නූඩ්ල්ස් සුවඳ


නූඩ්ල්ස් සුවඳ

යුද්දෙත් ඉවර නිසා
මම ඇයට වඩාත් සුකුමාල විය යුතුයැයි සිතා
ෂෝර්ට් ලීව් දමා සැන්දෑවම මල් යායක් වූ එදා
සෙනග අඩු කොට්ටාව බසයේ තැන තැන හුන්
පුංචි කෙල්ලන්ගේ ලපටි තන පුඩු වල මතුපිට
සිතින් ස්පර්ෂ කරමින්
හැල්මේ විත් කඩුල්ල පැන කුස්සිය පැත්තෙන් ගෙට රිංගා
මිරිස් ගල සෝදමින් හුන් රා‍ණිගේ නිතඹ සන් කලේය මට
ඈ තදින් වැළඳ ගත්තේ අවසිහියෙන් යැයි
මටවත් නොසිතුනි

මොකද මේ විකාර යැයි කියා
ඇය පැන ගොස් ලිප අසලට

දුටිමි ඇගේ රත් වු දෙකොපුල
පිලිස්සෙන පොල්ලතු කැබලි එලියෙන්
මුහුනට වැටී තිබුනු කෙහෙවල්ලෙන්
ඈ අප්සරාවක් මෙන් කලකට පසු පෙනුනි

ඈගේ මුහුණේ තිබුනේ බඩගින්නය

සූදානමක් නැති හෙයින් ඇය
සිටියේ මෙලොව නොව
වෙනදා කෙ‍හොඹ සබන් ගා ඈ සිටියාය
ඒ බොහෝ කලකට පෙරය

ඈගේ මුහුණේ තිබුනේ බඩගින්නය
එමත වැටී තිබු‍නේ ලිපේ ඇවිලුනු ගින්න ය
ඇගේ හදමත ඇවිලෙමින් හුන් ගින්නය
මා සිටියේ ඇවිලෙමිනි; ඒ රා ගින්නය

මම ඈ තදින් සිප ගතිමි
ඈ කිසිවක් සිතා ගත නොහී
දුම් ගැහුණු කුස්සි වහල දෙස
කඳුලු පිරි දෙනෙතින් බලා හුන්නීය

රාණි රටේ යුද්දෙත් ඉවරයි
මම ඇගෙ කණට කෙඳිරීමි

ඇගේ ලය මඩල නූඩ්ල්ස් සුවඳය
රාත්‍රී අහරට ඇය නූඩ්ල්ස් පිලියෙල කරමින් හිඳ ඇත
මම ඇගේ ඇඳුමට යටින් පපු පෙදෙසේ මුව සැඟවීමි
පරණ කඩමලු බ්‍රෙසියරය අස්සෙන්
හමා ආවේ නූඩ්ල්ස් සුවඳය

අපි කන්නේ ක්ෂණික නූඩ්ල්ස්ය කලක සිට
වෑංජන හදන්නට බැරිය -අමාරැය
බත් උයා කන්නට මාළු පිණි නැති
ආර්ථික අවදානමකි කුසට දැනෙන්නට කෑම


මටම සිහි විය ක්ෂණික නූඩ්ල්ස්

නිකංම නිකං පිටි වුවද චිකන් සුප් පැකැට්ටුව හලාගත් විට
ගිල දැමිය හැකිය...
පෝෂ්‍ය පදාර්ථයට පෙර
ජීවත් වෙන්නට බඩට දෙයක් සොයා ගත යුතුය

මම ඇගේ පියයුරැ මඩලේ සැඟව ගිය
ඒ නූඩ්ල්ස් සුවඳට පෙම් බඳිමි...
මා සිරුර නිදි ගන්වන
අළුකෙසෙල් රසායනය ඒ නූඩ්ල්ස් සුවඳය...
අ‍පගේ උපත් පාලන උපක්‍රමය
ඒ නූඩ්ල්ස් සුවඳය!

නූඩ්ල්ස් සුවඳ
නූඩ්ල්ස් සුවඳ
රාණි රටේ යුද්දෙත් ඉවරයි
මම ඇගෙ කණට කෙඳිරීමි...


ඊ ඒ ඩෝසන් ප්‍රීති
300909

Comments

Unknown said…
aaa niyamai;
Ada lankawe godak denata wela thiyenne okma thamai.Samahara ayata Noodles Wath ne
noodles suwanda pitin daaala eka kaawa neda :D

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්