Sunday, August 8, 2010

බූඩි එක්ක වචනයක් දෙකක් කතා කරන්න ...

අද ඉරිදා අගෝස්තු අට වැනිදා.

ලංකාවේ සිනමාව සහ ලෝක සිනමාව අතර ඇති පාළම ගොඩක් පටුයි. වාහන දෙකකට මාරු වෙන්න බැරි තරම්. මේකට මොකද කරන්නේ?

බූඩි එක්ක මේ ගැන වචනයක් දෙකක් කතා කරන්න මරදාන සිනෙසිටි මල්ටි‍‍ප්ලෙක්ස් එකේ සවස දෙකහමාරට අපි මුණ ගැහෙමු.

පණිවුඩේ ලැබුණේ මූණු පොතෙන්. තිබ්බෙ මේ විදියටමයි.



Hi,
I am Planing to have a discussion about cinema and the current situations around the world, and how to improve ourselves with the rest of the world. This would happen every other weekend in Colombo. If you are interested to be a part of it and have the discussion, please let me know. Sunday the 8th afternoon. Venue and exact time yet to be decided.
Cheers
Boodee

දිනය වෙලාව සහතික කරල ලැබුනු පණිවිඩේ මෙන්න.

For Sunday's discussion, Venue 2nd floor Cine City Maradana and from 2.30pm, Please conform if you are coming. Send a massage to me.
Thanks. Cheers

මාතා ගැනත් මොනව හරි දැනගන්න ලැබේවි‍...

[පින්තූරේ ගත්තේ සන්ඩේටයිම්ස් සඟරාවෙන්.]

Thursday, August 5, 2010

වචන නම් හීසරය


වචන නම් හීසරය
තියුණුය‍ සුසරය
පරදා සෛන්ධව කුර
පවන් රැළි කපා යයි අසුරු සැණ

ඇමිනෙයි දුබල තැන
පසාරුව ගැඹුරටම
මෙලෙක් තම සිරුර
පසා වූ බවද නොදැනම විටෙක

පොලා පනියි නැමී දුන්නක සේම
හමුව දැඩිබව
එනමුත් සිය ගමන් මග ම
ගනී හී සර සැමවිට

හී සරය උගුලා දමත හැක
එනමුත් සිදුර එය පසා කළ
වසා දැමුම එතරම් පහසු නැත

සිදුරු ඉතිරිවන
සදා කල් සිහි කරයි
වචනයක තියුණු බව
චණ්ඩ බව

පිටවූ කල දුනුදියෙන් පිටතට
වචන හීසර මුවගින් එසමව
එය සැදු සිදුරු ගැන තැවී ඵල නැත
හදවත් සිදුරු වැසුනු කලක් නම් නැත

[රෑ දොළහ වනතුරු වීරයා දුරකථ‍නයෙන් පැයක් කතා කළ පසු අඩ නින්දේ ලියැවුනු දෙයකි මේ... ]

6/8/2010
ඩෝසන් ප්‍රීති

Tuesday, August 3, 2010

ස්ත්‍රී දෙවියනි! ඇය පිලාර්, මම උප්පලවණ්ණා!!

ස්ත්‍රී දෙවියනි! ඇය පිලාර්, මම උප්පලවණ්ණා!!



මම ද වැළපුණෙමි - පියේද්රා ගඟබඩ හිඳ නොව....

ආදරය මුණ ගැසුණු සඳ - මම ද වැළපුණෙමි
පියේද්රා ගඟබඩ හිඳ නොව - ජීවිත වන්දනාව අභියස ..

හදගුළු හැරීමි
කීරි ගෑ අගුළු කට
නැගූයේ කෙඳිරියකි.
හඬක් නැති කෙඳිරියකි.
මළ කෑ යතුරු හිස අගිස
බැඳි දුඹුරුවන් ප්‍රාර්ථනා
පණ ගසාවිත්
පැසුණු උදෑසන සනසවාලයි
හිරිවැටුණු බාහුවට වාරු වී..

අහෝ! මේ ආදරයට
හැකිය හඬන්නට
මෙතරම්ම.
ඒ නොදැන උන් ඇසිල්ලක
කඩා හැලේ
දිය සීරා
නයගරාවක සිරියෙන්..

නොදුටු රුවක්
ඇසේ හැපෙයි
ගණඳුරේ දී.
රිදුණු තරමක් ප්‍රේමයක්.

වැඩිමහලු කඳුළු පෙති මත
අඩි තිය තිය
පාව ආ හැටි
අරුමයක්.

කඳු පෙළක් යට
තවරා ඉඳුසැව්ව
ඇන තියා ගත් හිතකට
නින්නාද දේ ගීතයක්.
එය ප්‍රේම ගීතයක්.

තණබිස්ස
ළදල්ල මුදා හළ
මුහුලසට
ගැසූ පොඩි මල් කිනිත්තක්.

මේ සෙනෙහස..
හද බිත සසළ කළ
ඝණ්ඨාර නාදයෙන් පේ වී
පිරිත් පැන් ඉස නමැද
හදසුනේ තැබූ පෙර
සංසාර පුරුද්දක්.

("පියේද්රා ගඟබඩ - හිඳ මම වැළපුණෙමි" කියවීමෙන් පසු)
Thushari Priyangika තුෂාරි ප්‍රියංගිකා


තුෂාරිගෙ "මම ද වැළපුණෙමි - පියේද්රා ගඟබඩ හිඳ නොව..." කවිය ගැන විමසුමක්

පාවුලෝ කොයියෝගේ බොහෝ නවකතා වල ආකෘතිය දේව ධර්මය නම් වූ කුරුසියේ සිවු කොනට විතන්‍ය ලුහු තන්තුවක් ලෙස මිනිස් ආත්මය ගැටගසා සකස් කරගත් සරුංගල රාමුවකට ප්‍රේමයේ සව් කඩදාසි අලවා ප්‍රබන්ධකරණයේ වාග් කෝෂ‍ය නම් වූ නයිලෝන් අවිතන්‍ය තන්තුවේ කොණක් එම සරුංගලයේ සමබර ලක්ෂ්‍යයේ ගැට ගසා පාඨකයා ලවා අහස්ගත කරවීමෙන් ඇරඹෙන කාව්‍යාත්මක ඇස්බැන්දුමකි. දෙවනුව එම වචනමය සරුංගලයේ පොළවට සබැඳි රැහැන වන එහි නයිලෝන් නූල පාඨකයාම ලව්වා කඩවා අහසේ ඉමක් කොණක් නැති සුළි සුලං රැළි අතරින් පාව යන්නට සලස්වා එය පොලවට පතිත වූ පසු නටඹුන් වූ සරුංගලයේ ඉරී ගිය සවු කොළ වලටත් ඇදී රිදී ගිය විතන්‍ය නූල් ජාලය නැමැති මිනිස් ආත්මය වෙත නැවතත් පාඨකයා ලවා පාඨකයාට අභිමත සවුකොල අලවා ගන්නට සලස්වයි. මෙයාකාර වූ අධ්‍යාත්මවේදයක් ගුරු කොට ගෙන ලියැවුනු කොයියෝගේ නවකතා වල බයිබලයේ උධෘත පාඨ සහ දේවකතා වල චරිත හමු වන්නේ උත්තම හැඟීම්වලින් පිරී ගිය පෙම්වත් චරිත සමගය.



පාඨකයාගේ ඔළුව තුලින් ප්‍රතිනිර්මාණය වන ඔහුගේ කතා එනම් එම සවුකොල ජාවාරම සිදුවන සන්දර්භය තුළ නොහොත් පාඨකයාගේ සංස්කෘතික අවකාශයට සාපේක්ෂව එයින් විටෙක සිනමා කෘතියක් උපදියි. එසේත් නොමැති නම් තුෂාරි වැනි කිවිඳියක් අතින් කවියක් ඉපදෙයි.

පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි [බයි ද රිවර් පියෙද්රා අයි සැට් ඩවුන් ඇන්ඩ් වෙප්ට් /By the River Piedra I Sat Down and Wept] නම් වූ නවකතාවේ සිංහල අනුවාදය තුලින් ගොස් භූගත වූ මේ කවියේ යථානුභූතියේ අන්තර්ගතය එබඳු අන්තර්සංස්කෘතික ඝට්ඨනයකින් උපත ලබා ඇත. මෙම නවකතාව මින් මතු මෙම ලේඛණය තුල හඳුන්වන්නේ 'පියෙද්රාව' වශයෙනි. නවකතාවේ නම දිග වැඩි හෙයිනි ඒ.

මෙම කවිය පියෙද්රාවෙන් උපත ලබා ඇත්තේ වුවද එහි අන්තර්ගතය නැවත කවියා තුළ ප්‍රතිනිර්මාණය වී ඇත්තේ කොයියෝගේ සංකේත ලෝකයෙන් නොව කවියා ගේ සංකේත ලෝකය තුලිනි. එය සිදුවිය යුත්තකි. මග හැර යා නොහැක්කකි. ‍එහෙයින් මෙම ද්විප්‍රකාර සංස්කෘතික ලෝක දෙක තුළ සිදුවන අන්තර් සහසම්බන්ධතා පෙරළිය පිළිබඳ විචාරන්නට කිසියම් සමීකරණයක් තනා ගත යුතු වන්නේය. එම සමීකරණය ගොඩනගා ගන්නට කවියේ සංකේත විශ්වය මතුපිටත් නවකතාවේ විශ්වයත් අතපත ගා බැලිය යුතු වන්නේය.

කොයියෝගේ පියෙද්රා නවකතාව තියෝලොජිකල් හෙවත් දේවධාර්මික කුළුණු මත ගොඩනැගී ඇත. මෙම ආගමික විශ්වය කවිය තුළ දී බෞද්ධ සංකේත විශ්වයකට පරිවර්තනය වේ. එනයින් කොයියෝගේ නවකතාව එක් එක් ඉන්ද්‍රියයෝ වෙන වෙනම මෙයාකාර වූ 'බයිනරි ඔපොසිෂන්' ප්‍රබේධයන්ට හුවමාරු වීමෙන් කවියේ මතුපිට නිර්මාණය වී ඇති හෙයින් මෙම එකිනෙක ප්‍රතිවරුද්ධාර්ථයෙන් යුත් ද්විකෝටිකයන් නිර්මාණය වීම රීතියක් ලෙස ගත හොත් අප කතා කරන විශ්ව දෙක අතර හුවමාරු වීම් සියල්ල සෘණ එකේ [-1] ගුණිතයකින් ගොඩනැගෙන සමස්තයක් බවට එක විට පත්වේ. මෙහිදී සෘණ එකේ ගුණිතයක් ලෙස ගණිතමය ලෙස දැක්වූ‍යේ ගැහැණිය නම් පිරිමියා බවටත් අහස නම් පොළව බවටත් යනාදී ලෙස එක් එක් සංකල්පය එහි කේන්ද්‍රීය සර්වත්‍ර කුලකයන් තුළ එකිනෙක ප්‍රතිවිරුද්ධාර්ථයන් ලෙස සිතියම්ගත වීමයි.

දැන් පියෙද්රාව සහ කවියේ අන්තර්ගතය අතර එකිනෙක සිතියම් ගත වන 'ඔපරේටරයක්' අප සතුවේ. වඩාත් සමීප සැසඳීමක දී මෙම පියෙද්රා‍වේ 'බයිනරි ඔපොසිෂන්' පරිවර්තන සිතියම මෑතක සිංහල සිනමාවට එකතු වූ බෞද්ධ ආකෘතියක වියමන් ගත වූ "උප්පලවණ්ණා" සිනමා පටයේ 'නෙගටිව්' පටලයක් ලෙස සමපාත වීම හුදු අහම්බයකි. මෙම සිනමා කෘතිය සහ පියෙද්රාව අතර ‍ඓන්ද්‍රීය සම්බන්ධයක් නැති වුවද මෙම ලිපිය තුල විග්‍රහ වන ඔපරේටරමය සිතියම්ගත කිරීම තුළ මෙම නවකතාව සහ සිනමා පටය එකිනෙකේ නෙගටිව් පටල බවට පත්වේ. උප්පලවණ්ණා සිනමා පටයේ දළ කතා වින්‍යාසය මෙලෙස හකුළුවා දක්වමි.

උඩරට කුල කාන්තාවක් වන සංගීතා තමන්ට පහතරට නැටුම් උගන්වන ගුරුවරයා සමග අසම්මත පෙම් සබඳතාවක පැටලී දෙමව්පියන්ගේ අකමැත්තෙන් විවාපත් වේ. ඉන්පසු එ සොවින්ම කල් ගත කළ ඇගේ මව මිය යයි. මවගේ අභාවය දැනගෙන මෙම විවාපත් යුවල මළගෙදර පැමිණි විට ඇගේ පියා අතින් නැටුම් ශිල්පී සිය ස්වාමියා මිය යයි. මින් දැඩි‍ලෙස කම්පනය වන ඇය දසසිල් මාතාවක් බවට පත් වන්නී වනබද ආරණ්‍යයක ධර්මය හදාරමින් සිටින්නීය. මීට සමාන්තර කාලය තුළ ලංකාවේ තරුණ කොටස් ආණ්ඩුව සමග විප්ලවවාදී ගැටුම් ඇති කර ගන්නා අතර කැරලිකාර ව්‍යාපාරයේ කලක් කැපවීමෙන් ක්‍රියාකාරිත්වයෙන් දායක වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙක් -රත්නපාල-පක්ෂයෙන් න්‍යායික හේතූන් මත වෙන්වී රාජ්‍ය හමුදා වෙත ඔත්තු සපයා පක්ෂය පාවා දෙයි. මීට දඩුවම් ලෙස ඔහුට මරණීය දණ්ඩනය පක්ෂයේ සන්නද්ධ අංශය විසින් තීන්දු කරන අතර ඔහුට දඩුවම් පැමිණ වීමට පාක්ෂික තරුණයෙක් තෝරා ගෙන එම ක්‍රියාන්විතයට යොමු කරයි.‍ රත්නපාලගේ ගම ආරණ්‍ය සේනාසන‍යේ අසල් දනව්වකි. රත්නපාලගේ ඝාතකයා පැමිණ සිය වගකීම ඉටු කර එම ගැටුමේදී ලද තුවාලද සහිතව දුර්වල ව පැන යමින් සිටිය දී ආරණ්‍ය සේනාසන සීමාවේ දී කකුලේ ඇනුන උලක් හේතුවෙන් ඇවිද ගත නොහී වනයේ වැතිර සිටී. මේ අවස්ථාවේ අහම්බයෙන් තරුණ සිල් මාතාවට ඝාතකයා මුණ ගැසේ. සිල් මාතාව විසින් විනයධර ලෙස ඔහුට පිහිට වන අතර ඔහු ක්‍රමයෙන් සුවපත් වන අතර ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම ද ගම තුළ රාජකාරි කරයි. සාක්ෂි ‍ඔස්සේ ක්‍රියාත්මක වන පොලිස් පරීක්ෂකයන්ගේ ඉව ඔස්සේ ගම්මු ආරණ්‍ය සේනාසනය පීරා ඝාතකයා සොයා කුදලගෙන ගමේ පන්සලට ගෙනෙයි. ඉන්පසු සිල් මාතාවට ආරණ්‍ය හැර යාමට සිදු වන්නේ ගම්මුන්ගෙන් ආරණ්‍ය සේනාසනයට ඇති ‍ගෞරවය සහ සම්පත් දායකත්වය පැහැර හරින්නට ඔවුන් නිතැතින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙනි. ඇය ආරණ්‍යයෙන් පිටව යන අතරමග දී සිය පාත්‍රය ගංගාවකට විසි කරන අතර එම පාත්‍රය සුරක්ෂිතව ඩැහැ ගන්නා ආරණ්‍යවාසී කුඩා සිල් මාතාවක් වන නන්දුත්තරා එය ආරණ්‍ය සේනාසනයේ නායක සිල්මාතාව ද ඇතුලු පිරිස සමග පැමිණ උප්පලවණ්ණා අතීතකාමීව සිහිය මෙහෙයවමින් හුන් වැල් පාළම මත දී නැවත පිළිගන්වන්නීය. මෙයින් සිනමා කෘතිය අවසානය ලකුණු කරයි.

දැන් පියෙද්රාවේ කතාව සැකෙවින් සළකා බලමු.

පිලාර් නම් වූ තරුණිය සිය පැටි වියේ සිට මිතුරු දමින් වෙළුණු කොලු ගැටයකු ගේ තරුණ වියේ ඔහුගේ ආරාධනයෙන් බාසිලෝනා නගරයේ ඔහු පවත්වන්නට යෙදුන ධර්ම දේශනයකට පැමිණෙන්නේ ඉමහත් දෙගිඩියාවෙනි. පිලාර් ඔහු කෙරෙහි ප්‍රේමයකින් පසු වුවද ඔහුගේ ජීවණ දැක්ම කුඩා කල සිටම එල්ල වී තිබුනේ දෙවියන් සොයා යාම කෙරෙහි බැවින් ඇය ඔහු හමු වන විට ඔහු එම කාර්යභාරයේ සාර්ථකත්වයට පත්වී ඇති බැව් ඇය වටහා ගන්නා අතර ඇය ඔහු කෙරෙහි වූ ප්‍රේමය හෙළිදරව් නොකරන්නට සිතා සිටින මුත් ඇය වටහා ගත් ආකාරයක ඔහු දේවධාර්මිකයකු වනවා වෙනුවට ස්ත්‍රීත්වය දේවත්වය දක්වා පරිවර්තනය කරන්නාවූ වෙනස් ආකාරයක සත්‍යයක් සොයමින් සිටින බැව් ඇයට තහවුරු වේ. මෙම සත්‍යය ලෙස ඔහු දකින ස්ත්‍රීත්වයෙන් පිරිපුන් දේවත්වය යනු ලොව සියළු ජීවයේ උපත වන ජලය ලෙස සංකේතීය ව පවතින ස්ත්‍රීත්වය ලෙසත් එය තමාගේ අධ්‍යාත්මික චාරිකාවේ අග්‍රඵලය බවත් එය පිලාර් සමග වන්නාවූ ප්‍රේමය ලෙස නැවත පිළිසිඳ ඇති බවත් ඔහුගෙන් දැන ගන්නා ඇය ප්‍රේමයේ භෞතික සීමා ඉක්මවන දෙවියන් හා බැඳීමේ මාර්ගය ලෙසත් ලොව එකම සත්‍යය යනු දෙවියන් හා බැඳෙන ප්‍රේමය බවත් ඇය වටහා ගන්නී ඔවුනොවුන් කෙරෙහි දිව්‍යමය බැඳීමකින් ලං වන්නීය.

දැන් මෙම කතා ප්‍රවෘත්ති දෙක තුළ පවතින 'බයිනරි ඔපොසිෂන්' අර්ථ වශයෙන් ගෙන එකිනෙක සෘණ පටලමය ක්‍රියාකාරිත්වයක පැවැත්ම සළකා බලා එබඳු ලෙස වූ සෘණ පටලාත්මක නිර්මාණයක් තුලින් එහි ප්‍රතිවිරෝධි සංකේත පද්ධතියක හරහා යාම නම් වූ ක්‍රියාවලිය තුළ සන්දර්භයන් වෙනස් වද්දී අර්ථ විසින් අත් කර ගන්නා රූප කෙරෙහි අවධානය යොමු කරමු.

පිලාර් ගැහැණියකි. පිලාර්ගේ පෙම්වතා පාදිලිතුමෙකි. මේ පුද්ගලයන් දෙදෙනා උප්පලවණ්ණා සිනමා පටයේ දී රත්නපාලගේ ඝාතකයා සහ උප්පලවණ්ණා මෙහෙණියට සමපාත වේ. පිලාර්ගේ පෙම්වත් පාදිලි වෙනුවට රත්නපාලගේ ඝාතකයා ලෙස කැරලිකරුවෙක් හමුවේ. ගැහැණිය සහ පිරිමියා හුවමාරු වේ. පිලාර් මෙහෙණියක නොවේ. එමෙන්ම ඇයට පාදිලිතුමා හමුවන්නේ අහඹු‍ ලෙස ද නොවේ. උප්පලවණ්ණා මෙහෙණියක වන අතර ඇයට රත්නපාලගේ ඝාතකයා හමු වන්නේ අහඹු ලෙසය. පිලාර් ගේ පෙම්වතා වන පාදිලිතුමා දේව ධර්මය තුළ ස්ත්‍රී දේවත්වය සොයා යයි. උප්පලවණ්ණා බෞද්ධත්වය තුළ ස්ත්‍රී භික්ෂූත්වය නියෝජනය කරයි. පිලාර් ප්‍රේමයේ දිව්‍යාත්මය ස්පර්ශ කරන්නීය. උප්පලවණ්ණා ප්‍රේමයේ අනිත්‍යතාවය තුළ සත්‍යය සොයා වෙහෙසෙන්නීය. මේ ආකාරයෙන් එකිනෙක ප්‍රතිවිරුද්ධ සංකල්ප පද්ධතියකින් පියෙද්රාව සහ උප්පලවණ්ණා කෘති එකිනෙක ඡේදනය කරගන්නේ ගංගාව නමැති අක්ෂයේ දෙපසය. පියෙද්රා ගඟ අසබඩව පිලාර් තැවෙද්දී උප්පලවණ්ණා සිය පාත්‍රය ගඟ දිය තුල පා කර හරින්නීය. ඔවුන් දෙදෙනම එකම සංකල්ප විශ්වයක ප්‍රතිවිරුද්ධ මාර්ගවල ඇවිද යති. කාලමාත්‍ර ව‍ශයෙන් සලකා බැලූ විට ද පියෙද්රාව දින දහයක් තුළ ඔවුන්ගේ ආගමික වන්දනාවක සිරිය ගත් ප්‍රේමනීය සංවාදයන් තුළ ගත වන අතර උප්පලවණ්ණා සිනමා පටය ද සීමිත කාලයක් තුළ හැකිළුන වෘතාන්තයක් අධික ආතතියකින් තිරය මත දිග හරියි. ඒ අයුරින් එම ආඛ්‍යාන රීතින්ද එකිනෙකට ප්‍රතිමුඛ වේ.

මෙ ආකාරයෙන් පල්ලිය කේන්ද්‍ර වූ දේව ධර්මය තුළ පගන් * නිකායක හෙවත් ස්ත්‍රී දේවත්වයක ගවේෂණාත්මක කැරැල්ලක් මෙහෙය වමින් සිටින පිලාර්ගේ පෙම්වත් පාදිලි වෙනුවට උප්පලවණ්ණාට සමාජ විමුක්තිය වෙනුවෙන් යථාර්ථමය කැරැල්ලක මෙහෙයුම් කරුවකු අහඹු ලෙස සිය අධ්‍යාත්මික ජීවිතය දෙපළු කරන්නට වනය තුළින් ප්‍රාදූර්භූත වේ.

පිලාර්ගේ පෙම්වත් පාදිලිතුමාගේ අදහසකින් ඔහුගේ කැරලිකාරිත්වයේ අරමුණ විශද වන අවස්ථාවක්:

"By the time of my first vision i was already aware of the work being done by the true revolutionaries of the church. I knew that my mission on earth, in addition to curing was to smooth the way for this new acceptance of God as a woman. The feminine principle , the column of Mesericordia, would be rebuilt and the temple of wisdom would be reconstructed in the hearts of all people"
By the River Piedra I Sat Down and Wept
page 164

පියෙද්රාව කියවා ගෙන යන අයෙකුට ලාංකීයත්ව ය තුළ හමු වන පියෙද්රාවේ 'බයිනරි ඔපොසිෂන්' වල පැවැත්මේ සන්නිකර්ෂණයක් ‍මේ ආකාරයෙන් ගොඩ නැගිය හැකි අතර ‍කතෝලික බැතිමතකු අතින් ලියැවිය හැකි කවියක ආකෘතිය ද මේ කවියේ ආකෘතිය සහ අන්තර්ගතය ද හාත්පසින් වෙනස් විය හැකි බව මේ සැසඳීම්වලින් පෙනී යනු ඇත. මෙම ප්‍රස්තුත කවියෙ බුද්ධ භාෂිතය සංකල්පගත වීම අහම්බයක් නොවන්නේ එම තතු යටතේය.

මෙම සසැඳිල්ල යටත් වන්නේ වචන වශයෙන් පවතින අර්ථයෙන් වියුක්ත වූ යමක් ප්‍රතිවර්ථනය යැයි නොසැලකිය යුතුය. මෙම සෘණ එකේ අගයෙන් ගුණ කර චරිත සහ සිද්ධි මෙන්ම ඒ ඒ චරිත කැඳවා යන දෘෂ්ටි යනාදී සියල්ල ග්‍රහණය කර ගැනීම විහිලුවක් ලෙසද පෙනී යා හැකි නමුත් මෙම ද්විමය පරිවර්තනය ස්වභාවය මනසේම එක්තරා සංකල්පීය නිර්මාණයක් බැවින් අපගේ සංජානනය දෘෂ්ටිවාදාත්මක කෘතියක් තුළින් පෙළ හසුරුවන පරිකල්පනීය සහ සංකේතීය මාන වල ඝට්ඨනය මීට සමරූපි හැසිරීමක් වනු ඇතැයි තර්ක කළ හැක. එබඳු සසැඳීමක ට හෝ සංකල්පීකරණයක‍ට ලෞකික දේ පොළඹවාගත හැකි බැවින් මෙයාකාර වූ විග්‍රහයක් වචන ඔස්සේ කිරීමේ සාවද්‍යතාවය මෙලෙස ලංකාවතාර සූත්‍රයෙන් උපුටා දක්වමි.

"නැවත ද එම අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ මහාමතී බෝධිසත්ව මහාසත්වයන්ට මෙසේ කීහ. ශූන්‍යතාව අනුත්පත්තිය අද්වය සහ නිහ්ස්වභාව පිළිබඳ මෙම ඉගැන්වීම සියළු බුදුවරයන්ගේ සියළු සූත්‍ර තුළ දැකිය හැකිය. එමෙන්ම ඒ සෑම සූත්‍රයකම මෙම ඉගැන්වීම පිළිගෙන ඇත. කෙසේ වෙතත් මහාමතී ආයුෂ්මතුනි සූත්‍ර යනු සිය‍ළු සත්වයන්ගේ අධිමුක්තීන්ට අනුකූල වන පරිදි ඉදිරිපත් කර ඇති ඉගැන්වීම්ය. එමෙන්ම ඒවා නියම අර්ථයෙන් ඈත් වන්නේය. එමෙන් ම ඒවා නියම සත්‍යය ගැබ් වන වාක්‍ය වන්නේ නැත. මහාමතී ආයුෂ්මතුනි ද්‍රෝහි වූ ජල උල්පත් මගින් මුවන් පොළඹවන්නා වූ මිරිඟුව මෙනි ජල උල්පත් එහි ඇත්තේ නැත. එහෙත් ඒවා ඇත්ත වශයෙන්ම පවතී යැයි සිතන ‍මුවෝ ඒවාට ඇලී සිටිති. සියළුම සූත්‍රවල පැහැදිලි කර ඇති ඉගැන්වීම් ද එබඳුය. තමන්ගේ විකල්පීය මනසේ තෘප්තියට පත් කර ගැනීම සඳහා ඒවා සියළු සත්වයන් වෙත ඉදිරිපත් කර ඇත. ඒවා ආය්‍යර්‍ ඥානය විසින් ග්‍රහණය කළ යුතු වූ සත්‍ය අන්තර්ගත වූ කියමන් නොවන්නේය. මෙම කරුණ නිසා මහාමතී ආයු‍ෂ්මතුනි අර්ථයට අනුකූල වන්න. වචන වල එල්ලී නොසිටින්න."
-ලංකාවතාර සූත්‍රය

එනයින් මෙම සන්සන්දනය අතිශය වශයෙන් සාහිත්‍යමය වන අතර දෘශ්ටිවාදාත්මක ලෙස ලෝකෝත්තර කාරණා සම්බන්ධයෙන් වලංගු නොවන්නක් බවද අප සිත් තබා ගත යුතුය. නොඑසේ නම් තර්කාණුකූලව පෙන්වා දීමකින් හෝ ගණිතමය ඔප්පු කිරීමකින් නිර්වාණ මාර්ගය හෝ දෙවියන් හා එක් විම බුද්ධිගෝචර දෙයකැයි පෙන්විය හැකි සරල දෙයකට ඌණනය වන්නේය. එය ප්‍රායෝගික නොවන්නකි. එනමුත් එබඳු අන්තයන් දෙකක් තුළ දෝලනය වන නිර්මාණාත්මක මනසක් විශද කර ගැනීමට මෙම ඔපරේටරමය හඹායාම කුතුහලය කුළුගන්වන සුළු ක්‍රමවේදයක් බැව් සඳහන් කළ යුතුය.

පියෙද්රාවේ චරිත සිද්ධි සහ දෘශ්ටි සෘණ එකෙන් [-1] වැඩි කරගෙන ගියාම ඒවායේ 'බයිනරි ඔපොසිෂන්' න්‍යාසය හමු වේ.

'උප්පලවණ්ණා' හමු වන්නේ මේ නවකතාවේ 'බයිනරි ඔපෝසිෂන්' එකක් ලෙසයි. එය ලංකාවේ සන්දර්භය තුළ පාවුලෝ හමු වෙන ආකාරය විය හැකියි. එම ආඛ්‍යාන ද්විත්වය හරහා මෙම කවිය උපත ලබා ඇති වග මගේ අදහසයි. පියෙද්රා නවකතාව උත්පළවණ්ණා කරා රූපාන්තරණය වන අතරතුර මෙම කවිය ශේෂ කොට ඇත.

සංසාර පුරුද්දක් ලෙස එන බෞද්ධත්වය තුළ ප්‍රේමය සංසාරයට අලවන සසර ගමන දිගු කරවන ක්ලේශයකි. තණ්හාවේම තවත් රූපයකි. ආලය විඥානය යනු චිත්තයේ උපදින නෛසර්ගික ප්‍රවාහයකි. එය නැසුම සංසාර ගමන කෙටි කිරීමේ මග ට ප්‍රවිශ්ට වීමකි. පිලාර් අත්දකින ප්‍රේමය දෙවියන්ගේ සිහින තුළ යථාර්ථවත් වන්නකි.

"the path of the Goddess can only be opened through words and miracles. But that's not the way the world works. It's going to be very hard -tears, lack of understanding, suffering."
By the River Piedra I Sat Down and Wept
page 164
මෙ අයුරින් බෞද්ධත්වය තුළ ප්‍රේමය ට හිමි නොවන තැනක් කොයියෝගේ දේවධාර්මික ආඛ්‍යානය තුළ ඉස්මතු වීම අතිශය පැහැදිලි සද්භවයකි. ස්වභාවයකි. ස්ව පැවැත්මක් භවයක් ඇති දෙයකි.

මෙම කවිය තුළ ද්විඝඨනාත්මක ලෙස කඩා හෙලන්නේ එම පරස්පරයයි.

"සෑම දෙයක් තුළම ස්ව-භාවයක් ඇත්තේ නැත. ඒවා මිනිසුන්ගේ නිකම් වචන පමණය. යමක් විකල්පනය කරන ලද්දේ ද එයට නියම පැවැත්මක් නැත; නිර්වාණයද සිහිනයක් වැනිය; සංසාරය තුළ කිසිවක් දක්නට ඇත්තේ නැත. කිසිවක් නිර්වාණය තුළට ඇතුළු වන්නේද නැත"
-ලංකාවතාර සූත්‍රය

*පගන්' [Pagan or Paganism] : ස්ත්‍රී දෙවියන් පිළිබඳ හෝ දෙවියන් වෙනුවට දේවතාවියක් විශ්වාස කරන ආගමික පද්ධතිය.


ආශ්‍රිත ලිපි ලේඛන/ වෙබ් අඩවි

1. ලංකාවතාර සූත්‍රය
2. By the River Piedra I Sat Down and Wept-Paulo Coelho
3. පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි සිංහල පරිවර්තනය පියල් කුමාර ජයරත්න/අනුෂයා කොල්ලුරේ
4. උප්පලවණ්ණා ටොරානා ඩීවීඩී තැටිය
5. http://srilankanfilmcritics.blogspot.com/2008/04/uppalavanna.html
6. http://www.dailynews.lk/2007/10/03/art03.asp
7. http://en.wikipedia.org/wiki/By_the_River_Piedra_I_Sat_Down_and_Wept

මෙම ලේඛනය සකස් කිරීමේදී නන් අයුරින් සහය දැක්වූ තුෂාරි, හෂිත, මාලතී, කූඹියා සහ මහේෂා ට ස්තුතිවන්ත වෙමි.

Saturday, July 31, 2010

ඔබ සදා කල් මසිතේ ලැගුම් ගනී....


කනස්සල්ලක් විශ්වයේ ඇත
තැනින් තැන ‍විසිරී ගලා යන
නිරතුරු ඇද හැලෙන වැස්සකි
අන්තරීක්ෂ කිරණයක වුන හිර

ගලා හැලෙයි ඇල්ලක් විලස ‍‍
විසිර කැටි කැටිති දිය බුබුළු
වැදී පාෂාණ දාර මත
නගයි පෙණ කැටි සැනින් පුපුරන

පසා වෙයි හද බිත්ති
කම්පනය කරවයි සියුම් තන්තු
පාරවයි අනන්ත සියුමැලි සිතුවිලි
මැවී යයි දෙසවන තත්සර එබඳු

වීණාවක පැටළුන තතක් සේම
තතක පැටළුන ඇඟිල්ලක් සේම
කවුරුන් හඩ නගයි දැයි සිත සැලෙයි
එනමුත් හද සෝ රාවය ම රැව් දෙයි

මුව මී රොණ් ගලා සැලී
මත් වූ සිත් අද සසැලී
තැනින් තැන ගලා යන විසිරී
සිර වී වැළපෙන සිතුවමකි පොඩි වී තැලී

[ප්‍රේමකීර්ති ද අල්විස් සොඳුරු මිනිසා සිහි වී ලියැවුණි. ]


ඊ ඒ ඩෝසන් ප්‍රීති
31/07/2010

Friday, July 23, 2010

මකුළු දැල එලා ඇති විට

නිමිත්ත:

මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවකුගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ සිසු උද්ඝෝෂණයට එදිරිව බලමුළු ගන්වා තිබූ අවි ආයුධ සන්නද්ධ රාජ්‍ය ආරක්ෂක බලකායේ දැහැන්ගත ඡායාරූපයක් දැකීමෙන්.

වේල දෙවේල ලෙව කන
ඇල් වතුරින් කුස පුරවන
කැන්ටිම් පෝලිම්වල කටුකන
බඩපොතු ඇටකටුවලට සින්න වුන

මේ සරසවි දරුවන්ට
ඔය යුධ අවි සැර වැඩිය

ඇස් පොට්ටවන තුරු ලයිට් කණු යට
රැය කරමින පොත පත කියවන
ගෙදරින් ලද කාසියක රහ බලන
මිතුදම් රැහැණින් බැඳී ජීවය පුරන

මේ සරසවි දරුවන්ට
ඔය යුධ අවි සැර වැඩිය

මකුළු දැල එලා ඇති විට
නොම හසර දැන ඉගිල පැටලුන අයට
දී දල විශ පහර හිස මැදට
ගොදුරු රුහිරෙන් මත් මද නුහුසනට

මිස

මේ සරසවි දරු දුබල සිරුරු
විනිවිදිනට ඔය අවි බර වැඩිය

ඩෝසන් ප්‍රීති
07/2010

Tuesday, July 20, 2010

කැමරාව පින්සලක් දක්වා...

කැමරාව පින්සලක් දක්වා...



රචින්තගේ මේ ඡායාරූප කීපය මා වෙත රැගෙන ආවේ කැමරාව පින්සලකට පරිණාමය කරවීමේ යාන්ත්‍රණය ජය ගන්නා එක්තරා නිමේෂයක් ලෙසිනි. එම නිමේෂය සැබැවින්ම කුමක්දැයි නොදන්නා තැනකින් ආරම්භ කර දන්නා තැනක් දක්වා රැගෙන යාමට දරන උත්සාහයකි‍ මේ.

නිර්මාණකරණයේදී සිදුවන සියල්ල ලිවීම්ය. ආලෝකයෙන් ලිවීම එක්කෝ ඡායාරූප ලෙස හෝ සිනමා පට හෝ විඩියෝ පට දක්වා පැතිරී යයි. ශබ්දයෙන් ලිවීම හඩ පට තැටි ගත ශබ්ද හෝ වර්තමානයේ වෙනත් නොයෙක් තාක්ෂණික විද්‍යුත් ක්‍රමවේදයන් ය. රස නහර සන්තර්පනය වන ආහාර වට්ටෝරු පයුරුපාසන ජිව්හාමය අත්දැකීම් පුළුල් කරනු ඇත. විවිධාකාර ගන්ධයන් ප්‍ර‍ශස්ත ලෙස මුහුන්කරනය කිරීමේ ක්‍රම වේද ඔස්සේ පෙර නොවූ විරූ සුවඳ ස්වභාවයෙන්ද කෘත්‍රිමවද සකසා ගැනීම අනුසාරයෙන් එම සංඥා හැසිරවීම ද අතිශය පෞරාණික ශාස්ත්‍රයකි. ඇරෝමා තෙරපි යනුවෙන්ද වෙස් ගෙන කඩසාප්පු වල පිරී ඇති නොයෙකුත් කුප්පි වල අන්තර්ගත වන තෙල් සුවඳ කුඩු ඒවායේ නොයෙකුත් උද්දීපනයන් හේතුවෙන් මිනිස් සංජානන අවකාශය ප්‍රසාරණය කරයි. ස්පර්ශයෙන් ලිවීම් ද ඇති බව සම්භාහනාගාරයක දී අත්විඳිය හැකිය. ඒවා අතිශය කාමෝද්දීපනයෙන් අවසන් විය හැකි ඇපොතිකරමය වන්නා වූ භෞතවේදයන් හරහා යෝග ක්‍රම දක්වා වුවද පැතිර යයි.

ලිවීම් ක්‍රම කුමන උපකරණ සහ මාධ්‍යන් විසින් හෝ වෙනස් වුවද සිය ලිවීම අවසන් කොට සිය පාරිභෝගිකයා ගේ සංවේදනා විශ්වය සොයා ගන්නා අන්තයේදී විවිධ සීමාවන් තනා ගනී. උදාහරණයක් ලෙස ගීතයක් හෝ කවියක් නැවත නැවත හඩනගා කියවීමෙන් ප්‍රතිනිශ්පාදනය කරගැනීමට බාධාවක් නැත. කුරුල්ලකුගේ හඩක් එවැනි ලෙස නැවත නැවත ස්වභාධර්මය තුළ ඇසීමේ ඉඩ අවස්ථා විරලය. ඒවා පටිගත කරගත හොත් හෝ තැටිගත කර‍ගතහොත් හෝ ඒවා නැවත ඇසීමේ අවස්ථාව මිනිසාට ලැබේ. සූර්යග්‍රහණ අවස්ථාවක දී සිදුවන දේ ඒ මොහොතට පමණක් සීමා වේ. එය නැවත දැකිය නොහැකිය. ප්‍රතිවාදනය කළ නොහැකිය. ඒවා දෘශ්‍යමය තාක්ෂණයන් උපයෝගී කරගෙන නැවත තිර මත දැකිය හැකි වුවද නැවත අහසේ දැකිය නොහැකිය. ඒ ආකාරයෙන් ගත් විට මුඛය මගින් නැවතත් ප්‍රතිනිශ්පාදනය කළ හැකි දෙයක් ඇසට නැවත නිපදවා ගත නොහැකිය. ඒ සඳහා කිසියම් තාක්ෂණික අතරමැදි වීමක් අවශ්‍යම වේ. එනයින් සියළු ලියැවෙන දේ අපට ප්‍රතිනිශ්පාදනය කළ නොහැකිය. එකම ගඟකට දෙවරක් බැසිය නොහැකිය යනාදී වූ දාර්ශනික අදහසක් වුවද මේ සත්‍යයම නැවත වර නගයි. නමුත් මා අදහස් කළේ ශබ්ධය සහ ආලෝකය මිනිස් විෂය තුළ මුව සහ ඇස ආශ්‍රයෙන් යලි දේවල් උපදවා ගැනීමේ හැකියාව නමැති බාධකය තුළදී ඇස දුර්වල උපකරණයක් වීමේ අභාග්‍යය පෙන්වා දීමටය. මුවින් නොයෙක්‍ දේ ඕනැතරම් වාර ගණනක් උච්චාරණය කර නැවත ඇසිය හැකිය. නැවත විඳිය හැකිය. නමුත් ඇස එතරම් භාග්‍යසම්පන්න නොවේ.

රචින්තගේ මේ ඡායාරූප මා මනසේ ඇති කළේ ද ඇස සිය භෞතික සීමාවන් පරයා නැගී සිටින්නට දැරූ උත්සාහයේ තවත් ස්ථානගත වීමක් ලෙසිනි. වස්තු මත පතිත වන ආලෝකය නැවත ලිවීමේ ඉතිහාසය මිනිසා මෙතුවක් නිපදවා ගත් කාර්මික කලාවේ අග්‍රඵලය වන සිනමා කලාව තුළ නැවතී ඇත. ඇසට වැටෙන ආලෝක ලපයක් එහි දෘෂ්ටිවිතානය මත ජීවත් වන තත්ක්ෂණයේ ආයු කාලයේ දිගෙන් තීරණය වන සිනමා කලාවේ ගතික සිද්ධාන්ත විසින් මිනිස් ඇසේ දුර්වලතා‍වයෙන් උපරිම ප්‍රයෝජන ගෙන අප විස්මිත ලෝකයක් කරා පරිකල්පනීයව කැඳවා යන්නට සමත් වේ. යාන්ත්‍රික ඡායාරූප ශිල්පයේ මූලාරම්භය ද එම සිද්ධාන්තයට පණ පෙව් ආලෝකයේ රසායනික ඵලය ලෙස දැක්විය හැකිය. ආලෝකය පතිත වූ විට අක්ෂි කාචය ඔස්සේ උඩුයටිකුරු වී දෘෂ්ටිවිතානය මත නාභිගත වී එම පටලයේ ඇති කේතු සහ යෂ්ටි සෛල විසින් නිපදවන රසායනික සංඥා මොළය කරා යන ගමනින් රූප සංවේදනය ලබන මිනිසා එම දෘෂ්ටිවිතානය වෙනුවට ආලෝකය පතනයෙන් සිය රසායනික හැඩරුව වෙනස් කර ගන්නා ද්‍රව්‍ය ප්ලාස්ටික් පටලයක තවරා එමත නාභිගත වන ආලෝක රටා අඳුරු කාමරයකදී විශාලනය කරගැනීමෙන් උපදවා ගන්නා ඡායාරූප දක්වා සංවර්ධනය කරගත්තේ ඇසේ සටහන් වන රූ මනසේ තැන්පත් වුවද නැවත එය විදහා අනෙකෙකු සමග බෙදා ගැනීමේ අවස්ථාවක් නොමැති වීමේ අඩුව පුරවා ගනු පිණිසමය. ශබ්දය උදෙසා වූ ප්‍රතිනිශ්පාදනමය හැකියාව ආලෝකය උදෙසා දිගු කර ගැනීමේ අවශ්‍යතාවය උදෙසාය.

ඡායාරූප ශිල්පයත් සිනමා කලාවත් එකාබද්ධ වූ සහසංයුජ සම්බන්ධයේ තවත් පිම්මක් පැනීමේ වරය මැට්රික්ස් සිනමා පටයේ උණ්ඩ කාල විපර්යාස‍ය සමගින් නව උත්පත්තියක් ලබයි. මිනිස් ඇසට විෂය වන සීමාව නොයෙකුත් භෞතික පරාමීතින් හේතුවෙන් පැන නගියි. ආලෝකයේ සංඛ්‍යාතය නිසාවෙන් ඒවායේ වර්ණ නම් වූ සංවේදනය උපදියි. ශබ්දයේ සංඛ්‍යාතයන් හේතුවෙන් සප්ත ස්වර උපදින්නාක් මෙන්ම මූලික ආලෝක වර්ණ සප්තකය ද සංඛ්‍යාතයේ විෂමත්වයත් ඒවායේ ආරෝහණයත් නිසාවෙන් උපදියි. මිනිස් ඇස උපකරණමය සීමාවන් තුළ සලකා බැලූ විට ආලෝකයේ සංඛ්‍යාත දෘශ්‍ය පරාසය තුළ පමණක් අපට සංවේදන නිපදවා ලීමට සකස් වී ඇත. එම හැකියාව පවා වස්තුවල නිවුටෝනීය චලිත සීමාවන් තුළ ඇසේ ප්‍රතිබිම්බ නිර්මාණය වන සීඝ්‍රතාවය හෝ රේට්ටුව මත රඳා පවතී. වේගයෙන් කරකවන හෝ චලනය වන දෙයක් අපට නොපෙනී යාමේ හේතුවද මෙයයි. වේගයෙන් කැරකෙන පංකාවක සමස්ථ දෙයක් මිස ඒවායේ තටු වෙන වෙනම නොපෙනීම ‍මීට අයත් වේ. ඊට ප්‍රධාන හේතුව ඇසට යමක් හඳුනා ගැනීමට එම ප්‍රතිබිම්බය සමග ගත කරන්නට අවම කාලයක් අවශ්‍ය වීමයි. එම අවම කාලය ඉක්මවා යන කිසිවක් අපට නොපෙනේ. නමුත් කැමරාවකට එම අවම කාලය තුළ සිදුවන දේ සටහන් කරගත හැකිය. ඒ මන්ද යත් එම සූක්ෂම කාලය තුළ ප්ලාස්ටික් පටලය මත ඇති රසායනික ද්‍රව්‍ය වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් ආලෝක ශක්ති ප්‍රමාණයක් එන්නේ නම් එම කාලය කුඩා වන තරමට එන ශක්ති ප්‍රමාණය කිසියම් අවමයකට වඩා ඉහලින් පවත්වා ගන්නට හැකි නම් එම පටලය මත එම සියුම් ආලෝකය පවා නිවැරදිව සටහන් වේ.

අතිශය වේගවත් දේ ඡායාරූපගත කරගැනීමේ ශිල්පීය ක්‍රම තුළ වන තාක්ෂණික බාධාව වන්නේ කාලයෙන් අතිශය සියුම් කැටියක් හසුකර ගැනීමේ හැකියාවෙන් යුත් යාන්ත්‍රික දොරටු පාලනය කර ගැනීමයි. තත්පරයෙන් දාහෙන් පංගුවකදී දොරක් ඇර වසන්නට පුළුවන් නම් එම සියුම් කාලය තුළ සිදුවූ වෙඩි උණ්ඩයක අවකාශීය පිහිටුමේ තොරතුරු පටලයක් මත සටහන් කරගැනීමට හැකිවේ. තත්පරයට මීටර් අටසීය ඉක්මවා යන ප්‍රවේගයකින් යුත් වෙඩි උණ්ඩයක් සෙන්ටි මී‍ටරයක් යාමට ගන්නා කාලය තත්පරයෙන් ලක්ෂ්‍යයෙන් පංගු කීපයකි. එම ක්ෂුද්‍ර කාලය තුළ ආලෝකය කැමරා පටලයේ බිත්තිය මතට පතිත වීම පාලනය කරන ෂටරයේ ඇරීම සහ වැසීම පවත්වා ගත හැක්කේ නම් වෙඩි උණ්ඩය සෙන්ටි මීටරයක් තුළ අවකාශයේ හඹායන පථය පටලයක් මතුපිට සටහන් කරගත හැකිය. නමුත් ප්‍රායෝගික ලෝකයේ තත්පරයෙන් ලක්ෂ්‍යයෙන් පංගුව ලං විය නොහැකි බාධාවකි. සාමාන්‍ය කැමරා විසින් අත්කර ගත් එම කාලය තත්පරයෙන් දාහෙන් පංගුවක් හෝ එක්දාස්පන්සිය පංගුවක් හෝ වන්නා වූ විශාල අගයකි. එනයින් බුලට් ටයිම් නම් වූ වෝනර් සහෝදරයන් අත පත් වූ මැට්රික්ස් සිනමා පටයේ භාවිතා කරන්නට යෙදුනු රූප පටලගත කිරීමේ තාක්ෂණය මේ සීමාවන් අභිබවනය කිරීමේ ශක්‍යතාවය පවත්වා ගැනීම මිනිස් හැකියාවන් තුළ ක්වොන්ටම් පිම්මක් ලෙස දැක්වීම වරදක් නොවේ. කාලය මැනීම යනු වෙනස් දෙයකි. එය පරමාණු ඔරලෝසුවලින් ඉසියුම්ව මැන ගැනීමට මිනිසා හැකියාව දියුණු කර ඇති නමුත් අතිශය ක්ෂුද්‍ර කාල ප්‍රාන්තරයකදී කිසියම් භෞතික කටයුත්තක් ඉටු කිරීම පරිගනක චිප ඇතුලෙ විද්‍යුත් සංඥා ආකාරයෙන් ඉටු කරගැනීමට සමත් වුවද භෞතික සීමාව එලෙසම පවතී. එනම් දොරක් ඇර වැසීමට තවමත් තත්පරයෙන් දාහෙන් පංගුවක් හෝ එක්දහස් පන්සීය පංගුවක් හෝ අවම වශයෙන් වුවමනා වීම ජය ගත නොහැකි කඩුල්ලක් සේ රැඳේ. අතිශය වේගයෙන් සිදුවන සංසිද්ධි ඡායාරූප ගත කිරීමේ කලාව සාමාන්‍ය කැමරා සමගින් සහමුලින්ම බිඳී ගිය කලාවකි. වෙඩි උණ්ඩයක චලිතය රූප රාමුවලට හසුකර ගැනීම එක ළඟ තැබූ කැමරා විශාල සංඛ්‍යාවක් ඒවායේ ෂටරයන් ඇරී වැසෙන රේට්ටුව අතිශය කුඩා මොහොතකින් ක්‍රියාත්මක කිරීම හෝ අතිශය සියුම් පාලිත තත්වයන් යටතේ ආරෝහණය කරන්නාවූ ස්විචයන් ශ්‍රේණියක් ක්‍රියාත්මක කිරීමෙන් යනාදී වශයෙන් මේ තාක්ෂණ ඔස්සේ ජය ගෙන ඇත්තේය. මැට්රික්ස් සිනමා පටයේ එක්තරා සටන් ජවනිකාවක දී පුද්ගලයෙකු අහසට පැන පාදයෙන් තවෙකෙකුට පහර දීමේ අවස්ථාවක් රූපගත කර ඇත්තේ සාමාන්‍ය සිනමා කැමරාවකින් නොවේ. එය එලෙස රූප ගත කරන්නට වුයේ නම් තත්පරයෙන් පංගු කීපයක් ඇතුලත ‍එම කැමරාව එම දසුන වටා අර්ධවෘතාකාර පථයක චලනය කිරීමට සිදුවන්නේය. එනමුත් එවැනි බර අධික කැමරාවක් වෘත්තාකාර පථයක වෙඩි උණ්ඩයක චලිත වේගයට ආසන්න වශයෙන් සමාන වේගයක චලනය කිරීම ප්‍රායෝගික නොවන දෙයකි. එම අවස්ථාවේ දී සාමාන්‍ය සිනේ කැමරාව වෙනුවට ඔවුන් කරන්නේ එම නිරූපිතය අන්තර්ගත අවකාශය කේන්ද්‍ර කොටගත් වෘතාකාර පථයක සාමාන්‍ය කැමරා විශාල ප්‍රමාණයක් අටවා ඒවා යේ ෂ‍ටර ඇරී වැසීම කාලයේ ආරෝහණ පිළිවෙලට ඉතා සියුම් පියවර ඔස්සේ විවර කරමින් ඡායා සටහන් ලබා ගැනීමයි. පසුව චිත්‍රාගාරයකදී එකලස් කරනු ලබන එම රූප රාමු සාමාන්‍ය ධාවක යන්ත්‍රයක දී ධාවනය කර ලබා ගන්නා ස්ලෝ මෝෂන් රූපාවලිය නැවත සිනමා පටයකට ගැනීමයි. මෙම ක්‍රම වේදයේදී එක් එක් රූප රාමු අතර ගිලිහෙන අතරමැදි රූපරාමු නිර්මාණය කරගැනීමට සන්නිකර්ශන දර්ශන මැවීමේ හැකියාව ඇති පරිගනක වැඩසටහන් භාවිතා කර අඩු වූ හිස්තැන් හෝ රූපණයන් හි සන්තතික බව හෝ සුමට බව රැක ගැනීමට භාවිත වේ.

මේ සියලු ලෝක තාක්ෂණික සීමාවන් පිම්මේ පැන යද්දී රචින්ත ජයවර්ධන ආලෝකයෙන් ලියමින් සිටියි.

ඔහුගේ ශිල්පයේ දී කැමරා රාශියක් පෙල ගස්වා නැත‍. ෂටරයන් ප්‍රෝග්‍රෑම් කර නැත. කොටින්ම බුලට් ටයිම් යාන්ත්‍රණයක් ඇත්තේම නැත‍. ඔහුගේ කටයුත්ත මේ සියලු දේ අභිබවා යන්නකි.

සිත්තරකු පින්සල හසුරුවා යමක් කැන්වසය තුළ සටහන් කරන්නා සේම රචින්ත සිය කැමරාව පින්සලක් මෙන් චලනය කර සිය කැමරා පටලය මත ආලෝක සටහනක් වියමනක් කරයි. මේ මා එබඳු කලාවක දුටු යථාර්ථවත් සලකුණක පළමු අවස්ථාවයි.

මෙහිදී මා කලින් කී පරිදි ආලෝක‍යේ චලිතය පටලගත කරගැනීමේ තාක්ෂණය උඩු යටිකුරු වෙයි. එනම් වස්තුව එක තැනක රැඳෙද්දී එනම් විශය පවතිද්දී උපකරණය හැසිරීමකට ලක් වෙයි. හරියටම කීවොත් අත‍ මත වූ පින්සල එකම තැනක තබා කැන්වසය ඉස්සීමෙන් පැද්දීමෙන් හෝ කරකැවීමෙන් චිත්‍රයක් ඇඳීමේ උඩුයටිකුරු වූ තාක්ෂණික අත්දැකීමකි. වරක් මා නැරඹූ අමරදේවයන්ගේ සංගීත උළෙලක දී මා දුටුවේ වයලීනයේ බෝව එක තැන තබා වයලීනය අධික වේගයෙන් එහා මෙහා කරමින් අතිශය සංකීර්ණ රාග තාලයක් මීයට පිම්බා සේ තූෂ්නිම්භූත වූ සරසවි ශ්‍රවණාගාරයකට ප්‍රාතිහාර්යමය ලෙස නාදරටා මවමින් සිටි අයුරුයි.

මම රචින්තට සුභ පතමි. එමග ගත්තවුන්ට ද ධෛර්යය පතමි.