පිටු 250,000ක ගණිතමය සාක්ෂියක්!

පිටු 250,000ක ගණිතමය සාක්ෂියක් සහ මිනිස් මනසේ සීමාව: AI යුගයේ කියවීමේ දර්ශනය


පසුගිය දවසක ලෙවන්ට් අල්පෝග් (Levent Alpöge) කියා සිටියා, Claude නම් කෘත්‍රිම බුද්ධි පද්ධතිය සමඟ එක්ව තමන් සොයාගත් රීමාන් කල්පිතයේ (Riemann Hypothesis) ගණිතමය සාක්ෂිය, Lean පරිගණක කේතයක සිට මිනිසුන්ට කියවිය හැකි ඉංග්‍රීසි ලියැවිල්ලක් බවට පරිවර්තනය කළ විට එය පිටු දෙලක්ෂ පනස් දහසකටත් වඩා දිගු වූ බව.

පසුව ඔහු පැහැදිලි කළා ඒ පිටු ගණන විහිළුවට කියූ අතිශයෝක්තියක් බව.

එහෙත් මගේ සිත ඒ විහිළුව ළඟ මඳකට නතර වුණා.

ඇත්තටම පිටු 250,000ක ගණිතමය සාක්ෂියක් තිබුණොත් අපි මොකද කරන්නේ? එය කියවන්නේ කවුද? එහි අන්තර්ගත ගණිතය අවබෝධ කරගන්නේ කෙසේද? එහි කොතැනකවත් වැරැද්දක් නොමැති බව තහවුරු කරන්නේ කවුද?

විහිළුවක් ලෙස කියූ ඒ සංඛ්‍යාව පිටුපස මිනිස් ඥානයේ ස්වභාවය පිළිබඳ ඉතා ගැඹුරු ප්‍රශ්නයක් සැඟවී ඇතැයි මට සිතුණා.


1. මිනිසෙකුට තම ජීවිත කාලය තුළ කොපමණ කියවිය හැකිද?


හේගල්, කාල් මාක්ස්, තෝමස් අක්වයිනාස් වැනි චින්තකයන් තම ජීවිත කාලය තුළ කොපමණ පොත් ප්‍රමාණයක් කියවා ඇත්දැයි මා කල්පනා කළා. ඔවුන් කියවූ නිශ්චිත පිටු ගණනක් අප දන්නේ නැතත්, ඔවුන් විසින් ඉතිරි කර ගොස් ඇති ලේඛන සහ සටහන් පොත් ඇසුරින් ඒ කියවීමේ විශාලත්වය පිළිබඳ යම් අදහසක් අපට ඇති කරගත හැකියි.

කාල් මාක්ස්ගේ කියවීමේ පරාසය පිළිබඳ අපූරු සාක්ෂියක් වන්නේ Marx-Engels-Gesamtausgabe (MEGA²) නම් දැවැන්ත ප්‍රකාශන ව්‍යාපෘතියයි. මාක්ස් කියවූ පොත්වලින් උපුටාගත් කොටස්, ඔහුගේ සටහන්, විවිධ විෂයයන් පිළිබඳ අධ්‍යයන සටහන් ආදිය එහි සැලකිය යුතු කොටසක් බවට පත්ව තිබෙනවා.

දේශපාලන ආර්ථික විද්‍යාව පමණක් නොව, ඉතිහාසය, තාක්ෂණය, කෘෂිකර්මය, රසායන විද්‍යාව සහ ගණිතය ද ඔහුගේ කියවීමේ විෂය පථයට අයත් වුණා.

එඩ්වඩ් ගිබන් (Edward Gibbon) සිය The History of the Decline and Fall of the Roman Empire නම් දැවැන්ත ඉතිහාස කෘතිය සම්පාදනය කිරීමට වසර විස්සකට ආසන්න කාලයක් ගත කළා. ඒ සඳහා ඔහු පරිශීලනය කළ ඉතිහාස මූලාශ්‍රවල විශාලත්වය ඔහුගේ කෘතියේ පාදසටහන් දෙස බැලීමෙන් පවා අපට වටහාගත හැකියි.

නූතන ලෝකයේ වොරන් බෆට් (Warren Buffett) වැනි අයගේ කියවීමේ පුරුදු ගැනත් අප අසා තිබෙනවා. දිනකට පිටු 500ක් කියවන මිනිසෙකු ගැන මොහොතකට සිතමු.

• දිනකට පිටු 500ක්
• වසරකට පිටු 182,500ක්
• වසර 10කට පිටු 1,825,000ක්
• වසර 30කට පිටු 5,475,000ක්

මේ අනුව බලන විට පිටු 250,000ක් යනු මිනිසෙකුට තම ජීවිත කාලය තුළ කියවා නිම කළ නොහැකි තරම් විශාල පිටු ගණනක් නොවෙයි.

නමුත් මෙහිදී අප අතින් මඟහැරෙන වැදගත් දෙයක් තිබෙනවා.

ඒ තමයි අප ගණන් කරන මේ හැම පිටුවක්ම එකම වර්ගයේ පිටුවක් නොවීම.

2. පිටුවක් යනු කුමක්ද?


නවකතාවක පිටුවක් කියවීමට අපට ගතවන කාලයත්, හේගල්ගේ Phenomenology of Spirit කෘතියේ පිටුවක් කියවා එහි අර්ථය වටහා ගැනීමට ගතවන කාලයත් එක සමාන නැහැ.

ගණිතය හදාරා ඇති අය දන්නවා ඇතැම් විට ගණිත පොතක එකම පේළියක් ඉදිරියේ පැය ගණනක් ගත කිරීමට සිදුවන බව. එහෙයින් කියවීමේ ප්‍රමාණය මැනීමේ ඒකකයක් හැටියට පිටුව යොදා ගැනීමේ යම් දෝෂයක් තිබෙනවා.

සාමාන්‍ය ගද්‍ය පිටුවක වචන 250ක් ඇතැයි උපකල්පනය කරමු. එවැනි පිටු 250,000ක අඩංගු වචන ගණන මිලියන 62.5ක්.

විනාඩියකට වචන 250ක් කියවන කෙනෙකුට මේ සඳහා ගතවන කාලය පැය 4,167ක් පමණ වෙනවා.

සතියකට පැය 40ක් බැගින්, වසරකට සති 52ක් කියවීම සඳහාම වෙන් කළොත් එය වසර දෙකක පූර්ණකාලීන ශ්‍රමයක්.

නමුත් මෙහිදී අප ගණනය කළේ හුදෙක් කියවීමට ගතවන කාලයයි. කියවූ දේ අවබෝධ කරගැනීමට, මතකයේ රඳවා ගැනීමට, ඒවා අතර සම්බන්ධතා ගොඩනඟා ගැනීමට හෝ ඒවායේ සත්‍යතාව පරීක්ෂා කිරීමට ගතවන කාලය මෙහි අඩංගු නැහැ.

3. ගණිතය කියවීම යනු වෙනත් ආකාරයක කියවීමක් ද?


නවකතාවක් කියවද්දී අපට නොතේරුණු වාක්‍යයක් මඟහැර ඊළඟ ඡේදයට යන්න පුළුවන්. ඇතැම් විට පොතේ අවසානයට පැමිණි විට කලින් අපට නොතේරුණු වාක්‍යයේ අර්ථයත් හදිසියේ වැටහෙන්න පටන් ගන්නවා.

සමහරු පොතේ කවරය සහ බර බලා පොත කියවීමේ ක්‍රමවේදයක් ද අනුගමනය කරනවා. මේ අපූරු කියවීමේ ක්‍රමය බොහෝ විට දැකගත හැක්කේ පොත් එළිදැක්වීමේ සන්දර්ශනවලදීයි. "මම තවම මේ පොත කියවලා නෑ" කියා සිය කතාව ආරම්භ කරමින්, අනතුරුව පොත පිළිබඳ දීර්ඝ විචාරයක් ඉදිරිපත් කරන අයත් නැත්තේම නැහැ. ඒ අනුව පොතක් විචාරය කිරීම සඳහා එය කියවා තිබීම පවා අත්‍යවශ්‍ය නොවන අවස්ථා අපට හමුවෙනවා.

දර්ශනවාදී කෘතියක් කියවීමේදී නම් තත්ත්වය තරමක් වෙනස්. එහි සංකල්ප තේරුම් ගැනීමට අපට නැවත නැවතත් කලින් කියවූ පිටු වෙත යාමට සිදුවෙනවා. ඇතැම් විට එක් වාක්‍යයක් තේරුම් ගැනීමට වෙනත් පොතක් කියවීමට පවා සිදුවෙනවා.

නමුත් ගණිතමය සාක්ෂියක් කියවීමේදී ඉහත කී ඇතැම් කියවීමේ ක්‍රම අපට කිසිසේත්ම උපකාරී වන්නේ නැහැ. එහිදී අපට පැවරෙන්නේ කියවීම සහ අර්ථය වටහා ගැනීම ඉක්මවා ගිය තවත් වගකීමක්.

ඒ තමයි අප කියවන දෙය තර්කානුකූලව නිවැරදි බව තහවුරු කරගැනීම.

ගණිතමය සාක්ෂියක් කියවීමේදී අපට තවත් වෙනස් වගකීමක් පැවරෙනවා.

එහි කිසියම් නිගමනයක් පිළිගැනීමට නම් ඒ නිගමනය සඳහා යොදාගත් පූර්ව නිගමන, අර්ථදැක්වීම් සහ තර්කන පියවර අතර සම්බන්ධය නිවැරදි බව අප තහවුරු කරගත යුතුයි.

ගණිතමය සාක්ෂියක් යනු හුදෙක් එකිනෙකට පසුව එන වාක්‍ය මාලාවක් නොවෙයි. එය එකිනෙක මත රඳා පවතින තර්කන සම්බන්ධතා ජාලයක් (Dependency Graph). එබඳු ජාලයක එක් තීරණාත්මක ස්ථානයක සිදුවන දෝෂයක් හේතුවෙන් ඒ මත පිහිටුවා ඇති නිගමන විශාල සංඛ්‍යාවක් සැකයට භාජනය විය හැකියි.

අතිශය සංකීර්ණ ගණිතමය සාක්ෂියක එක් පිටුවක් කියවා, එය අවබෝධ කරගෙන, එහි තර්කනයේ නිවැරදිතාව පරීක්ෂා කිරීමට සාමාන්‍යයෙන් පැයක් ගතවන්නේ යැයි අපි උපකල්පනය කරමු.

එවිට පිටු 250,000ක් සඳහා:

• සමස්තයක් ලෙස මිනිස් ශ්‍රම පැය 250,000ක් (Person-hours) අවශ්‍ය වෙනවා.
• දිනකට පැය අටක්, සතියකට දින පහක් බැගින් වසර පුරාම මේ කාර්යයේ නිරත වන එක් ගණිතඥයෙකුට ඒ සඳහා වසර 120ක් පමණ ගත වෙනවා.
• ගණිතඥයන් 100 දෙනෙකු අතර එම කාර්යය සමානව බෙදා දිය හැකි නම්, ඔවුන්ට වසරකුත් මාස දෙකහමාරක් පමණ ගත වෙනවා.

නමුත් මිනිසෙකුට දිනකට පැය අටක් පුරා අතිශය සංකීර්ණ ගණිතමය තර්කනයක් එකම අවධානයකින් පරීක්ෂා කළ හැකිද?

දිනකට ඵලදායී ලෙස පැය හතරක් පමණක් මේ කාර්යයට වැය කළ හැකි යැයි ද, වසරකට වැඩ කරන දින 250ක් ඇතැයි ද උපකල්පනය කළහොත්, එක් ගණිතඥයෙකුට වසර 250ක් ද, ගණිතඥයන් සිය දෙනෙකුට වසර දෙකහමාරක් ද අවශ්‍ය වෙනවා.

එහෙත් ගණිතමය සාක්ෂියක් පරීක්ෂා කිරීම යනු පිටු 250,000ක පොතක් සිය දෙනෙකු අතර සමානව බෙදා දීම තරම් සරල කාර්යයක් නොවෙයි. එක් අයෙකු පරීක්ෂා කරන තර්කන කොටස තවත් අයෙකු පරීක්ෂා කරන තර්කන කොටස් මත රඳා පැවතිය හැකියි. ඒ සියල්ල අතර අනුකූලතාව සහ සමස්ත සාක්ෂියේ තාර්කික අඛණ්ඩතාව තහවුරු කරගැනීමටත් අතිරේක ශ්‍රමයක් අවශ්‍ය වෙනවා.

ඒ අනුව ඉහත කාල ගණනය පවා අපට ලැබෙන්නේ ඉතා වාසිදායක උපකල්පන යටතේයි.

එහෙත් ගණිතමය සාක්ෂියක් පරීක්ෂා කිරීම එතරම් සරලව සිය දෙනෙකු අතර බෙදා දිය හැකි කාර්යයක් ද නොවෙයි. ඔවුන්ගේ නිගමන එකිනෙක හා සම්බන්ධ කිරීම, අර්ථදැක්වීම්වල ඒකමිතිය ආරක්ෂා කිරීම සහ සමස්ත සාක්ෂියේ අඛණ්ඩතාව පරීක්ෂා කිරීම සඳහා ද අතිරේක ශ්‍රමයක් අවශ්‍ය වෙනවා.

4. ගණිතය මීට පෙරත් මිනිස් කියවීමේ සීමාවට ළඟා වී තිබෙනවා


මෙය කෘත්‍රිම බුද්ධිය නිසාම හදිසියේ ඇති වූ අලුත් ප්‍රශ්නයක් නොවෙයි.

A. පරිමිත සරල සමූහ වර්ගීකරණය (Classification of Finite Simple Groups)


විසිවැනි සියවසේ ගණිතයේ දැවැන්තම සාමුහික ප්‍රයත්නයක් ලෙස මෙය සැලකෙනවා. දශක ගණනාවක් පුරා ගණිතඥයන් සියයකට අධික පිරිසක් විසින් සම්පාදනය කරන ලද පර්යේෂණ ලිපි සිය ගණනක් පුරා එහි සාක්ෂිය විහිදී තිබෙනවා. එහි සමස්ත දිග මුද්‍රිත පිටු දස දහසකටත් අධික බව සාමාන්‍යයෙන් ඇස්තමේන්තු කෙරෙනවා.

මෙහිදී අපට හමුවන්නේ එක් මිනිස් මනසක ඥානයකට වඩා ගණිතමය ප්‍රජාවක් පුරා බෙදී පැතිරී ඇති සාමුහික ඥානයක්.

B. වර්ණ හතරේ ප්‍රමේයය (Four Color Theorem, 1976)


ඕනෑම තලීය සිතියමක පොදු මායිමක් ඇති ප්‍රදේශ දෙකකට එකම වර්ණය නොයෙදෙන ආකාරයට මුළු සිතියමම වර්ණ ගැන්වීමට වර්ණ හතරක් ප්‍රමාණවත් බව මේ ප්‍රමේයයෙන් කියැවෙනවා.

මෙය සාධනය කිරීමේදී කෙනත් ඇපල් සහ වුල්ෆ්ගැන්ග් හේකන් (Kenneth Appel and Wolfgang Haken) පරිගණකයක් භාවිත කළා. සාක්ෂියේ විශාල කොටසක් සමන්විත වූයේ පරිගණකයක් මගින් පරීක්ෂා කරන ලද අවස්ථා විශාල සංඛ්‍යාවකින්.

මිනිසෙකු විසින් සම්පූර්ණයෙන් අතින් පරීක්ෂා නොකරන ලද දෙයක් ගණිතමය සාක්ෂියක් ලෙස පිළිගන්නේ කෙසේද යන විවාදය එදා ගණිතඥයන් අතර ඇති වුණා.

C. කෙප්ලර් කල්පිතය (Kepler Conjecture)


සමාන ප්‍රමාණයේ ගෝල විශාල සංඛ්‍යාවක් අවකාශයක හැකි තරම් ඝන ලෙස ඇසිරිය හැක්කේ කෙසේද යන ගැටලුව පිළිබඳව තෝමස් හේල්ස් (Thomas Hales) 1998 දී සාක්ෂියක් ඉදිරිපත් කළා.

එම සාක්ෂිය පරීක්ෂා කළ විශේෂඥ මණ්ඩලයට දීර්ඝ කාලයක් වැය කිරීමෙන් පසුවත් එහි සියලු පරිගණකගත කොටස් නිශ්චිතව පරීක්ෂා කිරීම අපහසු වුණා. ඔවුන්ගේ විශ්වාසය ඉතා ඉහළ මට්ටමක පැවතියත්, සාක්ෂියේ සෑම අංගයක්ම ස්වාධීනව තහවුරු කරගැනීම වෙනම ගැටලුවක් වුණා.

අවසානයේ Flyspeck නම් දීර්ඝකාලීන ව්‍යාපෘතිය මගින් එම සාක්ෂිය විධිමත් පරිගණක පරීක්ෂණයකට ලක් කෙරුණා. 2014 දී එම කාර්යය සම්පූර්ණ කළ බව නිවේදනය කෙරුණා.

මේ සිදුවීම් තුන දෙස ආපසු හැරී බලන විට මට පෙනෙන්නේ, ගණිතය කලක සිටම තනි මිනිස් මනසක කියවීමේ සහ පරීක්ෂා කිරීමේ හැකියාව ඉක්මවා යන ව්‍යුහයන් නිර්මාණය කරමින් සිට ඇති බවයි.

AI පැමිණීමත් සමඟ එම ක්‍රියාවලිය පෙර නොවූ විරූ වේගයක් ලබා තිබෙනවා.

5. සාක්ෂියක් නිවැරදි බව දැනගැනීම සහ එය අවබෝධ කරගැනීම


Lean සහ Coq වැනි විධිමත් සාක්ෂි සහායක පද්ධති (Formal Proof Assistants) ක්‍රියාත්මක වන්නේ Claude වැනි කෘත්‍රිම බුද්ධි පද්ධති ක්‍රියාත්මක වන ආකාරයට නොවෙයි.

Claude විසින් ගණිතමය තර්කනයක් යෝජනා කරනු ලැබිය හැකියි. එහෙත් එම තර්කනය විධිමත් ගණිතමය භාෂාවකින් ප්‍රකාශ කළ විට, එහි පියවර නියමිත තර්කන නීතිවලට අනුකූල දැයි Lean වැනි පද්ධතියකට පරීක්ෂා කළ හැකියි.

එහි මධ්‍යස්ථ පරීක්ෂකය හෙවත් Kernel එක මගින් සිදු කරන්නේ සාක්ෂියේ විධිමත් වලංගුභාවය තහවුරු කිරීමයි.

නමුත් මෙතැනදීත් මිනිසාගේ වගකීම අවසන් වන්නේ නැහැ.

පරිගණකයට විධිමත් ගණිතමය භාෂාවකින් ඉදිරිපත් කළ ප්‍රකාශය, අප මුලින් විසඳීමට අපේක්ෂා කළ ගණිතමය ගැටලුවම නිවැරදිව නිරූපණය කරනවාද? එහි භාවිත වන අර්ථදැක්වීම් අප අදහස් කරන ගණිතමය සංකල්පවලට අනුරූප වෙනවාද? එම සාක්ෂිය අප පිළිගන්නා ස්වයංසිද්ධ (Axioms) මත පමණක් පදනම් වී තිබෙනවාද? නැතහොත් තහවුරු නොකළ අතිරේක උපකල්පන මත එය රඳා පවතිනවාද?

මේවාත් අප විමසා බැලිය යුතුයි.

මන්ද පරිගණකයක් විසින් යම් ගණිතමය ප්‍රකාශයක සාක්ෂිය නිවැරදි බව තහවුරු කිරීමත්, එම ප්‍රකාශය අප විසඳීමට අපේක්ෂා කළ ගණිතමය ගැටලුවම බව තහවුරු කරගැනීමත් එකිනෙකට වෙනස් කාර්යයන් දෙකක් වන නිසයි. එපමණක් නොව, සාක්ෂියක තාර්කික වලංගුභාවය තහවුරු කරගැනීම සහ එහි ගණිතමය අර්ථය අවබෝධ කරගැනීම ද එකම දෙයක් නොවෙයි.

එහෙත් පරිගණකයකට සාක්ෂියක විධිමත් වලංගුභාවය තහවුරු කළ හැකි වීම නිසාම එහි අන්තර්ගත ගණිතමය අදහස මිනිසාට අවබෝධ වූ බවක් අදහස් වන්නේ නැහැ.

6. පිටු 250,000 සිට පිටු 45 දක්වා


අල්පෝග්ගේ සිදුවීමේ වඩාත් සිත්ගන්නාසුලු කොටස හමුවන්නේ මෙතැනදීයි.

ඔහු මුලින් ඉදිරිපත් කළ Lean සාක්ෂියේ පරිගණක කේත පේළි මිලියන 17කට අධික ප්‍රමාණයක් තිබුණා. ඉන් දින කිහිපයකට පසු එහි විශාලත්වය සැලකිය යුතු ලෙස අඩු කළ තවත් විධිමත් සාක්ෂියක් ඉදිරිපත් කෙරුණා.

නොවැම්බර් 27 වන විට වෝටර්ලු විශ්වවිද්‍යාලයේ ගණිතඥ මයිකල් රූබින්ස්ටයින් (Michael Rubinstein) එම කෙටි කරන ලද සාක්ෂියේ මූලික තර්කන ව්‍යුහය පිටු 45ක ගණිතමය විස්තරයක් මගින් ඉදිරිපත් කර තිබුණා.

එය මුළු සාක්ෂියේම සෑම තර්කන පියවරක්ම අඩංගු ස්වාධීන සාක්ෂියක් නොවෙයි. එය සාක්ෂිය කියවා අවබෝධ කරගැනීම සඳහා සකස් කළ මාර්ගෝපදේශයක්.

එසේම මුල් Lean සාක්ෂිය ස්වාධීන පරිගණක පරීක්ෂණ කිහිපයක් සමත් වී තිබෙනවා. එහෙත් එහි පූර්ණ ගණිතමය අර්ථය වටහා ගැනීමේ සහ විද්වත් ප්‍රජාව තුළ එය ඇගයීමේ ක්‍රියාවලිය තවමත් සිදුවෙමින් පවතිනවා.

මෙහි සිදුවෙමින් පවතින්නේ එක් අතකින් දැනුම නිෂ්පාදනය කිරීමත්, අනෙක් අතින් ඒ දැනුම මිනිස් අවබෝධයට ගෝචර වන ආකාරයට නැවත සංවිධානය කිරීමත් නොවේද?

7. මිනිස් ඥානයේ අනාගතය


කාල් මාක්ස් හෝ හේගල් වැනි චින්තකයන්ගේ විශිෂ්ටත්වය පවතින්නේ ඔවුන් කියවූ පිටු සංඛ්‍යාව තුළ නොව, ඒ විශාල දැනුම් සම්භාරය තුළින් අලුත් සංකල්පීය සම්බන්ධතා සොයා ගැනීමට ඔවුන් සතු වූ හැකියාව තුළයි.

ගණිතඥයෙකුගේ කාර්යය ද හුදෙක් නිවැරදි තර්කන පියවර විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම පමණක් නොවෙයි. ඒ තර්කන පියවර අතර සැඟවී ඇති සරල, සුන්දර සහ ගැඹුරු සම්බන්ධතාවක් අනාවරණය කරගැනීමත් ඔහුගේ කාර්යයට අයත් වෙනවා.

එහෙත් දැන් අප ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ අපට මුළුමනින්ම කියවා නිම කළ නොහැකි, එහෙත් නිවැරදි බව විධිමත් ක්‍රමයකින් තහවුරු කරගත හැකි දැනුම් ව්‍යුහයන් නිෂ්පාදනය වන යුගයක් විය හැකියි.

එබඳු යුගයක මිනිස් කියවීමේ කාර්යය කුමක් වනු ඇත්ද?

කෘත්‍රිම බුද්ධියේ සහායෙන් ගොඩනැඟෙන අතිශය සංකීර්ණ ගණිතමය සාක්ෂි, මිනිසාට කියවා අවබෝධ කරගත හැකි සරල සංකල්පීය ව්‍යුහයන් බවට පත් කිරීමත්, ඒවා තුළින් නව ගණිතමය අදහස් හඳුනා ගැනීමත් අනාගත ගණිතඥයන්ගේ ප්‍රධාන කාර්යයක් බවට පත්වනු ඇත්දැයි මට සිතෙනවා.

මෙතැනදී මට ඇතිවන ප්‍රශ්නය රීමාන් කල්පිතය විසඳා තිබේද නැද්ද යන ප්‍රශ්නයට වඩා තරමක් වෙනස් එකක්.

ඉංජිනේරුවෙකු ලෙස මගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් මේ දෙස බලන විට, රීමාන් කල්පිතය සාධනය කිරීම හේතුවෙන් අප දැනට භාවිත කරන ප්‍රායෝගික ඉංජිනේරු ගණනය කිරීමේ ක්‍රමවේදයන් වෙනස් කිරීමට සිදුවන බවක් මට පෙනෙන්නේ නැහැ.

එහෙත් රීමාන් සීටා ශ්‍රිතය හා එහි ශූන්‍යයන්, වර්ණාවලි න්‍යාය, දෝලන සහ තරංග ආශ්‍රිත ගණිතමය සංකල්ප සමඟ දක්වන සම්බන්ධතා ඉතා සිත්ගන්නාසුලුයි. මේ කල්පිතය සාධනය කිරීම සඳහා යොදාගත් ගණිතමය ක්‍රමවේදයන් තුළින් අනාගතයේදී අප නොසිතූ ප්‍රායෝගික යෙදුම් බිහිවීමටත් ඉඩ තිබෙනවා.

ගණිතයේ ඉතිහාසය දෙස බැලූ විට පෙනෙන්නේ, කිසියම් ගණිතමය සොයාගැනීමක ප්‍රායෝගික වටිනාකම එය සොයාගත් මොහොතේදීම මිනිසාට හඳුනාගත නොහැකි වූ අවස්ථා බොහෝ ඇති බවයි.

ඒ නිසාම මගේ කුතුහලය පවතින්නේ රීමාන් කල්පිතය සාධනය කිරීමෙන් අපට ලැබෙන නිගමනය ගැන පමණක් නොවෙයි. එය සාධනය කිරීමේදී අනාවරණය වන අලුත් ගණිතමය සම්බන්ධතා සහ ක්‍රමවේද ගැනත් මම උනන්දු වෙනවා.

නමුත් ඒවායේ වටිනාකම හඳුනා ගැනීමට නම් අප ඒවා අවබෝධ කරගත යුතුයි. පරිගණකයක් විසින් සාක්ෂියක නිවැරදිතාව තහවුරු කර දීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නැහැ.


යමක් සත්‍ය බව අපට තහවුරු කරගත හැකි වුවත්, එය සත්‍ය වන්නේ ඇයි දැයි අපට අවබෝධ කරගත නොහැකි නම්, අප එය දන්නවා යැයි කිව හැකිද?

එසේ නම් දැන ගැනීම යනු කුමක්ද?

#Mathematics #ArtificialIntelligence #Philosophy #Epistemology #LeanProver #KarlMarx #Hegel #RiemannHypothesis

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

🎬 කුවේණිගේ ශාපය තවමත් අප අතරද? — ‘කුවණ්ණා’ නරඹන්නට පෙර සිතුණු දේ

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්