තිබේද, එහි තර්ක සහ සාක්ෂි පිළිබඳ වගකීම ඔහු භාරගන්නේද, සහ ඒවා විවේචනාත්මකව නැවත පරීක්ෂා කිරීමට ඔහුට හැකියාව තිබේද යන්නයි.
මෙහිදී තවත් සියුම් වෙනසක් හඳුනාගත හැකිය.
යම් ලිපියක ඉදිරිපත් කරන තර්කයක් සත්‍ය හෝ වලංගු වන්නේ එය ලියූ පුද්ගලයාගේ බුද්ධිමය ප්‍රතිෂ්ඨාව නිසා නොවේ. එහි අන්තර්ගත තර්කය සහ සාක්ෂි අනුවය. එහෙත් එම තර්කය ඉදිරිපත් කරන පුද්ගලයා සැබැවින්ම එය අවබෝධ කරගෙන තිබේද යන්න වෙනම ප්රශ්නයකි. මේ අනුව ප්‍රකාශයක වලංගුභාවය, එය ඉදිරිපත් කරන්නාගේ අවබෝධය සහ එම ප්රකාශනයේ කර්තෘත්වය පිළිබඳ අවංකභාවය යන කරුණු තුන එකිනෙකට සම්බන්ධ වුවත්, එකම දෙයක් නොවේ.
මෙම වෙනස අද AI භාවිතය වටා ඇතිවෙමින් පවතින සමාජීය හා බුද්ධිමය සංවාදයට විශේෂයෙන් වැදගත් වේ.
සැබෑ දැනුම පවතින්නේ මිනිස් මොළය තුළද, පරිගණක පද්ධතියක් තුළද, නැතිනම් මිනිසා සහ තාක්ෂණය අතර ඇති සම්බන්ධතාවක් තුළද යන ප්රශ්නය ද මෙහිදී මතුවෙයි. එහෙත් මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී දැනුම ගබඩා කර තිබීම, තොරතුරු නිවැරදිව ප්රතිනිෂ්පාදනය කිරීම, තර්කානුකූලව ඒවා භාවිත කිරීම සහ ඒවා පිළිබඳ අවබෝධයක් තිබීම යන ක්‍රියාවලීන් එකිනෙකින් වෙන්කරගත යුතුය.
අප නොදන්නා දේ සහ අපට සිතිය නොහැකි දේ
දැන් මම ලිපිය ආරම්භ කළ ප්රශ්නය වෙත නැවත පැමිණෙමි.
අපගේ සිතීම සඳහා භාවිත කරන සංකේතීය පද්ධතියේ තවමත් නිරූපණය නොවූ දෙයක් ගැන අපට සිතිය හැකිද?
මෙහිදී නොදන්නා දේ සහ සිතිය නොහැකි දේ අතර වෙනසක් තිබේ.
අප නොදන්නා දෙයක් පිළිබඳ ප්‍රශ්නයක් ඇසිය හැකිය.
උදාහරණයක් ලෙස, ඈත මන්දාකිණියක ග්‍රහලෝකයක ජීවය තිබේදැයි අප නොදන්නා නමුත් එම ප්රශ්නය අපට පැහැදිලිව ඇසිය හැකිය. මන්ද ජීවය, ග්‍රහලෝකය, මන්දාකිණිය සහ පැවැත්ම යන සංකල්ප අපට දැනටමත් තිබෙන බැවිනි. නමුත් අපගේ සංකල්පීය පද්ධතිය තුළ තවමත් කිසිදු ආකාරයකින් වෙන්කර හඳුනාගෙන නොමැති සම්බන්ධතාවක් ගැන සිතීම වෙනත් ගැටලුවකි. එවැනි දෙයක් ගැන ප්‍රශ්නයක් ඇසීමට පවා අපට අලුත් සංකල්පයක් අවශ්‍ය විය හැකිය.
මෙහිදී අපගේ සිතීමේ ඉතිහාසය වැදගත් වේ.
අද සාමාන්‍ය යැයි සලකන ඇතැම් සංකල්ප මිනිස් ඉතිහාසයේ කිසියම් අවස්ථාවක තවමත් ගොඩනැගී නොතිබුණි. ශූන්‍යය සංඛ්‍යාවක් ලෙස සැලකීම, අනන්තය ගණිතමය වශයෙන් විමසීම, අවකාශය සහ කාලය පිළිබඳ නව භෞතික ආකෘති ගොඩනැගීම වැනි දේවල් අපගේ සංකල්පීය ලෝකය වෙනස් කළේය. ඒවා හුදෙක් පෙර සිටම දැන සිටි කරුණු කිහිපයක් එකතු කිරීමක් නොවීය. ඇතැම් අවස්ථාවලදී ඒවා අපට ඇසිය හැකි ප්රශ්නවල ස්වභාවයම වෙනස් කළේය. එහෙත් මෙයින් අපට සිතිය නොහැකි දෙයක් සදාකාලිකවම සිතිය නොහැකි බව නිගමනය කළ යුතු නැත.
අපගේ සංකේතීය පද්ධති වෙනස් කළ හැකිය. අලුත් සංකල්ප නිර්මාණය කළ හැකිය. කලින් නොතිබූ සම්බන්ධතා ගොඩනැගිය හැකිය. ඒ නිසා අපගේ සිතීම සංකේතීය පද්ධති මගින් හැඩගැසෙන බව පිළිගැනීම, එම සිතීම සදාකාලිකවම එක් පද්ධතියක සිරවී ඇතැයි පැවසීමක් නොවේ.
මෙහිදී තවත් ගැඹුරු ප්‍රශ්නයක් මතු වෙයි.
අලුත් අදහසක් යනු කුමක්ද? මතකය, දෛශික සහ ගණිතමය උපන්‍යාසයක්
අප අලුත් සංකල්පයක් නිර්මාණය කරන විට සිදුවන්නේ කුමක්ද?
අප කලින් පැවති සංකේත අතර අලුත් සම්බන්ධතාවක් සොයාගන්නවාද?
නැතිනම් අපගේ පැරණි සංකේතීය පද්ධතිය තුළ නිරූපණය කළ නොහැකි වූ දෙයක් නව ආකාරයකින් නිරූපණය කිරීමට සමත් වෙනවාද?
මෙම දෙක අතර වෙනස සෑම අවස්ථාවකම පැහැදිලි නොවිය හැකිය.
මෙය තේරුම් ගැනීමට මට සරල උපකල්පනයක් ඉදිරිපත් කළ හැකිය.
මම පාසල් යන කාලයේ දුටු පාසල් ගොඩනැගිල්ලක් ගැන සිතමු. එදා එම ගොඩනැගිල්ල කහ පැහැයෙන් වර්ණාලේප කර තිබූ බව මට මතකය. වසර ගණනාවකට පසුව මම නැවත එම ස්ථානයට පැමිණෙමි. දැන් එම ගොඩනැගිල්ල සුදු පැහැයෙන් වර්ණාලේප කර තිබේ. එය දුටු මොහොතේ මගේ පැරණි මතකය අවදි වෙයි. ගොඩනැගිල්ලේ හැඩය, ජනේල, වහලය සහ එහි පිහිටීම හඳුනාගන්නා අතරම, එහි වර්ණය වෙනස් වී ඇති බව ද මට වැටහෙයි.
මෙහිදී මගේ මොළය තුළ සිදුවන්නේ කුමක්ද?
අපි තාවකාලිකව මෙවැනි උපන්‍යාසයක් ගොඩනගමු.
පාසල් කාලයේ මා දුටු ගොඩනැගිල්ල පිළිබඳ මතකය මගේ මොළය තුළ කිසියම් බහුමාන දෛශිකයක් (multidimensional vector) ලෙස නිරූපණය වී ඇතැයි සිතමු. එම දෛශිකයේ විවිධ සංරචක ගොඩනැගිල්ලේ හැඩය, වර්ණය, ප්‍රමාණය සහ වෙනත් දෘශ්‍ය ලක්ෂණ සමඟ සම්බන්ධ වී ඇතැයි ද උපකල්පනය කරමු.
දැන් මා දකින වර්තමාන ගොඩනැගිල්ලේ රූපය ද තවත් දෛශිකයක් ලෙස මොළය තුළ නිරූපණය වන බව සිතමු.
පැරණි මතකය M ලෙසත්, වර්තමාන දෘශ්‍ය නිරූපණය V ලෙසත් නම් කරමු.
මෙම දෛශික දෙක අතර dot product හෙවත් අදිශ ගුණිතයක් ගණනය කිරීමෙන්, ඒවායේ යම් සමානතාවක් හඳුනාගත හැකි යැයි අපට උපකල්පනය කළ හැකිය. දෛශික දෙක සුදුසු පරිදි සාමාන්‍යකරණය කර තිබේ නම්, ඒවායේ අදිශ ගුණිතය ඒවා අතර කෝණයේ කොසයිනයට සමාන වේ. එවිට එය දෛශික දෙකේ දිශානුගත සමානතාව මනින අගයක් ලෙස භාවිත කළ හැකිය.
දැන් මෙසේ සිතමු.
ගොඩනැගිල්ලේ හැඩය සහ ජනේලවල පිහිටීම වැනි ලක්ෂණ දෙකෙහිම බොහෝ දුරට සමාන බැවින්, මගේ මොළය එය කලින් දුටු ගොඩනැගිල්ලම බව හඳුනාගනී. එහෙත් වර්ණයට අදාළ ලක්ෂණය වෙනස් වී ඇත.
එවිට මට මෙවැනි නිගමනයකට පැමිණිය හැකිය.
“මේ මගේ පැරණි පාසල් ගොඩනැගිල්ලමයි. නමුත් දැන් එය සුදු පැහැයෙන් වර්ණාලේප කරලා. මගේ පාසල් කාලයේ එය කහ පැහැයෙන් තිබුණේ.”
මෙහිදී අපට ඉතා ආකර්ෂණීය පැහැදිලි කිරීමක් ගොඩනගාගත හැකිය. මොළය පැරණි මතක දෛශිකයක් සහ වර්තමාන දෘශ්‍ය දෛශිකයක් සංසන්දනය කර, ඒවායේ සමානතා සහ වෙනස්කම් හඳුනාගෙන, අතීතය හා වර්තමානය අතර සම්බන්ධතාවක් නිර්මාණය කරන බව අපට පැවසිය හැකිය.
මෙම උපන්‍යාසය තවත් පැහැදිලි කරගැනීමට අපට දෛශික දෙකේ අදිශ ගුණිතයෙන් ලැබෙන සංඛ්‍යාත්මක අගය සලකා බැලිය හැකිය.
පැරණි මතකය නිරූපණය කරන M දෛශිකයත්, වර්තමානයේ දකින ගොඩනැගිල්ල නිරූපණය කරන V දෛශිකයත් ඒකක දෛශික ලෙස සාමාන්‍යකරණය කර ඇතැයි සිතමු.
එවිට ඒවායේ අදිශ ගුණිතය මෙසේ දැක්විය හැකිය.
M · V = cos θ
මෙහි θ යනු දෛශික දෙක අතර කෝණයයි.
දෛශික දෙකේ අදිශ ගුණිතය 1 නම්, ඒවා එකම දිශාවට යොමු වී ඇති අතර, අප තෝරාගත් දෛශික නිරූපණය තුළ ඒවා සම්පූර්ණයෙන්ම ගැළපෙයි. එය 100% සමානතාවක් ලෙස අර්ථකථනය කළ හැකිය.
අදිශ ගුණිතය 0 සහ 1 අතර අගයක් ගන්නේ නම්, එම අගය අනුව නිරූපණ දෙක අතර සමානතාවේ ප්‍රමාණය විස්තර කළ හැකිය. උදාහරණයක් ලෙස, එය 0.9 නම් ඉහළ දිශානුගත සමානතාවක් ද, 0.3 නම් සාපේක්ෂව අඩු සමානතාවක් ද පෙන්වයි. එහෙත් මෙම අගයන් රූප දෙකෙහි ලක්ෂණවලින් හරියටම 90%ක් හෝ 30%ක් ගැළපෙන බව අදහස් නොකරයි.
මෙහිදී ගොඩනැගිල්ලේ හැඩය, ජනේලවල පිහිටීම සහ වහලයේ ව්‍යුහය වැනි ලක්ෂණවලට වැඩි බරක් ලබාදී තිබේ නම්, වර්ණය වෙනස් වුවත් පැරණි සහ වර්තමාන නිරූපණ අතර ඉහළ සමානතාවක් ලැබිය හැකිය.
එහෙත් වර්ණයට වැඩි බරක් ලබාදී තිබේ නම්, ගොඩනැගිල්ල කහ පැහැයේ සිට සුදු පැහැයට වෙනස් වීම නිසා එම සමානතා අගය සැලකිය යුතු ලෙස අඩු විය හැකිය.
මේ අනුව එකම ගොඩනැගිල්ලේ රූප දෙකක් අතර සමානතාව මැනීමට අප යොදාගන්නා ගණිතමය ක්‍රමය පමණක් නොව, එම රූප නිරූපණය කිරීමට තෝරාගන්නා ලක්ෂණ සහ ඒවාට ලබාදෙන බර ද ප්‍රතිඵලයට බලපායි.
එහෙත් මෙහිදී අප තවත් ප්‍රශ්නයක් ඇසිය යුතුය.
මෙම ගණිතමය සමානතා අගය ගණනය කළ හැකි වීමෙන්, මිනිස් මොළය සැබැවින්ම එම ගණනය සිදුකරන බව තහවුරු වන්නේද?
එසේ නොවේ. අප මෙතෙක් කර ඇත්තේ මතකය සහ වර්තමාන දෘශ්‍ය අත්දැකීම අතර සම්බන්ධතාව පැහැදිලි කිරීමට හැකි උපකල්පිත ගණිතමය ආකෘතියක් ගොඩනැගීම පමණි.
දෛශික භාවිත කරමින් රූපවල ලක්ෂණ නිරූපණය කිරීමත්, ඒවා අතර සමානතාව ගණනය කිරීමත් පරිගණක විද්‍යාවේ භාවිත වන සැබෑ ක්රමවේදයන්ය. ස්නායු විද්‍යාවේ ද මොළයේ ක්‍රියාකාරිත්වය විස්තර කිරීමට බහුමාන නිරූපණ සහ දෛශිකමය ආකෘති භාවිත වේ. එහෙත් එවැනි ගණිතමය ආකෘති තිබීමෙන්, මා පාසල් ගොඩනැගිල්ල හඳුනාගත් මොහොතේ මගේ මොළය එම නිශ්චිත ගණිතමය ක්‍රියාවලිය සිදු කළ බව තහවුරු වන්නේ නැත. තවද, දෛශික දෙකක අදිශ ගුණිතයෙන් ලැබෙන්නේ එක් සංඛ්‍යාත්මක අගයකි. එම අගයෙන් පමණක් ගොඩනැගිල්ලේ වර්ණය කහ පැහැයේ සිට සුදු පැහැයට වෙනස් වී ඇති බව නිගමනය කළ නොහැකිය. ඒ සඳහා වර්ණයට අදාළ ලක්ෂණ වෙනම සංසන්දනය කිරීමත්, ඒවා අර්ථකථනය කිරීමට අවශ්‍ය වෙනත් ක්‍රියාවලීනුත් තිබිය යුතුය.
එබැවින් අප ඉදිරිපත් කළේ මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සනාථ කළ න්‍යායක් නොව, දැනට පවතින ගණිතමය සංකල්ප කිහිපයක් භාවිත කරමින් නිර්මාණය කළ හැකි උපකල්පිත ආකෘතියකි.
එය පරීක්ෂා කළ හැකි විද්‍යාත්මක උපන්‍යාසයක් බවට පත් කිරීමට නම්, එහි දෛශික නිරූපණය යනු කුමක්ද, එහි සංරචක මොනවාද, ඒවා මැනිය හැක්කේ කෙසේද සහ එම ආකෘතියෙන් පුරෝකථනය කළ හැකි නිරීක්ෂණ මොනවාද යන්න නිශ්චිතව දැක්විය යුතුය.
මෙහිදී අපට අපූරු දෙයක් දැකගත හැකිය.
අප පැරණි මතකයක් පිළිබඳ අදහසත්, දෛශික පිළිබඳ ගණිතමය සංකල්පයත්, රූප හඳුනාගැනීම පිළිබඳ පරිගණක විද්‍යාත්මක ක්රමවේදයකුත් එකට සම්බන්ධ කර අලුත් පැහැදිලි කිරීමක් නිර්මාණය කර තිබේ. එය අලුත් අදහසක් විය හැකිය. එහෙත් එය අලුත් විද්‍යාත්මක සොයාගැනීමක් බව ඉන් අදහස් නොවේ.
අලුත් සංකල්පයක් නිර්මාණය කිරීමට පැරණි සංකල්ප අතර නව සම්බන්ධතාවක් ප්‍රමාණවත් විය හැකිය. නමුත් එම සංකල්පය යථාර්ථය පිළිබඳ සත්‍ය පැහැදිලි කිරීමක් බව පෙන්වීමට ඊට වඩා වැඩි යමක් අවශ්‍ය වේ.
මෙහිදී මට ඇලන් සෝකල්ගේ විවේචනාත්මක ප්‍රවේශය සිහිපත් වෙයි.
සෝකල් මෙවැනි පැහැදිලි කිරීමක් කියවූයේ නම්, එහි ගණිතමය වචන නිවැරදිව භාවිත කර තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඔහු අපට සිහිපත් කරනු ඇතැයි සිතිය හැකිය. “දෛශිකයක්” යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? එහි සංරචක මොනවාද? මොළය මෙම ගණනය සිදු කරන බවට ඇති සාක්ෂි මොනවාද? එම ගණිතමය ආකෘතිය නොමැතිව පැහැදිලි කළ නොහැකි දෙයක් එයින් පැහැදිලි කරන්නේද?
මේවා සෝකල් මෙහිදී සැබැවින්ම විමසූ ප්‍රශ්න නොව, ඔහුගේ විවේචනාත්මක ප්‍රවේශය අනුව අපටම මතු කළ හැකි ප්රශ්නයන්ය.
එසේ නම්, මෙහිදී ගැටලුව වන්නේ ගණිතය භාවිත කිරීම නොවේ. ගණිතමය භාෂාවකින් ඉදිරිපත් කළ හැකි පැහැදිලි කිරීමක්, එම හේතුව නිසාම විද්‍යාත්මකව තහවුරු වූ පැහැදිලි කිරීමක් ලෙස සැලකීමයි.
මෙම වෙනස අපගේ මුල් ප්රශ්නය වෙත නැවත අපව යොමු කරයි.
අප අලුත් අදහසක් නිර්මාණය කළ විට, අප සැබැවින්ම අලුත් දෙයක් අවබෝධ කරගෙන තිබේද? නැතිනම් අප දැනටමත් දන්නා සංකල්ප අලුත් ආකාරයකින් සංවිධානය කර තිබේද?
මේ දෙක එකිනෙකට විරුද්ධ විය යුතු නැත. පැරණි සංකල්ප අතර නව සම්බන්ධතාවක් සොයාගැනීම සැබෑ අවබෝධයක ආරම්භය විය හැකිය. එහෙත් එම සම්බන්ධතාවේ සංකල්පීය ආකර්ෂණය සහ එහි විද්‍යාත්මක වලංගුභාවය අතර වෙනස අප අමතක නොකළ යුතුය.
ඇලන් සෝකල්ගේ විවේචනය අපට වැදගත් වන්නේ ඇයි?
මෙවැනි සාකච්ඡාවකදී ඇලන් සෝකල්ගේ නම මඟහැර යාම සුදුසු නොවේ.
සෝකල් සහ ජීන් බ්රික්මොන්ට් විසින් රචිත Fashionable Nonsense කෘතියේ මූලික විවේචනයක් වන්නේ ඇතැම් දාර්ශනිකයන් සහ න්යායාචාර්යවරුන් ගණිතමය හා විද්‍යාත්මක සංකල්ප ඒවායේ නිශ්චිත අර්ථය පැහැදිලි නොකර වෙනත් ක්ෂේත්රවලට ගෙනයන ආකාරයයි.
ලැකාන්ගේ ගණිතමය සංකේත භාවිතය ද ඔවුන්ගේ විවේචනයට ලක්වෙයි. මෙහිදී මට වැදගත් වන්නේ ලැකාන් නිවැරදි බව හෝ සෝකල් නිවැරදි බව කලින්ම තීරණය කිරීම නොවේ. ඔවුන්ගේ විවාදයෙන් අපගේ සාකච්ඡාවට ලබාගත හැකි ක්රමවේදමය පාඩමයි. ගණිතමය සංකේතයක් භාවිත කළ පමණින් අදහසක් ගණිතමය වශයෙන් වලංගු නොවේ. එසේම, ගණිතමය සංකල්පයක් වෙනත් ක්ෂේත්රයක නිදර්ශනයක් ලෙස භාවිත කිරීම සෑම අවස්ථාවකම වැරදි ද නොවේ.
ප්රශ්නය වන්නේ එම භාවිතයෙන් අප කරන්නේ කුමක්ද යන්නයි.
අප සංකේතයක් උපමාවක් ලෙස භාවිත කරනවාද?
අප ව්‍යුහාත්මක සමානකමක් පෙන්වනවාද?
නැතිනම් ගණිතමය ප්‍රමේයයකින් වෙනත් ක්ෂේත්රයක ප්‍රකාශයක් සාධනය කිරීමට උත්සාහ කරනවාද?
මෙම තත්ත්ව තුන අතර පැහැදිලි වෙනසක් තිබේ.
උදාහරණයක් ලෙස, ගර්ඩල්ගේ දෙවැනි අසම්පූර්ණතා ප්‍රමේයය සහ ලැකාන්ගේ මහා අනෙකා පිළිබඳ සංකල්පය අතර දාර්ශනික සමානකමක් සාකච්ඡා කිරීම සාධාරණ විය හැකිය. නමුත් ගර්ඩල්ගේ ප්‍රමේයය මගින් ලැකාන්ගේ මනෝවිශ්ලේෂණීය න්‍යාය ඔප්පු වී ඇතැයි පැවසීම සාධාරණ නොවේ. ඒ ආකාරයටම, ලැකාන්ගේ ගණිතමය නිදර්ශනය නිවැරදි වීමෙන් ඔහුගේ අවිඥානය පිළිබඳ සම්පූර්ණ න්‍යාය තහවුරු නොවේ. මෙම වෙනස පවත්වාගැනීම මගේ අදහසට අනුව ලැකාන්ගේ චින්තනය පිළිබඳ වඩාත් ගැඹුරු කියවීමකට උපකාරී වේ.
මන්ද විවේචනයෙන් ආරක්ෂා කිරීම සඳහා අදහසක් ගණිතමය සාධනයක් ලෙස ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බැවිනි.
එහි දාර්ශනික වටිනාකම වෙනම විමසා බැලිය හැකිය.
අවසානයක් වෙනුවට තවත් ප්‍රශ්නයක්
මෙම ලිපියේදී අප ගමන් කළේ වෙනස් බුද්ධිමය ලෝක කිහිපයක් අතරය.
ලැකාන්ගේ සොරාගත් ලිපියෙන් ආරම්භ කළ අප, අහඹු කාසි අනුක්රමයක් සංකේතීකරණය කළ විට ඇතිවන ව්‍යුහාත්මක සීමා සලකා බැලුවෙමු. ඉන්පසු ගර්ඩල්ගේ අසම්පූර්ණතා ප්‍රමේයයන් තුළින් විධිමත් ගණිතමය පද්ධතිවල සාධන හැකියාවට ඇති සීමා විමසා බැලුවෙමු. ඒවා ලැකාන්ගේ මහා අනෙකා පිළිබඳ සංකල්පය සමඟ සංසන්දනය කළෙමු. අවසානයේදී කෘත්‍රිම බුද්ධියට ගණිතමය සාධනයක් නිර්මාණය කිරීම සහ එය අවබෝධ කරගැනීම අතර වෙනස පිළිබඳ ප්රශ්නය වෙත පැමිණියෙමු.
මෙම සියලු සාකච්ඡාවලින් එක් පොදු නිගමනයක් ගණිතමය වශයෙන් සාධනය කළ හැකි බව මම නොකියමි.
එසේ කිරීම අප මෙතෙක් පවත්වාගත් විචාරාත්මක ප්රවේශයටම පටහැනි වනු ඇත. නමුත් මේවා අතරින් මට පෙනෙන දාර්ශනික සම්බන්ධතාවක් තිබේ. අප ලෝකය පිළිබඳ දැනුම ගොඩනගන්නේ සංකේත, නීති, සංකල්ප සහ ඒවා අතර සම්බන්ධතා මගිනි. එම ක්‍රම අපට ලෝකය ගැන සිතීමට හැකියාව ලබාදෙයි. නමුත් අපට සිතීමට හැකියාව ලබාදෙන එම ක්‍රම, අපට සිතිය හැකි ආකාරය ද හැඩගස්වයි. මෙයින් ලෝකය අපගේ සංකේතවලින් නිර්මාණය වී ඇතැයි අදහස් නොවේ. එසේම, ලෝකයේ පවතින සියලු නීති මිනිස් සිතීමේ නීති පමණක් බව ද අදහස් නොවේ. එයින් මතු වන්නේ අපගේ දැනුම සහ අප දැනගැනීමට උත්සාහ කරන යථාර්ථය අතර සම්බන්ධතාව පිළිබඳ ප්රශ්නයකි.
ගර්ඩල් අපට පෙන්වන්නේ නිශ්චිත විධිමත් පද්ධතියක සාධනය කළ හැකි දේවලට සීමා ඇති බවයි. ලැකාන් අපගේ අවධානය යොමු කරන්නේ සංකේතීය සම්බන්ධතා තුළ විෂයයාගේ ස්ථානය හැඩගැසෙන ආකාරය වෙතය. මේ දෙක එකම ප්‍රකාශයක් නොවුවත්, ඒවා එකට කියවීමෙන් අපගේ දැනුම පිළිබඳ ප්‍රශ්න අලුත් ආකාරයකින් විමසීමට හැකියාව ලැබිය හැකිය.
එහෙත් මට තවමත් ඉතිරිව ඇති ප්රශ්නය වන්නේ මෙයයි.
අපගේ සිතීමේ සීමාවක් අපට හඳුනාගත හැකි නම්, එම සීමාව හඳුනාගැනීමෙන්ම අප එයින් ඔබ්බට ගොස් තිබේද?
නැතිනම් අප කර ඇත්තේ අපගේ පැරණි සංකේතීය පද්ධතිය තුළම එම සීමාව නිරූපණය කිරීම පමණක්ද?
මෙම ප්‍රශ්නයට මම මෙහිදී අවසාන පිළිතුරක් ඉදිරිපත් නොකරමි.
මන්ද එවැනි පිළිතුරක් සොයා යාමේදී අපට මුලින්ම විමසීමට සිදුවන්නේ, පිළිතුරක් යනු කුමක්ද, සාධනයක් යනු කුමක්ද සහ අවබෝධයක් යනු කුමක්ද යන්නම වන බැවිනි.
කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ කතුවරයාගේ සටහන
මම අඛණ්ඩව ඉගෙනගන්නා, මා උනන්දුවක් දක්වන විෂය ක්ෂේත්‍ර පිළිබඳව නිරන්තරයෙන් කියවන, විමසන සහ අලුත් දැනුම සොයා යන අයෙක්මි. එම අධ්‍යයන සහ පර්යේෂණ ක්‍රියාවලියේදී කෘත්‍රිම බුද්ධිය (AI) මගේ ඉගෙනීමට සහාය වන මෙවලමක් ලෙස මම නිරන්තරයෙන් භාවිත කරමි.
මෙම ලිපිය සකස් කිරීමේදී ද අදාළ කතුවරුන්ගේ මුල් කෘතිවල පිටපත් පරිශීලනය කරමින්, ඒවායේ ඉදිරිපත් වන අදහස් පිළිබඳ මගේම කියවීම සහ විමසීම වර්ධනය කරගැනීමට AI සහාය ලබාගෙන ඇත. සංකල්ප පැහැදිලි කරගැනීම, න්‍යායික අදහස් සංසන්දනය කිරීම, ගණිතමය ප්‍රකාශන පිරික්සීම, විචාරාත්මක ප්‍රතිපෝෂණ ලබාගැනීම සහ ලිපියේ භාෂාව හා ව්‍යුහය සංස්කරණය කිරීම සඳහා ද එම සහාය භාවිත කළෙමි.
එහෙත් AI විසින් ඉදිරිපත් කරන සෑම පිළිතුරක්ම හෝ පැහැදිලි කිරීමක්ම නිවැරදි යැයි මම නොසලකමි. ඒවා ප්‍රශ්න කිරීමටත්, අවශ්‍ය අවස්ථාවල මුල් කෘති සමඟ සසඳා බැලීමටත්, විචාරාත්මකව ඇගයීමටත් ලක් කළ යුතු බව මගේ පිළිගැනීමයි.
මෙහි ඉදිරිපත් කරන අදහස්, අර්ථකථන, පෞද්ගලික විමසීම් සහ උපන්‍යාසයන් පිළිබඳ අවසාන වගකීම මා සතුය. AI සහාය ලබාගැනීම එම අදහස්වල නිවැරදිභාවය හෝ විද්‍යාත්මක වලංගුභාවය පිළිබඳ සහතිකයක් නොවේ. මට AI යනු මුල් කෘති කියවීම, ස්වාධීනව සිතීම හෝ ඉගෙනීම වෙනුවට භාවිත කරන ආදේශකයක් නොව, එම ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීමටත්, මගේම අදහස් ප්‍රශ්න කිරීමටත්, මා දන්නා බව සිතන දේ පවා නැවත විමසා බැලීමටත් උපකාරී වන මෙවලමකි.
ආශ්රිත කෘති සහ වැඩිදුර කියවීම
Jacques Lacan — Écrits, “Seminar on ‘The Purloined Letter’.” Translated by Bruce Fink, W. W. Norton, 2006, pp. 6–48.
Jacques Lacan — The Seminar of Jacques Lacan, Book XX: Encore, 1972–1973. Edited by Jacques-Alain Miller, translated by Bruce Fink, W. W. Norton, 1998.
Kurt Gödel — “Über formal unentscheidbare Sätze der Principia Mathematica und verwandter Systeme I” (1931).
Edgar Allan Poe — “The Purloined Letter” (1844).
Alan Sokal and Jean Bricmont — Fashionable Nonsense: Postmodern Intellectuals’ Abuse of Science (1998).
J. R. Lucas — “Minds, Machines and Gödel” (1961).
Roger Penrose — The Emperor’s New Mind (1989).
Douglas R. Hofstadter — Gödel, Escher, Bach: An Eternal Golden Braid (1979).
Ferdinand de Saussure — Course in General Linguistics. Edited by Charles Bally and Albert Sechehaye, with the collaboration of Albert Riedlinger. First published in French as Cours de linguistique générale (1916).
Jacques Lacan — “The Instance of the Letter in the Unconscious, or Reason Since Freud.” In Écrits, translated by Bruce Fink, W. W. Norton, 2006.
Roman Jakobson — “Two Aspects of Language and Two Types of Aphasic Disturbances.” In Fundamentals of Language, with Morris Halle, Mouton, 1956.
J. Barkley Rosser — “Extensions of Some Theorems of Gödel and Church.” The Journal of Symbolic Logic, Vol. 1, No. 3 (1936), pp. 87–91.



