ගුත්තිල අතුරු කාව්‍යය-මංජුල වෙඩිවර්ධන

ගුත්තිල අතුරු කාව්‍යය

තැලෙන්තුව ලැබුම වළකන්නට හැකිද
තලෙන්තුව ලැබුණෙ වළලන්නද ළමැද
වරෙන්තුව කුමට, බිඳ දැම්මෙන් සබත
පොරොන්දුව නුඹට, සමුගන්නෙම් සබඳ

අතකුරු මගෙ වුණත් නුඹෙමය ඔය සුරත
පණකුරු දොළස අරගමි ගතකුරු නුඹට
මුලකුරු අහිමි කවියකි සෙනසුරු නමට
විසකුරුකමද පිළිතුර සොහොයුරු පෙමට

පුටුව ලැබිණි නම් දන්දෙන්නට තිබුණී
අටුවෙ වුණත් තිබුණේ කොස් ඇට පමණී
කොටුව තනා තනි රකිනා සකි සඳුනී
පිටුව පිටුව අහිමිව යන පොතක් වැනී

තරග කුමට සොහොයුර පැරදුම මාගේ
මතක කවි රැගෙන, යන්නෙමි බරබාගේ
අකුරු පෙළහරට මතු හිරිහැර කාගේ
ඔබට සිටිය හැකි කව් සිළුමිණ වාගේ

වාසල පුරෝහිත අසලම තටු සළන
ඈතට ඉගිල යන්නට රූපක සොයන
සීතල දෙ අත පිරිමදිමින් කවි ලියන
සෝයුර මෙ පුර නුඹට ය, නුඹට ම පමණ.


මංජුල වෙඩිවර්ධන
20 සැප්තැම්බර්, 2011

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු