පිත්තල හන්දිය- එරික් ඉලයප්ආරච්චි

කවි පොතක් අත පත්විය. ඒ එරික්ගේ "පිත්තල හන්දිය" කවි පොතයි. කවි පොත ආවේ හෂිත අබේවර්ධනගේ ඔෆිසිය ටය. එසැණින් ලද ඔත්තුවෙන් මා ඔහු හඹා ගොස්, එරිකුන්ට පිං දී, පොත මා සතු කර, කියවා හමාර කොට රස වින්දෙමි. හෘද සාක්ෂියකින් තොරව ජීවත් වීමේ කලාව ප්‍රගුණ කර ඇති හෙයින් කිසිදු අවුලකින් තොරව කවි කියවන්නටත් ඒවා තලුමරා රස විඳින්නටත් මා සමත් බැව් මුලින්ම නොකියා බැරිය. හාත්පස සිදුවන කිසිදු දෙයක් දණිසෙන් ඉහළට නොගෙන, කාලයේ බහුවිධ මාන ගැනත් ඒවා ක්වොන්ටම් ලෝකයට ඇද හැලෙන විට සිදු විය හැකි අනන්ත අපරිමිත භෞතික විද්‍යාවන් ජනනය වීම ගැනත් සිහි ඒකාග්‍රව තබා, විදසුන් වඩමින් සිටින්නට තැත් කරන මා හට, එක්තරා විදියක මානසික වදයක් ලෙස මේ කවි පොත අතපත් වීම සැළකීම, "නැතැ"යි කී හෘද සාක්ෂිය තවමත් ක්වොන්ටාවක් ලෙස හෝ ඇතැයි කීමේ සාක්ෂියක් ලෙස ද ගත හැකිය!
"පිත්තල" වී ඇති හෘදය සාක්ෂිය සෙමෙන් සෙමෙන් හන්දියකට පැමිණ ඇතැයි සන් කරමින් එරික් පෙළ ගස්වා ඇති කවි ගැන එකිනෙකින් විමසා විඳි රසයන් ලියා තබනවාට වඩා හෘද සාක්ෂිය බඹ හත අටක් පොළව යට වළලා ජීවත් වීමේ අරුමය ගැන සටහනක් ලියන්නට සිදු වීම ආහ්ලාදයකි. ජයග්‍රහණයකි. ආශ්චර්යයකි!

එරිකුන්ගේ කවි පොතෙන් උදුරා මෙහි පැල කරන මේ කව, මා වැනිම හෘද සාක්ෂියකින් තොරව ජීවත් වීමේ කලාවේ පරිණතයෝ අතින් විමසුමට ලක් වෙත්වා යි ප්‍රාර්ථනා කරමින් සටහන නිමා කරමි.

ආකාස කඩේ බෝම්බය

ලෝ යදමින් නිදහස් වී
අහස උසින් පිහාටුවක
සැප සිටුවර පුටුව තබා
තොළ  ගානා විට මධුවිත
කොටි වට කර මගෙ සිහිනය
වෙඩි තබනා සැටි දුටුවෙමි


දැරියක සේ නිරුවත් වී
නාගසාකි මහ පාරේ
මගෙ සිහිනය දිව යන කල
අරගත් පින්තූර රැසක්
බීබීසි නිව්ස් ලෙසින්
පත්තර පිටුවල පළ විය‍


යුද ගිනිදැල් නිවුණු පසුව
මගේ සිහින අවතාරය
යටි පතුලේ සිට ම වෙළා
මොඩර්න් ආර්ට් මූර්තියක්
විලස තනා කලාභවන
මැද සිටුවා මළකඩ කෑ
එන්නත් කටු ගසා තිබිණ


සුවපත් වුණු මගෙ සිහිනය
අහිමි දෙපා ගැන සිතමින්
රෝද පුටුව මත සැතපී
අහස අඳුරු නැති දිනවල
වලා අතර සුදට පෙනෙන
හෙද සඳ දෙස බලා සිටියි


එරික් ඉලයප්ආරච්චි
පිත්තල හන්දිය (2012) කවි පොතෙන්


Comments

මානවක said…
හ්ම්ම්ම්....හිත ඇදිල යන කවියක්.භාවිත ශ්ය්ලිය උපරිමයි.හොයාගෙන කියවන්න ඕන පොත.
Anonymous said…
හරිම අගෙයි!

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්