හිරුත් සඳුත් බිම් ගෙයින් හිම පියල්ලකට!

‎හිරුත් සඳුත් බිම් ගෙයින් හිම පියල්ලකට!

මුහුණුපොතේ කල්පනා සහ ප්‍රසාද් යුවල කවි පොත් යුගලක් ගැන පණිවිඩ තබා තිබුණා අද පාන්දර. මම ඒ පණිවිඩය ඒ ආකාරයෙන්ම මෙහි ලියා තබමින් ඒ කවි යුගල පොත් කිවිවරුන්ගේ කවි පද කීපයක් මෙහි අතුරා තබමි.


"හිරුත් හිම පියල්ලක"-මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, " බිම් ගෙයට සඳ
ඇවිත්"-නඳුන් යසිත ගේ කාව්‍ය සංග්‍රහයන් එළි දැක්වීම ඔක් 17 සවස 2.30 ට
මහවැලි කේන්ද්‍රයේ දී


දෙසුම්-සමන්ත හේරත්, ලාල් හෑගොඩ, තිඹිරියාගම බණ්ඩාර



සිත්තම්කාරී


දබරැඟිලි තුඩු පන්හිඳෙන්
විට කා ඉතිරි වන හුණු සායමෙන්
කාලාන්තරයක් තිස්සේ
කිරි අම්මා ඇඳි රටා මෝස්තර
උළුවස්සයි කුස්සියේ බිත්තියයි
සිත්තම් පොතක් කරගෙන

පුංචි පුංචි තිත් රටා
සිහිකළේම තරු විසුල සුවිසල් ආකාසය
පුංචි පුංචි ග්‍රහලෝක හා
මුළු මහත් චක්‍රාවාටයම

ඒ රටා තබා හිත යට
නව රටා වියූ ලෝකෙක
මා වටා දිළිණි නෙක තරු
ඒ අතරින් මතුවුණේම
කුඩා වියේ පටන් දැකපු
උළුවස්සේ මහ රටාව

එක් යුගයක අග්ගිස්සක
සීතල මන්දාරමකට යටින්
මල් ශාලාවකින් ගෙනා
දෝලාවක තේජසිකින්
ගොක් කොළ රන් වියන් යටින්
සුදු වැලි පාවාඩ මතින්
සය දෙනෙක්ගෙ කරට උඩින්
බෑරක් ගියාය කිරිඅම්මා

විට කා ඉතිරි වුණු හුණු බිඳකින්‍
විශ්වය ගැන
සුවිසල්ම පාඩම කියා දී

හිරුත් හිම පියල්ලක [2010]
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල



මොරටුව

ලී පොලිෂ් ඇඳ පුටු ද පිටපළු
ඉටි කොළ පටු ගෙවල් මුහුදුබඩ
දැති මැ‍ෂින් කුඩු හැලුණ දත් දෙපස
අඩක් හිමි හිටි පිළිම ගස් කඳ

දර කෑලි මිටි බඳින කෙසඟ අත්
පිති කපන කළු කෙට්ටු කොලු ගැටවු
ලොරි කඳෙන් ගස් අදින යකඩ අත්
යතු ගාන උපැස් යුතු මහලු නෙත්

ලිය වැල් ද පලා පෙති නෙළුම් මල්
ලී කඳේ අඟ පසඟ සිපගත්
බීරළු ද මල් ලෑලි ලීස්තර
ජනෙල් නැති ගෙවල් තුළ ඉඩ ගත්

දෙව් රූ ද බලි මුහුණු බෙර කපන
අහඹු කඩ දූවිලි පුස් ගඳ
බෝට්ටු ද ට්‍රෝලර් වැඩපොළ
මුහුදුබඩ වැහි ලිහිණි තිප්පොළ

ලී ඉරන- දරු හඞන- රිය දුවන
කෑගසන වෙන්දේසි මේස පුටු
ක්‍රිකට් පිටි මහ පාර මළ තොරන්
වේළුණු කළු මුහුණු බඩගිනි...

පොළොව මත අන් තැනක සෙවණ සැදු
මුල් බිමේ වැලඳගෙන සෙනෙහෙ දුන්
ආදරය මිය ඇදී වළ දමා
අන් වෙසින් මෙහි ඇවිත් උපදින
තැනින් තැන විකිණෙන වෙසඟන

බිම් ගෙයට සඳ ඇවිත් [2010]
නඳුන් යසිත දසනායක


ප.ලි.

මස්ඉඹුලගේ සිඟිති ඡායාරූපයක් මම සොයා ගත්තේ මුහුණු පොතේ ඔහුගේ පිටුවෙන්. ඒත් නඳුන් යසිත කොළු පැංචා ගේ ඡායාරූපයක් නම් සොයා ගන්න බැරිවුනා මේ අල්ලපනල්ලේ...ඒකට සමාවෙයන් මල්ලියේ.


ප. ප. ලි.

රාවයෙන් ගලවා ගත් මේ රූප රාමුවට තුති වේවා!
17/10/2010 රාවය කලාපයේ පළ වූ ඉසුරු ප්‍රසංගගේ පිළිසඳර කියවන්නටත් මේ ඇරයුම්.

රාවය පිළිසඳර Part 1

රාවය පිළිසඳර Part 2

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්