Showing posts with label දීප්ති කුමාර ගුණරත්න. Show all posts
Showing posts with label දීප්ති කුමාර ගුණරත්න. Show all posts

Friday, June 3, 2011

ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාව

ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාව
 
පසුගිය වසරේ දෙසැම්බර් තුන්වන දින මා මෙම බ්ලොගයේ, ඔවුනගේ අලුතින් එළි දැක්වූ "පෙරදිග සුළං" සඟරාවේ අන්තර්ගත වූ මා විසින් පරිවර්තනය කොට බූන්දියේ පළ වූ ලිපියක් අරභයා කොමෙන්ටු අවකාශයේ  වූ සඳහනක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් ලෙස කළ කුඩා ලිපියටඉඩක් ලබා දී ඇත.

ඒ ගැන ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාවට මගේ කෘතඥතාව මෙසේ පළ කරමි.

Friday, December 3, 2010

බත් වෙනුවට බූන්දි කමු ද? දීප්ති කුමාර ගුණරත්නට නිවැරදි කිරීමක්



ඊයේ 2010-12-02 වන බ්‍රහස්පතින්දා "24වන සියවසේ භෞතිකවාදය" නම් වූ තේමාවෙන් වූ දීප්ති කුමාර ගුණරත්නගේ දේශනය අසන්නට මම ජයවර්ධන කේන්ද්‍රය වෙත ගියෙමි.

"පෙරදිග සුළං" අලුත්ම කලාපයක් සහ පෙරටුගාමී පක්ෂයේ ඉදිරි ‍වැඩපිළිවෙල පිළිබඳ වූ ඩීවීඩි තැටියක් ද ඔවුන් එම ශාලාවේ මිල දී ගැනීමට කටයුතු ‍යොදා තිබුණි.  
මෙම ඩීවීඩි තැටිය පරිගනකය ආධාරයෙන් නැරඹිය හැකි බැව් දැන ගතිමි.

"පෙරදිග සුළං" අලුත්ම කලාපය ‍මින් පෙර පළ වූ කලාපවලට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තිබුණි. එය පිටු 250කින් යුත් මධ්‍යම ප්‍රමාණයේ ග්‍රන්ථයකි. එහි මිල රුපියල් 150ක් ලෙසම පවත්වා තිබීමද සුවිශේෂි කාරණයකි.

පොතක් වශයෙන් එය සාරගර්භය. නැවත නැවතත් කියවීමට ලක් කරන්නට හදාරන්නට බොහෝ දෑ එහි අන්තර්ගතය.

මාගේ මෙම සටහන එම පෙරදිග සුළං 7 වන කලාපයේ 99 වන පිටුවේ සඳහන් කරුණක් අරභයා කිසියම් නිවැරදි කිරීමක් කිරීමේ අභිලාෂයෙනි.
99 වන පිටුවේ උපමාතෘකාවක් මෙසේ දැක්වෙයි.

උපු‍ටා දැක්වීම ආරම්භය.

බත් වෙනුවට බූන්දි කමු ද?

හේතුව එය යොදා වැඩක් නැති ක්ෂේත්‍රවලට එනම් ආත්මය ලෝකය දෙවියන් වැනි දෑ යෙදූ විට අප ගමන් කරන්නේ මායාවන් දෙසටය.කෙනෙකු මිනිසාට ආත්මයක් යනුවෙන් සාරාර්ථයක් පවතින්නේ යැයි සිතා එය ඔප්පු කිරීමට ගිය හොත් සිදු වන්නේ කුමක් ද? මේ මෑතක දී වෙබ් අඩවියක ඩේවිඩ් ලින්ච්ගේ චිත්‍රපටයක් ගැන පරිවර්තනයක් පළ වූ අතර එය කියවූ පාඨකයෙක් පරිවර්තකයා ගෙන් මෙසේ අසා තිබුණි.

"මේ ගැන දීප්ති මොනව හරි ලියල තියෙනවද? එහෙනම් ඒ ඒ කොතන ද? "

මින් දැඩිලෙස ප්‍රකෝප වූ පරිවර්තකයාගේ උත්තරය මෙවැනිය.

"මට පේන විදියට දීප්ති ගැන භක්තියක් තියෙන චෑං චූං කෙනෙක් ඔයා. දීප්ති මනෝවිශ්ලේෂණය හැමදෙනාටම යොදනව. හැබැයි එයා කිසිදවසක එයාගේ ස්වාත්මය විශ්ලේෂණය කරන්න මනෝවිශ්ලේෂණය යොදා ගන්නේ නැහැ."

මේ පරිවර්තකයා නොදන්නේ මනෝවිශ්ලේෂණයට අනුව ස්වාත්මය කියා දෙයක් නොමැති බවය. ලංකාවේ ලින්ච් පරිවර්තකයන් සමීප වන්නේ ලින්ච්ගේම ප්‍රබන්ධ චරිතයක් වූ බොබී පේරුටයි. බොබී පේරු යනු ඔබගේ ෆැන්ටසිය අවුස්සා එය හෙළිදරව් කර "පස්සේ හැමනෙමු-දැන් බැහැ" කියන වර්ගයේ චරිතයකි.

උපු‍ටා දැක්වීම අවසානය.

මෙම සඳහන් කිරීමේ දී දීප්ති විසින් කරන ලද උපකල්පනය නම් එම ලිපියේ ප්‍රශ්න ඇසූ අයට පිළිතුරු සපයා ඇත්තේ එහි පරිවර්තක වන මා විසින් යැයි කියාය. මෙය සාවද්‍ය නිගමනයකි. මා එම ලිපිය පරිවර්තනය කර බූන්දි වෙබ් අඩවියේ පළකරන්නට එහි වැඩ දෙපාර්තුමේන්තුවට යොමු කළ පසු කිසිදු ආකාරයක අතරමැදි වීමකට යොමු වූයේ නැත. කොටින්ම පළමු ප්‍රතිචාරයෙන් දුර්මුඛ වූ මා හට එහි දෙවන කොටස පළ කිරීමට පවා උනන්දුව ගිලිහී යන්නට තරම් විය.

නැවතත් අවධාරණය කළ යුත්තේ මවිසින් 2010-03-25 වන දින බූන්දි වෙබ් අඩවියේ පළ කළ ලොස්ට් හයිවේ වෙත-ලින්ච් සහ ලැකාන්: සිනමාව සහ සංස්කෘතික ව්‍යාධිවේදය හරහා [1] යන පරිවර්තන ලිපියට පහත දක්වා ඇති ප්‍රතිචාර ලැබී තිබුණු බවත් මෙම ප්‍රතිචාර කිසිවකටත් මාගේ සම්බන්ධයක් නැති බවත්ය. එම ලිපියේ පරිවර්තක ලෙස මා එම බාහිර පුද්ගලයන් නැගූ කිසිදු ප්‍රතිචාරයක් උදෙසා පිළිතුරු බැන්දේ නැත.

[A. Amarasekara] මෙහෙම කියනවා :
@green sun
where has deepthi kumara gunarathna written on this film? can you give me the reference pls.

@dosan
I dont find any problem with your translation. all these are nonsense. green sun looks to be a "චෑං චූං" who has a faith on DKG. DKG applies psycho-analysis on all others. but ridiculously he never examines his own soul.

කිවුව වෙලාව- 2010-04-05 22:11:44

[green sun] මෙහෙම කියනවා :
Deepthi kata puka dunnama moakda...mama kiyanne mama kiwe oya film eka gana leyala thiyena Deepthige Article eka kiyawanna kiyala.......hamogema puka nathiwela enna rate Deepthi puka depuhama mokadda thiyena prassne....
කිවුව වෙලාව- 2010-04-03 01:49:40

[Pathum Senanayake] මෙහෙම කියනවා :
Deepthita Baninna Deyak Deepthi Methana Karala Nane.
Eya Me Issue Ekata Kisima Sambandayak Nane.
Ai Eyata Baninne?
කිවුව වෙලාව- 2010-03-31 23:26:42

[Anno] මෙහෙම කියනවා :
@green sun
oya deepthita puka denna kalin apita kiyanawada deepthi dan me dawaswala katada puka denne kiyala?
mangalatada? ruwantada? raniltada?
කිවුව වෙලාව- 2010-03-29 23:16:27

[Pathum Senanayake] මෙහෙම කියනවා :
green sun Deepthige Mona Article Ekada Kiyawanna Ona
කිවුව වෙලාව- 2010-03-29 01:19:54

[ කුන්දේරා] මෙහෙම කියනවා :
''මහලු මළවුන් තරුණ මළවුන්ට ඉඩ දිය යුතුය.''
කිවුව වෙලාව- 2010-03-28 00:23:18

[green sun] මෙහෙම කියනවා :
translat eka anthimai....Deepthige Article tikak kiyawanna....ethakota wede goda daganna puluwan wi.....
කිවුව වෙලාව- 2010-03-26 06:29:43

මෙම කාරණය මා දීප්තිගේ දේශනය අවසානයේ වූ කෙටි පිළිසඳරේ දී ඔහුට පැහැදිලි කර දුන් අතර මෙම සාවද්‍ය නිගමනය මතු යම් දවසක නිවැරදි කරණු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

Sunday, November 21, 2010

Monday, May 24, 2010

ඉසිවරයා (08) -Ransirimal Fernando's translation

ඉසිවරයා (08)


“කියන්න අපට සතුට සහ දුක ගැන”
ගැහැණියක් කීවාය
ගැහැණියක් කීවාය


“නිරාවරණය වූ ඔබේම ලතැවුලයි ඔබ විඳින ප්‍රමෝදය”
කීය ඔහු

උද්දාමයේ බුබුළු බිඳ ඔබේ සිනා රැල් ගලා එන
ප්‍රීතියේ උල්පත
පිරී ඇත්තේ බොහෝවිට
කඳුලින්ය ඔබේම

අන් කවර ලෙසකින් විය හැකිද මෙය?

වේදනාව කිඳා බසීද කොතරම් ගැඹුරට
එපමණම ගැඹුරුය
රැඳිය හැකි සතුටත් ඔබේ හද තුල

ඔබේ මධුවිත පිරෙන
කදා බඳුනම නොදැවුනිද
බුර බුරා දඟලන ගිනි සිලක උණුසුමින්
ඇඹෙන්නට බඳුනක්ව?

ලයාදර හඬින් ගයමින් ජීවිතය පිරිමදින වීණාව
දැව කඳක් නොවෙද අසරණ
පාරා සිදුරු කර හදවතම හෑරූ
තියුණු සැතකින්?

පිරී ඉතිරෙන විට සතුට බලන්න එබී හද ගැඹුරට
දකිනු ඇති ඔබ සතුට වගුරනු
සිත පෙළූ ‍හැඬවූ දෙයම

වේදනාවෙන් රිදුම් දෙන කල සිත බලන්න නැවතත් එබී
දකින්නට යථාර්තය අසන්නට ඔ‍බේ වැලපීම
ඔබේ ප්‍රමෝදය වූ දෙයටම

සමහරෙක් කියනු ඇති සතුටමයි අගනා උතුම් ...
තව කෙනෙක් කියනු ඇත
නැත නැත ශෝකයයි වඩා වැදගත්
ලද යුතු පිදුම්...!

මම කියමි ඔබ හට ...
වෙන්කල නොහැක කිසි දින
මේ ද්වන්ද්වය
සතුට ශෝකය...!

පැමිණෙති උහු දෙපල පටලවා අත්වැල්
එකෙක් හිඳිනා කල ඔබ අසල
සිටී අනෙකා ඔබේ සයනේ වැතිර

අසරණව ප්‍රලම්බව දෝලනය වෙයි ඔබ
තුලාවක දෙබඳුන
දුවන සේ උඩ පහල‍
ශෝකයත් සතුටත් අතර ...
හිස් ව ගිය ඇසිල්ලක නිසලවනු ඇත ඔබ
බඳුන් සමතුලිතව

එසැවෙනා දින ඔබ ඉහල
නිදන් පල්ලා අතින්
ගිණෙන්නට ඔබ දිනූ
ජීවිතේ රන් රිදී
මිණෙනු ඇත නොවැරදී
ශෝකයත් සතුටත්.

- ඛලීල් ගිබ්රාන් -

ඛලීල් ගිබ්රාන්ගේ ඉසිවරයා (The Prophet - (1923)) පද්‍ය එකතුවේ අටවන පරිච්ඡේදයේ ඡායානුවාදයකි.
සිත්තම: කමිලා, ඛලීල් ගේ මව (ඛලීල්ගේ සිතුවමකි )

රන්සිරිමල් ප්‍රනාන්දු [ලොකු]


ලොකුගේ මෙම ඛලීල් ජිබ්රාන්ගේ මුනිවරයා හෝ ඉසිවරයා කාව්‍ය සමුච්චයෙන් උපුටාගත් පරිවර්තන කාව්‍ය මගේ හැඟුම් අවුලුවා ලීය. ඒ හැඟුම් ගුමු ගුමුව ලියා දක්වන්නට දරන තැතකි මේ. එතැනට මට එන්නට තව වැකි කීපයක් අමුණන්නට සිදු වන්නේය.

මේ කවිය මොනිටරයේ දිග හැරෙන්නට මත්තෙන් මා සිටියේ නාරද දිසාසේකරයන්ගේ වියොව විඳිමිනි.

රූපං ජීරති මච්චානං
නාම ගොත්තං න ජීරති///
ලස්සන සැමදේ මොහොතක සුව දේ
එහි කෙළවර දුක දේ//
ලස්සන සැමදේ මොහොතක සුව දේ
එහි කෙළවර දුක දේ//
ලස්සන සැමදේ මොහොතක සුව දේ


දෙනෙත පෙනේනම් සුවඳ දැනේ නම්
සවන බිහිරි නැතිනම්//
දැල්වෙන අතරේ සදහම් ගීතේ
මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
සියල්ල ලෝකේ වැනසී යයි//
දිරා ජරාවට යයි//


සැපත දකිවී විපතට ලං වී
කිමද සැපෙක පස්කම්
දැල්වෙන අතරේ සදහම් දීපේ
මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
බුදු දහමින් තොර සැපක් නැතේ
පරම සුවය ඒකයි///

වෛයාහ අස්ථියේ [hyoid bone] දැවටී පැදකුණු කරමින් සප්ත ස්වර යාතිකා මිමිණූ ස්වරාලයක කාටිලේජ අක්‍රිය වී ඇත. කිසි කලෙකත් මා හට කිසිවෙකුටත් නිවණ ප්‍රාර්ථනා නොකළ හැකි වුවද මම ඔහුට නිවන් ප්‍රාර්ථනා කරමින් හීල්ලුවෙමි. ඒ මට නොහැඟෙන අභූත සිතිවිලි දාමයක මා පැටලී හුන් හෙයිනි. යලි යලිත් ඉපදෙමින් මිනිසුන් අතර වැඩ කරන්නට ප්‍රාර්ථනා කළ පරාක්‍රම කොඩිතුවක්කු සිය සංසාරෙට මං ආසයි කාව්‍ය සංග්‍රහයේ අයුරින් නොවුවත් මේ අප යලි යලි ඉපදෙන්නට පතන දේශය කුමක් වැනිදැයි පරිකල්පනයේ අඳුරු ඡායා ප්‍රතිරූපනය වද්දී ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කර යලි ඉපදුමෙන් මිදී ඉන්නේ නම් යහපති යැයි මට සිතුන බැවිනි.


එසඳ මා නෙත මේ පරිවර්තිත කවියේ දැවටුනි. එක්තරා පෙලකදී මගේ සිත ඇවිලුණි. ඒ පෙල මෙසේය.

“නිරාවරණය වූ ඔබේම ලතැවුලයි ඔබ විඳින ප්‍රමෝදය”

Your joy is your sorrow unmasked.
ලොකු ජෝයි [joy] යන ඉංගිරිසි වදනට සියුමුව ගැළපෙන සිංහල වදනක් සොයා අමුණා ඇත්තේ වෙනත් අනෙක් සමරුත් පදාවලියකින් ව්‍යවච්ඡේදනය කොට මැණිකක් ගරා ගන්නා ලෙසිනි.

කුමක්ද මේ ප්‍රමෝදය?

මා නැවතත් ‍‍ජෝයි [joy] යන ඉංගිරිසි වචනයට සමරුත් පද සෙව්වෙමි.
ප්‍රීති ප්‍රමෝදය-ප්‍රීතිය-ප්‍රමෝදය උපදවන්න යන නාම පද මලලසේකර අපට ‍යෝජනා කරයි.
ජෝයිෆුල් යන්නට සමරුත් ලෙස සතුටු දනවන-ප්‍රීතිමත් අවස්ථාවක්-ප්‍රීතිය දනවන යනාදී වශයෙන් ගොස් ජෝයි රයිඩ් යන්න විනෝදයට යන ගමන ලෙසින්ද දක්වා වරහන් තුළ විශේෂයෙන් සොරාගත් කාරයකින් [stollen car] යන්න ද සඳහන් කර ඇත.

වර්ඩ්වෙබ් ශබ්දකෝෂයෙන් එම වදනේම පර්යාය වන ඉංගිරිසි නිර්වචන කීපයකට ගියෙමි.
Noun: joy
1. The emotion of great happiness
2. Something or someone that provides a source of happiness
Verb: joy
1. Feel happiness or joy
2. Make glad or happy
'ප්‍රමෝදය' යන වචනය මට හමුවන්නේ වෙනස් සන්දර්භයක් නියෝජනය කරමින් ලැකානියානු මනෝ විශ්ලේෂණය තුළ දීය. [සත්‍ය වශයෙන්ම දීප්ති කුමාර ගුණරත්නලා X කණ්ඩායමේ අපරිමිත ශ්‍රම‍ විභජනයෙන් එලි දැක්වූ හිස්ටීරියාව කෘතියෙනි.] ඒ මන්ද යත් ලැකානියානු '‍jouissance' යන ප්‍රංශ වචනයට සමාන වචනයක් ඉංගිරිසි භාෂාව තුළ නොවූයෙන් ඊට සමරුත් වචනයක් ඔවුන් ආදේශ කළ බැවිනි. එම අරුතට අනුව එහි දිහහැරුම ලියා දක්වන්නට එම නිර්වචනය අඩංගු වන හිස්ටීරියාව පොතේ පෙර වචනයෙන් වාක්‍ය ඛණ්ඩ කීපයක් උපුටා දක්වමි.
"එබැවින් මනුෂ්‍ය ජීවිතය යනු අතිරික්තය විසින් චලනය කරන්නකි. ජීවිතය තල්ලු කරන බලවේගයක් අදෘෂ්‍යමාන ව ජීවිතය තුළම ඇත. එය ජීවිතයට වඩා දෙයකි. තමා සහ සමාජය අතර ඇති නිරන්තර පරතරය පුරවන්නට යන මිනිසා සැමවිටම එම ක්‍රියාවෙන් අසාර්ථක වෙයි. එනම් යථාර්ථවාදී මූලධර්මය අසාර්ථක වෙයි. එවිට ඉහත පැල්ම හෝ පරතරය පිරවීමට මිනිසා තුළ පෙලඹවීමක් ඇති වේ. ෆ්‍රොයිඩ් මේ පෙලඹවීම නම් කෙරුවේ 'මරණ හඹායාම' [death drive]0 නමිනි. ෆ්‍රොයිඩ්ට අනුව මරණය යමක අවසාන වීම නොවේ. ඔහේ පැවැතීම හෝ ජීව විද්‍යාත්මක සිරුරක් වශයෙන් හෝ පැවතීම වෙනුවට මනෝමූලිකත්වය මිනිසා ව රැඩිකල් ආස්ථානයකට රැගෙන යයි. එනම් අමරණීය ආත්මයක් සහිත මිය යන ශරීරයක් හැටියට මිනිසා තමන්ගේ සත්තාව හඳුනා ගනියි. එබැවින් මිනිසාට මෙම මනෝමූලිකතාවය මනසක් සහිත වීම රැඩිකල්භායකට අමතරව විනෝදවන්නක් ද වෙයි. [කෙනෙකු නොදන්න දෙයක් දැන ගත් පසු විනෝද වෙයි. එබැවින් විනෝදය දැනුමට මඟ පෙන්වයි.] මේ නිසා මිනිසා තුළ මෙම විනෝද වීම කෙරෙහි එනම් තම දෛනික ශාරීරික පැවැත්ම අභිබවා දැඩි ආශක්ත වීමක් මෙන්ම පෙලඹවීමක්ද දක්නට ලැබේ. මෙම මානුෂික තත්ත්වය ‍මෙම පොත තුළ ප්‍රමෝදය යනුවෙන් හඳුන්වනු ලැ‍බේ. මෙමගින් මිනිසා අප අර කලින් සඳහන් කළ සමාජය සහ පුද්ගලයා අතර දෙබෙදුම පරතරය ඉඩ වසා දමයි. එමගින් මිනිසා සත්තාව අත්පත් කර ගනියි. සරලව මිනිසා එමගින් සංකේතීය සත්වයෙක් බවට පරිවර්තනය වෙයි."

-හිස්ටීරියාව-පෙරවදනෙන්

අනෙක් අතට ප්‍රමෝදය වනාහි තැවුමක් ඉවසීම තුල හට ගන්නා විනෝදය බවද එනයින් දුක සහ සැප අතර භාෂාමය සම්බන්ධය මෝබියස් නිරූපණයකින් වටහා ගැනිම කළ යුතු බවද මෙම හැදෑරීම් තුලින් ගම්‍යමාන වේ. මෝබියස් පටිය ගැන මෙතැනින් කිසියම් අවබෝධයක් ලැබිය හැකිය.

පොත්පත් වලින් කොටස් උපුටා‍ මෙලෙස දක්වන්නේ මේ කාරණා ගැන අධ්‍යයනය කරන්නන්ට, උනන්දු වන්නන්ට එම පොත් හඹා ගොස් දැනුම අත් කරගෙන විනෝද වන්නට ආරාධනා කරන්නටය. විනෝදය දැනුමටත් දැනුම ක්‍රියාවටත් මග පෙන්වනු ඇතැයි මා විශ්වාස කරන නිසාය.

Saturday, May 22, 2010

බන්දුල ජයවීර 'තෝරාගත් කෘති' නිර්මාණ සංග්‍රහය




මා මිතුරු කිවි, පියන්කාරගේ බන්දුල ජයවීරයන් අනේක දුක් ගැහැට විඳ 'කවි පොතක්' පළ කොට ඇත. ඔහු අද මා හමුවන්නට පැමිණියේ ඔහුගේ 'අතීතකාමයෙන්' පසු මුද්‍රණද්වාරයෙන් පිට වූ 'තෝරාගත් කෘති' නම් වූ සිය නිර්මාණ සංග්‍රහයද සමගිනි.



2006 වසරේ සිට 'ගොඩගේ කාව්‍ය සහ ගීත ව්‍යාපෘතියේ' ප්‍රකාශනය සඳහා ගොඩගේ ව්‍යාපෘතිය විසින් තෝරාගත් මේ කෘතිය, ඉන් පසුව පොතක් ලෙස එලිදක්වන්නට වසර හතරක් ගත වූයේ මන්දැයි මම නොදනිමි. ඔහු ද එය තත්වාකාරයෙන් නොදනී. එනමුත් දැං එය පොත් රාක්කවලට පැමිණ ඇතිවා විය යුතුය. කෙසේ වුවත් කිසිදා පරණ නොවන කවි සැමදා සියතින් අකුරු ඇමිණෙන බන්දුලගේ සුරත මම සිප ගනිමි.

ඔහුගේ නිර්මාණ දිවියට සුභ පතමි!

මේ කෙටි සටහන ඔහුගේ 'තොරාගත් කෘති' ගැන විචාරයක් ලිවීමේ අදහසකින් නොවේ. ඔබ සියල්ලන්ට ද ඔහුගේ කවි පොත ඔහු වෙනුවෙන් මා දෝතින් පුදන්නටය.
කවිපොතේ අන්තර්ගතය යුග යුග වලට බෙදී ඇත. පිකාසෝගේ චිත්‍ර යුගවලට බෙදුවා සේම නිල් යුගය, රෝස යුගය හෝ ඝණික යුගයාකාරයෙන් බන්දුලගේ කවිද අතීතකාමී,පශ්චාත් අතීතකාමී,පශ්චාත් නූතන, පශ්චාත්- පශ්චාත් නූතන යනාදි වශයෙන් උත්ප්‍රාසවත් ආකාරයකින් බෙදා වෙන්කොට ඇත. එම යුග නිරූපණය වන කවි කිහිපයක් උපුටා දක්වමි.

අතීතකාමී යුගය- හත්වැනි කවිය-දහඅට පිටුව

මාළුවා වෙතටයි

ම නො කා මග හරින්නේ නම්
මාව කාපන් මාළුවෝ
නිරාහාරව මළත් දියඹෙන්
යන සිතක් නැත මාළුවෝ

දුකින් මළ මනු හද මාංශය
රස බලාපන් මාළුවෝ
මිතුරු රෑනක් එක්ක ඇවිදින්
මාව කාපන් මාළුවෝ

ඇමත් කාගෙන මාත් ඇදගෙන
මූදු පත්ලට මාළුවෝ
ගියත් නුඹ නම් අත් හරින්නට
හිතෙන්නෑමයි මාළුවෝ

සටහන: 'මහල්ලා සහ මුහුද' ලියා මගේ අන්තවාදී ප්‍රේම සිහිනයට දිරිය හා සවිය දුන් අර්නස්ට් හෙමිංවේ ස්තුතියි!

පශ්චාත් අතීතකාමී යුගය-දහනවය කවිය-තිස්හතර පිටුව

පෙම් පිම්ම

ඳ මත
ආම්ස්ට්‍රෝං තැබුවේ
දෙපය යි!
මා තැබුවේ
දෙතොලයි!!


සිරකරුගේ කවිය!

ක්මනට සෙනසුරාදා එන්න!
සතියේ දවස් නීරසයි එන්න!!
කන්තෝරු හිරගෙදර දුක් විඳින
සිතට සිහිලසක් අරගෙන එන්න

ජීවිතය පැය අටක් නො වන වග
දින දෙකක් දිවි ගෙවා දැනගන්න
රළු කටුක දවස් පහ විසුණු කර
ඇවිත් යන්නට වුණත් ඔබ එන්න

දූපතක ගෙවී යනමුත් දවස
ජිවිතය මහාද්වීපයක් බව
හතරවට මූදු වෙරළෙන් එපිට
ලෝකයක් තිබෙන බව දත යුතුය

පඩියකින් පඩියකට පනින විට
හැමදා ම කොන්ද කැඩුණැයි හඩන
ණය බරින් පෙළෙන දිවි ගිම් නිවන
මෙඟක් කොහි හෝ තිබිය යුතු නොවෙද?

සඳුදාට ඇස් අරින උදෑසන
ගෙවූ දෙ දින සිහිනයක් දැයි හඟින
දින පහක් විය ගඟට ගෙල පුදන
දෙපා-අම්බරු සකිය! පිබිදෙන්න!!

පශ්චාත් නූතන යුගය-විසිහත කවිය-හතලිස් අට පිටුව

පටු වචන හා විසල් ජීවිතය

ලොකු පුතා
'ලොකු පුතා' වූයේ
පොඩි පුතා
ඉපදුණ පසුවයි
පොඩි පුතා
'පොඩි පුතා' වූයේ
ලොකු පුතා
එවකටත්
ඉපැදී සිටි නිසයි
උපතින්ම කිසිවෙකුත්
ලොකු නොවී
පොඩිත් නොවී!
වදන් ලෝකය
මිනිස් සිරුරත
‍යොදන බලයෙන්
එහා ඇත්තේ
වචනයෙන්
ලියා හෝ කියා
අවසන් නො වෙන
සැබෑ ආදරයයි
සැබෑ ජීවිතයයි
ආදරය වචනයකි
වචනයට වැඩි යමකි!
හැඟුම් ලෝකය
වචනයට ගෙනා සැණ
ජීවිතය (ආදරය)
කූඩුවක සිරවෙයි



පශ්චාත් පශ්චාත් නූතන යුගය-විසිඅට කවිය-පනහ පිටුව

හිස්ටීරියාවෙන් සයිකෝසියාවට

මාක්ස්, එංගල්ස්
ෆ්‍රොයිඩ්, ෆූකෝ
ලකාන්, ඩෙරීඩා
කොටා දියකර
බී, එයින් මත් වී
වනා කගපත හතරතේ
'පිටිය සුද්ධයි'
(Ground Clear)
කියා තුටු වී
කුටියකට වැද...

"මමයි ලෝකය
මම වගේ වෙනු!
සකල සාහිත
කලා ලෝකය
මගේ අණසක
අනුව යා යුතු!"
(ට්‍රොට්ස්කි ගැන අමතක වුණාව ද)
ඈත නොම වූ
දිනෙක "දහසක්
මල් පිපේවයි
මත ගැටේවයි"


කියූ මුවගින්
"එක ම මල මම"
කියා මළ පැන!
වහසි දොඩනා
කුටියකට වැද
ස්වයං වින්දනයේ
වුණේ කිම්දැයි
අසන ලොව වෙත
බුරා පැන
පිළිතුරු දෙමින්
"මට වුණේ කිම්දැයි
‍දැනගන්ට තොපි
සතුටු නම්...
මා සොයාගෙන
මාගේ ගෙදරට
තොපි වරෙව්
(මෙන්න ලිපිනය)
මගේ අභිමානය
එයයි!"

"පෙම් ලොව දී දුටු ඔහු ම ද මේ!
ඔහුට ද මා අන්ධ වු‍ණේ!!"

'හිස්ටීරියාවෙන් සයිකෝසියාවට' කවිය ගැන කෙටි‍ සටහනක් තැබිය යුතුමය. මට මෙය කියවූ ගමන් දැනුනේ 'ඇල්ජීරීයාවෙන් ආසියාවට' වැනි හැඟුමකි. ජනක මහබෙල්ලන මෙන්ම බන්දුල ජයවීරද දීප්ති කුමාර ගුණරත්නට කවියකින් ඇන දමා ඇති බව පෙනේ. ඔවුන්ගේ කෘති තුල එක කවියක් දීප්ති වෙනුවෙන් වෙන්වීම දැන් දැන් සම්ප්‍රදායක් බවට පත් වී ඇතැයි මට සිතේ.


Sunday, March 21, 2010

ජනක මහබෙල්ලනගේ "රංචු"

ජනක මහබෙල්ලනගේ සංයුක්ත කවියක් කියවන්න ලැබුනා ඔහුගේ අලුත්ම කවි පොතෙන්. ඒ "කම්මුල් පහර" (2009) කවි/සංයුක්ත කවි පොතයි.

මෙහි මා අවධානය යොමු කළ සංයුක්ත කවිය "රංචු".


මේ නිරූපනය වන්නේ මිනිස් වර්ගයා රංචු ගැසෙන ආකාරයයි. සමහර රංචු විශාලය. කේන්ද්‍රීය ය. තවත් සමහර රංචු ක්ෂුද්‍රය. විසිරී ඇත. එක් තැනක "ර" කේන්ද්‍ර වද්දී තවත් තැනක "ං" කේන්ද්‍ර වන අතර තවත් තැනක කේන්ද්‍රය වන්නේ "චු" යන්නයි. මේ සියල්ල හඟවන්නේ විවිධ කේන්ද්‍රයන් පවා එකිනෙකින් වෙනස් බවය.

සමස්ත රංචු ද මොකද්දෝ දෙයකට කේන්ද්‍රීය බව සංයුක්ත කවියෙන් මට පෙනෙයි. ඒ හරියට සූර්යා කේන්ද්‍ර කර ගත් ග්‍රහ රංචුව තවත් එවැනිම පද්ධතියක් වූ ගැලැක්සියේ තවත් දේ සමග රංචු ගසමින් එම ගැලැක්සි ද තවත් ඊට වඩා අති විශාල වූ පද්ධතියක කුඩා කොටස් බවට පත්වී ඒ තුල රංචු ගැසීමද යනාදී වශයෙන් එකිනෙක තුල වඩ වඩාත් කුඩා වෙමින් රංචු ගැසී ඉන්නා සෙයකි.

දෙවනුව මා පෙළ ගස්වා ඇත්තේ අද උදෑසන ගෙදර බිත්තියක කූඹින් රංචු ගැසී සිටිනා අකාරය ය. එය මිනිස් රංචු ගැසීම සංකේතිකරණය වූ අයුරට වඩා වෙනස් අයුරකින් සිදු වී ඇති බව බැලු බැල්මට ‍මට පෙනුනි. මන්ද යත් ඔවුන් රංචු ගැසී සිටියේ ඔවුනගේ පොදු ගමන් පථය දිගට කුඩා කණ්ඩායම් වශයෙනි. හරියටම ගංගාධාරයක මිනිස් ශිෂ්ටාචාරය ගොඩ නැගී තිබූ පරිද්දෙන්ම ඔවුන් සිය ගමන් මග දිගේ තැන් තැන්වල ජනපද ආකාර වූ කුඩා රංචු ගැසීම්වල ට යොමු වී තිබුනි.

මහබෙල්ලන ගේ සංකල්පීය මිනිස් රංචු ගැසීමේ ස්වරූපයත් සැබෑ ලොව කුහුඹුවන්ගේ යථාර්ථවත් රංචු ගැසී‍මත් එක තැන් කොට මා තබන්නේ එය එකිනෙක කඩා බිඳ ගන්නා සැටි මට දැනෙන්නා‍ සේම හෝ ඊට ප්‍රතිපක්ශ ලෙස හෝ ඔබට ද දැනෙන්නට යැයි විශ්වාස කරමි.

කූඹින් රේඛීයව ගමන් කරති. අක්වක් මගක වුව ඔවුන් එකිනෙකා අනුගමනය කරති. රංචු සංයුක්ත කවියෙ නිරූපිත සංකල්පීය -සංකේතීය රංචු ඊට ප්‍රතිපක්ෂව කිසියම් එකෙකු වෙත කේන්ද්‍රීය වෙති. මෙවැනි කේන්ද්‍රයෝද විවිධ සාන්ද්‍රණ තුල විවිධ දුරින් පිහිටයි. මිනිසාගේ භෞතික පිහිටුම් මෙන්ම ඔවුන්ගේ අධ්‍යාත්මික පිහිටුම් ද එකිනෙකින් කේන්ද්‍රීය ව වෙනස් වෙයි. රංචු සංයුක්ත කවිය මේ බොහෝ දෑ මතුපිටට ගෙන එන්නට තැත් දරයි.

කම්මුල් පහර නම් දී ඇත්තේ දීප්ති කුමාර ගුණරත්නට යැයි මට සිතේ. ඒ කවි පොතේ පස්වැනි කවියෙනි. බෙල්ලන සහ දීප්ති ඔවුනොවුන් එකිනෙකාගේ පඨිත තුල සටන් කරගන්නා අයුරු අපට අරුමයක් නොවේ. මේ සටන් වලින් අපට යමක් ශේෂ වෙමින් පවතින බව පමණක් මෙහි සටහන් කරනු කැමැ‍ත්තෙමි.


ප.ලි.
සාකච්ඡා කළ යුතු තවත් අතිශය වැදගත් සංයුක්ත කවි රාශියක් අජිත් තිලකසේනගේ "රැලි සුලි" (1991) සංයුක්ත කවි පොතේ වෙයි.