බුද්ධිය, අවිඥානය සහ AI — අප තවමත් හරිහැටි නොඅසන ප්‍රශ්න මොනවාද?
බුද්ධිය, අවිඥානය සහ AI — අප තවමත් හරිහැටි නොඅසන ප්‍රශ්න මොනවාද?
Neil deGrasse Tyson ගේ සුප්‍රකට StarTalk වැඩසටහනේ, Santa Fe Institute හි David Krakauer සමඟ පැවැත්වෙන මේ අලුත් සංවාදය මගේ විශේෂ අවධානයට ලක්වුණා.
බුද්ධිය (Intelligence) කියන්නේ මොකක්ද? භාෂාව බිහිවීමට පෙර මිනිසා සිතුවේ කොහොමද? අප දැනුවත්ව නොසිතන අවස්ථාවලදීත් සංකීර්ණ ගණිතමය ගැටලු විසඳෙන්නේ කොහොමද? සිහින තුළින් විද්‍යාත්මක අදහස් මතුවන්නේ ඇයි? එසේ නම් භාෂාව මූලික කරගත් AI පද්ධතියකට එවැනි හැකියාවක් තිබිය හැකිද?
මේ සංවාදයේදී Ramanujan, Kekulé වැනි චරිත පමණක් නොව, මෑතකදී OpenAI සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ Navier–Stokes ගණිතමය ප්‍රතිඵලයත් මතු වෙනවා.
මෑතකදී මම Wolfgang Pauli සහ Carl Jung අතර හුවමාරු වූ සිහින හා ඒවායේ ගණිතමය සහ භෞතික විද්‍යාත්මක සංකේත පිළිබඳවත්, AI සහ මිනිස් චින්තනය අතර සම්බන්ධතා පිළිබඳවත් කියවමින් සිටින නිසා මේ සංවාදය මට විශේෂයෙන් රසවත් වුණා.
එහෙත් මෙහිදී මගේ අවධානය යොමු වූයේ ඔවුන් ලබාදෙන පිළිතුරුවලට පමණක් නොවෙයි. ඒ පිළිතුරු අතර තවමත් විවෘතව පවතින ප්‍රශ්නවලටයි. සමහර විට කතා නොකරන දේවල් කතා කරන දේවල් අතර තියෙනවා.
විශේෂයෙන්ම, අප නොදැනුවත්ව සිදුවන මානසික ක්‍රියාවලියක් (unconscious processing) සහ මනෝවිශ්ලේෂණයේ අවිඥානය (the unconscious) යනු එකම දෙයක්ද?
එසේම, භාෂාව මිනිසාට ගැටලු විසඳීමේ අලුත් මෙවලමක් ලබාදුන්නා පමණද? නැත්නම් භාෂාව තුළින් මිනිසා තමන් කවුදැයි ප්‍රශ්න කරන සත්ත්වයෙකු බවටත් පත්වුණාද?
මේ දෙවැනි ප්‍රශ්නයේදී මට Freud සහ Lacan ගේ පර්යේෂණ සම්ප්‍රදාය සිහිපත් වෙනවා. ඒ නිසාම මෙය Lacan නොමැතිව අසම්පූර්ණ සංවාදයක් යැයි කියන්නට මට අවශ්‍ය නැහැ. ඔවුන්ගේ විද්‍යාත්මක ප්‍රවේශය සහ මනෝවිශ්ලේෂණයේ ප්‍රවේශය වෙනස්. නමුත් ඒ වෙනස්කම් අතර සංවාදයක් ගොඩනැගීමෙන් අපට තවත් ප්‍රශ්න විවෘත කළ හැකියි.
මෙහි තවත් වැදගත් වෙනසක් මතු වෙනවා. ගැටලුවකට නිවැරදි පිළිතුරක් ලබාගැනීමත්, එම ගැටලුව සහ පිළිතුර සැබවින්ම අවබෝධ කරගැනීමත් එකම දෙයක් නොවෙයි.
AI යුගයේ මෙය අතිශයින් වැදගත් වෙනසක් යැයි මා සිතනවා.
මෙවැනි සංවාදවලින් මම බලාපොරොත්තු වන්නේ කිසියම් න්‍යායක් ජයග්‍රහණය කරවීම නොවෙයි. විද්‍යාව, ගණිතය, දර්ශනය සහ මනෝවිශ්ලේෂණය අතර තවමත් නොවිසඳුණු ප්‍රශ්න හඳුනාගැනීමයි.
සංවාදයේ අවසානයේ Krakauer අවධාරණය කරන අදහස මට විශේෂයෙන් වැදගත්: තාක්ෂණය අප වෙනුවෙන් ගැටලු විසඳන යුගයක, අප වර්ධනය කළ යුත්තේ වඩාත් හොඳ ප්‍රශ්න ඇසීමේ හැකියාවයි.
සමහරවිට අපගේ ඉදිරි බුද්ධිමය ගමන ආරම්භ වන්නේ පිළිතුරකින් නොව, මෙතෙක් නොඇසූ ප්‍රශ්නයකින් විය හැකියි.
සම්පූර්ණ සංවාදය:
https://www.youtube.com/watch?v=bcpQkvBCACw

Comments