කඩදාසි හීනයක් ...


අපැහැදිලියැ මට නුඹ
කවුරු වුනත්.
මට නොසිතෙයි ඒ මා යැයි,
අනෙකෙකි, බොහෝ වෙනස්!

අඳුරට වැසී ගිය
නුඹ රුව නොපෙනේ හරියට.
දාර මැකී ගිය මීදුමකි පොලොව මත.
අවුරයි හැඳුනුම; අඥාත වෙයි විශ්වයම.


කඳුලක හැඩයක් දිස්නයක්
ඈතට දිසෙයි, වෑස්සෙයි එලිය ඉරබටු තරුවක.
කඳුළු කැට වුව- කාච වෙස්ගනී ඇස මත,
ඉසියුම්ව බෙදයි පැහැ ඉරි- මතුකර ඝණ අඳුරු සෙවණැලි.
වෙලෙයි ආලෝකය-ඉරා අඳුරේ අන්ධ තිරපට
මතුවෙයි- ගිලෙයි, නැවත මතුවෙයි
අඳුරු දෑසත් -රුදුරු අරුතත්.

පුළුස්සයි පොත් පත් ලියුම් කඩදහි
දවාලයි අතීත සටහන්
ඇවිද ගිය මං පෙත්
තැබුනු පියවර
ඉතිරි නොකරම කිසිදු අකුරක්...

දැවී යයි බැරලයක් තුළ
ගිනි දළුද නැග එයි කරකැවී දුම්රොටු
පිළිස්සුණු කඩදාසි සැහැල්ලු වී
අඟුරු වර්ණයෙන් පියඹයි
ඡායාවේ හිසට ඉහලින්
පියාපත් ලද සිතුවිලි වෙසින්....

මුමුණයි රහසින්
එද මා සවන් කළතයි
නොඇසූ රාවයකි
ඇසුමද අග්නි ජාලාවකි
තබයි කන් පෙති මත ලැව් ගිනි

"පිළිස්සිය යුතුයැ හැම කඩදාසි හීනයක්
තටු ලබන්නට මතුයම් දිනෙක ඒ සිතුමන් "


07/2010

Comments

මෝඩයා said…
මංමුළාවූ සිහින....:(
ජගත් ජේ එදිරිසිංහ said…
සියල්ල යහපත් ලෙස සිදුවනතාක් කල් අපි අපේ ලෝක තුළ මහත් අභිමානයෙන් ජීවත් වන්නෙමු. සිහින මවන්නෙමු. තඩදාසි මත සිහින අඳින්නෙමු. ජීවිතය අපූරු ය. සුවදායක ය. ලස්සන ය. අහා.. ඒ සිහින කොයි තරම් සුන්දර ද..?
නොසිතූ මොහොතක අහසින් පෙළොවට කිසිවකු විසින් අප ඇද දමනු ලැබූ පසු අපි ඇස් ඇර බලන්නෙමු. බිම වැතිර බිඳුණ අත පය ඇතිව ඇස් පමණක් ඇර බලා කඩදාසි සිහින කොතැන වැටුණි දැයි සොයන්නෙමු. මේ සිටින්නේ අප දැයි අපට ම සිතා ගන්නට නොහැකි ලෙස අපි දුර්වලව අකර්මණ්‍යව පරාජිතව වැතිර සිටින්නෙමු. නැවත නැගී සිටින්නට හැකියාවක් ලැබේදෝහෝයි නොදැන ම ඔහේ වැතිර සිටින සඳ අර කඩදාසි සිහින ඈත පාවී යනු අපට පෙනෙයි. ඒවා අල්ලා ගිණි තබන්නේ නැතිව නැවත නැගී සිටීමක් නොමැති බව අපට දැනෙයි.

"පිළිස්සිය යුතුයැ හැම කඩදාසි හීනයක්
තටු ලබන්නට මතුයම් දිනෙක ඒ සිතුමන් "
විශ්වය අප යයි සිතා සිටි අපි පළමු වතාවට කුඩා අංශුවක් බවට පත්ව සිටින්නෙමු. ඉදින්, හැකි නම් කඩදාසි සිහින අහුලාගෙන ගිණි තැබිය යුතු වෙමු. නැත්නම් ඒ සිහින කඩදාසි කන්දරාවටම යට වී ඔහේ වැතිර සිටිය යුතු වෙමු. මේ දෙකෙන් අපට කළ හැකි වන්නේ කුමක්ද යන්න මත සියල්ල තීරණය වන්නේ ය. නැවත විශ්වය විය නොහැකි නම් අඩුම වශයෙන් ග‍්‍රහලෝකයක් වත් වන්නට හැකිවේද.. නැත්නම් සදාකල් අංශුවක් ලෙසින්ම පවතින්නට සිදුවේ ද...
ආපසු හැරී බලා කොතැනකදී හෝ අපට අහිමි වූ අප සොයාගන්නට හැකි වේද?
මේ ඩොසා ගේ කවිය මගේ සිතේ මැවූ සිතුවිළි වචන බවට පෙරළීමකි. කොහොමත් ඩොසා ගේ කවි මගේ සිත කම්පනයට පත් කරවන සුලූ ඒවා ය. ඉදිරියේ දී වඩාත් ප‍්‍රවේසම් විය යුතු ය.

ජගත් ජේ එදිරිසිංහ

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්