Tuesday, March 31, 2009

ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 31

වීරවංශ ඔපරෙටරය සහ චූල අංශු මහින්ද

රාවණගේ බල කඳවුරු බොහොමයක් ඒ වන විට බිඳ වැටී තිබිණ. රණබිමෙහි දී නට සෙබළුන්ගේ අඹුවන් නගන අඳොනා හඩ රාජ සභා ගර්භය කරා ද ඇදී ආයේ ය. රාවණ, මාලිග චතුරශ‍්‍රය වෙත දිව ගොස් ඈත සටන් බිම දෙස බැලීය. මුළු මහත් ජීවිතය ම විනාශකාරී ලෙස ගෙවා දැමූ ඔහුට පවා ඒ ලෙයින් වැකුණු සටන් බිම දැක දෑස් අදහා ගත නොහැකි විය. රාවණ හමුදාවෝ තැන තැන වැතිර කෙඳිරි ගාමින් සිටියහ. වානර හමුදාවෝ කුල්මත් ව නටමින් හුන්හ. 'දැන් මා රණබිමට අවතීර්ණ විය යුතු මොහොත යි.' ඔහු නිම් හිම් නැති කෝපයෙන් තමාට ම කියා ගත්තේය. චාරිත‍්‍රානුකූල ජල ස්නානයෙන් පසු ශිව දෙවියන් යැද සිරුරෙහි සෑම අංශුවක් ම ආරක්ෂා කෙරෙන සන්නාහයෙන් ද දුනු හී අසිපත් ඇතුලු යුද්ධායුධ පංක්තියෙන් ද නළල් පට හා මිණි කිරුළින් ද සැරසුණු රාවණ මහත් සාඩම්බර ලීලාවෙන් සිය යුධ රථය අරා සිටියේ ය. ඒ යුධ රථය වූ කලී අශ්වයන් අතරමග මිය ගිය ද ස්වයංක‍්‍රීය ව ගමන් කරන්නා වූ අද්භූත නිර්මාණයක් විය.

දෙමළ රාමායණය
නව වන උල්ලාසය රාම-රාවණ සටන
ප‍්‍රතිකථනය මහාචාර්ය සුනිල් ආරියරත්න


[උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි]

රාවණගේ යුධ රථය ක්වොන්ටම් යාන්ත‍්‍රණයෙන් නිපදවා ගත් හාස්කමක් විය යුතුය.

ඒ හාස්කම කෙසේ වෙතත් ප‍්‍රබන්ධයක් හෝ යථාවක් වූ රාම රාවණ කතාවෙ යුද්ධය නම් අනාගත දිනෙක මිහි මඩලේ සිදුවිය හැකි ක්වොන්ටම් යුද්ධයකට ද වඩා 'රසවත්' ලෙස වානර හමුදා සහ රාවණ හමුදා එකිනෙකා මරා ගත් අද්භූත යුද්ධෝපක‍්‍රම විස්තර කර ඇත.

ප‍්‍රබන්ධයෙන් තවත් ප‍්‍රබන්ධයකට යමු.

ඒ ක්වොන්ටම් ප‍්‍රබන්ධය යි. කල්පිතයන් මත ගොඩනැගෙන සියල්ල ප‍්‍රබන්ධයන් වන්නා සේම ක්වොන්ටම් යාන්ත‍්‍රණයේ කිරිපල්ල අත ගා එහි ප‍්‍රබන්ධයන් ද සොයා යමු.

ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාව ගොඩනැගෙන අත්තිවාරම වෙන්නේ කල්පිත [axiom or postulate] තුනක්.

ඒ කල්පිත තුනම ගණිත මාදිලි වීම මහ විශාල අභියෝගයක්.

වෙනත් අනෙක් ශුද්ධ විද්‍යාවන් වගේම ක්වොන්ටම් යාන්ත‍්‍රිකයේ මූලික පදනම සපයන නීති ද සත්‍ය සේ පෙනෙන නමුත් සත්‍යය බව ව්‍යුත්පන්න කල නොහැකි නිසයි ඒවා කල්පිත ලෙස හැඳින්විය හැක්කේ. මෙම කල්පිත උපයෝගි කරගෙන ව්‍යුත්පන්න කරන සමීකරණ සහ මාදිලි විසින් පරීක්ෂණවල දී විද්වතුන් විසින් නිරීක්ෂණය කරනු ලබන සංසිද්ධීන් පැහැදිලි කරන්නට හැකි වීමෙ හේතුවෙන්, මෙම කල්පිතයන් වර්තමානයේ පොදුවෙ පිළිගැනීමට ලක් වී ඇති හෙයින්, අපට ද ඒවා මතින් මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යා හැකිය.

නිවුටන් ගේ යාන්ත‍්‍ර විද්‍යා නියම තුන මෙන්ම මෙම කල්පිත ද ව්‍යුත්පන්න කළ හැකි ඒවා නොවෙ. නිවුටන් නියම භොතික විද්‍යාවෙ නිති බවට පත් වන්නේ ද එම හේතුවෙනි.

කිසියම් විශ්ව න්‍යායක් ව්‍යුත්පන්න කළ නොහැකි වූවාද එම නීති භාවිත ලෝකයේ අත්දැකීම් පෙරයීම් කරන්නට සාර්ථකව යොදා ගත හැකි වන්නා වූද තත්වයක් අපි එම නීති මගින් ගොඩනැගෙන විද්‍යාවක් ලෙස පිළිගනිමු. අප අද භාවිතා කරන සියළු ශුද්ධ විද්‍යාවන් ගොඩනැගී ඇත්තේ මෙ පදනමිනි. ගණිතය හෝ භොතික හෝ රසායන හෝ ඔනම විද්‍යාවක පදනම වැටී ඇත්තේ කල්පිතයන් මතින්ය. එනිසා එම විද්‍යාවන් වඩාත් සාර්ථක කල්පිතයන් මගින් විස්ථාපනය වීමෙ පීඩාවෙන් වෙදනා විඳී. අධිනිශ්චය වූ කාල සීමාවක් නොවූව ද, අද අප විසින් උපයෝගී කරගන්නා සියළු විද්‍යාවන් අවිද්‍යාවන් බවට පත්වන අනාගත දිනයක් ගැන අදහසක් අප සියල්ලන් තුල ගොඩ නැගීම ස්වාභාවිකය.
ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාවෙ කල්පිතයන් තුන වටහා ගැනීමෙ පසුබිම සකස් කරනු පිණිස ගණිතමය සංකල්ප කීපයක් සරලව සාකච්ඡාකර ගැනීම අනිවාර්ය ය.


එම ගණිතමය සංකල්ප ලිහා ගැනීමට අවස්ථාව උදා වන තෙක් ක්වොන්ටම් යාන්ත‍්‍රිකයේ සාරය සොයා යමු.


පළමුවන කල්පිතය: ක්වොන්ටම් තත්වය [Quantum State]

ක්වොන්ටම් යාන්ත‍්‍රික පද්ධතියක තොරතුරු අන්තර්ගත වන්නේ එහි ක්වොන්ටම් තත්වය තුළය. ආකෘතිය සහ කාලය සමග සිදුවන විපර්යාසයන් නිශ්චය කරනු ලබන්නේ කාලය මත පරායත්ත ෂ්රෝඩිංගර් සමීකරණයෙනි.


මෙහි [si] සයි යන ග‍්‍රීක් අකුරෙන් දැක්වෙන්නෙ ක්වොන්ටම් තත්වය වන අතර [H] යනු හැමිල්ටෝනියන් ඔපරෙටරයයි.

ක්වොන්ටම් යාන්ත‍්‍රිකයේ පළමු කල්පිතය වටහා ගන්න දුෂ්කර වන්නේ එහි ගණිතමය ආකෘතිය සාමාන්‍ය වීජ ගණිතය ඉක්මවා යන බැවිනි. මෙය අවකල සමීකරණයක් බැවින් එය උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා ඇති අයට වටහා ගත හැකිය. ඉන් ඔබ්බට අධ්‍යයනය කළ කෙනෙකුට මෙහි අන්තර්ගත හැමිල්ටෝනියන් ඔපරෙටරය [Operator-කි‍්‍රයාකරු] ගැන අවබෝධයක් තිබිය හැක. මෙ දෙගොල්ලන්ටම නොවැටෙන පිරිස ද සලකා බලා මෙම ගණිතමය සංකල්ප සරලව පැහැදිලි කරන්නට මම උත්සාහ කරමි.

අවකල සමීකරණ අපට හමුවන්නේ වීජ ගණිතය තුළ නොවෙ. ඒවා හමුවන්නේ 'කලනය' [Calculus] නමැති විශය ක්ෂේත‍්‍රය තුලය.

කැල්කියුලස් [Calculus] යනු උසස් ගණිතයට අයත් විශය ක්ෂේත‍්‍රයකි. ඊට සිංහල පර්යාය වචනය වන්නේ 'කලනය' යනුවෙනි. කලනයේ පදනම ගණිතමය විචල්‍යයන්ගේ අතිශය කුඩා වෙනස් වීම් හරහා වීජීය ලෙස එම විචල්‍යයන් එලඹෙන සීමාවන් පවතීය යන කල්පිතය යි. කලනය විශය කොටස් දෙකකින් සමන්විතය. එනම් 'අවකලනය' සහ 'අනුකලනය' වශයෙනි. මෙ අවකලනය කොටසේ දී අප කරනු ලබන්නේ අප දන්නා කිසියම් ස්වායත්ත සහ පරායත්ත විචල්‍යයන් අනුසාරයෙන් ගැට ගැසුනු කිසියම් ගණිතමය වක‍්‍රයක අපට ඇවැසි ලක්ෂ්‍යයක ඇඳි ස්පර්ශකයේ අණුක‍්‍රමණය, නැතහොත් ආනතිය, නැතහොත් ටැංජන ති‍්‍රකෝණමිතික අනුපාතය, 'ගණිතමය සීමාව' නමැති සංකල්ප හරහා වීජීය ලෙස සොයා ගැනීමයි. එය ඊට වඩා සරලව කියන්නට ක‍්‍රමයක් නැතැයි මට සිතේ. මෙම ස්පර්ශකයේ අණුක‍්‍රමණය සොයා ගැනීමෙ ගණිතමය ක‍්‍රමය සියලුම ස්වාභාවික විද්‍යා මාදිලිවල විප්ලවීය වෙනසක් කරන්නට සමත් වී ඇත. අනුකලනය යනු ඉහත දැක්වූ ආකාර වක‍්‍රයක එම වක‍්‍රය සහ සමුද්දේශ අක්ෂයක් අතර ඇවැසි ඛණ්ඩාංක අතර වර්ගථලය 'ගණිතමය සීමාව' නමැති සංකල්ප හරහා වීජීය ලෙස සොයා ගැනීමෙ ගණිතමය ක‍්‍රමය යි.

අවකලනය තුල භාවිත වන අංකනයක් අනුගමනය කරමින් මෙම සමීකරණයේ දැක්වෙන d/dt යන 'සීමාකාරී භාග' සංකේතය දකින්නට ලැබෙ. එය වීජ ගණිතමය භාගයක් හෝ අංක ගණිතමය භාගයක් හෝ නොවන තවද එක්තරා ඔපරෙටරයකි.

ගණිතයේ අප සුලබව දන්නා ඔපරෙටර වෙති. 'එකතු කරන්න' යන 'කි‍්‍රයාකරු' [operator] ද ඒ අරුතින් ඔපරෙටරයකි. එම ඔපරෙටරයේ කි‍්‍රයාකාරිත්වය යෙදීමෙන් අපට සංඛ්‍යා දෙකක් එකට එකතු කර ගත හැකිය. මෙ ආකාරයෙන් අප දන්නා අංක ගණිතය තුල සුලබ ඔපරෙටර හතරක් හමු වෙ. 'එකතු කරන්න'[+], 'අඩු කරන්න'[-], 'වැඩි කරන්න'[x], සහ 'බෙදන්න'[/] යන ඔපරෙටරයන්ය. කලනයේ හමුවන ඔපරෙටරයන් එම සරල කි‍්‍රයාකාරිත්වයෙන් ඔබ්බට ගොස් සංකීර්ණ කි‍්‍රයාදාමයක් හකුලුවා දක්වයි. එය "කිසියම් වීජ ප‍්‍රකාෂණ දෙකක අනුපාතය එහි අන්තර්ගත එක් විචල්‍යයක සීමාකාරී අගයක් කරා අඩු කර ගෙන යද්දී හෝ වැඩි කර ගෙන යද්දී එලඹෙන අගය සොයා ගන්න" යන කි‍්‍රයාවලිය හකුලුවා ලිවීමක් වැනිය.
ගණිතමය ඔපරෙටරයක කි‍්‍රයාකාරිත්වය තේරුම් ගැනීමට අපි සරල උදාහරණයක් ගනිමු අප දන්නා කියන වටපිටාවෙන්.

ඔපරෙටරයක් වශයෙන් 'විමල් වීරවංශ' සැලකුවොත් සහ 'මහින්ද රාජපක්ෂ' අංශුවක් වශයෙන් ගත්තොත් 2005 දී වුනේ මෙ ඔපරෙටරය අංශුව මත කි‍්‍රයාත්මක වෙලා අංශුවට මහ විශාල ශක්ති විපර්යාසයක් කළ බව මිනුමක් ලෙස අපට හගවා , අංශුව 'ජනාධිපති' බවට පරිවර්තනය වීමයි. සහතික වශයෙන්ම වෙනත් තවත් භොතිකයන් ඒ සඳහා විවිධ මට්ටම්වලින් දරදිය වැය කළ ද එම තත්වයන් මිනුමකට ලක් නොකර මෙ සුවිශේෂි ඔපරෙටරය පමණක් හුදකලා කොට එහි ප‍්‍රතිඵලය මැන ගැනීම ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාවට එකග ය. නමුත් එසේ ඔපරෙටරයක් කිසියම් මිනුමක් සඳහා යොදද්දී එම ඔපරෙටරය , ප‍්‍රතිඵලය පමණක් ඉතිරි කොට, අතුරුදන් වෙ.


සනාතන දහමකට අනුකූල වනසේ සියළු ඔපරෙටයන් සිය ක‍්‍රියාත්මක වීම අවසානයේ නැති වී යන්නා සේම විමල් වීරවංශ නමැති ඔපරෙටරයද දැං නැත්තටම නැති වී ඇත. ක්වොන්ටම් යාන්ත‍්‍රණය ලාංකික දේශපාලන ක්ෂේත‍්‍රයට ද අදාල වන්නේ සිය අංශුවල ක‍්‍රියාකාරිත්වය මෙ මිනිස් අංශුවලට ද සමාරෝපනය වෙමිනි. අප මෙ සාකච්ඡා කරන ඔපරෙටයන් ද ක්වොන්ටම් යාන්ත‍්‍රණය තුල කිසියම් මිනුමක් කර ගැනීමට උදව් වී අතුරුදහන් වන ආකාරයේ වෙ.

ශ්රොඩිංගර් සමීකරණයෙන් අපට විසඳුම් ලෙස ලැබෙන්නේ ඉලක්කම් නොවෙ. නොඑසේ නම් අගයන් නොවෙ. අවකල සමීකරණවල විසඳුම් වශයෙන් ලැබෙන්නේ ශ‍්‍රිතයකි [එනම් f(x,y)=x+xy+y2 යනාදී වශයෙන්]. මෙ අවස්ථාවෙ දී නම් තරංග ශ‍්‍රිතයකි. තරංග ශ‍්‍රිත ගැන කතා නොකර ක්වොන්ටම් යාන්ත‍්‍රිකයක් ගැන කතා කළ නොහැක. ක්වොන්ටම් ලෝකයේ අංශුවක් යනු වෙස්වලා ගත් තරංගයකි. එමෙන්ම තරංගයක් යනු වෙස්වලා ගත් අංශුවකි. මෙ දෙකින් කෝක කුමන අවස්ථාවට අල්ලා ගන්නද යන්න හැදෑරීමම මෙ විද්‍යාවයි.


ශ‍්‍රිතයක් යනු ස්වායත්ත විචල්‍ය සහ පරායත්ත විචල්‍ය එකට බැඳුනු සන්තතික ලක්ෂ්‍ය සමූහයකි. එම ලක්ෂ්‍යයන් මගින් සන්තතික වක‍්‍රයක් [plain curve] හෝ මතුපිටක් [3d surface] හෝ ලකන්නට හැකියාව ඇත්තේය. මෙසේ හෙයින් මෙම සමීකරණයේ විසඳුම් ලෙස ලැබෙන ක්වොන්ටම් තත්වය යනු කිසියම් ශ‍්‍රිතයකි. ද්විමාන තලයේ නම් වක‍්‍රයකි. වක‍්‍රයකින් ආවෘත වූ තල ප‍්‍රදේශයකි. එසේ නම් මෙම සමීකරණය අපට ලබා දෙන්නේ කිසියම් අංශුවක හැසීරීම හෝ සැරිසරන ප‍්‍රදේශයේ සීමාව පිලිබඳ ගණිතමය ප‍්‍රකාෂණයකි.

කිසියම් මොහොතක අංශුවක හැසිරීම අරභයා ශ්රෝඩිංගර් සමීකරණය විසඳූ විට ලැබෙන්නේ මෙබඳු පෙදෙසක් නම් ඉන් ගම්‍ය වන්නේ එකම ක්ෂණයක මෙ කේන්දී‍්‍රය අංශුවට ලබා ගත හැකි විවිධ අපරිමිත පිහිටුම් පිලිබඳ අනාවැකියකි. අප දන්නා නිවුටෝනියානු යාන්ත‍්‍රිකයේ කිසියම් අංශුවක් කිසියම් කාල අන්තරයක් අවසානයේ සිය අනන්‍ය පිහිටුමක චලිතය සටහන් කරන බැවින් එය එම සමුද්දේශ අක්ෂ පද්ධතියට සාපේක්ෂව නිශ්චිතවම ගණනය කළ හැක. එනම් නිරවද්‍යව පිහිටුම සොයා ගත හැක. එක අංශුවක් කිසියම් මොහොතක අවකාෂයේ සටහන් කරන්නේ එකම එක ඛණ්ඩාංකයකි. මීට ප‍්‍රතිපක්ෂව ක්වොන්ටම් යාන්ත‍්‍රිකයේ දී අංශුවක් එකම මොහොතක පිහිටුම් බහුවිධ ප‍්‍රමාණයක් ගන්නා බව මෙම පළමුවෙනි කල්පිතය අනුසාරයෙන් පමණක් වුව ද අපට වටහා ගත හැක.

මෙලෙස එකම මොහොතක පිහිටුම් අපරිමිත ප‍්‍රමාණයක් ලබා ගත හැකි ස්කන්ධයක් සහිත අංශුවක් පැවතීම නිවුටෝනියානු යාන්ත‍්‍රිකය ඔසවා පොලවෙ ගසන්නකි. එබඳු හැසිරීමක් තිබිය හැකි අංශුවක ස්වාභාවය තරංගාකාර වීම ද ක්වොන්ටම් යාන්ත‍්‍රිකයේ සුවිශේෂයයි. අංශු ද තරංග ද නො එසේ නම් තරංග ද අංශු ද යනාදී වශයෙන් ද්විත්වාකාර හැසිරීමක් ක්වොන්ටම් ලෝකයේ දක්නට ලැබීම එම අංශුවල 'තරංග අංශු ද්විත්වාන්තරණ' [wave particle duality] හැසිරීම ලෙස විද්වතුන් නාමකරණය කර ඇත.

ඇස කන පිනවන සියලු දේ තරංගාකාර වීම අපූර්වත්වයකි. ආලෝකය මෙන්ම ශබ්ධය ද තරංග වෙ. වෙනස් වන්නේ ආලෝකය විද්‍යුත් චුම්භක තරංගයක් වද්දී ශබ්ධ තරංග පදාර්ථය තුලින් සැරිසරන අන්වායාම තරංගයක් වීමයි. මෙ තරංග ජාති දෙකෙම හැසිරීම් වල භොතිකය නිසා සදාකාලිකව එකිනෙකා පැතූ පේ‍්‍රමයේ පණිවුඩය සන්නිවෙදනය කර ගත නොහී මියැදුන, සදාකාලික පේ‍්‍රමයේ සිහිවටන බවට පත් තරුණ යුවලක් කේන්ද‍්‍ර කර ගත් ගී‍්‍රක පුරාවෘතයක් මට සිහිවෙ.


තම රුවට පෙමින් බැඳුන නාසිසස් සහ ඔහුගේ රුවට පෙමින් බැඳනු එකෝ නම් වූ කටකාර තරුණිය ද දෛවයේ සරදමින් සිය සිතැගි සුන්වූ අයුරු රමණීය කතා පුවතකි. එම පුරාණෝක්තියේ යටි අරුත ආලෝකයේ සහ ශබ්ධයේ පරාවර්තන ගති ලක්ෂණ පිලිබඳ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට සම්පේ‍්‍රෂණය කිරීම දෝහෝයි කියා කුකුසක් මසිත උපදී. කෙසේ වුවත් මෙ සියල්ල තරංග හෙයින් ක්වොන්ටම් අංශුවල තරංග ස්වරූපය පිළිබඳව ද කිසියම් අවධානයක් යොමු කළ යුත්තේය.

මෙම ක්වොන්ටම් අංශුවල ද්විත්වාන්තරණ හැසිරීම් සමහර අවස්ථාවල දී මිනිස් අංශුවලට ද අදාලය. අති සූක්ෂම අංශුවල ක්ෂේත‍්‍රය විද්‍යුත් හෝ චුම්භක හෝ වුව ද මෙ අවධානයට බඳුන් වන මිනිස් අංශුවල ක්ෂේත‍්‍රය දේශපාලනය යි. දේශපාලන ක්ෂේත‍්‍රය තුල මිනිස් අංශු ද මෙ දෙබිඩි බවින් පෙළේ. එමෙන්ම එකම මොහොතක ද්විත්වාකාර හෝ බහුප‍්‍රාකාර අන්තයන් තුල පවතී. වරෙක යූ ඇන් පී වන මිනිස් අංශුවක් බලය නමැති ඔපරෙටරයක් හරහා යාමත් සමග සංධානගත වෙ. න්‍යශ්ටිය වෙතට සමීප වෙ. න්‍යශ්ටිය මතට කඩා වැටෙ. එක වර කීප පොලක තම පිහිටුම් සලකුණු කරයි. අවශේෂ නිවුටෝනියානු ජනතාව හොල්මන් කරයි.

නිශ්චිත භොතික පරාමිතීන් ගණනය කරන්නට හැකි වීම නිවුටොනියානු යාන්ත‍්‍රිකයේ ස්වභාවය වන අතර ඊට ප‍්‍රතිලෝම ලෙස ක්වොන්ටම් යාන්ත‍්‍රිකයේ ගණනය කළ හැක්කේ අවිනිශ්චිත පරාමිතීන්ය. කොටින්ම එය ගණනය කරන්නේ කිසියම් මිනුමක් සිදුවීමෙ සම්භාවිතාවන් පමණි.

හැමිල්ටෝනියන් ඔපරෙටරය අමතක වූයේ නැත. ශක්ති සංස්තිථි නියමයේ 'ක්වොන්ටම් වර්ශන්' එක හැමිල්ටොනියන් ඔපරෙටරය යි.

Wednesday, March 25, 2009

ක්වොන්ටම් ලෝකය -2009 මාර්තු 25

ක්වොන්ටම් පිමි

අද බොහෝ ලිපි ලේඛනවල දක්නට ඇති යෙදුමකි ක්වොන්ටම් පිම්ම.

එහෙම යොදන්නේ යම්කිසි තත්වයක පැවතුනු දෙයක් හිටිවනම ඊට වඩා වෙනස් මට්ටමකට පොලා පනින අවස්ථාවක් නිරූපනය කිරීමටයි. ඇත්තටම ක්වොන්ටම් පිම්මක් යනු කුමන දෙයක් දැයි වටහා ගන්නට ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාවට මදක් අවධානය යොමු කරන්නට මට සිතුනේ අපගේ ක්වොන්ටම් ලෝකය පිලිබද ලිපි පෙලේ ප‍්‍රවෙශයෙන් මතුවට එම සාකච්ඡාව ඉදිරියට ගැනීමද සිතේ තබාගෙනය.

දැන් මෙ සුලබ ක්වොන්ටම් පිම්ම නැමැති රූපකය සිය ලේඛනයන් තුල නිර්මාණශීලී ලෙස භාවිතා කරන දීප්ති කුමාර ගුණරත්නයන්ගේ වියමනක් අවධානයට යොමු කරමි.

ගාමිණී විජේතුංග මට දෙවන වරට හමු වූයේ 1995 පමණ කාලයේය. ඔහු මට හමුවන විට ෆීනික්ස් දැන්වීම් ආයතනයේ පිටපත් ලියන්නකු ලෙස සේවය කළේය. ගාමිණී විජේතුංග මට 83-85 යුගයේ හමුවූයේ දෙසතිය පුවත් සගරාවෙ ප‍්‍රධාන කතෘ හැටියටය. එවකට මට ඔහු වීරයෙක් කීවාට වරදක් නැත. ලංකාවෙ නූතනවාදී ලෝකය තුළ අවසාන දශකය වූයේ 80 දශකයයි. නූතනත්වයේ පූර්ණ පිපිරීම ලංකාවෙ සටහන් වූයේ 89 වසරෙ රෝහණ විජේවීර කනත්ත පසුපස දොරටුව ළග වෙඩි තබා මරා දැමීමෙන්ය. බොහෝ දෙනා කිසිදු ආකාරයකින් වටහා නොගත්තත් ඉහත මරණය නූතනවාදී ව්‍යාපෘතියේ ගිනිය නොහැකි ප‍්‍රතිරූප විශාල ගණනකගේ අවසානය සටහන් කළේය. මෙය දැන් සිට අතීතයට ප‍්‍රක්ෂේපණය කරන්නේ නම් ඉහත සියළු නූතන ප‍්‍රතිරූප ඒ බව පිළිගනු ඇත. විජේවීරගේ මරණය ලාංකීය දේශපාලන-ආර්ථිකයේ ක්වොන්ටම් පිම්මක් නිර්මාණය කළේය. ලංකාවෙ වෙළඳ ප‍්‍රාග්ධනයට විජෙවීරගෙ මරණයෙන් පසු රාජ්‍ය බලය ලැබිණ. මෙය කෙතරම් තීරණාත්මක වෙනසක් බිහි කළේ ද යත් කොළඹ දිස්ත‍්‍රික්කයේ සිටි එවකට මුදල් ලේකම්වරයා 90 දශකය මුලදී මංගල සමරවීරගේ දේශපාලන උපදේශකයා කළේය. වෙළඳ ප‍්‍රාග්ධනයට රාජ්‍ය බලය ලැබී පවතිද්දීම ලංකාවෙ නියොජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විශාල විපර්යාසයක් සිදුවිය. ඡන්දදායක-දායිකාවගේ මනස විකාර කරවමින් පොදු පෙරමුණ නමින් දේශපාලන සංවිධානයක් බිහි විය.

1993 දී ජයග‍්‍රහණය කළ දේශපාලන ව්‍යාපාරය වූයේ එයයි. පොදු පෙරමුණ ආණ්ඩුව බලයට පත් වූ වහාම එක්වරම සියලු දෙනා දේශපාලනය අත හැරියේ ය. සියළු දෙනා දේශපාලනය අත හැරියේ සියලු දෑ දැන් ජනතාව අතේ පවතින නිසාය. UNP ය ප‍්‍රජාතාන්ත‍්‍රික කිරීම, මාධ්‍ය ප‍්‍රජාතාන්ත‍්‍රික කිරීම, සමාජය හිංසාහරණය කිරීම වැනි මෙකී නොකී බොහෝ දේශපාලන ක‍්‍රියාකාරිත්වයන් සියලු දෙනා චන්ද‍්‍රිකා-මංගල -එස් බී ට‍්‍රිබලෙන් බලාපොරොත්තු විය. නමුත් පිළිතුරු හැටියට සමාජයට ලැබුණේ සුසන්ති ජයසිංහ විකාරය, සනත් ගුණතිලක විකාරය, රොනී පීරිස් විකාරය වැනි විකාර සංකීර්ණයකි. එපමණක් නොව 94-96 කාලය යනු ලංකාවෙ වඩාත්ම වෙගවත් වානිජකරණය ඇරඹි යුගය යි. සමාජ ගැටළුවලට පුද්ගලික විසඳුම් [බැද්දගාන සංජීවගෙන් සමාජ ගැටළුවලට උත්තර දීම] සහ මුදල් අන් සියල්ලට වඩා වැදගත් බව තහවුරු වූයේ ද 94-96 යුගයේ ය. මෙ යුගයේ දී පෙරමුණු දේශපාලකයන් යනු එරියස් සමග ජොනි වෝකර් විස්කි සමග රාත‍්‍රී 2 වෙනකං බොරු කයිවාරු කෙලීමයි. ඔවුන් කිසිවක් නොකරන බව කිහිපදෙනෙක් දැන සිටි අතර එය එතරම් වැදගත් සාධකයක් වූයේ නැත. කොටින්ම එක වාක්‍යයකට ඉහත සියල්ල ගොනු කළ හැක. පොදු මහජනතාවගේ අපේක්ෂාවන් පරිපූර්ණ ලෙස අදේශපාලනික කිරීම සිදු වූයේ 94-96 යුගයේ ය.

දීප්ති කුමාර ගුණරත්න
ගාමිණී විජේතුංගගේ ආත්මයේ දරාගත නොහැකි සැහැල්ලුව
ලන්ඩන් සගරාව 2002 අපේ‍්‍රල් මැයි කලාපය පිටු අංක 4-5

[උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි]


ලාංකීය රූපවාහිනි මාධ්‍ය තුල ද ක්වොන්ටම් පිම්මක් පැන ගත් සිරස ලාංකීය සංස්කෘතිය වහුකරණය කිරීමෙ ව්‍යාපෘතිය උත්කර්ෂයට නංවා ඇත්තේ පෙර නොවූ විරූ අයුරකිනි. ඒ කි‍්‍රයාදාමය දම්වැල් න්‍යායෙන් ඉදිරියට සීඝ‍්‍රව ඇදී යද්දී අමුතුම ආකාරයේ 'විකාර' සමාජගත කරන්නට සමත් වී ද ඇත්තේය. එහි අවසන් නොවන මහ විකාර තුල නවතම විකාරය සුසාර දිනාල් විකාරය විය හැකිය.

වර්තමාන ලාංකීය දේශපාලනික-ආර්ථික ව්‍යුහය, දීප්ති 2002 දී විග‍්‍රහ කළ ආකාරයේම නොවුනත් වෙනස් ආකාරයක ක්වොන්ටම් පිම්මක් අභියස බැවින්, අප සියල්ලන් ඇස් කන් ඇතුළු නව දොරම විවෘත කරන් ඉන්නා ප්‍රෙක්ෂකයන් පිරිසක් බවට පත් වී ඇත්තේ කුමන ස්වරූපවල අලුත් විකාර මෙ සන්දර්භයට ඇතුළු වන්නට අනාගතයේ දොරපළු ඇරෙවිදැයි සිතමිනි.

ක්වොන්ටම් පිම්ම ගැන මාධ්‍ය අවකාෂය තුල ප‍්‍රථම වතාවට සාකච්ඡා වෙන්නේ විද්‍යාත්මක පසුබිමකින් නොවෙ. නොඑසේ නම් අද අප භාවිතා කරන ප‍්‍රචාරාත්මක භාවිතාව ගොඩ නැගෙන්නේ භොතික විද්‍යා පදනමකින් නොවෙ. මන්ද යත් බ‍්‍රිතාන්‍යයේ කේම්බ‍්‍රිජි විශ්වවිද්‍යාලය තුල උපපරමාණුක අංශු හදාරණ විද්වතුන් ක්වොන්ටම් යන වදන භාවිත කලේ එහි සංශුද්ධ භොතික අදහසින් පමණක් වීම නිසා එය පොදු පරිශීලනයෙන් දුරස් වචනයක්ව පැවතීම ඊට හේතුවයි.
එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල බි‍්‍රතාන්‍යයේ බිහිවෙන කල්ට් සංගීත කණ්ඩායමක් නිසාවෙනි ක්වොන්ටම් පිම්ම පාරිභාෂික ශබ්ධ මාලාවට මහා පරිමාණයෙන් ඇතුලු වන්නේ. ඔවුන් තමන්ගේ සංගීත කණ්ඩායම හඳුන්වා ගැනීමට ක්වොන්ටම් ජම්ප් [Quantum Jump] යන්න භාවිතා කිරීම හේතුවෙන් එය එසේ සංගීත ක්ෂෙත‍්‍රය හරහා මාධ්‍ය ලෝකයට අවතීර්ණ වෙයි. එම සමකාලීන භොතික විද්‍යා පර්යේෂණ ක්ෂේත‍්‍රය තුල උප පරමාණුක අංශු පිලිබඳ විශේෂයෙන් ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය වැඩිවීමෙදී එය සන්තතිකව නැත්නම් ක‍්‍රමාණුකූලව වැඩි වීමකට එරෙහිව එක්තරා අගයක සිට ශක්තිය වැඩි වෙවී යද්දී අසන්තතික ව කිසියම් වෙනස් අගයක් කරා පොලා පැනීම නිරීක්ෂණය කරන්නට හැකි වීම සම්භාව්‍ය භොතික විද්‍යාවෙ ගණිතමය පසුබිම තුල විග‍්‍රහ කළ නොහැකි විය. සම්භාව්‍ය භොතික විද්‍යාවෙ ද එවැනි නිරීක්ෂණ නැතුවා නොවෙ. ඒ විලයනයේ ගුප්ත තාපය වැනි නිරීක්ෂණයන්ය. නමුත් එම සංසිද්ධි ද තාපගති විද්‍යා ක්ෂේත‍්‍රය තුල යම් පමණකට විග‍්‍රහ කරගෙන තිබුන නිසාවෙන් එම පැහැදිලි කිරීම් වලංගු නොවන මෙම ශක්ති විපර්යාස වටහා ගැනීමට වාදයක අවශ්‍යතාව මතු වූයෙන් ක්වොන්ටම් යාන්ති‍්‍රකයේ තිඹිරි ගෙය නිර්මාණය විය.

ක්වොන්ටම් යාන්ත‍්‍රික හැදෑරීම යනු ඇසට නොපෙනෙන පරමාණුක උප පරමාණුක අංශුවල ගතිගුණ සෙවීමෙ ගණිත ක‍්‍රමය හැදෑරීමයි. ඇසට නොපෙනෙන අංශු යනු අපට අන්වීක්ෂයක ආධාරයෙන් පවා දැකිය නොහැකි පදාර්ථයේ මූලික අංශුය. පරමාණුක අංශු සඳහා සාමාන්‍ය ගණිත ක‍්‍රම අදාල නොවීම හේතුවෙන් වෙනම ගණිත ක‍්‍රමයක් ඒ සඳහා භාවිතා කරන්නට සිදුවී ඇත. මෙහිදී මා සාමාන්‍ය ගණිත ක‍්‍රම ලෙස හඳුනා ගන්නේ නිවුටෝනියානු භෙතික විද්‍යා ගණිත ආකෘතිය යි. ඒ අපේ සම්භාව්‍ය භෙතික විද්‍යාව ගොඩනැගී ඇති පදනමයි. නිවුටෝනියානු යාන්ත‍්‍ර විද්‍යාව වස්තුවක ස්කන්ධය එහි අවස්තිථිය ගැන විද්‍යාවක් ගොඩ නගයි. එහි මූලික හරය කිසියම් භෙතික ගුණ දන්නා වස්තුවක චලිතය සිදුවන්නා වූ පථය සොයා ගැනීමට උපකාරී වීමයි. එහි දී අංශුවෙ ස්කන්ධය එහි පිහිටුම සහ එහි වෙගය දන්නේ නම් ඒ අනුසාරයෙන් කාලයට සාපේක්ෂ එහි පිහිටුම් සහ ශක්ති වෙනස් වීම් පෙරයීම් කිරීමට අවශ්‍ය සමීකරණ ගොඩනගා ගැනීමට එනම් එම අංශුවෙ භෙතික අවස්ථා ගණනය කර ගැනීමට අවශ්‍ය ෙෙසද්ධාන්තික පසුබිම සපයා දීම නිවුටොනියානු යාන්ත‍්‍රිකය විසින් ඉටු කරයි.


ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාවක උපත සිදුවන්නට ගොඩනැගුනු පරිසරය ද විමසා බැලීම වටී. නිවුටෝනියානු යාන්ත‍්‍රිකය විසින් පහදා නොදුන් භෙතික සංසිද්ධීන් කීපයක් නිරීක්ෂණය කරන්නට වීම ඊට බලපෑ ප‍්‍රධානම හේතුවයි. එම අවස්ථා කීපය අපි සංක්ෂ්ප්තව සලකා බලමු.

1. කලු වස්තුවල විකිරණතාව
2. ප‍්‍රකාෂ විද්‍යුත් ආචරණය
3. පරමාණුවල ශක්ති විමොචනය


මීට තවත් නිරීක්ෂණ කීපයක් ද ඇතත් මෙ එක එකක් ගැන සරලව වටහා ගන්නට අපි ඉදිරියේදී උත්සාහ කරමු.
ආලෝකය ක්වොන්ටම් යාන්ත‍්‍රණයේ මහ කණුවක් වන සැටි ද චමත්කාරයෙන් පිරි කතාවකි. කුතුහලය දල්වා එය රඳවා ගනු පිණිසය ඒ සඳහන.

ධනවාදයේ තෙවැනි කාර්තුවෙ අධිපති සංස්කෘතික තර්කනය වනූයේ පශචාත්-නූතනවාදය යි. පශ්චාත්-නූතන "රාජ්‍යය" විආකෘතික ක‍්‍රමයකි. මෙම රාජ්‍ය ආකෘතිය තුළ නිශ්පාදනය වන 'ආශාව' සාමුහික අනන්‍යතාවයකින් පරිපූර්ණ නොවෙ. සමාජ නිෂ්පාදනය තවදුරටත් ප‍්‍රතිවිරෝධතා ජනනය නොකරන්නේ [එනම් ඓතිහාසික ආඛ්‍යානයක ඊළග පියවර ලෙස හෝ මනොමූලික සරලරෙඛීයව ලෙස හෝ] එය "සැබෑවට -පෙනෙන -මිථ්‍යාවක ආකෘතිය" අත්පත් කරගෙන ඇති නිසාය. මෙ නිසා සිදුවන්නේ මිනිසා පුද්ගලභාවය නම් අණුක තත්වයෙන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වැනි උප-පරමාණුක අංශු බවට පත් වී කාල අවකාශය තුළ නව පිහිටීම් සලකුණු කිරීමයි. මිනිසුන් අතර වෙනස්කම් මෙ අනුව තවදුරටත් භොතික නොවන අතර ඒවා ප‍්‍රභන්ධාර්ථයන්ය.

දීප්ති කුමාර ගුණරත්න
ගාමිණී විජේතුංගගේ ආත්මයේ දරාගත නොහැකි සැහැල්ලුව
ලන්ඩන් සගරාව 2002 අපේ‍්‍රල් මැයි කලාපය පිටු අංක 4-5

[උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි]

යලිත් අපි රාම රාවණා යුධ පිටියේ අලුත්ම තත්වය මහැදුරු සුනිලුන් ගේ ප‍්‍රතිකථිත දෙමළ රාමායණයෙන් කියවා ගනිමු. මෙ යුධ කි‍්‍රයාදාමය තුල ද ක්වොන්ටීකරණය වූ ශිල්පෝපක‍්‍රම මතුකර ගැනීමට ඉදිරියේදී වෑයම් කරමු.

ලක්ෂ්මණගේ ප‍්‍රහාරයකින් ඉන්ද‍්‍රජිත්හු ද රණබිමෙහි නටහ. ප‍්‍රිය පුත‍්‍රයාගේ මරණය ගැන ඇසූ රාවණ වියරුවෙන් කෑ ගැසීය. "මෙ සියළු ව්‍යසනයන්ට මුල් වූ සැතිරිය සීතා දැන් මෙ මොහොතේ දී ම මරා දමන්නෙමැ"යි රාවණ වෙදනාවෙන් කඳුළු වැගුරුවමින් දිවුළේය. රාජ්‍ය අනුශාසකයන් බොහෝ දෙනා ඔහුගේ අදහස අනුමත නොකළහ. "කාන්තාවක ඝාතනය කිරීම ඔබ වන් රජකුට තරම් නොවෙ. ඔබගේ කෝපය යොමු විය යුත්තේ රාම-ලක්ෂ්මණ දෙදෙනා වෙත ය. ඉතිරිව සිටින සේනා යළි සංවිධානය කොට ඔවුනට එරෙහිව මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරන්න. අනතුරුව සීතා අත්පත් කර ගන්න. ඔබට ඊට ශක්තිය තිබෙ. සන්නාහ සන්නද්ධ ව වහා පෙරමුණ ගන්නැ"යි රාජ්‍ය අනුශාසකයෝ කීහ.

දෙමළ රාමායණය
නව වන උල්ලාසය රාම-රාවණ සටන
ප‍්‍රතිකථනය මහාචාර්ය සුනිල් ආරියරත්න

[උපුටනය සහ අවධාරණය කර්තෘ විසිනි]


සටහනක්:

භොතික විද්‍යාව සහ ගණිතය අපට අපගේ සීමාවන් උගන්වයි. අපගේ සිතීමෙ දිග පළල තීරණය කරයි. නිම් වළලු පුළුල් කරයි. එනමුත් සත්‍යය සෙවීම යනු අප විසින් හඹා යනු ලබන කෙදිනක හෝ හමුවන දෙයක් යැයි අනුමාන කරමින් දිගින් දිගට ඇදී යන ගමනකි. සත්‍ය ඇත යනුවෙන් විශ්වාස කරන්නන්ද සත්‍යය කියා දෙයක් නොමැත යනුවෙන් විශ්වාස කරන්නන්ද මෙලොව වෙසෙති. ඒ දෙගොල්ලන්ම එදිනෙදා ජීවිතය පහසු කර ගනු විනා අපහසු කරගැනීමෙ ක‍්‍රම නොසොයති. එබැවින් විද්‍යාව හැදෑරීම මෙ අවස්ථාවෙ ජීවිතය ලෝකය වටහා ගන්නට දරන උත්සාහයක් මිස විද්‍යාව තුල සියල්ල විග‍්‍රහ වෙය යන්නක් හෝ එය පරමත්වයට නැංවීමක් ද නොවෙ. ක්වොන්ටම් යාන්ත‍්‍රිකය ද විද්‍යාවකි.


The idea of eternal return is a mysterious one, and Nietzsche has often perplexed other philosophers with it: to think that everything recurs as we once experienced it, and that the recurrence itself recurs ad infinitum! What does this mad myth signify?

The Unbearable Lightness Of Being
Milan Kundera


graphics source

Tuesday, March 24, 2009

සම්භාවිතාව සහ පොල්

කාන්තාරයක වැතිරිලා ඉද්දී නිවුටන් ජාතියේ පොල් ගෙඩියක් ඔලුවට වැටීමෙ සම්භාවිතාව බිංදුවයි[0].

එහෙම දෙයක් වෙන්නේ නැති නිසා.

පොල් වත්තක් කාන්තාරයක් වීමෙ සම්භාවිතාව එකයි[1]. ඒ කියන්නේ එහෙම දෙයක් සිදුවීම අනිවාර්යයෙන්ම වෙනවා කියන එකයි.

ඒක වෙන කාලය තමයි අපි දන්නේ නැත්තේ. නමුත් අපි දන්නවා ඉවෙන් වගේ මෙ යන විදියට අපි ඉන්න ලෝකය කවද හරි එකම එක කතරක් බවට පත් වෙන බව. මහ විනාෂය කරා හෙමින් හෙමින් ගමන් කරන බව. කාල රාමුවක් තමයි දන්නේ නැත්තේ.

ෙසෙද්ධාන්තිකව සම්භාවිතාව කරන්නේ සිදුවීමක් සිදුවීමෙ හැකියාව පිලිබඳ සංඛ්‍යාත්මක අගයක් දීම පමණයි. එය සිදු වන කාල වකවාණුව ගැන එය අදහසක් නොදෙයි.

දෙයක් සිදුවන කාලවකවාණුව දෙන විද්‍යාවක් ද ඇත. එය ගුප්ත විද්‍යා ඝණයට වැටෙයි. ඒ ජ්‍යොතිෂ විද්‍යාවයි.

ගුප්ත දේවල් විද්‍යා වෙන්නේ කොහොම ද?

එහෙම ගුප්ත කියන වචනයත් එක්ක විද්‍යාව කියන වචනයට එකට ගමන් කරන්න පුළුවන් ද?


Monday, March 23, 2009

ප‍්‍රවෘත්ති -මහේෂ් මුණසිංහ

ප‍්‍රවෘත්ති

ඇන්ටෙනා
කූරුවලින් පෙරී
මිදුලේ තිබිලා
ඇහිලූවා
හෙණ තොගයක්

‘හත්දෙයියනේ
කී දාහක් මරලද
මේ ටිකට’

මහේෂ් මුණසිංහ

කමෙන්ට්ස් තමයි අපට වැදගත්

උඹලයි සයිට් එක අද මම බැලුවා. කොමෙන්ට් එකක් තියෙනවා කියන්න ද?

කියපන් කියපන් කමෙන්ට්ස් තමයි අපට වැදගත්

මචං අර පොඩි එකෙක්ගේ හුරතල් පින්තූරයක් දාලා තියෙන්නෙ වම් පැත්තේ... ඒකට මම කැමතියි...හරිම ලස්සනයි.

අහා... ඉතිං

ඒ වුනාට මචං දකුණු පැත්තේ අර සිගරට් එකක් බොන එකෙක් ගේ පින්තූරයක් දාලා තියෙන්නේ... අන්න ඒක අයින් කරහන් ප්ලීස් මචං...

ඒක අයින් කරන්න? උඹ දන්නව ද? ඒ මිලාන් කුන්දේරා !

මම දන්නේ නැහැ මිලාන් කවුද කියල. ඒත් පොඩි එකෙක්ගෙ පින්තූරයක් එක්ක සිගරට් බොන එකෙක්ගේ පින්තූරයක් එකට දාන එක සදාචාරයක් නැති වැඩක් මචං

මචං... චෙ ගේ හරි කාල් මාක්ස් ගෙ හරි පින්තූරවලින් ගොඩක උන් ඉන්නේ සුරුට්ටු කටෙ ගහන්... ඒකයි උන්ගේ වැඩයි අතර සම්බන්ධයක් නැහැනේ ...

ඒ වුනාට මම කැමති නැහැ උඹලයි සයිට් එකෙන් සිගරට් බොන එක ප්‍රොමෝට් වෙනවට...

එච්චර ද කමෙන්ට්ස්?

ඔව් මචං. අනිත් සේරම හොඳයි... අර පින්තූරෙ අයින් කරහන්. ඇත්තටම මිලාන් කුන්දේරා කියන්නේ කවුද බං?








සත්‍ය සිදුවීමක් ඇසුරිනි.

Sunday, March 22, 2009

ජීවිතයේ මහ තේරුම

ඇයි උඹ සිගරට් බොන්නේ?

ජීවිතයට තණ්හාවක් නැති නිසා...

ජීවිතයට තණ්හාවක් ඇති මිනිස්සු ද සිගරට් නොබොන්නේ?

මම මගේ ජීවිතයට තණහාවක් නැහැ. මම දන්නේ මම ගැන විතරයි.

ඒත් කවදා හරි දුක් විඳින්න වෙනවා නේ මොනව හරි අසනීපයක් හැදුනොත් සිගරට් බීමෙන් ?

දැන් ලෙඩක් අසනීපයක් නැතිවත් මෙ විඳින්නේ සැපක් ද?

ඒක වෙනම දෙයක්. හොඳයි මෙ කරදර දුක් අස්සේ විහින් ඇයි තවත් අසනීපවලට අත වනන්නේ?

හෙට ගැන මගේ විශ්වාසයක් නැහැ. අත වනන්න දෙයක් මට නැහැ

ඒ කියන්නේ සිගරට් බීම උඹ ප්‍රොමෝට් කරනවා ?

මම සිගරට් බොනවා. එච්චරයි.

ඒ කියන්නේ උඹට සිගරට් බොන්න හේතුවක් තියෙනවා

ඔව් උඹට ඔන හේතු නිසා ඒක හේතුවක් විදියට හිතා ගෙන සතුටු වෙයං.

මට සතුටු වෙන්න බැහැ උඹ සිගරට් බොන එක ගැන.

ඒත් උඹ සතුටු වෙනවා නේද හේතුවක් සොයාගත්තම ?

සතුටු වෙන්න නොවෙයි මම හේතු සොයන්නේ. තේරුම් ගන්න.

තේරුම් ගන්න බැරි දේවල් නිසා උඹ අවුල් වෙනවා කියන එකනේ ඒ කියන්නේ ?

මම අවුල් වෙන්නේ නැහැ උඹ සිගරට් බොන හේතුව නොදැන ගත්තා කියලා.

එහෙනම් ආයෙම මුලට පලයන්...

උඹ දිගටම සිගරට් බීපන් ...

ඇයි උඹ නේද කීවෙ සිගරට් බොන්න එපා කියලා ?

උඹ විහින් ලෙඩ වෙලා දුක් විඳිනවා බලන්න මම කැමති නැති නිසා.

දැන් මම විඳින දුක් දිහා බලල උඹ මොනවද කරන්නේ ?

මම ඒත් දුක් වෙනවා.

ඉතිං වෙනසක් නැහැනේ ?

ඔව් වෙනසක් නැහැ.


උඹ ජීවිතයට මාර ආදරෙයි නේද

මාර ආදරයක් නැහැ.

නැහැ උඹ ජීවත් වෙන්න ආසයි.

මැරෙනකම් ජීවත් වෙන්න ඔන නේ.

උඹ ජීවත් වෙන්නේ මොකට ද ?

මම දන්නේ නැහැ. ඉපදුන නිසා වෙන්න ඇති.

උඹට කවදාවත් මැරෙන්න හිතිල නැද්ද?

හිතිල තියෙනවා.

මැරුනෙ නැත්තේ?

එහෙම මැරෙන්න බැහැනේ. අපේ ජීවිත අපට අයිති දෙයක් නොවෙයි නේ.

ඒ කියන්නේ උඹ මැරෙන්න ඉඩක් තියෙනවා නම් මැරෙනවා?

ඔව්. මෙ ජීවිතයට මහ තේරුමක් නැති නිසා.

උඹට උඹෙ ජීවිතයේ මහ තේරුම සොයා ගන්න මම සිගරට් බොන එකත් අදාල ද?