චන්ද‍්‍ර කුමාර වික‍්‍රමරත්න කවියා
චන්දරෙ
මම ශීතකරණය ඇරියා
චන්දරෙ
මම හමස් පෙට්ටිය ඇද්දා
මම කවි පොතක් ගහන්න යනවා
මට උඹව මතක් වුනා
උඹ මළවුන්ගේ ලෝකෙ ද?
එහෙනම් උඹ පණ පිටින්
චන්දරෙ
දැන් මෙක මිනී කාමරයක්
අධි ශීතකරණයකටත් වැඩිය ශීතලයි
උණුහුම පොදක් නෑ
හාල්පාරු වෙලා සේරම
මිනිස්සු මිනිස්සු එක්ක කතා කරන්නේ නෑ
මූණ බලන් නෑ
බස් වල ගල් ගිලල වගේ
මූණට මූණ බලන් නෑ
නැග්ග ගමන් නිදා ගන්නව
උඹ එදා පිලි නොගත්තට
අද උඹ ආවොත් නං
සාංදෘෂ්ටිකවාදේ පිලිගන්නව සිකුරුයි
චන්දරෙ
මම කවි පොතක් ගහනවා
කවි කියන්නේ
මොනව ද චන්දරෙ
මතක ද
අපි ඒ දවස් වල හම්බණාම
කුරුටු ගාපුවා කියෙව්වා එකිනෙකාට
සමහරු උඹව යුගයේ කවියා කළා
උඹ එහෙම හිතුවෙ නැති වග
දන්නවා මං හොඳටම
චන්දරෙ
අපි ට තරගයක් තිබුන් නෑ
උඹ ලියපුව ද හරි
මං ලියපුව ද හරි
එහෙම බෑ චන්දරෙ
කවියෝ වෙන්න
කවියෝ වෙන්න නං
හිතන්න ඔනෑ
මං තමයි ඊළග සේකර
කී දෙනෙක් උන්න ද චන්දරෙ එහෙම
ආගිය අතක් ආතක් පාතක් නෑ
චන්දරෙ
උඹ තාමත් සින්දු කියනවා ද බස් වල?
ජෝතිපාලගෙ සිංදු කවදාවත් කිව්වෙ නැති
චන්දරෙ
ඔබ ගැනම මා ලියනා ඒ කවිය
ඔබ හටම අද දිනේ නොවැටහෙන බව දනිමි
ඒත්
ලෝකය මීට වඩා සුන්දර වන
අනාගතේ යම් දවසක
ඔබ එය ආදරයෙන් කියවන බව දනිමියි සැක හැර
නුඹම හැදු
කවුරුවත කවදාවත් නාහපු
සිංදු කීව චන්දරෙ
දන්නවාද
පශ්චාත් නූතන තත්වය මෝරලා
සහස් වස එනවා
දැන් කතාව ගෝලීයකරණය ගැන
උඹ දන්නවා ද අන්තර්ජාලය?
චන්දරෙ
මතක ද
අපි ඉල්ලුවෙ රුපියලයි නැත්නම් දෙකයි
ඒත් දැන් හුගාක් වෙනස් චන්දරෙ
එක ප්ලේන්ටිය ගහලා
බි‍්‍රස්ටල් එක බීලා
මතක ද?
මේ කාලේ චන්දරෙලා ගැන මං මුකුත් දන්නෙ
නෑ චන්දරෙ
උනුත් මං ගැන මුකුත් දන්නෙ නැතුව ඇති
චන්දරෙ උඹ කොහෙද ?
මළවුන්ගෙ ලෝකෙ ද?
උඹ ට ලීනක්කවත් හම්බුනා ද?
තිසාහාමිත් මැරුණා
මට කවියක් ලියන්න හිතුනා
ඒත්ඒ කවිය
රෙන්න බරක් නැති වෙන්නැ හේ නැති වුණා
විකුණන හැටි දැක්කම
රාජිනිත් මැරුණා
ඒත් එහෙම්මයි
චන්දරෙ
උඹ මැරුණයි කියලා
දැන ගත්තෙ නැති එක හොඳා
මෙහෙම නෙමේ හෝල් සේල් විකුණාවි
ඒත් චන්දරෙ
මිනිහෙක් උන්නයි කියල දන්නෙත් දැන් අපි
මැරුණාම
මිනිය ලෝකෙටම වික්කාම
ඉතිංමරණය ගැන දැන ගන්න එක
වැදගත් නේද?
අපි ඒ තරමට ම කුණුවෙලා චන්දරෙ
ඒත් මෙ මළ බද්ධෙයි
අ ඩස්සියයි
ඊට වඩා හොඳයි
චන්දරෙ
චන්දරෙ
ඉන්නවා නම් කොහේ හරි
ලියුමක්....
ඒත් චන්දරෙ
උඹට වගේම
අයිඩෙන්ටිය මිසක
ඇඩ‍්‍රස් නෑ තාම මටත්
කියාපන් උඹ කොහෙද
මහ කැලේ හේනක් කොටාන
ගෑණියෙක් එක්ක
ඉන්නවා ද චන්දරෙ?
පුංචි කාලේ ඉඳන්
උඹ ඉල්ලූ ආදරය
ලැබුණා ද උඹට?
තුන් වෙල වරදින් නැද්ද උඹට දැන්වත්?
චන්දරෙ
යුගයේ කවියා කියා කුරුසයක
ඇණ ගසා තියෙද්දිත්
ආදරය පොදක් ඉල්ලුව
නුඹෙ අවිහිංසක ඇස්
ගොම්මන් මන්දාරම මැදින් දිදුලනවා මට
පේනවා
චන්දරෙ
මට සමාවෙයන්
මම කවි පොතක් ගහනවා
මොකටද කියලා මං දන්නේ නෑ
හුග කාලෙකට කලින් ලියන එක අතෑරපු
ඔහේ ලියවෙච්ච කවි
හෙට
මිල කරලා තියේවි රාක්කවල
විකුණන්න
මතක ද උඹ පොත් සීයක් විකුණලා දෙන්න බාර ගත්ත
කවදාවත් ගැහුවෙ නැති මගේ කවි පොත?
ඒත් චන්දරෙ
මෙ ඒ කවි පොත නං නෙමෙයි
කේ කේ සමන් කුමාර
මෙ කවිය සර්පයාගෙ කවි පොතේ එනම් නගා මැරූ අල නිර්මාණ සංග‍්‍රහයේ පෙරවදනින් පසුව හමුවන පූර්විකාමය කවියයි. චන්ද‍්‍රකුමාර වික‍්‍රමරත්න 80 දශකයේ ජනතාවාදී කවියෙකි යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතික ක‍්‍රියාකාරීන් විසින් යුගයේ කවියා සහ අපේ මැක්සිම් ගෝර්කි වශයෙන් ඔහු නම් පටබැඳි වගත් සිය කෘතියේ අටුවාව කොටසේ විස්තර සටහන් කර ඇත.
චූලානන්ද සමරනායකයන් විසින් පරිවර්තනය කරන ලද අයි ලැව්රෙට්සිකි ගේ චෙ චරිතාපදානය කෘතියේ පෙරවදනේ නැවත චන්ද‍්‍රකුමාර වික‍්‍රමරත්න කවියා හමුවන්නේ මෙ කවියත් සමගය.
ගුවන් තලාවෙ ගීතය
පිනි කඳුලු පොද වැටෙන
තද සීත ගනඳුරෙ
අලුයමෙ මල් පිපෙන
තුන් පරෙවි තටු බිඳී
රුධිර දහරා සැලින
නිදි බරිත මිහිමඩල
කම්පිතව සසලවිනි
ශතවර්ෂ ගණනක් මුලුල්ලේ
කෝටි ගණනක් හදවත් ගැඹුරෙ
වෙදනා බිජුවටින්
උපන්නේ වී ඔවුන්
කැපවීමෙන් පරිත්‍යාගයෙන්
උතුම් මව්බිමෙ නිදහස පතා
ගෙවෙන හැම දවසක්ම දුක්බරය
දවසකට ඉවසන්න බැරි තරම් සීතලය
දවසකට මහා ගිනි උණුසුම්ය
පඳුරු දමමින් වැඩෙන අසත්‍යය
දේශයම රෝගී දුක් බවින් පුරවාය
හැමදාම මේ දුක ඉවසන්න බැරිවාය
නිසල වා ගැබ දෙබෑ කරගෙන
උණ්ඩ ඉගිලුන අලුයමෙ
සත්‍යයේ රතු පරෙවි පැටවුන්
මිහිතලය මත වැතිරුණි
මියදුනේ උන් දරුවනේ
මව් බිමේ නිදහස වෙනුවෙනි
ඒ ලෙයින් සුපිපෙනා හිරු හෙට
නුඹලාගේමය සැබැවිනි
කඳුලු හුරු නැති රුදු කුලී හිත්
නිකුත් කළ ඒ කුරිරු අණටා
පොකුරු වෙඩි තැබූ ගුවන් මිතුරනි
අපේ සිත්වල නැතේ විරසා
ඉකුත් රැය ගණ අඳුරු නම් හෙට
අරුණ රන්වන් රැසින් දිලෙනා
පරෙවියන් අද වැතිරුනත් බිම
දහස් ගණනින් නැවත ඉපදී
රණ බිමෙ පෙරමුණට එන්නා
චන්ද‍්‍ර කුමාර වික‍්‍රමරත්න
1987 වසරෙ දී ආත්මාරක්ෂාව සඳහා වුව ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල නොකොට කටුනායක කඳවුරෙදී දිවි පිදූ වීරවරයින් තිදෙනා වෙනුවෙනි