Showing posts with label ජනක මහබෙල්ලන. Show all posts
Showing posts with label ජනක මහබෙල්ලන. Show all posts

Saturday, May 22, 2010

බන්දුල ජයවීර 'තෝරාගත් කෘති' නිර්මාණ සංග්‍රහය




මා මිතුරු කිවි, පියන්කාරගේ බන්දුල ජයවීරයන් අනේක දුක් ගැහැට විඳ 'කවි පොතක්' පළ කොට ඇත. ඔහු අද මා හමුවන්නට පැමිණියේ ඔහුගේ 'අතීතකාමයෙන්' පසු මුද්‍රණද්වාරයෙන් පිට වූ 'තෝරාගත් කෘති' නම් වූ සිය නිර්මාණ සංග්‍රහයද සමගිනි.



2006 වසරේ සිට 'ගොඩගේ කාව්‍ය සහ ගීත ව්‍යාපෘතියේ' ප්‍රකාශනය සඳහා ගොඩගේ ව්‍යාපෘතිය විසින් තෝරාගත් මේ කෘතිය, ඉන් පසුව පොතක් ලෙස එලිදක්වන්නට වසර හතරක් ගත වූයේ මන්දැයි මම නොදනිමි. ඔහු ද එය තත්වාකාරයෙන් නොදනී. එනමුත් දැං එය පොත් රාක්කවලට පැමිණ ඇතිවා විය යුතුය. කෙසේ වුවත් කිසිදා පරණ නොවන කවි සැමදා සියතින් අකුරු ඇමිණෙන බන්දුලගේ සුරත මම සිප ගනිමි.

ඔහුගේ නිර්මාණ දිවියට සුභ පතමි!

මේ කෙටි සටහන ඔහුගේ 'තොරාගත් කෘති' ගැන විචාරයක් ලිවීමේ අදහසකින් නොවේ. ඔබ සියල්ලන්ට ද ඔහුගේ කවි පොත ඔහු වෙනුවෙන් මා දෝතින් පුදන්නටය.
කවිපොතේ අන්තර්ගතය යුග යුග වලට බෙදී ඇත. පිකාසෝගේ චිත්‍ර යුගවලට බෙදුවා සේම නිල් යුගය, රෝස යුගය හෝ ඝණික යුගයාකාරයෙන් බන්දුලගේ කවිද අතීතකාමී,පශ්චාත් අතීතකාමී,පශ්චාත් නූතන, පශ්චාත්- පශ්චාත් නූතන යනාදි වශයෙන් උත්ප්‍රාසවත් ආකාරයකින් බෙදා වෙන්කොට ඇත. එම යුග නිරූපණය වන කවි කිහිපයක් උපුටා දක්වමි.

අතීතකාමී යුගය- හත්වැනි කවිය-දහඅට පිටුව

මාළුවා වෙතටයි

ම නො කා මග හරින්නේ නම්
මාව කාපන් මාළුවෝ
නිරාහාරව මළත් දියඹෙන්
යන සිතක් නැත මාළුවෝ

දුකින් මළ මනු හද මාංශය
රස බලාපන් මාළුවෝ
මිතුරු රෑනක් එක්ක ඇවිදින්
මාව කාපන් මාළුවෝ

ඇමත් කාගෙන මාත් ඇදගෙන
මූදු පත්ලට මාළුවෝ
ගියත් නුඹ නම් අත් හරින්නට
හිතෙන්නෑමයි මාළුවෝ

සටහන: 'මහල්ලා සහ මුහුද' ලියා මගේ අන්තවාදී ප්‍රේම සිහිනයට දිරිය හා සවිය දුන් අර්නස්ට් හෙමිංවේ ස්තුතියි!

පශ්චාත් අතීතකාමී යුගය-දහනවය කවිය-තිස්හතර පිටුව

පෙම් පිම්ම

ඳ මත
ආම්ස්ට්‍රෝං තැබුවේ
දෙපය යි!
මා තැබුවේ
දෙතොලයි!!


සිරකරුගේ කවිය!

ක්මනට සෙනසුරාදා එන්න!
සතියේ දවස් නීරසයි එන්න!!
කන්තෝරු හිරගෙදර දුක් විඳින
සිතට සිහිලසක් අරගෙන එන්න

ජීවිතය පැය අටක් නො වන වග
දින දෙකක් දිවි ගෙවා දැනගන්න
රළු කටුක දවස් පහ විසුණු කර
ඇවිත් යන්නට වුණත් ඔබ එන්න

දූපතක ගෙවී යනමුත් දවස
ජිවිතය මහාද්වීපයක් බව
හතරවට මූදු වෙරළෙන් එපිට
ලෝකයක් තිබෙන බව දත යුතුය

පඩියකින් පඩියකට පනින විට
හැමදා ම කොන්ද කැඩුණැයි හඩන
ණය බරින් පෙළෙන දිවි ගිම් නිවන
මෙඟක් කොහි හෝ තිබිය යුතු නොවෙද?

සඳුදාට ඇස් අරින උදෑසන
ගෙවූ දෙ දින සිහිනයක් දැයි හඟින
දින පහක් විය ගඟට ගෙල පුදන
දෙපා-අම්බරු සකිය! පිබිදෙන්න!!

පශ්චාත් නූතන යුගය-විසිහත කවිය-හතලිස් අට පිටුව

පටු වචන හා විසල් ජීවිතය

ලොකු පුතා
'ලොකු පුතා' වූයේ
පොඩි පුතා
ඉපදුණ පසුවයි
පොඩි පුතා
'පොඩි පුතා' වූයේ
ලොකු පුතා
එවකටත්
ඉපැදී සිටි නිසයි
උපතින්ම කිසිවෙකුත්
ලොකු නොවී
පොඩිත් නොවී!
වදන් ලෝකය
මිනිස් සිරුරත
‍යොදන බලයෙන්
එහා ඇත්තේ
වචනයෙන්
ලියා හෝ කියා
අවසන් නො වෙන
සැබෑ ආදරයයි
සැබෑ ජීවිතයයි
ආදරය වචනයකි
වචනයට වැඩි යමකි!
හැඟුම් ලෝකය
වචනයට ගෙනා සැණ
ජීවිතය (ආදරය)
කූඩුවක සිරවෙයි



පශ්චාත් පශ්චාත් නූතන යුගය-විසිඅට කවිය-පනහ පිටුව

හිස්ටීරියාවෙන් සයිකෝසියාවට

මාක්ස්, එංගල්ස්
ෆ්‍රොයිඩ්, ෆූකෝ
ලකාන්, ඩෙරීඩා
කොටා දියකර
බී, එයින් මත් වී
වනා කගපත හතරතේ
'පිටිය සුද්ධයි'
(Ground Clear)
කියා තුටු වී
කුටියකට වැද...

"මමයි ලෝකය
මම වගේ වෙනු!
සකල සාහිත
කලා ලෝකය
මගේ අණසක
අනුව යා යුතු!"
(ට්‍රොට්ස්කි ගැන අමතක වුණාව ද)
ඈත නොම වූ
දිනෙක "දහසක්
මල් පිපේවයි
මත ගැටේවයි"


කියූ මුවගින්
"එක ම මල මම"
කියා මළ පැන!
වහසි දොඩනා
කුටියකට වැද
ස්වයං වින්දනයේ
වුණේ කිම්දැයි
අසන ලොව වෙත
බුරා පැන
පිළිතුරු දෙමින්
"මට වුණේ කිම්දැයි
‍දැනගන්ට තොපි
සතුටු නම්...
මා සොයාගෙන
මාගේ ගෙදරට
තොපි වරෙව්
(මෙන්න ලිපිනය)
මගේ අභිමානය
එයයි!"

"පෙම් ලොව දී දුටු ඔහු ම ද මේ!
ඔහුට ද මා අන්ධ වු‍ණේ!!"

'හිස්ටීරියාවෙන් සයිකෝසියාවට' කවිය ගැන කෙටි‍ සටහනක් තැබිය යුතුමය. මට මෙය කියවූ ගමන් දැනුනේ 'ඇල්ජීරීයාවෙන් ආසියාවට' වැනි හැඟුමකි. ජනක මහබෙල්ලන මෙන්ම බන්දුල ජයවීරද දීප්ති කුමාර ගුණරත්නට කවියකින් ඇන දමා ඇති බව පෙනේ. ඔවුන්ගේ කෘති තුල එක කවියක් දීප්ති වෙනුවෙන් වෙන්වීම දැන් දැන් සම්ප්‍රදායක් බවට පත් වී ඇතැයි මට සිතේ.


Sunday, March 21, 2010

ජනක මහබෙල්ලනගේ "රංචු"

ජනක මහබෙල්ලනගේ සංයුක්ත කවියක් කියවන්න ලැබුනා ඔහුගේ අලුත්ම කවි පොතෙන්. ඒ "කම්මුල් පහර" (2009) කවි/සංයුක්ත කවි පොතයි.

මෙහි මා අවධානය යොමු කළ සංයුක්ත කවිය "රංචු".


මේ නිරූපනය වන්නේ මිනිස් වර්ගයා රංචු ගැසෙන ආකාරයයි. සමහර රංචු විශාලය. කේන්ද්‍රීය ය. තවත් සමහර රංචු ක්ෂුද්‍රය. විසිරී ඇත. එක් තැනක "ර" කේන්ද්‍ර වද්දී තවත් තැනක "ං" කේන්ද්‍ර වන අතර තවත් තැනක කේන්ද්‍රය වන්නේ "චු" යන්නයි. මේ සියල්ල හඟවන්නේ විවිධ කේන්ද්‍රයන් පවා එකිනෙකින් වෙනස් බවය.

සමස්ත රංචු ද මොකද්දෝ දෙයකට කේන්ද්‍රීය බව සංයුක්ත කවියෙන් මට පෙනෙයි. ඒ හරියට සූර්යා කේන්ද්‍ර කර ගත් ග්‍රහ රංචුව තවත් එවැනිම පද්ධතියක් වූ ගැලැක්සියේ තවත් දේ සමග රංචු ගසමින් එම ගැලැක්සි ද තවත් ඊට වඩා අති විශාල වූ පද්ධතියක කුඩා කොටස් බවට පත්වී ඒ තුල රංචු ගැසීමද යනාදී වශයෙන් එකිනෙක තුල වඩ වඩාත් කුඩා වෙමින් රංචු ගැසී ඉන්නා සෙයකි.

දෙවනුව මා පෙළ ගස්වා ඇත්තේ අද උදෑසන ගෙදර බිත්තියක කූඹින් රංචු ගැසී සිටිනා අකාරය ය. එය මිනිස් රංචු ගැසීම සංකේතිකරණය වූ අයුරට වඩා වෙනස් අයුරකින් සිදු වී ඇති බව බැලු බැල්මට ‍මට පෙනුනි. මන්ද යත් ඔවුන් රංචු ගැසී සිටියේ ඔවුනගේ පොදු ගමන් පථය දිගට කුඩා කණ්ඩායම් වශයෙනි. හරියටම ගංගාධාරයක මිනිස් ශිෂ්ටාචාරය ගොඩ නැගී තිබූ පරිද්දෙන්ම ඔවුන් සිය ගමන් මග දිගේ තැන් තැන්වල ජනපද ආකාර වූ කුඩා රංචු ගැසීම්වල ට යොමු වී තිබුනි.

මහබෙල්ලන ගේ සංකල්පීය මිනිස් රංචු ගැසීමේ ස්වරූපයත් සැබෑ ලොව කුහුඹුවන්ගේ යථාර්ථවත් රංචු ගැසී‍මත් එක තැන් කොට මා තබන්නේ එය එකිනෙක කඩා බිඳ ගන්නා සැටි මට දැනෙන්නා‍ සේම හෝ ඊට ප්‍රතිපක්ශ ලෙස හෝ ඔබට ද දැනෙන්නට යැයි විශ්වාස කරමි.

කූඹින් රේඛීයව ගමන් කරති. අක්වක් මගක වුව ඔවුන් එකිනෙකා අනුගමනය කරති. රංචු සංයුක්ත කවියෙ නිරූපිත සංකල්පීය -සංකේතීය රංචු ඊට ප්‍රතිපක්ෂව කිසියම් එකෙකු වෙත කේන්ද්‍රීය වෙති. මෙවැනි කේන්ද්‍රයෝද විවිධ සාන්ද්‍රණ තුල විවිධ දුරින් පිහිටයි. මිනිසාගේ භෞතික පිහිටුම් මෙන්ම ඔවුන්ගේ අධ්‍යාත්මික පිහිටුම් ද එකිනෙකින් කේන්ද්‍රීය ව වෙනස් වෙයි. රංචු සංයුක්ත කවිය මේ බොහෝ දෑ මතුපිටට ගෙන එන්නට තැත් දරයි.

කම්මුල් පහර නම් දී ඇත්තේ දීප්ති කුමාර ගුණරත්නට යැයි මට සිතේ. ඒ කවි පොතේ පස්වැනි කවියෙනි. බෙල්ලන සහ දීප්ති ඔවුනොවුන් එකිනෙකාගේ පඨිත තුල සටන් කරගන්නා අයුරු අපට අරුමයක් නොවේ. මේ සටන් වලින් අපට යමක් ශේෂ වෙමින් පවතින බව පමණක් මෙහි සටහන් කරනු කැමැ‍ත්තෙමි.


ප.ලි.
සාකච්ඡා කළ යුතු තවත් අතිශය වැදගත් සංයුක්ත කවි රාශියක් අජිත් තිලකසේනගේ "රැලි සුලි" (1991) සංයුක්ත කවි පොතේ වෙයි.