1986 ජුලි 24
ඇස් වාට්ටුව පැත්තේ මාවතක කුණු බාල්දි අවුස්සන හිගන මනුස්සයා ගැනත් ගල් ගසමින් ඔහු පන්නා දමන ධනපති ගෙවල් හිමියා ගැනත් හැමදාම උදේට මගේ මිත‍්‍රයෙක් කතා කරනවා. අද උදෙත් එහෙමයි.
"ලියපල්ලා... ඔවා ගැන. එංගලන්තේ රාජ කුමාරයන්ගේ මගුල් ගැන පිටු ගණන් ලියන උඹල දුප්පත් මිනිහෙක් ගැන ලියන්න අදිමදි කරනවා."
හැමදාමත් ඔහු බැණ වදින්නේ ඒ අන්දමටයි. ඔහුගේ කතාව ඇත්ත. ඒත් වෙලාවකට හිතෙනව දුප්පතුන් ගැන ලියලම වැඩක් නැහැ කියලා. අඩ නිරුවත් හිගන මිනිසෙකුට අඳින්න වස්ත‍්‍රයක් නොදී ගල් ගසමින් පන්නන පාහරයින් ගැන එක වැකියක් ලියුවත් පෑනෙ තින්ත ටිකත් අපරාදෙ. මෙය සාප ලද්දවුන්ගේ දූපතයි. මෙය කඳුළු සලන්නන්ගේ දූපතයි. අයුක්තියට හා අසාධාරණයට එරෙහිව නැගී නොසිටින්නෝ සාප ලද්දෝ වෙති. හැම දෙයක්ම දෛවයට බාර දී කඳුළු සලන්නෝ අමනයෝ වෙති. ඇතැම් විටෙක මුළු ලොවටම සාප කරන්නට මට ද හිතෙන්නේ ඒ නිසාය. එහෙත් මා වැරැදියැයි පසුව සිතේ. සාප කළ යුත්තේ ලෝකයේ දුප්පතුන් බිහි කොට පසුව උන් වනසා දමන රුදුරු පාලකයින්ටය. හිත්පිත් නැති සූරාකන්නන්ටය. දුප්පතුන් හා පීඩිතයින් අපේම ලෙයයි. අපේම හුස්මයි. අප ඔවුන්ට පේ‍්‍රම කළ යුතුය. පේ‍්‍රමයෙන් වැළඳගත යුතුය. කෲරත්වයෙන් මිදීම සඳහා ඔවුන් හා අත්වැල් බැඳගත යුතුය.
සත්‍යවාදියකුගේ දිනපොත
සුනිල් මාධව පේ‍්‍රමතිලක
0 කුළිය:
Post a Comment