පැවැත්මෙ ස්වයං බුද්ධිය





















පැවැත්මෙ ස්වයං බුද්ධිය

කාටත් අමතකව ගිය ඒ
පරාජයන්, අත්වැරදීම් සහ පාවාදීම්
නැවත මතක් කරන්නා
සපැමිණ ඇත
උතුරු තරු කේතුවෙන්

ඔහු දඩමස් බුදින තාරුකා පංතියක් පෙන්වා
දස දහසක් ඇත් ගොව්වන්
පාගා ලූ වියරු හස්තීන් ගේ ඇට කටු
දිරා ගිය පොසිල මෙන්
ශිෂ්ඨාචාරයේ පහල ස්ථරවල
ටැග් ගැහී ඇති අයුර පෙන්වයි

ඔහු උදාහරණ පාමින්
පාඩම ඉදිරියට ඇදන් යයි
කදු මස්තකයේ වැඩ සිටි
සිරිපතුල මෙන්ම බුදුන්ගේ;
අමතක නොවී ඉතිරි වූ
නබිතුමන්ගේ පාද ලාංඡනය ද

මතක් කරදෙයි;
ශිව ලිංගයෙන් උපත ලද
සියල්ලේ සාරය ගැන
වැලි දූලි අංශුවක
න්‍යශ්ටියේ ඇති සිතිවිල්ල
පැවැත්මෙ ස්වයං බුද්ධිය
ඔහු ප‍්‍රකාෂ කර සිටියි

නෑසුකන්ව අපි උසස් පෙළ හදාරා
කළුකුහර විද්‍යාලයට රිංගා යමු...
විශ්වය ගිලී ගිය කළු කුහර විද්‍යාලයේ අපි
සත්‍යයට සාප කරන විද්‍යාව උගනිමු

ගුරැ ඇදුරැ මඩුළු අරා වැඩ සිටින
සාපයේ ලෝගුධාරීනගේ දෑතින් උප අධි පලදනා
රැගෙන ගෙලවට සිරකරගනිමු
හිස මත කටු ඔටුනු පළඳගමු
සත්‍යය යැයි ලාංඡනයක් සාදා එයට මුවා වී
සියළු ලාංඡන මකා දමමු
ඒ මැකීමේ යාන්ත්‍රණය හදාරමු
සැසඳීමෙන් වෙන් ව
වෙනස සොයමින් අනන්‍යකරණය කරමු
එකඟ වන්නන් සොයා පේලි ගැසෙමු

එනමුදු ඔහු
එකම ලාංඡන දෙපස සේනා රැස් කරවයි
අපට අමතක වූ ඉතිහාසය මතක් කර දෙයි
මිනිසුන් දස දහසින් මළ කදන් බවට පත් කර
අපට අමතක වූ ඉතිහාසයේ පාඩම නැවත ලියා දෙයි

පැපිරස් පුස්තක -තල් කොල මතුපිට -සෙල් ලිපි -ටැම් ලිපි
ඉතිහාසයේ පාඩම නැවත ලියා තබයි

විභාගවලට පෙනී ඉන්නට
සමත් ලකුණක් හඹා යන
අපි සියල්ලෝ ඒ පාඩම එතැකින් නවතමු

පැපිරස්- තල්කොල -සෙල් ලිපි උපාධි නිබන්ධ තුල
යලි කවරදාකවත් එලි‍යට නො‍එන ලෙස සිරකර
සංරක්ෂකයේ දඩු කදේ ගසා ලමු
සේසත් නංවා ධජ පත් ලෙලවා
සිව්දෙස පසඟතුරැ හඩ ගොස පතුරා
සිහසුන් මලසුන් අරා වොරැ‍ඳෙනා

වන්දිභට්ටයන් කිතු ගොස ගයනා

අවි ආයුධ පුහුණුව ඉතිහාසය ඉගෙනීම තරම්
නීරස නොවේ
යැයි
නිශ්ශංකමල්ල පරපුරෙ රජදරුවෙක්

සෙල් ලිපියක නොව
හැන්සාඩයේ ලියා ඇත...

ඩෝසන් ප්‍රීති
072009

Comments

AJ said…
උඹ දාලා තියෙන පිංතූරේ එකක්.
ලියලා තියෙන හරුපේ තව එකක්...

මම මේක දැන් 3පාරක් විතර කියෙව්වා...

මගේ කියවීම වැරදි වෙන්න පුලුවන්.. ඒත් මම ඒ කියවන හැටිනේ...

කළ කම් පළ දේ ගැන ලියවිලාද මන්දා... යුද්දේ ගැන කථාවක් ඉස්සරහට දාලා...
LishWish said…
"අවි ආයුධ පුහුණුව ඉතිහාසය ඉගෙනීම තරම්
නීරස නොවේ
යැයි
නිශ්ශංකමල්ල පරපුරෙ රජදරුවෙක්
සෙල් ලිපියක නොව
හැන්සාඩයේ ලියා ඇත... "

පාපතර පරපුරක පුනර් උප්පත්තියක ආරම්භයද?

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු