Friday, August 26, 2011

සූරියෑවේ හන්දිය සහ සුසා

සූරියෑවේ හන්දිය…


ඔහෙත් එනවැයි යන්න
වුල්ප් උන්නැහේ ගෙ උදවිය
ආයෙමත් ඇවිදින්
නඩු අහන සියඹලා ගහ යට
පිට්ටැන්නකුත් හදාගෙන
පන්දු කෙළියට

කුරක්කන් ගානට
ඉලක්කන් දාන පෝරුව යට
ආරච්චිගේ නෑ කට්ටිය
ඕසේට කෑ කොස්සන් ගහන අපූරුව

ඒ කාලේ වාගේ නෙවෙයි
කාට නං මතකක් ඇද්ද මීගහජඳුර
ඕං දැං සූරියෑවේ හන්දිය
සෙයිලම වාගේ ලොකුවට
රෑ මද්දහන වෙනකං
ලැයිට් පන්දං පත්තු කරගෙන

සිළිඳුට වැහුනු යක් දෝසය
ගිරිස් ඇඟ පුරා ලාගෙන
පිළිකණු ගානේ යනවලු
ගෑණු බය කර කර

2011-08-26
හෂිත අබේවර්ධන

හෂිතගේ මේ කවිය මට මීගහජඳුර මතක් කළා. මවුආර ව්‍යාපෘතියේ ගත වුණු සොඳුරු කාලය යලිත් මතකයට නැගුණා. "මවු ආර" ඔලුවට එන හැම වේලෙම මතක් වෙන අනිත් සංකේතය තමයි "ඒ ඩී එස්"!

ඒ. ඩී. එස්. ගුණවර්ධන මහත්මයා. මවුආර ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ.

"ඒ ඩී එස් මහත්තයා" එහෙම නැත්නම් "වතුර මහත්තයා" දැක්කම දුරක සිටම අපි සේරම ගල්භීත වෙනවා. "ඒඩීඑස්" කියන්නේ යක්ෂයෙක් වගෙයි ඒ කාලෙ අපි හැමෝටම දැනුණේ. ඒ 1998 දී විතර...

ඒඩීඑස් මහත්මයා යක්ෂයෙක් වගේ අපට පෙණුනට එතුමා තරම් දක්ෂ- නීතිගරුක- අවංක රාජ්‍ය සේවකයෙක් ඊට පස්සේ අපට කවදාවත් මුණ ගැසුනෙ නෑ. වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ එතුමා ප්‍රසිද්ධ වෙලා හිටියෙ සත පහක් වංචා නොකරපු එකම නිලධාරියා හැටියට ඒ කාලෙත්...මේ සේරම "මීගහජඳුර" - "සූරියවැව" - "කිරිඉබ්බන් ආර" යන වචන ඔස්සේ හිතේ ඇවිලෙන මැවෙන දේවල්...

හෂිතගෙ මේ කවිය අතීත "ග්‍රීස් යකෙක්" වර්තමාන ග්‍රීස් යකෙක් දක්වා රැගෙන එනවා වගෙයි මට දැනෙන්නේ. සමාජය හරහා රගර් ක්‍රීඩයෙකු සේ මිනිසුන් පෙරලා ගෙන පැන දුවන මේ "ග්‍රීස් යක්කු" අපට බිය වන්නට යමක් සපයනවා විය හැකියි.

මංජුල වෙඩිවර්ධනගේ කවියකුත් ලැබුණා. ඒ කවියෙත් ඉන්නවා "යක්ෂයෙක්"...හැබැයි වෙනත් ආකාරෙක යක්ෂයෙක් ...ආදරය කරන්න හිතෙන ජාතියේ යක්ෂයෙක්.

සුසා

උඹෙ අතින් අල්ලගෙන
මගෙ හුස්ම බොට දෙන්න
මගෙ අත් - තටු නොවන නිසා
කිණිහිරියෙ දුක් විඳින
කවි කිරිච්චිය රැගෙන
ඇණ ගනිමි හදවතට සුසා--------

ඇහැ අගින් ඇහෙනවා අඟුළානෙ මහ මුහුද
නැහැ තුඩග දවනවා දැවෙන රොන්සුණු පුසුඹ
පැහැ “එරන්වන් පතෙක“ තෙමුණු ෆිල්ටර අඩක
පැහැය මං හොයනවා නිහඩ කවියක හඩක

කක්ෂපුට ජීවීතේ රන් තලිය ඉරි තැළුව
ලක්ෂපතියේ ඉද්දි සත පහක්වත් නැතුව
පක්ෂියෙක් සේ පියාඹා ඇවිත් බත් ඛෙදුව
“යක්ෂයා“ උඹ ය දෙවියන් පවා ගරු කෙරුව

ඈත ඇමතුම් ලැඛෙන
එනිටයිම් සෙල් එකට
වචනයක්වත් නොකිය දොසා
ට්‍රේල මත ඉඳගනියි
ඩෙඩ්ලයින් දැනදැනම
පියහඹයි තටු ලැබුණු ලෙසා
සාර සිය ගව් දුරක්
මොහොතකට හකුළන්න
කිසි දිනෙක පාර නෑ අසා
පාර වැරදුණ බවක්
කෙළෙසකින් හිතන්නද
එහෙව් වූ දෙනෙතකට සුසා

මව් පොළොව මව්වරුන්
සිටින පුතුනට ලැඛෙන
දිනක අපි පය පොළොවෙ ගසා
ඇවිද ගොස් සැනසිල්ලෙ
බදාගෙනෙ අඩනතුරු
වේදනා උහුලගමු සුසා.................

පත්තිරක ලියනු බෑ මුසා
ඇත්තටම ආදරෙයි සුසා

මංජුල වෙඩිවර්ධන
අගෝස්තු 24, 2011

පොළව පලා ගෙන මතුවෙන යක්ෂයො පින්තූරය ගත්තෙ මෙතැනින්.

Wednesday, August 24, 2011

"මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"*

"මිලි ග්‍රෑම් දහසේ
ඩොලිප්‍රෑන් පෙත්ත"*
උගුරෙන් පහල ඇදී යද්දි
ආමාෂය වෙත

මට දැනුනා
මගේ බර තුන්කාලකින් අඩු වුණු බව!

දෙපා තැබූ සේ
සඳ මත
කවුළුවෙන් එපිට අහසෙ
යම්තමින් බැබළුනු...

පෙණ කැටි දහසක්
කාබන්ඩයොක්සයිඩ්
ගොර ගොර ගා උගුරට එද්දි

සඳ වත
මා කුස තුළ
දියව ගියා...

ඔන්ලයින් ආ කිසිවෙක්
සේලයින් දිගේ ආවෙ නැති
දිගු අන්ධකාර රාත්‍රියේ

සෙත් කවි මුමුණන්නට ආ
මැලේරියා මදුරුවාට
අත දිග හැර චප්ප වෙන්න
පහරක් දී ගත නොහැකිව

ඇඳ මත දපා සිටියෙමි
සඳ ගිලගත් රාහු සේ...

නිමිත්ත
* මංජුල වෙඩිවර්ධන ලියූ "යළි නිදන්නෙමි" (ඉස්පිරිතාල සිතිවිලි) කවිය සහ අගෝස්තු මාසයේ මුල මැලේරියා සැදී එක දිගට සති දෙකක් පමණ මා විඳි අපහසුතාවය, ඒ කවිය කියවද්දී නැවතත් ආගන්තුක කෝණයකින් මතක් වීම, මේ වදන් පෙළ ලියැවෙන්නට හේතු විය.

ප.ලි.

1996 දී පමණ මා ද පෙණහළු ආශ්‍රිත අසනීපයකින් රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබද්දී කුඩා කොපි පොතක ප්‍රමාණයේ කවි වැනි දෑ ලියා තැබූ බව මට මතකය. ඒ සිතිවිලි ද මා නම් කර තිබු‍ණේ "ඉස්පිරිතාල සිතිවිලි" යැයි මට යම්තමින් මතකය. ඒ සටහන් පොත මගේ විශ්වවිද්‍යාල සහෘදයකු වන අරවින්ද සේනාධීර සතු කර ගත් බැවින් මට ඒ සටහන් පොත අහිමි විය. ඔහු ඒ කොපි පොත සුරක්ෂිතව තබා ඇතැයි වරක් විදේශයක සිට ලංකාවට නිවාඩුවකට පැමිණි කල මා හට පැවසීය.

රූප සටහන උපුටා ගැනුම

Sunday, August 21, 2011

ආලෝකය මියෙන සහ උපදින තැන

ඇස
සෙමෙන් සෙමෙන්
විවර වුණා...
ඇසි පිල්ලම් චාප ලෙසින්
එක පෙලකට ඉනි සිටවූ
කටු කම්බි වැටක සිරියෙන්
සෙමෙන් සෙමෙන්
විවර වුණා....

ඇස මතුපිට සුදු ගෝලයේ
නිල් පාටින් ඇඳි වීදුරු
අවානෙන් දිලිසි විසිරුණු
ආලෝක කැබැලි කැබැලි
දියමන්තියක හැඩපළු
මතුකර තාලෙට කැරකී

තෙතට තෙතේ
නිල් දිය පිරි නොගැඹුරු විල
සියුම් කුනීතය දිස්නෙන්
ආලෝකය හැරී ගොසින්
ආත්මයට එබෙනු පිණිස
කවුළු පියන් පත් ඇරුණා

වීදුරු රේඛා මත්තෙන්
තැනුණු මකුළු දැලක හැඩෙන්
ඇසේ කුනීතය ට යටින්
දියර කාචයේ වක් බව
හෘද ස්පන්දන කම්පනයේ
රා අනුරා දෙනු දුටුවා...

සිහින් කෙඳිති ආලෝකය
දුර ඈතක අනන්තයෙන්
සමාන්තරව කිරණ දරණ්
උඩුයටිකුරු වෙමින් නිතින්
ඇසේ අඳුරු අගාධයේ
පතුල සොයා ඇදී ගියා...

ඇස
සෙමෙන් සෙමෙන්
වැසී ගියා...
අවසන් ආලෝක දහර
යන එන මං අවහිර වී
මනසේ ඝණ සාරය වූ
සෛල පටල පටක මැද්දේ
ඝණීභූත වුණා


ග්‍රැෆික උපුටා ගැනුම ට්‍රාන්ස්පෝටර් 3 සිනමා පටයෙනි.

Thursday, August 18, 2011

ගොතික් නවකතාව අගෝස්තු 21 ඉරිදා

සිහිනය සිහිනය සිහිනෙන් කියනුව-හෂිත අබේවර්ධන

සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් විනෝද සුරපුරයක් බව
සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් විඳවන සුරපුරයක් බව
සිහිනය සිහිනය සිහිනෙන් කියනුව මේ නම් එල්ලෙන සුරපුරයක් බව
සිහිනය සිහිනය සිහිනෙන් කියනුව සිහිනය බිඳුමට ඉඩ නොලැබෙන බව

හෂිත අබේවර්ධන
18/08/2011

What follows from these precise distinctions is that, for Lacan, superego "has nothing to do with moral conscience as far as its most obligatory demands are concerned" [2]: superego is, on the contrary, the anti-ethical agency, the stigmatization of our ethical betrayal. So which one of the other two is the proper ethical agency? Should we - as some American psychoanalysts proposed, relying on a couple of Freud's ambiguous formulations - set up the "good" (rational-moderate, caring) Ego-Ideal against the "bad" (irrational-excessive, cruel, anxiety-provoking) superego, trying to lead the patient to get rid of the "bad" superego and follow the "good" Ego-Ideal? Lacan opposes this easy way out - for him, the only proper agency is the fourth one missing in Freud's list of the three, the one sometimes referred to by Lacan as "the law of desire," the agency which tells you to act in conformity with your desire. The gap between this "law of desire" and Ego-Ideal (the network of social-symbolic norms and ideal that the subject internalizes in the course of his or her education) is crucial here. For Lacan, the seemingly benevolent agency of the Ego-Ideal which leads us to moral growth and maturity, forces us to betray the "law of desire" by way of adopting the "reasonable" demands of the existing socio-symbolic order. The superego, with its excessive feeling of guilt, is merely the necessary obverse of the Ego-Ideal: it exerts its unbearable pressure upon us on behalf of our betrayal of the "law of desire." The guilt we experience under the superego pressure is not illusory but actual - "the only thing of which one can be guilty is of having given ground relative to one's desire," [3] and the superego pressure demonstrates that we effectively are guilty of betraying our desire.

මේ කවියත් පසුව දැක්වෙන ඉංග්‍රීසියෙන් ලියැවුනු කොටසත් දෙකම මට ලැබුණේ හෂිත අබේවර්ධන ගෙනි. ඒ දෙක දෙයාකාරයකට ලැබුණ ද මම ඒ යුගල එකතු කොට මෙහි රැඳෙව්වෙමි. මේ දෙවන කොටසේ දැක්වෙන ලියැවිල්ල ලැකාන් කොම් වෙබ් අඩවියේ එම ලින්ක් එකෙන් දැක්වෙන ජිජැක්ගේ ලිපියයි.

Nothing forces anyone to enjoy except the superego. The superego is the imperative of jouissance - Enjoy! Slavoj Zizek

Friday, August 5, 2011

තානාපතිවරු සහ අන්ධ බිංදුව

තානාපතිවරු සහ අන්ධ බිංදුව
[සරසවි බැල්ම සහ ක්වොන්ටම් බැල්ම]


මාතෘකාව ගැන ඉස්සෙල්ලම යමක් කියන්න ඕන. නැත්නම් ලිපියේ අන්තර්ගතය මේ මාතෘකාවට කිසිම සේවයක් කර නොමැති බැව් කාට හෝ හිතෙන්නට පුළුවන් බැවිනි. තානාපතිවරු සහ අන්ධ බිංදුව යැයි එකට හමු වන්නට සළස්වා ඇති කිසිදු සම්බන්ධයක් මතුපිටින් නොමැති සංකල්ප දෙක එකට සම්බන්ධ කිරීමට මගේ උත්සාහය පිළිබඳ ඇඟවුමක් ලෙස මෙලෙස මාතෘකාව තෝරා ඇත.

"තානාපතිවරු" නම් හෑන්ස් හෝල්බින්ගේ The Ambassadors (1533) නමින් වූ ලෝ ප්‍රකට සිතුවමයි. අන්ධ බිංදුව නම් ඇසේ දෘශ්ටිවිතානය මත පිහිටි රූප සංඥා මොළයට සම්බන්ධ කරන ස්නායු රැහැන් ඇරඹුම් ලක්ෂ්‍යය යි. එතැන ඇති සුවිශේෂත්වය නම් එම කුඩා පෙදෙසෙන් ඇසට පෙනීම නමැති සංවේදනය ඇති නොකිරීමයි. එනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එම කුඩා පෙදෙස ඇස තුළ ඇති අන්ධ පෙදෙසක් වීමයි.

හෑන්ස් හෝල්බින්ගේ ලෝ ප්‍රකට තානාපතිවරු සිතුවමේ ඇති හිස් කබලේ විරූපිතය [ANAMORPHOSIS] සිතුවම දෙස සාමාන්‍ය ලෙස බැලූ විට නොපෙනී යන දෘශ්‍ය වස්තුවකි. අප සාමාන්‍ය යෙන් සිතුවමක් දෙස බලන්නේ එයට අභිලම්බකව ඇති දෘශ්‍ය රේඛාවක ඇස තබා බැව් අප ඉතා හොඳින් දන්නා කාරණයකි. එබඳු දෘශ්‍ය රේඛාවක් හරහා අපට මෙම සිතුවමේ ඇති විරූපිත හිස් කබල අප ප්‍රත්‍යක්ෂ කරගන්නා දැක්ම නමැති ක්‍රියාවලියේ අත්දැකීමක් ලෙස දැක ගැනීමට නොහැකිය. එම විරූපිත හිස් කබල දැක ගැනීමට අපගේ දෘශ්‍ය රේඛාව වෙනත් කෝණයකට විස්ථාපනය කරන්නට සිදු වන්නේ ය. මෙම අවස්ථාව සාමාන්‍ය දෘශ්‍ය රේඛාව අතික්‍රමණය කිරීමට කරනු ලබන නියෝගයකි. පෙළඹවීමකි. මින් අදහස් වන්නේ අපට ලෝකය දැකීමට ඇත්තේ එකම දෘශ්‍ය පථයක් නොවන බවයි. සමහර විට අප එදිනෙදා දකින බොහෝ දේ තුළ පවා විරූපිතයන් සැඟව තිබෙන්නට ඉඩ ඇත. අපගේ දෘශ්‍ය රේඛාවේ සාමාන්‍ය භාවිතය හේතුවෙන් එම සැඟවුනු දෘශ්‍ය වස්තූන් අපගේ දැක්මෙන් ගිලිහී යන්නට ද ඉඩ ඇතැයි යමෙකුට සිතෙන්නට ගත්තොත් එහි ඇති වරදක් ද නොමැත්තේ යැයි පැවසිය හැකිය.

අනෙක් අතට අපගේ ඇස තුළ පිහිටා ඇති අන්ධ බිංදුව අපට සාමාන්‍ය අවස්ථාවල දී ප්‍රත්‍යක්ෂ නොවේ. එය ද අපගේ ඇස විශේෂ අවස්ථාවකට දෘශ්‍ය රේඛාව පිහිටුවා බැලූ විට පමණක් එම අන්ධ බිංදුවේ ප්‍රායෝගික ඵලය අත්දකින්නට ලැබෙන්නේය. මේ ආකාරයෙන් බාහිරින් පවතින විරූපිතයක් යළි දැක්ම තුළට ගැනීමේ ක්‍රියාවලිය මෙන්ම අප ඇස තුළ ඇති විරූපිතයක් ලෙස දැක්විය හැකි අන්ධ බිංදුව දැක්ම තුළට ගැනීමේ ක්‍රියාවලිය ද එකිනෙකට ප්‍රතිසම එමෙන්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලි දෙකක සම්බන්ධයක් ඇති බැව් දැන් පෙනී යා යුතුය.

විරූපිතයක් දෙස අප බලන්නට සුවිශේෂි ලෙස දෘශ්‍ය රේඛාව හසුරුවා ගන්නට සිදුවනවා සේම අපගේ ඇස තුළ ඇති අන්ධ බිංදුව දැක ගැනීමට ද අපට අපගේ දෘශ්‍ය රේඛාව කිසියම් සුවිශේෂි ඉලක්කයක් කරා ගෙන යාමට සිදු වේ. මේ අවස්ථා දෙකේ දී ම අප අත්දකින්නේ අපගේ දෘශ්‍ය පථයේ පවතිද්දී ද අපට ගෝචර නොවී පවතින යමක් නැවත ගෝචර වන ආකාරයකට පත් කර ගැනීමේ ක්‍රියාවලියයි.

දැන් අපට මෙම ද්විත්ව දෘශ්‍ය ක්‍රියාකාරකමේ ඇති පරස්පර සබඳතාවය පැහැදිලි වුව ද පැණයක් ඉතිරි වේ. එනම් අපගේ ඇසේ නෛසර්ගිකව පිහිටා ඇති මෙම අන්ධ බිංදුව අපට සාමාන්‍ය දෘශ්‍ය ක්‍රියාකාරිත්වය තුළ දී බාධාවක් නොවන්නේ මන්ද යන්නයි. ඊට ප්‍රධාන හේතුව අපගේ දෘශ්‍ය පද්ධතිය ද්විප්‍රකාර වූ දෘශ්‍ය සංඥා මොළයට ගෙන යන ආකාරයටත් ත්‍රිමාන ව්‍යූහයන් මනසේ ප්‍රතිනිර්මානය කර ගැන්මට උපකාරී වන ලෙසත් සකස් වී තිබීම නිසා එක ඇසකින් බාධාවන අන්ධ බිංදු කොටසේ දෘශ්‍ය ඡායා ඌණතාවය අනෙක් ඇසෙන් පිරිමසා එය සූචනය කර ගන්නට ඇවැසි දත්ත මොළය කරා නිරන්තරයෙන්ම යැවෙන බැවිනි. මේ හේතුවෙන් අපට එක ඇසක අන්ධ බිංදුවේ හිස් තැන අනෙක් ඇස විසින් අනුපූරක ලෙස පුරවා දමන බැවින් සාමාන්‍ය දෘශ්‍ය ක්‍රියාවලියේ දී ඉන් බලපෑමක් ඇති වීම වැළකී ඇත. එනමුත් එක ඇසකින් පමණක් ලෝකය දකින අයෙකුට නිරන්තරයෙන් මෙම අන්ධ බිංදුවේ හිස් තැන අත්විඳින්නට වනු නොඅනුමානය. එනම් ඔහුට නිරතුරුවම තම දෘශ්ටි පරාසයේ කිසියම් තැනක් මග හැරෙනු ඇත. එනමුත් අපගේ ඇස් නිරන්තර චලිතයේ යෙදෙන බැවින් මෙම ස්ථානය ගතික විය හැකිය. එබඳු ගතික පරාසයක අංශුමාත්‍ර ගිලිහී යාමක් තනි ඇසක් විසින් මොළයට සංඥා කරවන්නට තරම් සූක්ෂම වීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් මෙම හිස් තැන ඌණනය වන්නේ මනසේ අවිඥානික කොටසට විය යුතුය. අප නොදකින දේ දකින්නට සමත් වන්නේ අපේ අවිඥානය පමණි.

අනෙක් අතට කැමරාවකට ඇස තබා ඡායාරූපයක් ගන්නා සෑම අවස්ථාවකම එම කැමරාව ක්‍රියාත්මක කරවන්නා නොදකින යමක් කැමරා පටලය තුළ සටහන් වේ. එය නිරීක්ෂකයාගේ දෘශ්ටි පරාසයේ අන්ධ බිංදුව වුව ද කැමරාවකට අන්ධ බිංදුවක් නොමැති හෙයින් එය සවිඥානිකව ගිලිහී ගිය ලපය ඡායාරූපයේ අවිඥානිකව සටහන් වීම කැමරාකරුගේ හෝ නිරීක්ෂකයාගේ සවිඥානයට ඔබ්බෙන් තම පැවැත්ම සටහන් කරගන්නා දෙයක් බවට පත්වේ. ඡායාරූප මිනිස් සවිඥානික දෘශ්‍ය ක්‍රියාකාරිත්වයෙන් ඔබ්බේ වූ යමක් නිරතුරුව සටහන් කරන බැව් මින් ගම්‍ය වේ. එනමුත් මේ කුඩා ලපය බිංදුවක් ලෙස අප නාමකරණය කර ඇත්තේ ද එය නොසළකා හැරිය හැකි තරම් කුඩා පෙදෙසක් වීම වුව ද සත්‍ය වශයෙන්ම එය පරිමිත වර්ගඵලයක පවතින දේකි.

අපට දැන් නිරීක්ෂණය නම් වූ ක්‍රියාත්මක වීම ගැන වඩාත් ආදර්ශීය මොඩලයක් ඇත. අන්ධ බිංදුවක පැවැත්මෙන් පීඩාවට පත් වූ දෘශ්‍ය රේඛාව හැසිරවීමේ සමස්ත ක්‍රියාවලියට නිරීක්ෂණය යැයි නැවත නම් කළ හැකි නම් එම නිරීක්ෂණය විසින් අපගේ සංජානන අවකාශය විරූපනය කරත හැකිය යන්න මින් ගම්‍ය වේ. භාග්‍යයකට මෙන් මෙම විරූපණය විසින් අපගේ සවිඥානික අන්තර්ඥානයට සිදුවන බලපෑම මගහරවා ගන්නට අවිඥානික අනුපූරක ක්‍රියාදාමයක් අතරමැදි වේ. එනම් එක ඇසකින් මග හැරෙන දෙය අනෙක් ඇසෙන් වසා දැමීමයි. අපට ඇස් දෙකක් තිබීමේ අරුමය නිසාවෙන් නොවන්නට අන්ධ බිංදුව අපගේ දෘශ්‍ය විද්‍යාවේ ප්‍රමූලික රංගනයක් අත් කර ගන්නවා නිසැකය. කෙසේ වුවත් මෙම අනුපූරක ක්‍රියාදාමය දෘශ්‍ය සංජානනය පිළිබඳ ස්වාභාවික මවා පෑමක යාන්ත්‍රණයක් පමණි. අපට යමක් නිරතුරුවම දෘශ්‍ය පථයෙන් ගිලිහෙයි.

පැහැදිලි ලෙසම දෘශ්‍ය පරාසය තුළ අපගේ සංජානනය අත්කර ගත නොහැකි පරිපූර්ණත්වයක් ලෙස මෙලෙස පැහැදිලි කර ගත හැකිය. අපට කිසි විටෙකත් ඇස දකින පරිපූර්ණ චිත්‍රය මනසට ගොඩනගා ගත නොහැකිය. එහි හිදැසක් නෛසර්ගිකව පවතී. එම හිදැස පුරවා ගන්නට එදෙස බලන විට වෙනත් පෙදෙසකට එම හිදැස විතැන් වෙයි.

අපගේ සංජානන අවකාශය විරූපණය කළ හැකි ක්‍රියාවලියක එනම් නිරීක්ෂණයේ ඊටම අයත් ප්‍රතිලෝමය කුමක් විය හැකි ද? අප දේවල් දෙස බලද්දී ඒවා අප දෙස බලත් ද? නොඑසේ නම් ඒවා අපට ප්‍රතිචාර දක්වයි ද? එම ප්‍රතිචාරය අපගෙන් සඟව ගන්නා අන්ධ බිංදුව කුමක් විය හැකි ද? අප ආත්මීය ලෙස භාහිර ලෝකය නිර්වේෂණය කරන විට අපගෙන් ගිලිහෙන ආත්මීය පැල්ලම අපව වස්තුවක් ලෙස අප දෙස බලන වස්තුවක් විසින් ගිලිහෙනු ලබන එම දේම අපගේ ආත්මීයත්වයෙන් ගිලිහෙන දේ හා ප්‍රතිසම ද? කෙටියෙන් අපට ගිලිහෙන දේම අප දකින වස්තවේ දෘශ්ටි පථයෙන් අප දෙස බලද්දී ද ගිලිහෙන්නේ ද?

මේ ප්‍රශ්නාවලිය අපව කැඳවා යන පෙදෙස් නම් එක් අතකින් මනෝවිශ්ලේෂණ න්‍යාය තුළ ගොඩ නැගෙන බැල්ම [GAZE] නම් වූ සංකල්ප ක්ෂේත්‍රය සහ අනෙක් අතට මනෝ විශ්ලේෂණයට පරිබාහිරින් පවතින පදාර්ථයේ ප්‍රමූලික න්‍යාය වන ක්වොන්ටම් යාන්ත්‍රිකයේ නිරීක්ෂණය යන සංකල්පනයන් වෙතය.

එක්තරා විග්‍රහයක දී ඇසේ අන්ධ බිංදුව වනාහි දැක්ම සංවිධානය කරනු ලබන මධ්‍ය කේන්ද්‍රයයි. අන්ධ බිංදුව ජීව විද්‍යාත්මකව ඇසේ සියළු සංඥා මොළය කරා ගෙන යන ස්නායු රැහැනේ ආරම්භක ලක්ෂ්‍යය යි. එම සන්ධිය දෘශ්ටිවිතානය මත නොවන්නට කිසිදු දෘශ්‍ය සංඥාවක් මොළය කරා යාමනය නොවන්නේය. ඒ ආකාරයෙන් ගත් විට අන්ධ බිංදුව අපගේ දෘශ්ටි සංඥා සංවිධානය කොට සංවේදනය පරිපූර්ණ කිරීමේ අත්‍යාවශ්‍ය සේවාවේ පැවැත්ම තහවුරු කරන ස්ථානයයි. එනම් එම අන්ධභාවය තුළ සියලු දෘශ්‍ය සංඥා සංවිධානය වේ.

දැක්ම සංවිධානය වන ආකාරය ගැන මෙහි වැදගත් ලක්ෂණයක් ගම්‍ය වේ. එනම් එය කිසියම් හිස්තැනක් වටා ඒකරාශී වන බවයි. මෙය ජීව විද්‍යාත්මක ආරම්භක ලක්ෂ්‍ය යේ ස්වභාවය වුව ද මෙය පරිභාහිර ලෝකය අන්තර්ඥානය කරවන විට අදාල වන්නේ දැයි යන්න පැටලිලිසහගත ය.

මෙම පැටලිල්ල ලිහා ගැන්මට දෘශ්‍ය අවකාශයේ පවතින මෙම නොපෙනෙන පෙදෙස හෝ සැමවිටම දැක්මෙන් ගිලිහෙන මේ පැල්ලම තුළට තවත් ගැඹුරට කිමිදෙමු.  මෙම ඇසට අවිශය වන හෝ සවිඥානිකව මග හැරෙන ලපය හෝ දෘශ්‍ය අන්ධ වස්තුව කුමක් ද? එය දැක්ම සංවිධානය කරන්නේ කෙසේ ද?

ලැකාන්ට අනුව බැල්ම හෝ දැක්ම යනුම විශය කෙරෙන් අත්කරගත නොහැකි එනමුත් වස්තුව හෝ අනෙකා විසින් අත් කර ගන්නා වූ විශය කෙරෙහි බැල්මයි.

"the gaze becomes the object of the act of looking, or, to be more precise, the object of the scopic drive. The gaze is therefore, in Lacan’s account, no longer on the side of the subject; it is the gaze of the Other."
[page 73-An Introductory Dictionary of Lacanian Psychoanalysis]

එනම් වඩාත් නිවැරදිව තානාපතිවරු සිතුවම දෙස ඔබ බලා සිටිනා විට ඔබගෙන් ගිලිහෙන දේ විසින් ඔබව නිරීක්ෂණය කිරීමයි. එනිසාවෙන් ඔබට එම ගිලිහෙන දෙය බැලීමට වෙනත් ස්ථානයක් වෙනත් ඉරියව්වක් හෝ දෘශ්‍ය රේඛාවේ විතැන් කිරීමකට හුවමාරු වන්නට සිදුවීමෙන් වස්තුවේ අණට කීකරු වන්නට සිදු වේ. එනම් වස්තුව සමග දෘශ්‍ය රීතිමය සමපාත වීමකට තල්ලු වේ. මේ යනු ඔබ විසින් දැක්ම සංවිධානය කරගනු නොව වස්තුව විසින් හෝ නොපෙනෙන අන්ධ බිංදුවක් විසින් ඔබව සංවිධානය කරනු ලැබීමයි. බැල්ම යනු හුදෙක් බැලීමට ඔබ්බෙන් ඔබව වස්තුවේ නීති පද්ධතිය තුළට බලහත්කාරයෙන් හසුරුවා ගැනීමයි. අනෙකා යනුම මෙහි ඔබව මෙහෙයවන පද්ධතිය යි.

හුදෙක් දෙයක් දෙස බැලීම විසින් එම වස්තුව ඔබගේ පිහිටුම හෝ හැසිරුම බලහත්කාරයකට ලක්කර ගනු ලබයි. මෙහි ප්‍රතිලෝමය හමු වන්නේ ක්වොන්ටම් නිරීක්ෂණය තුළ ය. ඔබගේ දැක්ම විසින් ක්වොන්ටම් අංශුවේ පිහිටුම හෝ තත්වය තීරණය කරනු ලබන්නේ වඩාත් සංකීර්ණ සමීකරණමය අවශ්‍යතා රාශියක ප්‍රතිඵලයක් ලෙස වුව ද දැක්ම තුළ වන අනේකත්වය කෙරෙහි ඔබගේ බලපෑම ඉන් සාක්ෂාත් වේ.

මේ ආකාරයෙන් තානාපතිවරු මෙන්ම අන්ධ බිංදුවේ දැක්ම සංවිධානය ලැකානියානු භාෂාවෙන් ආශාවේ ක්ෂුද්‍ර වස්තුව හා සමපාත වීම වටහා ගත හැකිය.  ක්ෂුද්‍ර වස්තුව [OBJECT PETIT a ] සංකේතනය හසු නොවීම හේතුවෙන් නිරන්තරයෙන් අපගේ දැක්ම සංවිධානය කරනු ලබන අන්ධ බිංදුව භාෂාව තුළ අනේකත්වය තුළ සිරව ඇත.

"When the subject looks at an object, the object is always already gazing back at the subject, but from a point at which the subject cannot see it.
This split between the eye and the gaze is nothing other than the subjective division itself, expressed in the field of vision."
[page 73-An Introductory Dictionary of Lacanian Psychoanalysis]

සරසවි බැල්ම ලද්දෝ කිවියෝ වම්හයි කව්සිළුමිණේ සඳහන් වේ. මේ බැල්ම අනෙකාගේ බැල්ම නොවන්නේ නම් එය මිනිසෙකු කිවියෙකු කරන්නේ කෙසේ දැයි පැණයක් දැන් නොනැගේ.

සරසවිය බැලුමසෙක්නි වෙත්වා කිවි දෙනෝ
පෙදෙහි රසහව් විදුනා දෙනෙතා ඉතා දුලබෝ


අර්ථය: සරස්වතියගේ මඳ බැලුමෙකිනිදු ජනයා කිවිහු වෙත්වා. කාව්‍ය යෙහි රස හා භාව විඳියහැක්කාවූ අය නම් ඉතා දුර්ලභයහ.
[කව්සිළුමිණ දෙවන පැදිය]


සටහන්

Gaze:
1. Look at with fixed eyes
2. A long fixed look

ANAMORPHOSIS :
A distorted projection or perspective; especially an image distorted in such a way that it becomes visible only when viewed in a special manner. By playing with the conventions of seeing, both trompe l'oeil and anamorphosis should remind us that what you see has a great deal to do with where you are looking from.
ආශ්‍රිත ග්‍රන්ථ සහ වෙබ් අඩවි
1 An Introductory Dictionary of Lacanian Psychoanalysis
2 The Real Gaze- Film Theory after Lacan BY Todd McGowan
3 Blind Spot Test
4 Anamorphosis
5 කව්සිළුමිණ දෙවන පැදිය උපුටා ගත්තේ සුබස වෙබ් අඩවියේ පොත් ගුලෙනි.
6 Hans Holbein’s The Ambassadors (1533)

විශේෂ ස්තුතිය
පෞද්ගලික පොත් ගුලෙන් දුර බැහැරක වෙසෙමින්, සිංහල පැරණි කාව්‍ය ග්‍රන්ථ සොයා ගැනීමේ අපහසුවෙන් පීඩා විඳි මා හට එම ඇවැසි කෘති කීපයක් සොයා ගැනුමට මග පෑදුනු මුහුණු පොතේ "සුබස වෙබ් අඩවිය" පිළිබඳ ඔත්තුව තබා ලූ සමර විජේසිංහ වෙත.