විමුක්තිගේ ඔත්තු බලන තරු...

 

මම විමුක්තිගේ ඔත්තු බලන තරු බලන්න ගියා. ඒක අමුතුම අත්දැකීමක් වුණා. මම එහෙම සූදානමක් තිබ්බෙ නෑ. තනිකරම පාළු මූසල ගතියක් තිබ්බ ඒ ඇරඹුම සහ මුල් විනාඩි විසිපහක් විතර ගත වුණ කාලය ගැන මට තිබුණේ අලස හැඟීමක්. නින්ද මාව තදින් වෙලා ගනිද්දි දැඩි උත්සාහයෙන් පොර බැදීමෙන් තිරය දෙස අවධානය යොමු කරන් හිටිය. මගේ මිත්‍රයා පසුව පැවසුවේ ඔහුටද එම සන්තෑසියම සිදු වූ බවයි. අපි හුරු නැති තත්ත්වයක් ඒ නිර්මාණය තුළ තිබුණා. භාෂාවකට ගත නොහැකි දෙයක් රූප රාමු සහ ශබ්ද අතරින් මිරිකිලා ඇස්කන්වලට වැටුණා වගේ හැඟීමකින් මම හිටියේ. කවියක ආත්මයක් දෝ වැනි දේකින් මගේ මනස වැසී ගියා. කතාවක් ද මොහොතක් ද ඉතිහාසයක් ද අනාගතයක් ද කියල මට හිතා ගන්න බැරිවුණා. මම කොයිතරම් අවුලක ද ඉන්නේ කියලා මටම හැඟෙන්න පටන් ගත්තා. යූටියුබ් සහ ෆේස්බුක් අස්සේ අපේ ආත්මය වල්මත් වෙලා කොමර්ෂල් ඇල්ගොරිත්ම් එක්ක ආත්මීයව ඒකාබද්ධ වෙලා අපි ඉන්න තරම කොතරම් කෲර යථාර්ථයක් ද කියල හිතෙන්න ගත්ත. බලන කෙනෙක් රඳවගන්න පුළුවන් වෙන්න පළවෙනි තත්පර තිහ හදන්නේ කොහොමද කියල දවස ගානේ හිතමින් යූටියුබ් වීඩියෝ තාක්ෂණය කියවමින් ඉන්න අස්සේ මේ කෲර පීඩනය දරාගන්න කොතරම් අමාරුද කියල නිදිබර ඇස් අස්සෙන් වෑස්සුණා. වසංගත කාලේ මතක් වුණා. වැක්සින් පෝලිම් අස්සේ මරණ බයෙන් හිටි හැටි මතක් වුණා. කොරන්ටයින් එදිනෙදා ව්‍යවහාරෙට වැටිච්ච හැටි මතක් වෙද්දි චාටර් ෆ්ලයිට්වලට සල්ලි ගෙවං කොළඹ බම්බලපිටියේ හෝටලයක ලක්ෂ ගණන් ගෙවාගෙන ඕමානයෙන් ලංකාවට බිරිඳ සමග ආ හැටි චිත්‍රපටියට වඩා වේගෙන් මනසේ ඇඳුණා. කොයිතරම් නම් මුදල් කන්දරාවක් කවුරුන් හෝ ඒ වසංගත අස්සෙත් ඇසට වැලි ගසා උපයා ගත්තා නේද කියල මතක් වෙන්න ගත්ත. උනුත් මේ ශාලාවේ මේ චිත්‍රපටිය බලනව ඇති කියල හිතුණම හොරැහින් වටපිටත් බැලුණා. කඳබඩ උස දීඝජන්තුවො කීප දෙනෙක් චරබර හඬින් මාගේ ඇටකටු හපමින් බෑගයකට අත ඔබමින් සිටින හැටි අඳුරේ පෙනුණා. මා ආයෙත් බලද්දි ඇය කොරන්ටයින් එකෙන් එළියට පැනල. මට මොනව හරි මිස් වෙලා ඒ අස්සේ මොකද මම හීනෙකුත් දැකල චිත්‍රපටියට සමාන්තරව වෙනම වසංගත ලෝකෙක. විමුක්ති මොනව කියන්න යනවද කියල මට වගේ වගක් නැතිව ගියා. නින්දයි නොනින්දයි අතර යුද අභ්‍යාසයක් කරන්නා සේ මම දරදඬු වුණා. මුකුත් තේරුම් නොගෙන ඉන්න තීරණය කළා. එයා දැන් මල් පඳුරකට නැමිලා මල් කනව. මල් මොන රහද කියල මට දැනෙන්න ගත්තා. ගඳපාන මල් මාත් කාල තියෙනව. ඒකාධිපති බලන්න මම රාහුලේට ගියේ හැත්තෑවේ අගදි වෙන්නෝන. ඒ යද්දි මම සොහොන් පිට්ටනිය පහු වෙද්දි ගඳපාන පඳුරුවල පාටපාටින් තිබ්බ මල් උදුරගෙන නාහෙට තියල සුවඳ බලල කටේ ඔබා ගත්ත. ලාවට පැණි රහක් තිබ්බ. අක්ක මාව ඇදල ගත්ත. ආයෙත් අපි රාහුල පාර දිගේ ඇවිදං ගියා. මට මේවත් චිත්‍රපටි. විමුක්තිගේ කඳුකර පසුතල මට මතක් කරේ දියසායම් පෙට්ටිය. ඒකෙත් ඒ වගේ පාට තිබුණ. හැබැයි ඉතා කලාතුරකින් ඒව කොළය මතට වැටුණේ. හරියටම කොහාටද ඒ පාට ගැලපෙන්නේ කියල මට හිතා ගන්න බැරිවුණා. මට හිතෙන්නේ කඳු අස්සෙන් එන මීදුම්වලට ඒ පාට ගැලපෙනව කියලයි. ඒක අලුත් දැනුමක් වුණා. විමුක්ති හරි සොබාදහම හරි කවුරු හරි වර්ණ ඒ විදියට සංයෝජනය කරල තිබ්බ. මට දැනුණේ ඒක අතින් ඇඳපු චිත්‍ර ගොඩක් කියල. පණ තියෙන අයව පාට කරල වගේ හැඟීමකුත් එක්කල. මැරිච්ච අයට කතා කරන්න ගන්නකොට තමයි මට හිතුණෙ මේක චිත්‍රපටියක් කියල. එතකම් මට ඒක දියසායම් චිත්‍රයක්.

මම තනියම ඉන්න තීරණය කරල තිබ්බෙත් හරියටම තාත්තා මළාට පස්සේ. මට කවුරුත් එපා වුණා. මිනිස්සු ඔක්කොම හරි විෂ සහගතයි කියල දැනෙන්න ගත්තේ ඒ කාලෙමයි. මම සේරටම වඩා ඈතින් ඉන්න ක්‍රමයක් හෙව්ව. අභ්‍යවකාශේ වගේ තැනක්. හැබැයි චිත්‍රපටියේ වගේ ඈත අභ්‍යවකාශේ ඉඳලා ලංකාවට එන එක මට ඒ තරම් ලේසි වුණේ නෑ. මම මුල ඉඳලම කොරන්ටයින් වුණා. තාත්තා මළාට පස්සේ මම තනිකරම කොරන්ටයින් වුණා. මම ඒ ගත කළ ජීවිතයේ ව්‍යූහාත්මක සත්‍යය කොරන්ටයින් වීම කියල මම දැනගන්නේ කොවිඩ් කාලේ. චිත්‍රපටිය ඒ තරම්ම සැර නෑ. මල් වුණත් කන්න පුළුවන් නිදහසක් තිබ්බ ඒකේ. විමුක්ති කවියෙක් හෝ දාර්ශනිකයෙක් කියල කියන්න මට බය හිතුණ. මොකද හෙට වෙද්දි එයා මොනවගේ කතා කියාගෙන මම මේ ගත කරන කොරන්ටයින් ජීවිතයට කඩා පනීද කියල මට හිතාගන්න බැරි නිසා. මම හරි බයයි මිනිස්සු එහෙම ජීවිත ඇතුළට කඩං පනිනවට. චිත්‍රපටියක වගේ දුරස්ථකමින් සේෆ් ඩිස්ටන්ස් එකක ඉන්නවට තමයි මම කැමති. කූඹියෝ බලපු මට ඊට පස්සේ සෝෂල් මීඩියාවල පොලිටිකල් සහ ෆිලොසොෆිකල් ඇනලයිසිස් කරන ලකා බලන්න සිද්ධ වුණා. මම හිතුව ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ මගේ මැරිච්ච තාත්තා මට කතා කරන්න ඒ අයව යන්ත්‍ර විදියට පාවිච්චි කරනවා වෙන්න බැරිද කියල. කවුරුත් කතා කළේ ලොස් වෙච්ච අතුරුදන් වෙච්ච අය ගැන. ඒ අයගේ ආත්මවලට ආයෙම කතා කරන්න පුළුවන්ද බලන එක. විමුක්ති මේ කෘත්‍රිම බුද්ධි ලෝකෙට මැරිච්ච මිනිස් ආත්මවලට කතා කරන යන්ත්‍රයකුත් ගෙනැල්ල තිබ්බ. ඒකේ ගැජට්මය පිළිබිඹුව හරි ප්‍රතිබිම්බය හරි අපි පුංචි කාලෙ දැකපු පෙට්‍රොමැක්ස් ලාම්පුවකට මගේ අතීතය ගැට ගැහුව. ඉයර්ෆෝන් ගහං හිටිය අර දීඝජන්තු නළුව මට මැව්වේ කොහේදෝ කනත්තක බරසාර කතාවක් කරනව වගේම චිත්‍රයක්. ඇත්තටම මේක ඊට වඩා මානුෂිකයි කියල මට හිතුණ. විමුක්ති භාෂාව අතහැරියට සමනලීට ඒක ඕන වෙනව නන්නාඳුනන දෙන්නෙක්ගෙ හමුවක් කියන්න. සුළඟ එනු පිණිසෙන් කාන්දුවුණ දර්ශනයක් යළි යළිත් තිරයට කැඳවන්න. දුක්බරම මොහොත මට වුණේ එදා ඒ චිත්‍රපටිය බලන්න මගේ පිටුපසින් හිටියේ හත්පණ රංගනයෙන් ඉදිරිපත් කළ ජනප්‍රිය මනුස්සය. චිත්‍රපටිය පටං ගන්න කලින් ඒ මනුස්සය මේ චිත්‍රපටිය කෑන්ස්වල උසස් සම්මානයක් ගත්ත නිසා ඉතා ඉහළින් වර්ණනාත්මක විශ්ලේෂණයක ගිලිල හිටිය. හැබැයි නැගිටල එද්දි ඒ මනුස්සය අහක බලා ගත්ත. මට ඒක තමයි මෑතක් වෙද්දිම හොඳටම මතක හිටියේ. ආයෙම මම ඒ චිත්‍රපටිය මේ ළඟකදී තැටියක් විදියට මිලට අරං මගේම කරගත්ත. බලන්න ගියේ නෑ. ඉතිං අවුරුදුම විස්සක් විතර ඒ අතරෙ ගත වෙලා. මට හිතෙනව මට මේව තේරෙනව කියල.


ලිවීම ගැන කුඩා සටහනක්: මෙය චිත්‍රපට විචාරයක් නොවේ. චිත්‍රපටයක් නරඹමින් සිටියදීත්, ඉන් බොහෝ කලකට පසුවත් මගේ මනස තුළ පැනනැඟුණු මතක, සිතුවිලි, හැඟීම් සහ අවිඥානික සම්බන්ධතා නිදහසේ ගලා යන්නට ඉඩ හැර කළ ලිවීමක්. ඒ නිසා මෙහි ඇත්තේ තර්කානුකූලව ගොඩනැඟූ විචාරයකට වඩා, සිතුවිල්ලකින් තවත් සිතුවිල්ලකට පැන යන විඥාන ප්‍රවාහයක් (Stream of Consciousness). එහි ඇති අසාමාන්‍ය භාෂා රටාවත්, විසිරුණු ස්වභාවයත් ඒ ලිවීමේම කොටසක්.

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

AI යුගයේ Humanities: විද්‍යාවට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න