අවුරුදු තිහකට එහා ගිය මිත්‍රත්වයක්, පොතක් සහ මතක කිහිපයක්...

 අවුරුදු තිහකට එහා ගිය මිත්‍රත්වයක්, පොතක් සහ මතක කිහිපයක්...

ඊයේ අරවින්ද සේනාධීර සමඟ මාව බලන්න ආපු තවත් පැරණි මිත්‍රයෙක් තමයි Ranjan Kumara. මොරටුව විශ්වවිද්‍යාලයේ අපේ batch එකේ හිටපු ඉතාම සමීප මිතුරෙක්. ගජයෙක්. වෙලාවකට චන්ඩියෙක්. ඇස්වල කඳුළු පුරෝගන්න ජාතියේ චන්ඩියෙක්. කන පිඟානක් වුනත් නංචක්කුවක් බවට පරිවර්තනය කරන්න සහජ හැකියාවක් ඇත්තෙක්.


රංජන් ගැන මතක් වෙනකොට මට මුලින්ම මතක් වෙන්නේ ඔහුගේ වර්තමාන තනතුරවත්, වෘත්තීය ජයග්‍රහණවත් නෙවෙයි. අපි දෙවැනි වසරේ විභාගවලට මුහුණ දෙමින් සිටියදී දෙන්නටම එකවර පැපොල (chickenpox) හැදුණු සිද්ධියයි!
විභාග කාලයේම විශ්වවිද්‍යාල භූමිය තුළ නිරෝධායනය වෙලා එකට ගත කළ ඒ දවස් අදත් අමතක වෙන්නේ නැහැ. හරියට භූගත බංකරයක හිටිය වගෙයි දැංඒ මතකය මතුවෙන්නේ. ඒ කාලයේ අපිට තිබුණු ප්‍රශ්න, බලාපොරොත්තු සහ අනාගතය ගැන සිහින අද මතක් වෙනකොට හිනාවකුත් යනවා. ලැජ්ජාවකුත් එනවා.
රංජන් දකුණේ මිනිහෙක්. මගේ ගම මාතරට නුදුරින් තංගල්ලෙන් ආපු කෙනෙක්. විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න කලින් ඔහු ඉදිකිරීම් වැඩබිම්වලට ඇඟෙන්ම බැහැලා සාමාන්‍ය කම්කරුවෙකු ලෙස වැඩ කරලා මුදලුත් අද්දැකීම්තුත් උපයාගත් අයෙක්. වචනේ පරිසමාප්තාර්ථයෙන් වැඩ්ඩෙක්‍. ඒ අද්දැකීම් ගැන ඔහු අප සමග කතා කරන්නේ කිසිම පැකිළීමක් නැතුව. ඒ කාලේ වගේම දැනුත්.
මම හිතන්නේ රංජන්ගේ ඉංජිනේරු ජීවිතයේ තිබෙන විශේෂත්වයක් ඒක. Civil Engineering කියන්නේ පොත්වල තිබෙන සමීකරණ සහ design codes විතරක් නොවන බව ඔහු ඉතා හොඳින් දන්නවා විශ්වවිද්‍යාලෙට එන්න ඉස්සරත්. ඉදිකිරීම් වැඩබිමක ශ්‍රමය, මිනිසුන්, ද්‍රව්‍ය සහ ප්‍රායෝගික ගැටලු මෙන්ම දේශපාලනය ද සමඟ ගනුදෙනු කරන ආකාරය ඔහු අත්දැකීමෙන්ම ඉගෙනගත් කෙනෙක්.
අද ඔහු Central Engineering Consultancy Bureau (CECB) ආයතනයේ Additional General Manager කෙනෙක්. එහි අනුබද්ධ Central Engineering Services (CESL) ආයතනයේත් ජ්‍යෙෂ්ඨ වගකීම් දරන ඉංජිනේරුවෙක්.
ඒ සියලු වෘත්තීය ජයග්‍රහණ අතරත් ඔහු තුළ සිටින ඒ පැරණි, සරල, පොළොවේ පය ගහලා ජීවත් වෙන රංජන් වෙනස් වෙලා නැහැ.
විශ්වවිද්‍යාල කාලයේ ඉඳලම මගේ විවිධ අනවශ්‍ය දක්ෂතා සහ තේරුමක් නැති උනන්දුවීම් අගය කළ සමීපතම මිතුරෙක් ඔහු. ඉංජිනේරු විද්‍යාවෙන් ඔබ්බට ගිහින් දර්ශනය, සාහිත්‍යය, මනෝවිශ්ලේෂණය සහ Artificial Intelligence වැනි විෂයයන් ගැන මා දක්වන උනන්දුවත් ඔහු දකින්නේ ඒ පැරණි මිත්‍රත්වයේම දිගුවක් විදිහටයි.
මෙවර ඔහු ආවේ මගේ Left-AI පොතේ පිටපතක් අරගෙන යන්න. දුකසැප බලල යන්න‍‍. පොත නම් ඒ ඔහුට කියවන්න විතරක් නෙවෙයි. SLIIT ආයතනයේ තොරතුරු තාක්ෂණය හදාරන ඔහුගේ දියණියට දෙන්න.
ඒ කාරණය මට විශේෂ සතුටක් ගෙන දුන්නා.
අවුරුදු තිහකටත් වැඩි කාලයකට පෙර විශ්වවිද්‍යාලයේදී එකට ඉගෙනගත් මිතුරන් දෙදෙනෙක්, අද තමන්ගේ ජීවිතවල වෙනස් මාර්ග ඔස්සේ ගමන් කරලා, ඒ අත්දැකීම් ඊළඟ පරම්පරාවට යම් ආකාරයකින් සම්බන්ධ කරනවා.
මගේ පොතක් ඒ සම්බන්ධතාවයේ පුංචි කොටසක් වීම ගැන මට සතුටුයි.
ජීවිතයේ අපි ලබන තනතුරු, ගොඩනඟන ගෙවල්, උපයන මුදල්, ලියන පොත් — මේ සියල්ල කාලයත් සමඟ වෙනස් වෙනවා. යම් අපැහැදිලි දෙයක් ඊට යටින් අපිව මෙහෙය වෙනවා. ඒ අපැහැදිලි දේ වචන සොයන්න වෙර දරනව.
නමුත් විශ්වවිද්‍යාලයේ විභාගයක් මැද පැපොල හැදිලා එකට නිරෝධායනය වුණු දවස් ගැන අවුරුදු තිහකට පස්සෙත් මතක් කරල හිනාවෙන්න පුළුවන් මිත්‍රයෙක් ඉතිරි වෙනවා නම්, ඒකත් ජීවිතයේ ලැබෙන වටිනාම දේවල් අතරින් එකක්.
ස්තුතියි රංජන්, පැරණි මතක අලුත් කළාටත්, මගේ පොත ඊළඟ පරම්පරාවකට රැගෙන යන්න හිතුවාටත්.
දුවටත් ඇගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මගේ සුබපැතුම්!
පින්තූරයේ රංජන් සහ මම, ඔහුගේ දියණිය වෙනුවෙන් රැගෙන යන Left-AI පොත සමඟ.

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු