Saturday, November 1, 2014

දෙලොවක් අතර කවි|සුදු කතක් සහ මධු විතක්|නිරාෂ ගුණසේකර

සුදු කතක් සහ මධු විතක්
දෙලොවක් අතර කවි

නිරාෂ ගුණසේකරගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන සුදු කතක් සහ මධු විතක් මා හට ගෙන ආවේ අමුතුම හැඟුම් සමුදායකි. මෑතක කියවන්නට ලැබුණ කාව්‍ය සංග්‍රහ කීපයකින් කුමක් ගැන කුමක් ලියා තබම්දැයි විපිලිසරව හුන් මොහොතක නිරාෂගේ නිර්මාණ සංග්‍රහය ගැන ලිවීම හිතට සැනසුමකැයි සිතුණේ මගේ ඉපැරණි රහස් මිත්‍රත්වයක් ඔහුගේ නිර්මාණ සමගින් ද තිබූ බැවිනි. ඔහුගේ බඹරු එළපු දැල් මගේ මාතර ගෙදර පොත්ගුලේ ඇති බැව් මට මතකය. පොත්ගුලට මාව අමතකදැයි මම නොදනිමි. මන්ද යත් මගේ පොත්ගුලෙන් මා  දුරස්ව බොහෝ කල් බැවිනි. කෙසේ වෙතත් වෙනත් කුඩා පොත්ගුලක් හා පෙමින් මම දැන් කාලය ගත කරමි. ඒ කුඩා පොත්ගුලේ ඇත්තේ මෑතක අතපත ගාන පොත්ය. ඒ අතර නිරාෂගේ පොත ද වෙයි. ඒ විද්‍යුත් පිටපතක් වශයෙනි. මුද්‍රිත කරදහි, තීන්ත සුවඳ, රහිත තිරයක් මත ප්‍රක්ෂේපිත ආලෝක රටාවක් වශයෙනි; ඒත් ඒ කවි ය; නිර්මාණ ය. විමසුමට, විඳුමට ඇණවුම් කරනු ලබන ආලෝක තරංගයෝ ය.
නිරාෂ ද මා මෙන්ම විදෙස්ගතව මානසික ශ්‍රමය වගුරා ජීවිතය ගැට ගසාගැනීමේ එකම ආදායම් මාර්ගය ලෙස වැටුපකට වැඩ කරන ශ්‍රමිකයෙකි; කම්කරුවෙකි. එනිසාවෙන් නිරාෂත් මාත් කම්කරුවන් ට පොදු වූ සියළු ප්‍රශ්නයන්හි ගිලී, පවත්නා ක්‍රමයේ - පද්ධතියේ සූක්ෂම ගැටවලින් හිර වී, මිරිකී ජීවිතය විඳින්නට, විඳ ගන්නට මොහොතක් උදාකර ගැනීමේ අනවරත උත්සහයේ යෙදෙමින් සිටින්නෝ වෙති.  ඉතිං අපට ඒ බඳු මොහොතක් උදා වන්නේ මේ වැනි කෘතියක් මුල සිට අගට කියවා ගන්නට තරම් හෝ ඉස්පාසුවක් ලද මොහොතක යැයි මට හැඟේ.

ජීවිතය තුළ ඇති මග හැර යා නොහැකි ව්‍යාජ මිනිස් සබඳතා-රැවටීම්-මෙලෝ රහක් නැති එවුන් ඇසුරට ලැබීම-උන්ගේ කුප්ප තුප්පහි උගුල්වල පැටලීමට සිදුවීම-තම පන්තියේ සගයන්ගේම ඊර්ෂ්‍යාවට ලක්වීම-කැපිල්ලට ලක්වීම-සූරා කෑමට ලක්වීම යනාදී සියළු ආකාර කටුක දුක්බර සංවේදනාවන්ගෙන් පීඩිතව ඉන් මිදෙන්නට අවසරයක් ලද මොහොතක මේ කවි සමුදාය ඔහු අතින් ලියැවී ඇත. (ඔහුගේ පෙරවදනේ මේ බව සඳහන්ව ඇත.) මේ සතුටුදායක තත්ත්වයකි. මන්ද යත්, මේ ව්‍යාජ සමාජ සම්බන්ධතා ජාලයේ ගිලී සිටින්නට සිදුව ඇති අයෙකුට, විශේෂයෙන් විදේශයක දී, එවැනි මොහොතක් හෝ ලැබීම සතුට නො දනවන්නේ ද?
ඕස්ට්‍රේලියාවේ වාසය කරමින් සිය කෘතිය සම්පාදනය කරන නිරාෂ සුදු කතක් හා මධු විතක් යනුවෙන් සිය කෘතිය නම්ගන්වා ඇත්තේ කිසියම් රහසිගත ඇණවුමක් රසවතුනට දෙන්නට යැයි මට සිතේ. නොඑසේ නම් එය ම වෙනත් ඕන තරම් නම්වලින් හැඳින්වීමේ හැකියාවන් ද නොමැත්තේ නොවේ.

ලංකාවේ මිනිස්සු පොදුවේ ආසියාතිකයෝ වෙති. අපගේ සමේ පැහැය පොදුවේ ගත් කල සුදු නොවේ. එතරම් විශාල විග්‍රහ අනවශ්‍ය මුත් කෙටියෙන් අපි කළු මිනිසුන් කොටසකි යැයි කීම එතරම් විවාදාත්මක නොවේ. එසේ බැවින් සුදු කතක් යන්න අපට ගෙනෙන්නේ වික්ටෝරියානු සදාචාරාත්මක වඩා වෙනස්, හාත්පසින් ආසියානු වටිනාකම්වලට විරුද්ධ හැඟවුමකි. එනම් වඩා හොඳ හෝ දියුණු හෝ සරාගික හෝ වෙනත් මොනයම් හෝ බටහිර දෘශ්ටියෙන් සංවර්ධනාත්මක හැඟවුමකි. එයම ලංකාවේ පශ්චාත් කොලනීකරණයේ ශේෂ වූ ප්‍රතිඵලයක් ලෙසද අරුත් ගැන්විය හැකිය. මින් මා කියන්නට උත්සහ කරන්නේ නිරාෂගේ නිර්මාණ සංග්‍රහය ඉතා සියුම් ලෙස ලාංකික සංකේත ලෝකයෙන් ඛණ්ඩනය වීමක් මෙම සුදු කතක් හා මධු විතක් යන නාමකරණය ඔස්සේ සිදුව ඇති බැව් පෙන්වන්නටය.

මධු විතක් යන්නෙහි හැඟවුම්කාරක බලපෑම දෙවිදියකි. ලංකාවේ සාමාන්‍ය කාන්තාවෝ මධු විතෙහි නොඇලෙන්නා හ. එසේ හෙයින් සුදු කතක් හා මධු විතක් යන්න එකට ගත් විට මධු විතක් අත ඇති සුදු කතක් ලෙස හෝ සුදු කත වෙනම ද වෙනත් අතක මධු විත ඇතැයි කියා ද ගත හැකි බැවින් ඒ මධු විතෙන් සිදුවන ඛණ්ඩනය එක්කෝ ලාංකීය සංකේත ලෝකයෙන් දුරස්ථකරණය පිළිබඳ මගේ ප්‍රවාදයට උදව් කරයි. නැතහොත් මඳක් එහි බර අඩු කරයි. කෙසේ වුවු ද මේ සංඥාර්ථ යුගල එකට ගත්විට මේ කෘතියේ ඉදිරි ගමන්මග අප තුළ සළකුණු කරන්නට නියමිත සන්ධිස්ථාන පිළිබඳ සිතියමක් සකස් කරගන්නට මගක් පෑදේ.
දැන් මා සෘජුවම එම කෘතියේ නමින් ම වූ කාව්‍ය නිර්මාණය වෙත යොමු වෙමි.

සුදු කතක් හා මධු විතක්

පුටු කකුල් අතරින් රිංගා
යට සායවල් අස්සෙන් එබෙමින
සුදු කකුල්වල තැවරී
හීන් හිරිගඩු නංවන
දඟකාර මද සුළඟ...

වෙන වැඩක් නැත්නම්
පිසදානවද අප අවට
මේපල් පතින් හැඩිවුණ
මෑ කැමති නෑ ඕවට...

ඉස්තරම් රතු වයින් පමණද
තොල් තෙමාලන්නට නියමිත
සිහින් දිගු වීදුරු ගැටෙන හඩ
අතරතුරදීත්
නුඹේ පා මුදු සරය ඇසුණේ
යන්තමින් මට
මගේ ගීයට තාල ඇල්ලුව...

ඔලිව් ගෙඩියක පුංචි කහටක
දිව කොනිත්තන මිහිරියාවක
අතීතෙ එක්තරා දවසක
වෙරළු ගස් යට සුසුදු මල් මත
ඇගේ අතගෙන ඇවිද ගිය හැටි
හිතේ රාසේ ඉපිද මිය යයි...

ඒ වුණත් මම
අවන්හළ ළඟ පහන් කණුවට
කියන්නම් කෝ ඇස් වහන්නට
බමන දෑසින් තවත් ළං වී
මගේ ඇස්වල කවි හොයනකොට
උහුලන්න බැරි එක ම දේ මට
දැනී නොදැනී මාව රිදවන
ලැවන්දර මල් සුවඳ පමණිය...!

කවියා සිය පරිකල්පනය ආශ්‍රයෙන් උපදවන මේ සමස්ත සිතුවමට පිවිසෙන්නේ දඟකාර මද සුළඟකිනි. එම මද සුළඟට සුදු කත අවට අවන්හල් බිම ඇති මේපල් පත්‍ර පිසලන්නේ නම් මැනවැයි කියමින් ඇගේ ඒ පරිසරයේ හැඩි බවට ඇති අකමැත්තක් ප්‍රකාශ කරවයි. ඉන්පසු ඉස්තරම් වයින් සහ සිහින් දිගු වීදුරු මවමින් ඇගේ පා මුදු සරය ඔහුගේ ගීතයට තාල ඇල්ලූ බවක් රූපණය කරයි. එනමුත් හදිසියේ ඔහු ඔලිව් ගෙඩියක රස ඔස්සේ අතීතයට හඹා ගොස් වෙරළු ගස් යට වෙනත් ඇයක සමග ඇවිද යයි. මේ රහස් සිතුවිල්ල රහසින්ම සිත තුළ මිය යයි. මේ සිතුවිල්ල එලෙස මිය ගිය ද අවන්හල නුදුරේ සුදු කතගේ බමන දෑසින් ඔහු ඇස්වල සොයන කවි හැඟුම් නොපෙනෙන්නට පහන් කණුවේ ඇස් වසන්නට ඇණවුම් කරයි. එහෙත් ඔහුට නොඉවසිය හැක්කේ සුදු කත සිරුරෙන් වහනය වන ලැවන්දර මල් සුවඳ පමණි.

කවියාට හදිසියේ ඇතිවන මේ උහුලනු නොරිසි ලැවන්දර සුවඳ එසේ උහුලනු නොහැකි වන්නේ කුමක් නිසා ද? ඒ අතීතයේ ඇවිද ගිය වෙරළු ගස් යට සුසුදු මල් වැතිරුණු අතීතයේ සිට හමා ආ සුවඳක් නිසාවෙන් ද? මෙයින් කවියා ලාංකීය සංකේත ලෝකයට යලිදු බැඳ තබන රහස් රැහැණක් මතු නොවන්නේ ද?

ලැවන්දර සුවඳ නියෝජනය කරනු ලබන වත්මන් ඕස්ට්‍රේලියානු යතාර්ථයත් වෙරළු මල් පලස් විසින් ඇණවුම් කරනු ලබන අතීත ලාංකීය ඝණීභවනය වූ යතාර්ථයත් අතර කවියා දෝලනය වන බැව් පෙනේ.

විදෙස්ගතව කාව්‍ය නිර්මානය කරන බොහෝ කවියෝ මෙලෙස දෙලොවක් අතර මනසින් දෝලනය වන්නාහුය. විටෙක ඔවුහු තම වාස්තවික යතාර්ථයෙන් උජ්වලිතව ඉන් මොහොතකින් සිය පෙකෙණිවැලට සම්බන්ධ වී නොස්ටැල්ජික රමණීය අතීතයක් ගෙනහැර පාමින් එම යථාවන් යුගල අතර පැල්ම වසාලයි.

සැබැවින්ම ලංකාවේ ගත කළ කාලය රමණීය සොඳුරු අතීතයක් බවට පත්ව ඇත්තේ වත්මන ට සාපේක්ෂව විය යුතුය. මන්ද යත් ලංකාවේ අතීතය හෝ වර්තමානය හෝ කිසිවෙකු වෙත කිසිදු රමණීයත්වයක්, සෞන්දර්යයක් කිසි කලෙකවත් නොපිදූ හෙයිනි. එනම් මේ මවන්නා වූ ලාංකීය සෞන්දර්යය කවියට උචිත හෝ සීමා වන දෙයක් බැවිනි. යතාර්ථයට නම් එලෙස කිසිවක් හසු නොවන බැවිනි. මින් අනුමාන වන කරුණ නම් විදේශයක නැංගුරම් ලන ලාංකිකයෙකුට සිය මනෝ ලෝකය උඩුයටිකුරු කර ගන්නවා හැර වෙන විකල්පයක් එහි පැවැත්ම සාදා ගැනීමට පාදා ගත නොහැකිය බවයි. මීට සමීප හෝ දුරස්ථ උදාහරණ ලෙස ඕස්ට්‍රේලියාවේම වෙසෙන සුනිල් ගෝවින්න හෝ ජගත් එදිරිසිංහ හෝ රසික සූරියාරච්චි යන කවියන්ගේ නිර්මාණ හරහා ද පොදුවේ මතුවන බැව් සටහන් කළ හැකිය. සුනිල් ගෝවින්නයන් සිය නොස්ටැල්ජික ස්මරණයන් ඔස්සේ සිය කාව්‍ය නිර්මාණ අඛණ්ඩව පවත්වා ගෙන යන්නෙකි. ඔහුට ඉන් කිසිදු ගැලවීමක් ලද නොහැකි බැව් මගේ අදහසයි. ජගත් එදිරිසිංහගේ කාව්‍ය නිර්මාණ වඩාත් සමාජ අද්දැකීම් සහ ප්‍රේමය උදෙසා සමතුලනයක පවත්වා ගෙන යාමට සමත් නිරෝගී නිර්මාණශීලිත්වයක් නඩත්තු කරමින් සිටියි. රසික සූරියාරච්චි එලෙස කෙටි වැකියට හැකිලිය නොහැකි තරම් පැතිරුණු  නිර්මාණකරනයක නියැලී සිටියි. ඔහුගේ නිර්මාණශීලීත්වය තට්ටෙන් සොමිය දීම වැනි වූ අතිශය සරල ගද්‍යයන්ගේ පටන් ඉතා සංකීර්ණ සිවුපද ශ්‍රේණි දක්වා විහිදෙයි. මේ සියල්ල ගේ පොදු ඇනෝනිමසීය පාඨකයා වෙසෙන්නේ සිංහල ලියන- කියවන- කතා කරන යතාර්ථය ලෙස පරිපීඩිත වූ ශ්‍රී ලාංකීය මිනිස් වටයේ ය.

සාහිත්‍ය නිර්මාණය කරන තැනැත්තාගේ කාර්යය එක් අතකින් ස්වාධීන එකක් නොවේ. ඒ මක් නිසාද කිව්වොත් ඔහුගේ කාර්යය රසිකයා අපේක්ෂා කරන නිසායි. ඔහු නිර්මාණය කරන්නේ රසිකයෙකු සඳහායි. කිසියම් කෙනෙකුගේ වින්දනය සඳහා ය. ඒ රසිකයා අසවලා කියා හෝ අසවල් ගණයේ පුද්ගලයෙක් කියා හෝ ඔහු සවිඥානකව සිතනවා නොවන්නට පුළුවන්. එහෙත් කිවියාගේ යටි සිතෙහි කිසියම් අඥාන රසිකයෙකුගේ නොපැහැදිලි රූපයක් එහෙම නැත්නම් එබන්දෙකුගේ ප්‍රතිචාරය පිළිබඳ කිසියම් අවිනිශ්චිත හැඟීමක් තියෙනවයි කියල මම හිතනව.
-එදිරිවීර සරච්චන්ද්‍ර-සාර සංග්‍රහය-සංස්කාරකයෝ පී. බී. ගලහිටියාව/කේ.එන්. ඕ. ධර්මදාස-පිටුව 155


විප්‍රවාසීව නිර්මාණ කටයුතුවල යෙදෙන්නන් ගැන මහාචාර්ය විමල් දිසානායක සවිස්තරාත්මක හැඳින්වීමක් කලකට පෙර පුවත්පතකට ලියා තිබුණු බැව් මට මතක් වේ.

නිරාෂගේ නිර්මාන පොදුවේ යතාර්ථයේ කටුක බවට හෝ ව්‍යාජ බවට ඌණපූරකයක් ලෙස හෝ එම කටුක ව්‍යාජ සංසිද්ධීන් විසින් බැහැර කරනු ලබන ඉතිරිය හෝ අඩුව පුරවා ලන්නට සමත් කරවන ඖෂධයක් ලෙස හෝ හිස් තැන් පිරවීමට ඇවැසි පොටියක් මෙන් භාවිතා වන බැව් වඩාත් සමීපව බලන කල පෙනේ.

තව දුරටත් ඕස්ට්‍රේලියානු යතාර්ථය තුළ නැහැය තෙක් ගිලෙන කවියා සිය පණ ආරක්ෂා කරගන්නා අයුරු පෙන්වන මනරම් කවියක් කියවා බලමු.

උදෑසන කවිය

නැඟෙන දුම් රැළි කවියකි
අළු බිඳින අතැඟිලි නළුවකි
නා දලු සදිසි දෙතොලකි
අනන්තය පහුරු ගානා
දිළිසෙන බළල් ඇස් සඟළකි...

යන්තමට තැවරුව සුවඳකි
දෙහි මලක සේ දුරට රිදුමකි
සුරඟනන් අත රැඳුණ පැහැයකි
එය සොරා ගෙන දිලෙන කොපුළකි...

පොරොත්තු දුම්රියකි
තනිව ම විඳින ගීයකි
දුරින් රාව දෙන මිතුරු කට හඩ ගොන්නකි
හැරීවත් නොබලනා
දඩබ්බර ඉටි රුවකි...

ඇහිපිල්ලමෙන් ගැයූ ගීයකි
දවා හළු කරන සුරත් ගිනි දැල්ලකි
කොටට හැඳි ගවුම නම් සකි
බහින හිරු රැස් වගේ
සරාගික තෙලි තුඩු පහරකි...

වයරය දෙසවනින් පන්නා
ඔරවා බලන බැල්මකි...

කන් දෙකත් මඳක් රතුවී
ගේ දොර අඹු දරුන් සිහිවී
දෙනෝදාහක් අතර
ඇසිල්ලේ නිවන් දුටුවෙකි...

මේ නිර්මානය පසුබිම් වන්නේ එක්තරා උදෑසනක නිරාෂගේ ඕස්ට්‍රේලියාව දවස අරඹන අයුරයි. එය එක්තරා උදෑසනකැයි කීව ද චක්‍රීය ලෙස සිදුවන්නක් බවට ඉංගිත පළ වෙයි. ඔහුට පෙනෙනූයේ ඕස්ට්‍රේලියානු සුදු කතුන් ය. ඔවුනගේ දෙතොල් නා දලු වැනිය; ඔවුනගේ බළල් ඇස් අනන්තය පහුරු ගානු ඔහුට පෙනේ; විලවුන් සුවඳ පමණට ය; මුහුණේ ඇති කෘත්‍රිම තැවරුම් පවා සුරඟනන් අත රැඳුණ පැහැයන් සොරා ගෙන අතුල්ලා ගත් වනමය. තවත් අයෙක් දුම්රිය එනතුරු වයර් කන්වල ඔබා සංගීත ශ්‍රවණයේ යෙදෙන ඉටි රූ පිළිම ය; එකියන් හැරීවත් නොබලති. ලංකාවේ කොල්ලෙක් උජාරුවට ජැන්ඩියට හැඳ පැළැඳ සිටිය ද උන් නොබලති. එවුන් මේ කවියා දෙස සෘජුව නොබලන්නේ කවියා සිය ඇස් යොමා සිටින අශ්ලීල දසුන් උනුන් ඇසිපියන් යටින් දකිනා හෙයිනි. බහින හිරු රැස් මෙන් සරාගික තෙලි තුඩු පහර සේ සංසංදනාත්මක සිතුවිල්ලේ කවියා නිමග්න වන්නේ කෙල්ලන්ගේ කොට ඇඳුමින් නිරාවරණය වු දෙකකුල් දෙස අනුරාගය වඩවමිනි. මේ අවස්ථාව කදිමට විචිත්‍ර කර ඇත්තේ කවියා කොතරම් නිර්මානයට අවංකදැයි පසක් කරමිනි. එම සුදු ඉටි රුව වයරය දෙසවනින් පන්නා ඔරවා බැලූ අයුර එනයින්ම සිත්තම් වී ඇත්තේ එබැවිනි. කවියෙකු සල්ලාලයෙකු වීමේ වරදක් නැත. මේ තිබෙන ජීවිතේ කම්කටොළු මැද්දෑවේ යුවතියකගේ නිරාවරණය වූ පා යුග කොතරම් සනීප, සමීප, මනස්කාන්ත, චිත්ත ප්‍රමෝදයකින් හිත කීරි ගස්සනව ද? එනමුත් කවියා එතෙකින් නොනවතී. ඔහු ඉන්පසු සිය සුතනඹුවන් සිහිව හිටි වනම නිවන් දකින්නේ මේ තත්ක්ෂණයක උපන් සර්ධාසම්පන්න සිතුවිලි දාමයේ අනුහසිනි. මේ කොතරම් පරිපූර්ණ ලාංකීය-ඕස්ට්‍රේලියානු ද්වන්ධ ලෝක සටනට පිළිපන් කවියෙකුගේ ආත්මාලාපයක් ද? සුදු කකුල් දැකුමින් නිවන් දකින්නේ යැ කියන්නේ ම ලාංකීය සමාජයක් ලෙස ඉරිතලා ගිය මොඩ් බුදු සසුනෙන් පුද්ගල විමුක්තිය කල් දමා තව තවත් සාහිත්‍යාංග නිමවමින් සිටිනවා යැයි ප්‍රකාශ කිරීමක් නොවෙ ද? මේ නිරාෂ කනට ගසන්නේ අතින් නොව කවියකිනි.

ව්‍යුත්පත්තියෙන් පරිණත වන කවියෙක් යනාදී වශයෙන් සිය විමර්ෂනාත්මක ලිපියේ නිරාෂගේ මෙතරම් උත්ප්‍රාසවත් කවි භාවිතාවක් රත්න ශ්‍රී කිවිඳුන්ගේ කිවි ඇසට හසු නොවීමත් මගේ පුදුමයට හේතුවක් වේ.

නිරාෂගේ කවිවල තව තවත් හමු වන විශද වන නොයෙකුත් දේ බොහෝ ඇත. ඒවා වෙන් වෙන්ව ගෙන විමසීමට මේ අවස්ථාව නොවේ. ඔහුගේ නිර්මාණ සමුච්චයේ විවිධාකාර දෘශ්ඨීන් මෙන්ම භූගෝලීය පැතිරීම් ආවරණය වී ඇත්තේ මන්දැයි විමසීම ද අත්‍යවශ්‍ය කාරණයක් වුවද කල් තැබීමට සිදු වේ. මා අතිශයින් ප්‍රිය කරන කාව්‍යමය යෙදුම් විශාල ප්‍රමාණයක් ද මෙම කාව්‍ය සංග්‍රහයේ හමු වේ.

ඒ අතරින් රාත්‍රියක කතාවක් හි

උමා බෙලිහුල අතැරදාලා
ගූඨ අඳුරේ තනිව නිවසන
සිහිල පහණෙක අවට හිරි තෙත
උරා බීගෙන වුණි ද මල්වර? කොටසට මම ඉතා ප්‍රිය වෙමි.

මධුරී නම් වු කාව්‍යයේ මේ කොටසට ද මම ඉතා ප්‍රිය වෙමි.

හොරා අරගෙන ගියා වාගේ
නුඹේ හෝරා කටුව දිවියේ
මගේ පොඩි උන් පවා දිනයක
නුඹෙන් ඇවිලී යාවි රාසේ...!

මේ සියළු දේ ගැන සිත උපදින හැඟුමන් විස්තර කරන්නට ගියහොත් ඒ සුදු කතක් හා මධු විතක් කෘතිය ඉක්මවා විශාල වන්නා වූ ලියැවිල්ලක් වනු නියතයැයි මම සිතමි.

අවසාන වශයෙන් මේ ස්වෝන්ස්ටන් වීදියේ දි දුටු යුවතිය විග්‍රහ කර ගැනීම පාඨකයාට භාර කරමි.

ස්වෝන්ස්ටන් වීදියේ  දී දුටු යුවතිය 
                                                                                                                                                    
 හංස වීදිය කොණක හසඟනකි නෙත් එළන
කංස දුම් වළාවට නේත්‍රා දිළිසෙමින
වංස කුළ ගොත් බිඳැර රාත්‍රිය ගෙවී යන
සංසාරය ම අතර මග නතර කළ ලෙසින

මන්දාරමට ඉහළ සඳ පෙනේ යන්තමට
මංමුලා වූ හිතක් සැරිසරයි වට අවට
රන්මුවා දුනු දියැද මුදා හීසර හදට
හංසියක සැරසුණි ද සඳකිඳුරු දඩයමට

යාර ගඟ මොහොතකට නතර වී ඇදී යන
පාරවා මගේ හිත නියොන් එළි හිනාවෙන
සාර සිය ගව් දුර ම එක ඇසින් හකුලමින
නෑරකැටුවයි ගියේ පාර වැරදුණ බැවින
                                                                            
ඇබින්දක් සඳ එළියෙ නුඹේ නෙත කියවගමි
කාන්තිය ඇතුළ ඇති කුමක් දෝ අහුලගමි
කාන්සිය සරතැසට පිනි පොදක තෙත සොයමි
පාන්දර පමා වී උදා වන්නැයි පතමි

දිවා කල වෙස් මුහුණ උනා දා නගරය ම
මවා පානා වැනිය සැබෑ රුව සියොළඟම
නිවා දුක් සංතාප තබා පසෙකින් සැවොම
ගෙවා යන දුර පුදුම පා ලකුණු නොතබා ම

දියෙන් කිරි වෙන් කරන හංසියක ඇසෙහි තෙත
හොරෙන් විඳි ගනිමි මම අහුල ගෙන පියාපත
එරන් සීනය පතා බිඳෙද්දී හදෙහි තත
සුරන් ඩැහැගෙන ගියෙද හීනයක දකුණු අත

සුරා සැල් පුරාවට ගැටෙන වීදුරු හඩය
නුරා සඳ කළුව යට සරාගික නෙත් සරය
විරාමෙට ඉඩ තියා පලා ගිය සෙනෙහසය
දිරා යන්නට නොදී විඳින්නද යෞවනය

හංස වීදිය කොණක හසඟනකි නෙත් එළුව
සංසාරය ම අතර මග නතර කර දැමුව

ඩෝසන් ප්‍රීති
1/11/2014

Tuesday, October 28, 2014

හකාවති දායකත්ව ඇගයීම්|ගෞරවාදරණීය ස්තුතිය

2014 ඔක්තෝබර් මස 28 වැනිදා
ආදරණීය සහෘදයින් වෙත,
ගෞරවාදරණීය ස්තුතිය
හකාවති කෘතිය පිළිබඳ සංවාදය සඳහා තම කාලයෙන් බිඳක් වැය කර පැමිණි සියල්ල ඉතා ආදරයෙන් පිළිගනිමි.
හකාවති කෙටි කතා ලියන්නට සහ එම කතා සංග්‍රහය මුද්‍රිත මාධ්ය ය වෙත යොමු කරන්නට මා හට අවස්ථාව උදාකර දුන් සහෘදයන් සිහිගන්වන්නට මෙය අවස්ථාවක් කර ගනිමි.
1. හකාවති ලියන්නට මා පෙළඹ වූ බූන්දියේ නිර්මාතෘ තරංග ජයසේන සහෘදයාට
2. මගේ කතා කියවා එහි අඩුපාඩු දොස් දැක මා නිවැරදි කරන්නට පෙළඹුන හෂිත අබේවර්ධන සහ සචී පනාවල යුවලට
3. මගේ හකාවති ලියැවිලි බොහොමයක සෝදුපත් කියවා ඒවා බ්ලොගයට දැමීමට සුදුසු මට්ටමට සකස් කරන්නට ඉදිරිපත් වූ කල්පනා ඇම්බ්රෝස් සොයුරියට
4. මුද්‍රිත මාධ්‍යයට ගෙන ඒමේ දී මට සහෘදාත්මක දෑත් දිගු කළ මංජුල වෙඩිවර්ධන සහ සනත් බාලසූරිය දෙපලට
5. සියලු මුද්‍රණ කටයුතු වගකීමෙන් කරට ගත් සම ප්‍රකාශන අධිපති සංජීව වඩිගමංගාව සොයුරා ඇතුළු ඩිසයින් සිස්ටම්ස් මුද්ර්ණාල සේවක මඩුල්ලට
6. හකාවති බ්ලොගයේ මෙන්ම හකාවති සංවාදයේ ද සියලු ග්‍රැෆික නිර්මාන කටයුතුවලින් මට උපකාරී වූ ලිෂාන් පුවක්ඕවිට සොයුරාට
7. හකාවති කෘතියේ කවරය නිර්මානයේදී මගේ සිතුම් වටහාගෙන මා සිතැඟි ලෙස කවරය නිමකරවා දුන් සුසන්ත මූණමල්පේ සොයුරාට
8. හකාවති බ්ලොගය කියවා එහි කොමෙන්ටු දමමින් මා දිරිමත් කළ සියළු දෙනාට
9. මුහුණු පොතේ නොයෙකුත් ප්‍රතිචාර දක්වමින් මෙම වැඩසටහන දිරිමත් කළ සියළු දෙනාට
10. හකාවති සංවාදය පිළිබඳ ප්‍රචාරක කටයුතුවලට සහය දැක්වූ විද්යුිත් මාධ්ය සහ මුද්‍රිත මාධ්ය සියල්ලට ද
මගේ අවංක ආදර ස්තුතිය පිරිනමමි.
එමෙන්ම මේ සංවාදය මා ලංකාවේ නොමැති අවස්ථාවක සාර්ථකව ඉදිරිපත් කරන්නට උර දුන් බන්දුල ජයවීර-චූලානන්ද සමරනායක-හෂිත අබේවර්ධන-සචී පනාවල-කේ කේ සමන් කුමාර-ලිෂාන් පුවක්ඕවිට-කාංචනා අමිලානි-කසුන් යන සොහොයුරු සොහොයුරියන් ට මම සදා ණයගැති වෙමි.

මීට හිතවත්
ඩෝසන් ප්රී ති

හකාවති වැඩසටහනට දායකත්වය දැක්වූ අය වෙත තිළින ලෙස සුචරිත ගම්ලත් ශබ්දකෝෂ ප්‍රදානය වූ සහෘදයන්

1. පැවරූ කටයුත්තකට දක්වන අතිශය කැපවීම සහ අතිවිශාල නිර්මාණශීලිත්වය අගයනු වස් ලිෂාන් පුවක්ඕවිට

2. භයංකර බුද්ධියේ සහ සෞම්යතශීලි නිර්භීතභාවයේ සුසංයෝගය අගයනු වස් සුසන්ත මූණමල්පේ

3. නිර්මාණශීලි දායකත්වය, ජාලීය මෙහෙයුම් සහ උද්යෝීගිමත් සහභාගීත්වය අගයනු වස් කාංචනා අමිලානි

4. හෘදයංගම කැපවීම සහ සහෘදාත්මක සමාජශීලිත්වය පසසනු වස් චූලානන්ද සමරනායක

5. අගණිත හිතුවක්කාරත්වය සහ හිතට විරුද්ධ කැරලිකාරත්වය පසසනු වස් කේ කේ සමන් කුමාර

හකාවති: සුචරිත ගම්ලත් ශබ්දකෝෂ දිනාගත් අය

හකාවති විචාර හෝ විඳුම් සටහන් එවීමෙන් සුචරිත ගම්ලත් ශබ්දකෝෂ දිනාගත් අය:

ප්‍රථම ස්ථානය 

“හකාවතී හෙවත් කතන්දරකරු විසින්, විසි එක් වෙනි ශතවර්ෂයේ දිවි ගෙවන ශ්රීස ලාංකික සමාජයට Reality Check එකක් ඉදිරිපත් කර ඇත.” යනුවෙන් හකාවතිය රියැලිටි චෙක් එකක් ලෙස හඳුනා ගත්,

නිල්මනී ප්‍රනාන්දු 

දෙවන ස්ථානය 

විනෝදය: ඇත්ත. අත්ශයෝක්තිය ටිකක් වැඩියි. මෙගා වගේ. ඇඟිලි හතරක් කතෘ දෙසට.” යනුවෙන් විනෝදය කතාවේ සුගතදාස වලිමුණි යනු 80%න් කෘතියේ කතෘ හා සමපාත වන බව සොයා ගත්,


තුන්වන ස්ථානය 

“මරණයත්, විද්යාිවත් පිළිබඳ මහත් සේ බලපෑ අදහස් ඇති රචකයෙකු සේ විටින් විට පෙනී ගියත්…” යනුවෙන් හකාවතියේ යටිපෙල මරණයත් විද්යාාවත් යන සංඥාවන්ගේ සැකසුමක් බව අනුමානය කළ,



විශේෂ (විචාර) ඇගයීම්

සුමේධා නවරත්න (ලිපිය)

Sunday, October 26, 2014

ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම-මංජුල වෙඩිවර්ධන

මංජුල වෙඩිවර්ධන හකාවතිය කියවා සිය විචාරාත්මක සටහන මා වෙත එවා ඇත. 

එනයින් අද දෙවැනි වරට ද වචන ටැක්සිය පදවන්නට සිදු විය. මේ ගමන අතිශය අවදානම් ගමනක් වුව යා යුතුය. දුර්වල සිත් ඇත්තන් මීට ගොඩවැදීමෙන් වැළකිය යුතුයැයි මම නොකියමි.

ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම.

ඩෝසන් කියූ හැටියේම  මුලින්ම අප අබියසටවිත්  හිටගනුයේ ස්ථම්භයකි. කොලමීය කුළුණකි. ඩෝසන් කුළුණ යනු මෙයයි. කඩුගන්නාව මුදුනත සිට  ඇඟ කිලිපොලා යන අර පල්ලම දෙස අභීතව බලන් සිටිනා කුළුණ ය.  ‘‘කොහොම මේ ප්‍රපාතයක් අයිනෙ පාරක් කැපුවද මන්ද?’’  කුළුණ හිතන්නේ ය.  කුළුණක්ව සිටිනා, එසේ වුව සිතනා, කවුද ඒ ඩෝසන්? ‍ඔහු වනාහී ඉංජිනේරුවරයෙකි.  ‘‘රාජකීය ඉන්ජිනේරු බලකාය’’ට අයත් ව සිටි කැප්ටන් ඩෝසන්, ‘‘බ්‍රිටිෂ් - සිලොන්’’ ලෙස නම් ලත් දිවයිනේ පළමු මහාමාර්ගය වූ ‘‘කොළඹ - නුවර’’ පාර හැදිමට අනුයුක්ත කෙරුණ චරිතයකි.  අවාසනාවකටදෝ පාර විවෘත කිරීමට පෙර ඔහු මිය ගියේ ය. නමුත් ඔහු කැපවුණු මිනිසකු බව දත් මිත්‍රයෝ මේ පාරේ එහා මෙහා යන අයට ඔහු මෙනෙහි කළ යුතු චරිතයක් බව තීන්දු කළහ. ඩෝසන් ස්ථම්භය යනු මෙයයි.

කැප්ටන් ඩෝසන් හදිසියේ මිය ගියේ කෙසේද? නයෙක් ගැසීමෙන්ද? බොහෝ දුරට උත්තරය, ‘‘ඔව්’’. ඔහු කොළඹ රැගෙන ආයේ නයි විස සමඟින්ද? එසේනම් ඔහු මිය ගියේ නයි විස සමගන්ද?

උත්තරය........?

කෙසේ හෝ අවසානයේ ඩෝසන් පුන්රුප්පත්තිය ලබා තිබේ. ඩෝසන් ප්‍රීති නමිනි. රෝහණයේ උපන් පුතෙකුට ඩෝසන් යනුවෙන් නම් තබන්නට තාත්තකුට හිතෙන්නේ ඉන්ජිනේරුකම මිටින් අරන් උපන් නිසා නොවේද? ඔහු අලුත් පාරක් හදන්නට මුල් වන බව දැනුණු නිසා නොවේද?  නොඑසේ නම් ප්‍රීතීන්ගේ තාත්තා වහාම ඔහු ඩෝසන් යනුවෙන් නම් කළේ ඇයි? ඔහුගේ අනාගතය ගැන දැන සිටි බැවින් මිස අන් කවර හේතුවක් නිසාද? නමුත් මේ උතුම් තාත්තා නොදැන සිටි ‘‘එක් සුවිශේෂ දෙයක්’’තිබේ. ඒ ඔහු පුනුරුප්පත්තිය ලැබුවේ අර නයි විසද සමගින් බව ය. ඔහු තුළ නයි විස වූ බව කෙමෙන් පිටතට පෙනෙන්නට වූයේ ඔහු භාෂාව හරහා සමාජයට දෂ්ඨ කරන්නට වූ විටයි. මෙය මෙතෙක් කාටවත් කියවා ගත නොහැකි වුවාට මා මක් කරන්නද? මට එය ඔප්පු කළ හැකිය. ගන්න ඔහුගේ පළමු කවි පොත අතට. මොකද්ද නම? ‘‘මුචලින්ද තාප්පය’’. දැන් හරිද

නමුත් මේ නයි විසෙන් මියගිය ඉන්ජිනේරුවා, නයි විස සමඟින්ම යළි උපතලබා ඇති බව අපට හරියටම දැනේනනේ ‘‘ඔහු තම විස කැවු බස’’ අප හදවතට මුදා හැරිය නිෂ්චිතම නිමේෂය වන ‘‘හකාවති’’හරහා බව මම ඔබට පවසමි.

මා එසේ කියන්නේ ඇයිදැයි මා පැහැදිය යුතු ය. සාධනය කර පෙන්විය යුතු ය. නොඑසේ නම් එය ප්‍රලාප ගනයට වැටේ. එවන් නන් දොඩවන්නෙකු දක්වා පිරිහෙළනු ලැබීමට මම නොකැමැත්තෙමි. ප්‍රලාප ඇදබා මිත්‍රද්‍රෝහියකු වීම නොමනා ය. තරම් නොවේ.

ඩෝසන්ගේ ප්‍රකටම කෙටිකතාව ලෙස මේතාක් සියල්ලන්ම සංවාදයට නතු කර ඇති ‘‘මිරැන්ඩා’’  ඇරඹෙන්නේ මෙලෙසිනි. පළමු ඡේදය ය.

‘‘
රතුපාට නිල්පාට කොරහැඩි දිලිසෙන සර්පයා සිය සියුම් දිගැටි දෙපෙති දිව "සුරුස්... සුරුස්" හඩින් පිඹිමින් ජනේලයේ මළකඩ කෑ යකඩ පොලු අතරින් කාමරයට සිය හිස ඇතුල් කරද්දී ගැබ්බර සඳලතා තවත් තම උදරය යහන් ගැබේ සුසුදු පලස මත සීරුවට බර කර නින්දේ පසු වූවා ය.රතු නිල් පැල්ලම් අතර රන්වන් කොරපොතු රටාවේ දිස්නයෙන් දිලිසෙන සර්ප බඳ කළු පාට ජනෙල් පොල්ලෙන් එතී පහලට චලනය වූයේ ඔරලෝසුවේ විනාඩි කටුවේ අත දෙකේ ඉලක්කම උඩින් සෙමෙන් ගමන් ගත් තරම් වේගයෙනි. සර්පයා සඳලතාගේ දෙකළවා යුගල අතරින් නොපෙනී යත්ම නිශ්ශංක මරළතෝනි දීගෙන ඇඳෙන් පනිද්දී මිරැන්ඩාගේ මන්නා පහර නිශ්ශංක සදහට නිශ්ශබ්ද කළ බැව් කිසිවෙකුත් නොදුටුවේය.’’

නිශ්ශංක දකිමින් සිටි සිහිනයේ රතු-කොළ කොරහැඩි දිළෙන සර්පයා ඇතුළු වන්නේ සඳලතාගේ කලවා අතරින් මිස මිරැන්ඩාගේ විප්ලවීය රතුපාට විප්ලවීය කලවා අතරින් නොවේ.  එය එසේ වී නම් එළැඹෙන මොහොතේ මරණ දෙකක් සිදුවන්නේ නැත.  සඳලතා ගැබ සැහැල්ලු කර ගන්නා මොහොතේදී එළියට ඒමට නියමිතව ඇති දෙදෙනෙක් මිරැන්ඩා තුළ සිටිති. එකකු දැරුවා ය. දෙවැන්නා නිල්-කොළ ලප සහිත සරුපයා ය.  දෙනොම එළියට නෑවිත් ඇතැයි අපට හැඟේ.  ඒත් සරුපයා?  සඳලතාත්, නිශ්ශංකත්, දරුවාත් ලෝකයෙන් තොලොංජි වුවද නිල් - කොළ ලප සහිත, රන්වන් කොරපොතු ඇති සර්පයාත්, විප්ලවීය මිරැන්ඩාත් තවමත් හිඳී.  මේ නම් කදිම කතාවක කදිම අවශේෂයකි. විෂ සහිත අවසානයකි.  ඩෝසන්ගේ සර්ප විෂ ය.

සමස්ථ කෘතිය පුරා සාවධානව හිඳන්නේ මෙකී උගුරු කාරක චමත්කාරයයි. රමනීය වන්නේ   ‘‘වමනීය’’ වේදනාවයි.  ඩෝසන් භාෂාමය කැටපත අල්ලන්නේ සමාජය වෙත යි.  අප වෙත ප්‍රක්ෂේපණය වන්නේ සමාජමය යථාවයි.  සමාජය කෘෘර වූවාට ඩෝසන් මක්කරන්නද?  සමාජය පාදඩ වූවාට සාහිත්‍යකරුවා මක්කරන්නද?  කාලකන්නභාවය ලඹ දෙන අවාකාශයක, එය, කෘතියකින් නිරූපනය වන්නේ නම් කෘතිය දැමිය හැක්කේ කවර ගොඩට ද? පැහැදිලි ය.  ඩෝසන් ප්‍රීති ස්වකීය කෙටිකතා සමුච්චය හරහා සහෘදභාවය රිදවා ඇත. එකී හදවත් පාරා ඇත.  එසේ සිදුකළ ලියන්නා ඈතක හිඳ අපට හිනාවෙමින් සිටී.  අපට දැනෙන්නේ මාරාන්තික රිදවීමකි. ඒ මාරාන්තිකභාවයේ භාෂාත්මක වික්‍රමය සුවිශේෂි ලෙස පැන නඟින්නෙ ‘‘මාරාව’’ හරහා ය.  කතා නම් මෙහෙමය කියන්නාක් මෙනි. එකිනෙකට සම්බන්ද දේවල් එකිනෙකට වෙනස් උපැහැරණ ඔස්සේ අපට කියවන්නට සැලැස්වීම මාරාව කතාවේ තියෙන මාරාන්තික ශිල්ප දැක්විම ය.

‘‘කැරකිලා යන්න ගත්තා ආකාහේ වළාපටි සේරම කෑදැත්තො තටු ගහපු වේගෙට. පයට පෑගුණු මඩ තල්ලි චිරි චිරි ගාලා ලෙස්සලා යැව්වා කකුල් දෙක පැද්දිලා දෙන්නට දෙන්න ආදාරකර ගෙන සමබර වුනා දුවද්දිම. පේමක්කා හීතලට හීතලවෙලා හිටියේ මට අතේ එතිච්ච මොහොතට දැනුණා අයිස්පලමක් වගේ හංදියේ කඬේ ශීත පෙට්ටියේ ඇසිරිච්ච. අඳුර ගලා ගෙන එන්නේ කුණාටුවක් වගේ ඉහ ඉද්දරින්’’

ඩෝසන්ගේ සමස්ත කතා කලාව පැන නැඟෙන්නේ ‍ෆන්තාසුසීය ( Phanthasus)පදනමකින් යැයි මම කියමි.  ඔහු මායාමය සහ මිත්‍යාමය සිහින මවන්නකු වන්නේ ය.  එසේ නමුත් වෛරීය දෑ කතා අධ්‍යාත්මය තුළ රෝපනය නොකරයි. නමුත් ඩෝසන්ගේ කතා කලාව ස්ථාපිත වන්නේ ඉකෙලොසීය ( Ikelos) සන්ධර්භයක යැයි මම පවසමි. ඔහු සිහිනයන්ගෙන් නිමවන්නේ සත්‍යයයි.  ඒ සිහින තාත්වික වන්නේ වෙයි.  එබැවින්ම යථාව නිරූපනය කරන්නේ වෙයි.  යථාව ඥානනය කරන්නේ වෙයි. මේ අනුව ඩෝසන් සිහින පිහිටුවනුයේ ෆ්‍රොයිඩියානු විශ්ලේෂණයට ප්‍රතිපක්ෂව බව මම පවසමි. සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමකැයි ෆ්‍රොයිඩියානු අවකාශයේ විග්‍රහවෙතත්, මේ සිහින, ඒ සිහිනයන්ගෙන් වෙන්වන්නේ මේවා සිහින ආකෘතිය තුළ නිමවනා නිර්මාණකරුවකු සිටිනා බැවිනි.  එබැවින් මේ නිර්මාණ සමුච්චය තුළ ප්‍රාර්ථනාවන් නැත.  ඩෝසන් කැටපත අල්ලා පෙන්වනා ලංකාවේ සැබෑවටම පවතිනා මෙ බඳු ම්ලේච්ඡකර අවකාශයක් පතන්නේ එකී ගන්දස්සාරයම පැවැත්ම කරගත් මුග්ධ ධනේෂ්වරයේ දේශපාලක කූඨකයන් විනා නිර්මාණකරුවන් නොවේ.

කෙසේ හෝ කතා 13ක් එකම විග්‍රහයක තැබිය හැක්කේ කලාතුරකිනි. ඒ කලාතුර ඩෝසන් අපට නිමවා දී ඇත.  බොහෝ විට ඔහු කතාවෙහි වන සත්‍ය නිමවන සිහිනය අරඹන්නේ ම එකී සිහිනයට බැරල් බෝම්බයක් හෙලා එය කුඩුපට්ටම් කරලන වැකියකිනි. ඡේදයකිනි. මෙබඳු ය.

‘‘මට කවි පැටියෙක් හදා ගන්න  ඕන!

සුජාත පුත්‍රයන්ගේ වික්‍රමය පටන් ගන්නේ එහෙම ය. ඊළඟට..........? ඊළඟට මෙහෙම ය.

‘‘කවියාගේ මව ගැස්සී බලා සිටිද්දීම ඇයව කරට උස්සා ගත් කවියාගේ පියා දංගොල්ලට එපිටින් වූ කුඩා වන රොදට ඇයව ඉමහත් වේගයෙන් රැගෙන ගියේය. ’’  

බීට් රූට් ලේ හිදී සිද්ධ වන්නේ කුමක්ද? එය පටන් ගන්නේ මෙන්න මෙහෙම ය.

‘‘ඇය සියල්ලන් මවිතයට පත් කරමින් බීට් අල තැම්බූ වතුර රුධිර පාරවිලයනය සඳහා සාර්ථකව යොදා ගත්තෙන් ස්වර්ගය පෘථිවිය මතට පාත් වූයේ හදිසියේම ස්වර්ගයේ සිදු වූ බර වැඩි විමේ ප‍්‍රතිඵලයක් ලෙසටය යන්න සාක්ෂාත් වූයේ පෘථිවියෙන් අර්ධයක් ජනගහණය මාස තුනක් වැනි කෙටි කාලයක් තුල ස්වර්ගස්ථ වූයෙන් ස්වර්ග ලෝකයේ ගුරුත්ව කේන්ද්‍රය විතැන් වීමෙන් මේ අලකලංචිය සිදු වූ බව තහවුරු කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුවේ ඒකාබද්ධ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසය.’’

ඊළඟට........?

‘‘දිගින් දිගටම සිහින තුළ සහ අන්තර් සිහිනමය ප‍්‍රවෘත්ති විකාශය ඔස්සේ පියැවුනු දෙනෙත් පුළුල් තිර මත ප‍්‍රක්ෂේපණය වෙමින් පැවති මේ ස්වර්ග ලෝකයේ පෘථිවි පාතන ජවනිකාව බොඳව ගොස් දෙනෙත් තුළ අන්ධකාර ගුහාමය කළුවක් වැටුනේ ස්වර්ග ලෝකයෙන් ආ අපූරු තණකොල පෙත්තෙක් වැනි සුරංගනාවක් හදිසියේ චන්ද්‍රාණිගේ නහය මත වැසීමත් සමගමය.’’

කතා එකින් එක මෙසේ පෙන්වා දීමට හැකි ය.  කුමටද?  මා  මෙහිදී ඔහුගේ නිර්මාණ අරභයා මතු කරන ප්‍රවාදය සාක්ෂාත් කරලීමට ඔහුම නිදසුන් සපයා දී ඇත.  ඩෝසන් වනාහී අන්තිම හිතුවක්කාරයෙකි.  ඉවසුම් විරහිත මිනිසෙකි.   ඉදින් අප මේ කුමක් කීවද ඔහු තමන්ගේ නිර්මාණ කෙරෙහි වන නීති රීති පද්ධතියක් තෙමේම නිමවන්නේ යැයි හඬගා කියයි.  දැන් ඉතින් කට උත්තර නැත.  බලන්න. ! මහා ජල පාතනය.

ඒ නොපෙනෙන සියල්ල විශ්වාස කරන්නා වූ ද පෙනෙන්නට තිබෙන සෑම දෙයක්ම අවිශ්වාස කරන්නා ද වූ මිනිසාගේ යුගයයි.

භාෂාවේ තර්ක ශාස්ත‍්‍රය ඉපදෙමින් සිටි සමයයි.

මේ අන් යුගයක් නොවේ.  ඉක්ම යන මොහොතයි.  ඔහු කොට්ට උරයක් සේ කනපිට ගසා පෙන්නවන යථාව ඥානනය කළ යුතු මේ නිමේෂයයි.  මේ සියලුම කෙටි කතා ලෙනිනියානු ප්‍රවේශයකින් විග්‍රහ කළ හැකි වනුයේ එබැවිනි.

අවසානායේ මම මෙසේ කියමි.  ඒත් හකාවති ගැන ය. හකාවති යනු අරාබි වචනයකි.  දැන් ඒ වචනය සිංහලයට එකතු වී ඇත.  එය සිංහලෙන් මකා දැමිය නොහැකි ලෙස ය. එය එකතු කරන ලද්දේ ඩෝසන් විසිනි.  වචන නාස්ති කරනා භාෂාප්‍රේමින් සිටින අවකාශයක අලුත් වචනයක හෝ සම්ප්‍රදානයක් සහිතව සාහිත්‍යට එකතු වීම ම වැදගත් වැඩකි. ඩෝසන් එය සිදු කර ඇත.  ඔහු අලුත් පාරක් හදන්නට මඟ එළි පෙහෙලි කර ඇත.  ඔහු ව්‍යාජ විචාරක‘‘සර්පයන්ගේ’’ දෂ්ඨ කිරීම් වලින් ප්‍රවේශම් වී සාහිත්‍යයිකව මිය  නොයන්නේ නම් ඒ පාර තැනෙනවා නියත ය.

මංජුල වෙඩිවර්ධන

2014 ඔක්තෝබර් 25.

මෙබඳු විචාරයක්!

මේ හෂිත අබේවර්ධන හකාවතිය දෙස බැලූ අයුරය.
මෙබඳු විචාරයක් කෙළෙස ලබම් ද, හෂිතගෙන්ම හැර?

හකාවති පහසු-අපහසු වියමනක් ලෙස.!

සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමයි-ෆ්‍රොයිඩ්-

හකාවති කෙටිකතා මුලින්ම එහි බ්ලොග් අඩවියේ පළ වන විට අපේ ගෙදර කතාබහක් ඇතිවිය. 'මේ ලියන එකා නම් මාර කෙටිකතා කාරයෙක්' මම කීමී[මම ඒ කතා කරු හැඳින නොසිටියෙමි]. 'මේ කතා කාරයා තවත් හොඳයි මේවා තවත් වතාවක් ලිව්වා නම්' අපේ උන්දෑ කීවාය. ඇය කවර හෝ කෘතියක 'භාෂාවේ' කොන් ඉලිප්පී තිබෙනු දැකීමට අකමැත්තීය. 'හකාවති ලංකාවේ කෙටිකතාවේ අනාගතයයි' මම එහි කමෙන්ට් කළෙමි.

වෛද්‍ය ෆ්‍රොයිඩ්ගෙන් ඉහත උපුටා ඇති වැකිය කෙටිකතාවක් කියවා ගැනීම පිණිස පිවිසුමක් සපයයි. හකාවති කෙටිකතා කුඩා දවල් සිහින වැනිය. සමහරක් සංගීතය සහිත භ්‍රාන්තික සිහිනයන් ය. සමහරක් සංගීතය රහිත භ්‍රාන්තීන් ය. සිහින ප්‍රක්ෂේපණය වන ෆැන්ටසි තිරය මතට ප්‍රොජෙක්ටර් ආලෝකයක් එල්ල කළ විට පමණක් එබඳු සෙවණැලි භ්‍රාන්තීන් දැකිය හැකිය.

අජිත් තිලකසේන සිය කෙටිකතා මගින් ලංකාව නම් මනෝ දූපතේ වාසය කරන සත්ත්වයාගේ ද පුද්ගලයාගේද මනෝභාවය වෙත සිය ප්‍රොජෙක්ටර් එළි ධාරාව මුල් වරට විහිදුවා ලූ පසු ආපසු ගමනක් නැති විය. ඔහු අතින් සිදු කෙරුණේ පසු යටත්විජිතයක මිනිස් සබඳතා විශ්ලේෂණීයව කියවා ගැනීමට අවශ්‍ය ඛන්ඩණීය මැදිහත් වීමයි. ඉන්පසු තිරය මත වූ අංශු පමණක් නොව තිරය ඉදිරිපස හා පසුපස පාවෙමින් තිබෙන අංශූන් පවා පෙනෙන්නට විය. 

ෆැන්ටසි තිරයට අරක්ගත් එහි මෝස්තරය වන සළාවැටුමක් වෙයි. පවුල නම් එම සළාවැටුම් මෝටිෆ් එක [මාතිකාව]තිරයෙන් එළියට නොඉල්පෙයි හෝ පසුපසට එබී නොයයි. මේ කුඩා සළාවැටුම් රාශිය වෙත වෙනත් තරංග ආයාමයකින් යුත් එළිදහරක් එල්ල කිරීමට 1982 තෙක් කාලය ගත යුතුව තිබිණි. 'සර්පයෙකු හා සටන් වැද' [කේ කේ සමන් කුමාර] කෙටිකතා සංග්‍රහය උපදින්නේ එම සළාවැටුම් පමණක් බිම්බායමාන කෙරෙන කතා එකතුවක් ලෙසිනි.  සර්පයා සිය කෙටිකතා පොත පුරා කරන්නේ පවුල නම් කුඩා සිපිරි ගෙය චිත්‍රණය කිරිමයි. බෞද්ධ ප්‍රඥාමාර්ග සාහිත්‍යය යනුම මේ සිපිරි ගෙය හා එහි කැණිමඬල විදාරණය කිරීමයි. සර්පයා සයිමන් හා ජයසේන ජයකොඩි ගෙන් ප්‍රඥා මාර්ගය තවමත් සොයමින් සිටින්නේ නම් ඒ දැඩි මුළාවකි. 'කුටුම්භ විශ්ලේෂණය' නම් විෂයය තවමත් ඉපිද නැත. එහි විවිධ පැතිකඩ තාක්ෂණයන්ට සීමා වී වියුක්තව තැන තැන විසිර පවතී. තමන් වයස 18දී ලියූ මේ කතා ගොන්න කොන්ටම් ඔපරේටරයක් කර ගැනීමට සමත් වීමෙන් පමණක් සර්පයාගේ චතුෂ්කෝටිකය විසඳා ගත හැකි වෙනු ඇත.  

සිංහල කෙටිකතා සාහිත්ය ය එහි තෙවෙනි විශ්ලේෂණාත්මක පිම්ම පනින්නේ ඩෝසන් ප්‍රීති ගේ ‘හකාවති’ නිසා යැයි කීමට මම ප්‍රගල්භ වෙමි. [එයින් සංස්ලේෂණීය වින්දනාත්මක කෙටිකතා අවැඩදායි යයි ගම්‍ය නොවෙන බව සැළකිය යුතුය].  මිරැන්ඩා හි 'මිරැන්ඩා' හා 'සඳලතා' නම් ශ්‍රෝඩිංගර් බැළලියන් දෙදෙන සිංහල කෙටිකතාවට කැඳවා ඒම ම ඒ සඳහා ප්‍රමාණවත්ය. සඳලතා මියගියා නම් මිරැන්ඩා ජීවත් වුනාද? නැතහොත් සිදුවුනේ එහි අනෙක් පැත්තද? මේ 'ඉමැජිනරි පැරඩොක්සයේ' එක් පද්ධතියක් නැවතී අනෙක පටන් ගන්නා  තැන අතර සම්බන්ධය [අති පිහිතය] ප්‍රශ්න කිරීම ම දේශපාලනික අභියෝගයකි. බී 5 පිටු පහකින් මේ න්‍යායික අභියෝගය සූත්‍ර ගත කිරීම ෆැන්ටසි තිරයේ ප්‍රක්ෂේපණයන් කෙළ පැමිණි කෙනෙකු අතින් පමණක් සිදුවිය හැකිය.   

සුජාත පුත්‍රයින්ගේ වස්තුවේ යතාර්ථය වංගුවක් ගසන්නේ කාලයේ නැමීමක් ලෙස අවකාශය ද අවකාශයේ නැමීමක් ලෙස කාලය ද පවත්නා ලෙස උපකල්පනය කරවන 'පුරෝකථනය කළ නොහැකි' අවස්ථා ගණනාවකිනි. එහි ඇත්තේ සසම්භාවී අවකාශයක් පමණකි. කියවන්නා සවිඥානක වන්නේ එහි අන්ත ඵලයට පමණි එය 'හකාවති ගේ' උප්පරවැට්ටියකි. කතාවේ හරය වන්නේ ග්‍රහණය කරගත නොහැකි සිදුවීම් අවකාශයයි. කතාකරු 'ඩබල් ස්ලිට් [ද්විත්ව විවර]' පරීක්ෂණයේ මෙන් අපට පෙන්නන කොටස නිසා නොපෙනෙන කොටස උපකල්පනය කර ගැනීමට අවකාශ සලසයි. ආලෝකය අංශුමය නොවේ නම් මොන රෙද්දක් දැයි ඇසිය නොහැකි බව සුජාත පුත්‍රයාගේ මරණය සිහිකැඳවයි.    

රෝලන්ඩ් බාර්ත මහතා වියමන් වර්ග දෙකක් ගැන විමසයි. ඔහු රීඩර්ලි ටෙක්ස්ට් හා රයිටර්ලි ටෙක්ස්ට් යනුවෙන් බෙදන වියමන් වර්ග දෙක හකාවති සුගතදාස මහතා ගේ ජීවන වෘතාන්තය හා විනෝදාත්මකව පාහයි. කියවන්නිය අභියෝගයට ලක් නොකරන සුගතදාස මහතාගේ වෙබ් සාහිත්‍ය නොහොත් හෝද හෝදා මඩේ දැමීම නොහොත් අනවරත ස්වයං මෛථූනය -සුරතාන්තය මෙහි පරමාර්ථ නොවේ- නම් රීඩර්ලි ටෙක්ස්ට් එක විනිවිද දැකීමට උවමනා එක්ස් කිරණ ප්‍රහාරය 'විනෝදය' කෙටි කතාව විසින් කියවන්නිය වෙත ලබා දෙයි. විනෝදය රයිටර්ලි ටෙක්ස්ට් එකක් වන්නේ මේ විනිවිද යාම සංජානනය කර ගැනීම විසිනි. එම විනිවිද යාමෙන් අත්පත් වෙන 'දිව්‍ය සැපත' විනෝදයට වඩා පරමාර්ථ ය ට ආසන්න වෙයි.

2009 ඔක්තෝබරය වෙන විට ‘ලේ’ යනු ඉතා සුලබ හා ඉල්ලුම සැපයුම ඉක්මවා ගිය කොමෝඩිටියකි. සැපයුම ඉල්ලුම ඉක්මවා යාම ද එකවිටම සිදු වීම පල්ලමකට චූ කළ කුඩාවුන් දෙදෙනෙකුගේ චූ ගැලීමේ වේග තරඟයක් මෙන් විය. ලේ බීට් රූට් වතුර තරම් තුනී විය, චූ තරම අතිරික්ත විය. නිරීක්ෂකයා කතාවේ අග වෙන විට නැවතත් යතාර්ථය හා පැරඩොක්සිකව සම්මුඛ වෙයි.අර්බුදයට ගොස් ඇත්තේ යතාර්ථය නොව නිරීක්ෂකයා බව නිරීක්ෂකයාට ඒත්තු නොයන්නේ බොරැල්ලේ දාස ගොඩනැගිල්ල පාඩු ලබන බිල්ඩිමක් බව එය ඉදිකරන මොහොතේම තෙරුම් නොගත් මුදලාලි ට සිදුවූ අයුරිනි.

මේ අයුරින් හකාවති කියවා ගැනීම පහසු-අපහසු ක්‍රියාවක් වන්නේ එහි මතු පෙළ කියවා ගත හැකි නමුත් යටි පෙළ කවර වූ හෝ විශ්ලේෂණීය න්‍යායක් හා බැඳි ඇති බව සංජානනය කළ පසුවයි. හකාවති බ්ලොග් අඩවිය ලංකාවේ මුල්ම කෙටිකතා බ්ලොග් අඩවිය විය. 100% බ්ලොග් කෙටිකතා මුල්වරට පොතක් වූයේ හකාවති ගෙනි. ගැඹුරු කියවන්නන් අන්තර්ජාලයෙන් ඈත ඉන්නා නමුත් ගැඹුරු ලියන්නන් අන්තර්ජාලයෙන් ඇරඹිය හැකි බව හකාවතිගේ දෘශ්‍යමාන උදාහරණයයි. 

හකාවති ට දැන් බකන්නිලා සිටිය නොහැකිය. ඊළඟ පියවර තැබිය යුතුය.  

හකාවති ලංකාවේ කෙටිකතාවේ අනාගතයයි !