ඇවිලෙන මතක-මහේෂ් මුණසිංහ

ඇවිලෙන මතක


උඹ ඉන්න බවවත්
දන්නෙ නැතිවිට
මේ ඉන්න කළුවර
ගොළු වැඩියි මට
ඉස්සර වගේ
ඇවිදින් ළඟට
වෙච්ච වින්නැහි
කියවපං
එකින් එක

සිංහල කකුල් වලින්
බේරෙන
වන්නියෙන් පෙඟුණ
ලේ දැක දැක
හිස උස්සා - නුඹෙ
මූණ බලන්නට
බැරිමුත්
අහං ඉන්නම් මම
දෑස් විද
කකියන හිස් අහසට

මහ බෝම්බය පිපිරී
මහ කොළඹ කැළඹී
මස් වැදලි අරං
කාක්කන් ඉගිල්ලූන
හාංකවිසියක් වත්
නොදැන සිටිමුත්
උඹෙ පරපුරේ
උන් කළ වැරැද්දට
මූණ හැංගුනි
දවල් රෑ එක දිගට
හොරැහින් බැලූව
හැමවර
එහි ලියැවුනු
එකම වැකියකි
‘සමාව දීපං මට’

චෙක් පොයින්ට්
කඩුල්ලේ පැටලී
උඹ හිරවුනේ
ආණ්ඩුවෙ
හැඳුනුම්පතේ ඇති
දෙමල අකුරට
කුණු වචන වලින්
පහුරු ගා
නිල ඇඳුම් ලෑ පිරිවර
හිස් අතින්
ඇවිත් ඇත්තෙමි
කීපවර
උඹව අත්හැර
රෑකින් දෙකකින්
එලියට වීසිවුන
උඹෙ හෙම්බත් මූණ
මම කොහොම
කෙළින් බැලූවද

උඹෙ සනුහරේ
වැරැද්දට
උඹ හිස නූස්සන
මගෙ සනුහරේ
වැරැද්දට
මම හිස නූස්සන
කාලය නිමාවී
එක සීරුවට
මූණට මූණ බලාගෙන
ඇස් වලින් හිනාවෙන
අළුත් දවසක්
ඒවිදැයි
දන්නෙ කොහොමද
උඹ ඉන්න බවවත්
දන්නෙ නැතිවිට


මහේෂ් මුණසිංහ
2009 03

Comments

AJ said…
meka mawa karakawala atariya wageee....

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු