Showing posts with label සමර විජේසිංහ. Show all posts
Showing posts with label සමර විජේසිංහ. Show all posts

Sunday, November 21, 2010

"ශ්‍රී සමෘද්ධිමත් ලෙස බත් කෑමක්" -සමර විජේසිංහගේ සද්ධර්ම කතා ගැන

සමර විජේසිංහගේ නවතම කෙටි කතා සංග්‍රහය වන සද්ධර්ම කතා ගැන සටහනකි මේ.


ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ සමහර කතන්දර අප විසින් සාහිත්‍ය රසාස්වාදනය පිණිස යොමු වූයේ අසූ ගණන්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විශය නිර්දේශයේ නිර්දිශ්ට ග්‍රන්ථ අතරට ඒවා ද අන්තර්ගතව තිබූ බැවිනි. එලෙස නොවූවා නම් අපි දු දන්නා සද්ධර්මරත්නාවලියක් නොවෙයි. එදා එම කතන්දර කියවා වටහා ගැනුම අතිශය දුෂ්කර වුවද, කෘතහස්ත සාහිත්‍ය ගුරුවරුන් එකල සිටියෙන් එම කටයුත්ත පහසු විය. එබඳු ගුරුපියෙක් මේ අවස්ථාවේ මගේ මනැසට එයි. ඒ මාතර රාහුල විද්‍යාලයේ අපගේ සාමාන්‍ය පෙළ පංතියේ සිංහල ගුරුතුමා වූ කවිරත්න ගුරුපියා ය. එතුමන්ගේ බහුස්‍රැත සාහිත්‍ය පරිචයෙන් බිඳක් අපද ලබන්නට වාසනා වූ බැවින්, අද ද අපි වැන්නෝ සිංහල සාහිත්‍යයේ අබැටක පමණ රසයක් විඳිමු. ඔහුට පිං වේවා!

සමර විජේසිංහ අලුත් ආකාරයේ වැඩකට පරණ සද්ධර්මරත්නාවලිය තෝරා ගෙන ඇත.

සමර විජේසිංහ ගේ වෑයම අතිශය සාර්ථක යැයි පවසන්නේ එකල අප සද්ධර්මරත්නාවලියේ ගැටපද ලිහාගෙන එහි වූ අනේක රසාලිප්ත වැකි නැවත ගැටගසා ගන්නට දැරූ තැත මත්තෙහි, අප මනසින් ගිලිහී ගිය නොයෙකුත් භාවපූර්ණ චින්තාවන් ගැන මෙනෙහි වීමෙනි.

දඹදෙණි යුගයේ සිංහල භාෂාව පාරප්‍රාප්තියෙකු වුවද, ධර්මසේන හිමියන්ගේ සාහිත බස සරලවත් සුගමවත් තිබුයේ වුවද, අපගේ එකල සහ මෙකල වත්මන් සිංහල වාක්‍ය ඛණ්ඩ ර‍ටා අනුව සැකසුණු මනසින් එම සද්ධර්මරත්නාවලිය පරිශීලනය දුෂ්කර අභ්‍යාසයක් වූ හෙයින්ම, එය සාහිත්‍ය අධ්‍යාපන නිර්දිශ්ට ග්‍රන්ථයක් බවට ද පත් වී තිබූ සැටි පැහැදිලිය.

සමර විජේසිංහ ගේ සද්ධර්ම කතා තුළින් වත්මන් සිංහල බස් වහරට කැඳවන ඒ පුරාණ සද්ධර්මරත්නාවලියේ සමහර කතන්දර විසින් අපව ඇණවුම් කරන්නේ වඩාත් නව්‍ය සාහිත්‍ය- වචන පරිසමාප්ත අර්ථ ලෙසම හිත සන්සුන් කරවන- මෙකල භාවිත සිංහලෙන් පමණක් නොව, එබඳු වාක්‍ය ඛණ්ඩ රටා ඔස්සේ ද මෙකල සංස්කෘතික සමාජ ව්‍යුහය තුළ ස්ථාපිත හැඟවුම්කරණයන් ඔස්සේ ද ප්‍රතිකථිත, එම කතා ස්වරූපයන් ම වීම මාහැඟි නිර්මාණාත්මක කාරියක් ලෙස ප්‍රශංසාභිමුඛව පිළිගත යුතුය.

මේ කරුණ උදාහරණයකින් පෑමට උත්සහ කරමි.

මේ උපුටා දක්වන්නේ සද්ධර්මරත්නාවලියේ එන සුඛ සාමණේර වස්තුවේ කොටසකි. එය මා උපුටා ගන්නේ පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල ස්වාමිපාදයන්වහන්සේ විසින් සංස්කරණය කොට පළ කළා වූ සද්ධර්මරත්නාවලී ග්‍රන්ථයෙනි.


130. සුඛ සාමණේර වස්තුව


තව ද කුසලයෙහි ම අනුසස් දක්වනු සඳහා සුඛ සාමණේර වස්තුව කියමු.


කෙසේ ද යත්-


යට ගිය දවස බරණැස සිටාණන් ගේ ගන්ධක කුමාරයො ය' යි පුතණු කෙණෙක් ඇත. රජ්ජුරුවෝ උන්ගේ පියාණන් මළ කල උන් ගෙන්වා ලා ශොක තුනී වන ලෙසට අස්වසා ලා ඒ කුමාරයන්ට මහ පෙරහරින් සිටු තනතුරු දුන්හ. ඌ එ වක් පටන් ගන්ධක සිටාණෝ ය'යි ප්‍රසිද්ධ වූ හ.


ඉක් බිත්තෙන් උන්ගේ භාණ්ඩාර ගෙය බලන තැනැත්තෝ වස්තු තිබෙන ගබඩාවල දොරවල් හැර ලේකම් කියවා


'ස්වාමීනි, මෙතෙක් වස්තු මුඹගේ දෙමව්පියන් සන්තක දෙය ය. මේ මේ මුතුන් මී මුතුන් ආදීන් සන්තක ය' යි වෙන වෙන ම පෑවූ ය. උයි ත් ඒ වස්තු රාශිය දැක 'කුමක් ද? ඒ අපගේ දෙමවු පිය ආදීහු නො ගෙණ ගියෝ දැ'යි විචාළෝය. 'ස්වාමීනි, මිය පරලොව යන කල තමන් කළ කුසල් ගෙණ යත් මුත් යටත් පිරිසෙයින් කොකු මස්සක් විතරත් ගෙන යන්‍ නෝ නැතැ'යි කිවුය. ගන්ධක සිටාණෝ සිතන්නෝ 'ඌ හැම දෙන තමන් නුවණ නැති හෙයින් උපයා රැස් ‍කොට තබා ලා ගියහ. මම වැළිත් මිය පර ලොව යතත් හැර ගෙණම යෙමී 'සිතූ ය. සිතන ගමන ත දන් පින් විෂයක් නො සිතා 'මේ සියල්ල ම අනුභව කොට නිමවා පියමි. එ සේ කලට භාවිත කළ දෙයක් මෙන් කැටි ව ගෙණ ගියා හා සර ය' යි සිතූ හ.


එසේ සිතා ලා ඌ තුමූ 'නුවණින් ‍කෙරෙමි 'යි සිතු පමණක් මුත් නුනුවණින් ම මසු ලක්ෂයක් දීලා පිළීවහණ මුවා නහන කොටුවක් කැරවූහ. එ සේම මසු ලක්ෂයක් දීලා නාන්ට දෑවාණමය පෝරුවක කැරවූහ. එසේ ම මසු ලක්ෂයක් දීලා බත් කන්ට හිඳිනා පලඟක් කැරවූහ. ලක්ෂයක්ම දීලා බත් කන්ට රන් තළියක් කැරවූය. තවත ලක්ෂයක් ම දීලා හිඳ බත් කන තැන මණ්ඩපයක් කැරවූය. ලක්ෂයක්ම දීලා බත් කන කල තළිය තබන්ට මොරවයක් කැරවූය. ලක්ෂයක්ම දීලා බත් කන නියා හැම දෙනාට පෙනෙන්ට සී මැඳුරු කවුළු දොරක් කැරවූය.


මෙසේ ඒ හැමයට සත් ලක්ෂයක් වියදම් වීය. තමන්ට දාවල් බතට අංගාණි ආදි ය නිසා මසු දහසක් දෙති. රෑට බතටත් අංගාණියට හා සෙසු ත් වුව මනා දෙයට මසු දහසක් දෙති. පුර පසළොස්වකත් අව පසළොස්වකත් බත් කෑමට වියදමට මසු ලක්ෂය ලක්ෂය දෙවති. ඒ පොහෝ දවස් දෙකෙයි දී ලක්ෂයක් දී ලා නුවර සරහවා ලා 'ගන්ධක සිටාණන් බත් කන ලෙස බලන්ට හැම දෙන රැස් වුව මැනව'යි නුවර බෙර ලවති. බොහෝ දෙනත් රැස්ව බත කන ලීලා බලන්ට මැසි මත්තේ මැසි බඳිති. ගන්ධක සිටාණෝ ද නහන කොටුවේ නහන පෝරු වේ හිඳ ගෙන සුවඳ පැන් සොළොස් කළයකින් නා පියා සී මැදුරු කවුළුව හැර ලා පළඟ පිට හිඳිති. උන් ඉදිරියේ මොරවය තබා ලා ඊ මත්තේ රන් තළිය තබා ලා අගය කළ කලට ලක්ෂයක් වටනා බත බා ලති . උයි ත් නළුවන් පිරිවරා ශ්‍රී සමෘර්ධීන් යුක්තව බත් කති.


පසුව කලක දී එක් පිටිසර වැසි එකෙක් තමාට වුව මනා දෙයක් හැර ගන්නා නිසා දර පළා ආදිය ගැලෙක ලා ගෙන නුවරට අවුත් යාළුවාණ කෙණකුන්ගේ ගෙයි නවාතැන් ගත් හ. ඒ දවස් වැළිත් පසළොස්වක් දවස ය. 'ගන්ධක සිටාණන් බත් කන ලෙස් බැලුව මැනවැ'යි නුවර බෙර ලැවූය. අමුතු ව අවුත් නවාතැන හුන් පිටිසර වැසි තැනැත්තවුන්ට 'මිත්‍රයාණෙනි, ගන්ධක සිටාණන් බත් කන සැටි දුටු විරූ ඇද්දැ'යි විචාරා 'නුදුටු විරීමි'යි කී කල්හි 'තෙල බෙර ලවන්නේ ඒ බලන්ට යන්ටය. වරෝ යම්හ 'යි නුවර හිඳිනා තැනැත්‍තෝ පිටිසර වැසි තැනැත්තන් කැඳවා ගෙන ගියහ.


මේ කතාව මෙතැනින් නවත්වා එම කතාව ම "සමරීකරණය" වූ පසුව කියැවෙන අයුරු සසඳා බලන්නට සමරගේ සද්ධර්ම කතා පොතෙන් ඒ කොටස උපුටා මෙහි ලියා තබමි.


කෑම ප්‍රදර්ශනය


මේ කතාවත් බරණැස් නුවරමයි. පිය සිටුතුමා මිය ගියාම බරණැස් රජතුමා සිටු පුත්‍රයා කැඳවලා පුත්‍ර කුමාරයාට සිටු තනතුර බාර දුන්නා. පියා මිය ගිය එකට ශෝක වෙන්ඩ එපා කියලත් කිව්වා. කුමාරයා ටිකක් ශෝක වෙලා ඉවරවෙලා තනතුරේ වැඩ බාරගත්තා. නම් ප්‍රසිද්ධ කළේ ගන්ධක සිටාණෝ කියන නමෙන්. කුමාරයා තනතුරේ වැඩ බාරගත්තා.

පිය සිටුතුමා ඉන්න කාලේ පියසිටුතුමා වස්තුව දේපල ගැන විස්තර කුමාරයාට හරියට කියල දී තිබුණෙ නෑ. දැන් තමයි භාණ්ඩාගාර නිලධාරියා විස්තර කියල දෙන්නෙ. ගබඩා දොරවල් ඇර ඇර පෙන්නනවා.

ප්‍රධාන ගබඩා කාමරය: රන් රිදී බඩු මුතු මැණික් මසුරන් මළු

"මේ ඔබතුමාගේ දෙමව්පියන් සන්තක වස්තුව."

ඊළඟ ගබඩා කාමරය -රන් රිදී බඩු මුතු මැණික් මසුරන් මළු

"මේ ඔබතුමාගේ මුත්තා මිත්තණි සන්තක වස්තුව"

ඊළඟ ගබඩා කාමරය -රන් රිදී බඩු මුතු මැණික් මසුරන් මළු

"මේ ඔබතුමාගේ මී මුත්තා මී මිත්තණි සන්තක වස්තුව"

ඊළඟ ගබඩා කාමරය-රන් රිදී බඩු මුතු මැණික් මසුරන් මළු

"මේ ඊටත් ඉස්සර පරම්පරා වලින් ලැබුණ ඒවා සහ කාගෙන් ලැබුණ ඒවද කියල හරියටම කියන්ඩ බැරි එක එක විදිවලින් ලැබුණ වස්තුව‍."

"හොඳයි හොඳයි"

"එහෙමයි"

"දෙම්වපියො අත්තල මුත්තල කවුරුවත් යන‍කොට මොනවවත් අරගෙන ගියේ නැද්ද? නැත්තන් මේ ඉතුරු හරිය ද?"

"යනකොට කුසල් අකුසල් විතරයි නෙ අරගෙන යන්නෙ. සෙල්ලම් මසුරමක් විතර දෙයක්වත් ගෙනියන්නේ නෑ."

"මිනිස්සු හම්බ කරල එකතු කරල තියල යනව. මෝඩ වැඩක් නේ ද? මට නම් එහෙම කරන්න අදහසක් නෑ. මම යනකොට ගෙනියනවා. මම මේව සියල්ලම පරිබෝජනය කරනවා. එතකොට ඒවා මා ඇතුළෙ. එතකොට අරගෙන යනව වගේම තමයි."

මෝඩකමක් කරනකොට තමාගේම මෝඩකමින් ඒක කරන්නට ඕනෑ. සිටුවරයා තමාගේ නුවණින්, ඒ කියන්නේ තමාගේ නුනුවණින් වැඩ කරන්ඩ පටන් ගත්තා.

"නාන කොටුවක් හදන්න ඕනැ. පොළවට බිත්තිවලට කිරිගරුඩ ගල් අල්ලන්ඩ. ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"නාන ඔරුවක් හදවන්ඩ. තනිකර හඳුන් ලී වලින්. ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"කෑම කනකොට ඉඳගන්ඩ අලුත් කුරුබංකුවක් හදවන්ඩ.රත්තරන් වලින්. ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"මට අළුත් කෑම කන තැටියක් හදවන්ඩ. දන්නව නේ. රත්තරන් වලින්. ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"කෑම කන තැටිය තියන්ඩ කුරුමේසයකුත් හදවන්ඩ.රත්තරන් වලින්.ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"කෑම කන තැන මණ්ඩපයක් හදවන්ඩ.නාටිකාංගනාවන්ට නටන්ඩ ඉඩ තියෙන්ඩත් එක්ක.ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"අනිත් එක කෑම කන තැන මණ්ඩපෙත් එක්ක වීදියට පෙනෙන්ඩ ලොකු ආරුක්කු ජනේලයක් දම්මවන්ඩ. ලක්ෂයක් ගියත් කමක් නෑ."

"එහෙමයි"

"ඔක්කොම හරි ද එතකොට ? වැඩ හතයි. ලක්ෂ හතක් ගියත් කමක් නෑ."

"එහෙමයි. මම ලියා ගත්තා. ලක්ෂ හතක් ගියත් කමක් නෑ."

කෑම වියදම: සාමාන්‍ය දිනවල දවල් කෑමට බඩුවලට සහ වෙනත් වියදම්- මසුරන් දාහයි. රෑ කෑමට බඩුවලට සහ වෙනත් වියදම් -මසුරන් දාහයි. පසළොස්වක සහ අමාවක දිනවල දවල් කෑමට බඩුවලට සහ වෙනත් වියදම් -මසුරන් ලක්ෂයයි. රෑ කෑමට බඩුවලට සහ වෙනත් වියදම්- මසුරන් ලක්ෂයයි. ඒ දින දෙක විශේෂයි. වෙනත් වියදම් යටතේ වීදිය සැරසීම් කටයුතු සහ ප්‍රචාරක කටයුතු ඇතුළත්. ප්‍රචාරය කෙරෙන්නේ අණබෙර කරුවන් මඟින්.

ප්‍රචාරක පාඨය: 'ගන්ධක සිටාණන් බත් කන ලෙස බලන්නට හැම දෙන රැස්වුව මැනව.'

මිනිස්සු රැස්වෙනවා. *බත් කන ලෙස බලන්නට*. සෙනඟ වැඩි නිසා මැසි පිට මැසි ගහල ඒව උඩට නැගල බලනවා. මේ බත් කන වෙලාවට නාටිකාංගනාවො ගායන වාදන කරමින් නටනවා. සිටුතුමා මැද. නාටිකාංගනාවො වටේට අර්ධ කවාකාරව. ඇත්තටම නම් මිනිස්සු එන්නේ නාටිකාංගනාවන්ගෙ නැටුම් බලන්න වෙන්ඩත් පුලුවන්. බොහොම ශෘංගාර නැටුම්. ශාස්ත්‍රීය නැටුම් කියල කියන්ඩ බෑ. කොහොම වුණත් මිනිස්සු එනව *සිටුතුමා බත් කන ලීලාව බලන්නට*.

සිටුතුමා ලක්ෂයක් වටින නාන කොටුව ඇතුළෙ ලක්ෂයක් වටිනා නාන ඔරුවේ ඉඳගෙන සුවඳ පැන් කල දාසයක් නාගන්නවා. තෙත මාත්තු කරගෙන වටිනා සළුපිලි ඇඳගෙන ලක්ෂයක් වටිනා ලොකු ජනේලෙ ළඟ ලක්ෂයක් වටිනා ආසනේ උඩ එරමිණිය ගොතාගෙන ඉඳගන්නවා. ලක්ෂයක් වටිනා මිටි මේසෙ උඩ ලක්ෂයක් වටිනා රන් පළඟාන තියාගෙන ලක්ෂයක් වටිනා බත අනුභව කරනවා. බලන්ඩ වටින දෙයක්. පසුබිමේ නාටිකාංගනාවො ගයන වයන නටන සංදර්ශනයක්. ඒකත් බලාගන්න වටින දෙයක්.

සියලු දේ එකතු කළාම ශ්‍රී සමෘද්ධිමත් ලෙස බත් කෑමක්.

ශ්‍රී සමෘද්ධිමත් ලෙස බත් කෑම කිසිම ආපදාවක් නැතිව කාලයක් තිස්සේ පැවතුණා.

එක දවසක පිටිසර කෙනෙක් තමාට උවමණා දේවල් කීපයක් ගන්න නගරයට ආවා. දර පලාකොළ ආදිය කරත්තෙක පටවාගෙන. ඇවිත් නගරයේ යාළුවෙකුගෙ ගෙදර නතර වුණා. එදා පසළොස්වක දවසක්.

ගන්ධක සිටාණන් බත් කන ලෙස බලන්නට හැම දෙන රැස්වුව මැනව

"මොකක් ද ඒ බෙරේ?"

"දැකල තියෙනවද ගන්ධක සිටාණන් බත් කන ප්‍රදර්ශනය?"

"බත් කන ප්‍රදර්ශනය? නෑ දැකල නෑ."

"අහල තියෙනව ද?"

"අහලත් නෑ."

"නෑසූ විරූ නුදුටු විරූ දෙයක් නේද? යමු මම පෙන්නන්නම්."

සෙනඟ පිරිල. පිටිසර කෙනාට නිකං පිස්සු වගේ. නැටුම්වලට කෙසේ වෙතත් කෑමවලට.

"මට ඒකෙන් එක බත් කටක් කන්න ඇත්නම්!"

අපි කතා උපුටනය එතනින් නතර කරන්නේ කලින් ලියැවුනු කොටස මේ සමර අතින් ප්‍රතිලිඛිත කොටස හා සසඳා බලා ගන්නට ඇවැසි ප්‍රමාණය ටය. පාඨකයා වෙත දැනටම ඒ ආඛ්‍යාන දෙකෙහි වෙනස වැටහී ඇතිවා පමණක් නොව සමර ලියා ඇති ආකාරයෙන් කියවා ගෙන යද්දී මේවා බුදුන් දවස සිදු වූ සිද්ධි යැයි අමතක වී, දැනුදු රජවාසලේ සිදුවන ඇතැම් දේ හා මොනවට ඕවර්ලැප් වී සම්පිණ්ඩනය වී තියේ දැයි දැනෙන්නට ද පටන් ගනී. ඒ සද්ධර්ම කතා නවීන ක්‍රමයට කීමෙ අතුරුඵල යැයි කිව හැකිය. විවාදාසම්පන්නය.

මෙයාකාර සරල සුගම අවස්ථාවෝචිත කලානුරූපි බස්වහර ගැන තවත් කුමට වැණුම් ද ? අපි තවත් කාරණා ඔස්සේ මේ සමර ගත් මග වටහා ගන්නට උත්සාහ කරමු.

මාර්ටින් වික්‍රමසිංහ විසින් විරචිත සිංහල විචාර මඟ කෘතියේ දසවැනි පරිච්ඡේදය ඇරඹෙන්නේ මෙයාකාරයෙනි.

බුදුන් වහන්සේ තමන් සොයාගත් චතුරාර්ය සත්‍යය දෙසීමට කුලීනයන් හා බමුණන් විසින් සම්භාවිත සාහිත්යික භාෂාවක් වූ සංස්කෘතය උපයෝගී කොට නොගත්හ. උන්වහන්සේ තමන්ගේ ධර්මය දේශනා කෙළේ ප්‍රාකෘත භාෂාවෙනි. එය ගොපල්ලන් ගොවියන් දාසයන් වෙළෙන්දන් ශිල්පීන් හා පහත් කුලවල ජනයා ද භාවිත කළ පොදු බසකි.

මේ ආකාරයටම සමර විසින්ද සමර්ථනය කොට ඇත්තේ එබඳුම ජනතාවාදී උත්සහයක් බැව් මෙහි සඳහන් කළ යුත්තේමැයි මට සිතේ. මන්ද යත් දඹදෙණි යුගයේ ලියැවුන සද්ධර්මරත්නාවලියේ සිංහල භාෂාව අද ව්‍යවහාරික සිංහලය හා සසඳද්දී , එය සංස්කෘත තරම්ම නොවූවත් අදට වඩා බොහෝ දුරකින් එහි සින්ටැක්ස්- සිමැන්ටික්ස් සහ ප්‍රැග්මැටික්ස් ස්ථානගත වී ඇතැයි සිතේ. එනයින් අද වහරන අයුරින්ම පතුලටම ගිය එෆ්එම් නාලිකා භාෂා දුශීලත්වයටම නොපැවැත් වුවද, මේ සද්ධර්ම කතා ලියැවෙන සුමට සිංහල වහර නම් අතිශය සුකොමලය. වටහා ගැන්ම පහසුයැ. කියැවීමේ රසය උපදවයි.

අනෙක් අතට සද්ධර්මරත්නාවලිය වැනි අපගේ සිංහල බෞද්ධ ඓතිහාසික සාහිත්‍යය අද දවසේ නැවත කියවීමේ වැදගත් කම ද වටහා ගැන්මට කිසියම් සකාරණාවන් කීපයක් සොයා බැලිය යුත්තේමයැ. මූලික වශයෙන් ම සිංහල බෞද්ධ සාහිත්‍යය යථාර්ථවත් රීතියෙන් ගොඩ නැගුනකැයි සිංහල විචාර මඟ ලියා පළ කළ මාර්ටින් වික්‍රමසිංහ ශූරින් දක්වා ඇති අතර, එය එසේමැ'යි යන ස්ථිරත්වය ද ගුණදාස අමරසේකර විද්වතුන් විසින් සිය නොසෙවුනා කැඩපත නම් වූ සිංහල නවකතාවේ පරිහාණිය විවරණය කරනා විචාරක ග්‍රන්ථයේද සඳහන් කොට ඇත්තේයැ. මෙනයින් සිංහල සාහිත්‍යය නම් වූ ක්ෂේත්‍රය තුළ වත්මනේ පවතින කඩාවැටීමේ මොහොත කිසියම් අලුත්වැඩියාවක් උදෙසා මෙවන් පඩිවරු දක්වා ඇති අදහස් ඔස්සේ සිතුවිලි මෙහෙය වන්නට තරුණ පරපුර කිසියම් උත්සහයකට කැඳවන්නට මෙබඳු සාහිත්‍ය කර්මාන්ත හේතු වන්නේ යැයි ද මට සිතේ.

ඉන්ද්‍රජාලික යථාර්ථවාදය [Magical Realism] නම් වූ වත්මන් තරුණ ‍කොටස් දැඩිලෙස ආකර්ෂණව ඇති සාහිත්‍ය ප්‍රවණතාවේ ද නැවුම් බව අත්දකින අයවළුන් විසින් මගහැරී ඇත්තේ ද, ඒ සාහිත්‍ය ෂානරය සිංහල බෞද්ධ සාහිත්‍ය තුළ නිරූපිත බැව් වටහා නොගන්නා තතු යටතේ යැයිද, වරෙක තිස්ස අබේසේකර පුවත්පත් සාකච්ඡාවක සඳහන් කර තිබුණි. මේ ඒ ඉන්ද්‍රජාලික යථාර්ථවාදයට හසුවන සද්ධර්මරත්නාවලියේ බොහෝ කතන්දර සිංහල පාඨක ලෝකයට සරල බසින් නොපැමිණීමේ හේතුව නිසාවෙන් එය බටහිර නිර්මිතයකැයි- හටගත්තකැයි කීමට ද එදිරිව යම් ආකාරයක අවධානය ඉල්ලීමක් සමරගේ මෙම කුඩා ප්‍රයත්නය වරෙක අප ඇසට ඇණ පෙන්වයි. එබඳු කතා කීපයක් නම් "හතරවෙනි දොරටුවේ වාසය කරන දේවතාවිය-හාමුදුරුවන් පිටුපසින් යන ගැහැනු රූපය-ශක්‍ර දෙවියන්ගෙ කතාව-ශක්‍ර‍ දෙවියන්ගේ දානය -අවුරුදු ගණනක් දිග පැය කීපය" වැනි කතාංග ඉස්මතු කර දැක්විය හැකිය.


 සමර විජේසිංහ
 බොහෝ ලේඛකයන් පැරණි සාහිත්‍යාංග නූතන බසින් සරල සුගම කොට දක්වන්නට උත්සාහ කළ ද ඒවා එතරම් සාර්ථක වුයේ දැයි නැවතත් විචාරා බැලීම සුදුසු වන්නේ නූතන ලේඛක ව්‍යාපාරය තුළ විශේෂයෙන් වර්තමාන නවකතාකරණය තුළ එම ස්වදේශීයත්වය හෝ සිංහල බෞද්ධ ලකුණු අනුගත වීම් නූතන සන්දර්භයන් අභිමුව කොදෙව් ලක්ෂණ හෝ ලිංමැඩි න්‍යායාත්මක ලෙස ලඝුව, නිශේධව, ඩස්බින් වීම නිසා යැයි මට සිතේ. සුනේත්‍රා රාජකරුණානායක විසින් රචිත බුද්ධදාසි ද එක්තරා ඓතිහාසික නවකතාවක් වන අතර , එය දීර්ඝ කාලයක් තිස්සේ කරනා ලද්දා වූ භාෂාත්මක සහ සංස්කෘතියික අධ්‍යයනයක පසු-ප්‍රතිඵලය බැව් එහි සඳහන් වුව ද, ඒවා කතා වශයෙන් ගත් කළ භාෂාත්මක නොස්ටැල්ජික කිතිකැවීම් හැරුණු කළ දුර්වල බැව් මැදහත්ව සිතන කල වැටහේ. සිංහල බෞද්ධත්වය පෙර නොවූ කිසි ‍කලෙකටත් වඩා නොයෙකුත් ව්‍යසනයන් හේතුවෙන් විශේෂයෙන් සිංහල ජාතිවාදී එළඹුම් නිසාවෙන් විපරිතව එහි සැබෑ බෞද්ධ අක්මුල් සිඳෙමින්, මරණාසන්නව පවතින යථාවක් යටතේ, හිස නැගෙන නූතන කතිකාවන් විසින් ගොඩනඟමින් පවතින සෞන්දර්ය කලා වාදයන් විසින් නිර්මිත අලුත් මිනිස් ප්‍රජාව ගැන මෙබඳු කෙටිසටහනකින් ඇමතිය නොහැකි තරමට ව්‍යාකූලය. කෙසේ වුවද අධ්‍යතන යුගයේ සාහිත්‍යකරුවකු වන ටෙනිසන් පෙරේරා, ඉන්ද්‍රජාලික යථාර්ථවාදය කිසියම් යථාර්ථවාදයක් සහ අධියථාර්ථවාදයක් අතරමැද දෝලනය කරවමින් සිය සාහිත්‍ය රචනාකරණයේ යෙදෙන බැව් පෙනෙන්නට තිබීම යම් සතුටකි. එනමුත් ළඟක දී ලියැවුනු භාවාන්තරය හුදෙක් මහ විශාල නවකතා පොතකට උචිත මහ විශාල සාහිත්‍ය රසයකින් නොපිරීම තැති ගැන්මක් ඇති කරයි. ඒ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුමට මේ අවස්ථාවක් නොවේ. කෙසේ වුවද සමරගේ මෙම උත්සහය කාලෝචිතය. මේ වෑයම පුරාණ ගද්‍ය නූතන සන්දර්භයට යා කරන පාළමක් වැනිය. නොසෙවුනා කැඩපත යළි දැක බලා ගන්නට විවෘත වන අහස් එලියකි. තව තවත් සද්ධර්ම කතා පොත් ලියැවේවා යි ප්‍රාර්ථනා කරමින් මේ කෙටි සටහන සමාප්ත කරමි.

Thursday, June 18, 2009

විද්‍යාවෙ තර්කය සහ අවිද්‍යාවෙ විතර්කය අතර මංමුලාවක සාහිත්‍යය අතගෑම




ඉතින් දඩුවම විඳල ඉවර නිසා මම තීරණය කළා දඩුවමට අදාළ වරද කරන්න ඔනෑ කියල.
චූල ගායිකාව- සමර විජෙසිංහ



විද්‍යාවෙ තර්කය සහ අවිද්‍යාවෙ විතර්කය අතර මංමුලාවක සාහිත්‍යය අතගෑම

චූල ගායිකාව කතා මංජුසාවකි. එනමින් යුත් කෙටි කතාවද මදක් විවරණය කිරීමෙන් සමර විජෙසිංහගේ කෙටි කතා කලාව වත්මන් ලාංකීය කෙටි කතාව තුල ස්ථානගත කරන්නේ කොතනදැයි විමසීම මෙ ලිපියේ අරමුණයි. එබඳු ස්ථානගත කිරීමක් එය කරනු ලබන්නාගේ සාහිත්‍ය නිර්මාණ අවලෝකන ක්ෂේත‍්‍රයට සාපේක්ෂ කියවීමක් ලෙස අනෙකාට කියවන්නට ලැබෙන බව පැහැදිලිය. එහෙයින් මෙම අදහස් අරභයා විවිධ දෙවැනි පෙළ කියවීම් ඇති වීම ස්වාභාවිකය. කෙසේ වුවද මෙබඳු ඇගයීමක් කිරීම සමර විජේසිංහ කියවන්නන්ට කරනු ලබන රුකුල් දීමක් වනු නොඅනුමානය.

මෙම කෙටි කතාවට-චූල ගායිකාවට - අදාල පසුබිම් විස්තර සැකෙවින් සමාලෝචනය කළහොත්, සමරෙ විසින් 2002 වසරෙ රචිත, වඩාත් නිවැරදිව නම් 2002 වසරෙ නොවැම්බර් මස තිස්වන ශනිදා ලියැවුනු මෙ කෙටි කතාව, ප‍්‍රසිද්ධ ඉරිදා පුවත් පතකින් එළි දැක්වූවකි.

සමරගේ කෙටි කතාවල වෙනත් අනෙක් කෙටි කතාකරැවකු එතරම් උනන්දු නොවන නිර්මාණෝත්පත්ති කාලවකවානු දැක්වීමක් ද සටහන් වන බැවින් තවත් අමුතු විචාර ධර්මයකට මග පෑදීමට ඉඩකඩක් ඇත්තේය. යමක උප්පත්ති වෙලාවට අනුව තත්කාල කේන්දරයක් සාදා එහි ගතිගුණ සොබා විචාරන්නට සමත් කිසියම් ‍හෝරා සතරක් ඇත්තේය-නිමිති ශාස්ත‍්‍රය. එහි කෘතහස්ත යම් කෙනෙකුට සමරෙගෙ කෙටිකතා සෑම එකකම එය නිර්මිත දිනය සදහන් බැවින් එවැනි ජ්‍යොතිෂ විද්‍යාත්මක පර්යේෂණයකට ද හසුකර ගැන්මට ඇතිපදම් තොරතුරැ වියමන තුල අන්තර්ගත වෙයි. කෙසේ වුවද කෙටි කතාව නිර්මාණය වූ කාලය නිවැරදිව සදහන් වීම එබදු නොමග යාමකට ද අපට අවස්ථාව විවර කර දීම මෙන්ම නිර්මාණයක පසුබිම පසුකාලීනව සංයුක්ත ලෙස හදාරන්නට ද මහෝපකාරී වීම අතිශය වැදගත්ය. චූල ගායිකාව ලියැවුන වකවානුව නිවැරදිව සටහන් වීමෙන් පෙනීයන්නේ සමරෙ එදා දවසේ පායන තරැ ගැන දක්වා ඇති දුරදක්නා නිර්මාණශීලිභාවය එම සමාජ පසුතලය පිළිබද නිර්මාණකරැවකු සතු සමාජ විඥ්ඥාණය පිළිබද කරනු ලබන පුරෝගාමී සටහනක් විය හැකිය.

චූල ගායිකාව බොහෝ එවැනි පන්නයේ නිර්මාණ අතරින් මෙම සාකච්ඡාවට බදුන් වන්නේ එහි අන්තර්ගතය සහ ආකෘතිය මෙන්ම එහි ප්රාකාෂණ මානයන්හි පවතින සුවිශේෂීතා නිසාය. එහි අන්තර්ගතය සරලය. සරල කතන්දරයක් කීමට මෙන් එහි සංඝටක සූදානම් කර , එනම් එහි පාත‍්‍ර වර්ගයා ලෙස තරැණියක සහ තරැණයෙකු [ කතාවට අනුව හේ තරැණයකු නොවේ -මැදිවිය ඉක්ම වූවෙකි , එනමුදු ජීවිතයේ මුල ඇරියස් එකක් පමා වී සොයා ගත් ආකිමිඩිස් වර්ගයේ පුද්ගලයෙකි]තෝරා ගෙන අතීතාවලියක් නිරාවරණය කරන්නාවූ ලෙසකින් ඇරඹෙන මෙම වියමන තුලින් මතු වන ආශ්චර්යමත් සිදුවීමක් නම් සොයා ගත නොහැකිය. කේවල දෘශ්ටියකින් බලතොත් තරුණියක නිවෙසින් සමාජයට පය තබන ව්‍යාපෘතිය පීලි පැන්න විට සිදුවන අකරතැබ්බයත් එහි ආත්ම ප‍්‍රකාෂණයක් ලෙස ලියැවී ඇත. එහි ප‍්‍රථම භාගය චූල ගායිකාවගේ දෘශ්ඨි කෝණයෙන් ද අවසානය අතීතාවර්ජනයක යෙදෙන පෙම්වතාගේ දෘශ්ඨි කෝණයෙන්ද වියා ඇත. තවද සමරගේම නිර්මාණ වූ කෙටි නිසදැස් කවි දෙකකින් ද සමන්විත වෙ. මෙම අංගෝපාංග සියල්ල කෙටිකතා රසායන විද්‍යාවට අනුව මාත්තු කර ගත්තේ කෙසේදැයි යන්න මෙ කුඩා ලිපියෙන් විවරණය වෙ. එබැවින් මෙම කෙටිකතාව පමණක් ගෙන සමර කෙටිකතා රචනයෙහි දක්වන්නා වූ පෘථුල බව පාඨනය උදෙසා සිය පරිකල්පනයේ ධාරිතාව ඇගයීමට ද ප‍්‍රමාණවත්යැයි කීමට ද කලබල විය යුතු නොවෙ.

කතාකාරිය සිය කතාව කීමට සැරසෙන්නේ පාඨකයාට නොව සමරගේ කඩදාසි පිටුවේ නිර්මිත අනෙකා වෙතමය. මෙම අනෙකා කතාකාරි‍ය‍‍ගෙ ප්රකාෂණය පාඨකයා වෙනුවෙන් සටහන් කරන්නා ද වෙ. එමෙන්ම කිසියම් ලක්ෂ්‍යයක දී මෙම කතාවෙ සියළුම වගකීම භාරගන්නා කතෘවරයා බවට ද පත්වෙ. එනයින් ගත් කළ සමර විසින් නිපදවා ඇති චරිත දෙක විශාල පරාසයක් තුළ සිය ගැටුම පවත්වා ගන්නට සමත් වේ.

කතාකාරිය සිය අතීතාවර්ජනයට ප‍්‍රවිෂ්ඨ වන්නේ පුරාණෝක්තියකින් යැයි කිව හැක. මන්ද යත් ජාතක කතා වනාහි පැරණි ඉන්දියාවෙ අති පුරාණ ජන කතාවල සංක්ෂිප්තයක් යැයි අද බොහෝ සාහිත්‍යධරයන් පිළිගන්නා බැවිනි. උද්දාල නම් වූ වයස්ගත බමුණා කෙරෙහි ආලයෙන් පසුවන ස්වර්ණතිලකා නම් වූ අතිශය සුන්දර ලාබාල තරැණිය හා සමපාත වෙමින් කතාකාරිය තමන් ගේ සහ අනෙකා ගේ අනන්‍යතාවය පිටුව මත සටහන් කරන්නට පළමු පරිච්ඡේදයෙන් සමත් වෙ. එම මොහොතින් කියවන්නා හෙවත් අසන්නා රැගෙන යන්නේ අනෙකාගේ භෞතිකය විස්තර කිරීම උදෙසාම ඇගේ මුවින් පිටවන තතු ඔහු විසින්ම පාඨකයා වෙත වාර්තා කිරීමෙ අවදිය යි. මෙ අවදිය තුල ඔවුන්ගේ පෙම්කතාවේ තත්‍ය ගතිකයන් ගෙනහැර පාන්නට කතාකාරිය සමත් වන්නේ වයස නොගැලපීමෙ සාමාජීය වෙස් මුහුණ ඉවත් කර යථාලොව පා තබන්නට ස්වාත්මය තුළ කැරලි ගසන සිතුවිලි විශද කරමිනි. ඉන් පසු කතාකාරිය එළඹෙන්නේ සිය ළමා කාලයේ සිතුම් සහ බලාපොරොත්තුව වූ ගායිකාවක් වීමෙ සිහිනයේ අංගෝපාංග ගෙනහැර දැක්වීමයි. නුතන ‍ඓන්දීය ලෝකය තුල විරාජමාන වන සකල විධ ධනේෂ්වර නිශ්පාදන ධූරාවලිය හරස්කඩින් කපා කළ කැටයමක් බදු සංකේතාවලියක් කතාකාරිය පිටු පුරා වපුරන්නීය. සංගීත සංදර්ශණය සංවිධායක අයියා -රැපියල් දෙසීය- මියුසික් පන්තිය -සී ඩී කට් කිරිලි- එෆ් එම් රේඩියෝ සේවා- ගෲප් වල ගායනා -එම් ටී වී -යනාදි ලෙස විශයට අදාල සියලුම ප‍්‍රබල සංකේතාංගයන් මනාව පෙළ ගස්වන්නට කතාකාරිය ද ඇය ව ක්රමාණුකූලව හැඩ ගස්වන්නට හෝ අධ්‍යක්ෂණය කරගන්නට සමරෙ ද සමත් වන්නේය. ගායිකාවකට නුසුදුසු ගිනි පිටවන අක්ෂර දෙකකින් සිය නම අග මුල ඇතැයි පවසන මිථ්‍යා කතාන්දරය ද මැනවින් සිය වියමනට අමුණාගන්නට කතාකරැ සමර්තව ඇත්තේ සැබවින්ම ගායිකාවක් වීමෙ දී නම විසින් කරනු ලබන අතිශය කාර්ය්‍යභාරය පිළිබද වෙළද ලෝකය තබා ඇති විශ්වාසයට කිසිදු පළුද්දක් නොවන ආකාරයටය. සැබැවින්ම නමක ක්රියාකාරිත්වය හෝ අත්සනක් සතු ප‍්‍රතිහාර්යමය බලය පිලිබද මෙ අගවා ඇති සංඥාව කිසි ලෙසකින්වත් අව‍තක්සේරැ කළ හැකි රෑපකයක් නොවන්නේය. බටහිර පැත්තෙන් මෙ සදහා කදිම උදාහරණයක් ගෙන හැර පෑ හැකිය. ටයිටැනික් සිනමා පටයේ තේමා ගීතය ගායනා කළ සෙලිනි ඩියොන් පසුකාලීනව සැන් පවුඩර් සාප්පුවල රාක්ක මත හමුවන්නේ සුවදක් ලෙසිනි. ගායිකාවකගේ නමක් සහ සුවද විලවුන් අතර මෙ ගොඩනැගෙන වාස්තවික සම්බන්ධය තව දුරටත් හාරා අවුස්සන්නට නයෝමි ක්ලේන් ගේ නො ලොගෝ පොත කියවගත යුතුය. එබදු සිනමා පසුබිම් ගායනා ශිල්පිණියකගේ මැජික් ශක්තියේ විභවයක සිහින දකින ගායිකාවකගේ ඉරණම විසදන ඊළග කඩඉම වෙත කතාකාරිය සිය අසන්නා සමග අත්වැළ අල්ලන්නේ සිනමා පටයක ගී ගැයීමට ලද අවස්ථාව පිළිබද විචිත්ර සංලාපයක් ඉදිරිපත් කරමිනි. මෙ සියල්ල යථා‍ලොව එලෙසින්ම සිදුවූ ඒවායැයි පිටු පෙරළන්නාට සංවේදනය වන්නට තරම් සුගමව වියමන තුල සක්රිය වන්නේය. එසේ ම වන්නේ සිනමා පට හෝ කලා නිර්මාණකරණය හරහා පුරැෂ බලපරාක්රමය හරහා චිරාත්කාලයක් ස්ත්රිය මුහුණ දෙන ලිංගික පීඩනයේ එක් ස්වරෑපයක් ද ස්පර්ශ කරමිනි.

කතාකාරිය ඊළගට ඇතුල්වන්නේ සිය විවාහ දිවියේ අතුරැ කතාව පෙළ ගස්වන්නටය. එය වඩාත් ලංවන්නේ සිනමා පටයක ඇතිරෙන බොළද කතාංගයක් ලෙසින්යැයි කීම අසාධාරණයක් නොවන්නේ එහි ඇති වාග් බාහුල්‍ය හැර කතාකාරිය හෝ කතාකරැ හසුරවා ගැනීමෙ සුවිශේෂි බවක් පෙන්වන්නට සමර සමත් වී නැති එනමුත් සංගතව අමුණා තැබීමට සිය කතාකරණ මූලෝපායන් සමත් වී ඇති සැටියකි. උදාහරණය වන්නේ මා මෙ ලිපියේ මුලට යෙදු උත්ප‍්‍රාසවත් යෙදුම ගත හැකිය. වියමන මෙ අවදිය පසු කරද්දි වැඩිවිය පැමිණ ඇති සැටියක් සළකුණු කළ හැකිය. සිදුවන්නා පරිදිම කතාකාරිය මුළා වී ඇති බව ද ඇය නිවැරදි පැත්තෙන් මහා මාර්ගයේ ඇවිද ගියද රිය අනතුරකට ලක් ව ඇති වගත් ජීවිතය බිද වැටීමෙ මූලාංකය වෙත ගමන් කළ වගත් කදිමට නිරෑපණ වන්නේ එයා දවස් දෙකක් බොන්නේ නැතිව හිටිය යන වාක්‍යයෙන් ඇරඹී විස්තර වන යෙදුම් තුලින්ය. මෙ කතාකාරිගේ අවසානයේ ආරම්භයයි. බෙබද්දකු සමග ගෙවී යාහැකි විපත්තිදායක ජීවිතයේ මූලිකාංග කෙටි කතාවක් තුළ අතුරා තැබිය හැකි විසිතුරැම රටාව යම් දුරකට සමර සොයාගෙන ඇතැයි කීමට තරම් කෙටිකතා රසායනය සුසංයෝජිත අර්ථපූරණයකට එළඹෙන්නේ මිනිහා මියෙන කළ ගැහැණිය විසින් ඉටු කළ යුතු සති පූජාව නම් වූ ඉන්දියානු අතීත සම්ප‍්‍රදාය පිලිබද කතාකාරිය කරනු ලබන මනා විග්රහයෙනි.

අපේ සති පූජාව වෙනස්. අපි ඉතුරැ ජීවිතය පුරාම හිතවත් පිරිමින්ගේ ඇස්වලින් වචනවලින් පිටවෙන ගින්දරට පිචිචෙමින් දිගටම සති පූජාව පවත්වනව.

චූල ගායිකාව

කතාවේ ඊළග අදියර වෙත පිටු පෙරළන්නා කැදවා යන්නේ සති පූජාවේ ලාංකීය ස්වරෑපය ගැන වඩාත් සියුම් රෑපාවලියකට ය. මෙම රෑපාවලිය කෙළවර වන්නේ ඉතාම සංක්ෂිප්ත ලෙස ලිංගික අල්ලසකින් තොරව තනිවූ ගැහැණියකට කලා මාධ්‍ය තුල පැවැත්මක් නැතිය යන මිථ්‍යාවෙනි.

කාන්තා විමුක්තිය යටි පෙලින් කියැවෙන ඊළග පරිච්ඡේදය ඉතාම වැදගත් කොටස යැයි මට සිතේ. චූල ගායිකාව ප්රබන්ධයේම ගුරැත්ව කේන්ද්රය ඇත්තේ මේ හරියේ විය යුතු යැයි මා උපකල්පනය කරන්නේ මෙතැන කතාවේ මර්මස්ථානයක් කදිමට ප්රකට කරන බැවිනි.

මම ම‍ගේ ජිවිතේ ඒ කාලයේ ආරක්ෂා කර ගන්න හදපු දේවල් එච්චර වැදගත් නෙවෙ වෙන්න ඇති. මම ඇවිත් ඉන්නේ අවුරැදු දොළහකට දහතුනකට ඉස්සර වැදගත් කියල හිතපු දේවල් නොවැදගත් කියල හිතෙන තැනකට.
චූල ගායිකාව

චූල ගායිකාව නිබන්ධය අවසානය කරා යන්නේ සර්පිලාකාර කතා වස්තුවක් එහි පරමෝත්කෘශ්ඨත්වය කරා යවමින් නොවෙ. එය සාහිත්‍ය තුලට විද්‍යාව පිවිසෙන දොරටුවෙන් එලියට ඒමට දරන භාරදූර විලි වෙදනාවකින් අහවර වීම එම ප්රතිපක්ෂ හැසිරීමයි.
සමර විජේසිංහගේ කෙටි කතා ශෛලිය මා වටහා ගන්නේ සාහිත්‍ය තුලට විද්‍යාවෙ ප‍්‍රවිෂඨයක් ලෙසින් වඩාත් නැඹුරු ඔහුගේ රචනා ශෛලියේම තවත් වියමන් ප්රභේදයක් ලෙසය. චූල ගායිකාව වියමන උත්ප‍්‍රාසාත්මක වන්නේ ඇන්ටන් චෙකොව් ගේ උපහාසාත්මක සන්නිවෙදන මූලෝපායන්ට වඩා වෙනස් මානයකිනි. සිංහල කෙටි කතා තුල උත්ප්රාසාත්මක නිබන්ධ හමු වන්නේ බොහෝ විට මාර්ටින් වික්රමසිංහයන්ගේ සහ ජයතිලක කම්මැල්ලවීරයන්ගේ වියමන් වලය. ඊට සාපේක්ෂව සමර හිටුවිය යුතු තැන විද්‍යාවේ මාදිලි වලින් සැරසී ඇත්තේය. ඔහුගේ පසුබිමේ විරාජමාන වන්නේ විද්‍යාවේ භාෂණ මාධ්‍යය හෙවත් ගණිතය යි. ‍නො‍එසේ නම් තර්කාණුසාරී බුද්ධිවාදී කථනය යි.

Scientific writings tends toward a purely formal and mathematical language based on an abstract logic indifferent to its content. Literay writing tends to construct a system of values in which every word , every sign , is a value for the sole reason that it has been chosen and fixed on the page. There could never be any meeting between the two languages , but [on account of their extreme disparity] there can be a challenge , a kind of wager between them.

Two Interviews on Science and Literature
The Uses of Literature-Italo Calvino -page 37

සම‍ර ගේ කෙටි කතා බහුතරය අභව්‍ය දෙබස් සහ පරිකල්පනයන්ගෙන් ගහණය. එමෙන්ම දුරවබෝධ සංකල්පයන් ගෙන් පෝෂිතය. ඒ එකදු සංකථාවක් වත් තැනට නුසුදුසු ලෙස බලහත්කාරයෙන් ඔබා දමා නාමැති සුමට පිරිද්දුම්ය. බහුතර පාඨකයන්ට නීරස විය හැකි කතෝපකථනයන් බහුල ය. එනමුත් සාහිත්‍ය තුල විද්‍යාවෙ ආලේඛ්‍යය වර්ණවත් ලෙස තවරන්නෙකු සමර තරමින් සාර්ථකව දැක ගන්න‍ට නොහැකි වීමත් එබදු ශෛලියක රචක‍යකුගේ ප්රාදූර්භූතය එම රික්තය පුරවා දැමීමක් ලෙස ද මම හදුනා ගනිමි.

ප‍්‍රශස්ත කෙටි කතාකරණයේ යෙදෙන්නෝ කීප දෙනෙකි. ජයතිලක කම්මැල්ලවීර, අජිත් තිලකසේන, ටෙනිසන් පෙරෙරා එරික් ඉලයප්ආරච්චි සහ කීර්ති වැලිසරගේ ඉන් ප‍්‍රධානය. සමරයන්ගේ කෙටිකතා කියවීමෙහිලා මෙ අයගේ නිර්මාණාභාසය මා තුල බල නොපැවැත්වීම හේතුවෙන් සමරගේ නිර්මාණ වෙන් කර ගැනීමට මා හඳුනාගත් ඒ විශේෂ සලකුණ මෙහි සඳහන් කිරීම මෙ ලිපියේ මුඛ්‍යාර්ථයයි.

කෙටි කතාකරණය ගැන විශ්ව සම්භාවනාවට පත් මෝපසාං මෙන්ම චෙකොව් ද තමන්ට අනන්‍ය වූ ආඛ්‍යාන අනුගමනය කළද ඔවුන් මනුෂ්‍ය අත්දැකීම් සාහිත්‍ය විද්‍යාවක් තුලට ඇද ගත්තෝ නොවෙති. ඔවුන්ගේ සාහිත්‍යය, මිනිස්- සමාජ ගැටුම පිටපත් කොට පාඨක ලෝකයට ප‍්‍රදානය කළා වූ ව්‍යාපෘතියකි. එම කෙටි කතා බොහෝමයක මුල මැද අග ගෙවී යන්නා වූ රෙඛීය ස්වරූපයක් ඇත්තේ සිද්ධි සහ චරිත අතර ඝට්ඨනයන් තුලින් ජීවිත දැක්මක අසම්මතයන් ගෙනහැර පාමිනි. සියළුම කෙටි කතාවලට කේන්දී‍්‍රය වන්නාවු චරිත සිද්ධිදාම වටා සර්පිලාකාරව ගමන් කොට අවසානයේ අනපේක්ෂිත මිනිස් දහමක් මතුකර පාඨක මනස දල්වන්නට සමත් වීම මෙ කතා රටා තුල පොදු සාම්‍යයකි. උපහාසාත්මක කෙටිකතා රචනයේදී චෙකොව් පෙරට ගත හැකිය. කෙටි කතාවක ප‍්‍රභවය මෙන්ම විභවය ද විවිධතා අප‍්‍රමාණයක පිළිඹිබු ලෙස කල්පනා කළ හැක. කෙටි කතාවකට පාදක වන විවිධ කාල අවකාෂ තුලින් ව්‍යුත්පන්න කළ සිදුවීම් සහ චරිත සිය පරිකල්පනය තුල පදම් කර පෙර නොවූ විරූ අත්දැකීම් ලෝකයකට පාඨකයා රැගෙන යාමෙ කලාව සුභාවිතව උපයෝග කර ගැනීම සාර්ථක කෙටි කතාකරුවකු මුහුණ දෙන අභියෝගයයි.
ලාංකීය කෙටිකතා ව්‍යුහයට බලපෑ ආසන්නතම ගද්‍ය මුහුව ලැබෙන්නේ ජාතක කතා පොතෙන් ලබන ආභාෂය බව බොහෝ අය පිළිගන්නා සත්‍යයකි. එම බොදු සාහිත්‍ය මූලයන් චිරාත් කාලයක සිට සිංහල සාහිත්‍යය තුල වත්මන් සංඥාව ලෙස ස්ථානගත වන කෙටි කතාකරණය නම් වූ විෂය කෙරෙහි බලපවත්වන්නා වූ සම්ප‍්‍රදාය තුල පවා සිය සලකුණ නිශ්චිතව තබා නොමැත්තේ යැයි කිව නොහැකිය. ඊට කදිම උදාහරණ ටෙනිසන් පෙරෙරාගෙන් හෝ සයිමන් නවගත්තේගමගෙන් හෝ නිර්මාණ ඇසුරෙන් දැකිය හැකිය.

ලාංකීය සාහිත්‍යකරණයේ නැවුම් සලකුණු තබා ඇති නිර්මාණකරුවන්ගෙන් එබඳුම ආගමික බලපෑම තුලින් මතුව එන දහරාවක් නියෝජනය කරන කෙටිකතාකරුවකු නම් මංජුල වෙඩිවර්ධනයන්ය. ඔහුගේ සමහරක් කෙටිකතාවල ඇත්තේ බයිබලයේ කතාංගවලින් ලද ආලෝකයයි. මෙ කොයි ආකාරවලින් වුවද සිංහල කෙටිකතා රචකයා සිය ආත්මානුභූතීන් වියමනකට ගැනීමෙ දී සිය සංස්කෘතික කාල අවකාෂයේ පිහිටුම් තුලින් සකසුරුවම් ඥාණය පෝෂණය කර ගනිති. නිර්මාණයේ අපූර්වත්වය පැරණි ලෝකයේ සංකේතාකෘතිවලින් ආලෝකමත් කරති.

ලාංකික කෙටි කතාකරුවන් ද අඩු වැඩි වශයෙන් මෙ සනාතන ස්වයං රීතියකට යටත්ව සිය නිර්මාණ සංග‍්‍රහ කළාහු වෙති. කෙටි සටහනක් වශයෙන් කීර්ති වැලිසරයන් මෙ ක්ෂුද‍්‍ර සාහිත්‍යංගය තව දුරටත් වස්තු විශය වශයෙන්ද ක්ෂුද‍්‍ර කිරීමෙන් සිය අනන්‍යතාව පළ කළ ලේඛකයෙකි. ජයතිලක කම්මැල්ලවීරයන් ගේ මනෝ ප‍්‍රහර්ශන ලේඛන ආකෘතිය වඩාත් පහලට ගෙන ඒමෙන් සියුමුව ආකෘති සටන් ඉවත් කොට ජීවන සටන් මතු කරන්නට කීර්ති වැලිසරයන් දස්කම් පාද්දී සමරයන් ගේ වෑයම කෙටි කතා ලියන්නකුගේ දෘශ්ටිමය සීමාවෙන් ඔබ්බට ගොස් මනෝ විශ්ලේෂකයකුගේ භූමි සීමාවට අතික‍්‍රමණය වීම මා දකිනා විරල කෙටිකතා ආකෘතියකි. මෙහිදී අන් සියලු ලේඛකයන් මිනිස් මනස විග‍්‍රහ නොවන යමක් ලියන්නේය යන්න මම අදහස් නොකරමි. සමරගේ කෙටිකතා කීපයකම මා හඳුනා ගත් සුවිශේෂි ලක්ෂණය වන්නේ ඒවා ස්වයංකථනයන් බවට පත් වී තම මානසික ලෝකය ලිහා දමා සමාජය හා ගැටී තමන් තුල රෝපණය වූ සංකේත විශයෙහි සමබර ප‍්‍රකාෂයක් ලෙස මෙ නිර්මාණ ගොනු වීමයි.

මනසේ ක්රියාකාරිත්වය අරභයා නූතන විද්‍යාත්මක හසර ගැන අවධානයෙන් හෝ එසේ නොවී හෝ විසිරැනු අදහස් ජාලා ලේඛනයේ දී හසුරැවන්නේ අජිත් තිලකසේනයන්ය. සිය අක්ෂර වින්‍යාස ප්රාතිහාර්යයන් මධ්‍ය‍යේ පවා මිනිස් ජීවිතය ගැට ගැසී ඇති උගුල පඨිතගත කරන්නේ සිංහල කෙටි කතා කලාවේ නව දොරටු විවර කරමිනි. අජිත් තිලකසේනයන් අනුගත් මග ස්පර්ශ කරමින් සමරගේ නිර්මාණ ගමන් කරන්නේ වඩාත් තර්කානූකූල සිතුවිලි ජාලා වියමන් කරමිනි. අජිත් තිලකසේන ගේ කෙටිකතාවල දෙබස් ඔපපාතිකව ක‍ඩා හැලෙන සුළු අධිතාත්විකත්වයකින් හැඩ වද්දී සමරගේ දෙබස් ඛණ්ඩ විද්‍යාත්මක පසුබිමකින් ආලෝලනය වෙ. සමහර දෙබස් කණ්ඩ මෙලොව දී ප්රකෘති ලෙස ඇසීමට නොහැකි වන තරමින් න්‍යායයෙන් පිරී ගොස් ඇත්තේ සාහිත්‍ය ‍තුළට විද්‍යාව කෘතිම සිංචනයෙන් ගැබ්ගන්වන්නට දරන අසමාන උත්සාහය නිසාදෝයි මට සිතේ. සමරගේ මෙ සාහිත්‍ය තුලට විද්‍යාව කැන්දන ව්‍යාපෘතිය අද යුගයේ අවශ්‍යතාවයක් වන්නේ මෙන්ම සාහිත්‍යයේ තත්‍ය පැවැත්ම කෙරෙහි පළකරන සාධනීය බලපෑම් වඩාත් සියුම්ව අධ්‍යයනය කරන්නට ද පොළඹවන සුළු කාරණාවකි. සාහිත්‍ය හරහා පොදුවේ පාඨකයන් වෙත වෙනස් මානයක සිතිවිලි සමුදා විවරණය කර දක්වන්නටත් ගතානුගතික අන්තර්ගතයන් ප්රශ්ණ කරන්නටත් පෙළඹීම ආචීර්ණකල්පික මතවාද කරහොවා සාහිත්‍යකරණයේ යෙදෙන්නන්ගේ මනස්තාපයට හේතු විය හැකි බැවින් මෙබදු නිර්මාණයන් හෙලා දකින්නට ද හේතු වී ඇති වග පෙනේ.

උදාහර‍ණයකට මෙ දෙබස් කණ්ඩය මා උපුටා ගන්නේ මැකී ගිය කාලය කෙටි කතාවෙනි.

ඔයා කොහොමද මෙතෙන්ට ආවෙ? මං දැක්කෙවත් මට ඇහුනෙවත් නෑ‍ නේ... පා වෙලා ද ආවෙ? කෝ ඔයා ආව අඩි සළකුණුත් නෑ නේ?

මම පොළව‍ට බර කරන්නැතුව ඇවිදින්නේ

අඩි සලකුණු නැතුව කරදරයි. කොහෙන් ආවද කොහාට යයිද කියල කියන්න බෑ නේ. ගමන් පථය දන්නව නම් හොදයි. එතකොට අතීත චලනයන් හා අනාගත චලනයක් ගණනය කරල නි‍ශ්චය කරන්න පුළුවන්

ඒක දැනගන්නම ඔනැ ද? දැන ගෙන ඇති වැඩෙ මොකක්ද ?

නෑ වැඩක් නම් නෑ තමයි. ඒ වුණත් මගේ ගමන් පථයටම වැටුනොත් කියල

මට අඩි සළකුණු පිහිටි අතීතයක් නෑ

එතකොට හොල්මනක් ද? හොලෝග්රැපික් ප්රක්ෂේපණයක් ද? නොපවතින දෙයක්...

නෑ හැලුසිනේෂන් එකක්. නොපවතින දෙයක සංජානනයක්.

හැලුසිනේෂන් ? සංජානනය?... දෙකම ලස්සනයි. මම ඔයාට හැලුෂි කියන්නද සංජානනී කියන්න ද?

සමරගේ නිර්මාණ තුලින් ගම්‍යවන මට අනුව කියැවෙන සිය ලෝක දෘශ්ටිය ගැනද වචනයක් සදහන් කළ යුතු යැයි සිතුනි.

ජීන් පෝල් සාත්‍රෙ ලියා පළ කළ එකම කෙටි කතා සංග‍්‍රහය වන ද වෝල් නමැති කුඩා පොත් පිංචෙ එන අස්තිත්වවාදී [Existentialism/ අස්තිත්වවාදය] ලක්ෂණ මා දකින්නේ ලාංකික කෙටි කතාව තුල සමරෙගෙ වියමන් තුලයැයි කීම අතිශයෝක්තියක් නොවන වග සාත්‍රෙගේ එකම එක කෙටි කතා පොතේ එන කෙටි කතා පහ අධ්‍යයනය කිරීමෙන් සහ සැසදීමෙන් සාක්ෂි දේ. එකම දැවැන්ත වෙනස වන්නේ සාත්‍රෙ අස්තිත්වවාදී ලෙස දකින දේශපාලන ගතිකතාවයන් වෙනුවට සමර විසින් නූතන නාගරික ජීවිත තුල හට ගන්නා මිනිස් සබදතා කෙරෙහි විද්‍යා අච්චාරැවක් සැදීමට සාහිත්‍යය සහ විද්‍යාව එකට මුසු කිරීමයි.

සමරගේ කතාවල කතාකරැවන් නිදහස්ය. ඔවුනට ඇත්තේ තර්ක ඔස්සේ සිය ජීවිතය දැකීමෙ අරගල පමණි. ඔවුන් වරෙක විද්‍යාවද අවිද්‍යාව ද දෙකෙන්ම සිය තර්ක පෝෂණය කර ගනිති. බඹලොව මෙන්ම ක්වොන්ටම්‍ ලොවද සැරිසරති. ඔවුන් බාහිර බැදීම් වලින් වියුක්ත වීමෙ තාර්කික අරගලවල යෙදෙති. තමන් හා සංවාදයේ යෙදෙති. අතිශය වගකීම් ලෙස ලෝකය සටහන් තබා ඇති දෙය හාස්‍යයට ලක් කරති. තමන්ගේ අනන්‍යතාව ප‍්‍රශ්ණ කරති. නවීන තාක්ෂණික මෙවලම් බවට තමන් පරිවර්තනය කර ගනිති. නොඑසේ නම් ඔවුන් යාන්ත්රිකව ජීවිතයෙන් පලා යාමට මං සොයති. කිසිවෙකුත් දේශපාලනික නොවේ. දේශපාලනික දැක්මකින් එකුදු චරිතයක් සන්නද්ධ නොවේ. සියල්ල තම නුවණට සහ තර්කයට සාපේක්ෂව විසද ගනිති. මෙ චරිත සොබා ගැන දිගින් දිගට වාග්බාහුල්‍යයෙන් පඨිත ගත වීම අද වත්මන් සමාජයේ ද ප්රකට නිරීක්ෂණයෝ වෙති. මිනිසුන් හුදකලා වීමෙන් සහ දුරස්ථව එනමුත් කෘතිමව එකිනෙකා හා සබැදී සිටීමෙ ව්‍යාජත්වයෙන් මැඩී ඇති චරිත වටා සමර අවලෝකනය කරන්නේ වචනාර්ථයට ඔබ්බෙන් සුවිශේෂී අරැත් මැවිය හැකි බසක් මෙලොව නොපවතින බවට සාක්ෂි කැදවමිනි.

Existentialism: (philosophy) a 20th-century philosophical movement chiefly in Europe; assumes that people are entirely free and thus responsible for what they make of themselves

මෙම අස්තිත්වවාදී ලක්ෂණය ප‍්‍රකට වන්නේ චූල ගායිකාව ගෝත්රිකාව නොසිදුවීම් කීපයක් සහ සේදී ගිය පාට කෙටි කතා සංග‍්‍රහවල එන සමස්ථය සළකා බැලීමෙනි. [ප්රසාරණය කෙටි කතාවෙන් උපුටනය උන්වහන්සේ නිසා තව බොහෝ කාළයක් පංසල තිබෙනු ඇත. පංසල තිබෙන නිසා බුද්ධාගම ද තිබෙනු ඇත. බුද්ධාගම තිබෙන නිසා බුද්ධ ‍ධර්මය ද තිබෙනු ඇත] නොසිදුවීම් කීපයක් කෙටි කතා සංග‍්‍රහයේ දී සමර ගේ වියමන් වඩාත් ව්‍යහවාදී වන්නේය එනම් ‍වියමන් එකිනෙක තුල ගිලී ඒවායේ සන්නිවෙදන සංඥා ව්‍යාකූල වීමයි. [උදාහරණ නොත්රදාමයේ සිංදු කාරිය , ගල් කණුවක්]. නූතන සාහිත්‍ය කතිකාව තුල භාවිතයට ගැනෙන ව්‍යුහවාදී විචාර මූලධර්ම ක්ෂේත‍්‍රය තුලට ඔබා විශ්ලේෂණයට ගත හැකි නිර්මාණාත්මක ප‍්‍රවෙශයන් මෙම කෘතීන් තුලත් සිය නැවුම් ප‍්‍රකාෂිතයේ ද එයම ද්විගුණ වී එලි දක්වා ඇති සෙයක් පැහැදිලිව දක්නට ලැබෙ. ගල් කණුව කෙටි කතාව සමස්තය වශයෙන් ගත් කළ මනෝ භාවයන් කේන්ද්ර කරගත් මතුපිටක්. එම වියමන තුලම ඇත්තේ ස්ත්රී ශරීරය සහ එහි කවරයට යටින් පවතින සිත පිළිබද යටි අරැතක් ලෙස පරාවර්තනය වන පිරිමි ශරීර කවරයක් ගැන සංජානනය වන වියමන් සමූහයක්. පිරිමින් ගල් කණු බවට පරිණාමනය වී ඇති සමාජ ආර්ථික වටපිටාව පිරික්සා බලන්නටත් ගල් කණු මෙන් පෙනෙන පිරිමින් අද මගතොට සුලභ වීම පිළිබද කතිකාවක් ගොඩනැගීමක් ලෙසත් මෙ කෙටි කතාව හදුනා ගත හැකිය.

කෙටිකතාකරණය රේඛීය කඩදාසි කලාවකින් බහුමාන වචන කලාවක් ලෙසට පරිවර්තනය කරන්නට සමර දරන උත්සාහය සිංහල කෙටිකතා කලාව තුල කෙටිකතා විද්‍යාව්ක්‍ රෝපණය කරන්නට ඇවැසි සරැපස සහිත රෝපණ මාධ්‍යයක් නිර්මාණයට පුරෝගාමී වන්නේ යැයි මට සිතේ.

විද්‍යා ප‍්‍රබන්ධ සහ ප‍්‍රබන්ධ විද්‍යා යනු හාත්පසින්ම වෙනස් සාහිත්‍ය විශය ක්ෂේත‍්‍ර බව අවබෝධ කරගන්නට සමර විජේසිංහයන්ගේ කෘති පරිශීලනය වැදගත් වනු ඇති බව මගේ වැටහීමයි.

Friday, June 12, 2009

සමරගේ කෙටි කතා පොත්

සමරගේ කෙටි කතා පොත්
චූල ගායිකාව
ප‍්‍රථම මුද‍්‍රණය 2003 ප‍්‍රකාශනය සංහිඳ මුද‍්‍රණ සහ ප‍්‍රකාශන දු.ක. 2802679

ගෝත‍්‍රිකාව

ප‍්‍රථම මුද‍්‍රණය 2004 ප‍්‍රකාශනය කර්තෘ ප‍්‍රකාශනයකි
නොසිදුවීම් කීපයක්



ප‍්‍රථම මුද‍්‍රණය 2005 ප‍්‍රකාශනය සංහිඳ මුද‍්‍රණ සහ ප‍්‍රකාශන දු.ක. 2802679 - 4924697