Monday, August 9, 2010

'ෂිරින්'- චිත්‍රපටයක් නැති චිත්‍රපටයක්| කියරොස්තාමි නම් වූ සංකේතීය පීඩකයා


'ෂිරින්'- චිත්‍රපටයක් නැති චිත්‍රපටයක් කියරොස්තාමි නම් වූ සංකේතීය පීඩකයා

ඉරාන සිනමා පතාකයෙක් වන අබ්බස් කිය‍රොස්තාමිගේ ෂිරින් සිනමා පටය එවැනි සිනමා ආකෘතියක් නියෝජනය කරන එම වංශයේ එකම සහ ප්‍රථම කෘතිය ලෙස මට දැනේ. 1975 ඉන්ග්මාර් බර්ග්මාන් ගේ ද මැජික් ෆ්ලූට් නම් වූ සිනමා සිත්තමේ කිසියම් ඡායාමය අත්දැකීමක් හෝ අනුභූතියක් හේතුවෙන් කියරොස්තාමී ෂිරින් නිර්මාණය උදෙසා ආභාෂයක් ලබන්නට ඇතැයි යන අනුමානය මේ සිනමා කෘති එක ළඟ තබා බැලූ විට පෙනී යයි. සැබැවින්ම ෂිරින් සිනමා කෘතියේ අන්තර්ගතය වන්නේ ඉරානයේ සුප්‍රකට පුරාණෝක්තිගත අතිශය රමණීය ප්‍රේම වෘතාන්තයක් වන කොෂ්රොව් සහ ෂිරින් පෙම් පුවතය.



මෙම පෙම්පුවත ළගන්නා සුළු කාව්‍යයක් බවට පත්වන්නේ ප්‍රකට ඉරාන කවියකු වන නේසාමි ගන්ජාවි [1141-1209] අතිනි. පෙම්පුවත කොතරම් මනරම් වුවද ෂිරින් සිනමා පටයේ ප්‍රේක්ෂකයාට දැක ගත හැක්කේ එම ප්‍රේම වෘතාන්තය කේන්ද්‍රීය වූ නාට්‍යයක් නරඹමින් සිටින එකසිය ගණනක් වූ ප්‍රේක්ෂිකාවන්ගේ මුහුණුය. කියරොස්තාමිගේ ෂිරින් සිනමා පටයේ ආරම්භක රූප රාමුවේ සිටම දැකිය හැකි වන්නේ විවිධාකාර වූ නාට්‍යමය අවස්ථා උදෙසා සිය චිත්තාභ්‍යන්තරයේ හට ගන්නා සංවේදනයන් මුහුණින් පළ කරමින් සිටිනා ප්‍රේක්ෂාගාරයක සමීප මුහුණු දසුන්ය.

ෂිරින්ගේ පෙම්පුවත තිරය මත දිගහැරෙන්නේ එහි නාට්‍යමය හඩපටය ලෙසිනි. එම හඩපටය ඔස්සේ සිදුවීම් චැනලයක් නිර්මාණය කරන අතර එම ශාබ්දික සිදුවීම් ඔස්සේ ස්ත්‍රී මුහුණු තුළින් පරාවර්තනය වන හැඟුම් විසින් දෙවන චැනලයක් නිර්මාණය වෙයි. මෙම චැනල දෙක හරහා ප්‍රේක්ෂකයා එම පෙම්පුවත මනසින් නිර්මාණය කර ගැනීමේ අභ්‍යාසයකට යොමු කරවයි. මෙහිදී සිනමා න්‍යාය කණපිට හැරවීමක් වන අයුරින් සිනමා කෘතිය නැවතත් ප්‍රේක්ෂකයාගේ නොපැවැත්ම සහ මායාවේ පැවැත්ම යන මූලික තල දෙක එකම තලයක් බවටත් එම තලය ලැකානියානු දර්පණයක් බවට පත් කිරීමෙන් ප්‍රේක්ෂකයාගේ මනසේම ප්‍රතික්‍රියාව ප්‍රේක්ෂකයා වෙත මුදා හරින්නට සැකසුමක් බවට පරිවර්තනය වීමෙන් ප්‍රේක්ෂකයාගේ ආශාවේ වස්තුව ලෙස තමුන්ම විමසීමට ඉඩක් සැළසේ.

ෂිරින් සිනමා පටයේ මෙම ලියැවිල්ලට අදාල වන ලැකානියානු සිනමා විචාරයේ මූලික අදහස් කීපයක් වෙත අවධානය යොමු කරමු. මෙහිදී අවධානයට ලක්වන්නේ කැඩපත් අවදිය නම් වූ ලැකානියානු මනෝවිශ්ලේෂණ සිද්ධාන්තයේ සිනමා භාවිතය ගැනයි.

ලැකානියානු සිනමා කියැවීමක් තුළ දී සිනමා කෘතිය සහ ප්‍රේක්ෂකයා යන අන්ත දෙක ස්ථානගත වන්නේ අවිඥානය තුළ අවධියක් ලෙස නිර්ණය වන කැඩපත් අවදිය යි. දර්පණය ඉදිරියේ මව සහ දරුවා ප්‍රථම වතාවට හමු වද්දී මවගේ ප්‍රතිබිම්බය සමග එක්තැන් වන දරුවාගේ ප්‍රතිබිම්බය දර්පණය තුළ දකින අවස්ථාවේ දරුවා පරිකල්පනය කරන්නේ තමන්ගේ සහ මවගේ ඒකත්වයකි. මෙම ඒකත්වය රසායනිකව ලියා ගන්නා දරුවාගේ අවිඥානය ඊළඟට අත්කර ගන්නේ මව විෂයක් ලෙස හඳුනා ගන්නට පෙළඹීමයි. මෙම ක්ෂුද්‍ර කාල අවස්ථාව තුළ දරුවා තමන් සහ මව අතර ඇති සම බව හෝ විෂම බව පිළිබඳ දැනුම ලබා ගනී. මේ අවස්ථාවේ දී දරුවා තමන්ගේ ප්‍රතිරූපය දර්පණය තුළින් මායාකාරී ලෙස දැකීමෙන් සිය ස්වරූපය හඳුනාගැනීමක් පරිකල්පනය කරගන්නා අතරම සිය මව පිළිබඳ නිරූපිතය නැති වී යාමක් ද සංවේදනය කරයි. එබන්දක් සිදු විය හැක්කේ තමන්ගේ සහ මවගේ ඒකත්වය දැකුම තුළින් තමන් ගේ ස්වරූපය ප්‍රථම වර රසායනිකව ග්‍රහණය වීමත් තමන් මෙතුවක් දුටු මවගේ ස්වරූපය ප්‍රතිනිශ්පාදනය වී කැඩපත තුළ දැකීමත් හේතුවෙන් එහි විශ්වසනීයත්වය බිඳීයාමක් හා සමාන ලෙසිනි.

ලැකානියානු මනෝවිශ්ලේෂණය තුළ පැහැදිලි වන මෙම කැඩපත් අවස්ථාව වටහා ගැනිමේ සරලමතිකයක් ලෙස එම උදාහරණය ප්‍රමාණවත් වුවද තත්වය වඩාත් සංකීර්ණ වන්නේ එම ගිලිහී ගිය මවගේ ප්‍රතිරූපය නැවත අත්කර ගැනීමේ අවස්ථාවට පරිවර්තනය වීම තුළ ගොඩනැගෙන්නා වූ අවුල්සහගත ස්වභාවයයි. එම නැවත මවගේ ඒකත්වය සොයා යාමේ අවස්ථාවෙන් නිර්මාණය වන්නට පටන් ගන්නා වූ සංකේතීය විශ්වය ඉන් ඔබ්බේ සියළු මනෝගතිකයන් හා සංකීර්ණව බැඳේ‍. එසේ වන්නේ මෙම මව හා නැවත ඒකත්වය සෙවීමට හැරෙද්දී එම ආශාව බාධා කරන්නට ලිංගිකමය අවරෝධනයක් පියා තුළින් ගොඩනැගීම හේතුවෙනි. මෙය ලැකානියානු මනෝවිශ්ලේෂණය තුළ නාමකරණය වන්නේ පියාගේ තහනම ලෙසිනි. පියාගේ මෙම අතරමැදි වීමත් සමගින්ම දරුවා ඇතුළු වන්නේ මූලික සම්බන්ධතා ත්‍රිත්වයක අවකාශයකටය. පියා ගේ තහනම ඉදිරිපත් වන ස්වරූපය ලෙස මව හා බැඳීම කෙරෙහි බලපවත්වන නිශේධනීය විධානය එනම් "එපා" යන අණ හේතුවෙන් පියා සිය බලය පවත්වා ගන්නා අතර දරුවා එයට අවනත වීම තුළ එක් අවදියක නිමාව සටහන් වේ.

මේ ආකාරයට භාෂාව දරුවා තුළ අණ පනවන්නට අතරමැදි වීම තුළින් ඔහුගේ සංකේතීය විශ්වයේ ඇරඹුම සනිටුහන් වේ. මේ අයුරින් දරුවා හෝ දැරිවිය සිය පැවැත්මේ අනාගත අවදිය වන විශයකරණය හෝ පුණර්‍ ලෙස සමාජගත වීම යනු පියාගේ නීතිය හෙවත් භාෂාව වැළඳ ගැනීමයි. දරුවා භාෂාවේ යථ තුළට වැද්ද ගැනීමට පියාගේ නීතියේ කාර්යභාරය පිටුවහල් වේ. මින්පසු පියාගේ භාෂාවේ එනම් එපා යන විධානය තුළින් ගොඩනැගෙන සංකේත පිළිවෙලට දරුවා සිය අවනත භාවය පිළිගනී. මේ ආකාරයෙන් පිරිමි දරුවාගේ සමාජගත වීම සම්පූර්ණ වන්නේ යැයි සැළකිය හැක්කේ ස්ත්‍රී අනෙකෙකු හා සම්බන්ධ වීමෙන් වද්දී ස්ත්‍රී දරුවාගේ සමාජගත වීම ප්‍රථමයෙන් සිය ආශාවේ වස්තුව ලෙස පියා දෙසට ද ඉන් පසුව පුරුෂ අනෙකෙකු දෙසට ද වශයෙන් ආශා‍වේ වස්තු පරිවර්තනය වීමෙනි.

මෙයාකාර වූ මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශය සිනමා තිරය තුළ දී නැවතත් කළින් සඳහන් වූ ආකාරයේ කැඩපත් අවදියකට ප්‍රේක්ෂකයා නිරාවරණය කරන බැවින් පරිකල්පනීය තලයේ අවිඥානයේ ක්‍රියාකාරිත්වය වටහා ගැනීමේ මොඩලය ප්‍රතිවර්ත කිරීමෙන් සිනමා පටය කියවා ගැනීමේ ප්‍රතිමොඩලය අපට සපයයි.

ප්‍රේක්ෂකයාගේ නොපැවැත්මක් තුළ සිනමාවක් නොපවතී. තිරයේ ප්‍රතිබිම්බත් එය‍ වෙත බැල්ම හෙලන ප්‍රේක්ෂකයාගෙත් සාමුහිකත්වය තුළ සිනමා ආශ්වාදනය ගොඩනැගේ. එමෙන්ම තිරය මත පිළිඹිබු වන්නා වූ දේවල් සැබවින් පවතින්නේ නැත. ඒවා පැවතුනා විය හැකි වුවද ඒවා පැවතීමක් තිරය මත නොසිදුවේ. තිරය මත සියල්ල නොපැවැත්මකි. මායාවකි. සංකේත විශ්වයකි. ප්‍රේක්ෂකයාගේ පැවැත්ම තිරයෙන් පිටතත් එමෙන්ම තිරය තුළ ප්‍රේක්ෂකයාගේ සංකේත විශ්වය ගොඩනැගීමත් හේතුවෙන් පැවැත්ම නොපැවැත්ම යන සිනමා සිද්ධාන්තය සෘජුව සිය ඇටවුම් සකස් කරගනී. මෙම පැවැත්ම සහ නොපැවැත්ම අතර ගැටුම සිනමා සංදර්ශනය පුරාම පවතින අතර එය අවසානයක් නොමැති එනම් එබඳු අවසානයක් වෙතොත් එය ප්‍රේක්ෂකයා ඒලියනේට් [alienate] වීමක් හෝ පරාරෝපණය වීමකින් අවසන් විය යුතුය. එමෙන්ම ප්‍රේක්ෂකයා තිරයෙන් වෙන්ව පවතින නිසා ඔහු රූප සහ ශබ්ද උරා ගන්නා වස්තුවක් බවට පත්වේ. මෙයාකාරයෙන් කැඩපත් අවදිය හා සමපාත වීමක් තිරය සහ ප්‍රේක්ෂකයා අතර සිදුවේ.

තිරය මත ට සිය දෘශ්ටිය යොමන පළමු අවස්ථාවේ දීම ක්ෂුද්‍ර කාල ප්‍රාන්තරයක දී ප්‍රේක්ෂකයා තමන්ගේ සහ තිරයේ ඒකමිතියක් සංජානනය කරයි. එවිට ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගන්නේ තමන් තිරය තුළ නොපවතින හේතුවෙන් තමන්‍ ගේ පැවැත්මේ වෙනස අවබෝධයකට පත්වීමයි. මෙම අවස්ථාව ඔහු හෝ ඇයට තිරය හෝ කැඩපත අතර තමන්ගේ අඩුවක් අත්විඳින්නට ලැබෙන අවස්ථාව හෝ මවගේ වෙන් වීම සලකුණු කරන අවස්ථාව හා සමපාත වේ. අවසානයේ දී ප්‍රේක්ෂකයා ට විෂය ලැබෙමින් පවතින්නා වූ සංජානන අවකාශය තමා බව හඳුනා ගැනීමට අවස්ථාව උදා‍වේ.

මේ ආකාරයෙන් විග්‍රහ කරද්දී සිනමා පටයක් සමග ප්‍රේක්ෂකයා ප්‍රතික්‍රියා කරන සියළු අවස්ථාවන් හිදී මෙම අවිඥාන තලයේ අවියෝජනීය ලෙස බැඳී පවතින අවස්ථා ත්‍රිත්වය පසු කර යෑම සිදුවේ. එනම් ප්‍රථමයෙන් තිරය කැඩපතක් හා සමපාතව තමන්ගේ අවිඥාන තලයේ ලිංගිකත්වය නිර්ණය ද [කැඩපත් අවදිය] දෙවනුව භාෂා ලෝකය ට අවතීර්ණ වීමද [සංකේතීය විශ්වය] අවසානයේ ස්වාත්මයේ ස්වයංක්‍රියාකාරිත්වය හෝ විෂයකරනය එනම් මවගෙන් වෙන් වීම හෝ විෂය හඳුනාගැනීමේ ක්‍රියාවලියට ඇතුල් වීම හෝ සංකේත විශ්වය තුළ විෂය හඹායාම නම් වූ අවදීන් ත්‍රිත්වයයි.

මෙම සිනමා අත්දැකීම ඉන්පසු දෙපසක සිදුවන පැවැත්මේ සහ නොපැවැත්මේ සුරතාන්ත ක්‍රීඩාවක ස්වරූපය ගනිමින් ආශාවේ දෘශ්‍යය ආනන්දය [visual pleasure] කරා ප්‍රේක්ෂකයා හඹා යවයි. මෙම ආශාවේ දෘශ්‍ය ආනන්දය පවතින්නේ ද එහි ප්‍රතිවිරුද්ධ සංරචකය ද පවතිද්දීය. එනම් බැලීමට දක්වන ලජ්ජාව යි. එනම් ප්‍රේක්ෂකයා හෝ ප්‍රේක්ෂිකාව බැලීම නමැති ක්‍රියාවේ යෙදෙන්නේ කිසිවෙකුගේත් ප්‍රති බැලීමකට යටත් නොවීමෙනි. එනම් තිරය මත සිදුවන ක්‍රියාවලිය බලා සිටින්නේ තිරයේ සිටිනා අයවළුන් නොදන්නා හෝ ඔවුනට නොදැනෙන සංජානනය නොවන ක්ෂේත්‍රයක දීය. ඊට සරල උදාහරණයක් ලෙස උද්‍යානයක පෙම්වතුන් කරන කියන දේ දර්ශනකාමයෙන් නරඹන්නකුට නිරන්තරයෙන්ම අවධානයෙන් සිටිය යුතු වන්නේ ඔවුන්ට නොදැනෙන සේ එය කරගැනීම ගැනයි. නමුත් තිරයක් මත සිදුවන ලිංගික ක්‍රියාකාරකමක් දෙස බලා සිටීමේ දී මෙම බාධකය නොපැවතුනත් එය දෘශ්‍ය ආශාවේ ආනන්දයට බාධකව පවතී.

ෂිරින් සිනමා පටයේ දී ප්‍රේක්ෂකයා අත්දකින්නේ මෙම තිරය සහ ප්‍රේක්ෂකයා යන වෙන්වීම තුළ තමා අතරමං වන ස්වරූපයක් තුළින් අවුලට පත්වීමකි. එනම් තමාගේ ඒකත්වය තුළ ගිලී යාමකි. ඊට හේතුව වන්නේ ප්‍රේක්ෂකයා‍ට ප්‍රේක්ෂකයාම වස්තු විෂය ලෙස තිරය මත දී හමු වීමයි. මෙහිදී ෂිරින් සිනමා පටයේ හඩ පටය නොවන්නට ඔහුට නිරීක්ෂණය වන්නේ ඔහුගේම ප්‍රතිබිම්බය යි. මෙනයින් සිනමා පටය අවසානය දක්වාම ඔහුට ගැලවීමක් නොමැති විෂය හඹා යාමක් තුළ හෙම්බත් වන්නට සිදු වෙයි.

දෙවනුව අවධානයට ලක් විය යුත්තේ කියරොස්තාමි මෙම සිනමා කෘතිය නිර්මාණයේදී උපයෝගී කරගන්නා මෙවලම් ආකෘතිය හෝ ගොඩනැංවීමේ ශිල්පීය උපක්‍රමය යි. ඔහු ඉරානියානු නිළියන් ද අවශේෂ ස්ත්‍රීන් ද ඔහුගේ චිත්‍රාගාරයට කැඳවා එකිනෙකට වෙනස් ආලෝක පුල්ලි තුනක් දෙස අඳුරේ බලා සිටින්නට සලස්වා ඔවුනට උපදෙස් දෙන්නේ තමා තුළ අතීතකාමී ලෙස පවතින්නා වූ ප්‍රේමාවලියක් සිතින් මවාගෙන ඒ ඒ අවස්ථා තුළ තමන් අත්දුටු සංජානනයන් මුහුණින් අභිනය කරන්නට සලස්වා කැමරාගත කිරීමයි[7]. මේ අවස්ථාවේ දී එම කිසිදු නිළියක් තමන් මේ නරඹන්නේ ෂිරින් කතා පුවත බැව් හෝ නොදන්නා අතර ඔවුන්ගේ මෙම සියළු මුහුණුමය භාවයන් ප්‍රදර්ශනය එම සිනමා පටයට ඓන්ද්‍රීය සම්බන්ධයක් ඇත්තේම නැත. සත්‍යවශයෙන්ම සිනමා කෘතියක ඇති ව්‍යාජ නිරූපණය මෙන්ම මායාකාරි සහසම්බන්ධය පවත්වා ගන්නට කියරොස්තාමි සමත් වන්නේ මේ එළඹුම තුළය.

සිනමා කෘතියක් වශයෙන් ෂිරින් ප්‍රේක්ෂකයන් අතර කිසියම් පර්යේෂණාත්මක නිර්මාණයක යෙදුනද එය ජනප්‍රියවාදී තලයේ අත්කරගත් අසාර්ථකත්වය මෙහි අන්තර්ගත විෂය ක්ෂේත්‍රයේ සිනමාත්මක විවරණය කෙරෙහි බලනොපාන බැව් මගේ විශ්වාසයයි.

ආශ්‍රිත ග්‍රන්ථ/සම්පත්/වෙබ් අඩවි:

1. Key Concepts in Cinema Studies-Susan Hayward
2. The mirror stage as formative of the function of the I as revealed in psychoanalytic experience Delivered at the 16th International Congress of Psychoanalysis, Zurich, July 17, 1949
3. THE FOUR FUNDAMENTAL CONCEPTS OF PSYCHOANALYSIS- Translated by ALAN SHERIDAN
4. හිස්ටීරියාව-දීප්ති කුමාර ගුණරත්න සංස්කරණය
5. ෂිරින් සිනමා පටය- DVD තැටිය
6. කොෂ්රොව් ෂිරින් ප්‍රේම වෘතාන්තය
7. Jeremy Heilman ගේ විචාරය

ස්තුතිය:

ලිපිය සකස් කිරීමේදී ඉන්ග්මාර් බර්ග්මාන්ගේ ද මැජික් ෆ්ලූට් [The Magic Flute] සිනමා පටය පිළිබඳ අදහස් දක්වමින් සහය දැක්වූ හෂිත අබේවර්ධන සොයුරාට කෘතඥ වෙමි. එම සිනමා පටය නැරඹීමට උපකාරී වූ ටොරන්ට් තාක්ෂණයට ද තුති පිළිගැන්වේ.

Sunday, August 8, 2010

බූඩි සමග කතා බහක්

බූඩි සමග කතා බහක්

සිනමාව ගැන කතා කරන්නට සිනමාකරුවකු සමග අවස්ථාවක් ලද්දෙන් අප සිනෙසිටියට කල්තියා ගියේ ඉමහත් බලාපොරොත්තුවෙන් සිත් පුරවා ගෙනය. අප සිතුවාටත් වඩා උද්‍යෝගයෙන් මඩනා ලද තරුණ තරුණියන් පිරිසක් බූඩි සමග කතාබහක් සඳහා පැමිණ සිටීම තරුණ පරම්පරාවේ සිනමා අවබෝධය පිණිස උනන්දුව විදහා දක්වන්නක් වීම මෙහි ලා සඳහන් කරනු වටනේය.

සිනමාව යනු පෙරළා ජීවිතය දෙසම හෙලන බැල්මක්ය යන ආස්ථානයෙන් ඇරඹි කතාබහ වෙළඳ දැන්වීම් කලාවේ සහ ටෙලිනාට්‍ය කලාවේ නොපවතින විචාරාත්මක ගනුදෙනුව දක්වාම විහිදී ගියේය. සිනමා කව තුළින් මතු විය යුතු ජීවිත ගවේෂණ යනාදියේ මූලික අදහස් ද සිනමාවේ ‍මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් ගැනද මතු වූ අදහස් වැදගත්ය. සිනමා කෘතියක් නැරඹීමේ සිට එහි ෂානරයන් සහ ආඛ්‍යානයන් හඳුනා ගැනීමද ලෝක සිනමාව පිළිබඳ කෙරෙන සමාලෝචනය ද අබ්බාස් කියොරස්තාමි ගැන සඳහන් වූ අදහස් ද රසවත්ය. එබඳු සාකච්ඡාවට බඳුන් වූ දේ වඩාත් දීර්ඝ ලෙස ලියන්නට ඇත්නම් වඩාත් අගේය.

ලංකාවේ කලා නිශ්පාදන වෙනුවෙන් කණ්ඩායම් ගත වීමේ නොහැකියාව ගැන බූඩි දැක්වූ අදහස් ද කොතරම් ප්‍රායෝගික දැයි අපට නොයෙක් වර සිතුනි.

තවත් දිනෙක තවත් බොහෝ සිනමා සිතුවිලි සාකච්ඡාවට විවර වන බිහිදොරක් ලෙස බූඩිගේ මෙම අතරමැදි වීම අපි සලකමු. ඒ සිනමාත්මක සැන්දෑව වෙනුවෙන් අපි ඔබට තුති පුදමු.

ස්තුතියි බූඩි.


බූඩි එක්ක වචනයක් දෙකක් කතා කරන්න ...

අද ඉරිදා අගෝස්තු අට වැනිදා.

ලංකාවේ සිනමාව සහ ලෝක සිනමාව අතර ඇති පාළම ගොඩක් පටුයි. වාහන දෙකකට මාරු වෙන්න බැරි තරම්. මේකට මොකද කරන්නේ?

බූඩි එක්ක මේ ගැන වචනයක් දෙකක් කතා කරන්න මරදාන සිනෙසිටි මල්ටි‍‍ප්ලෙක්ස් එකේ සවස දෙකහමාරට අපි මුණ ගැහෙමු.

පණිවුඩේ ලැබුණේ මූණු පොතෙන්. තිබ්බෙ මේ විදියටමයි.



Hi,
I am Planing to have a discussion about cinema and the current situations around the world, and how to improve ourselves with the rest of the world. This would happen every other weekend in Colombo. If you are interested to be a part of it and have the discussion, please let me know. Sunday the 8th afternoon. Venue and exact time yet to be decided.
Cheers
Boodee

දිනය වෙලාව සහතික කරල ලැබුනු පණිවිඩේ මෙන්න.

For Sunday's discussion, Venue 2nd floor Cine City Maradana and from 2.30pm, Please conform if you are coming. Send a massage to me.
Thanks. Cheers

මාතා ගැනත් මොනව හරි දැනගන්න ලැබේවි‍...

[පින්තූරේ ගත්තේ සන්ඩේටයිම්ස් සඟරාවෙන්.]

Thursday, August 5, 2010

වචන නම් හීසරය


වචන නම් හීසරය
තියුණුය‍ සුසරය
පරදා සෛන්ධව කුර
පවන් රැළි කපා යයි අසුරු සැණ

ඇමිනෙයි දුබල තැන
පසාරුව ගැඹුරටම
මෙලෙක් තම සිරුර
පසා වූ බවද නොදැනම විටෙක

පොලා පනියි නැමී දුන්නක සේම
හමුව දැඩිබව
එනමුත් සිය ගමන් මග ම
ගනී හී සර සැමවිට

හී සරය උගුලා දමත හැක
එනමුත් සිදුර එය පසා කළ
වසා දැමුම එතරම් පහසු නැත

සිදුරු ඉතිරිවන
සදා කල් සිහි කරයි
වචනයක තියුණු බව
චණ්ඩ බව

පිටවූ කල දුනුදියෙන් පිටතට
වචන හීසර මුවගින් එසමව
එය සැදු සිදුරු ගැන තැවී ඵල නැත
හදවත් සිදුරු වැසුනු කලක් නම් නැත

[රෑ දොළහ වනතුරු වීරයා දුරකථ‍නයෙන් පැයක් කතා කළ පසු අඩ නින්දේ ලියැවුනු දෙයකි මේ... ]

6/8/2010
ඩෝසන් ප්‍රීති

Tuesday, August 3, 2010

ස්ත්‍රී දෙවියනි! ඇය පිලාර්, මම උප්පලවණ්ණා!!

ස්ත්‍රී දෙවියනි! ඇය පිලාර්, මම උප්පලවණ්ණා!!



මම ද වැළපුණෙමි - පියේද්රා ගඟබඩ හිඳ නොව....

ආදරය මුණ ගැසුණු සඳ - මම ද වැළපුණෙමි
පියේද්රා ගඟබඩ හිඳ නොව - ජීවිත වන්දනාව අභියස ..

හදගුළු හැරීමි
කීරි ගෑ අගුළු කට
නැගූයේ කෙඳිරියකි.
හඬක් නැති කෙඳිරියකි.
මළ කෑ යතුරු හිස අගිස
බැඳි දුඹුරුවන් ප්‍රාර්ථනා
පණ ගසාවිත්
පැසුණු උදෑසන සනසවාලයි
හිරිවැටුණු බාහුවට වාරු වී..

අහෝ! මේ ආදරයට
හැකිය හඬන්නට
මෙතරම්ම.
ඒ නොදැන උන් ඇසිල්ලක
කඩා හැලේ
දිය සීරා
නයගරාවක සිරියෙන්..

නොදුටු රුවක්
ඇසේ හැපෙයි
ගණඳුරේ දී.
රිදුණු තරමක් ප්‍රේමයක්.

වැඩිමහලු කඳුළු පෙති මත
අඩි තිය තිය
පාව ආ හැටි
අරුමයක්.

කඳු පෙළක් යට
තවරා ඉඳුසැව්ව
ඇන තියා ගත් හිතකට
නින්නාද දේ ගීතයක්.
එය ප්‍රේම ගීතයක්.

තණබිස්ස
ළදල්ල මුදා හළ
මුහුලසට
ගැසූ පොඩි මල් කිනිත්තක්.

මේ සෙනෙහස..
හද බිත සසළ කළ
ඝණ්ඨාර නාදයෙන් පේ වී
පිරිත් පැන් ඉස නමැද
හදසුනේ තැබූ පෙර
සංසාර පුරුද්දක්.

("පියේද්රා ගඟබඩ - හිඳ මම වැළපුණෙමි" කියවීමෙන් පසු)
Thushari Priyangika තුෂාරි ප්‍රියංගිකා


තුෂාරිගෙ "මම ද වැළපුණෙමි - පියේද්රා ගඟබඩ හිඳ නොව..." කවිය ගැන විමසුමක්

පාවුලෝ කොයියෝගේ බොහෝ නවකතා වල ආකෘතිය දේව ධර්මය නම් වූ කුරුසියේ සිවු කොනට විතන්‍ය ලුහු තන්තුවක් ලෙස මිනිස් ආත්මය ගැටගසා සකස් කරගත් සරුංගල රාමුවකට ප්‍රේමයේ සව් කඩදාසි අලවා ප්‍රබන්ධකරණයේ වාග් කෝෂ‍ය නම් වූ නයිලෝන් අවිතන්‍ය තන්තුවේ කොණක් එම සරුංගලයේ සමබර ලක්ෂ්‍යයේ ගැට ගසා පාඨකයා ලවා අහස්ගත කරවීමෙන් ඇරඹෙන කාව්‍යාත්මක ඇස්බැන්දුමකි. දෙවනුව එම වචනමය සරුංගලයේ පොළවට සබැඳි රැහැන වන එහි නයිලෝන් නූල පාඨකයාම ලව්වා කඩවා අහසේ ඉමක් කොණක් නැති සුළි සුලං රැළි අතරින් පාව යන්නට සලස්වා එය පොලවට පතිත වූ පසු නටඹුන් වූ සරුංගලයේ ඉරී ගිය සවු කොළ වලටත් ඇදී රිදී ගිය විතන්‍ය නූල් ජාලය නැමැති මිනිස් ආත්මය වෙත නැවතත් පාඨකයා ලවා පාඨකයාට අභිමත සවුකොල අලවා ගන්නට සලස්වයි. මෙයාකාර වූ අධ්‍යාත්මවේදයක් ගුරු කොට ගෙන ලියැවුනු කොයියෝගේ නවකතා වල බයිබලයේ උධෘත පාඨ සහ දේවකතා වල චරිත හමු වන්නේ උත්තම හැඟීම්වලින් පිරී ගිය පෙම්වත් චරිත සමගය.



පාඨකයාගේ ඔළුව තුලින් ප්‍රතිනිර්මාණය වන ඔහුගේ කතා එනම් එම සවුකොල ජාවාරම සිදුවන සන්දර්භය තුළ නොහොත් පාඨකයාගේ සංස්කෘතික අවකාශයට සාපේක්ෂව එයින් විටෙක සිනමා කෘතියක් උපදියි. එසේත් නොමැති නම් තුෂාරි වැනි කිවිඳියක් අතින් කවියක් ඉපදෙයි.

පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි [බයි ද රිවර් පියෙද්රා අයි සැට් ඩවුන් ඇන්ඩ් වෙප්ට් /By the River Piedra I Sat Down and Wept] නම් වූ නවකතාවේ සිංහල අනුවාදය තුලින් ගොස් භූගත වූ මේ කවියේ යථානුභූතියේ අන්තර්ගතය එබඳු අන්තර්සංස්කෘතික ඝට්ඨනයකින් උපත ලබා ඇත. මෙම නවකතාව මින් මතු මෙම ලේඛණය තුල හඳුන්වන්නේ 'පියෙද්රාව' වශයෙනි. නවකතාවේ නම දිග වැඩි හෙයිනි ඒ.

මෙම කවිය පියෙද්රාවෙන් උපත ලබා ඇත්තේ වුවද එහි අන්තර්ගතය නැවත කවියා තුළ ප්‍රතිනිර්මාණය වී ඇත්තේ කොයියෝගේ සංකේත ලෝකයෙන් නොව කවියා ගේ සංකේත ලෝකය තුලිනි. එය සිදුවිය යුත්තකි. මග හැර යා නොහැක්කකි. ‍එහෙයින් මෙම ද්විප්‍රකාර සංස්කෘතික ලෝක දෙක තුළ සිදුවන අන්තර් සහසම්බන්ධතා පෙරළිය පිළිබඳ විචාරන්නට කිසියම් සමීකරණයක් තනා ගත යුතු වන්නේය. එම සමීකරණය ගොඩනගා ගන්නට කවියේ සංකේත විශ්වය මතුපිටත් නවකතාවේ විශ්වයත් අතපත ගා බැලිය යුතු වන්නේය.

කොයියෝගේ පියෙද්රා නවකතාව තියෝලොජිකල් හෙවත් දේවධාර්මික කුළුණු මත ගොඩනැගී ඇත. මෙම ආගමික විශ්වය කවිය තුළ දී බෞද්ධ සංකේත විශ්වයකට පරිවර්තනය වේ. එනයින් කොයියෝගේ නවකතාව එක් එක් ඉන්ද්‍රියයෝ වෙන වෙනම මෙයාකාර වූ 'බයිනරි ඔපොසිෂන්' ප්‍රබේධයන්ට හුවමාරු වීමෙන් කවියේ මතුපිට නිර්මාණය වී ඇති හෙයින් මෙම එකිනෙක ප්‍රතිවරුද්ධාර්ථයෙන් යුත් ද්විකෝටිකයන් නිර්මාණය වීම රීතියක් ලෙස ගත හොත් අප කතා කරන විශ්ව දෙක අතර හුවමාරු වීම් සියල්ල සෘණ එකේ [-1] ගුණිතයකින් ගොඩනැගෙන සමස්තයක් බවට එක විට පත්වේ. මෙහිදී සෘණ එකේ ගුණිතයක් ලෙස ගණිතමය ලෙස දැක්වූ‍යේ ගැහැණිය නම් පිරිමියා බවටත් අහස නම් පොළව බවටත් යනාදී ලෙස එක් එක් සංකල්පය එහි කේන්ද්‍රීය සර්වත්‍ර කුලකයන් තුළ එකිනෙක ප්‍රතිවිරුද්ධාර්ථයන් ලෙස සිතියම්ගත වීමයි.

දැන් පියෙද්රාව සහ කවියේ අන්තර්ගතය අතර එකිනෙක සිතියම් ගත වන 'ඔපරේටරයක්' අප සතුවේ. වඩාත් සමීප සැසඳීමක දී මෙම පියෙද්රා‍වේ 'බයිනරි ඔපොසිෂන්' පරිවර්තන සිතියම මෑතක සිංහල සිනමාවට එකතු වූ බෞද්ධ ආකෘතියක වියමන් ගත වූ "උප්පලවණ්ණා" සිනමා පටයේ 'නෙගටිව්' පටලයක් ලෙස සමපාත වීම හුදු අහම්බයකි. මෙම සිනමා කෘතිය සහ පියෙද්රාව අතර ‍ඓන්ද්‍රීය සම්බන්ධයක් නැති වුවද මෙම ලිපිය තුල විග්‍රහ වන ඔපරේටරමය සිතියම්ගත කිරීම තුළ මෙම නවකතාව සහ සිනමා පටය එකිනෙකේ නෙගටිව් පටල බවට පත්වේ. උප්පලවණ්ණා සිනමා පටයේ දළ කතා වින්‍යාසය මෙලෙස හකුළුවා දක්වමි.

උඩරට කුල කාන්තාවක් වන සංගීතා තමන්ට පහතරට නැටුම් උගන්වන ගුරුවරයා සමග අසම්මත පෙම් සබඳතාවක පැටලී දෙමව්පියන්ගේ අකමැත්තෙන් විවාපත් වේ. ඉන්පසු එ සොවින්ම කල් ගත කළ ඇගේ මව මිය යයි. මවගේ අභාවය දැනගෙන මෙම විවාපත් යුවල මළගෙදර පැමිණි විට ඇගේ පියා අතින් නැටුම් ශිල්පී සිය ස්වාමියා මිය යයි. මින් දැඩි‍ලෙස කම්පනය වන ඇය දසසිල් මාතාවක් බවට පත් වන්නී වනබද ආරණ්‍යයක ධර්මය හදාරමින් සිටින්නීය. මීට සමාන්තර කාලය තුළ ලංකාවේ තරුණ කොටස් ආණ්ඩුව සමග විප්ලවවාදී ගැටුම් ඇති කර ගන්නා අතර කැරලිකාර ව්‍යාපාරයේ කලක් කැපවීමෙන් ක්‍රියාකාරිත්වයෙන් දායක වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙක් -රත්නපාල-පක්ෂයෙන් න්‍යායික හේතූන් මත වෙන්වී රාජ්‍ය හමුදා වෙත ඔත්තු සපයා පක්ෂය පාවා දෙයි. මීට දඩුවම් ලෙස ඔහුට මරණීය දණ්ඩනය පක්ෂයේ සන්නද්ධ අංශය විසින් තීන්දු කරන අතර ඔහුට දඩුවම් පැමිණ වීමට පාක්ෂික තරුණයෙක් තෝරා ගෙන එම ක්‍රියාන්විතයට යොමු කරයි.‍ රත්නපාලගේ ගම ආරණ්‍ය සේනාසන‍යේ අසල් දනව්වකි. රත්නපාලගේ ඝාතකයා පැමිණ සිය වගකීම ඉටු කර එම ගැටුමේදී ලද තුවාලද සහිතව දුර්වල ව පැන යමින් සිටිය දී ආරණ්‍ය සේනාසන සීමාවේ දී කකුලේ ඇනුන උලක් හේතුවෙන් ඇවිද ගත නොහී වනයේ වැතිර සිටී. මේ අවස්ථාවේ අහම්බයෙන් තරුණ සිල් මාතාවට ඝාතකයා මුණ ගැසේ. සිල් මාතාව විසින් විනයධර ලෙස ඔහුට පිහිට වන අතර ඔහු ක්‍රමයෙන් සුවපත් වන අතර ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම ද ගම තුළ රාජකාරි කරයි. සාක්ෂි ‍ඔස්සේ ක්‍රියාත්මක වන පොලිස් පරීක්ෂකයන්ගේ ඉව ඔස්සේ ගම්මු ආරණ්‍ය සේනාසනය පීරා ඝාතකයා සොයා කුදලගෙන ගමේ පන්සලට ගෙනෙයි. ඉන්පසු සිල් මාතාවට ආරණ්‍ය හැර යාමට සිදු වන්නේ ගම්මුන්ගෙන් ආරණ්‍ය සේනාසනයට ඇති ‍ගෞරවය සහ සම්පත් දායකත්වය පැහැර හරින්නට ඔවුන් නිතැතින් ගත් ක්‍රියාමාර්ග හේතුවෙනි. ඇය ආරණ්‍යයෙන් පිටව යන අතරමග දී සිය පාත්‍රය ගංගාවකට විසි කරන අතර එම පාත්‍රය සුරක්ෂිතව ඩැහැ ගන්නා ආරණ්‍යවාසී කුඩා සිල් මාතාවක් වන නන්දුත්තරා එය ආරණ්‍ය සේනාසනයේ නායක සිල්මාතාව ද ඇතුලු පිරිස සමග පැමිණ උප්පලවණ්ණා අතීතකාමීව සිහිය මෙහෙයවමින් හුන් වැල් පාළම මත දී නැවත පිළිගන්වන්නීය. මෙයින් සිනමා කෘතිය අවසානය ලකුණු කරයි.

දැන් පියෙද්රාවේ කතාව සැකෙවින් සළකා බලමු.

පිලාර් නම් වූ තරුණිය සිය පැටි වියේ සිට මිතුරු දමින් වෙළුණු කොලු ගැටයකු ගේ තරුණ වියේ ඔහුගේ ආරාධනයෙන් බාසිලෝනා නගරයේ ඔහු පවත්වන්නට යෙදුන ධර්ම දේශනයකට පැමිණෙන්නේ ඉමහත් දෙගිඩියාවෙනි. පිලාර් ඔහු කෙරෙහි ප්‍රේමයකින් පසු වුවද ඔහුගේ ජීවණ දැක්ම කුඩා කල සිටම එල්ල වී තිබුනේ දෙවියන් සොයා යාම කෙරෙහි බැවින් ඇය ඔහු හමු වන විට ඔහු එම කාර්යභාරයේ සාර්ථකත්වයට පත්වී ඇති බැව් ඇය වටහා ගන්නා අතර ඇය ඔහු කෙරෙහි වූ ප්‍රේමය හෙළිදරව් නොකරන්නට සිතා සිටින මුත් ඇය වටහා ගත් ආකාරයක ඔහු දේවධාර්මිකයකු වනවා වෙනුවට ස්ත්‍රීත්වය දේවත්වය දක්වා පරිවර්තනය කරන්නාවූ වෙනස් ආකාරයක සත්‍යයක් සොයමින් සිටින බැව් ඇයට තහවුරු වේ. මෙම සත්‍යය ලෙස ඔහු දකින ස්ත්‍රීත්වයෙන් පිරිපුන් දේවත්වය යනු ලොව සියළු ජීවයේ උපත වන ජලය ලෙස සංකේතීය ව පවතින ස්ත්‍රීත්වය ලෙසත් එය තමාගේ අධ්‍යාත්මික චාරිකාවේ අග්‍රඵලය බවත් එය පිලාර් සමග වන්නාවූ ප්‍රේමය ලෙස නැවත පිළිසිඳ ඇති බවත් ඔහුගෙන් දැන ගන්නා ඇය ප්‍රේමයේ භෞතික සීමා ඉක්මවන දෙවියන් හා බැඳීමේ මාර්ගය ලෙසත් ලොව එකම සත්‍යය යනු දෙවියන් හා බැඳෙන ප්‍රේමය බවත් ඇය වටහා ගන්නී ඔවුනොවුන් කෙරෙහි දිව්‍යමය බැඳීමකින් ලං වන්නීය.

දැන් මෙම කතා ප්‍රවෘත්ති දෙක තුළ පවතින 'බයිනරි ඔපොසිෂන්' අර්ථ වශයෙන් ගෙන එකිනෙක සෘණ පටලමය ක්‍රියාකාරිත්වයක පැවැත්ම සළකා බලා එබඳු ලෙස වූ සෘණ පටලාත්මක නිර්මාණයක් තුලින් එහි ප්‍රතිවිරෝධි සංකේත පද්ධතියක හරහා යාම නම් වූ ක්‍රියාවලිය තුළ සන්දර්භයන් වෙනස් වද්දී අර්ථ විසින් අත් කර ගන්නා රූප කෙරෙහි අවධානය යොමු කරමු.

පිලාර් ගැහැණියකි. පිලාර්ගේ පෙම්වතා පාදිලිතුමෙකි. මේ පුද්ගලයන් දෙදෙනා උප්පලවණ්ණා සිනමා පටයේ දී රත්නපාලගේ ඝාතකයා සහ උප්පලවණ්ණා මෙහෙණියට සමපාත වේ. පිලාර්ගේ පෙම්වත් පාදිලි වෙනුවට රත්නපාලගේ ඝාතකයා ලෙස කැරලිකරුවෙක් හමුවේ. ගැහැණිය සහ පිරිමියා හුවමාරු වේ. පිලාර් මෙහෙණියක නොවේ. එමෙන්ම ඇයට පාදිලිතුමා හමුවන්නේ අහඹු‍ ලෙස ද නොවේ. උප්පලවණ්ණා මෙහෙණියක වන අතර ඇයට රත්නපාලගේ ඝාතකයා හමු වන්නේ අහඹු ලෙසය. පිලාර් ගේ පෙම්වතා වන පාදිලිතුමා දේව ධර්මය තුළ ස්ත්‍රී දේවත්වය සොයා යයි. උප්පලවණ්ණා බෞද්ධත්වය තුළ ස්ත්‍රී භික්ෂූත්වය නියෝජනය කරයි. පිලාර් ප්‍රේමයේ දිව්‍යාත්මය ස්පර්ශ කරන්නීය. උප්පලවණ්ණා ප්‍රේමයේ අනිත්‍යතාවය තුළ සත්‍යය සොයා වෙහෙසෙන්නීය. මේ ආකාරයෙන් එකිනෙක ප්‍රතිවිරුද්ධ සංකල්ප පද්ධතියකින් පියෙද්රාව සහ උප්පලවණ්ණා කෘති එකිනෙක ඡේදනය කරගන්නේ ගංගාව නමැති අක්ෂයේ දෙපසය. පියෙද්රා ගඟ අසබඩව පිලාර් තැවෙද්දී උප්පලවණ්ණා සිය පාත්‍රය ගඟ දිය තුල පා කර හරින්නීය. ඔවුන් දෙදෙනම එකම සංකල්ප විශ්වයක ප්‍රතිවිරුද්ධ මාර්ගවල ඇවිද යති. කාලමාත්‍ර ව‍ශයෙන් සලකා බැලූ විට ද පියෙද්රාව දින දහයක් තුළ ඔවුන්ගේ ආගමික වන්දනාවක සිරිය ගත් ප්‍රේමනීය සංවාදයන් තුළ ගත වන අතර උප්පලවණ්ණා සිනමා පටය ද සීමිත කාලයක් තුළ හැකිළුන වෘතාන්තයක් අධික ආතතියකින් තිරය මත දිග හරියි. ඒ අයුරින් එම ආඛ්‍යාන රීතින්ද එකිනෙකට ප්‍රතිමුඛ වේ.

මෙ ආකාරයෙන් පල්ලිය කේන්ද්‍ර වූ දේව ධර්මය තුළ පගන් * නිකායක හෙවත් ස්ත්‍රී දේවත්වයක ගවේෂණාත්මක කැරැල්ලක් මෙහෙය වමින් සිටින පිලාර්ගේ පෙම්වත් පාදිලි වෙනුවට උප්පලවණ්ණාට සමාජ විමුක්තිය වෙනුවෙන් යථාර්ථමය කැරැල්ලක මෙහෙයුම් කරුවකු අහඹු ලෙස සිය අධ්‍යාත්මික ජීවිතය දෙපළු කරන්නට වනය තුළින් ප්‍රාදූර්භූත වේ.

පිලාර්ගේ පෙම්වත් පාදිලිතුමාගේ අදහසකින් ඔහුගේ කැරලිකාරිත්වයේ අරමුණ විශද වන අවස්ථාවක්:

"By the time of my first vision i was already aware of the work being done by the true revolutionaries of the church. I knew that my mission on earth, in addition to curing was to smooth the way for this new acceptance of God as a woman. The feminine principle , the column of Mesericordia, would be rebuilt and the temple of wisdom would be reconstructed in the hearts of all people"
By the River Piedra I Sat Down and Wept
page 164

පියෙද්රාව කියවා ගෙන යන අයෙකුට ලාංකීයත්ව ය තුළ හමු වන පියෙද්රාවේ 'බයිනරි ඔපොසිෂන්' වල පැවැත්මේ සන්නිකර්ෂණයක් ‍මේ ආකාරයෙන් ගොඩ නැගිය හැකි අතර ‍කතෝලික බැතිමතකු අතින් ලියැවිය හැකි කවියක ආකෘතිය ද මේ කවියේ ආකෘතිය සහ අන්තර්ගතය ද හාත්පසින් වෙනස් විය හැකි බව මේ සැසඳීම්වලින් පෙනී යනු ඇත. මෙම ප්‍රස්තුත කවියෙ බුද්ධ භාෂිතය සංකල්පගත වීම අහම්බයක් නොවන්නේ එම තතු යටතේය.

මෙම සසැඳිල්ල යටත් වන්නේ වචන වශයෙන් පවතින අර්ථයෙන් වියුක්ත වූ යමක් ප්‍රතිවර්ථනය යැයි නොසැලකිය යුතුය. මෙම සෘණ එකේ අගයෙන් ගුණ කර චරිත සහ සිද්ධි මෙන්ම ඒ ඒ චරිත කැඳවා යන දෘෂ්ටි යනාදී සියල්ල ග්‍රහණය කර ගැනීම විහිලුවක් ලෙසද පෙනී යා හැකි නමුත් මෙම ද්විමය පරිවර්තනය ස්වභාවය මනසේම එක්තරා සංකල්පීය නිර්මාණයක් බැවින් අපගේ සංජානනය දෘෂ්ටිවාදාත්මක කෘතියක් තුළින් පෙළ හසුරුවන පරිකල්පනීය සහ සංකේතීය මාන වල ඝට්ඨනය මීට සමරූපි හැසිරීමක් වනු ඇතැයි තර්ක කළ හැක. එබඳු සසැඳීමක ට හෝ සංකල්පීකරණයක‍ට ලෞකික දේ පොළඹවාගත හැකි බැවින් මෙයාකාර වූ විග්‍රහයක් වචන ඔස්සේ කිරීමේ සාවද්‍යතාවය මෙලෙස ලංකාවතාර සූත්‍රයෙන් උපුටා දක්වමි.

"නැවත ද එම අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ මහාමතී බෝධිසත්ව මහාසත්වයන්ට මෙසේ කීහ. ශූන්‍යතාව අනුත්පත්තිය අද්වය සහ නිහ්ස්වභාව පිළිබඳ මෙම ඉගැන්වීම සියළු බුදුවරයන්ගේ සියළු සූත්‍ර තුළ දැකිය හැකිය. එමෙන්ම ඒ සෑම සූත්‍රයකම මෙම ඉගැන්වීම පිළිගෙන ඇත. කෙසේ වෙතත් මහාමතී ආයුෂ්මතුනි සූත්‍ර යනු සිය‍ළු සත්වයන්ගේ අධිමුක්තීන්ට අනුකූල වන පරිදි ඉදිරිපත් කර ඇති ඉගැන්වීම්ය. එමෙන්ම ඒවා නියම අර්ථයෙන් ඈත් වන්නේය. එමෙන් ම ඒවා නියම සත්‍යය ගැබ් වන වාක්‍ය වන්නේ නැත. මහාමතී ආයුෂ්මතුනි ද්‍රෝහි වූ ජල උල්පත් මගින් මුවන් පොළඹවන්නා වූ මිරිඟුව මෙනි ජල උල්පත් එහි ඇත්තේ නැත. එහෙත් ඒවා ඇත්ත වශයෙන්ම පවතී යැයි සිතන ‍මුවෝ ඒවාට ඇලී සිටිති. සියළුම සූත්‍රවල පැහැදිලි කර ඇති ඉගැන්වීම් ද එබඳුය. තමන්ගේ විකල්පීය මනසේ තෘප්තියට පත් කර ගැනීම සඳහා ඒවා සියළු සත්වයන් වෙත ඉදිරිපත් කර ඇත. ඒවා ආය්‍යර්‍ ඥානය විසින් ග්‍රහණය කළ යුතු වූ සත්‍ය අන්තර්ගත වූ කියමන් නොවන්නේය. මෙම කරුණ නිසා මහාමතී ආයු‍ෂ්මතුනි අර්ථයට අනුකූල වන්න. වචන වල එල්ලී නොසිටින්න."
-ලංකාවතාර සූත්‍රය

එනයින් මෙම සන්සන්දනය අතිශය වශයෙන් සාහිත්‍යමය වන අතර දෘශ්ටිවාදාත්මක ලෙස ලෝකෝත්තර කාරණා සම්බන්ධයෙන් වලංගු නොවන්නක් බවද අප සිත් තබා ගත යුතුය. නොඑසේ නම් තර්කාණුකූලව පෙන්වා දීමකින් හෝ ගණිතමය ඔප්පු කිරීමකින් නිර්වාණ මාර්ගය හෝ දෙවියන් හා එක් විම බුද්ධිගෝචර දෙයකැයි පෙන්විය හැකි සරල දෙයකට ඌණනය වන්නේය. එය ප්‍රායෝගික නොවන්නකි. එනමුත් එබඳු අන්තයන් දෙකක් තුළ දෝලනය වන නිර්මාණාත්මක මනසක් විශද කර ගැනීමට මෙම ඔපරේටරමය හඹායාම කුතුහලය කුළුගන්වන සුළු ක්‍රමවේදයක් බැව් සඳහන් කළ යුතුය.

පියෙද්රාවේ චරිත සිද්ධි සහ දෘශ්ටි සෘණ එකෙන් [-1] වැඩි කරගෙන ගියාම ඒවායේ 'බයිනරි ඔපොසිෂන්' න්‍යාසය හමු වේ.

'උප්පලවණ්ණා' හමු වන්නේ මේ නවකතාවේ 'බයිනරි ඔපෝසිෂන්' එකක් ලෙසයි. එය ලංකාවේ සන්දර්භය තුළ පාවුලෝ හමු වෙන ආකාරය විය හැකියි. එම ආඛ්‍යාන ද්විත්වය හරහා මෙම කවිය උපත ලබා ඇති වග මගේ අදහසයි. පියෙද්රා නවකතාව උත්පළවණ්ණා කරා රූපාන්තරණය වන අතරතුර මෙම කවිය ශේෂ කොට ඇත.

සංසාර පුරුද්දක් ලෙස එන බෞද්ධත්වය තුළ ප්‍රේමය සංසාරයට අලවන සසර ගමන දිගු කරවන ක්ලේශයකි. තණ්හාවේම තවත් රූපයකි. ආලය විඥානය යනු චිත්තයේ උපදින නෛසර්ගික ප්‍රවාහයකි. එය නැසුම සංසාර ගමන කෙටි කිරීමේ මග ට ප්‍රවිශ්ට වීමකි. පිලාර් අත්දකින ප්‍රේමය දෙවියන්ගේ සිහින තුළ යථාර්ථවත් වන්නකි.

"the path of the Goddess can only be opened through words and miracles. But that's not the way the world works. It's going to be very hard -tears, lack of understanding, suffering."
By the River Piedra I Sat Down and Wept
page 164
මෙ අයුරින් බෞද්ධත්වය තුළ ප්‍රේමය ට හිමි නොවන තැනක් කොයියෝගේ දේවධාර්මික ආඛ්‍යානය තුළ ඉස්මතු වීම අතිශය පැහැදිලි සද්භවයකි. ස්වභාවයකි. ස්ව පැවැත්මක් භවයක් ඇති දෙයකි.

මෙම කවිය තුළ ද්විඝඨනාත්මක ලෙස කඩා හෙලන්නේ එම පරස්පරයයි.

"සෑම දෙයක් තුළම ස්ව-භාවයක් ඇත්තේ නැත. ඒවා මිනිසුන්ගේ නිකම් වචන පමණය. යමක් විකල්පනය කරන ලද්දේ ද එයට නියම පැවැත්මක් නැත; නිර්වාණයද සිහිනයක් වැනිය; සංසාරය තුළ කිසිවක් දක්නට ඇත්තේ නැත. කිසිවක් නිර්වාණය තුළට ඇතුළු වන්නේද නැත"
-ලංකාවතාර සූත්‍රය

*පගන්' [Pagan or Paganism] : ස්ත්‍රී දෙවියන් පිළිබඳ හෝ දෙවියන් වෙනුවට දේවතාවියක් විශ්වාස කරන ආගමික පද්ධතිය.


ආශ්‍රිත ලිපි ලේඛන/ වෙබ් අඩවි

1. ලංකාවතාර සූත්‍රය
2. By the River Piedra I Sat Down and Wept-Paulo Coelho
3. පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි සිංහල පරිවර්තනය පියල් කුමාර ජයරත්න/අනුෂයා කොල්ලුරේ
4. උප්පලවණ්ණා ටොරානා ඩීවීඩී තැටිය
5. http://srilankanfilmcritics.blogspot.com/2008/04/uppalavanna.html
6. http://www.dailynews.lk/2007/10/03/art03.asp
7. http://en.wikipedia.org/wiki/By_the_River_Piedra_I_Sat_Down_and_Wept

මෙම ලේඛනය සකස් කිරීමේදී නන් අයුරින් සහය දැක්වූ තුෂාරි, හෂිත, මාලතී, කූඹියා සහ මහේෂා ට ස්තුතිවන්ත වෙමි.

Saturday, July 31, 2010

ඔබ සදා කල් මසිතේ ලැගුම් ගනී....


කනස්සල්ලක් විශ්වයේ ඇත
තැනින් තැන ‍විසිරී ගලා යන
නිරතුරු ඇද හැලෙන වැස්සකි
අන්තරීක්ෂ කිරණයක වුන හිර

ගලා හැලෙයි ඇල්ලක් විලස ‍‍
විසිර කැටි කැටිති දිය බුබුළු
වැදී පාෂාණ දාර මත
නගයි පෙණ කැටි සැනින් පුපුරන

පසා වෙයි හද බිත්ති
කම්පනය කරවයි සියුම් තන්තු
පාරවයි අනන්ත සියුමැලි සිතුවිලි
මැවී යයි දෙසවන තත්සර එබඳු

වීණාවක පැටළුන තතක් සේම
තතක පැටළුන ඇඟිල්ලක් සේම
කවුරුන් හඩ නගයි දැයි සිත සැලෙයි
එනමුත් හද සෝ රාවය ම රැව් දෙයි

මුව මී රොණ් ගලා සැලී
මත් වූ සිත් අද සසැලී
තැනින් තැන ගලා යන විසිරී
සිර වී වැළපෙන සිතුවමකි පොඩි වී තැලී

[ප්‍රේමකීර්ති ද අල්විස් සොඳුරු මිනිසා සිහි වී ලියැවුණි. ]


ඊ ඒ ඩෝසන් ප්‍රීති
31/07/2010