සුදු කතක් සහ
මධු විතක්
දෙලොවක් අතර
කවි
නිරාෂ
ගුණසේකරගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන “සුදු කතක් සහ
මධු විතක්” මා හට ගෙන
ආවේ අමුතුම හැඟුම් සමුදායකි. මෑතක කියවන්නට ලැබුණ කාව්‍ය සංග්‍රහ කීපයකින් කුමක්
ගැන කුමක් ලියා තබම්දැයි විපිලිසරව හුන් මොහොතක නිරාෂගේ නිර්මාණ සංග්‍රහය ගැන
ලිවීම හිතට සැනසුමකැයි සිතුණේ මගේ ඉපැරණි රහස් මිත්‍රත්වයක් ඔහුගේ නිර්මාණ සමගින්
ද තිබූ බැවිනි. ඔහුගේ “බඹරු එළපු
දැල්” මගේ මාතර
ගෙදර පොත්ගුලේ ඇති බැව් මට මතකය. පොත්ගුලට මාව අමතකදැයි මම නොදනිමි. මන්ද යත් මගේ
පොත්ගුලෙන් මා දුරස්ව බොහෝ කල් බැවිනි.
කෙසේ වෙතත් වෙනත් කුඩා පොත්ගුලක් හා පෙමින් මම දැන් කාලය ගත කරමි. ඒ කුඩා පොත්ගුලේ
ඇත්තේ මෑතක අතපත ගාන පොත්ය. ඒ අතර නිරාෂගේ පොත ද වෙයි. ඒ විද්‍යුත් පිටපතක්
වශයෙනි. මුද්‍රිත කරදහි, තීන්ත සුවඳ, රහිත තිරයක් මත ප්‍රක්ෂේපිත
ආලෝක රටාවක් වශයෙනි; ඒත් ඒ කවි ය; නිර්මාණ ය. විමසුමට, විඳුමට ඇණවුම් කරනු
ලබන ආලෝක තරංගයෝ ය.
නිරාෂ ද මා
මෙන්ම විදෙස්ගතව මානසික ශ්‍රමය වගුරා ජීවිතය ගැට ගසාගැනීමේ එකම ආදායම් මාර්ගය ලෙස
වැටුපකට වැඩ කරන ශ්‍රමිකයෙකි; කම්කරුවෙකි.
එනිසාවෙන් නිරාෂත් මාත් කම්කරුවන් ට පොදු වූ සියළු ප්‍රශ්නයන්හි ගිලී, පවත්නා ක්‍රමයේ - පද්ධතියේ සූක්ෂම
ගැටවලින් හිර වී, මිරිකී
ජීවිතය විඳින්නට, විඳ ගන්නට
මොහොතක් උදාකර ගැනීමේ අනවරත උත්සහයේ යෙදෙමින් සිටින්නෝ වෙති. ඉතිං අපට ඒ බඳු මොහොතක් උදා වන්නේ මේ වැනි
කෘතියක් මුල සිට අගට කියවා ගන්නට තරම් හෝ ඉස්පාසුවක් ලද මොහොතක යැයි මට හැඟේ.
ජීවිතය තුළ
ඇති මග හැර යා නොහැකි ව්‍යාජ මිනිස් සබඳතා-රැවටීම්-මෙලෝ රහක් නැති එවුන් ඇසුරට
ලැබීම-උන්ගේ කුප්ප තුප්පහි උගුල්වල පැටලීමට සිදුවීම-තම පන්තියේ සගයන්ගේම ඊර්ෂ්‍යාවට
ලක්වීම-කැපිල්ලට ලක්වීම-සූරා කෑමට ලක්වීම යනාදී සියළු ආකාර කටුක දුක්බර
සංවේදනාවන්ගෙන් පීඩිතව ඉන් මිදෙන්නට අවසරයක් ලද මොහොතක මේ කවි සමුදාය ඔහු අතින්
ලියැවී ඇත. (ඔහුගේ පෙරවදනේ මේ බව සඳහන්ව ඇත.) මේ සතුටුදායක තත්ත්වයකි. මන්ද යත්, මේ ව්‍යාජ සමාජ
සම්බන්ධතා ජාලයේ ගිලී සිටින්නට සිදුව ඇති අයෙකුට, විශේෂයෙන් විදේශයක දී, එවැනි මොහොතක් හෝ ලැබීම
සතුට නො දනවන්නේ ද?
ඕස්ට්‍රේලියාවේ
වාසය කරමින් සිය කෘතිය සම්පාදනය කරන නිරාෂ “සුදු කතක් හා
මධු විතක්” යනුවෙන් සිය
කෘතිය නම්ගන්වා ඇත්තේ කිසියම් රහසිගත ඇණවුමක් රසවතුනට දෙන්නට යැයි මට සිතේ. නොඑසේ
නම් එය ම වෙනත් ඕන තරම් නම්වලින් හැඳින්වීමේ හැකියාවන් ද නොමැත්තේ නොවේ.
ලංකාවේ
මිනිස්සු පොදුවේ ආසියාතිකයෝ වෙති. අපගේ සමේ පැහැය පොදුවේ ගත් කල සුදු නොවේ. එතරම්
විශාල විග්‍රහ අනවශ්‍ය මුත් කෙටියෙන් අපි කළු මිනිසුන් කොටසකි යැයි කීම එතරම්
විවාදාත්මක නොවේ. එසේ බැවින් “සුදු කතක්” යන්න අපට ගෙනෙන්නේ වික්ටෝරියානු
සදාචාරාත්මක වඩා වෙනස්, හාත්පසින් ආසියානු
වටිනාකම්වලට විරුද්ධ හැඟවුමකි. එනම් වඩා හොඳ හෝ දියුණු හෝ සරාගික හෝ වෙනත් මොනයම්
හෝ බටහිර දෘශ්ටියෙන් “සංවර්ධනාත්මක” හැඟවුමකි. එයම ලංකාවේ
පශ්චාත් කොලනීකරණයේ ශේෂ වූ ප්‍රතිඵලයක් ලෙසද අරුත් ගැන්විය හැකිය. මින් මා
කියන්නට උත්සහ කරන්නේ නිරාෂගේ නිර්මාණ සංග්‍රහය ඉතා සියුම් ලෙස ලාංකික සංකේත
ලෝකයෙන් ඛණ්ඩනය වීමක් මෙම “සුදු කතක් හා
මධු විතක්” යන නාමකරණය
ඔස්සේ සිදුව ඇති බැව් පෙන්වන්නටය.
“මධු විතක්” යන්නෙහි හැඟවුම්කාරක බලපෑම
දෙවිදියකි. ලංකාවේ සාමාන්‍ය කාන්තාවෝ මධු විතෙහි නොඇලෙන්නා හ. එසේ හෙයින් “සුදු කතක් හා මධු
විතක්” යන්න එකට ගත්
විට මධු විතක් අත ඇති සුදු කතක් ලෙස හෝ සුදු කත වෙනම ද වෙනත් අතක මධු විත ඇතැයි
කියා ද ගත හැකි බැවින් ඒ මධු විතෙන් සිදුවන ඛණ්ඩනය එක්කෝ ලාංකීය සංකේත ලෝකයෙන්
දුරස්ථකරණය පිළිබඳ මගේ ප්‍රවාදයට උදව් කරයි. නැතහොත් මඳක් එහි බර අඩු කරයි. කෙසේ
වුවු ද මේ සංඥාර්ථ යුගල එකට ගත්විට මේ කෘතියේ ඉදිරි ගමන්මග අප තුළ සළකුණු කරන්නට
නියමිත සන්ධිස්ථාන පිළිබඳ සිතියමක් සකස් කරගන්නට මගක් පෑදේ.
දැන් මා
සෘජුවම එම කෘතියේ නමින් ම වූ කාව්‍ය නිර්මාණය වෙත යොමු වෙමි.
සුදු කතක් හා
මධු විතක්
පුටු කකුල් අතරින් රිංගා
යට සායවල් අස්සෙන් එබෙමින
සුදු කකුල්වල තැවරී
හීන් හිරිගඩු නංවන
දඟකාර මද සුළඟ...
වෙන වැඩක් නැත්නම්
පිසදානවද අප අවට
මේපල් පතින් හැඩිවුණ
මෑ කැමති නෑ ඕවට...
ඉස්තරම් රතු වයින් පමණද
තොල් තෙමාලන්නට නියමිත
සිහින් දිගු වීදුරු ගැටෙන හඩ
අතරතුරදීත්
නුඹේ පා මුදු සරය ඇසුණේ
යන්තමින් මට
මගේ ගීයට තාල ඇල්ලුව...
ඔලිව් ගෙඩියක පුංචි කහටක
දිව කොනිත්තන මිහිරියාවක
අතීතෙ එක්තරා දවසක
වෙරළු ගස් යට සුසුදු මල් මත
ඇගේ අතගෙන ඇවිද ගිය හැටි
හිතේ රාසේ ඉපිද මිය යයි...
ඒ වුණත් මම
අවන්හළ ළඟ පහන් කණුවට
කියන්නම් කෝ ඇස් වහන්නට
බමන දෑසින් තවත් ළං වී
මගේ ඇස්වල කවි හොයනකොට
උහුලන්න බැරි එක ම දේ මට
දැනී නොදැනී මාව රිදවන
ලැවන්දර මල් සුවඳ පමණිය...!
කවියා සිය පරිකල්පනය ආශ්‍රයෙන් උපදවන මේ සමස්ත සිතුවමට
පිවිසෙන්නේ දඟකාර මද සුළඟකිනි. එම මද සුළඟට සුදු කත අවට අවන්හල් බිම ඇති මේපල් පත්‍ර
පිසලන්නේ නම් මැනවැයි කියමින් ඇගේ ඒ පරිසරයේ හැඩි බවට ඇති අකමැත්තක් ප්‍රකාශ
කරවයි. ඉන්පසු ඉස්තරම් වයින් සහ සිහින් දිගු වීදුරු මවමින් ඇගේ පා මුදු සරය ඔහුගේ
ගීතයට තාල ඇල්ලූ බවක් රූපණය කරයි. එනමුත් හදිසියේ ඔහු ඔලිව් ගෙඩියක රස ඔස්සේ
අතීතයට හඹා ගොස් වෙරළු ගස් යට වෙනත් ඇයක සමග ඇවිද යයි. මේ රහස් සිතුවිල්ල රහසින්ම
සිත තුළ මිය යයි. මේ සිතුවිල්ල එලෙස මිය ගිය ද අවන්හල නුදුරේ සුදු කතගේ බමන දෑසින්
ඔහු ඇස්වල සොයන කවි හැඟුම් නොපෙනෙන්නට පහන් කණුවේ ඇස් වසන්නට ඇණවුම් කරයි. එහෙත්
ඔහුට නොඉවසිය හැක්කේ සුදු කත සිරුරෙන් වහනය වන ලැවන්දර මල් සුවඳ පමණි.
කවියාට හදිසියේ ඇතිවන මේ උහුලනු නොරිසි ලැවන්දර සුවඳ එසේ
උහුලනු නොහැකි වන්නේ කුමක් නිසා ද? ඒ අතීතයේ ඇවිද ගිය වෙරළු ගස් යට සුසුදු මල්
වැතිරුණු අතීතයේ සිට හමා ආ සුවඳක් නිසාවෙන් ද? මෙයින් කවියා ලාංකීය සංකේත ලෝකයට
යලිදු බැඳ තබන රහස් රැහැණක් මතු නොවන්නේ ද?
ලැවන්දර සුවඳ නියෝජනය කරනු ලබන වත්මන් ඕස්ට්‍රේලියානු
යතාර්ථයත් වෙරළු මල් පලස් විසින් ඇණවුම් කරනු ලබන අතීත ලාංකීය ඝණීභවනය වූ
යතාර්ථයත් අතර කවියා දෝලනය වන බැව් පෙනේ.
විදෙස්ගතව කාව්‍ය නිර්මානය කරන බොහෝ කවියෝ මෙලෙස දෙලොවක්
අතර මනසින් දෝලනය වන්නාහුය. විටෙක ඔවුහු තම වාස්තවික යතාර්ථයෙන් උජ්වලිතව ඉන්
මොහොතකින් සිය පෙකෙණිවැලට සම්බන්ධ වී නොස්ටැල්ජික රමණීය අතීතයක් ගෙනහැර
පාමින් එම යථාවන් යුගල අතර පැල්ම වසාලයි.
සැබැවින්ම ලංකාවේ ගත කළ කාලය රමණීය සොඳුරු අතීතයක් බවට
පත්ව ඇත්තේ වත්මන ට සාපේක්ෂව විය යුතුය. මන්ද යත් ලංකාවේ අතීතය හෝ වර්තමානය හෝ
කිසිවෙකු වෙත කිසිදු රමණීයත්වයක්, සෞන්දර්යයක්
කිසි කලෙකවත් නොපිදූ හෙයිනි. එනම් මේ මවන්නා වූ ලාංකීය සෞන්දර්යය කවියට උචිත හෝ
සීමා වන දෙයක් බැවිනි. යතාර්ථයට නම් එලෙස කිසිවක් හසු නොවන බැවිනි. මින් අනුමාන වන
කරුණ නම් විදේශයක නැංගුරම් ලන ලාංකිකයෙකුට සිය මනෝ ලෝකය උඩුයටිකුරු කර ගන්නවා හැර
වෙන විකල්පයක් එහි පැවැත්ම සාදා ගැනීමට පාදා ගත නොහැකිය බවයි. මීට සමීප හෝ දුරස්ථ උදාහරණ
ලෙස ඕස්ට්‍රේලියාවේම වෙසෙන සුනිල් ගෝවින්න හෝ ජගත් එදිරිසිංහ හෝ රසික සූරියාරච්චි
යන කවියන්ගේ නිර්මාණ හරහා ද පොදුවේ මතුවන බැව් සටහන් කළ හැකිය. සුනිල් ගෝවින්නයන්
සිය නොස්ටැල්ජික ස්මරණයන් ඔස්සේ සිය කාව්‍ය නිර්මාණ අඛණ්ඩව පවත්වා ගෙන යන්නෙකි.
ඔහුට ඉන් කිසිදු ගැලවීමක් ලද නොහැකි බැව් මගේ අදහසයි. ජගත් එදිරිසිංහගේ කාව්‍ය
නිර්මාණ වඩාත් සමාජ අද්දැකීම් සහ ප්‍රේමය උදෙසා සමතුලනයක පවත්වා ගෙන යාමට සමත්
නිරෝගී නිර්මාණශීලිත්වයක් නඩත්තු කරමින් සිටියි. රසික සූරියාරච්චි එලෙස කෙටි
වැකියට හැකිලිය නොහැකි තරම් පැතිරුණු
නිර්මාණකරනයක නියැලී සිටියි. ඔහුගේ නිර්මාණශීලීත්වය “තට්ටෙන් සොමිය දීම” වැනි වූ අතිශය
සරල ගද්‍යයන්ගේ පටන් ඉතා සංකීර්ණ සිවුපද ශ්‍රේණි දක්වා විහිදෙයි. මේ සියල්ල ගේ
පොදු ඇනෝනිමසීය පාඨකයා වෙසෙන්නේ සිංහල ලියන- කියවන- කතා කරන යතාර්ථය ලෙස
පරිපීඩිත වූ ශ්‍රී ලාංකීය මිනිස් වටයේ ය.
සාහිත්‍ය නිර්මාණය කරන තැනැත්තාගේ කාර්යය
එක් අතකින් ස්වාධීන එකක් නොවේ. ඒ මක් නිසාද කිව්වොත් ඔහුගේ කාර්යය රසිකයා අපේක්ෂා
කරන නිසායි. ඔහු නිර්මාණය කරන්නේ රසිකයෙකු සඳහායි. කිසියම් කෙනෙකුගේ වින්දනය සඳහා
ය. ඒ රසිකයා අසවලා කියා හෝ අසවල් ගණයේ පුද්ගලයෙක් කියා හෝ ඔහු සවිඥානකව සිතනවා
නොවන්නට පුළුවන්. එහෙත් කිවියාගේ යටි සිතෙහි කිසියම් අඥාන රසිකයෙකුගේ නොපැහැදිලි
රූපයක් එහෙම නැත්නම් එබන්දෙකුගේ ප්‍රතිචාරය පිළිබඳ කිසියම් අවිනිශ්චිත හැඟීමක්
තියෙනවයි කියල මම හිතනව.
-එදිරිවීර සරච්චන්ද්‍ර-සාර සංග්‍රහය-සංස්කාරකයෝ
පී. බී. ගලහිටියාව/කේ.එන්. ඕ. ධර්මදාස-පිටුව 155
විප්‍රවාසීව නිර්මාණ කටයුතුවල යෙදෙන්නන් ගැන මහාචාර්ය
විමල් දිසානායක සවිස්තරාත්මක හැඳින්වීමක් කලකට පෙර පුවත්පතකට ලියා තිබුණු බැව් මට
මතක් වේ.
නිරාෂගේ නිර්මාන පොදුවේ යතාර්ථයේ කටුක බවට හෝ ව්‍යාජ බවට
ඌණපූරකයක් ලෙස හෝ එම කටුක ව්‍යාජ සංසිද්ධීන් විසින් බැහැර කරනු ලබන ඉතිරිය හෝ අඩුව
පුරවා ලන්නට සමත් කරවන ඖෂධයක් ලෙස හෝ හිස් තැන් පිරවීමට ඇවැසි පොටියක් මෙන් භාවිතා
වන බැව් වඩාත් සමීපව බලන කල පෙනේ.
තව දුරටත් ඕස්ට්‍රේලියානු යතාර්ථය තුළ නැහැය තෙක් ගිලෙන
කවියා සිය පණ ආරක්ෂා කරගන්නා අයුරු පෙන්වන මනරම් කවියක් කියවා බලමු.
උදෑසන කවිය
නැඟෙන දුම් රැළි කවියකි
අළු බිඳින අතැඟිලි නළුවකි
නා දලු සදිසි දෙතොලකි
අනන්තය පහුරු ගානා
දිළිසෙන බළල් ඇස් සඟළකි...
යන්තමට තැවරුව සුවඳකි
දෙහි මලක සේ දුරට රිදුමකි
සුරඟනන් අත රැඳුණ පැහැයකි
එය සොරා ගෙන දිලෙන කොපුළකි...
පොරොත්තු දුම්රියකි
තනිව ම විඳින ගීයකි
දුරින් රාව දෙන මිතුරු කට හඩ ගොන්නකි
හැරීවත් නොබලනා
දඩබ්බර ඉටි රුවකි...
ඇහිපිල්ලමෙන් ගැයූ ගීයකි
දවා හළු කරන සුරත් ගිනි දැල්ලකි
කොටට හැඳි ගවුම නම් සකි
බහින හිරු රැස් වගේ
සරාගික තෙලි තුඩු පහරකි...
වයරය දෙසවනින් පන්නා
ඔරවා බලන බැල්මකි...
කන් දෙකත් මඳක් රතුවී
ගේ දොර අඹු දරුන් සිහිවී
දෙනෝදාහක් අතර
ඇසිල්ලේ නිවන් දුටුවෙකි...
මේ නිර්මානය පසුබිම් වන්නේ එක්තරා උදෑසනක නිරාෂගේ ඕස්ට්‍රේලියාව
දවස අරඹන අයුරයි. එය එක්තරා උදෑසනකැයි කීව ද චක්‍රීය ලෙස සිදුවන්නක් බවට ඉංගිත පළ
වෙයි. ඔහුට පෙනෙනූයේ ඕස්ට්‍රේලියානු සුදු කතුන් ය. ඔවුනගේ දෙතොල් නා දලු වැනිය; ඔවුනගේ බළල් ඇස්
අනන්තය පහුරු ගානු ඔහුට පෙනේ; විලවුන් සුවඳ
පමණට ය; මුහුණේ ඇති
කෘත්‍රිම තැවරුම් පවා සුරඟනන් අත රැඳුණ පැහැයන් සොරා ගෙන අතුල්ලා ගත් වනමය. තවත්
අයෙක් දුම්රිය එනතුරු වයර් කන්වල ඔබා සංගීත ශ්‍රවණයේ යෙදෙන ඉටි රූ පිළිම ය; එකියන් හැරීවත්
නොබලති. ලංකාවේ කොල්ලෙක් උජාරුවට ජැන්ඩියට හැඳ පැළැඳ සිටිය ද උන් නොබලති. එවුන් මේ
කවියා දෙස සෘජුව නොබලන්නේ කවියා සිය ඇස් යොමා සිටින අශ්ලීල දසුන් උනුන් ඇසිපියන්
යටින් දකිනා හෙයිනි. බහින හිරු රැස් මෙන් සරාගික තෙලි තුඩු පහර සේ සංසංදනාත්මක
සිතුවිල්ලේ කවියා නිමග්න වන්නේ කෙල්ලන්ගේ කොට ඇඳුමින් නිරාවරණය වු දෙකකුල් දෙස
අනුරාගය වඩවමිනි. මේ අවස්ථාව කදිමට විචිත්‍ර කර ඇත්තේ කවියා කොතරම් නිර්මානයට
අවංකදැයි පසක් කරමිනි. එම සුදු ඉටි රුව වයරය දෙසවනින් පන්නා ඔරවා බැලූ අයුර
එනයින්ම සිත්තම් වී ඇත්තේ එබැවිනි. කවියෙකු සල්ලාලයෙකු වීමේ වරදක් නැත. මේ තිබෙන
ජීවිතේ කම්කටොළු මැද්දෑවේ යුවතියකගේ නිරාවරණය වූ පා යුග කොතරම් සනීප, සමීප, මනස්කාන්ත, චිත්ත ප්‍රමෝදයකින්
හිත කීරි ගස්සනව ද? එනමුත් කවියා එතෙකින් නොනවතී. ඔහු ඉන්පසු සිය සුතනඹුවන් සිහිව
හිටි වනම නිවන් දකින්නේ මේ තත්ක්ෂණයක උපන් සර්ධාසම්පන්න සිතුවිලි දාමයේ අනුහසිනි.
මේ කොතරම් පරිපූර්ණ ලාංකීය-ඕස්ට්‍රේලියානු ද්වන්ධ ලෝක සටනට පිළිපන් කවියෙකුගේ
ආත්මාලාපයක් ද? සුදු කකුල් දැකුමින් නිවන් දකින්නේ යැ කියන්නේ ම ලාංකීය සමාජයක්
ලෙස ඉරිතලා ගිය මොඩ් බුදු සසුනෙන් පුද්ගල විමුක්තිය කල් දමා තව තවත් සාහිත්‍යාංග
නිමවමින් සිටිනවා යැයි ප්‍රකාශ කිරීමක් නොවෙ ද? මේ නිරාෂ කනට ගසන්නේ අතින් නොව
කවියකිනි.
“ව්‍යුත්පත්තියෙන්
පරිණත වන කවියෙක්” යනාදී වශයෙන්
සිය විමර්ෂනාත්මක ලිපියේ නිරාෂගේ මෙතරම් උත්ප්‍රාසවත් කවි භාවිතාවක් රත්න ශ්‍රී
කිවිඳුන්ගේ කිවි ඇසට හසු නොවීමත් මගේ පුදුමයට හේතුවක් වේ.
නිරාෂගේ කවිවල තව තවත් හමු වන විශද වන නොයෙකුත් දේ බොහෝ
ඇත. ඒවා වෙන් වෙන්ව ගෙන විමසීමට මේ අවස්ථාව නොවේ. ඔහුගේ නිර්මාණ සමුච්චයේ
විවිධාකාර දෘශ්ඨීන් මෙන්ම භූගෝලීය පැතිරීම් ආවරණය වී ඇත්තේ මන්දැයි විමසීම ද
අත්‍යවශ්‍ය කාරණයක් වුවද කල් තැබීමට සිදු වේ. මා අතිශයින් ප්‍රිය කරන කාව්‍යමය
යෙදුම් විශාල ප්‍රමාණයක් ද මෙම කාව්‍ය සංග්‍රහයේ හමු වේ.
ඒ අතරින් රාත්‍රියක කතාවක් හි
උමා බෙලිහුල අතැරදාලා
ගූඨ අඳුරේ තනිව නිවසන
සිහිල පහණෙක අවට හිරි තෙත
උරා බීගෙන වුණි ද මල්වර? කොටසට මම ඉතා
ප්‍රිය වෙමි.
මධුරී නම් වු කාව්‍යයේ
මේ කොටසට ද මම ඉතා ප්‍රිය වෙමි.
හොරා අරගෙන ගියා වාගේ
නුඹේ හෝරා කටුව දිවියේ
මගේ පොඩි උන් පවා දිනයක
නුඹෙන් ඇවිලී යාවි රාසේ...!
මේ සියළු දේ ගැන සිත උපදින හැඟුමන් විස්තර කරන්නට
ගියහොත් ඒ “සුදු කතක් හා
මධු විතක්” කෘතිය ඉක්මවා
විශාල වන්නා වූ ලියැවිල්ලක් වනු නියතයැයි මම සිතමි.
අවසාන වශයෙන් මේ “ස්වෝන්ස්ටන්
වීදියේ දි දුටු යුවතිය” විග්‍රහ කර
ගැනීම පාඨකයාට භාර කරමි.
ස්වෝන්ස්ටන් වීදියේ දී දුටු
යුවතිය
හංස වීදිය කොණක හසඟනකි නෙත් එළන
කංස දුම් වළාවට නේත්‍රා දිළිසෙමින
වංස කුළ ගොත් බිඳැර රාත්‍රිය ගෙවී යන
සංසාරය ම අතර මග නතර කළ ලෙසින
මන්දාරමට ඉහළ සඳ පෙනේ යන්තමට
මංමුලා වූ හිතක් සැරිසරයි වට අවට
රන්මුවා දුනු දියැද මුදා හීසර හදට
හංසියක සැරසුණි ද සඳකිඳුරු දඩයමට
යාර ගඟ මොහොතකට නතර වී ඇදී යන
පාරවා මගේ හිත නියොන් එළි හිනාවෙන
සාර සිය ගව් දුර ම එක ඇසින් හකුලමින
නෑරකැටුවයි ගියේ පාර වැරදුණ බැවින
ඇබින්දක් සඳ එළියෙ නුඹේ නෙත කියවගමි
කාන්තිය ඇතුළ ඇති කුමක් දෝ අහුලගමි
කාන්සිය සරතැසට පිනි පොදක තෙත සොයමි
පාන්දර පමා වී උදා වන්නැයි පතමි
දිවා කල වෙස් මුහුණ උනා දා නගරය ම
මවා පානා වැනිය සැබෑ රුව සියොළඟම
නිවා දුක් සංතාප තබා පසෙකින් සැවොම
ගෙවා යන දුර පුදුම පා ලකුණු නොතබා ම
දියෙන් කිරි වෙන් කරන හංසියක ඇසෙහි තෙත
හොරෙන් විඳි ගනිමි මම අහුල ගෙන පියාපත
එරන් සීනය පතා බිඳෙද්දී හදෙහි තත
සුරන් ඩැහැගෙන ගියෙද හීනයක දකුණු අත
සුරා සැල් පුරාවට ගැටෙන වීදුරු හඩය
නුරා සඳ කළුව යට සරාගික නෙත් සරය
විරාමෙට ඉඩ තියා පලා ගිය සෙනෙහසය
දිරා යන්නට නොදී විඳින්නද
යෞවනය
හංස වීදිය කොණක හසඟනකි නෙත් එළුව
සංසාරය ම අතර මග නතර කර දැමුව
ඩෝසන් ප්‍රීති
1/11/2014