Showing posts with label බූන්දිය. Show all posts
Showing posts with label බූන්දිය. Show all posts

Friday, August 26, 2011

ගමන හැඩයි!!!

කල්පනා ගෙ "මේ නිහඩ වෙරළට එන්න" කවි පොතත් හිනිදුම සුනිල් සෙනෙවි ගෙ " 'නූතන ම' සිංහල කවිය පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් " කාව්‍ය විචාර කෘතියත් එළිදක්වන්නට සැප්තැම්බර් මස තුන්වෙනිදා හවස තුනට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන උළෙලට මගේ සුභ පැතුම් එකතු කරමි.

එදින බූන්දියට ද තෙවර්ෂයක් පූර්ණ වේ.




විස්තරය මෙතැනින්

Tuesday, January 4, 2011

ඇනෝනිමස් ආතල් ?

මේ පෝස්ටය අමුතුම එකකි. මන්ද යත් ඊට පාදක වන හේතුවද අමුතුම නිසාය.

"ඇනෝනිමස් ආතල්" යනුවෙන් තමන් හඳුන්වා ගන්නා බ්ලොගයක් වටා පිරිසක් රොක් වී වඳුරකු අතපත් දැලි පිහියක් සේ තම තමන්ගේ ද අනුන්ගේද මුහුණු සහ බෙලි කපා ගන්නා තත්වයකට කිසියම් පිරිසක් පත්ව ඇතැයි දැන් දැන් බ්ලොග් අවකාශයේ කතාබහකට තේමා වී ඇත. කවුරුන් කවුරුන්ගේ මුහුණු බෙලි කපා ගත්තද කිසිම කාරියක් අපට නැතැයි කියා ගන්නා පිරිස්ද වෙති. මේ සියළු පිරිස් වලට පිටින් ඉන්නා තවත් සමහර පිරිසක් මේ අයගේ ක්‍රියාදාම නිසාවෙන් අපහසුතාවයන්ට පත්වෙති. ඒ අය අතර මම ද වන බැවිනි මේ කෙටි ලිපිය.

ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවියේ පළ වූ කූඹියාව ප්‍රශ්න කරන ආකාරයේ අපහාසාත්මක පෝස්ටයක කොමෙන්ටු අවකාශයේ එක් තැනක මෙයට මා ද සම්බන්ධ විය හැකියැයි කිසිවෙකු විසින් ලියා තබා ගොස් ඇත. එය දුටු වහා සයිබර් හිතවතකු වන සුජීව කොකාවල සහ මා මිත්‍ර හෂිත අබේවර්ධන මේ ගැන මා විමසූහ.

බූන්දියෙන් මා ඉවත් වූයේ කූඹියා සමග පෞද්ගලික ආරෝවකින් නොවේ. ඔහු හා කතා කිරීමට මට දැනට ද පුළුවනි. ඔහු ද ඒ නිදහස බුක්ති විඳී. මා බූන්දියෙන් ඉවත් වූ ‍හේතුව පෞද්ගලිකව යම් අය ඇසූ විට මේ වන විට ප්‍රකාශ කර ඇති හෙයින් එයද පොදුවේ කාටත් දැන ගන්නට කිව යුතුයැයි මට සිතෙයි.

බූන්දියෙන් මා ඉවත් වූ පැහැදිලි හේතුව නම් සාමුහික වගකීම සහ තීරණ ගැනීමේ දී ප්‍රජාතාන්ත්‍රික වීම යන කාරණා සම්බන්ධව උපන් අර්බූදයක දී මාගේ යෝජනා කූඹියා විසින් ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන් ඔහුට තීරණයක් ගැනීමේ අවස්ථාව මා ලබා දුන් පසු ඔහු මා බූන්දියෙන් ඉවත් ව යන තත්වය ඉවසූ බැවිනි.

ඉන් සියල්ල සමාප්තියට පත් විය. ඉන්පසු කූඹියාගෙන් හෝ බූන්දියෙන් හෝ විකල්ප ලෙස පලි ගැනීමේ හෝ ගතු කීමේ ව්‍යාපෘති මට අවශ්‍ය නොවීය. ඉන්පසු කාලය මා ගත කළේ වඩාත් නිදහසකිනි. කෙසේ වුවද බූන්දියෙන් ඉවත් වන්නට මා ගත් තීරණය අතිශය නිවැරදි බැව් පිළිගන්නා අල්ප පිරිසක් ද මා සමග වෙති.

එකට කණ්ඩායම්ගතව වැඩ කර ඉන්පසු ප්‍රතිපත්තිමය හේතු මත වෙන්ව ගිය මා හට නැවත කූඹියා හෝ බූන්දිය හෝ අපහසුතාවයට පත් කිරීමේ අවශ්‍යතාවයක් නැත.
එමෙන්ම එකට වැඩ කර සහෝදරත්වයෙන් සාමුහික ජීවිතය අගය කර බිඳී ගොස් එකිනෙකා පාවා දීමේ පටු අදහස්ද මා තුළ නැත්තේය.

එහෙයින් මේ ලිපිය හෝ අන් යමක් වෙනුවෙන් මාගේ සම්බන්ධය විමසීමට තරම් අකාරුණික වී මා මෙන්ම අන් අයද අපහසුතාවයට පත් නොකරන මෙන් බ්ලොග්වාසී සියලු ප්‍රාණීන්ගෙන් කාරුණිකව අයැද සිටිමි.

බූන්දියේ කටයුතු සම්බන්ධව ද ඒ හා බැඳුනු අතීතයේ මාගේ අත්දැකීම් ද යළි යළිත් හාරා අවුස්සමින් මා ප්‍රශ්න කරන සහෘදයන්ට කීමට ඇත්තේද එපමණි.

Friday, December 3, 2010

බත් වෙනුවට බූන්දි කමු ද? දීප්ති කුමාර ගුණරත්නට නිවැරදි කිරීමක්



ඊයේ 2010-12-02 වන බ්‍රහස්පතින්දා "24වන සියවසේ භෞතිකවාදය" නම් වූ තේමාවෙන් වූ දීප්ති කුමාර ගුණරත්නගේ දේශනය අසන්නට මම ජයවර්ධන කේන්ද්‍රය වෙත ගියෙමි.

"පෙරදිග සුළං" අලුත්ම කලාපයක් සහ පෙරටුගාමී පක්ෂයේ ඉදිරි ‍වැඩපිළිවෙල පිළිබඳ වූ ඩීවීඩි තැටියක් ද ඔවුන් එම ශාලාවේ මිල දී ගැනීමට කටයුතු ‍යොදා තිබුණි.  
මෙම ඩීවීඩි තැටිය පරිගනකය ආධාරයෙන් නැරඹිය හැකි බැව් දැන ගතිමි.

"පෙරදිග සුළං" අලුත්ම කලාපය ‍මින් පෙර පළ වූ කලාපවලට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තිබුණි. එය පිටු 250කින් යුත් මධ්‍යම ප්‍රමාණයේ ග්‍රන්ථයකි. එහි මිල රුපියල් 150ක් ලෙසම පවත්වා තිබීමද සුවිශේෂි කාරණයකි.

පොතක් වශයෙන් එය සාරගර්භය. නැවත නැවතත් කියවීමට ලක් කරන්නට හදාරන්නට බොහෝ දෑ එහි අන්තර්ගතය.

මාගේ මෙම සටහන එම පෙරදිග සුළං 7 වන කලාපයේ 99 වන පිටුවේ සඳහන් කරුණක් අරභයා කිසියම් නිවැරදි කිරීමක් කිරීමේ අභිලාෂයෙනි.
99 වන පිටුවේ උපමාතෘකාවක් මෙසේ දැක්වෙයි.

උපු‍ටා දැක්වීම ආරම්භය.

බත් වෙනුවට බූන්දි කමු ද?

හේතුව එය යොදා වැඩක් නැති ක්ෂේත්‍රවලට එනම් ආත්මය ලෝකය දෙවියන් වැනි දෑ යෙදූ විට අප ගමන් කරන්නේ මායාවන් දෙසටය.කෙනෙකු මිනිසාට ආත්මයක් යනුවෙන් සාරාර්ථයක් පවතින්නේ යැයි සිතා එය ඔප්පු කිරීමට ගිය හොත් සිදු වන්නේ කුමක් ද? මේ මෑතක දී වෙබ් අඩවියක ඩේවිඩ් ලින්ච්ගේ චිත්‍රපටයක් ගැන පරිවර්තනයක් පළ වූ අතර එය කියවූ පාඨකයෙක් පරිවර්තකයා ගෙන් මෙසේ අසා තිබුණි.

"මේ ගැන දීප්ති මොනව හරි ලියල තියෙනවද? එහෙනම් ඒ ඒ කොතන ද? "

මින් දැඩිලෙස ප්‍රකෝප වූ පරිවර්තකයාගේ උත්තරය මෙවැනිය.

"මට පේන විදියට දීප්ති ගැන භක්තියක් තියෙන චෑං චූං කෙනෙක් ඔයා. දීප්ති මනෝවිශ්ලේෂණය හැමදෙනාටම යොදනව. හැබැයි එයා කිසිදවසක එයාගේ ස්වාත්මය විශ්ලේෂණය කරන්න මනෝවිශ්ලේෂණය යොදා ගන්නේ නැහැ."

මේ පරිවර්තකයා නොදන්නේ මනෝවිශ්ලේෂණයට අනුව ස්වාත්මය කියා දෙයක් නොමැති බවය. ලංකාවේ ලින්ච් පරිවර්තකයන් සමීප වන්නේ ලින්ච්ගේම ප්‍රබන්ධ චරිතයක් වූ බොබී පේරුටයි. බොබී පේරු යනු ඔබගේ ෆැන්ටසිය අවුස්සා එය හෙළිදරව් කර "පස්සේ හැමනෙමු-දැන් බැහැ" කියන වර්ගයේ චරිතයකි.

උපු‍ටා දැක්වීම අවසානය.

මෙම සඳහන් කිරීමේ දී දීප්ති විසින් කරන ලද උපකල්පනය නම් එම ලිපියේ ප්‍රශ්න ඇසූ අයට පිළිතුරු සපයා ඇත්තේ එහි පරිවර්තක වන මා විසින් යැයි කියාය. මෙය සාවද්‍ය නිගමනයකි. මා එම ලිපිය පරිවර්තනය කර බූන්දි වෙබ් අඩවියේ පළකරන්නට එහි වැඩ දෙපාර්තුමේන්තුවට යොමු කළ පසු කිසිදු ආකාරයක අතරමැදි වීමකට යොමු වූයේ නැත. කොටින්ම පළමු ප්‍රතිචාරයෙන් දුර්මුඛ වූ මා හට එහි දෙවන කොටස පළ කිරීමට පවා උනන්දුව ගිලිහී යන්නට තරම් විය.

නැවතත් අවධාරණය කළ යුත්තේ මවිසින් 2010-03-25 වන දින බූන්දි වෙබ් අඩවියේ පළ කළ ලොස්ට් හයිවේ වෙත-ලින්ච් සහ ලැකාන්: සිනමාව සහ සංස්කෘතික ව්‍යාධිවේදය හරහා [1] යන පරිවර්තන ලිපියට පහත දක්වා ඇති ප්‍රතිචාර ලැබී තිබුණු බවත් මෙම ප්‍රතිචාර කිසිවකටත් මාගේ සම්බන්ධයක් නැති බවත්ය. එම ලිපියේ පරිවර්තක ලෙස මා එම බාහිර පුද්ගලයන් නැගූ කිසිදු ප්‍රතිචාරයක් උදෙසා පිළිතුරු බැන්දේ නැත.

[A. Amarasekara] මෙහෙම කියනවා :
@green sun
where has deepthi kumara gunarathna written on this film? can you give me the reference pls.

@dosan
I dont find any problem with your translation. all these are nonsense. green sun looks to be a "චෑං චූං" who has a faith on DKG. DKG applies psycho-analysis on all others. but ridiculously he never examines his own soul.

කිවුව වෙලාව- 2010-04-05 22:11:44

[green sun] මෙහෙම කියනවා :
Deepthi kata puka dunnama moakda...mama kiyanne mama kiwe oya film eka gana leyala thiyena Deepthige Article eka kiyawanna kiyala.......hamogema puka nathiwela enna rate Deepthi puka depuhama mokadda thiyena prassne....
කිවුව වෙලාව- 2010-04-03 01:49:40

[Pathum Senanayake] මෙහෙම කියනවා :
Deepthita Baninna Deyak Deepthi Methana Karala Nane.
Eya Me Issue Ekata Kisima Sambandayak Nane.
Ai Eyata Baninne?
කිවුව වෙලාව- 2010-03-31 23:26:42

[Anno] මෙහෙම කියනවා :
@green sun
oya deepthita puka denna kalin apita kiyanawada deepthi dan me dawaswala katada puka denne kiyala?
mangalatada? ruwantada? raniltada?
කිවුව වෙලාව- 2010-03-29 23:16:27

[Pathum Senanayake] මෙහෙම කියනවා :
green sun Deepthige Mona Article Ekada Kiyawanna Ona
කිවුව වෙලාව- 2010-03-29 01:19:54

[ කුන්දේරා] මෙහෙම කියනවා :
''මහලු මළවුන් තරුණ මළවුන්ට ඉඩ දිය යුතුය.''
කිවුව වෙලාව- 2010-03-28 00:23:18

[green sun] මෙහෙම කියනවා :
translat eka anthimai....Deepthige Article tikak kiyawanna....ethakota wede goda daganna puluwan wi.....
කිවුව වෙලාව- 2010-03-26 06:29:43

මෙම කාරණය මා දීප්තිගේ දේශනය අවසානයේ වූ කෙටි පිළිසඳරේ දී ඔහුට පැහැදිලි කර දුන් අතර මෙම සාවද්‍ය නිගමනය මතු යම් දවසක නිවැරදි කරණු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

Saturday, November 6, 2010

"වෙනස් වෙමු" උපත සහ "බූන්දිය"

අද උදෑසනම කවි පොතකුත් කවියකුත් රැගෙන මා වෙත ආවේ බන්දුල පියන්කාරගේ සහෘදයාය. මේ දෙකම දැකුම මගේ විඩාබර ඇස් දෙකට ඈත තරු දෙස ඝණ අඳුරු රැයක හෙළු බැල්මක මෙන්ම සිහිලක් ද සියුම් උණුසුමක් ද ගෙන දුන්නේ ය.

බන්දුලගේ කවියේ අත්පිටපත මා ලද්දෙන් එයම මෙහි බහාලන්නට උත්සුක වූයෙමි.


කැළණි මැර වරුන!


ගණංකාරයෝය!
දෙදෙනාම
සිල්වාවරුය!
ආචාර්යවරුය!
ගණිතාචාර්ය -මැර ආචාර්ය
දෙදෙනාම කඩේ යන්නේ
අපේ රජ්ජුරුවන්ටමය!
එකෙකු සරසවිය තුළ
අනෙකා ඉන් පිටත
ඇතුළත පිටත
වෙනස්කම් -සීමා මායිම්
බොඳ කරනු ලැබ ඇත


නේපියර් -පෛතගරස්
ඉයුක්ලිඩ්
තුම්මුල්ලේ පද්මේ
මරදානෙ චොප්පේ
එන්න
අලුතින් ඉගෙන ගන්න
ගණිතයෙ මැරකම ද
මැරකමේ ගණිතය ද


පියන්කාරගේ බන්දුල ජයවීර
2010/11/01


ඔහු ‍රැගෙන ආ කවි පොත "වෙනස් වෙමු" කවයේ "අකුරු ඔබ දෙස බලා සිටී" ය.




මේ කෘතියේ නිමාව, ආකෘතිය මෙන්ම එහි ග්‍රන්ථ නාමය මට සිහි කළේ 2008 වසරේ බූන්දියේ එකල අපි බොහෝ වැර වෑයමින් පළ කළ "අක්ෂර සෙනග" සාමුහික කවි පොතයි.

එම සොඳුරු ශ්‍රමයේ අතීත නටබුන් කීපයක් මෙලෙස සටහන් කළ මැනවැයි මගේ සිත ඇණවුම් කෙළෙන් මේ සටහන් එම "අක්ෂර සෙනග" කෘතියෙන් උපුටා දක්වමි.

"අක්ෂර සෙනග- බූන්දි විඳීම් සංග්‍රහය" මෙලෙස අරුත් ගන්වා තිබුණි.

අක්ෂර සෙනග නමින් ඔබ අතට පත් වන මේ කෘතිය එහි නමින්ම හැඟවෙන පරිදි අකුරු විශ්වාස කරන වඩා යහපත් ලොවක් බිහි කර ගැනීම වෙනුවෙන් අකුරු අවි මෙන් යොදා ගත යුතු බව අදහන මිනිස් සමූහයක සාමුහික ප්‍රයත්නයකි.අක්ෂර‍ සෙනග හුදු නිර්මාණ සංග්‍රහයක් නොව අප හඳුනා ගත් අරමුණු සමාජගත කිරීමේ වෑයමකි.

අක්ෂර සෙනග නිර්මාණ සංග්‍රහය මෙලෙස පිදුම් කොට තිබුණේය.

"වැලිපිල්ලේ -සෙල් ලිපියේ සිට ගල් ලෑල්ල -හෝඩිපොත පසුකොට පරිගනක තිරය දක්වා සිතුවිලි අකුරු කරන, අනෙකා වෙනුවෙන් ලියන විඳින විඳවන අකුරු විශ්වාස කරන ඔබට ආදරයෙන්."

බූන්දිය පෙරවදනක් මෙලෙස ලියා තිබුණේය. එහි කොටසක් මෙහි උපුටමි.

බූන්දි සඟරාවකි! හරියටම කිවුවොත් සයිබර් සඟරාවකි. එය අච්චු ගසන්නේත් බෙදා හරින්නේත් අන්තර්ජාල අවකාශයේය. කවි කෙටිකතා ලිපි සහ සාහිත්‍ය කලා'ශ්‍රිත බොහෝ දෑ බූන්දිය සමග ඊ තැපැල් පෙට්ටියෙන් පෙට්ටියට හුවමාරු වෙයි. බූන්දිය බෙදා හැරීම සාමූහික වැඩකි. "මිතුරන් අතරේ බෝ කරන්නැ"යි අප කරන ඉල්ලීමට ප්‍රතිචාර දක්වන බූන්දියේ පාඨකයෝ කියවීමෙන් පසු එය තම තමන්ගේ මිතුරු මිතුරියන්ට යවති. එනිසා බූන්දිය ඇමීබාකාරව ගුණනය වෙමින් ලාංකික පරිශීලකයන් සොයා යයි‍.


මාධ්‍ය මගින් පිදුරු සහ පුනක්කු ගිල්ලවා පිටට තට්ටුවක් දැමීම ප්‍රකෘතිය ලෙස වැරදියට තේරුම් ගත් අවකාශයක අපි "පිදුරු" වෙනුවට "බූන්දි" කෑම යෝජනා කරන්නෙමු. බූන්දිය "බොඩි බිල්ඩිං කිරීම" වෙනුවට "ඔළු බිල්ඩිං කිරීම "යෝජනා කරයි. "ආමාෂය" වෙනුවට "හදවත" විශාලනය කරගැනීම යෝජනා කරයි. මීඩියා පඹයන්ට සහ වෙළඳ ඒජන්තයන්ට එදිරිව සිතුවිලි අකුරුවලට අමුණන අකුරු විශ්වාස කරන ලියන්නන් උත්කර්ෂයට නංවයි.


ලිවීම යනු තමන්ගේ ආත්මය කිති කවා ගැනීමට කරන වැඩක් නොව අරමුණු සහගතව කරන කිසිවක් බව බූන්දිය විශ්වාස කරයි. "සෙට් වීම" යන ජනප්‍රියවාදී වදනින් හැඟවෙන සහෝදරත්වය සහ සාමුහිකත්වය බූන්දිය ඉදිරියට තල්ලු කරන අධි බලැති එංජිමයි! එය "බදාගෙන කෑම" වෙනුවට "බෙදාගෙන කෑම" දිරි ගන්වයි. බූන්දිය කිසිදු මූල්‍යමය අරමුණක් හෝ මුදල් බවට පෙරළිය හැකි සංකේත වටිනාකම් බිහිකර ගැනීමේ අරමුණක් සහිතව පවත්වාගෙන යන සඟරාවක් නොවේ. අප උපයන අතිරික්ත වටිනාකම බූන්දිය සමග එක් වීමෙන් ඔබ අත අතර ඇති වෙන සුහද බවයි. එය ද අපේ සාමුහික අරමුණු ඉටු කර ගැනීම සඳහා නැවත නැවතත් ආයෝජනය කෙරේ.


"සාහිත්‍ය සේවනය" යනු දූවිලි බැඳනු ඕල්ඩ් ෆැෂන් වැඩක් නොව වින්දනාත්මක වැඩක් බවට පොදු සමාජ පිළිගැනීමක් බිහි විය යුතු බවත් එය පුද්ගල ස්වයංවින්දන සීමාවෙන් එළියට ගෙන මානව ප්‍රගමනයට යොදා ගත යුතු වැඩක් බවත් බූන්දිය විශ්වාස කරයි. ඒ සඳහා නව මං සෙවීම අපේ අරමුණයි.

උපුටා ගැනීම එතැනින් අවසන් කළ ද මේ ආකාරයෙන් බූන්දියේ අතිමහත් සමාජගත බලාපොරොත්තු මිටින් ගෙන "අක්ෂර සෙනග" කෘතියේ උත්පාතයත් මෙම පෙරවදනේ ඉතිරි කොටස හරහා දිග හැරෙයි. මේ 2008 වසරේ සැප්තැම්බරයේ බූන්දියේ ආස්ථානය යි.

2009 වර්ෂයේ දී බූන්දිය අලුත් කවි පොත් 6ක් එළිදැක්වීය.

ඒ තරුණ කවි කිවිඳියන්ගේ කුළුඳුල් නිර්මාණ මෙන්ම එසේ නොවන නිර්මාණ සංග්‍රහයක් ද ව‍ශයෙනි.

නිරෝධා තුෂාරි නානායක්කාරගේ "රිදී මුතු ඇටය සහ රත්තරන් හදවත"
උපුල් සේනාධිරිගේ ගේ "සියොතුනට එනු පිණිස"
ඩී එම් ටිම්රාන් කීර්ති ගේ "සාදය සූදානම්ය"
ශක්තික සත්කුමාරගේ "වෙඩි වැදුණ පන්හිඳ"
ඉසුරු ප්‍රසංග ගේ "පරාග"
රෝහණ පොතුලියද්දගේ "අහස හැඩි වී ඇත"

මේ කෘති 6ම බූන්දි ප්‍රකාශන වශයෙන් 2009 සැප්තැම්බරයේ සරල සංස්කෘතික සහ ප්‍රසාංගික උත්සවයකින් කලඑළි දැක්විණි.

රෝහණ පොතුලියද්ද පළ කළ "අහස හැඩි වී ඇත" කාව්‍ය සංග්‍රහය කේන්ද්‍ර කරගෙන "වෙනස් වෙමු" කවයේ ප්‍රථම සාකච්ඡා වැඩමුළුව කොළඹ පූර්වාරාම පන්සලේ ඇරඹුණ බැව් අපි සියල්ලන් දැන සිටියෙමු. පසුගිය සතියේ 2010-10-28 බ්‍රහස්පතින්දා දිවයින පුවත්පතේ වටමඩලට සංවාදගත වන කැළුම් සහ සම්පත් ඔවුන්ගේ "වෙනස් වෙමු" කවයේ ඉතිහාසය සඳහන් කරද්දී ඒ බැව් සඳහන් කර තිබීම "එකල බූන්දියේ අපි" අතර සිටි මා හටද සියුම් සතුටක් ඇති කළ බැව් මෙහි සටහන් කළ යුතුය.

දිවයින පුවත් පතේ සංවාද සටහනේ ආකාරයට "වෙනස් වෙමු" කවය විසින් පුරවා දමන ලද අලුත් හිස් අවකාශයක් පිළිබඳ හැඟවුම හිතා මතා බූන්දිය විසින් එතුවක් කරගෙන ආ කවිය අරභයා වූ මැදිහත් වීම අමතක කර දැමීමක් මෙන්ම එය යට ගසා දැමීමක් බැව් ද කනගාටුවෙන් මෙහි සටහන් කරමි. එනමුත් ඒ ලෙසින් ඉතිහාසය විකෘති කළ ද බූන්දියේ පූර්වජයෙකු ලෙස එහි කිසියම් අල්ප කටයුතු ප්‍රමාණයකට දායක වූ මා හට මෙහිදී නිහඩව සිටිය නොහැකි බැවිනි මේ මතු කිරීම.

කෙසේ වුවද "වෙනස් වෙමු" කවයේ කටයුතු මගේ අතිශය සතුටට හේතු වන අතර ඔවුන් විසින් වඩාත් නිරවුල් ලෙස තම ඉතිහාසය නැවත ප්‍රතිස්ථාපනය කර ගැනුම එම ව්‍යාපෘතියේ යහ කල් පැවැත්මට ආශිර්වාදයක් වනු ඇත.

කෙසේ කවරක් කා අතින් ගිලිහී ගියද, අමතක වුවද, නව කවියේ උන්නතිය වෙනුවෙන් දහඩිය- ශ්‍රමය-ශ්‍රමයෙන් ඉපයූ මුදල් -ජීවිතය වැය කළ "වෙනස් වෙමු" කවයේ සහෘදයන්ට මගේ හෘදයංගම ප්‍රණාමය පුද කරමි. ඒ ගැන මෙනෙහි කර සියුම් සතුටක් අත් විඳිමි.

රෝහණ පොතුලියද්දගේ කවි පොත ප්‍රකාශයට පත් කරමින් එකල බූන්දිය විසින් කළ එම දැල්වීම නොවන්නට "වෙනස් වෙමු" කවය ලාංකීය පොළවේ ප්‍රාදූර්භූත වීම කල්පමා වන්නට ද ඉඩ තිබුණු හෙයිනි, ඒ සියුම් සතුට.