Tuesday, December 15, 2009

වානිජ කලාකරුවනි


වානිජ කලාකරුවනි

නුඹලා වානිජ කලාවේ නියුතු වූවෝ වෙති
කතෘභාගයෙන් ජීවත් වන්නාහු වෙති
ප්‍රතිභාව විකුණා කමින් ඉන්නාහු වෙති
පාලකයන්ගේ දෙපතුල් සිප ගන්නෝ වෙති

වරප්‍රසාද වෙනුවෙන් රසික ජනයා ගිලටීනයට තල්ලු කරන්නාහු වෙති
සත්‍ය වෙනුවට අසත්‍ය වර නංවා පද තනු පිහිටුවා ගායනා කරන්නාහු වෙති
සාධාරණත්වය වෙනුවට අසාධාරණත්වය සාධාරණය කරනු පිණිස ලියන්නො වෙති
සමානාත්මතාව වෙනුවට සිය කුස පුරවා යෙහෙන් කල් ඇරීමේ වෘතය රඟ දක්වන්නෝ වෙති

වැඩිපුර මිනිසුන් ලොල්‍ දේ සොයමින් ඉන්නාහු වෙති
මිනිසුන් ගේ ඥානාක්ෂිය පොට්ට කරමින් නිර්මාණයේ යෙදෙන්නාහු වෙති
‍තොපි කවර කලෙකවත් සැබෑ මිනිසුන්ට කලාවේ ආලෝකය දැල්වූවෝ නොවෙති
තොපේ නිර්ණායක අසන්නට තවමත් රසිකයන් රොද බැඳ ඇතැයි සිතන්නා වූ මුග්ධයෝ වෙති

කොම්පැනිවල මොණර කොල මිටියේ ආනුභාවයෙන් ද
ඔවුන්ගේ බඩු මුට්ටු විකුණා ගත හැකි ලෙස ඉඩ කඩ පාදා දෙවන ම්ලේච්ඡ මාධ්‍ය තරගයේ
පිටපත් රච‍කයෝ වෙති‍
ජනතාව සදාකල්හිම අඥානයන් කිරීමේ කොන්ත්‍රාත්තුව විහින් පවරා ගත්තවුන් වෙති

තොපේ ප්‍රතිභාවේ ආනුශංසයෙන් බාල කිරිපිටි සහ කෑම සාමාන්‍ය මිනිසුන්ගේ ඇගේ ගැසෙති
තොපේ ප්‍රතිභාවේ ඇනවුමෙන් මිනිසුන් ලොතරැයි සූරා දෛවය සොයති
නාඩගම් කරුවන්ට වෙස් අඳිති
තොපේ ප්‍රතිභාවේ අත්‍යන්ත ඵලය මිනිසුන් වල්මත් කරන්නට පමණි
තොපේ ව්‍යාජ නිමැවුමේ රසාස්වාදයෙන් තරුණයෝ නින්දට වැදෙති
තොපේ නිරුවත් කුහක ජීවිත පුවත්පත් පිටු අතර වෛවර්ණ ඡායාරූප මත පනුවන් සේ නලියවති

තොපගේ නිර්මාණ ද
තොපගේ අනුශාසන ද
පාලක පන්තියේ මුග්ධයන්ගේ වහසි බස් අතර
දියව යනු ඇත

නුඹලා නියම ගණනට විකිණුනේ යැයි වහසි බස් බෙනෙනු ඇත

ඊ ඒ ඩෝසන් ප්‍රීති
151209

Monday, December 14, 2009

අලුත්ම අලුත් ...


අලුත්ම අලුත් ...

රැයක් ගෙවී හිරැ උදාවන
ඇසිල්ලක මට යලි උපත ලද හැක
දින සති ගෙවී වසරක් පිරිසරා
එළඹිය හැකිය නව කාල පරිච්ඡේදයකට

අලුත්ම අලුත් මිනිසෙකු ලෙසින්!

කොයි තරම් අලුත් දැයි කියතොත්

අලුත් අම්මෙක් අප්පෙක්
සහෝදරියක් සහෝදරයෙක්
ගමක් බිමක් වටපිටාවක්
යහලුවන් යෙහෙළියන්
විතරක් නොවෙයි
අලුත්ම අලුත් අතීතයක්
අලුත්ම අලුත් ඉතිහාසයක්
අලුත්ම අලුත් දැක්මක්
අලුත්ම අලුත් දර්ශනයක්

තව තියේ...

අලුත්ම අලුත් ...
පාක්ෂිකයන් නායකයන්
අනුගාමිකයන් උපදේශකයන්
පාලකයන් බලධරයන්
සතුරන් විරුද්ධ පාක්ෂිකයන්
කෙටියෙන් කියතොත්
අලුත් ආණ්ඩුවක් වුනත්!

අලුත්ම අලුත් කර ගත හැකි තරමට
ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වී ඇත

එසේ අලුත් නොවිය හැකි නම් මිනිසෙකුට
පෙරදින හමගසා ලූ ඌරකු සමග
අද දින මගුල් කෑ හැකි ක්‍රමවේදයක්
මිහි මත වෙත්දැ?

ඊ ඒ ඩෝසන් ප්‍රීති
141209

Thursday, December 3, 2009

කවුරුන් විශ්වාස විශයෙහි තබා ගන්නේ ද?


* මේ වනචරයාගේ හිස ගසා දැමීම සඳහා මාගේ කඩුව මා අතට දෙනු මැනවි සෞම්යනි

දිරියෙන් යුධ කළ ඔබ සමගින්නේ
සෙනගින් පිහිටද නොම සොයමින්නේ
තනියෙන් සටනට හැර පියෙමින්නේ
මෙබසින් ඇයි ඔහු ගෙල සිඳලන්නේ


ඔබ කියනදේ මට නොතේරෙයි සෞම්යනි
මේ සාහසිකයා පරාජය කළෙමි
ඔහු අවසන් කිරීම සඳහා
නොපමාව කඩුව දෙනු මැනවි

මේ වැදි රජට සිය සෙනග සමග
එක වරම අපව නසන්නට ඉඩ තිබුනේ නොවේද හිමියනි
එහෙත් ඔහු ඔබ සමග තනියම සටන් කළේය
ඔහු වනචරයෙකු වුවද ධෛර්යයෙන්
හා උතුම් ගුණයෙන් යුත් කෙනෙකු බව පෙනේ
ඔහු මරා දැමීම නොවටනේය හිමියනි
ඔහුට සමාව දෙනු මැනවි

[මෙය හිස්තැනකි.
කවියක හිස් තැන් තිබිය හැකිද?
නැත.
සිදුවිය හැකි බොහෝ දේ
වචන බවට පත් වූ විටෙක
කාලයා ගේ ඇවෑමෙන්
මේ හිස්තැන්ද පුරවා ලිය හැකිය. ]

කොයි වේලේ හෝ කඩුව
ඔහු අතට පත්වන්නේමය ...
ඉදින් රජතුමනි
කවුරුන් විශ්වාස විශයෙහි තබා ගන්නේ ද?

ඊ ඒ ඩෝසන් ප්රීති
031209

* මනමේ නාටකයේ වැදිරජ මෙල්ල කරගත් මනමේ කුමරුන් සිය කුමරියගෙන් කඩුව ඉල්ලා සිටි අවස්ථාවේ දෙබස් ගීතිකාවන්ගේ උපුටනයකි.

Monday, November 30, 2009

දිනෙක ඔවුන් මෙහි එනු ඇත නියතවම

THE LAST THEOREM
රාත්‍රියේ උදා වූ තරු මන්දාකිනිය
සැලි සැලී උදුල තරු එලි කැල
සිය සිය ශක්තියෙන් කල එලිය
දල්වා අත්‍යාංශුක පරමාණු සිය ලය තුල

එවා පණිවිඩ විශ්වයේ කඳ බඩ කුහර අතර
කම්පනය කර පාරාවලයික දර්පණ දැවැන්ත පොලව මත
නාභිගත කර සිසියුම් වර්ණාවලීක්ෂ පටක මත
හඩ නගයි විශ්වයේ කෙළවරක පිපිරුම් මහා පරමාණුක

හිරෝෂිමාවේ පිබිදුන සූර්ය රශ්මිය
එක‍ මොහොතක සිසාරා මුළු මහත් විශ්වය
ගලා ගිය අරුමය පාරවා විශ්ව බඩතුර
අල්ලාගෙන ඇත රශ්මිය ඈත කෙළවරක අන් අය නිසැකවම

ඔව් දිනෙක ඔවුනොවුන් මෙහි පැමිණෙනු ඇත
අසනු ඇත ඒ දිලුනු සූර්ය එලිය ගැන මිහි මත
සූර්යයෙක් නොවුනු ග්‍රහ ලෝකයක මතුපිට
කෙලෙස උපනිදැයි සූර්ය රශ්මියක් විනිවිද විශ්වය?

අපද දල්වා යෝද පාරාවලයික දර්පණ
ඇහුම්කන් දෙති විශ්වයේ කෙළවරක සිදුවන කම්පන
නැත තවමත් ඇසී මිහිපිට පමණ පුපුරා ගිය න්‍යශ්ටික අවියක කෙඳිරුම
මිනිසත් වගද නෑසූ කන්ව සිටියැකි කාලය තව කොතරම් ද?

දිනෙක ඔවුන් මෙහි එනු ඇත නියතවම
උත්තර බඳින්නට ලැහැස්ති වෙයල්ලා
මේ සියළු පිපිරුම් ගැන
එදාට!

ඊ ‍ඒ ‍ඩෝසන් ප්‍රීති
011209

ආතර් සී ක්ලාක් අවසන් වරට ලියා පළ කළ ද ලාස්ට් තියරම්[The Last Theorem] නම් වු විද්‍ය ප්‍රබන්ධය කියවීමෙන් සිත උපනි.

Saturday, November 28, 2009

මතකයක් පමණයි

අඳුර හැර අන් යමක්
සොයන්නට
බැරි තරම් ...

හැම තැනම
කටු පඳුරු
කටු කො‍හොල්
මංමුලා වැල්

නිදහසක් නැති
අදහසක් නැති
සදාකාලික
ඝණඳුරට අත වනන
දෑත්

හිරු
හිරු

මතකයක් පමණයි
ඒ සැලුනු
රුහිරු

ඩෝසන් ප්‍රීති
281109

Friday, November 13, 2009

මහා බර අඩි

මහා බර අඩි

බලහත්කාරයෙන් වුවද ලංකා
ගැබ්බර ලඳක් වී ඇත සුන්දර

මිනිස් වගට පෙම් කළ
මිනිස් දහමට ලේ හළ
මිනිස් පුතෙකු

දැවී ආලෝකය ලබා දී
අළුවලින්

ඔහු යලි තටුවක් ලබයි

රිදී හිරු රැස් අවට ඉතිරෙන
උදෑසන
උතුරු තරැවද නිසලය
උන් මේ සියල්ල ඉවසයි
මතුරන්නට වදන් නැති හෙයින්

නිහඩ බව විශ්වයම මතුරයි

පුත නුඹ අද මිනිස් සත වෙත
මහා බර අඩි තියා ගොස් ඇත

ඝාතකයා ද දූෂකයා ද
වුව නුඹ පිය
දේවත්වය ලබා අද ඇත

නුඹ නමදින්නට රහසින් ගයන ගීය
ඔහු නමදින්නට ද හඩගා ගයයි ඒ සැම

රහසේ මම
නුඹ සිප වැළඳ ගමි

ඝාතකයා ද දූෂකයා ද
දැන් දෙවියන් බැවින්


ඩෝසන් ප්‍රීති
131109


[ඉල් මහේ සැමරුම නිමිති කොට ලියැවුනකි.
]