භාෂාවක් නැති තැන දැනුමක් තිබිය හැකිද?
භාෂාවක් නැති තැන දැනුමක් තිබිය හැකිද?
Knowledge Without Language — A Conversation Beyond Words
අපි යමක් දන්නවා කියන්නේ මොකක්ද?
අපි දන්නා දේ වචනවලින් ප්‍රකාශ කරන්න බැරි නම්, ඒක තවදුරටත් දැනුමක්ද? එහෙමත් නැත්නම් දැනුමක් බවට පත්වෙන්න නම් එය භාෂාවක් තුළ සංවිධානය විය යුතුද?
මේ ප්රශ්නය මගේ Left-AI කෘතිය ලියන කාලයේ සිටම මගේ අවධානයට ලක්වුණු එකක්. විශේෂයෙන්ම Artificial Intelligence, Word Embeddings සහ Large Language Models පිළිබඳව සිතන විට.
ඊයේ Saman Aravinda Senadheera සමඟ කළ දීර්ඝ සාකච්ඡාවකින් පසුව මේ ප්රශ්නය නැවතත් අලුත් ආකාරයකින් මතු වුණා.
අරවින්ද මගේ බැචෙක්. වෘතීයෙන් යාන්ත්‍රික ඉංජිනේරුවෙක්. පුළුල් පරාසයක සිතන්නෙක්. අද්වීතීය කියවන්නෙක්.
අරවින්ද ඇමරිකාවේ වසර 19ක් ජීවත් වෙමින් සහ වෘත්තීය කටයුතුවල නිරත වෙමින්, එරට ප්රමුඛ ඖෂධ සමාගමක සේවය කළ, AI applications පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ඇති අයෙක්. මගේ Left-AI කෘතියටත් ඔහුගේ අදහස් දායක වුණා. විශේෂයෙන් Word2Vec වැනි තාක්ෂණයන් මඟින් වචන අතර සම්බන්ධතා සංඛ්‍යාත්මක අවකාශයක නිරූපණය කළ හැකි ආකාරය පිළිබඳව.
නමුත් මෙතැන ඉතා රසවත් පරස්පරයක් තිබෙනවා යැයි මට සිතෙනවා.
AI model එකක් වචන අතර සම්බන්ධතා ගණිතමය අවකාශයක ඉගෙනගන්නවා. එහෙත් එයින් model එකට අර්ථය පිළිබඳ අත්දැකීමක් තිබෙන බව නිගමනය කරන්න පුළුවන්ද?
අනෙක් අතට, මිනිසෙකුට වචනවලට පෙර යමක් දැනෙන්න, හඳුනාගන්න, අත්විඳින්න පුළුවන්ද?
මෙතැනට බෞද්ධ දර්ශනය ගෙන ආ විට ප්රශ්නය තවත් සංකීර්ණ වෙනවා.
බෞද්ධ ඥානවිභාගය තුළ සඤ්ඤා (saññā), විඤ්ඤාණ (viññāṇa), ප්‍රඥා (paññā) වැනි සංකල්ප අපට හමුවෙනවා. ඒවා එකම ආකාරයේ දැනුමක් විස්තර කරන වචන නොවෙයි. අරවින්ද මේවා ගැන සන්තතිකව සිතන්නෙක්. ඔහුගේම අදහස්වලින් දේවල් ප්‍රකාශ කිරීමේ නිර්මාණශීලිත්වයෙන් පෙලෙන්නෙක්.
විශේෂයෙන්ම සෘජු අත්දැකීම, සංකල්පීය හඳුනාගැනීම සහ භාෂාමය ප්රකාශනය අතර සම්බන්ධය මෙහිදී නැවත විමසන්න පුළුවන්.
භාෂාවෙන් ප්‍රකාශ කළ නොහැකි අත්දැකීමක්, භාෂාවෙන් නිර්මාණය කළ දැනුමකට වඩා මූලික විය හැකිද?
එසේ නම් භාෂාවෙන් ක්‍රියාත්මක වන AI එකක් සහ භාෂාවෙන් ඔබ්බට අත්දැකීම් ලබන ජීවියෙකු අතර මූලික වෙනස කොතැනද?
මෙතැනදී Lacan අපට තවත් අපහසු ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මිනිස් අවිඥානය භාෂාවක් මෙන් ව්‍යුහගත වී තිබෙනවා නම්, භාෂාවට පෙර තිබෙන අත්දැකීම සහ භාෂාවට ඇතුළු වූ පසු ගොඩනැගෙන මිනිස් විෂයය (subject) අතර සම්බන්ධය අපි තේරුම්ගන්නේ කොහොමද?
බෞද්ධ දර්ශනයේ අනාත්ම සංකල්පයත්, Lacanගේ divided subject සංකල්පයත් එකම දෙයක් නොවෙයි. නමුත් ඒවා අතර ඇති වෙනස්කම් හරහාම අපට වැදගත් ප්‍රශ්න මතු කරගන්න පුළුවන්.
මේ සියල්ලටම පිළිතුරු සොයාගෙන අපි සාකච්ඡාවකට යනවා නොවෙයි.
සමහරවිට අපි දැනුම යනුවෙන් හඳුන්වන දෙයම නැවත නිර්වචනය කිරීමට සිදුවේවි.
මගේ YouTube නාලිකාවේ හත්වැනි කථාංගය Wolfgang Pauli සහ Carl Jung අතර හුවමාරු වූ ලිපි සහ Pauliගේ සිහින පිළිබඳවයි. එයින් පසුව අරවින්ද සමඟ “Knowledge Without Language” යන තේමාව යටතේ podcast සාකච්ඡාවක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
එය බුදුදහම AI මඟින් සනාථ කිරීමේ උත්සාහයක්වත්, AI මඟින් බුදුදහම පැහැදිලි කිරීමේ උත්සාහයක්වත් නොවෙයි.
අපි බලාපොරොත්තු වන්නේ දර්ශනය, ගණිතය, AI සහ මිනිස් අත්දැකීම අතර තිබෙන සීමාවන් ප්‍රශ්න කරන විවෘත සංවාදයක්.
අවසානයේ ඉතිරි වන ප්රශ්නය මෙයයි:
අපි යමක් දන්නේ ඒ ගැන කතා කළ හැකි නිසාද? නැත්නම් අපි දන්නා දෙයින් කොටසක් පමණක් භාෂාව තුළට ගෙන එනවාද?
