යුනිකෝ ගැන මතකය (2012)

 වර්ෂ 1975 ඔක්තෝබර් මස විසිවන දා උපත ලද "සිත්තර" චිත්‍රකතා පත්තරය මගේ ජීවිතයේ එක්තරා මංසන්ධියක් නිමැවූවා යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. සිත්තර පළමු පිටපත අපේ තාත්තා විසින් මිලට ගෙන කියවා, එය මගේ වැඩිමල් සොයුරිය අතට පත් වූ සැණේ සිට මා ඇය වටා කැරකෙමින් එහි වූ රූප සහිත දෙබස් කතා මා වෙත උස් හඬින් පවසන මෙන් ඇවිටිලි කළ අයුරු මගේ මතකයේ දැඩිව අදත් රැඳී තිබේ. මගේ සොයුරිය මට වඩා සිවු වසරකින් වැඩිමල් වූයෙන් ඇයට කතන්දර කියවා තේරුම් ගැනීමට හැකියාවක් තිබුණි. රුසියානු කතන්දර පොත් කියවා මා විනෝදයට පත් කරන ඇයට මේ අමුතු කතන්දර පොත කියවන්නට පෙර කියවීම පිළිබඳ නොයෙකුත් පැටලිලි හටගන්නා බැව් මට දැනුණි.



දෙබස් මෙන්ම සිතන දේ ද ලියා "වදන් වළාකුළු" මෙන් සටහන් කර ඇති රූප රාමු, වෙසක් තොරණක් පිළිවෙළින් වටහා ගන්නා අයුරින් කියවා තේරුම් ගත යුතු බව ඇය පෙන්වා දුන් අතර, අකුරු කියවා ගැනීමේ හැකියාවක් නොවූ මා හට ඈ ඇගේ සිත්ගත් කතා කියවා අවසන් වන තුරු රූප දෙස බලමින් සිටින්නට සිදු විය. අක්කා ඉතිං ඊට පස්සේ චිත්‍රකතාව මහත් අභිරුචියකින් කියවන අයුරු පසෙක සිට නරඹන මා, ඇය කියවා අවසන් වන තුරු ඉවසා බලා සිටීම බැරිම වූ කලෙක අකුරු කියවා ගන්නට මට උපකාර කරන මෙන් ඇයට ඇවිටිලි කළ අයුරු ද මට හොඳින් මතකය. පසුව මාගේ සොයුරිය මා වෙත හෝඩි පොතක් ගෙනැවිත් දී ඉන් අකුරු ඉගෙනීමටත් වචන කියවා ගැනීමටත් ඉගැන්වූයෙන්, මා ඉතා ඉක්මනින් සිත්තර පත්තරය මගේම ආකාරයකට කියවා ගැනීමට ඇරඹුවේ මට යන්තම් වසර පහක පමණ වයසක් වෙද්දී ය.
එකල කියවන්නට යෙදුණු රුසියානු කතන්දර පොත්වලට වඩා සිත්තර චිත්‍රකතා පත්තරයේ එන සිදුවීම් අතර පරතරය ඉතා විශාල බැව් මට පෙනුණත් එය වටහා ගැනුමට තරම් මේරූ මනසක් මට එකල නොවීය. මට සිතුණේ සිත්තර පත්තරයේ එන කතන්දරවල සිදුවීම් තවමත් අපගේ ජීවිත කාලයේ සිදු නොවී ඇති බවත්, අනාගතයේදී මේවා අපගේ ජීවිතවල ද අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බවත්ය. එනයින් ඉක්මනින් කතන්දරවල රූපණය වී ඇති චරිතවල වයසට මෝරා වැඩිහිටි විය යුතුය යන හැඟීම නිරන්තරයෙන් පස්හැවිරිදි මා තුළ ලියලන්නට විය.
මා සිත්තර පත්තරයේ ඉමහත් ආශාවෙන් කියවූ එකම කතාව යුනිකෝ ය. මා යුනිකෝ චරිතයට කොපමණ ඇලුම් කළේ දැයි කීවොත් මා හට ද ඔහු මෙන් දෑස් වසාගෙන කඩු සටන් කිරීමේ උමතුවක් මඳ කලෙකින් වැලඳුණි. ඒ 1976 වසර ය. මා නිතරම යුනිකෝගේ දෑස් බැඳි ආවරණය වැනි හැඩයෙන් යුතු කඩදාසි කපා ඒවා පැලඳ වටපිට බලන්නට උත්සාහ කළ ද, කිසි දිනෙක කිසිම දෙයක් එම කඩදාසි හරහා දකින්නට නොහැකි වීමෙන් ඉමහත් කම්පනයටත් කනගාටුවටත් පත් වූ අයුරු මට ඉතා හොඳින් මතක තිබේ. එකල මා හමු වන බොහෝ වැඩිහිටියන් සිත්තර පත්තරය කියවන පාඨකයන් වූ බැවින් මා ඔවුන් නිරන්තරයෙන් ප්‍රශ්න කළේ යුනිකෝගේ මේ අසාමාන්‍ය දැක්ම කුමක් දැයි කියාය. යුනිකෝ දෑස් වසා සිටිය ද ඔහුට සාමාන්‍ය අයෙකුට සේම දෑස් පෙනීම මා හට වටහා ගැනීමට අවශ්‍ය වූයෙන් මගේ ප්‍රශ්න කිරීම් උග්‍ර විය. ගෙදර යන එන අයට ඒ ගැන විස්තර කරනවා හැර වෙනත් කිසිවක් වෙනුවෙන් අවධානය යොමු කරන්නට මගෙන් ඉඩ නොලැබිණි. එවිට මාගේ පියා ඇතුළු සියල්ලන් මට සිත්තර පත්තරය බැලීම වාරණය කරන්නට පවා උත්සුක වූයේ මගේ අනවශ්‍ය කුහුල නිසාවෙන් බැව් මට හොඳින් මතකය.
එකල යුනිකෝ නිර්මාණය කරන සරත් මධු මට හැඟුණේ සුපිරි තත්ත්වයක ජීවත් වූ පිටසක්වළ ජීවියකු වැනි අතිශය ගුප්ත ස්වරූපයකිනි. මන්ද යත් ඔහු අතින් ඇඳෙන යුනිකෝ යනු ඔහුගේ නිර්මාණයක් බැවින්, එබඳු සුවිශේෂී හැකියාවක් ඇති අයෙකු නිර්මාණය කරනු ලබන්නා කොතරම් සුවිශේෂී හැකියාවන් හා ප්‍රබලතාවන් ඇති අයෙකු දැයි සිතා ගන්නට මගේ සිත කුඩා වැඩි වූ බැවිනි. මට නිරන්තරයෙන්ම යුනිකෝට වඩා විශාලව දැනුණේ සරත් මධු ය. විටෙක සරත් මධු යනු යුනිකෝටත් වඩා විශාල දැවැන්තයෙකු විය යුතුයැයි මට හැඟුණු අවස්ථා අප්‍රමාණය. බාගවිට සරත් මධුට සැබෑ යුනිකෝ හමු වී ඇතිවාට ද මට සැකයක් නොවීය.
මා සිත්තර පත්තරයේ යුනිකෝ සමඟ කොතරම් බද්ධ වූයේ දැයි කීවොත්, මා යුනිකෝගේ ප්‍රතිරූ කඩදාසි මත අඳින්නට දැරූ උත්සාහයෙන් ක්‍රමයෙන් සිත්තරකු බවට ද පරිවර්තනය වෙමින් සිටියේ අප විසූ නිවසට යනෙන බොහෝ අයවලුන් විශ්මයට පත් කරවමිනි. වඩාත් විශ්මයජනක දෙය වූයේ සරත් මධු අතින් නිමැවෙන යුනිකෝගේ මස්පිඬුවලට වඩා විශාල ප්‍රමාණයක මස්පිඬු පෙන්වන්නට මගේ සිතුවම්වලට හැකි වීමයි. ඊට හේතුව මගේ පියා සතු වූ දැවැන්ත සිරුර නිසාවෙන් වන්නට ද හැකිය. මගේ පියා ද සතු වූයේ අයෝමය පුරුෂයෙකුට නොදෙවෙනි වූ දැවැන්ත සිරුරකි. ඔහු තරුණ කාලයේ බර ඉසිලීම් වැනි කායවර්ධන ව්‍යායාමවල යෙදීමෙන් උපයා ගත් දැවැන්ත මස්පිඬු සහිත සිරුරක් සතු වූ බැව් මට සිහිවේ. කාලයත් සමඟ ක්‍රමයෙන් වැහැරුණු මගේ පියාගේ සිරුර එක්දාස් නවසිය අනූ දෙකේදී ජීවයෙන් තොර වූ කාබනික වස්තුවක් බවට පත් වූ අවස්ථාවේදී එය තැන්පත් කිරීමට සුවිශේෂී පෙට්ටියක් තනන්නට පවා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ට සිදු විය.
සිත්තර පත්තරය සමඟ ඇරඹුණු මාගේ කියවීමේ කලාව නිසාවෙන්, ඉන් පසු පාසල් යන්නට පටන් ගත්තා වූ 1979 දී පාසලේ බොහෝ දරුවන් අභිබවා කියැවීමේ හා ලිවීමේ හැකියාවන්ගෙන් ප්‍රවීණව ඉහළින් සිටින්නට මා හට හැකි වූ බැව් සිහිපත් කරමින්, සිත්තර පත්තරය සහ යුනිකෝ නිර්මාතෘ සරත් මධු මහතා ද කෘතඥතාපූර්වකව සිහිපත් කළ යුතුය.
සිත්තර පත්තරය හා සබැඳි මාගේ මේ අතීතය මෙලෙසින් සටහන් කරන්නට නිමිති වූයේ මුහුණු පොතේ රංජිත් ගමගේ සොයුරා පසුගිය වසරේ එක්තරා දිනෙක යුනිකෝගේ සිතුවමක් සිය තෙලිතුඩින් නිමවා ප්‍රසිද්ධ කිරීමත් සමඟමය. ඒ දවස්වල මා රැකියාවේ යෙදී සිටියේ කැමරූන් රටේ බැවින් ද ඔහු සිටියේ ඇමරිකාවේ බැවින් ද, ඉතා ස්වල්ප කාලයක් දුරකතනයෙන් කතා කළ මා හට දැනුණේ වසර ගණනාවකින් ඉපැරණි අතීතයට ගොස් ඒ අතීත මතකයන් අතර සැරිසැරූ බවකි. රංජිත් ගමගේ ද මා මෙන්ම සිත්තර පත්තරයෙන් අකුරු කළ තවත් සහෘදයෙකු යැයි මම සිතමි.
ඉහත කළු සුදු යුනිකෝගේ සිතුවම රංජිත් ගමගේ විසින් නිර්මිතය.
පහත සිත්තර පත්තරයේ මුල් පිටපතේ කවරය මා ලබා ගත්තේ ලේඛනාරක්ෂකයෙනි.



සටහන: මෙම ලිපිය මුලින්ම ලියා පළ කරන ලද්දේ 2012 වසරේදී ය.
පසු සටහන (2026): මෙම ලිපියට 2013 වසරේදී අදහස් දැක්වූ එක්තරා පාඨකයෙකු සිංහල චිත්‍රකතා ඉතිහාසය සම්බන්ධයෙන් විශේෂිත ප්‍රශ්න කිහිපයක් මතු කර තිබුණි. බන්ධුල සමරසිංහ, චින්තන ජයසේන, එවකට චිත්‍ර ශිල්පීන්ට බලපෑ විදේශීය චිත්‍රකතා සම්ප්‍රදායන් සහ සරත් මධුගේ මුල්කාලීන නිර්මාණ කටයුතු පිළිබඳව ඒ ප්‍රශ්න යොමු වී තිබිණි.



2012 වසරේදී මා මේ ලිපිය ලියුවේ චිත්‍රකතා ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයක් කිරීමට නොව, මගේ ළමා වියේ මතකයක් සටහන් කිරීමටය. එදා මෙන්ම අදත්, සිත්තර පත්තරයේ පනස් වසරක ඉතිහාසය දෙස ආපසු හැරී බලන මේ මොහොතේදීත්, එම ඓතිහාසික තොරතුරු පිළිබඳ පුළුල් විමර්ශනයක යෙදීම මගේ අරමුණ නොවේ.
එහෙත් එම පාඨකයා මතු කළ ප්‍රශ්නවලට අදාළ ඓතිහාසික තොරතුරු දැනගැනීමට මම කැමැත්තෙමි. එබැවින් එදා අදහස් දැක්වූ පුද්ගලයා තවමත් අප අතර සිටී නම් ඔහුටත්, එසේ නොවේ නම් ඔහුගේ ඥාතීන්ට හෝ එම තොරතුරු දන්නා වෙනත් අයෙකුටත්, ඒවා මෙහි සටහන් කරන මෙන් විවෘත ආරාධනයක් කරමි.
එවැනි දැනුමක් පුද්ගලයෙකු සතුව පමණක් රැඳී නොසිට, අනාගත පරපුරට ද පරිශීලනය කළ හැකි ඓතිහාසික වාර්තාවක් බවට පත්වන්නේ නම් එය වඩාත් අගනේය.

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු