Friday, December 21, 2012

ලිෂාන් & පහන්

ලිෂාන් මල්ලිව හමු වෙන්න කාලයක් දැරූ උත්සාහය සාර්ථක වුණේ ඊයේ සැන්දෑ යාමයේ දීය. ලිෂාන් මල්ලි පහන් මල්ලී ද සමගින් අප හමුවන්නට ආවේ නුගේගොඩ මැක්ඩොනල් එක අසළටය.

ලිෂාන් මගේ සයිබර් වැඩකටයුතු වලට දුරින් හිඳ බොහෝ උදව් කරනා සහෘදයෙකි. ඔහුගේ ශ්‍රමය නොවන්නට මේ බ්ලොගයේ හැඩරුව මෙන්ම හකාවතියේ හැඩරුව ද කවර කලෙක වත් ඇසට ප්‍රියජනක ස්වරූපයක් නොගන්නවා නියතය.

මා පැමිණියේ රාජකාරි කටයුත්තකට වුව ද ඔහු සමග ඇති වූ කතා බහ අතිශය ප්‍රියමනාප විය. කාලයක් තිස්සේ ඔහුගේ නිර්මාන පරිහරණයෙන් මා ලබා සිටි ඔහු පිළිබඳ රූපය වඩාත් තීව්‍ර වන්නට ඒ හමුව හේතු විය.

කියවීමේ රුචියෙන් ආතුර ව කල් ගෙවනා ලිෂාන් ඒ ආවේ ද පොත් දෙකක් අතේ රඳවා ගෙනය.

ඔහු හමුව මෙසේ සටහනක් ලෙස තබා රඳවමි.

Friday, November 9, 2012

Less than nothing හෙවත් හිස් බවටත් වඩා හිස්බව!

ළඟදී ඊමේලයක් එවලා තිබ්බා සහෘදයෙක් (සුභද්‍රා) "අකුරු නැත්තේ ඇයි?" කියලා මගෙන් අහලා. මට පුදුම හිතුනත් එක්කල. "වචන ටැක්සි" කියවන අය ගණනින් අතේ ඇඟිලි ගාණටත් අඩු නිසයි ඒ පුදුමය. ලියන්න කිසිම වෙලාවක් නෑ මේ දවස් ටිකේ; එහෙම ලියා යැවුවත් ඇත්තටම ලියන්න තරම් දේවලුත් නෑ මට මේ මොහොතේ හෙවත් හිස් බවටත් වඩා හිස්බව අත් විඳින නිසා.

හෂිත අබේවර්ධන ගණිතයෙන් කොටසකුයි සාහිත්‍යයෙන් කොටසකුයි මනෝ විශ්ලේෂණයෙන් කොටසකුයි එකතු කරල ලියල තියෙන ලිපි කීපයක් පහුගිය දවස්වල උඩින් පල්ලෙන් කියවලා ගොඩක් සතුටක් දැනුණා.

කාලෙක ඉඳලා මම හිතං හිටපු අදහසක් ඒ ස්වරූපෙන්ම නොවුනත් මේ ළඟදී ජිජැක් ලියලා තිබ්බා එයාගේ අලුත්ම පොතේ එයාගේ දාර්ශනික ව්‍යවහාරික භාෂාවෙන්. ඒක කියවද්දීත් අර වගේම සතුටක් ඇති වුණා කීවොත් නිවැරදියි.

මම කාලෙක ඉඳන් විශ්වාස කරන දෙයක් තමයි සියළු මිනිස් අවබෝධයන් අනාගතයේ දී අන්ත දෙකකට බෙදී යාවි කියන එක. ඒක හරියටම ධ්‍රැවීකරණයක් කීවත් වඩාත් නිවැරදියි. සරලව ඒ අන්ත දෙක කීවොත් එක අන්තයක් වෙන්නේ මනෝ විශ්ලේෂණය. එතකොට අනෙක් අන්තය වෙන්නේ ක්වොන්ටම් භෞතිකය. මේ දෙකමත් එකට යාවෙන තැන විද්‍යාව තියේවි කියලයි මට හිතෙන්නේ. මම මේ අදහස දරාගෙන ඉන්නේ නිශ්චිත හේතුවක් ඇතුවයි. මිනිසා ගේ චින්තනය අවසානයේ දී මනෝ විශ්ලේෂණයට ඌණ වෙලා චින්තනය නොවන සියළු භෞතිකය ක්වොන්ටම් භෞතිකයට ඌණ වෙනවා කියන එකයි ඒකෙන් හැඟවෙන්නේ. වෙනත් විදියකින් කීවොත් සියළු මිනිස් දැනුම එක්කෝ මනෝ විශ්ලේෂණයේ ව්‍යුත්පන්නයක් හෝ එසේ නොවන විෂයයක් ක්වොන්ටම් භෞතිකයේ ව්‍යුත්පන්නයක් බවට පත්වෙන්නයි ඉඩ තියෙන්නේ.

මේ ගැන උනන්දු කෙනෙකුට කාලය සොයාගෙන කියවන්න වටින පොතක් තමයි මේ; 2012 වසරේ ජිජැක් විසින් ලියා පළ කළ Less than nothing : Hegel and the shadow of dialectical materialism මෙතැනින් බාගත හැකියි.

"There is a moment of truth in this dismissal: translating quantum phenomena into a larger context to impress the public is wrong and misleading—in our reality, objects do not occupy two places at once, and so on. However, the ontological question persists, even if it remains unanswered: what is the ontological status of the phenomena covered by quantum formulae? While obviously not part of our daily reality, they must have a status which cannot be reduced to the scientists’ imagination or discursive constructs."

page 656 (pdf version) Less than nothing : Hegel and the shadow of dialectical materialism by Slavoj Zizek

p.s.

ස්තුතියි හෂිත!

Monday, October 1, 2012

"සඳ දුටු සඳ" නිර්මාන සංග්‍රහය ගැන සටහනක්


නැවුම් ආකෘති ඔස්සේ නිර්මාන සංග්‍රහ එළිදැක්වීම වර්තමානයේ සුලබය. මෙසේ ආකෘතිය යැයි මා අදහස් කළේ නිර්මාන පමණක් නොව ඒවා පෙළ ගස්වා ඇති අයුරු හෝ ඒවා කෘතිය තුළ සංවිධානය වී ඇති ආකාරය ද ඇතුළත් අදහසකි.
 
ඉරංගා සචින්තිකා යද්දෙහිගේ නම් වූ කිවිඳිය විසින් රචිත නිර්මාන සංග්‍රහයේ ආකෘතිය වී ඇත්තේ චන්ද්‍ර චාරය හෙවත් සඳ ගමන යි. සඳ දුටු සඳ ලෙස නම් කර ඇති මෙම නිර්මාන සංග්‍රහය සමස්තයක් වශයෙන් පෙළ ගැසී ඇත්තේ චන්ද්‍රයා කේන්ද්‍ර කරගත් ආකෘතියක වුව ද එහි අන්තර්ගතය විසින් එබඳු කේන්ද්‍රීය තේමාවක් එහි රූපිකයන්ගේ අගයන් උඩුයටිකුරු කර විතැන් කරවන්නට සමත් වන අයුරු සළකා බැලීම ද සිත් ගන්නා සුළුය.
 
එක්තරා අයුරකින් සඳ දෙස හෙලූ විවිධාකාර දෘශ්ටිකෝණයන් සමස්තයක එකතුවක් ලෙසත් මෙම නිර්මාන සංග්‍රහය දැක්විය හැකිය. අනෙක් අතට සඳ මිනිස් සිතෙහි උත්පාද වන්නා වූ විවිධ චෛතසිකයන් කෙරෙහි බලපෑ අයුරු චිත්‍රනය කිරීමක් ලෙසද දැකිය හැකිය. නොඑසේ නම් කිසියම් නිරීක්ෂණයක පසුබිමේ වූ සඳ එම සිදුවීමත් සමග පාත්‍රවර්ගයා කෙරෙහි උපදවන හැඟුම් නිර්මාන බවට පත් කරවීමක් ලෙසද දැකිය හැකිය. මෙකී සියළු ආකාර වූ නිර්මාන මේ නිර්මාන සමුච්චය තුළ ඇත. කෙසේ වුව ද වැඩේ අලුත්ය. ආකෘතිය නැවුම් ය.
 
විශ්වීය වූ සංකල්පනයන් අතර ස්ත්‍රීත්වය ට චන්ද්‍රයා ද පුරුෂත්වයට සූර්යයා ද වන සේ පවත්නා දෙබෙදුම තුළ මෙම නිර්මාන සංග්‍රහය ස්ත්‍රියක විසින් ස්ත්‍රීත්වය ඉස්මතු කරවමින් නිර්මානකරනය වූ ව්‍යාපෘතියක් ලෙස ද දැකිය හැකිය. එය එලෙසින්ම ඇතැම් නිර්මාන තුළ ගම්‍ය නොවන්නේ තරු හෝ සඳ සාවිය ද ඈඳා ගන්නා අවස්ථාවල දී ය.
උදාහරණයක් ලෙස කුටුම්බය නම් වූ නිර්මානයේ සඳ රූපිකව නිරූපනය කරන්නේ පුරුෂත්වය වන අතර සඳ සාවිය විසින් නිරූපනය කරන්නේ ස්ත්‍රිය යි.
 
කුටුම්බය
 
වෙනස් වෙන
සඳ හැඩවල
මිරිකි
මිරිකීත්,
සිනාසෙයි
සාවියක්!
 
(මේ නිර්මානයේ නිමිත්ත ඉතා සුලබ අත්දැකීමක් වන කුටුම්බය හෙවත් ගෘහය තුළ ස්ත්‍රිය අත්දකින පීඩනය තුළ ස්ත්‍රියගේ ඔරොත්තු දීම ප්‍රකාශ කිරීමකි. ඇත්තටම පීඩාවට පත්වන්න පත්වන්න ඉන් සිනා සී සතුටට පත්වීම යථාර්ථයක් වන්නේ කුමන ක්ෂේත්‍රයක් තුළ ද? මා නිවැරදි නම් මෙය නිශ්චිතවම ලැකානියානු ස්ථානගත වීමකි.)
 
ඊට ප්‍රතිපක්ෂව "අරුණෝදයක්" නම් වූ නිර්මානයේ සඳ නිරූපනය කරන්නේ ස්ත්‍රීත්වය වන අතර හිරු පුරුෂත්වය නිරූපනය කරයි.
 
අරුණෝදයක්
 
හිරු පිපුණ
උදයක
සඳක් හිනැහෙයි,
අහසක.
 
ඉහත උදාහරණ දෙකෙන් පැහැදිලි වන්නේ සඳ යන රූපකය කෘතිය තුළ ඒ ඒ අවස්ථාවලට ගැලපෙන ලෙස සිය ස්ත්‍රීත්වය හෝ පුරුෂත්වය මාරු කරගන්නා බවයි. නෛසර්ගිකව සඳ යන රූපකයට අයත්වන්නේ ස්ත්‍රීත්වයක් වුව ද මෙම කෘතිය තුළ එය සාපේක්ෂ අරුත් ගෙන ස්ත්‍රී සහ පුරුෂ භූමිකා අත්කර ගනී. තරු යනු අහසේ දුර්වලම අංගය හෝ කොටස යැයි සැළකූ විට ආරෝහණ පටිපාටියෙන් අහසේ ඇති කාව්‍යමය රූපකයන් මෙයාකාර ලෙස පුරුෂත්වය වර්ධනය කරගනී.
 
තරු < සඳ සාවිය < සඳ <  හිරු
 
මේ අයුරින් තරු ද සඳ සාවිය ද ඇතුලත් කවියක් මේ කෘතිය තුළ ලියැවෙන්නේ තරු ස්ත්‍රීත්වය ද සඳ සාවිය පුරුෂත්වය ද නිරූපනය කරමිනැයි කිව හොත් තර්කානුකූලය. මන්ද යත් සඳ සාවිය සහ සඳ එක්තැන් වන කවියක් වන කුටුම්බය තුළ සඳ පුරුෂත්වය අත්කර ගත් අයුරු මැනවින් පෙනෙන නිසාවෙනි. කෙසේ වුවත් රූපකයන් එකිනෙකා කෙරෙහි පවත්වා ගන්නා සාපේක්ෂ අගයන් පෙන්වා දීම වැනි වීජ ගණිතමය කටයුත්තක් සඳහා නිර්මාන භාවිතා කිරීම නිර්මානයක සාහිත්‍යමය ලක්ෂනයක් පිළිබඳ සාකච්ඡා කිරීමක් ලෙස සැළකිය හැකි නොවුනත් මෙවැනි අපූරු සම්බන්ධතා මතුකර පෙන්වා දීම ද එක්තරා රස වින්දනයක් නොවේ දැයි කවරෙකුට හෝ සැළකිය හැකියැයි මට සිතේ.
එනමුත් එවැනි වීජ ගණිතමය සම්බන්ධතා මතු කරන්නට ඉඩක් අප නොලබන්නේ ඊට ප්‍රතිපක්ෂ ලෙස දුබලයන් ද ප්‍රබල අර්ථ නිරූපිතයන් බවට පත්වන නිර්මාන ද මේ කෘතිය තුළ හමුවන බැවිනි.
 
ස්මරණ
 
පුරපස සඳම පෑයූ දා අහස මත
සැක නැත බැඳුණු වග ඈ වෙත තරුවෙ සිත
අමාවකේ විඳ විඳ ඈ නොමැති දුක
සතුටට කරුණ තරුවට ඈ මතක එක
 
මේ නිර්මානය තුළ නැවත සඳ ස්ත්‍රීත්වය ලකුණු කරන අතර තරු ලකුණු කර ඇත්තේ පුරුෂත්වය යි. මින් අප විසින් ඉහත නිපදවා ගත් වීජ ගණිතය දෙදරවයි.
 
මෙම නිර්මාන තුළ රූපකයන් ලෙස මතුව ඇති සඳ සහ අහසේ දිස්වන වස්තු කිසිවක් ස්ථිතික අරුත් මවන්නේ නැති බැව් මින් පැහැදිලිව පෙනේ. ඒවා එකිනෙකට පරස්පර, වියවුල් හෝ අවිනිශ්චිත අරුත් එකිනෙක හා බැඳෙන අනෙකුත් කොටස්වලට සාපේක්ෂව අරුත් නිපදවයි. මින් පැහැදිලි වන වෙනත්ම මානයක වූ දැනුමක් නම් භාෂාවක සංකේත ඒවා ස්ථානගත වන වියමන් මත ඒවාට ආවේණික වූ අරුත් ඉක්මවා රූපික අරුත් මවා ගන්නා බවයි. කවියක හෝ භාෂාත්මක නිර්මානයක දී වැදගත් වන්නේද භාෂාවක් තුළ පවත්නා එතරම් අවුල් වියවුල්කාරී බව ප්‍රයෝජනයට ගැනීම යැයි මම සිතමි. ඒ අරුතින් ගත් කළ මෙම නිර්මාන සංග්‍රහය විසින් අපට සන් කරන්නා වූ වැදගත් පණිවිඩයක් ඇත්තේ යැයි මට සිතේ.
 
අහසේ සංසිද්ධි තවත් සංකීර්ණ ලෙස වියන්නට දැරූ ප්‍රබල උත්සාහයක් ලෙස "බැමි" නිර්මානය මම දකිමි.
 
බැමි
 
සඳකට අයිති අහසක්
රැයකට සොරා ගත්තෙමි
මගෙ තරු එළිය පතුරා
කළුවර තුනී කෙරුවෙමි
 
පුර හඳ නොදුටු දුක් ගිනි
විමසා කඳුළු සින්දෙමි
තේවාව අවසන බැතිනි
ගෙන ගියෙමි, හද බැඳි බැමි
 
නුබ ගැබ ඇවිද හිනැහෙන
සඳවත කැළුම් ඉවසමි
ඉඳහිට මතුව දුර හිඳ
අහසක රහස් සුරකිමි.
 
දැන් තරු, සඳ සාවි, සඳ,  හිරු යන අමුද්‍රව්‍යන්ට අමතරව අහස සහ රැය ද වස්තු විෂය වී ඇත. මේ නම් සඳත් අහසත් තම තරු එළියත් එකට මුසු වන නිර්මානයක් බැවින් සරලව ප්‍රේම ත්‍රිකෝණයක අංගෝපාංග ලෙස වෙස් ගැන්වූ රූපක පෙලක් යැයි කල්පනය කළ හැකිය.
 
මේ නිර්මානයේ හමු වන්නේ තිදෙනෙකි. සඳකට අයිති අහසක් නම් සඳ රූපික වන්නේ පුරුෂත්වයට වන අතර අහස ස්ත්‍රීත්වය නිරූපනය කරයි. රැයකට සොරා ගත් අහස නම් වූ ස්ත්‍රියක ඇගේ සඳ නම් වූ පුරුෂයා නොදකින දුක් ගිනි විමසා නිවා දමන්නේ නිර්මානකරු අනියම් පෙම්වතකු ලෙස පුරුෂත්වය ආරෝපනය කරගෙනය. ඉන්පසු තරුවක් සේ ඈත සිට සඳ අහසට ආ කළ විහිදන සඳ කැළුම් ඉවසා අහස නම් වූ ස්ත්‍රියගේ රහස් සුරකිමින් සිටී. මේ නිර්මානයෙන් කියැවෙන පරිදි ගැහැනියක අසරණ වූ විට කොහේ හෝ ඉන්නා පිරිමියෙක් ඇයව සනසා දුක් ගිනි නිවා දුරට වී බලා සිටින්නට ගනී. මේ අවංක අනියම් පෙම්වතා වන්නේ ද මෙහි නිර්මානකරුවා මය. මෙය ඇගේ අදහසක් වුව ද යථාර්ථය නොවේ. බැතියෙන් පෙම් කර ඈතට වී සිටින අනියම් පෙම්වතුන් ලොව නැත. ඉන්නේ තම ලිංගික ආශාවන් වෙනුවෙන් පෙම් බස් කියා ගැහැනුන් රවටා මාරුවන අනියම් පෙම්වතුන් ය. කෙසේ වුව ද නිර්මානයක් ලෙස ව්‍යාජ අදහසක් වුවද බැහැර කරලන්නට තරම් අප ගොරහැඩි විය යුතු නොවේ යැයි හිත හදාගත යුතු නිර්මානයක් ලෙස මම මෙය දකිමි. රූපක භාවිතයේ දී දක්වා ඇති කෞෂල්‍ය අගය කිරීමට එය බාධාවක් නොවේ. අශ්ලීලත්වය වසා දමන්නට සවිඥානිකව කරනු ලබන ව්‍යාජ සැරසිල්ල නොවන්නට මෙය නිර්මානකරුවාගේ අවිඥානික ෆැන්ටසියක් ලෙස වටහා ගත හැකිය.

(මෙහි සම්පූර්ණ විරුද්ධාර්ථය නැවත ගොඩනැංවූ විට ද මේ සියළු තතු සමාන අරුත් ගන්නා මුත් ගැහැනුන් ආශා කරන්නේ පුරුෂ කේන්ද්‍ර යේ කුමක්දැයි සෙවීම කිසිදු තේරුමක් නොමැති බැවින් කිසියම් ගැහැනියකට හිමි පුරුෂයෙකු වෙනත් ගැහැනියක සතු කර ගැනීමේ ප්‍රයාමයේ අවසාන අරුතට ද තේරුමක් සෙවීම ද නිරර්ථකය. එබැවින් අන්සතු පිරිමියෙකු තාවකාලිකව හෝ තමන් සතු කර ගත් ගැහැණියකගේ අතින් ලියැවුනු මේ කව අපට ගෙන එන්නේ පැරඩොක්සීය තත්වයකි. පිරිමි, ගැහැනුන් ඔස්සේ තම ලිංගික ආශාව කෙරෙහි ලොල් වීම සෘජු ප්‍රකාශයක් වුව ද ගැහැණු ආශා කරන්නේ පිරිමින්ගේ කුමන දේට දැයි කීමට කිසිවෙකු සමර්ථ නොවේ. ඊට පිළිගත හැකි හේතුවක් ඇතොත් එය මෙහි ලියන්නට ඉඩ මදිවනවා විය යුතුයැයි මම සිතමි. )
 
මේ ආකාරයේම අවිඥානිකත්වය මතුවීම නිසාවෙන් අශ්ලීලත්වය වසාලන්නට නොහැකි වූ නිර්මානයක් ලෙස "පුංචි රහසක්" හඳුනා ගත හැකිය.
 
පුංචි රහසක්
 
හිරු නොදත්තාට
ඇතැම් මල්
පිපී හිනැහෙනවා
සඳ එළියට.
 
මෙහි අශ්ලීලත්වය වසා දමන්නට යෙදූ පුංචි රහස යන යෙදුම කිසිවෙකුටත් රහසක් නොවේ. එය කවුරුත් දන්නා රහසකි. කොතනත් කවුරුනුත් මෙලෙස "එයා දන්නේ නෑ මම කරන දේවල්" යැයි සිතා කරන දේවල් සැබැවින්ම ඔවුනට ඔවුන් බලාපොරොත්තුවන සතුටට හේතු වන්නේ නොදන්නවාට වඩා දන්නා මුත් නොදන්නා සේම ඉඳීම තුළය. මෙය තවදුරටත් රහසක් නොවන්නේ එබැවිනි. කිසියම් තහනමක් නොබිඳේ නම් තහනම් යැයි සම්මත දෙයක් බිඳීමෙන් තෘප්තියක් අත් නොවෙයි. සැබැවින්ම ආශාව වන්නේම නීතියක් බිඳුමෙන් ලබා ගත හැකි දෙයක මිස අනෙකක් නොවේ. මෙය හොඳින්ම දන්නා ස්ත්‍රීන් එවුන්ගේ මේ අශ්ලීල ආශාව එළිදක්වන්නට පෙරමුණ ගැනීම ගැන පුරුෂ අප සතුටු විය යුතු ය. (වඩාත් වෙනස් උදාහරණයක් ගත හොත් දුම්බීම සිරුරට හානිකර වුව ද එය ආණ්ඩුව විසින් තහනම් කෙරන්නේ නැති තත්වය මත මතුවන සංසිද්ධි සලකා බැලිය හැකිය. දුම්පානය හානිකර බැව් දැන දැනත් එය විසින් උපදවන විශාල බදු හේතුවෙන් කිසිදාක දුම්වැටි පරිභෝජනයෙන් ඉවත් කරන්නට ආණ්ඩුව ක්‍රියා නොකරයි. එනමුත් දුම්බීමෙන් හටගන්නා සෞඛ්‍ය ගැටළු හේතුවෙන් රෝහල්ගත වන්නන්ට සිදු වන්නේ දොස්තරවරුන්ගෙන් නොසෑහෙන බැනුම් අහන්නට ය. මෙහි ඇති අශ්ලීලත්වය කුමක් ද? එය කාගේ ආශාවක් ද? අශ්ලීලත්වය නම් සෞඛ්‍යයට හානි වන බව දැන දැනත් එය නොදන්නා සේ එය උපදවන අති විශාල බදු වලින් ආණ්ඩුව භාණ්ඩාගාරය පුරවා ගැනීමයි. එය ආශාවක් වන්නේ අවිඥානික ක්ෂේත්‍රයේ පරිභෝජනය කරන්නා තුළය. සැබැවින්ම දුම්වැටියක් ඉරීම තුළ යථාර්ථ වන්නේ මවගෙන් වෙන්ව අහිමි වූ සංකේතනය කරගන්නට අසමත් වූ ඒ මව් සෙනෙහසයි. (කුඩා අත දරුවන් ආශාව යනු කුමක්දැයි නොදනී. මව ඔවුන් හා දක්වන අන්‍යොන්‍ය ක්‍රියාකාරිත්වයට හේතුව නොදනී. දරුවාගේ ගැටළුව වන්නේ ද ඇය තමන්ව මෙතරම් ආරක්ෂා කරගන්නේ මන්දැයි අසංකේතීය ලෙස විමසීම මය. මන්ද යත් ඔවුනට එබඳු දේ වටහා ගැනීමට ඇවැසි සංකේත හමු වන්නේ කාලයත් සමග බැවිනි. මුල් කාලයේ දී ඔවුන් අත්දකින සියල්ල ඔවුනගේ අවිඥානය ක්‍රියාත්මක වන භෞතික මොළය තුළ රසායනිකව ලියැවුන ද ඒවා මොනවාදැයි නැවත කියවා විග්‍රහ කර ගැනීමේ හැකියාවක් ඔවුනට නැති බැවින් ඒවා සංකේතීකරණය වන්නේ අහඹු රසායනික ලියැවිලි ලෙසින් බැවින් ඒවා අවිඥානික තලයේ නැවත මතුවන ආකාරයන්හි උල්පත් වැඩිහිටියන් වූ පසුව පවා වටහා ගැනීමට නොහැකි වන්නේය.) එනම් පියයුරක් උරා බීමෙන් ලද නිශ්චිත සංකේතකරණයට ලක් නොවූ හඳුනා නොගත් තෘප්තිය කරා අවිඥානිකව ගමන් කිරීමයි. මේ අයුරින් ආශා ක්ෂේත්‍රය තුළ අශ්ලීලත්වයේ ක්‍රියාකාරිත්වය කිසියම් දුරකට හකුළුවා දක්වන්නට මේ නිර්මානය සෘජුව දායකත්වය සපයා ඇතැයි මට සිතේ.)
 
මරණීය රමණයක්
 
දුම්රියේ කුටියක
සිහින් සඳ එළියක
දියවෙයි
ඉරක්.
 
මේ නිර්මානය තුළ අන්තර්ගත මරණීය රමණය-දුම්රිය කුටිය-සිහින් සඳ එළිය-ඉර යන රූපිකයන් විසින් කියවන්නා තුළ ගොඩනගන්නේ පැරඩොක්සීය ෆැන්ටසියකි. එනම් දුම්රිය කුටියක් ඇතුළත වැටී ඇති සඳ එළියක ආලෝකයෙන් දියව යන ඉරක් යන සමස්ත චිත්‍රයටම දෙන සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහසක් ගෙන එන මරණීය රමණයක් යන හෙඩිම නිසාවෙන් හට ගන්නා ක්ෂතිමය අත්දැකීමයි. එය ක්ෂතිමය අත්දැකීමක් වන්නේ පළමු වර මෙය කියවන්නා මෙහි හෙඩිමේ අරුත ඉතිරි පේලි තුළ සොයන්නට යාමෙන් ඉච්ඡාබංගත්වයට පත්වීමෙනි. මෙහි ඉර නියෝජනය කරන්නේ ෆැල්ලසය යි. එනම් පුරුෂත්වයේ සංකේතාත්මක ව්‍යූහය යි. සඳ එළියක දියව යන ෆැල්ලසයක රූපිකාර්ථය කුමක් ද? දුම්රියේ චලනය මාරාන්තික වන සංඥාවේ දිගුවක් වන අතර මේ රමණ රූපිකය කාගේ ෆැන්ටසියක ආකෘතිය ගනී ද? මාරාන්තික රමණය හා බැඳුනු යථාර්ථය කුමක් ද? ලිංගික තෘප්තිය මරණ ආශයේම දිගුවක් නිසාවෙන් හුදෙක් මෙය නිර්මානකරුවාගේ අතිශය පෞද්ගලික අත්දැකීමක් වචනවල පැටැලී අවිඥානිකව ප්‍රකාශ වීමක් ද? අපට මෙතැනින් නවතින්නට සිදු වේ.
 
දුම්රිය ගමන් ගන්නා විට සඳ එළිය දුම්රියේ කුටි තුළ පතිත වී ඉතා වේගයෙන් නිවි නිවී චලනය වන්නේ රමණයේ යෙදෙන්නාක් වැනි අයුරකිනි යැයි කියා ඇඟ බේරා ගන්නට මේ නිර්මානය අපට ඉඩ නොදෙන්නේ කොහෙන්දෝ පැමිණි ඉරක් මෙහි පේලි අතර ලැග සිටින නිසාවෙන් බැව් උක්ත පරීක්ෂාවන් විසින් සනාථ කෙරේ.
 
පිරිමි
 
කළුව
රුදුරුව
අකුණු පෑවත්
අහස
එක
සඳකට
යටයි!
 
මේ නිර්මානය අයත් වන්නේ අවසාන විග්‍රහයේ දී පිරිමි ගැහැණුන්ට යටත් ය යන ස්ත්‍රීන් තුළ වන ග්‍රාම්‍ය ෆැන්ටසිය එළිදැක්වීමට යැයි මම සිතමි. එය ග්‍රාම්‍ය ෆැන්ටසියක් යැයි මා කියන්නේ නාගරික සමාජය තුළ යථාර්ථයට එය වඩාත් ලංව ඇති ලෙස විද්‍යමාන වන ෆැන්ටසියක් බැවිනි. පිරිමි සේරම කොන්ට්‍රෝල් වෙන්නේ භාර්යාවන් අතිනි යන මෙය යථාර්ථයෙන් බැහැර එනමුත් එසේ වන්නේ නම් එය වඩාත් දියුණු සමාජයකැයි සිතන්නට ස්ත්‍රීන් පෙළඹෙන මිථ්‍යාමය නිර්මිතයක් බැවිනි මේ නිර්මානය එළියට එන්නේ. මෙවැනි නිර්මානයක් ලියැවෙන්නේ ද ස්ත්‍රීන් අතින් පමණකැයි මට සිතේ. සැබැවින්ම නාගරික ස්ත්‍රීන් සිතන්නේ මේ ආකාරයෙන් (යැයි මම සිතන) බැවිනි. නිර්මානයක් හරහා පුරුෂෝත්තම සමාජය දෙස මෙවැනි ෆැන්ටසික නියෝග නිකුත් කිරීමෙන් කිසිවක් සිදු වන්නේ යැයි මම නොසිතමි. යථාර්ථය වන්නේ (ප්‍රබන්ධයක් බැවින්) පිරිමි ලෝකය විසින් ගැහැණුන් අතින් තමන් පාලනය වන්නේ යැයි අතාත්වික තලයක වූ විශ්වාසයක් ගැහැණුන් තුළ නිර්මානය වන්නට හැර පිරිමින් පිරිමින්ගේ (වංචනික) ලෝකවල වාසය කිරීමයි. කෙටියෙන් ස්ත්‍රීන් විසින් "ඇඳගෙන සිටීම" සවිඥානිකව මඟහැර පිරිමින් හැසිරීම ලෙස දැක්විය හැකිය. අද ඔබගෙන් ඇසුවොත් "උඹ ගෙදර ගෑනි කියන ඒව අහල ඉන්න ජාතියෙ පොන්නයෙක් දැ"යි ඔබේ පිළිතුර විය හැක්කේ බොහෝ විට "ඔව් මම ඒ ජාතියේ පොන්නයෙක් තමයි" යන්නය.
 
අප තුළ විශ්වාසය ක්‍රියාත්මක වන ස්වරූපය සළකා බැලූ විට පිරිමින්ට ගැහැණියට යටත් වී හෝ යටත් නොවී හෝ සිටීමෙන් අනේකත්වය ඉදිරියේ සිදුවන සංකේතීය ලාභයක් හෝ පාඩුවක් නොවේ. අනෙක් අතට එයාකාර වූ හෝ විකල්පමය ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයක් පවතින්නේ ද නැති නිසාවෙනි. ස්ත්‍රී සහ පුරුෂයන් අතර ඇත්තේ කුමන සම්බන්ධතාවයක් ද? ලිංගික සම්බන්ධතාවයක් යැයි නම් කළ හැකි කිසියම් සම්බන්ධතාවයක් ලැකානියානු විශ්වය තුළ නොපවතින බැවින් අනෙක් සම්බන්ධතාවය වහාම ප්‍රබන්ධගත කර ගත යුතුව ඇත. ඒ සඳහා වඩාත් විචිත්‍ර ප්‍රබන්ධය මෙය හැර වෙන කුමක් විය හැකි ද?
 
සරණ බන්ධනයක්
 
තරුවක් එළිකරන්නට
සැරසෙයි
සඳක්
පායා තිබූ අහසක්!
 
මෙය ද ත්‍රිකෝණාකාර ව්‍යූහයක් අප වෙත ඉදිරිපත් කරන නිර්මානයකි.
 
මෙහි ද්විඝඨනයක් ඇති බැවින් එක් අවස්ථාවක් පළමුව තෝරා ගමු. තරුවක් යනු ගැහැණියකි. සඳක් යනු ද ගැහැණියකි. අහස මෙම අවස්ථාවේ දී පුරුෂ රූපික ය. ඒ අනුව මේ කියැවෙන්නේ වඩාත් හොඳ ස්ත්‍රියක හා පෙමින් සිටි පුරුෂයෙකු ඊට වඩා ගුණයෙන් අඩු ස්ත්‍රියක හා විවාහ වන්නට යන බවයි.
 
දෙවෙනි අවස්ථාව සළකා බලමු. එහි දී තරුවක් යනු පුරුෂයෙකි. සඳක් යනු ද පුරුෂයෙකි. අහස යනු ස්ත්‍රියකි. මේ අනුව මින් කියැවෙන්නේ වඩාත් ප්‍රබල තරුණයෙකු හා පෙමින් බැඳී සිටි ස්ත්‍රියක ඊට වඩා දුබල පිරිමියෙකු හා සරණ බන්ධනයකට යන බවකි.
 
දැන් මේ අලකලංචිය අපට ගෙනෙන සංකේතාර්ථය කුමක් විය හැකි ද? මින් කියැවෙන්නේ අවසානයේ දී අප නිරන්තරයෙන්ම ලබන්නේ වඩාත් දුර්වල දෙය බව ද? මේ නිර්මානයේ හැඟවුම සරණ බන්ධනයක් යනුම තම සහකරු ලෙස ලබන්නේ ලැබිය යුත්තා නොව වඩා දුර්වලයෙකු බවයි. මෙය යථාර්ථයක් ද? ඔව්. මේ ලෝකයේ කිසිම යුවලක් එකිනෙකට ප්‍රබල හෝ දුබල වන්නේ නැත. ගැලපෙන්නේ නැත. මනුෂ්‍යත්වය යනුම දුර්වලකම්වලින් පිරී ඇති දෙයක් බැව් පමණි අප දන්නා පරම සත්‍යය. එනයින් සරණ බන්ධනය වනාහී එතරම් තැකිය යුතු අවසන් නැවතුමක් නොවන බැව් සත්‍යාපනය වේ. ප්‍රථම ප්‍රේමයෙන් එකතු වන දෙදෙනකුගේ සරණ බන්ධනය මේ නිර්මානයේ වපසරියට හසු නොවීම හැරෙන්නට වෙන කිසිදු අවුලක් මට මේ නිර්මානයේ නොපෙනේ.
 
කලියුගය-යුගාන්තය-නූතන කවිය (යුගය) යන නිර්මාන ත්‍රිත්වය මා සළකනූයේ එකම රැහැනකින් බැඳි නිර්මානයක් ලෙසිනි.
 
කලියුගය
 
සොළොස් කලාවම
පිරි සඳක්
සිනාසෙනවා
මඩ වගුරක...
 
යුගාන්තය
 
සඳ කඳුළු බිංදුවක් වැටී
ලුණු වැඩි වී තිබුණා
අම්මා
අමතක කර දමා ගිය ගෙදර,
අප්පච්චි පිසූ බත.
 
 
නූතන කවිය
 
සඳක් නැති අහසක් යට
සඳ නමින් අකුරු අමුණන
සඳ නොදුටු කවියෝ ද වෙති
සඳෙන් විවරණ නොලබන
 
කලියුගයේ තත්වය කියා පාන්නට රූපිකව මතු වන්නේ මඩ වගුරක සිය ප්‍රතිබිම්බය පාන පුන් සඳකි. ඒ නම් අන් කිසිවක් නොව ගොහොරු මඩ වලක වැතිරී සිනා පාන සඳවත නම් සුදුස්සන් නුසුදුස්සන්ගේ පීඩනයට පත්ව දුකට පත් ව එය ද දුකක් නොව සතුටක් ලෙස ඉවසන්නට වී සිටින්නට සිදු වීමයි. (වෙනත් අනෙක් අරුත් ද මැවිය හැකිය. )
 
අනෙක් අතට යුගාන්තය නම් අම්මාවරුන්ට ගෙවල් අමතකව පලා ගිය කල අසරණ වන පියවරුන්ගේ ශෝකය විඳ දරා බෙදා ගන්නට ඉන්නේ දුරක සිට දිස්වන සඳ පමණකි යන්න ය. මිනිස් සබඳතා විනාශයට පත් වූ කලෙක ශේෂ වන තාපය මුදා හරින්නට ඉතිරි වන්නේ අචේතනික වස්තු පමණිය යන්න මින් ගම්‍ය වේ.
 
නූතන යුගය හෙවත් නූතන කවිය තුළ සාකච්ඡා වන්නේ ඉහත සිදුවීම් දෙකටම වඩා ත්‍රාසජනක සත්‍යයකි. සඳකුත් නැති අහසක් යට එනමින් අකුරු අමුණමින්, නැති නිසාවෙන්ම සඳ නොදුටු නමුදු ඉන්ම විවරණ ද නොලබන කවියන් සිටී ය යන්න ස්වයං නාශක බෝම්බයක් වැනි නිර්මානයක් යැයි මම ලියා තබමි.
 
ප.ලි.
 
1. ඉහත උදාහරණ ලෙස ගත් නිර්මාන ඔස්සේ මා කරන ලද විවරණයන් හුදෙක් එම කාව්‍ය ග්‍රන්ථ රචිකාව උනන්දු කරවීමට දරණ ලද අවංක උත්සාහයක් විනා විශිෂ්ට කවි හෝ නිර්මාන ඇය විසින් කර ඇතැයි කියා ඇයව මුරුංගා අත්තේ තියන්නට වැය කළ ශ්‍රමයක් නොවේ. අනෙක් අතට සරලව අදහස් ඉදිරිපත් නොකර කීප දෙනෙකුට පමණක් තේරෙන්නට ලිවීමෙන් කාටවත් කිසිදු ප්‍ර යෝජනයක් නැති බැව් මා කලක සිට වටහා ගෙන සිටි බැවින් මනෝ විශ්ලේෂණාත්මක යෙදුම් හැකිතාක් අවම ලෙස සහ තාක්ෂණික වදන් භාවිතය අවම කරන්නට උනන්දු වූයෙමි. මේ ලියා ඇති විග්‍රහ තව දුරටත් විස්තාරණය කිරීම හෝ සංවර්ධනය කිරීම ද කළ හැකිය.
2. නිර්මාන සංග්‍රහය විසින් සඳ මිනිසා කෙරෙහි බලපවත්වන ලද සියල්ල අන්තර්ග්‍රහණය කර ඇතැයි එහි නිර්මාන පිරික්සද්දී හැඟුන ද හඳ නිසාවෙන් පිස්සු හැදුන හෝ උමතු වූ සිදුවීමක් මේ නිර්මාන අතර නොවීම කනස්සල්ලක් සිත තුළ මවන්නේ යැයි මට සිතේ.

Tuesday, September 25, 2012

දින නියමයක් නොමැති ලෝක විනාශය

බලන් සකි අහස දෙස
නැද්ද තවමත් අර කීව
හෙණ බෝලය?
ලෝකය විනාශ කර දමන්නට එන

බලන් සකි අර මහ සයුර
නැද්ද තවමත් රළ නැගී ගුවනට?
සෝදා දමන්නට ගොඩ බිම
සමතලා කර ලෝකයේ උස් මිටි තැන

බලන් සකි ඉර හඳ දෙස
නැද්ද තවමත් ඒවා
කඩන් බිඳන් වැටෙන ගති ගුණ?
ලෝකය සූන්නද්ධූලි කරනට

ඇයි මේ සියල්ල මෙතරම් පරක්කු
නැද්ද වේලාවට වැඩ උන්ගෙ?
අපි නම් ආණ්ඩුවෙ වෙලාවට වැඩ
මැරෙන වෙලාව එනතුරු

අතිකාල ගන්නවද
උනුත් අපි වාගේ
වැඩ වව වව
පරක්කු කර කර?

25/09/2012

Thursday, September 20, 2012

දුක් පත් පොත් පත්...

පොත් ප්‍රදර්ශනයට හදිසියේ ගොඩ වදින්නට ලද අවස්ථාවෙන් මාහට බොහෝ කලක සිට සොයමින් සිටි පොත් කීපයක් සොයා ගැනීමට හැකි විය. පුදුමය නම් ඒවා සිංහල පොත් නොවීමත් මා ඒවා සොයමින් සිටි වග මා එම පොත් දකින තුරු නොදැන සිටීමත්ය!


සිංහලෙන් ලියැවුනු පොත් කියැවීමෙන් හෙම්බත්ව සිටින මා හට සිංහල සාහිත්‍යත් දැන් දැන් එපා වී ඇතැයි මට සිතේ. කවර කංචුක ලස්සන දිලිසෙන-පරිගනක ආශ්‍රිත ග්‍රැෆික ඔස්සේ මනරම් ලෙස දිස්වන හොඳ සුවඳ කොළවලින් යුත් බොහෝ පොත්වල කියවන්නට දෙයක් නැති කම නිසාවෙන් අතිශය විශ්වාසවන්තයෙකුගේ රෙකමදාරුවකින් තොරව සිංහල නවකතා පොත් කියවීම තාවකාලිකව නතර කර දමන්නට මා සිතා ඇත්තේ දැන් මාස කීපයක සිට බැවින් මෙවර පොත් ප්‍රදර්ශනය ගැන කිසිදු බලාපොරොත්තුවක් මා තුළ නොවීය.
කාව්‍යක්කාරයින්ගේ පොත් කුටිය අසළට විත් එතුළට හිස යොමද්දී  මස්ඉඹුල ඒ ඉදිරිපිට හිට ගෙන සිටි බැවින් මා ඔහු සමග අතිශය කෙටි පිළිසඳරක යෙදී එහි වූ මා හට මග හැරුණු කවි පොත් කීපයක් මිළ දී ගත්තෙමි.
ඒ කවි පොත් අතර කම්පනයට වෙන්න ඇති-නමුත් නිහඩයි-මේ නිහඩ වෙරළට එන්න-සියුම් අත්තටු නාද-තාණ්ඩව-මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි-සැපෙනි සැප වේවා සහ සිරිමලුගේ නඟා නලනීය-සඳ දුටු සඳ-භූගත සහෝදර සංදේශය යන කෘති කීපය බෑගයක අසුරා ගත්තෙමි.


ඉන්පසු හඹා යායුතු කිසිදු පොතක් ගැන මගේ සිහියේ වූ අදහසක් නොවුන බැවින් ප්‍රදර්ශන භූමියේ ඉබාගාතේ කැරකුනෙමි. හදිසියේම කිසිදු මිනිසෙකු විසින් පා නොතැබූ සිංහරාජයේ සැඟව ගිය නිල් දිය කඩිත්තක් මෙන් ඉපැරණි සෝවියට් පොත් පත් රැඳුනු කුඩා වෙළඳ කුටියක් මා හට දිස් වුණි. කුඩා කාලයේ දී දුටුවෙන් ඉන් පසු ඉතා කලාතුරකින් දුටු සමහර ළමා පොත් දැකුමින් දෑස් කඳුලකින් බොඳවන තරමට මා හැඟීම්බර වූයේ යැයි මට සිතේ. ඒ ළමා පොත් අතපත ගා පසෙකින් තබා රාක්කවල මුදුනේ තිබූ දිරා ඉරා ගිය කවර සහිත රුසියන් පොත් කීපයක් අතට ගෙන බැලීමි. ඒ අතර වූ "ක්වොන්ටම් යාන්ත්‍රික" පොත් කීපය වහා ඩැහැ ගන්නට මා පෙළඹුනේ වෙනත් කවරෙකු හෝ මට පෙර ඒවා ගත්තොත් යැයි දැනුන නිසැකය හේතුවෙනි. එනමුත් ඒ පොත් කිසිවෙකුත් පෙරලා හෝ බලන්නට උනන්දු නොවූ බැව් එහි සිටි ඉක්බාල් මහතා මා හට කීවේ ඉමහත් කනගාටුවක් මුහුනේ මවා ගනිමිනි.

"මෙයින් පොතක් දෙකක් මෙතන මම තියන් හිටියේ කවුරුවත් ඒවා පෙරළල අඩුගානේ බලයි ද කියලවත් දැනගන්න යැ" යි මට කී හෙතෙම තම ලාභය ද පසෙක ලා මා හට එම පොත් කීපය ඉතා අඩු මුදලකට දුන්නේ කුටියේ කුලියේ විශාලත්වය නිසාවෙන් තමා වැනි කුඩා පරිමාණයේ පොත් වෙළෙන්දන් නැත්තටම නැති වී යන කොල්ලකාරී මාෆියාවකින් හෙම්බත් වන බැව්ද හඟවමිනි. කඩ කුලිය රුපියල් අනූදාහක් බවත් මේ පොත් ස්වල්පය විකිණීමෙන් තමන් ඔලුව උස්සා ගන්නවා වෙනුවට තවත් බිම ඇනී ඇති බැව්ද නොසඟවා පැවසීය.

ඔබලා අතරින් කවරෙකුට හෝ තවමත් ඒ කුටියේ ඇති සමහර පොත්පත් පෙරලා බලන්නට ආසා විය හැකිය. ඒවා පැරණි රුසියානු පොත්පත් ය. ළමා කාලයේ රසවිඳි සමහර පොත්වල ඒ කාලයේ පින්තූර එලෙසම තිබුණ ද මුද්‍රිත ආකෘති මදක් වෙනස් වී යුගයට ගැලපෙන අයුරින් සකස් කොට ඇති බැව් පෙනේ. ඒවා තවමත් කිසියම් නොස්ටැල්ජික බවක් අප සිත් තුළ දනවන්නට සමත් බැව් නම් අවිවාදිතයැයි මට සිතේ.

G-278 කුටියේ ඉක්බාල් මහතා ඔබ පිළිගැනීමට සැදී පැහැදී සිටින අතර 0718690494 අංකය අමතා ඔබ සොයනා කිසියම් ඉපැරණි මීර් ප්‍රකාශනයක් වෙතොත් ඔහුගෙන් විමසා බැලිය හැකිය.

Monday, September 10, 2012

නිහොන් සැප ලැබේවා!

 
විද්‍යුත් තැපෑලෙන් ලද ආරාධනා පත්‍රයට තුති.